මහජන නියෝජිතයන්ගේ හෘද සාක්ෂිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2017/12/27 – ලංකාදීප
ජනතා කැමැත්තෙන් මහජන නියෝජිතයන් තෝරා පත් කරගැනේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය අනුව සිදුවන්නේ එයයි. ඡන්දය දී පත් කරන ජනතාව කෙරෙහි බැඳීමක් නියෝජිතයන් තුළ තිබේ. පාක්ෂිකත්වය ද යහමින් ඇත. දේශපාලන පක්ෂයක් නියෝජනය කර බලයට පත්වන මහජන නියෝජිතයන් ජනතාවගේ හඩට වඩා පක්ෂ නායකත්වයට අවනත වෙයි. ජනතාව හා පක්ෂය යන පැති දෙක අතර දෝලනයක් සිදුවන බව නිරීක්ෂණය කළ හැකිය. තීරණාත්මක අවස්ථාවක ජන මතය පැත්තකට කර පක්ෂයේ තීරණයට එකග වෙන්නට සිදුවෙයි. ජන නායකයන්ගේ හෘද සාක්ෂියට සිදුවන්නේ කුමක්ද? මහජන නියෝජිතයන් කි‍්‍රයා කරන්නේ හෘද සාක්ෂියට අනුව දැයි ලෝකය පුරා විවාදයක් තිබේ.

නොබෝදා බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය පක්ෂයේ නියෝජිතයන් හෘද සාක්ෂියට අනුව තීරණ ගැනීමෙන් අපහසුතාවයට පත් වූවාය. යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ නීති සම්මත කරගැනීමේ අවස්ථාවක දී ඇයගේ පක්ෂයේ නියෝජිතයන් පක්ෂව ඡන්දය දුන්නේ නැත. අගමැතිනිය ගේ පක්ෂ නියෝජිතයන් විසින් යෝජනාව පරාජය කළ අතර යුරෝපා සංගමයේ සැසිවාරයකට කලින් සිදුවූ අනපේක්ෂිත සිද්ධියකි. යුරෝපා සංවිධානයෙන් ඉවත්විය යුතු ද යන කාරණය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ පැවැති ජනමත විචාරණයේ දී බහුතරයක් ඉවත් විය යුතුය යන අදහසට පක්ෂව ඡුන්දය දුන් අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් හිටපු අගමැතිවරයා ඉල්ලා අස්විය. අගමැතිනි තෙරේසා මේ ධුරයට පත් වන්නේ ඉන් අනතුරුවය.

නායකයා ගේ අභිමතය පරිදි අනුගාමිකයෝ තීරණ ගැනීම පක්ෂ දේශපාලනයේ දී සාමාන්‍යයෙන් සිදුවෙයි. දශක කිහිපයකට පක්ෂ නායකයාගේ මතය බලවත් සේ සැලකීය. තම අදහස අනුව ක‍්‍රියා කරන්නට නැඹුරු වෙන ප‍්‍රවනතාවයක් පක්ෂයක පසු පෙල මන්තී‍්‍රවරුන් ගෙන් නිරීක්ෂණය වෙන්නේ මෑත කාලයේදීය. බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වූ සිද්ධිය එහි එක්තරා සන්ධිස්ථානයක් සේ සැලකිය හැකිය.

