බලය යනු යුක්තිය නොවේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

m prash

2019 /12/25 – ලංකාදීප

ගැලවුම්කාරයාණෝ පහල වූ නත්තල් දිනය උදා වී තිබේ. ප‍්‍රධාන දේවමෙහෙය ඊයේ රාත‍්‍රියේ පැවැත්විණ. බෙත්ලෙහෙම් නගරයේ දී ජේසු බිළිදා උපන් අවස්ථාව කිතුනුවෝ මහත් භක්තියෙන් සමරති. ගැලවීමේ පණිවුඩය යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ ලෝකයට ගෙන ආහ. ජනී ජනයා පාපය ඇතුළු සියළු දෙයින් ගලවා ගැනීම උන්වහන්සේ ගේ අභිප‍්‍රාය විය. සාමය උදාකරන අතර සමාජ සමානාත්මතාව ඇතිකර පේ‍්‍රමය පැතිරවීමට යුහුසුළු විය.

ත‍්‍රිපිටකය, තිරුක්කුරල්, බයිබලය හෝ කුරානය වෙනස් දෙයක් උගන්වා නැත. සාමය සහ සමාදානයට මග පෙන්වා දී තිබේ. සාමය ඇතිකරන්නේ වෛරයෙන් නොවේ. සියළු මනුෂ්‍යයෝ ආගමික දර්ශනය අවබෝධ කරගත යුතුය. නත්තල් සීනු හඩ පමණක් නොව පන්සලේ ඝන්ඨාර නාදය ද කියා දෙන්නේ මනුෂ්‍යත්වයේ අගයයි. අලූතින් දැයක් තන්නට නම් ආර්ථික, සමාජ පමණක් නොව ආගමික දර්ශනය ද මුහු කළ යුතුය. සමාජ විනය ඇති කර අලූත් යුගයක් ඇති කරන උවමනාව වත්මන් පාලනයට තිබෙන බව පෙනේ. රට එකතුකර එක්සත් කරන ප‍්‍රයත්නයක පසුවෙයි. 2020 උදා වෙන්නේ නැවුම් බලාපොරොත්තු සහිතවය. අපේක්ෂා සාක්ෂාත් කරන කාල යුගයක් නිර්මාණය කරගැනීම අප සියළුම දෙනාගේ පුලූල් වගකීමකි.

අර්බුද නිරාකරණය කරන රාජ්‍ය පාලනයක දී යුක්තිය සහ සාධාරණත්වය ක‍්‍රියාවෙන් සහතික කළ යුතුය. වෛරය තුරන් කිරීම අරභයා පැහැදිලි තහවුරුකිරීමක් අවශ්‍යය. ධර්මයෙහි හැසිරෙන තැනැත්තා ධර්මයෙන් ආරක්ෂා කරයි. ජනවරම ලැබුණ පදනම අනුව ආණ්ඩුව කි‍්‍රයාකළ යුතු රාමුවක් තිබේ.

මෙරට දේශපාලන ඉතිහාසය සිද්ධි හා කැලැල් වලින් බහුලය. පලිගැනීම අවිචාරවත් සේ භාවිතා කර තිබේ. ප‍්‍රතිවාදියා මර්දනය කර ජන සමාජයක් එකතු කරන්නට පුලූවන්කමක් නැත. දේශපාලන පලිගැනීම් අතීතය දෙස බලන විට 1977 වසර සන්ධිස්ථානයකි. එයට කලින් නොතිබුණා නොවේ. නිලධාරීන්ගෙන්, පාක්ෂිකයන් පලිගැනීමට ලක් වූ එකල එය අහිංසක සිද්ධි ලෙස සටහන් විය. ක‍්‍රමයෙන් බෝ වී හැදී වැඞී වර්ධනය වූ පලිගැනීම අද විෂම චක‍්‍රයකි. ඇමැතිවරු බලන්නේ ඉදිරිය දෙස නොව කලින් කරන ලද වැරදි ගැනය. නිලධාරීහු තනතුරුවලට එන්නේ අනාගතයේ දිනක පලිගැනීමට ලක්වන බව මතකයේ තබාගනිමින්ය. ආණ්ඩුවක් බලයට පත්කරන පාක්ෂිකයෝ කල්පනා කරන්නේ අනෙක් පාක්ෂිකයා අභිබවා තමන්ට ලැබෙන අවස්ථා ගැනය. මේවා ජනතාව එකතුකරන, රට එක්සේසත් කරන කාරණා නොවේ.

