LOGO

2018/01/02 –  ලංකාදීප

වසර 2020 දී ජපානය පවත්වන ඔලිම්පික් උලෙල සම්පූර්ණයෙන්ම පරිසරය ආරක්ෂා වන උලෙලක් සේ නිර්මාණය කරන්නට යයි. එහි පදක්කම් පවා දුරකථන මෙවලම් නැවත ප‍්‍රතිචක‍්‍රීකරණයෙන් නිර්මාණය කර ගැනේ. කාබන් විමෝචනය අවම කරන, හරිත බලශක්තිය භාවිතා කරන හා සම්පත් අවම පරිහරණයෙන් පරිසරය ආරක්ෂා කරන අන්දමට එය නිර්මාණය කරන බව අනාවරණය වෙයි.

එවැනි තීරණයක් වැදගත් වෙන්නේ ඇයි? ගෝලීය උණුසුම වැඩි වෙමින් තිබේ. අයිස් කදු දියැවී ගොඩබිම යටවන බව සනාථ වී ඇත.  ඕසෝන ස්ථරයට කරන හානිය පාලනය කරනු සඳහා ජාත්‍යන්තරය බලවත් ප‍්‍රයත්නයකය. වනාන්තරය ආරක්ෂා කරන අතරවාරයේ උණුසුම ඉහළ යන්නට බලපාන කාරණා පාලනය කරන්නට සම්මුති සකස් වී ඇත. අනෙක් පැත්තෙන් කර්මාන්ත හා වාහන වලින් නිකුත් කරන දුම පරිසරයට හානියක් වී තිබේ. ඉන්දියාව හා චීනයේ නගර ගණනක් වායු දුෂණයට ලක් ව ඇත. අහිතකර නොවන බලශක්තිය භාවිතා කරන උනන්දුවක් ලෝකය පුරා මෝදු වී තිබේ. දිරාපත් නොවන අපද්‍රව්‍ය අනෙක් ගැටළුවකි. පර්යේෂකයන් දක්වන අන්දමට අවුරුද්දක් පාසා අති විශාල පොලිතීන් හා ප්ලාස්ටික් ප‍්‍රමාණයක් කසල වශයෙන් එකතු වෙමින් පවතින අතර අද කරන භාවිතාව පාලනය නොකළහොත් 2025 වන විට දෙගුණයකින් ඉහළ යන බව දක්වයි. පොලිතීන් අපද්‍රව්‍ය සාගරයට එකතුවන ප‍්‍රමාණය පාලනය කරගත නොහැකි වී ඇත. පිලිපීනය, තායිවානය හා නෝර්වේ වැනි රටවල් මහ මුහුදෙන් පොලිතීන් එකතු කරන ව්‍යාපෘති ආරම්භ කරන ලද බව අනාවරණය වෙයි’.

කාර්මීකරණය ලෝක සංවර්ධනයට ඉවහල් වූ අතර බොහෝ කාර්මික රටවල් අනුගමනය කරන ලද ප‍්‍රතිපත්ති අද පවතින ව්‍යවසනයට වගකිව යුතු බව එල්ල වන චෝදනාවකි. හතරවැනි කර්මාන්ත විප්ලවය සමග පුනර්ජණනීය විදුලිය, සූර්ය බලය සහ විදුලියෙන් ධාවනය වන වාහන යනාදිය ලෝකයේ පැවැත්මට යම් මෙහෙවරක් කරනු ඇතැයි අපේක්ෂාව  වී තිබේ. නොයෙක් රටවල් දිරාපත් නොවන දේ භාවිතය අත්හරින්නට තීරණය කර තිබේ. පිලිපීනයේ ආහාර වෙනුවෙන් තාවකාලික ඇසුරුම් භාවිතය නතර කරන තීරණය එයින් එකකි. ඇමරිකාවේ ඇතැම් ප‍්‍රාන්ත ස්ට්‍රෝ, නොඒසේනම් බීම බොන ප්ලාස්ටික් බට අත්හැර දමා ඇත. ගෞතමාලාව ප්ලාස්ටික් ද්‍රව්‍ය මුහුදට පා වී යෑම වලක්වන ජෛව වැටක් නිර්මාණය කර තිබේ. එවැනි පාලන ක‍්‍රම වලට අනුගත වෙමින් තිබිය දී ස්පාඤ්ඤයේ විශ්ව විද්‍යාලයක් ප්ලාස්ටික් ආහාරයට ගන්නා පනුවෙකු බිහි කරන්නට අත්හදා බලමින් සිටී.

ශ‍්‍රී ලංකාව සොබා දහමින් පෝෂිත රටකි. එහි හරිත වර්ණය නොඅඩුය. නමුත් මෑතක සිට හදිසි විපත් බහුල වී තිබේ. ලෝකයේ ශ්‍රේණිගත කිරීම් අනුව ස්වභාවික විපත්වලට නිතර ගොදුරුවන රටකි. අධික නියඟය හා  හදිසි වැසි සමග ඇති වන ගංවතුර නිසා ජන සමාජයට සිදුවන පීඩාව මෑත කාලයේ දී බහුල විය. එයින් පෙන්වන්නේ සූදානම් විය යුතු හෝරාව එළැඹ ඇති බවය.

නීති පනවා දඩුවම් වලින් පරිසරය ආරක්ෂා කරන්නට යමක් කළ හැකිය. නමුත් එය සාර්ථක පියවරක් නොවේ. සෑම පුරවැසියෙකුම තමන් ජීවත්වන පරිසරය ගැන අලූත් අවධානයකින් බලන්නට අවශ්‍යය. බාල වියේ සිට පරිසරය ආරක්ෂා කරන අතර වාරයේ පරිසරයට හානි කරන ක‍්‍රියා වලින් ඉවත්වීමට නැඹුරු විය යුතුය. ආකල්ප වෙනසක් තුළින් එය කළ හැකිය. අලූත් අවුරුද්දේ අධිශ්ඨාන අතරට පරිසරය ගැන හිතන නැඹුරුවක් ඇති කරන සිතිවිල්ලක පිහිටියහොත් ඉතා ප‍්‍රයෝජනවත්ය. අනුන් ගේ හානිය ගැන ඇඟිල්ල දිග් කරනු වෙනුවට තමන්ගෙන් සිදුවිය හැකි පරිසර හානිය අවම කරන පැවැත්මක් ඇති කරගත හැකි නම් අනාගත පරපුරට සුරක්ෂිත ශ‍්‍රී ලංකාවක් දායාද කළ හැකිය.