දේශපාලන පක්ෂයක මැති ඇමැතිවරුන්ට හෘද සාක්ෂිය අනුව තීරණයක් ගැනීමට නොහැකිද? ඇත්ත කුමක් වුවත් පක්ෂය දෙන නියෝගයකට අවනත විය යුතු ද? පක්ෂ නායකයාගේ තීරණයෙන් බැහැර තිරණයකට යා නොහැකිද? මෙකී ප‍්‍රවනතා අද විශාල සාකච්ඡුාවකට යොමු වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ ද දේශපාලන පක්ෂ තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රශ්න කළ යුතුය. චීනය වැනි රටවල එක පක්ෂයකි. නායකයා බලවත්ය. නායකයා ගොඩනැගෙන අනන්‍ය ක‍්‍රමයක් තිබේ. චීන ප‍්‍රජාතන්ත්‍රවාදය එරටට අනුකූලය. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගෙන්නේ බි‍්‍රතාන්‍ය ආභාෂයෙනි. එම රාමුවට වඩා වෙනස් ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට ජනතාව කැමැති විය යුතුය. මෙරට පක්ෂයක් තුළ ඇති ප‍්‍රතිපත්ති කෙසේ වෙතත් විශේෂයෙන් නායකයාගේ තීරණයට එරෙහි විය නොහැකිය. පක්ෂ තීරණයකට විරුද්ධ වුවහොත් විශාල අවදානමකට මුහුණ දෙන්නට සිදුවෙයි. පක්ෂයේ යෝජනාවකට විරුද්ධව ඡන්දය පාවිච්චි කළහොත් එම නියෝජිතයා එක පැත්තකින් පක්ෂයේ අපවාදයට ලක්වෙයි. අනෙක් පැත්තෙන් එය හෘද සාක්ෂියට අනුව ඡන්දය පාවිච්චි කිරීමක් වශයෙන් ජනතාව හිතන්නේ නැත. පක්ෂ මරු කිරීම, ධනය හුවමාරුවීම, වැරදි සම්බන්ධ ෆයිල් පැත්තකට කිරීම යනා දී වශයෙන් එකිනෙකට වෙනස් මතිමතාන්තර ඉදිරියට පැමිණීම වැලැක්විය නොහැකිය. ජනතා නියෝජිතයන් හැසිරෙන ආකාරය ගැන ජනතාවට සැකයක් හා අවිශ්වාසයක් තිබේ.

ජනතාව විරුද්ධව ඡන්දය පාවිච්චි කර තිබිය දී පවා යුරෝපා සංවිධානයෙන් ඉවත්වීමේ නීති ක‍්‍රියාවලියට පක්ෂ නොවීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිතයන්  තීරණය කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තේරුම් ගැනීමට අවස්ථාවකි. බරපතල යෝජනාවක දී පවා තම පක්ෂයේ සාමාජික සගයන්ට විරුද්ධවීමට අයිතිය ලබා දීම දේශපාලන නායකත්වය සතු උසස් ප‍්‍රවණතාවයක් සේ හදුනාගත යුතුය. එය සමස්ථ ප‍්‍රජාවම අපේක්ෂා කරන මහජන නියෝජිතයන්ගේ හෘද සාක්ෂිය සම්බන්ධ සංකේතයක් වශයෙන් සලකා බැලීම සුදුසුය.

Advertisements

අහස අල්ලන උස ගොඩනැගිලි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2017/12/20 – ලංකාදීප

අහස අල්ලන තරම් උස ගොඩනැගිලි ඉදිකිරීම තරගයක් සේ පැවැති කාලයක් තිබිණි. ලෝකය පුරා තැන් තැන් වල අති විශාල මහල් සංකීර්ණ ගොඩනගන ලද අතර උසම ගොඩනැගිල්ල ඉදිකර ඉතාම කෙටි කාලයක් තුළ එහි වාර්තාව තවත් රටක ඉදි කරන අලූත් ගොඩනැගිල්ලකින් බිඳ හෙළන තරමට එය වේගවත් වූ බව නිරීක්ෂණය කළ හැකිය. මහල් ගොඩනැගිලි තැනෙන ප‍්‍රමාණය අනුව මිහිතලය පුරා පැවැති සොබාසොදුරු බව අතුරුදහන් වන බව පැහැදිලිව නිරීක්ෂණය විය.

