මහ පොළොව සුවපත් කරමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/02/24 – ලංකාදීප

ගෝලීය උණුසුම අද ජාත්‍යන්තර අවධානයට ගෙන ඇති විශේෂිත කාරණයකි. මිනිස් ක‍්‍රියාකාරකම් හෙයින් ඕසෝන ස්ථරයට හානි වෙමින් පවතින අතර එය මහ පොලව හිරු එළියට නිරාවරණය වන හේතුවක් වී තිබේ. හිරු තාපය ගෝලීය උණුසුමට බලපා ද්‍රැවීය අයිස් කඳු දියවෙනු ඇති අතර එය සාගර වල ජල මට්ටම ඉහළ නැග ගොඩබිම යටවෙනු පමණක් නොව කාලගුණ විපර්යාස ඇතුළු තව තවත් බරපතල තත්ත්ව වලට හේතු වනු ඇතැයි බරපතල සාකච්ඡා සිදුවෙයි.

කාලගුණ වෙනස්කම් වලකන අරමුණ ඇතිව, මෙතෙක් කරගෙන යන කාර්මික දහනය යම් ආකාරයකට සීමා කරන්නට ලෝක ප‍්‍රකට ව්‍යවසායකයෝ කණ්ඩායමක් එකමුතු වී සිටී. පැරිසියේ දි අවසන් වූ එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ සමුලූවට සහභාගී වූ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ඇතුළු ප‍්‍රමුඛ අර්ථපතියන් විසි අට දෙනෙකු පොසිල ඉන්ධන භාවිතය අඩු කරන්නට හැකි උපරිම දායකත්වය දෙන්නට තීරණය කරයි. එපමණක් නොව හරිත බලශක්තියට ජගත් ප‍්‍රජාව නැඹුරු කරන්නට ස්වකීය වත්කම් වලින් සැලකිය යුතු කොටසක් වෙන් කරන්නට කැමැත්ත පළ කර තිබේ. එය මහපොලව සුවපත් කරන අදහසකි.

බිල් ගේට්ස් තමන්ගේ පුද්ගලික වත්කම් වලින් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් ඉදිරි පස් වසර තුළ හරිත බලශක්තිය නිපදවන පර්යේෂණ වෙනුවෙන් ප‍්‍රදානය කරන්නට සූදානම්ය. වසර 2050 වන විට දැන් පවතින බලශක්ති ඉල්ලූම දැනට භාවිතා වන තරම මෙන් සියයට පනහකින් ඉහළ යනු ඇති අතර එය පියවන්නට හරිත බලය උපයෝගී කරගැනීම සුදුසු බව හෙතෙම දක්වයි. සුළං බලය පමණක් නොව හිරු එළිය ඒ වෙනුවෙන් උපයෝගී කරගත හැකි අතර දැනට පර්යේෂණාගාර මට්ටමින් පවතින අදහස් වානිජ වශයෙන් ඉදිරියට ගෙන භාවිතාවට අනුබලදීම මෙම බලවත් ව්‍යාපාරික සංසදයේ අවසාන ඉලක්කයයි.

මෙම සංසදය තුළ සිටින රටවල් අතරින් ඇමරිකාව, චීනය, ඉන්දුනිසියාව සහ බ‍්‍රසීලය කැපී පෙනෙන අතර මෙම සියලූ රටවල පුද්ගලික අංශයේ ව්‍යවසායකයෝ තමන්ගේ ධනය ඇමරිකානු ඩොලර් බිලියන ගණනින් යොදවා ලෝකය නැවත සිසිල් කරන්නට බලවත් ප‍්‍රයත්නයක් දරන බව නිරීක්ෂණය කළ හැකිය. මෙම පිරිස වෙනුවෙන් කරන අධ්‍යයන අනුව ගෝලීය උණුසුම සෙල්සියස් අංශක දෙකකින් අඩු කරන්නට දැන් කරන පුනර්ජනණීය බලශක්තිය තවත් ඉහලට ගෙන ආ යුතුය. එය ඇමරිකානු ඩොලර් බිලියන 270 ක සිට බිලියන 400 දක්වා පිරිවැයක් වනු ඇති අතර ඒ වෙනුවෙන් ජාත්‍යන්තරය දිරිගැන්වීම බිල් ගේට්ස් ඇතුළු පිරිස ගේ මහන්සියයි.