ස්වාධීන පොලිස්, ස්වාධීන අධිකරණ බව ප‍්‍රකාශ කරන අතරවාරයේ විනිවිද පෙනෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් යැයි සළු පිළි පළදවන ලද නමුත් පැවැති ආණ්ඩුව ප‍්‍රතිවාදීන් මර්දනයට ගෙන ගිය පිලිවෙල ආදර්ශයට ගත යුතු නැත. බලය යනු යුක්තිය යැයි තීරණය කිරීම වරදකි. විශේෂ අධිකරණ පිහිටුවා, ව්‍යවස්ථා වෙනස් කර නැවතත් බලයට එන්නට ඉඩනොදෙන පියවර අනුගමනය කළේය. ඔවුහු කළ දේ රැගෙන ගොස් තිබේ. යහපාලනය යමපාලනයකින් අවසන් වූ බව දේශපාලන වේදිකාවේ කියැවෙයි.

පසුගිය ආණ්ඩුවේ නියෝග හෙයින් පොලිසිය දේශපාලන තීන්දු අනුව ක‍්‍රියා කර ඇති බව ඔප්පු වී තිබේ. එයින් නීතිය ගැන සැකය බලවත් විය. අධිකරණය හෑල්ලූ වී තිබේ. එය කෙරෙහි තිබුණ විශ්වාසය පලූදු වී ඇත. යුක්තිය සහ සාධාරණත්වය තහවුරු කර පැරණි වැරදි නිවැරදි කරනු වැදගත්ය. එයට අවශ්‍ය නෛතික බලගැන්වීම සුදුසුය. පාපයෙහි ගැලී සිටි තැනැත්තෝ එයින්ම පිරිහීමට ඉඩහරිනු හැර දේශපාලන බලය ප‍්‍රයෝජනයට ගෙන දඩයම් කරන බව දැනෙන්නට ඉඩ හැරීම සුදුසු නැත. නීතිය, යුක්තිය කෙරෙහි ඇති විශ්වාසනීයත්වය පලූදු කරන පලිගැනීම් රටට අනවශ්‍යය. මෙතැනින් සිද්ධි අහවර කළහොත් සමාජ ක‍්‍රමය අලූතින් බිහිවෙයි. කරන ලද වරද සමාජය හමුවේ පාපෝච්චාරණය කර ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින ක‍්‍රමයක් යෝජනා කළ හැකිය. දේශපාලනඥයෙකු නම් සමාව ගෙන දේශපාලනයෙන් ඉවත්විය යුතුය. සමාව යනු සියල්ල අමතක කිරීම නොවේ. දකුණු අප‍්‍රිකාවේ සත්‍ය කොමිසම ආදර්ශයකි.

 

මතු පිටින් පෙනෙන දේ සත්‍යම විය හැකිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2019/12/18 – ලංකාදීප

m prash

‘‘ඇටසැකිලි සෙවූ අය සොයා ගත්තේ සපත්තු’’ යැයි අලූත් කියමනක් එකතු වෙන්නට බැරි නැත. එය අලූතින් නිකුත් වූ වාර්තා චිත‍්‍රපටියක ප‍්‍රධාන චරිතයක ප‍්‍රකාශයකි. එක්තරා කාලයක දී මුළු ලෝකය ආන්දෝලනාත්මක චරිතයක් වූ පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයාගේ බිරිද ඉමෙල්ඩා මාකෝස් එය ප‍්‍රකාශ කරන්නීය. ‘‘මතු පිටින් දකින දේ නොඑසේ නම් හැගීම් යනු ඇත්ත නොවන’’ බව ද ඉමෙල්ඩා මෙම චිත‍්‍රපටියේ තීරණාත්මක අවස්ථාවක දී කියා සිටී.