අලූත් දේ ගැන හිතන ගූගල් සමාගම මහල් ගොඩනැගිලි ඉදිරිකිරීම වෙනුවට පොලවේ හැඩයට අවනත වන්නට තීරණය කර තිබේ. ලන්ඩන් හි නව මූලස්ථානය පොලවට සමාන්තරව ඉදි කෙරේ. ඉදිකිරීමෙන් පසු එය එපමණ උස එකක් වෙන්නේ නැත. පොලවේ හැඩය අනුව දිගට පිහිටන එකකි. නමුත් එහි දිග අනුව කෙලින් කර සලකා බැලූවහොත් ලන්ඩන් නගරයේ උසම ගොඩනැගිල්ල විය හැකිය. කාර්යාල හා නිවාස සංකීර්ණයක් වන ෂාර්ඞ් ගොඩනැගිල්ල 2010 වසරේ සිට ලන්ඩන් නගරයේ උසම තැන යන ස්ථානය දිනාගෙන සිටියේය. අවශ්‍ය නම් එය පරාජය කර ඉහළට ගොඩනගන්නට ගූගල් සමාගම තන්නනට යෝජිත කාර්යාලයට බාධාවක් නොවීය. පරිසර අන්‍යතාවය ආරක්ෂා කරන අදහස ඇති ගූගල් සමාගම පොලවට සමාන්තරව අඩි 1,082 ක් දිග හැඩයට තම අලූත් කාර්යාලය තනන්නට තීරණය කර තිබේ. එය මහල් එකොලහකට සීමා වූ වර්ග අඩි මිලියනයක පැතිරුණ අවකාශයක් සහිත එකකි.

මහ පොලවේ පිහිටීම වෙනස් නොවන අන්දමට පොලවට සමාන්තරව ගොඩනැගිලි තැනීමේ ආකෘතිය ලන්ඩන් නගරයෙන් ආරම්භ වී ඇති අතර ගූගල් එහි පළමු වැනි එකය. පොලවට සමාන්තර ගොඩනැගිලි ඉදිකිරීම ඉදිරි විසි වසර තුළ ලෝකය පුරා පැතිරෙන නවතම සංකල්පයක් වනු ඇති බව ප‍්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෝ අනාවැකි පළ කරමින් සිටිති. විශේෂයෙන් ඇමරිකාවේ අලූතින් ගොඩනැගෙන නගර වල මෙම සංකල්පය උපයෝගී වනු ඇතැයි සැලකේ.

මහල් වශයෙන්, පොලවෙන් ඉහළට නැගෙන ගොඩනැගිලි තන්නනට පෙළඹෙන්නට බලපාන ලද ප‍්‍රබල හේතුවක් තිබුණි. ඉඩම සීමා සහිතවීමය. ඉඩකඩ සලකා තට්ටු ගණනින් ඉහළට තැනෙන විට ඒවාට පහසුව සපයන අලූත් තාක්ෂණය ද සොයා ගන්නට සමත්විය. කේබල් රහිත විදුලිය සෝපාන ඒ අතර ප‍්‍රධාන වූ අතර එම සෝපාන පද්ධතිය ඉහළ නගින අතර අවශ්‍යනම්, ගොඩනැගිල්ලේ සමාන්තරව ඇවිදින විදුලි මංතීරු වශයෙන්  භාවිතා කළ හැකි තරමට තාක්ෂණයෙන් දියුණු කර තිබේ. උස ගොඩනැගිලි වලින් සිදුවන පරිසර හානි අවම කරනු සඳහා හරිත සංකල්ප අනුගමනය කරන්නට ද ජගත් ප‍්‍රජාව හුරු වූ බව සඳහන් කළ යුතුය.