ජිවත්වන අප සියලූම දෙනා පමණක් නොව අපගේ දරු මුණුබුරන් ද අනාගතයේ දී ගොලීය උණුසම සහ කාලගුණ විපර්යාසයේ ගොදුරු බවට පත්වන්නට ඉඩ තිබේ. බලවත් රටවල් සහ දැවැන්ත ධනපති ව්‍යවසායකයන් ඒ ගැන භීතියක් ඇති කර දැවැන්ත ආකාරයට ධනය වියදම් කරන විට එය එම රටවල කාර්මීකරණයෙන් ලෝකයට සිදුවූ අවාසියට ගෙවන වන්දියක් වශයෙන් හඳුන්වන දැඩි මතධාරී කණ්ඩායමක් ද සිටින බව අමතක කළ යුතු නැත.
ශ‍්‍රී ලංකාව තෝරා ගත යුතු මෙම අදහස් දෙක අතර මැද මාවතයි. කාලගුණ විපර්යාස සිදුවෙමින් තිබේ. එය අධික වැසි පමණක් නොව අකලට එන දීර්ඝ නියඟ ලෙස දැනෙන්නට පටන්ගෙන තිබේ. ජාත්‍යන්තරය තුළ පවතින විවාදයේ යථාර්ථය තේරුම් ගෙන හරිත බලශක්තිය වෙනුවෙන් අවධානය යොමු කළ යුතුය. පොසිල ඉන්දන මිල අඩු වූ පමණින් අවධානය වෙනස්කළ යුතු නැත. එය අනාගතය වෙනුවෙන් ආයෝජනයක් පමණක් නොව මහ පොළව නැවතත් සුපුරුදු සැනසිලිදායක තැනක් කරන්නට කරන පරිත්‍යාගයකි. ඒ වෙනුවෙන් ප‍්‍රතිපත්ති තීරණ වෙනස් කිරීම, අලූත් අදහස් වලට ඉඩ දීම වැදගත්ය.

සංවර්ධන වේගය වැඩිවන විට සහ නාගරීකරණ තත්ත්ව යටතේ බලශක්ති භාවිතාව ඉහළ යන අතර මැදි ආදායම් රටක මට්ටමකට පත්වන ශ‍්‍රී ලංකාවේ බලශක්ති ඉල්ලූම සපයන්නට අනුගමනය කරන සැලසුම් හමුවේ හරිත ලක්ෂණ උපයෝගී වෙන්නේදැයි සොයා බැලීම වැදගත්ය. අලූත් නිවාස ඉදිකිරීමේ දී සිට මහා කම්හල් වෙනුවෙන් කරන ආයෝජන දක්වා බලශක්ති සංරක්ෂණය සහ පුනර්ජනණීය බලශක්තිය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන්නේ නම් ජාත්‍යන්තරයේ මහා ආයෝජකයන්ගේ අරමුණු සමග සමපාත වන්නට රටට හැකියාවක් තිබේ.