‘‘ද කිං මේකර්’’ නමැති මෙම චිත‍්‍රපටිය නොබෝදා තිරගත කිරීම ආරම්භ වූ අතර එය දැනටමත් ලන්ඩන් හා ස්ටොක්හොම් චිත‍්‍රපට උළෙල නියෝජනයට වරම් ලබා තිබේ. චිත‍්‍රපටයේ මුල් භාගය 1965 සිට විසි එක් වසරක් පිලිපීනය පාලනය කළ මාකෝස් පවුල වටා කේන්ද්‍ර ගත වී ඇත. 1986 දී මතු වූ ජන අරගලය ජනාධිපති පර්ඩිනැන්ඞ් මාකෝස් බලයෙන් පහකරන ලද අතර දූෂණය, භීෂණය හා බලය අයුතු සේ පාවිච්චි කිරීම යනා දී කරුණු චෝදනා වශයෙන් එල්ල වී තිබුණි. ජන අරගලය හමුවේ දරුවන් දෙදෙනා සමග රටින් පලාගිය මාකෝස් පවුල ඉතා රහසිගතව ජීවත් වූ අතර වසර තුනකට පසුව හොනලූලූ වල දී පරිඩිනැන්ඩස් මාකෝස් ජීවිතක්ෂයට පත් විය.

ද කිං මේකර් චිත‍්‍රපටියේ දෙවන භාගය අනුව මාකෝස් පවුලේ අලූත් පරපුරේ නැවතත් නැගීම දක්වයි. ඉමෙල්ඩා මාකෝස් මෙහි දී ප‍්‍රධාන භූමිකාවක් නිරූපනය කරන අතර සත්‍ය කුමක්ද යන්න ඇය ප‍්‍රශ්න කරන්නීය. ලැබෙන තොරතුරු අනුව කිසිම සොයා බැලීමක් නැති පසුබිමක මතු පිටින් ගන්නා තීන්දු වලින් සත්‍ය අනාවරණය නොවන බව ඇයගේ හෘද සාක්ෂිය අනුව පෙන්වා දී තිබේ.

මාකොස් පවුල පලවා හරින බලවේගය ඉතා දරුණු චෝදනා එල්ල කරන ලද නමුත් දශක තුනකට පසු ආත්මීය පාපෝච්චාරණයක් මෙම චිත‍්‍රපටියේ දී සිදුවෙන බව දැක්විය හැකිය. එය හුදෙක් මාකෝස් පවුල කලූ පැහැයෙන් සුදු පැහැයට හරවනු පිණිස නිර්මාණය කරන ලද එකක් නොවේ. නමුත් අභ්‍යන්තරය මැනැවින් විදහා දක්වයි. සත්‍ය කුමක්ද යන්න සොයාගැනීමට ප්‍රෙක්ෂකයා පොලඹවයි.