උස වෙනුවට මහ පොලවේ හැඩය වෙනස් නොකරන සමාන්තර ඉදිකිරීම් වලට නැඹුරු වෙන්නට තීරණය කරන්නේ ඇයි?  කාලගුණ විපර්යාස අවදානමක් කෙරෙහි ලෝකය පුරා විශාල අවධානයක් ඇති හෙයින්ය. පොලව කැන, ගොඩකරන අතර ස්වභාවික තත්ත්වය වෙනස් කිරීම තවදුරටත් පරිසරයට හානියක් බව තේරුම් ගෙන තිබේ. උස ගොඩනැගිලි වලට වඩා මහ පොලවේ හැඩයට ඇති උස අඩු ඉදිකිරීම් අවදානම අඩු බව හිතන්නට පෙළැඹී තිබේ. පාරිසරික වෙනස්කම් වලට බලපාන අන්දමට ඉදිකිරීම් වල ලක්ෂණ වෙනස් නොකළහොත් ගැටළු ඇති විය හැකි ප‍්‍රත්‍යක්ෂ වී තිබේ. ගූගල් සමාගම සම්ප‍්‍රදාය වෛනස් කිරීම ආරම්භ කර ඇත.

ශ‍්‍රී ලංකාව ද මහල් ගොඩනැගිලි තැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව මෑත කාලය තුළ පෙනී යන කාරණයකි. එහි විද්‍යාත්මක ස්වභාවය හදාරන්නට අවශ්‍යය. පරිසර අවශ්‍යතා පදනම් කරගෙන මහ පොලොව  වෙනස් නොකර ගොඩනැගිලි හදන්නේ කෙසේ දැයි හිතා බැලීම සුදුසුය. ගෘහ නිර්මාණගීල්පීන් අලූත් ප‍්‍රවනතා කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

 

ආයෝජනයට අලුත් ප‍්‍රයෝගයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2017/12/13 – ලංකාදීප

විදේශ සමාගමක් ආයෝජනය සඳහා කැමැති කරගැනීම පහසු නැත. ලෝකයේ නොයෙක් රටවල් සහ ඒවායේ ප‍්‍රධාන නගර ප‍්‍රකට සමාගම් තමන් කෙරෙහි කැඳවාගනු සඳහා වෙහෙස වෙමින් සිටිති. ප‍්‍රකට අන්තර් ජාල අළෙවි සමාගමක් වන ඇමේසන් එම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීම සඳහා අලූත් ප‍්‍රයෝගක නිරත විය. නිව්යෝක් නරගයෙන් එපිට සිය දෙවැනි ප‍්‍රධාන කාර්යාලය පිහිටුවන්නට අදහස් කර ඇති බව ප‍්‍රකාශයට පත් කළ ඇමේසන් සමාගම හොඳම ප‍්‍රතිචාර ලැබෙන තැන ගැන අවධානයෙන් සිටී.

ඇමරිකානු ඩොලර් බිලියන පහක ආයෝජනයක් හා රැකියා ලක්ෂ පහක් සහතික කළ ඇමේසන් සමාගම දෙවැනි ප‍්‍රධාන කාර්යාලය සඳහා අවම වශයෙන් මිලියනයක ජනගහනයක් ජීවත්වන, හොඳ අධ්‍යාපනයක් පවතින, ප‍්‍රවාහන බාධා රහිත තැනක් සොයා බලන බව කියා සිටියේය. ගුවන් තොටුපොලක් අවශ්‍ය බව ද කොන්දේසි අතර විය. එම අදහස නිල වෙබ් අඩවියේ පළකර වැඩි කල් යන්නට මත්තෙන් ප‍්‍රධාන නගර වල නගරාධිපතිවරු හා රටවල් වල පාලකයෝ ඇමේසන් සමාගමට සිත් ගන්නා යෝජනා ඉදිරිපත් කළහ.

