පිපෙන මලක් දෙස බලා විනයක් ඇති කරගැනීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/04/22 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

භාග්‍යවන්ත මාසය ගෙවී යමින් තිබේ. උදාවෙමින් තිබෙන්නේ වෙසක් මාසයයි. බෞද්ධ ජනතාව ආගමික නැඹුරුවක් ඇතිකරන්නේ එළැඹෙන මැයි මාසයේ දීය. අස්වනු නෙලා එහි සතුට සහිතව අලූත් අවුරුද්දකට සූදානම් වන්නේ යම් සේ ද එහි ඇත්තේ මෙලොව සතුටයි. වෙසක් මාසය සමග බොදුනු ජනතාව සියලූ දුක නැති කර පරම සුවය අත්පත් කරගැනීම ගැන අවධානය යොමු කරන්නේය. බෞද්ධ ජනතාවට ආගමික දර්ශනය පෙන්වා දුන් බුදු රජාණන් වහන්සේ ගේ උපත, බුදුබව ලැබීම සහ පිරිනිවීම සිහිපත් කරමින් මලින් සුව`දින් පුදන්නේය. ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් නිවන් මග පසක් කරගැනීමට කැපවන්නේය.

වසන්තය එළැඹෙන විට ගහකොල මලින් සහ ඵලයෙන් පිරී ජීවිත සතුටින් සුන්දරව තබන්නාක් මෙන්ම එයින් ඉනික්බිතිව එළැඹෙන කාලයෙහි දී බැතිබරව මල් පුදා පරලොව ජීවිතය ගැන සිතන්නට පරිසරය සකස්වීම සොබාදහමයි.දේශගුණ කලාපය අනුව සෘතු වෙනස්කම් විශාල ප‍්‍රශ්න ඇති කරන්නේ නැති ශ‍්‍රී ලංකාවට දීර්ඝ නිය`ගය හෝ අධික හිම පතන බලපාන්නේ නැත. කාලගුණයෙන් බරපතල වෙනස්කම් ඇතිනොකරන හෙයින් අපට ගිම්හානයේ සහ සිසිර සෘතු ගැන අත්දැකීම නැති තරම්ය. වැවක පිපෙන නෙලූම් හෝ මානෙල් හැමදාමත් රටට සුන්දරත්වය ඇති කරයි. සමන් පිච්ච, ඉද්ද, වතු සුද්ද මල් යායක් දැකිය නොහැකි ගමක් හෝ නගරයක් ඉතාමත් විරලය.

මල. මලක පිවිතුරු බව සහ මල් යායක ඇති සුන්දරත්වය අප රටට අලූත් දෙයක් නොවේ.නමුත් එක කාලයකට අධික ශීතලෙන් පීඩා වි`දින ජන කොටස් සිටින රටක් එක මෙහොතකින් මල් පිපී ගස් පුරා සුන්දරත්වය පැතිරෙන විට එය මහා සතුටක් ඇති කරන උත්සවයක් බවට පත් කරගනිති. සකුරා මල් පිපෙන කාලයට ජපානය උත්සවයෙන් ඇළලෙන්නේ එහෙයින්ය. සකුරා මල් පදනම් කරගෙන සංස්කෘතික පැවැත්මකට අනුගත වන්නේ ද එහි ඇති සුවිශේෂීබව හේතුවෙන්ය.

පැවැදිව ථෙරවාද ශාසනික ජීවිතයට ඇතුළු වූ පසු අනුගමනය කළ යුතු විනයානුකූල බවක් තිබේ. ගහක කොළයක් කඩා දැමීම විනය උල්ලංඝනයකි. බුදු හිමියන් පුදන්නට මලක් නෙලන්නට නිවන් මග අවබෝධකරගත් උතුමන්ට අකැපය. මල් ආසනයක මල් තබන්නට ද විනයානුකූල පිළිවෙතක් තිබේ. එළැඹෙන වෙසක් මාසයේ දී මල් නෙලා එකතු කර ලක්ෂ සංඛ්‍යාත ප‍්‍රමාණ වලින් බුදුන් පුදන පමණක් නොව බුදු හිමියන් ව`දින්නට යන බැතිමතුන් වෙනුවෙන් මල් දන්සල් පවත්වන විට ද එය විනයක් සහ ගරුත්වයක් ඇතිව කරන්නට අපට වගකීමක් තිබේ.