අප ජීවත්වන්නේ ප‍්‍රාථමික යුගයේ සිට විකාශය වූ අද වන විට සමාජ මාධ්‍ය නමැති තීරණාත්මක තැනක පවතින සන්නිවේදන ව්‍යුහයකය. තොරතුරු අනාවරණය කරන බව දක්වන නමුත් සන්නිවේදන ජාලාවලින් අනාවරණය කරන දේ අතරින් යම් ප‍්‍රතිශතයක් අසත්‍ය හා අභූත චෝදනා බව පැහැදිලිවෙමින් තිබේ. ජන මතය වෙනස් කිරීම සදහා නූතන සමාජ මාධ්‍ය සියුම් බලපෑමක් කරයි. එය කොපමණ හානිදායක ද යන්න විනිශ්චය කරන්නේ නැත. අද පවතින සමාජ මාධ්‍ය වඩා ප‍්‍රබලය. සංකීර්ණය. එක හෙලා අවධාරණය කරන යම් තොරතුරක් තවත් සුළු මොහොතකින් අසත්‍යයක් බවට හැරේ. දශක තුනකට පසු සාධාරණත්වය ඉල්ලා සිටින මාකෝස් පවුල එහි එක් පැත්තක් පමණකි. ජීවිතාරක්ෂාව පතා රටින් පැන ගිය මාකෝස් පවුලේ ඊළග පරම්පරාව නුදුරු දිනයක නැවතත් පිලිපීනයේ පාලකයා විය හැකි බව දැනටමත් සනාථ වෙමින් තිබේ. පිලිපීන වැසියෝ ගොදුරු වූ අසත්‍යය කොපමණ භයානක ද යන්න තේරුම් ගැනීමට මෙය එක සාක්ෂියකි.

ගැටළු පැන නැගෙන විට ඒවා නිරාකරණය කරගන්නා ක‍්‍රමයක් තිබේ. සම්ප‍්‍රදායයන් ඇත. අත්දැකීම් බහුල වියතුන් ගෙන්  උපදෙස් ගත හැකිය. බුද්ධ දේශනාවේ සදහන් කරන පරිදි රත්රන් පිරිසිදු ද කියා බලන්නට රන්කරුවා කපා, කොටා, පුලූස්සා බලන්නාක් මෙන් සත්‍ය අනාවරණය කරගත යුතුව තිබේ. අප සියළු දෙනාටම එම අභ්‍යාසය නැත. සත්‍ය යැයි පෙන්වන දේ තුළ අසත්‍ය තිබේ. මිත්‍යාව ඇත. සත්‍ය යැයි නොයෙක් මත ඇති කරන අතර මතය ඇතිකරන උවමනාව පිටුපස අනාවරණය නොවන භයානක අරමුණු තිබේ. නිතිපතා සිදුවන සිද්ධි විශ්ලේෂණය කර තේරුම් කරගැනීමට තරම් පරිපූර්ණ පරිනත බවක් ජන සමාජය තුළ නැත.  ද කිං මේකර් චිත‍්‍රපටය උගන්වන පාඩම එයයි.

සග සසුනට විනය සංගායනාවක් අවශ්‍යයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

m prash

2019/12/11 – ලංකාදීප

වසර 2020 අලූත් යුගයකට ඇතුළුවන මුවදොරකි. එය තාක්ෂණික යුගයක් වනු ඇති අතර අප අද ගතකරමින් සිටින ජීවිතය සම්පූර්ණයෙන් අලූත් මුහුණුවරක් ගනු ඇතැයි විශ්වාස කෙරේ. ජංගම දුරකතනය හා අන්තර් ජාලය හදුන්වා දීමෙන් පසු ගත වූ දශක දෙකක පමණ කාලය එයට හොද සාක්ෂියකි.

බුදු දහම තොරතුරු තාක්ෂණ යුගයට ගැලපෙන ධර්මය වශයෙන් සැලකේ. බුදු රජාණන් වහන්සේ ගේ දේශනාව අකාලිකය.  ඕනෑම යුගයකට ගැලපෙන අතර අන්තවාදයෙන් බැහැරය. මැදුම් පිලිවෙතෙහි අගය ජීවිතයකට කියා දෙයි. බුද්ධ දර්ශනයට සමීපවීම නූතන සමාජ ස්වභාවය හමුවේ ලබාගත හැකි යහපත්ම පියවර වී තිබේ. ලෝකයේ නොයෙක් රටවලින් බුදු දහම කෙරෙහි පැහැදී එය වැළද ගන්නා ජන කොටස් ගැන තොරතුරු වාර්තා වෙයි. මෙවැනි පසුබිමක දී ජාත්‍යන්තරය වෙත ශ‍්‍රී ලංකාවෙන් ලබා දිය හැකි වැදගත්ම දායාදය වශයෙන් බුදු දහම පෝෂණය කිරීම ඉතාම වැදගත්ය.