ජල කළමණාකරනය ගැන අසල්වැසියාගෙන් පාඩම්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/02/17 – ලංකාදීප

ජල කළමණාකරනය සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් රටට ඇත. අහසෙන් වැටෙන දිය වැව් තනා එහි එක් රැස් කර ඇල මාර්ග ඔස්සේ කෙත් බිම් වලට යොමු කර රට ධාන්‍යාගාරයක් කරන්නේ පෙර රජ දවසය. වැව සහ ජල කලමණාකරනය දුර්වල තැනකට පත්වෙන්නේ අධිරාජ්‍යවාදී කාලයේය. රට යටත් කරගන්නට නම් වැව විනාශ කර ලාංකිකයන් බේද භින්න කළ යුතු බව දැන සිටි බටහිර එය සාර්ථකව කරන ලද අතර නිදහස ලැබූ ශ‍්‍රී ලංකාව ස්වකීය අනන්‍ය තාක්ෂණයේ අභිමානය නැවත ඇති කරගැනීමේ සිහිනයෙන් යුතුව සිටින බව සදහන් කළහොත් එය නිවැරදිය.
මහවැලි ග`ග උතුරට හැරවීම මෙහි එක් පියවරකි. තවත් ඉදිරියට ගමන් කිරීම සදහා රට පුරා ඇති ගංගා ජලාශ කෙත් සරු කරන්නටත්, විදුලිය නිපදවන්නටත් උපයෝගී කර ගනිමින් සිටී.

ශ‍්‍රී ලංකාවේ උතුරු පලාතට වතුර සපයන යෝජනාවක් ගැන සාකච්ඡා දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා වෙයි. කලපු කරදිය වතුර පිරිසිදු කර බෙදා හැරීම ගැන කතා කරයි. නමුත් වන්නියෙන් ඔබ්බට දකුණෙන් දිය සපයන්නට තවමත් ස්ථිර වැඩ පිළිවෙලක් නැත. යාපනයට වාරි සම්පාදනය කළහොත් අතරමග කලාප වලට ජලය හි`ග විය හැකි බවට මතයක් පවතින අතර ස්වභාවික ජල පද්ධති වෙනස් කිරීම කාලගුණ විපර්යාස වලට හේතු විය හැකි බවට තද මතයක් සමාජය පුරා පැතිරෙමින් තිබේ. ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම බලකායෙන් සියයට තිහක් පමණ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය ආශ‍්‍රිත යැපීම් මාර්ගයක නිරත නමුත් මෙම පිරිස රටේ ආර්ථික වෘද්ධියට කරන දායකත්වය සියයට 11 ක් පමණ වී තිබේ. එය ප‍්‍රමාණවත් නැති එකකි. ඵලදායිබව අඩු කෘෂි අංශය තුළ යම් පරිවර්තනයක් කරන්නට නම් ඉඩම් භාවිතාව, ජල කළමණාකරනය සහ වගා කරන භෝග ගැන අලූතින් හිතන්නට අවශ්‍යව තිබේ.

අසල්වැසි ඉන්දියාව මේ දිනවල ආන්දෝලනාත්මක තීන්දුවක් ගෙන තිබේ. එයට අනුව කෘෂි අංශයෙහි බලවත් පරිවර්තනයක් විය හැකි අතර ජල කළමණාකරණය සම්බන්ධයෙන් ආසියාවේ ඉහළම ආදර්ශයක් වෙන්නට ඉඩ තිබේ. එම තීන්දුව ගන්නට ඉන්දියාව අවුරුදු හතලිහක් වාද විවාද කර ඇත. එරට අගමැති නරේන්ද්‍ර මෝදි ප‍්‍රධාන ගංගා තිස් හතක් එකිනෙකට සම්බන්ධ කරන තීරණයට එළැඹ ඇති අතර එය ෙඓතිහාසික එකක් වශයෙන් මහත් ප‍්‍රසාදයට ලක්ව තිබේ. ගංගා තිස් හත එකිනෙකට සම්බන්ධ වන විට කිලෝමීටර් 15,000 ක් දිග අලූත් ඇල මාර්ග තැනෙන අතර හෙක්ටයාර් මිලියන 35 ක් ගොවි බිම් අස්වද්දන්නට ඉලක්ක කර ඇති බව වාර්තා වෙයි. ගංගා යා කෙරෙන ඇල මාර්ග අතර මග දහස් ගණනින් කුඩා වැච් සහ ජලාශ ඉදිවන අතර මෙම ඇල මාර්ග ආශ‍්‍රිතව ඉදි කරන විදුලිය බලාගාර වලින් ගිගා වොට් තිස් හතරක ජල විදුලිය බල ප‍්‍රමාණයක් නිපදවා ගැනීම අපේක්ෂා කෙරේ.

