ශ‍්‍රී ලංකාවේ අලූත් යුගයට ධර්මාශෝක දර්ශනය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

‍2019/11/27 – ලංකාදීප

ඉන්දියානු ව්‍යාප්තවාදය ජන සමාජය තුළ කුකුසක් ඇති තැනකි. ජනාධිපතිධුරයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු නිල සංචාරය සදහා ඉන්දියාවට පැමිණෙන සේ කරන ලද ඇරයුම පිලිගෙන තිබේ. ශ‍්‍රී ලංකාවට සමීප, දීර්ඝ කාලයක් තිස්සේ නොබිදුන සම්බන්ධතාවයක සිටින දෙරට අතර මිත‍්‍රශීලීබව තර කරනු සදහා මෙය හොද අවස්ථාවකි. පසුගිය ජනාධිපතිවරණයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී අති විශිෂ්ඨ ජයක් අත් පත් කරගත් අතර තද ආගමික හා ජාතික පදනමක් ඔහුගේ ජයග‍්‍රහණයට හේතු වූ බව ප‍්‍රකාශ වී තිබේ. ජනාධිපති ගෝඨාභය ගේ ජයග‍්‍රහණයේ මාවත උදෙසා සිංහල බෞද්ධ අනන්‍යතාව බලපෑමක් වූ බව නොරහසකි. රට ගැන හිතන, ජාතිකත්ව අභිමානයකින් යුතු අනන්‍ය ලක්ෂණ සහිත ජන නායකයන් දෙපොලකගේ මුණ ගැසීම විශේෂ අවස්ථාවකි. ඉන්දීය ව්‍යාප්තවාදය වෙනුවට දෙරට අතර තිබිය යුතු අලූත් දර්ශනයකට මග පාදාගැනීම  සුදුසුය. ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පැවැත්ම මෙහිලා උපයෝගී කරගතත හැකිය.

බුදු දහම ධර්මාශෝක අධිරාජ්‍යයා ගෙන් ලංකාවට ලැබුණ උසස්ම තිළිණයකි. වසර දහස් ගණනක් මෙරට ජන සමාජය, සංස්කෘතිය හා පැවැත්ම පෝෂණය කර තිබේ. ධර්මාශෝක රජතුමා සිය මෙහෙවර ආරම්භ කරන්නේ අධිරාජ්‍ය ව්‍යාප්ත කරන යුද මෙහෙවර කූට ප‍්‍රාප්තියකින් අනතුරුවය. භූමිය අත්පත් කරගත් අශෝක අධිරාජ්‍යයා එය නොසෑහෙන බව වටහා ගත් අතර බුදු දහම අවබෝධ කරගෙන ජන හිත සුවපිණිස කැපවන නිසි මගට අවතීර්ණ විය. රණ ශූරත්වයට අධිපති වූ අශෝක රජු සානුකම්පිතත්වයේ අධිරාජ්‍යයා බවට පත්වූ අතර ගිලනුන්ට බෙහෙත්, සිරගතවූවන්ට පහසුකම්, දුප්පතුන්ට සහන, වයෝවෘද්ධයන්ට ජීවත්වන දීමනා සහ මහා මාර්ගයේ ගිමන්හල් ඇති කරන ලද අතර සියළු සතුන් සදහා රෝහල් ද පිහිටුවන ලද බව දැක්වෙයි. දෙමාපියන්ට සලකන්න, දරුවන්ට සෙනෙහස දක්වන්න පමණක් නොව මෙහෙකරුවන්ට කරුණාවන්ත වන්නැයි ද දැක්වීය. යුද්ධයෙන් හෝ ගැටුම් වලින්  ප‍්‍රශ්න විසදන්නට නොහැකි අතර සියළු අසල්වැසි රටවලට යුද බියෙන් අත්මිදෙන පණිවුඩයට ද නිකත් කළේය.