බුදු දහම ලිඛිතය. එය අන්තර් ජාලයේ ලෝක ව්‍යාප්තව පවතී. බුදු දහම ආරක්ෂා කරන දහම අනුව හැඩගැසී ලෞකික ජීවිතය අත්හරින්නට කැපවූ මහා සංඝරත්නයේ පැවැත්ම ගැන ගැටළු පවතී. බුදු දහම කල්ප කාලාන්තරයක් පවතිනු ඇති බවට විවරණ දී ඇති බව පැවසෙන ශ‍්‍රී ලංකාවේ මහා සංඝරත්නය අතරින් සුළු කොටසක ගේ හැසිරීම සියළු පාර්ශව වලට ප‍්‍රශ්නයක් වී ඇත. දේශපාලනයට අවතීර්ණවීම එයින් ප‍්‍රමුඛය. බුදු රජාණන් වහන්සේ පවා ශද්ධෝදන රජු අමතා දේශනා කළේ ඔබ රාජ්‍ය වංශයේ වන අතර මම බුද්ධවංශයේ බවය. බුද්ධ වංශය සතු අනන්‍ය ඇවතුම් පැවැතුම් පවතින අතර ගිහි සමාජය හා රාජ්‍ය සමග සම්බන්ධතා දුරස්ථය. ශ‍්‍රමණ භාවය සසරින් එතෙරවීමට පමණක් නොව ජනී ජනයාට දුකින් ගැලවී නිවනට ප‍්‍රවේශ වන මග දැක්වීමටය. මෙකී යතාර්ථය අමතක කළ යුතු නැත.

ශාසනික පැවැත්මට අභියෝග එල්ල වූ සෑම අවස්ථාවකම සංගායනා පවත්වා තිබේ. ධර්ම සංගායනා පැවැත්වීම අවශ්‍ය ද යන සාකච්ඡාව මෙහි දී පැන නැගේ. ලිඛිතව, සුරක්ෂිතව ඇති බුද්ධ දේශනාව මිශ‍්‍ර වී නැත. දහම අනුගමනය කරන සහ ජනතාව වෙනුවෙන් දේශනා කරන මහා සංඝරත්නයේ භූමිකාව සංගායනාවකට ලක් කළ යුතුව තිබේ. නූතන තාක්ෂණික යුගයේ දී මහා සංඝරත්නය සතු කාර්යභාරය සමාලෝචනය කිරීමට පුලූල් පදනමක් එයින් සැපයෙනු ඇත. භික්ෂු අධ්‍යාපනය ගැන අවධානය යොමු කළ හැකිය. භික්ෂු ආකල්ප හා සමාජ වගකීම කෙරෙහි අලූතින් හිතන්නට අවස්ථාව ලැබේ. සංඝාධිකරණය පිහිටුවා  දැනට මිශ‍්‍ර වී ඇති ව්‍යුහය ඈත් කරන්නට මග පාදා ගත හැකිය.