ජලය කළමණාකරණය ඉන්දියාවේ අර්බුදකාරී මාතෘකාවකි. ඉන්දියානු ජාතික කොන්ග‍්‍රසය මෙම අදහස ඇතිව ක‍්‍රියා කරමින් සිටි නමුත් සෘජු තිරණයක් ගන්නට මැලිකමක් දැක්වූයේ එය විශාල දේශපාලන ප‍්‍රශ්නයක් බවට පත්වන හෙයින්ය. නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව ඒ වෙනුවෙන් පළමු පියවර තබා ඇති අතර මෙම සැලැස්ම අනුව ඉන්දියාවේ ඇතැම් නගර වලට බලපාන ගංවතුර තත්ත්වය පාලනය විය හැකි අතර නිය`ගය පරාජය කර ගොවියන්ට නිසි ලෙස වගා කරන්නට අවකාශය සැලසෙනු ඇතැයි නිවේදනය කර තිබේ.

ඉන්දියාවේ ගංගා සම්බන්ධ කරගෙන අලූත් ගොවි ජනපද හදන ව්‍යාපෘතියට වතුර හි`ගයෙන් පෙලෙන දුප්පත් ජනී ජනයාගේ සහාය ලැබෙමින් පවතින නමුත් රාජ්‍ය නොවන සංවිධාන, පරිසර හිතවාදීන් සහ දේශපාලනඥයන් මෙම යෝජනා ක‍්‍රමය ඉදිරියට ගියහොත් රට තුළ නොසිතන ආකාරයේ පරිසර විනාශයක්, ආර්ථික හානියක් සහ සංස්කෘතික පරිහානියක් සිදුවන බවට දරුණු මත ගොඩ නගමින් සිටී. ඉන්දීය ආණ්ඩුව ප‍්‍රකාශ කරන ආකාරය අනුව නම් සියලූ පැති අධ්‍යයනය කර අවසන් අතර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්නට සියලූ කටයුතු සූදානම්ය.
ශ‍්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වශයෙන් සශී‍්‍රකත්වයට පත්ව සිටි කාලයක් තිබිණ. කෘෂිකර්මය ලාභදායි එකක් නොවන සහ එයට නැඹුරුවන්නට තරුණන් උනන්දු නොවන හේතුව ජල සම්පාදනය පමණක් නොව ඒ වෙනුවෙන් පවතින ගැටලූ බව තේරුම් ගැනීම අවශ්‍යය. ඉන්දියාව අලූත් ඇල මාර්ග තනා රට තුළ ගංගා සම්බන්ධ කරන විට කෘෂිකර්මය දියුණු වන අතර එවැනි ප‍්‍රගතියක් අත් පත් කරගන්නේ තාක්ෂණික සහ සේවා අංශ වලින් ඉදිරියට පැමිණ ඇති අවස්ථාවකය. ජාත්‍යන්තරය තුළ ජල කළමණාකරණය පමණක් නොව ජල සංරක්ෂණය ගැන ද අලූත් අදහස් ඉදිරිපත්ව තිබේ. එකී පැති අධ්‍යයනය කිරීම රටට ඉතාමත් වැඩදායකය.