ඇමේසන් දෙවැනි ප‍්‍රධාන කාර්යාලය කැඳවනු සඳහා පාලකයෝ කැමැති වෙන්නේ ඇයි? 1994 දී ජෙෆ්රි බිසෝස් ආරම්භ කරන ලද අන්තර් ජාල වෙළඳාම සඳහා වූ මෙම ව්‍යාපාරය අද වන විට ඇමරිකානු ඩොලර් බිලියන හාරසිය පනහකට ආසන්න වන අතර තුන් ලක්ෂ පනස් දහසක පමණ පිරිසක් එහි රැකියා කරන බව වාර්තා වෙයි. ෆෝබ්ස් සඟරාවේ වර්ගීකරණය අනුව එය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ ඉතා බලවත් ව්‍යාපාරයකි. වොෂින්ටන් නගරයේ සියැටල් හි ප‍්‍රධාන කාර්යාලය පිහිටා ඇත.

දෙවැනි ප‍්‍රධාන කාර්යාලය සඳහා තැනක් සොයන බව කියන විට ස්ථාන 238 කින් එයට ප‍්‍රතිචාර ලැබුණ අතර එම සියළු රටවල් හා නගර ඉතා තරගකාරී කොන්දේසි, වරප‍්‍රසාද හා බදු සහන දෙන්නට සූදානම් බව කියා සිටියේය. ශක්තිමත් ආයෝජකයෙකු තමන්ගේ රටට හෝ පලාතට ගෙන්වා ගැනීමෙන් ලැබෙන ආර්ථික වාසි මෙම සියළුම දෙනා හොඳින් සලකා බලන්නට ඇති බවට සැකයක් නැත. ඇමේසන් සමාගම භාණ්ඩ අළෙවිය සම්බන්ධයෙන් අලූත් ව්‍යාපාරයක් ගොඩ නැගූ අතර ව්‍යාපාරය පුලූල් කිරීමේ දී ද අලූත් දර්ශනයක් ඉදිරිපත් කර තිබේ. තමන්ට අවශ්‍ය තැනක අලූතින් ආයෝජනයක් කරනු වෙනුවට ආයෝජන ගෙන්වා ගැනීමට කැමැති අය වෙන්දේසියකට කැඳවා ඇත.

එයට අනුව ඇමරිකාවේ නිව් ජර්සි ප‍්‍රාන්තය ඇමරිකානු ඩොලර් බිලියන හතක බදු සහන ප‍්‍රකාශයට පත් කළ හැකි බව දක්වා තිබේ. කැලිෆෝනියාව ඇමරිකානු ඩොලර් මිලියන තුන් සියය දක්වා බදු සහන වසර දහයකට දෙන්නට කැමැති වී තිබේ. ඉඩම් වෙන්කර දෙන්නට හා වෙනම ආයෝජන කලාප ඇති කර දෙන්නට කැමැති රටවල් ද සිටී. මෙකී යෝජනා ලැයිස්තු ගත කර ඇති ඇමේසන් සමාගම 2018 වසරේ දී දෙවැනි ප‍්‍රධාන කාර්යාලය සඳහා තෝරා ගන්නා තැන නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන බව දක්වා තිබේ.

ආයෝජන ගෙන්වා ගැනීම ගැන ශ‍්‍රී ලංකාවට ද සෑහෙන අත්දැකීම් ප‍්‍රමාණයක් තිබේ. ඉකුත් දශක හතර තුළ සෑහෙන ප‍්‍රවර්ධන කටයුතු කරන ලද නමුත් ජාත්‍යන්තර සමාගම් වල අවධානය දිනා ගැනීමට විශාල සමත්කමක් දක්වා නැත. පාලකයන් පමණක් නොව ජනතාව ද ආයෝජන පහසුවෙන් ලැබෙනු ඇති බව සිතයි. ආයෝජන කැදවා ගැනීම වෙනුවෙන් දෙන බදු සහන හෝ  වරප‍්‍රසාද ගැන රට තුළ විශාල විවාදයක් තිබේ. සහන පමණක් ප‍්‍රමාණවත් නැති අතර ව්‍යාපාර පහසු කරන ස්වභාවය වැදගත් බව පර්යේෂණ වාර්තා පෙන්වයි.