අස්ගිරි මල්වතු මහා නායක හිමිපාණන් වහන්සේලා ශික්ෂුන් වහන්සේලා මැතිවරණයට ඉදිරිපත්වීම ඇතුළු විනය උල්ලංඝනය වන පැති ගැන අදහස් දක්වා තිබේ. අමරපුර හා රාමඤ්ඤ යන නිකායයන් එකතු වී ඇති අතර නායක හිමිපාණන් වහන්සේලාගේ ස්ථාවරය ද එයින් බැහැර නැත. ශාසනයට අභියෝග එල්ල වූ අවස්ථාවේ දී පාලකයන්ගේ අනුග‍්‍රහය ඇතිව මහා සංඝරත්නයේ උවමනාව පරිදි කතිකා පවත්වා තිබේ. ඉතිහාසය එයට සාක්ෂි දරයි. ශ‍්‍රී ලංකාව බුදු දහමින් පෝෂිත රටක් වශයෙන් බහුජන හිත සුව පිණිස සංඝ සමාජය යාවත්කාලීන විය යුතු අතර විනය සංගායනාවක් පවත්වා සාසනය තුළ පැන නැගී ඇති ඇතැම් මත, ප‍්‍රතිපත්ති හා අනුගමනය කළ යුතු පිලිවෙත් ගැන සම්පූර්ණ විමර්ශනයක නිරතවීම සුදුසුය. මෙම වර්ෂාවසාන උදුවප් පොහොය දිනය මෙකී විෂයය ගැන අවධානය යොමු කිරීමට සුදුසු මොහොතක් බව පෙන්වා දිය හැකිය.

ජයග‍්‍රහණයේ අයිතිය කියා වරප්‍රසාද ඉල්ලීමේ බොළදකම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

2019 12 04 – ලංකාදීප

රටක් යටත් කරගත් පැරණි පාලකයෝ පරාජිතයන්ගේ වස්තුව බෙදා ගැනීමේ දී බේධ ඇති කරගෙන තිබේ. එය ඉතිහාසය පෙන්වා දෙන වැදගත් කරුණකි. ජයග‍්‍රහණයේ අයිතිය වෙනුවෙන් ද ගැටුම් පැවැති බව ප‍්‍රකාශවේ. ඇත්, අස්, පාබල හමුදාවෝ ජයග‍්‍රහණයට එකම සාධකය තමන් බව උලූප්පා දක්වති. ඉතිහාසය පෙන්වන සාමාන්‍ය ස්වභාවය එයයි. නූතන සමාජ ව්‍යුහය තුළ පවා ජයග‍්‍රහණය තමන්ගේ කරගන්නට සහ පරාජය අනුන්ට පවරන නැඹුරුවක් පවතී. හොද කළමණාකරනයක් ඇති, දියුණු ජන සමාජ පුද්ගල අයිතිය පැත්තකට කරන අතර කණ්ඩායම් හැගීම ශක්තිමත් කරති. එය සාර්ථකත්වයට නිසි මග දක්වයි.

අලූත් ආණ්ඩුව බලයට පත්වීම තුළ අයිතිකාර සංකල්ප මතු වී තිබේ. තමන් වැඩිපුර කැපවූ නිසා තමන්ට වැඩිපුර හිමිවිය යුතුය යන අදහසක් පැන නැගී ඇති බව පෙනේ. එය සුදුසු නැත. ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග‍්‍රහණය හා නැවත බලයට පත් වීම තුළ පවතින විවිධත්වය ආරක්ෂා කරගැනීම අවශ්‍යය. පුද්ගලයන් වශයෙන් තනි තනිව ලැබූ ජයග‍්‍රහණයක් නොවන අතර කණ්ඩායමක් ලැබූ එකකි. එකතුවීම අරමුණු කරගෙන නායකත්වයට අවනත විය යුතුය. ජයග‍්‍රහණය හමුවේ තමන්ට ලැබිය යුතු වරප‍්‍රසාද හෝ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයක වගකීම අරමුණු කරගෙන බලතල හෙට්ටු කිරීම සුදුසු නැත. ජයග‍්‍රාහකයා දෙස ජනතාව බලා සිටින අතර පරාජයේ ආරම්භය ජයග‍්‍රහණය සමරන මොහොතේ සිට ආරම්භ වන බව අමතක කළ යුතු නැත.