තාක්ෂණය ජන සමාජයට ඇතිකරන අභියෝග

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/02/10 – ලංකාදීප
තාක්ෂණය ජන ජීවිතයට ඇතිකරන පහසුව ගැන කතාකරන්නේ අලූත් සොයාගැනීම් වල නිරත විද්‍යාර්ථීන්ය. නොනැවතී නවතම මෙවලම් නිපදවන ලෝකයේ දියුනු රටවල් ශ‍්‍රමය සහ පිරිවැය සීමාකරන අඩු මිලට නිපදවා වෙළඳ පොළ සාර්ථක වෙන්නට තැත් කරති. සංවර්ධනය සහ නවීන ස්වයංක‍්‍රීය යුගය ගැන සතුටුදායක පණිවුඩ නිකුත් කරති. නමුත් ඒ හා සමාන්තරව අභියෝග ගණනාවක් මතු වෙමින් තිබේ. රැුකියා අවස්ථා එයින් අවධානයට ගත යුතු වැදගත් එකක් බවට පත්ව තිබේ.

ඔක්ස්ෆඞ් විශ්වි විද්‍යාලය කළ පර්යේෂණයකට අනුව ඉදිරි වසර 20 ඇතුලත එරට රැකියා වලින් සියයට තිස් පහක් කපාහරින්නට සිදුවිය හැකිය. දළ වශයෙන් සෑම හතර දෙනෙකුගෙන්ම අයෙකුට තාක්ෂණය හෙයින් රැකියාව අහිමිවීම සැලකිය යුතු තත්ත්වයකි. එයට හේතුවෙන්නේ තීන්දුගත හැකි තරමට බුද්ධිමත් පරම්පරාවේ පරිගණක තාක්ෂණය කාර්යය වෙනුවෙන් යෙදවීම සමගය. වැඩි වැටුප් ඉල්ලන්නේ නැති, පහසුකම් අඩු සහ අකුරටම වැඩ කරන රොබෝ තාක්ෂණය භාවිතා කරන්නට කැමැති වන කර්මාන්ත ශාලා අලූත් යුගයක් ඇති කරන බව පෙනේ. එපමණක් නොව ඌබර් තාක්ෂණයට නතු ටැක්සි සේවා සහ බී2බී වැනි ආගන්තුක සේවා පරිපාලනය, ආණ්ඩුවේ බදු අඩුවීම නිසා වාසි බව දැන් හිතන නමුත් ඉදිරියේ දී රියැදුරන් නැති වාහන සහ රොබෝ තාක්ෂණයෙන් පාලනය වන ආගන්තුක සේවා අංශ කෘතීම බුද්ධිය ඇති ඉතා සංකීර්ණ පරිසරයක් බිහිකරනු ඇත.

චිනය ඉතා වේගයෙන් රොබෝ තාක්ෂණය වහල් කරගනිමින් සිටී. චීනයේ ඩොන්ගුඈන් ප‍්‍රාන්තය පළමුවරට රොබෝවරු පමණක් වැඩ කරන කම්හලක් ආරම්භ කර තිබේ. එම ප‍්‍රාන්තයේ කම්හල් 505 ක් යුවාන් බිලියන 4.2 ක් රොබෝ තාක්ෂණය වෙනුවෙන් වියදම් කර මිනිස් පාලනයකින් තොර මෙහෙයුම් අරඹා ඇති අතර ඒවා සාමාන්‍යයෙන් මිනිසුන් තිස් දහසකගේ රැකියා බව අනාවරණය වෙයි.
සෞඛ්‍ය අංශයේ මූලික පරීක්ෂණ රොබෝ තාක්ෂණයට භාර වී ඇත. ජපානයේ ඇතැම් හෝටල් වල පිළිගැනීමේ නිලධාරීන් සහ ඇතැම් සුපිරි වෙලඳ සැල්වල වියපත් ගනුදෙනුකරුවන්ට සහාය වෙන්නට ද රොබෝවරු යොදවා තිබේ. කාරුණික සහ ඉතාම නිවැරදි ආකාරයට ක‍්‍රියා කරන හෙයින් මෙම මෙවලම් දෙස කාරුණිකව බලන්නට ද එම රටවල සමාජය හුරුවෙමින් සිටින බව අනාවරණය වෙයි.