මලින් බර, සුන්දරත්වයෙන් අනූන රටක අප‍්‍රමාණව ඇති මල් නෙලා ඒ සියල්ල ස්වකීය ආගමික ශාස්තෘවරයානන් ඉදිරියේ තබා ව`දින පුදන බැතිබර සියලූම දෙනාට මලක අසිරිය, එහි පැවැත්ම සහ මලකින් කියාදෙන ජීවිතාවබෝධය ඉතාම වැදගත් කාරණයකි. සකුරා මල් පිපෙන කාලයට සොබා දහමේ චමත්කාරය සමග එකතු වන ජපන් වැසියන් මලක් පූජා කරන විට එය විනයක් අනුව කරන්නට ඉකෙබනා යනුවෙන් කලාත්මක ආකාරයක් ලෝකයට හ`දුන්වා දුන්නේය. ඉකෙබනා මල් කලාව ඇරඹෙන්නේ හුදෙක් මලක් නෙලා එය වි`දින පමණක් නොව ඒ තුළින් එක්තරා ආකාරයකට භාවනාවක් නැතිනම් විනයක් ජීවිතය තුළ ඇති කරන පදනමක් ඇති කරමින්ය. චීනයෙන් බොන්සායි ක‍්‍රමය ඇති වන්නේ ද ගහක් හැදෙන හැටි බලා දීර්ඝ කාලයක් එක අරමුණක පවතින්නටය.

ඉකෙබනා හුදෙක් මලක් නෙලා එය පිදීමක් පමණක් නොවේ. මල් ජීවත්වන බව ඔප්පු කර පෙන්වීමකි. නෙලාගත් මලකට තවත් ජීවයක් එකතු කර ජීවිතය දෙස අලූත් ආකාරයකට බලන්නට ඒ මල දෙස බලන  ඕනෑම කෙනෙකුට ඉඩ හසර වෙන්කර දෙන කලාවකි. එය ඇරඹෙන්නේ ජපානයේ බෞද්ධයන් සහ ස්වාමීන් වහන්සේලා ඇසුරෙහිය. හය වැනි සියවසේ පමණ ඉකෙබනා යනුවෙන් නෙලාගත් මලක් විහාරයකට පූජා කරන කලාව නිර්මාණය කරගත් බව ප‍්‍රකාශ වෙයි. පසුව ඉකෙබනා මල් සැකැස්ම ව්‍යාප්ත වන්නේය. අද වන විට එය හුදෙක් පූජා කිරීමක් පමණක් නොව ජීවන දර්ශනය ගැන දනවන සහ ජීවිතය වි`දින්නට ඉඩ සලස්වන අපූරු මල් සැකැස්මක් ලෙස ලෝකය පුරා ව්‍යාප්තව තිබේ.

එය හදාරන්නට එහි ඇති ශිල්පීය ක‍්‍රම අධ්‍යයනය කරන්නට කුඩා දරුවන්ගේ සිට වැඩි මහල්ලන් දක්වා අති විශාල ප‍්‍රමාණයක් නිරතුරුව උනන්දුවක් දක්වති. සරල සහ කුඩා ප‍්‍රමාණයෙන් කරන සහ එයින් අ`ගවන දෙය කෙරෙහි දකින්නාගේ අර්ථකතනය මෙහි දී ඉතාමත් සිත්ගන්නේය.බුදු පුදට, කෝවිලේ දෙවියන්ට සහ පල්ලියේ අල්තාරයට පමණක් නොව  ඕනෑම ආගමක පූජාවක දී මලකට ඇති ගෞරවය අප‍්‍රමාණය. මලක් නෙලා එය පූජා කරන්නට පමණක් නොව එය පුදන ආකාරය සහ එහි විනය ගැන හිතන්නට ජීවිතයෙන් මෙහොතක් වෙන් කිරීම සුදුසු යැයි සිතමි. එයින් සිතෙහි ඇතිකරවන භාවනාව ජීවිතාවබෝධයකි.

ජන මතයක් ඇති කිරීම සහ නැති කිරීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/04/08 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

වර්තමාන ජන සමාජය ඉතා සංකීර්ණ ස්වභාවයකය. මෙයින් දශකයකට දෙකකට කලින් ජන මතයක් ඇති කරන්නට කරන ලද මාධ්‍ය භාවිතාව සීමිත ව්‍යුහයක් පමණකි. නමුත් වර්තමානයේ සන්නිවේදන කෘත්‍ය ඉතාම පුලූල් සහ ඒ හා සමානවම සියුම් බලපෑමක් කරන ආකාරයකට පරිවර්තනය වී තිබේ. එය බලවත් වෙනසකි. ඒ තුළ ජන මතයක් ඇතිකිරීම පහසු කාර්යයක් නොවේ.