ජාත්‍යන්තර ආයෝජකයන්ට කෙසේ වෙතත් කුඩා ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් ආරම්භ කරන මෙරට ව්‍යවසායකයෙකුට මුහුණ දෙන්නට සිදුවන අත්දැකීම යහපත් එකක් නොවේ. නීති රීති, ජාතික හා පලාත් පාලන ආයතන වල අනුමැතිය, දේශපාලන බලපෑම් හා එයටත් වඩා දරුණු නිලධාරීවාදය ව්‍යවසායකත්වය බලවත් දුෂ්කර එකක් බවට පත් කරයි. ආයෝජන තීරණ ගැනීමට කලින් එම රටේ දේශීය ව්‍යවසායකයන් ගේ ව්‍යාපාර තෘප්තිමත් භාවය ගැන විදේශීය ආයෝජකයන් සොයා බව ද සඳහන් කළ යුතුය.

සම්ප‍්‍රදායික ආහාර වලට මුල් තැන

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2017/12/06 – ලංකාදීප

නගරයේ ජීවත්වන පිරිස අතරින් කිසියම් පිරිසක් පොළට යන්නට කැමැතිය. ගමෙන් එකතු කරන ලද අල, පලා,පලතුරු සහ ධාන්‍ය මිල දී ගත හැකි හෙයින්ය. දුර බැහැර ප‍්‍රදේශ වලින් එකතු කරගත් ද්‍රව්‍ය රැගෙන නගරයේ පොලට එන වෙළඳුන් ගෙන් යමක් මිල දී ගත් එම පාරිභෝගිකයෝ ආහාර වේල ගැන සතුටට පත් වෙති. නගරයේ සුපිරි වෙළඳ සැල් ද සම්ප‍්‍රදායික ආහාර වර්ග අළෙවි කරන තීරණයට පැමිණ ඇති බව පෙනේ. තම මතකයේ ඇති පැරණි දුලබ ආහාර පාන වර්ග කෙසේ හෝ හෝ සොයාගෙන අනුභව කරන්නට අකමැති කිසිවෙකු නැත. මෙරට පමණක් නොව ලෝකයේ සෑම රටකම පාහේ සම්ප‍්‍රදායික ආහාර වර්ගවලට අලූත් ඉල්ලූමක් ලැබී තිබේ.

සම්ප‍්‍රදායික ආහාර වර්ග වලට පාරිභෝගිකයන්ගෙන් ඉල්ලූමක් ලැබෙන්නේ ඇයි? එම ආහාර සිරුරට අහිතකර දෙයින් තොර ස්වභාවික ඒවා හෙයින්ය. රසවත් සහ පෝෂ්‍ය ගුණයෙන් අනූන බැවින්ය. මහා පරිමාන ආහාර නිපදවන හා ඒවා අළෙවියෙහි නිරත බලවත් සමාගම් නොයෙක් දුර්මත පතුරවමින් සිටි බවට මෑත කාලය තුළ චෝදනා එල්ල වී තිබේ. එකිනෙකා පරයමින් තම නිෂ්පාදන වලට වැඩි වෙළඳාමක් සොයා ගැනීමට සමාගම් කටයුතු කර ඇති බව ජාත්‍යන්තර වාර්තා පෙන්වයි. ශරීරයට නුසුදුසු සීනි ගැන අහිතකර නොපෙන්වා අනෙක් දේ ගැන මත ඇති කරන්නට සමාගම් මෙහෙයවා ඇත. බිත්තර වැඩිපුර ආහාරයට නිසුදුසු බව පමණක් නොව පොල්තෙල් අගුණ බවට ද ප‍්‍රචාරය කරන්නේ අනියමින් වෙළඳ පොල වාසි තකා බව අනාවරණය වී තිබේ. පර්යේෂණ වාර්තා අනුව සීනි යනු වසංගතයකි. රස යෙදු නවීන සකස් කළ ආහාර ශරීරයට නුදුසුදු බව ප‍්‍රකාශ වෙයි. දිගින් දිගටම පරිභෝජනය කරන නොගැලපෙන ආහාර රටා හෙයින් බෝ නොවෙන රෝග පැතිර යමින් තිබේ. ආහාර වලට කරන වියදම මෙන් දෙතුන් ගුණයක් සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරන්නට සිදුවී ඇත.