ධර්මාශෝක අධිරාජ්‍යයා බුදු දහම දක්වන ප‍්‍රතිපදාව රාජ්‍ය පාලනයට උපයෝගී කරගත් අතර රටවැසියෝ සිය දරුවන් සේ සලකා තීරණ ගත් බව සදහන්ය. ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පාලන කාලය ඉන්දියාවේ ස්වර්ණමය යුගය අතරින් විශිෂ්ඨ එකක් වශයෙන් සැලකෙන අතර ඉන්දියාව සාමය හා සමෘද්ධියේ දේශය බවට පත් වූ බව ඉතිහාසය පෙන්වා දෙයි. ධර්මාශෝක රජතුමා සිය සසුන්ගත වූ දියණිය හා පුතු දේවානම්පියතිස්ස රජ සමයේ ලංකාවට එවන්නේ බුදු දහම තමන්ට ලබා දිය හැකි උසස්ම පරිත්‍යාගය වශයෙන් සලකමින් බව නිසැකය.

ශ‍්‍රී ලංකාව සමාජ, දේශපාලන හා ආර්ථික වශයෙන් අලූත් යුගයකට අවතීර්ණ වෙමින් තිබේ. ජාත්‍යන්තරව පවතින තාක්ෂණික පරිසරය අභිමුවෙහි වේගයෙන් දියුණුව අත්පත් කරගන්නා අතර රටට අත්‍යවශ්‍ය ආත්මය නැවත පුනර්ජීවනය කරගත යුතුව ඇත. ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය ලබා දී ඇති පණිවුඩය මෙහි දී වැදගත්ය. ජන සමාජය අලූත් අවකාශයක් ඉල්ලා සිටී. ලෝක ප‍්‍රජාව ඉදිරියේ අද්විතීය නායකත්වයක් පමණක් නොව ජනතාව ඉල්ලා සිටින විනය ගරුක ධාර්මික පාලනය එහි දී තිබිය යුතුය. නවීන පාලකයෙකු සතුව තිබිය යුතු ගුණාංග වලින් කොටසක් ධර්මාශෝක චරිතයෙන් උකහා ගත හැකිය. ජාති, ආගම්, දේශපාලන පක්ෂ, කුළ ආදී වශයෙන් බෙදී වෙනස් අදහස් ඇති ව පවතින සංකීර්ණ ශ‍්‍රී ලංකාව නව යුගයකට යොමු කිරීමේ දී බුදු දහම, එය රාජ්‍ය පාලනයට ප‍්‍රායෝගිකව යොදා ගත් ධර්මාශෝක රජු ගැන අලූතින් අධ්‍යයනය කිරීමට ඉන්දීය නිල සංචාරය තවත් ප‍්‍රවේශයක් වනු ඇත.

තවත් පැත්තක් ද ඇති බව අමතක කළ යුතු නැත. පාලකයා පමණක් අලූත් වීම ප‍්‍රමාණවත් නැත. ජනතාවට ද අලූතින් හිතන වගකීමක් තිබේ. සුපුරුදු ගෝත‍්‍රික ලක්ෂ සහිත බෙදීම් තව දුරටත් පවත්වාගෙන යා යුතු නැති අතර අලූත් සමාජ ව්‍යුහයක් වෙනුවෙන් අලූතින් හිතන්නට පවතින ස්වභාවය අවබෝධ කරගන්නට සූදානම් විය යුතුය.

 

 

 

 

ප්‍රසාදය කණපිට හැරෙන්න වැඩිකල් ගතවන්නේ නෑ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