මෑතක් වනතුරු යම් පණිවුඩයක් නිෂ්පාදනය කරන්නට සහ එය සමාජ ගතකරන්නට භාවිතා වූ සන්නිවේදන මෙවලම් අතර පෝස්ටර් සහ කටවුට් වැනි අංග වලට ඉහළ භාවිතාවක් තිබිණ. ජනතාව නිතර ගැවසෙන තැන්වල පෝස්ටර් ප‍්‍රදර්ශනය කිරීමෙන් සහ කටවුට් වැනි එල්ලන පුවරු තැබීමෙන් ඒවා දකින, එහි පණිවුඩය කියවන ජනතාව හරහා යම් සන්නිවේදනයක් සිදුවිය. යම් සේවාවක් ගැන දැනුම් දීමේ සිට භාණ්ඩයක් විකිීණීම දක්වා නොයෙක් පරාසයන් දක්වා විහිදුන මෙම උපක‍්‍රමය පලාත් පාලන ආයතන වලට අතිරේක ආදායමක් උපයා දෙන මාර්ගයක් බවට ද පරිවර්තනය විය.

පසුගිය දශකය තුළ සන්නිවේදනය හුදෙක් පෝස්ටර් සහ කටවුට් වැනි අංග අභිබවා යම් වෙනසකට ලක්වන්නේය. භාණ්ඩයක් විකිනීමේ සිට දේශපාලනඥයන්ගේ ප‍්‍රචාරණය පවා ජන මතය ගොඩනගන සන්නිවේදනයේ පැති තොරතුරු තාක්ෂණය සමග සම්බන්ධවෙයි. වර්තමාන තොරතුරු සන්නිවේදන යුගයේ දී ජනමතය ගොඩනැගෙන්නේ පෝස්ටරයෙන් හෝ කටවුට් වලින් පමණක්ම නොවේ. ජනතාව ගේ අත ඇති ජංගම දුරකථනය, ෆේස්බුක් සහ ට්ව්ටර් වැනි සමාජ වෙබ් ජාලා තොරතුර හුවමාරු කරන අතර එයින් මතයක් ගොඩනගයි. නූතන ජනමතය ගොඩනැගෙන්නේ සම්ප‍්‍රදායික බිල්බෝඞ් සහ කටවුට් මගින් කරන පෙළැඹවීමට වෙනස් සූක්ෂම ආකාරයට බව අවබෝධ කරගත යුතුව ඇත.

ගැටලූව මෙම ස්වභාවය විනිශ්චයකට නොගැනීමයි.  ඕනෑම නගරයක කටවුට් සහ පෝස්ටර් බහුලය. නොයෙක් තැන අති විශාල පුවරු ද ප‍්‍රදර්ශනාත්මක ආකාරයට ඉදිකර තිබේ. නොයෙක් උත්සව සහ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් සකස් කරන ලද දැවැන්ත ප‍්‍රචාරක පුවරු ප‍්‍රමාණය සුළු නැත. පරීක්ෂාවෙන් නිරීක්ෂණය කළහොත් ප‍්‍රචාරණ ඉලක්කයක් වෙනුවෙන් සකස් කරන ලද මෙම අංග එම දින වකවානු අවසන්ව මාස ගණනකට පසුව ද ඉවත් කර නැති බව පැහැදිලිව පෙනේ. ජනතාවට පණිවුඩයක් දෙන්නට උනන්දුවන පෝස්ටර්, කටවුට් සහ බිල්බෝඞ් නියමිත කාර්යයෙන් පසු ඉවත් නොකරන්නේ මන්ද යන්න ගැටලූවකි.

ජනතාවට යමක් සන්නිවේදනය කරන්නට සහ එයින් ජනමතයක් ගොඩනගන්නට උපයෝගී කරගන්නා මෙම අංග යල් පැනගිය ඒවා බවට පත්ව ඇති අන්දම පමණක් නොව ඒවා නිසි ආකාරයට මෙහෙයවන්නේ නැති හෙයින් අපකීර්තිමත් ප‍්‍රචාරයක් ගොඩනගන බව ද ස`දහන් කළ යුතුව ඇත. එය අනපේක්ෂිත දුර්මත සමාජය තුළ තහවුරු කරන්නට ද හේතු වී ඇත. විශේෂයෙන් මැතිවරණ ප‍්‍රචාරණය වෙනුවෙන් සකස් වූ කල් ඉකුත්ව ගිය කටවුට් සහ බිල්බෝඞ් තවමත් දැකගත හැකිය. ගස් ගල් වල පවා ලියන ලද පලාත් පාලන මැතිවරණ ප‍්‍රචාරක වැකි සහ මනාප අංක පවා අදටත් නොයෙක් තැන දැකිය හැකි සුලබ ඒවාය. රට ගොඩනගන්නට පරිසරය ආරක්ෂා කරන්නට සහ සන්නිවේදනය ඉතාම යහපත් කරන්නට අපේ්ක්ෂාවෙන් බලය ඉල්ලන දේශපාලනඥයන් ගේ සන්නිවේදනය ද එවැනි එකක් වී ඇති පසුබිමක ව්‍යාපාරික අරමුණු සහිතව මග දෙපස කටවුට් සහ ගස් ගල් පවා සන්නිවේදනයට භාවිතා කිරීම නතර කරන්නේ කෙසේ ද යන්න ගැටලූවක් වී තිබේ.