එවැනි පසුබිමක් තිබිය දී, අමතක කර ඇති ආහාර භෝග නැවතත් අනාවරණය කර ගැනීමේ ව්‍යාපාරයක් බි‍්‍රතාන්‍යයේ චාල්ස් කුමරු ආරම්භ කර ඇත. වසර 2050 වන විට බිලියන 9.8 ක්  පමණ විය හැකි වෙතැයි බලපොරොත්තු වන ලෝක ජනගහනයට අවශ්‍ය ආහාර නිපදවීමේ අභියෝගයට සමාන්තරව මෙම ප‍්‍රයත්නය ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අමතක කර ඇති ආහාර විශේෂ නැවත මතු කරගෙන යහපත් නිෂ්පාදන අළෙවි කරන වෙළඳ පොළ ක‍්‍රමයක් ඇති කළ යුතුයැයි තීරණයකට පැමිණ ඇත. හිතකාමී ආහාර භාවිතයෙන් ජනතා අභිවෘද්ධිය අපේක්ෂා කිරීම විද්වතුන්ගේ අපේක්ෂාව වී තිබේ.

ශී‍්‍ර ලංකාවේ නොයෙක් සංවිධාන මෙරටින් අතුරුදහන් වෙමින් පවතින ආහාර භෝග සංරක්ෂණයෙහි නිරතය. එය අගය කළ යුතුය. පැරණි භෝග සුළු වශයෙන් හෝ වගා කරමින් සිටී. වී වර්ග, අල බතල, එලවලූ හා ධාන්‍ය වර්ග ඒ අතර තිබේ. පලතුරු සහ පලා වර්ග ද සෑහෙන ප‍්‍රමාණයකි. වර්තමාන පරපුර නම පවා නොදන්නා ආහාරයට ගත හැකි බොහෝ දේ ලක් පොලවේ පවතින බව සඳහන් කළ යුතුය.

මෙරට මුතුන් මිත්තන් ආහාරයට ගත් ද්‍රව්‍ය එයින් ලැබූ ශක්තිය හා නිරෝගීකම ගැන සිහිපත් කිරීමට ද මෙය අවස්ථාවකි. විද්‍යාත්මක පර්යේෂණ වලින් තොරව පවා ඇඟට ගුණදායක ආහාර ගැන අවබෝධයක් පැවැතියේ භාවිතාවෙන් ලැබූ අත්දැකීම් අනුවය. අනවබෝධයෙන් සහ සමාගම් වල ප‍්‍රචාරණයට නැඹුරු වී නූතන පැකැට් කළ දේ අනුභවයට හුරු වී සිටින ලාංකිකයන් අප අවට සිදුවන දේ ගැන අවබෝධයකින් පසු විය යුතුය.

වෙළඳ පොල සිදුවන ආහාර අළෙවි යාන්ත‍්‍රණය කිසියඹ් ග‍්‍රහණයකි. එයට එපිටින් ඇති සම්ප‍්‍රදායික ආහාර වල යහපත හා ගුණදායක බව ගැන හිතන්නට අවශ්‍යය. රටට අනන්‍ය ආහාර වර්ග ගැන පවතින ඇතැම් දුර්මත දුරු කළ යුතුය. මෙරට පැවැති ආහාර සංස්කෘතිය ගැන නැවත අධ්‍යයනය කර ඒවා සොයා යාම ගැන අලූත් ආකල්ප අප ඇති කර ගැනීම සුදුසුදුය.