2019/11/19 – ලංකාදීප

බ්‍රිතාන්‍ය යෝක්ෂයර් ප්‍රාන්තයේ ප්‍රදේශයක් පසුගිය සතියේ ගංවතුර තර්ජනයට ලක් විය. දෙදහසක පමණ පිරිසක් විපතට පත් වූ බව වාර්තා වෙයි. දින පහකට පසු එරට අගමැති බොරිස් ජොන්සන් විපතට පත් පිරිස ගේ සුව දුක් විමසීමට පැමිණියේය. ඒ වන විට සහන සේවකයන් පැමිණ විනාශ වූ තැන් පිලිසකර කිරීමේ කටයුතු සෑහෙන දුරට අවසන් කර තිබුණ අතර ජනතාවට සෑහෙන සහන ඛෙදා දී තිබුණි. ජනතාව ඔහුගේ පැමිණීම ඉවසා සිිටයේ නැත. අපි ගැන හොයන්නට එන්නේ දැන්ද? අයෙකු අගමැතිවරයාගෙන් කෙලින්ම ප්‍රශ්න කළ අතර එම සිද්ධිය ලෝකය පුරා විකාශය වී තිබේ. හදිසි, වැදගත් රාජකාරි තිබුණ බව කියා සිටි අතර පැමිණීමට දින පහක් ගතවීම ගැන කණගාටුව පළ කරන ලද නමුත් විපතට පත් වූවෝ එයින් සෑහීමකට පත් වූයේ නැත.

ලන්ඩන් නගරාධිපති වශයෙන් ඉතා ඉහළ ජනපි්‍රයත්වයක සිටි බොරිස් ජොන්සන් පසුව පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර තෙරේස් මේ අගමැතිනියගේ ඉල්ලා අස්වීමෙන් පසු ධුරයට පත් ව වැඩි කාලයක් ගතවී නැත. හොද පිලිගැනීමක් තිබුණ ඔහු වෙත ජනතා අප්‍රසාදය තියුණු වී තිබේ.

මෙම සිද්ධිය ප්‍රජාතන්ත්‍රවාදයේ තරම දැනගන්නට සාක්ෂියකි. ජනතා  කැමැත්ත වැඩි කල් පවතින්නේ නැත. ඉතා ඉහළට ඔසවා තබන ජනතාව වැඩි කාලයක් යන්නට මත්තෙන් පහලටම තල්ලූ කරයි. පිරිහීම ඇරඹෙන්නේ ජයග්‍රහණයත් සමගය. ජය ඛෙදාගන්නට සෑහෙන පිරිසක් සිටින අතර එම සියළුම දෙනා කොටස්කාරයෝ වෙති. තමන්ට රිසි පරිදි, තමන්ට අවශ්‍ය තැනක තීරණ නොගන්නා පාලකයා කියනකොට එහෙමයි කරන කොට මෙහෙමයි යන විවේචනයට ගොදුරුවීම වැලැක්විය නොහැකිය.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා බරපතල අර්බුදයකය. බ්‍රික්සිට් නොඑසේනම් යුරෝපා හවුලෙන් ඉවත්වන තීරණය ක්‍රියාවට නැංවිය යුතු තැනක සිටී. විරුද්ධ දේශපාලන පක්ෂවල පීඩනය තදබල එකක් වී ඇති අතර පාර්ලිමේන්තුවේ බහුතර බලය ආරක්ෂා කරගැනීම පවා ගැටළුවකය. ලන්ඩනයෙන් බැහැර ප්‍රදේශයක ගංවතුර තත්ත්වයක දී වහා එතැනට නොපැමිණීමට දක්වන හේතු යුක්ති සහගතය. නමුත් ජනතාව ඉවසන්නේ නැත. සිය නායකයා වහා තමන් අසලට එනු ඇතැයි අපේක්ෂා කරති.

ශ්‍රී ලංකාවේ දේශපාලනය එයට වඩා උණුසුම්ය. පුද්ගලික සම්බන්ධතා සියුම්ය. මංගල්ලයක දී සාක්ෂිකරු විය යුතු අතර අභාවයක දී පැමිණ සෝක විය යුතුය. අහම්ඛෙන් හෝ නොසලකා හැරීමක් සිදුවීම විනාශයක ඇරඹුමක් විය හැකිය. බලයට පත් අලූත් ජනාධිපතිවරයා පමණක් නොව ජනාධිපතිධුරයට පත් කළ තම නායකයාගෙන් අසීමිත දේ අපේක්ෂා කරන පුරවැසියන් ද  මෙම තත්ත්වය මැනැවින් තේරුම් ගැනීම අවශ්‍යය. කළ හැකි දේ බොහෝ වන අතර කළ නොහැකි වූ යමක් ගැන පෙන්වා දෝෂ දර්ශනය පහසුය.