ශ‍්‍රී ලංකාව ගමන් කරමින් සිටින්නේ අලූත් යුගයකටය. තොරතුරු තාක්ෂණය කරා ජන සමාජය ඉතාම ඉක්මනින් අනුගත වෙමින් සිටී. විශේෂයෙන් තරුණ පරපුර සම්ප‍්‍රදායික සන්නිවේදනයෙන් ආකර්ශනය කර ගත නොහැකි තරමට වෙනස්වෙමින් සිටියි. ඒ අනුව ඉදිරි වසර පහ හය ඇතුලත පරිසරය ගහ කොල ගැන සිතන අලූත් පරම්පරාව පවතින කටවුට් සහ බිල්බෝඞ් පුවරු වලින් කරන සන්නිවේදන කෘත්‍ය දෙස චෝදනා ස්වරූපයකින් බලනු නොඅනුමානය.

ප‍්‍රචාරණයේ සහ මත ගොඩනැගීමේ දී නොගැලපෙන පැති නිවැරදි කරගැනීමට සූදානමක් අප සියලූ දෙනාටම තිබිය යුතුය. නගරයක ප‍්‍රදර්ශනය කළ හැකි පුවරු ප‍්‍රමාණය හෝ ඒවා සම්බන්ධ වගකීමක් ඇති අය ක‍්‍රියා කළ යුතු ආකාරය ගැන ප‍්‍රතිපත්ති තීන්දු ගැනීමට කාලය උදා වී තිබේ. සන්නිවේදනයේ නූතන ආක‍්‍රමණය සහ එය කෙරෙහි අනවබෝධයෙන් සිදුවන ප‍්‍රචාරණය තුළින් ඇති කරන දුර්මත කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ද වැදගත්ය.

ජනප‍්‍රිය නොවී ගරුත්වය දිනාගත් ලී ක්වාන් යූ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/04/01 – මිලින්ද මොරගොඩ
ඉලක්කය කරා වෙහෙස නොබලා බලවත් කැපවිමකින් ගමන් කරන නායකයෝ ජන සමාජය තුළ පරිවර්තනයක් කරන්නට සමත්වෙති. එම පරිවර්තනය අවසානයේ දී ජනතා ගෞරවයට පාත‍්‍රවන්නේය. දේශපාලනඥයන්ට තමන් අනුගමනය කරන වැඩ පිළිවෙල හෙයින් ජනප‍්‍රියත්වයට පත්විය හැකිය නමුත් ජනතා ගෞරවයට පාත‍්‍රවිය නොහැකිය.නවීන සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස සිය ජීවිතයෙන් සමුගත් ලී ක්වාන් යූ එරට පමණක් නොව මුලූ ලෝකයේම බලවත් ප‍්‍රසාදය අත්පත් කරගත් පුලූල් දර්ශනයක් තිබූ නායකයෙකි. සිය අභාවයේ දී පවා කුඩා රටක් වෙත ලෝකයේ හිටපු සහ දැනට සිටින බලවත්ම රාජ්‍ය නායකයන් කැ`දවන්නට සමත්වූවෙකි.

අවසාන කාලයේ දී ඔහු තමන්ගේ අත්දැකීම් සමග ජාත්‍යන්තර තලය තුළ සිදුවෙමින් පැවැති වෙනස්කම් සාකච්ඡා කරන්නේය. බටහිරට වඩා නැගෙනහිර කලාපයේ රටවල් වල සංවර්ධනයට කොන්ෆියුස් දර්ශනයේ වටිනාකම් බලපාන බවට මතයක් ගොඩනගන්නේය.ඔහුට අනුව බටහිර රටවල් පෞද්ගලික හැකියාව, ලිබරල් අදහස් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ වලට මුල් තැනක් ලබා දෙයි. නමුත් ආසියාව එයට වෙනස්ය. ආසියානු පැවැත්මේ දී විනය වැදගත් තැනක් ගනී. පිළිවෙල, අධ්‍යාපනයට ඇති නැඹුරුව සහ නායකත්වයට ගරු කිරීම වැනි ලක්ෂණ ඉහළින් සලකා බලන බව ලී ක්වාන් යූ ගේ අදහස විය. ආසියාවට වඩා ගැලපෙන්නේ කොන්ෆියුස් දර්ශනයට පදනම් වූ අනන්‍යතාවය බව හෙතෙම අවධාරණය කරන්නේය.