දියුණු රටවල් තරඟකාරී ආකාරයට ජීවිතය පහසු කරගන්නට තාක්ෂණය උපයෝගී කරගන්නා විට ලෝකයේ පැවැත්ම තවත් ආකාරයකින් දුප්පත් විය හැකිය. පවතින ආර්ථික ව්‍යුහය වෙනස් විය හැකිය. දියුණු වෙමින් පවතින රටවල අඩු ආදායම් ලබන ජනතාවට වෙනත් රටකට වැඩ පොලක සේවය කර ආදායම් ලබන්නට තිබු අවස්ථාව අහිමි වෙන්නට ඉඩ තිබීමයි. වැඩි වැටුප් ගෙවා, තමන්ගේ රටවල පහසුකම් සපයා නිෂ්පාදනය කරනු වෙනුවට හැකිතරම් යන්ත‍්‍ර යොදවන්නට තාක්ෂණයෙන් පොහොසත් රටවල් තීන්දු කළහොත් එයින් අවාසියක් ඇතිවෙන්නේ තුන් වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් වලටය. අනෙක් පැත්තෙන් එම රටවලට රොබෝ තාක්ෂණය වෙනුවෙන් ආයෝජනය කරන්නට ධනය ප‍්‍රමාණවත්ව නැත. රොබෝ තාක්ෂණයට ආයෝජනය කර අඩු පිරිවැයකින් භාණ්ඩ නිපදවන විට සුපුරුදු සම්ප‍්‍රදායික ක‍්‍රම අනුව නිපදවා අපනයනය කරන රටවල නිෂ්පාදන වලට ඇති ඉල්ලූම ද පහත වැටෙන්නට ඉඩ තිබේ.දැන් පවතින ආකාරයට ස්වභාවික ආහාර වලට ඇති කුඩා වෙලඳ පොල හා සමානව මිනිස් අත් වලින්නිපදවන ලද භාණ්ඩ යනුවෙන් කොටසක් වෙළඳ පොලට එන්නට ඉඩ ඇති අතර මිල වැඩි ඒවා සීමිත පිරිසකගේ අවධානයට ලක්වන්නට ඉඩකඩ තිබේ.

ජාත්‍යන්තරට තුළ පැවැති යුග යුග අවසන්ව අලූත් පරිච්ෙඡ්දයකට ප‍්‍රවේශ වී තිබේ. වාෂ්ප බලය, ඛනිජ තෙල් යුගය අවසන් කර කර්මාන්තකරණයේ රොබෝ තාක්ෂණ යුගය කරා අවතීර්ණ විය හැකි ගැටලූ ගැන ශ‍්‍රී ලංකාවට ද අවබෝධයක් තිබුය යුතුය. ආර්ථික සහ දේශපාලන කාරණා ගැන අති විශාල සංවාදයක් පවතින රට තුළ නුදුරු අනාගතයේ දී මේ පරම්පරාව මුහුණ දිය හැකි තාක්ෂණයේ අවතීර්ණවීම සාකච්ඡුා නොකරන්නේ මන්ද?
දියුණු රටවල් තමන්ට සහාය වෙන රොබෝවරුන් දෙස දයාර්දව බලන විට තමන්ගේ රැකියාව අහිමිවෙන, තමන්ට ආදායම නැතිකරන කෘතීම බුද්ධිමත් සමාජය දෙස සෙසු රටවල අඩු ආදායම් ලබන ජනතාව බනලූ ඇත්තේ කොයි ආකාරයකටද? ශ‍්‍රී ලංකාව මෙම කණ්ඩායම් දෙක අතරින් කොතැනක සිටිනු ඇත්දැයි විමසා බැලීම වැදගත්ය.