මෑත ඉතිහාසය තුළ අප සියළු දෙනා සෑහෙන පාඩම් ඉගෙන ගෙන තිබේ. සුනාමි ව්‍යසනය වැනි ඛේදවාචකයක් හමුවේ බෙදී අර්බුද ඇති කරගත්හ. යුද්ධය අවසන් කිරීමෙන් පසු සාමය තහවුරු කරනවාට වඩා හදිස්සියක් ජයග‍්‍රහණ බෙදා ගැනීමට තිබුණි. යහපාලනය ඇති කරන බව විෂයෙන් දක්වා බලයට පැමිණි පසුගිය ආණ්ඩුව එයට අනෙක් හොදම උදාහරණයකි. ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකම් හා වගකීම් අමතක කරන ලද අතර ඡන්දය ලැබුණේ තමන්ට යැයි කල්පනා කරන තනි ගමන් යන මානසිකත්වයක සිටියහ. එම ආණ්ඩුව පරාජය කර නැවතත් බලයට පත් වන අවස්ථාවේ දී ඉතිහාසය නැවත නැවතත් ප‍්‍රතිනිර්මාණය වන බව සිහිපත් කළ යුතුය. අධෛර්යයට පත්වන්නන් හා කලකිරීමට පත්වන පිරිස ඇතිකරන බේධ මහා විනාශයකට මග පාදනු ඇත. සොලී, කාලිංග මාඝ, පෘතුගීසි, ලන්දේසි හා පසුව ඉංග‍්‍රීසි ජාතිකයන්ට යටත් වූ කාල වකවානුවේ පවා අප අතර තිබුණ බේධ අවසාන තීන්දුව ඉක්මන් කරන ලද බවට සාක්ෂියකි.

පොදු ජනතාව ආණ්ඩුවක් පත්කරන්නේ පක්ෂයේ නායකයන්ට මැති ඇමැති ධුර බෙදා ගැනීමට නොවේ. පිරිසට සංස්ථා සභාපතිකම් හා අධ්‍යක්ෂක මණ්ඩල බෙදා ගැනීමට ද නොවන බව සදහන් කරන්නට අවශ්‍යය. තමන්ට ලැබුණ තරම සසදා කේවල් කිරීම ද සුදුසු නැත. කැපවීමකට පසු ලැබුණ අවස්ථාව තහවුරු කරගැනීමට කණ්ඩායමක් වශයෙන් ක‍්‍රියාත්මකවීම යහපත් පියවරකි. තවත් වැදගත් කාරණයක් තිබේ. සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂා සාක්ෂාත් කළ යුතුව තිබේ. එදිනෙදා ජන ජීවිතයේ දැවෙන ප‍්‍රශ්න වලට උත්තර ලැබිය යුතුය. එක පිරිසක් පැත්තකට කර අලූත් පිරිසක් ලොකු පුටු වල වාඩි කරවීමෙන් ජනතාව සතුටු කළ නොහැකිය. බලය තාවකාලිකය. කරන සේවය සදාකාලිකව අගය කරනු ඇත. යතාර්ථයට මුහුණ දිය යුතු අතර ජන ජීවිතය නගා සිටුවන පියවර වෙනුවෙන් ඉක්මන් තීන්දු ගැනීම වැදගත්ය.

ජනාධිපතිවරණයකින් හා මහ ඡුන්දයකින් පරාජයට පත්ව බලය අත්හරින්නට සිදුවූ පිරිසක් වෙත නැවත බලය පවරන්නට ජනතාව තීරණය කළේය. කලින් කළ වැරදි අමතක නොකරන ලද අතර පාඩමක් ඉගෙන ගෙන අලූත් ගමනකට ලැබුණ වරමක් බව කල්පනා කිරීම සුදුසුය. විවිධ මත එකතු කර එක අදහසකට ගොනු විය යුතුය. තාවකාලික වාසි පැත්තකින් තබා දීර්ඝ කාලීන ස්ථාවරත්වයක් වෙනුවෙන් තීන්දු ගැනීම ආණ්ඩුවේ සියළු සාමාජිකයන්ගේ වගකීම බව පෙන්වා දිය යුතුව තිබේ.