දශක කිහිපයකට කලින් නායකයන් හා වැසියන් අතර පරතරයක් තිබුණි. නූතන සන්නිවේදනය ඉතා ප්‍රබලය. එහි බලවත්කම කොපමණ ද යත් නායකයන් කරන, කියන හා හැසිරෙන ආකාරය කිසිසේත් සැගවිය නොහැකිය. ජනතාව සියල්ල නිරීක්ෂණය කරන අතර වැරැද්දක් අල්ලා ගැනීමට හොදටම අවස්ථාව තිබේ. අලූත් ජනාධිපතිවරයා බලයට පත් වූයේ විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් සමාජය තුළ විසුරුවමින් වන අතර ඒවා වහා ක්‍රියාවට නැගෙනු ඇතැයි ජනතාව බලා සිටිති. ගංවතුර ගලා දවස් පහක් යන තෙක් අගමැතිවරයා නොපැමිණීම බ්‍රිතාන්‍ය වැසියන්ට තරමක දිග කාලයක් විය හැකි නමුත් ශ්‍රී ලංකාවේ දී ස්වභාවය එයටත් ඉක්මන්ය. මහා ජනවරමකින් ඔසවා තබන නමුත් මාසයක් දෙකක් යන විට නරක දකින්නට පෙළැඹේ. අභිනව ජනාධිපතිවරයා, ආණ්ඩුව සහ දේශපාලනඥයෝ මෙම ස්වභාවය අවබෝධ කරගෙන ඉක්මන් සහ ප්‍රයෝගික සැලසුම් ඉදිරිපත් කිරීම සුදුසුය.

 

 

සුදුසුම නායකයන් තේරීමේ අවශ්‍යතාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna   2019/11/13 – ලංකාදීප

නායකත්ව ගැන නොයෙක් නිර්වචන තිබේ. දාර්ශනිකයෝ නායකත්ව ලක්ෂණ ගැන විශේෂ අධ්‍යයනය කර, විවිධ අනාවරණ දක්වා ඇත. මානව ශිෂ්ඨාචාරයේ ආරම්භක වකවානුවේ දී ගෝත‍්‍රයකට නායකයෙකු අවශ්‍ය වූයේ ඇයි? ආරක්ෂාව, ආහාර සම්පාදනය හා මග පෙන්වීම අපේක්ෂා කරන්නට ඇත. වර්තමාන යුගයේ නායකයන්ගෙන් අපේක්ෂා කරන ගුණාංග මොනවාද? ජන සමාජයක් සිය නායකයා තෝරා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු පැති කවරේද? මෙකී පැති ගැඹුරින්  සාකච්ඡා කළ යුතුය.

ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා නොබෝදා ප්‍රසිද්ධ සාකච්ඡාවක දී වැදගත් කරුණු ගණනාවක් අනාවරණය කළේය. ඔහු ගේ දියණිය හා සම වයස් තරුණ යුවතියක සමග කරන ලද එම සාකච්ඡාවේ දී ‘‘පිරිසිදු මිනිසුන් නැති අතර හැම දෙයක්ම දන්නා දක්ෂ අය කොහොමටවත් නැති බව’’ ඔබාමා පැහැදිලිව කියා සිිටියේය. ‘‘යහපත් දේ කරන අය අතර නරක ගුණාංග තිබිය හැකි අතර විරුද්ධවාදීන් තුළ පවා එකග විය හැකි ගුණාංග පවතින’’ බව ද සදහන් කළේය. ‘‘අනෙක් කෙනාගේ වරද පමණක් සොයා බැලීම නූතන යුගයේ අලූත් තරුණ පරම්පරාවේ දුබලතාවයක්’’ බව හෙතෙම මෙම සාකච්ඡාවේ දී පෙන්වා දුන්නේය. ‘‘අනුන්ගේ වරද දැක මම දක්ෂයි කියා කල්පනා කිරීම සුදුසු නැති’’ බව දක්වන බැරක් ඔබාමා ‘‘තමන් ගැනම තෘප්තියෙන් ක‍්‍රියා කිරීමෙන් පමණක් නායකයෙකුට සමාජයේ වෙනසක් කරන්නට පුලූවන්කමක් නැති බව’’ මෙම සාකච්ඡාවේ දී තව දුරටත් අවධාරණය කළේය. ‘‘අනුන්ට ගල් ගැසීමෙන් පමණක් නායකයෙකුට දිග ගමනක් නැති අතර එය සමාජ මෙහෙවරක් නොවන බව’’ ද දක්වා ඇත. දීර්ඝ සාකච්ඡාවක් වන මෙහි ඇතුලත් කරුණු අන්තර් ජාලයෙන් කියැවූ සෑහෙන පිරිසක් එයට ප‍්‍රතිවාර දක්වා තිබේ. එක්තරා ඇමරිකානු පුරවැසියෙකු ලියා ඇති සටහනක් ඉතා වැදගත්ය. ‘‘ඔබාමා මහත්මයාට කිසිම වතාවක ඡන්දය පාවිච්චි නොකෙළෙමි. දේශපාලන ප‍්‍රතිවාදීත්වය තුළින් බලාපොරොත්තු සුන්නොකරන පසුබිමක් තුළ ඔහු නැවතත් අපේක්ෂා කරන බව’’ දක්වා තිබේ.

නායකයන් හදුනාගැනීම තුළ එවැනි ප‍්‍රශ්නයක් ඇත. තීරණයක් ගැනීමෙන් පසු පශ්චාත්තාපය ඇතිවෙයි. තමන් හොදම තීන්දුව නොගත් බව දැනෙන්නට පටන් ගනී. අද යුගයේ ලෝකයේ සෑම රටකම අර්බුද තිබේ. අවාසනාවන්ත ගැටුම් හටගෙන ඇත. සමහර සිද්ධි වලට හේතු වූ පසුබිම පවා සොයා ගත නොහැකිය. ජනතාව නැගී සිටින අතර විරෝධතා පැන නගියි. අත්දැකීම් සහිත දාර්ශනික නායකයෙකු වශයෙන් ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ස්වභාවය අවබෝධ කරගෙන තිබේ. නායකත්වය තුළ තිබිය යුතු සංවේදීභාවය දැනෙන්නේ පසු කාලයකය.

ශ‍්‍රී ලාංකේය ජන සමාජය වැරදි දකින්නට සමත්ය. අනුන් ගේ හොදක් දකින්නේ නැති අතර මමත්වය ඉතා බලවත්ව තිබේ. පවතින දුබලතා වටහා ගැනීම වැදගත්ය. නායකයෝ යනු මෙකී ජන සමාජයේ කොටසකි. ජන නායකයන්ට පමණක් නොව පොදු ජනතාවට ද බලවත් වගකීමක් තිබේ. පරිනත ද්‍රෘෂ්ටියකින් ක‍්‍රියා කළ යුතුව ඇත. නිදහස ලබා ගැනීමෙන් පසු ගෙවී ගිය දශක හතක කාලය තුළ ශී‍්‍ර ලංකාවේ පැවැත්ම ගැන අවධානය යොමු කළ යුතු අතර මෙතෙක් අනුගමනය කළේ අනුන්ට ‘‘ගල් ගැසීම පමණක්’’ බව කල්පනා කිරීම සුදුසුය. අප සියළු දෙනා අතර ‘‘නරක පමණක් නොව යහපත් ලක්ෂණ’’ ද තිබේ. නරක අතහැර හොද පැත්ත ප‍්‍රයෝජනයට ගෙන පැවැත්ම සම්බන්ධයෙන් පරිවර්තනයකට අවස්ථාව ලබා ගැනීම සුදුසුය.