නිදහස් දින ජාතික ගීය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/02/03 – ලංකාදීප

නිදහස් දින ජාතික ගීය

ස්වෛරී රාජ්‍යයක, නිදහසේ උදානය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව සූදානම් වෙයි. බටහිරට යටත්ව සිටි, එහි අමිහිරි අත්දැකීම් වලින් මිදී නිවහල්ව නැගී සිටින රටට ජාතික ධජය, ජාතික ගීය සහ බැඳුන සංකේත ජාතිකාභිමානය වඩවයි. දෛර්යය ඇති කරයි. පළමුවන නිදහස් දිනයේ සිට හෙට පවත්වන නිදහස් උළෙල දක්වාම ජාතික ගීය නිදහසේ බලවත් භාවාත්මක ප‍්‍රකාශනයකි.
ආනන්ද සමරකෝන් ශූරින් රචනා කර ජාතික ගීය අමරණීයත්වයට පත්ව ඇති පද වැලකි. ජාතික ගීය ආන්දෝලනයකට ලක් වූ කාලයක් තිබිණ. අදටත් එය එසේමය. ජාතික ගීය සිංහලෙන් හැර අන් භාෂාවකින් ගායනා කිරීම ගැනය. ජාතික ගීතයෙන් හැඟීම් ජනිත කර රට ගැන හදවතේ ආදරයක් ඇතිවෙන්නට නම් එයින් කියැවෙන දේ තේරුම් ගැනීම අවශ්‍යය. ජාතික ගීය විඳින්නට සහ එයින් හදවත් මෝහනය වෙන්නට උවමනාය. ජාතික ගීයේ පදවැල වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීම ගැන විවාදය එසේ කරගෙන යන අතර ගීය ගායනා කරන ආකාරය ගැන ද අලූත් අත්දැකීම් ලෝකයේ විවිධ රටවලින් වාර්තා වෙයි. ලෝකයේ නොයෙක් රටවල් තම රටේ උත්තරිතර තැනට පත් ජාතික ගීය තව තවත් ඉහළටම නංවා සෞන්දර්යාත්මක කරන්නට ප‍්‍රයත්න දරයි.
ඉන්දියාව නොයෙන් බෙදීම්, තද ආකල්ප ඇති තැනකි. රබීන්ද්‍රනාත් තාගෝර් ශූරින් නිදහස් සටන වෙනුවෙන් ඉන්දීය කොන්ග‍්‍රසයට හැඳු ගීතය අද ලෝකයේ දෙවැනියට වැඩිම ජනගහනයක් ඇති සහ විවිධ භාෂා හසුරුවන රටක ආත්මය බවට පත්ව තිබේ. ඉකුත් දිනක ඉන්දියාවේ විශිෂ්ඨ ශිල්පීන් වන ආශා බෝස්ලේ සහ ලතා මංගේෂ්කාර් ඔවුන්ට අනන්‍ය ක‍්‍රමයකට ඉන්දීය ජාතික ගීය ගායනා කළාය. එය අදටත් අන්තර් ජාලයෙන් දැක බලා, සවන්දිය හැකිය. ඉන්දියානුවෝ එයින් අමන්දානන්දයට පත්වූහ. අමරදේව හෝ නන්දා මාලනී වැනි ශිල්පීන් ඔවුන්ගේ මුල් ගායනයක් අලූත් ආකාරයකට ඉදිරිපත් කරන විට අති විශාල ආකාරයට ආනන්දයක් ජනිත වෙයි. ඔවුන් අතින් ජාතික ගීයේ ගායන විලාශයට අලූත් රිද්මයානුකූල බවක් මුසුවුවහොත් මෙරට සිදුවිය හැක්කේ කුමක්ද?
ඇමරිකාවේ මහා ගායිකාවක වන අරිතා ෆ්රුන්ක්ලින් ඇමරිකානු ජාතික ගීය කලූ අප‍්‍රිකානු ශෛලියට ගායනා කළාය. කාලයක් කලූ ජාතිකයෙකුට බස් රියෙක ආසනයක අසුන්ගෙන යන්නට නොලැබෙන තරමට ජාතීන් අතර බේධය තිබූ කලූ ජාතිය පහත් කර සැලකූ රටක සුදු ජාතීන්ගේ උත්තරීතර ජාතික ගීය කලූ ගායිකාවක වෙනස් ආකාරයකට ගායනා කිරීම ගැන දක්වන ඉවසීම පෙන්වන්නේ ඇමරිකානුවන්ගේ කෙබඳු පරිනත සමාජයක් බවට පත්ව ඇති බවද? බි‍්‍රතාන්‍යයේ ජනප‍්‍රිය වාදක කණ්ඩායමක් නූතන ශිල්ප දක්වා බි‍්‍රතාන්‍ය ජාතික ගීය ඉදිරිපත් කරයි. සිංගප්පූරුවේ බහුතරය චීන නමුත් එරට නිතිය අනුව ජාතික ගීය ගායනා කළහැක්කේ මැලේ භාෂාවෙන් පමණකි. ඒ අනුව රට හඳුන්වන්නේ සිංගප්පූරා යනුවෙන්ය. චින ජාතික ගීය පවා කොමියුනිස්ට් ප‍්‍රතිංස්කරණ වලට පසු වෙනස්කම් වලට ලක්ව තිබේ. මෙම සියලූ අවස්ථා අන්තර් ජාලයෙන් සවන් දිය හැකිය. ප‍්‍රසිද්ධ කර ඇති අතර ඒ ගැන නොමනාපයක් වෛරී කථනයක් නැත.
ඕනෑම රටක ජාතික ගීය විශිෂ්ඨත්වයට ලක් වූ එකකි. කිසිදු රටක් හෝ ජාතියක් එයට අගෞරව වෙන ආකාරයට අවභාවිතා කරන්නේ නැත. නමුත් ගායනා කරන තාලය හෝ සෘතිය දැනෙන හැ‍ගෙන ආකාරයට වෙනස් කිරීම ගැන ලෝකයේ නොයෙක් රටවල් අත්හදා බලමින් සිටී. විශිෂ්ඨ ශිල්පීහු ලවා ඔවුන්ට දැනෙන ආකාරයට හෘදයාංගම ලෙස ගායනා කරවන්නට උත්සාහ කරමින් සිටින බව අධ්‍යයනය කළ හැකිය. ගීතයේ අනන්‍යතාවයට එහි ප‍්‍රබුද්ධ විලාශයට හානි නොකර එය උත්කර්ෂවත් කරන්නට දරන ප‍්‍රයත්නයන් දෙස උපේක්ෂා සහගතව බලන්නට සූදානම් බව ජාත්‍යන්තරයෙන් ලැබෙන අලූත්ම පණිවුඩයයි.
ජාතික ගීතය හැඟීම්බර දෙයකි. එය තමන්ට දැනෙන, තමන්ට විඳින්නට සහ එම විඳින ආකාරය අනුව ශ‍්‍රී ලංකා මාතාව ගැන කුල්මත් වෙන්නට ඇත්නම් එය මහා ආශ්වාදයකි. මෙම උණුසුම දැනෙන්නේ එය වටහා ගත හැකි තරම අනුවය. ගාම්භීරත්වය තුළින්ම පමණක් නොවේ. නිදහස් දිනයේ දී ජාතික ගීය, එය රචනා කළ සංගීතවත් කළ සහ එහි ධ්වනිය අනුව රටක එක් සේසත් බව ඇතිවන ආකාරය ගැන අප‍්‍රමාණ උදාහරණ තිබේ. භක්තියක් ඇතිකරන ස්වභාවය ඇත. එහෙම නමුත් ජාත්‍යන්තර සමාජය තුළ ජාතික ගීත අනුකරණය මගින් සිදුවෙමින් පවතින දේ අවධානයට ගැනීම ද වැදගත්ය…