කුඩා රටක් වූ සිංගප්පූරුව තුළ සිදුවූයේ කුමක්දැයි නිරීක්ෂණය කරන්නට ඉන්දියාවට උවමනා විය. චීනය ඒ දෙස බලා සිටියේය. බටහිර රටවල් බලවත් උවමනාවකින් සිංගප්පූරුවේ ගමන නිරීක්ෂණය කළේය. සියළුම සංවර්ධන උපාය මාර්ග තිබූ රටවල් අභිබවා සිංගප්පූරුව ලෝක ආර්ථිකයේ සහ සමාජ සමෘද්ධියේ ඉහළම තැනකට පත්වන්නේය. දිගු කාලයකින් නොවේ. පරම්පරාවක් තුළය. එදා ඇමරිකානු ඩොලර් හාරසියයකට අඩු ඒක පුද්ගල ආදායමක් ලැබූ කටුක ධීවර පැවැත්මක සිටි පුරවැසියන් මේ තවමත් සිංගප්පූරුවේ ජීවත්වෙති. දැන් ඔවුහු ඇමරිකානු ඩොලර් හැට දහසකට ආසන්න ඒක පුද්ගල ආදායමක් ලබන රටක පුරවැසියන්ය.

ලී ක්වාන් යූ ඉපැදෙන්නේ යටත් විජිතයක දරුවෙකු හැටියටය. බි‍්‍රතාන්‍යයේ දී වැඩිදුර අධ්‍යාපනය ලැබ මවුබිමට පැමිණෙන හෙතෙම නිදහස් අරගලයට දායක වන අතර පීපල්ස් ඇක්ෂන් පක්ෂයේ ප‍්‍රබල නිදහස් මතධාරියෙකු වශයෙන් දේශපාලනයට පිවිසෙයි. 1959 දී බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලබාගන්නා විට පක්ෂයේ නායකයා ව සිටි හෙතෙම එරට අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වන අතර අවුරුදු තිස් එකක් එම ධුරය හොබවා විශ‍්‍රාම ලබන්නේ තව දුරටත් රටට උපදේශක සේවා සපයන විද්වතෙකු වශයෙන්ය.

තද නීති වලින් රට තුළ උසස් විනයක් ගොඩනැගූ හෙතෙම ලෝකයේ ඕනැම ව්‍යවසායකයෙකුට එරටට පැමිණ ආයෝජනය කරන්නට ඉඩ දුන්නේය. එයින් අවස්ථා අත්පත් කරගත්තේ එරට වැසියන්ය. එක සංකල්පයකට කොටු නොවී ක‍්‍රියා කළ හෙතෙම ගැටලූවක් පැන නැගෙන විට එයට මුහුණ දුන්නේ ප‍්‍රායෝගිකවය. ලිබරල් ද නැති ඒකාධිපතියෙකු ද නොවූ හෙතෙම පැවැත්ම ගැන විනා අන් යමක් ගැන විශ්වාසයක් තබන්නේ නැත. මාධ්‍ය පාලනය කළේය. දේශපාලන පක්ෂ මැඩ පැවැත්වීය. මාධ්‍යවේදීන් සහ ප‍්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කර ගැටුමකට ගෙන ගිය දේශපාලනඥයන් ද පාලනය කරන්නට අධිකරණය උපයෝගී කරගත්තේය. මේ හෙයින් ඔහු ජනපි‍්‍රය නායකයෙක් බවට පත්වූයේ නැත. තමන් ජනප‍්‍රියත්වය අපේක්ෂා නොකරන අතර මහජනතාවගේ ගෞරවය ප‍්‍රමාණවත් බව ප‍්‍රසිද්ධියේ කියා සිටියේය. එය යථාර්ථවාදී අදහසක් බව සනාථවන්නේ ඔහු ජීවිතයත් මරණයත් අතර සිටින අවසන් අවස්ථාවේ දී සමස්ථ ලෝකයම ඔහු දෙස අවධානය යොමු කළ ආකාරය අනුවය. ඉතාම විශිෂ්ඨ නායකයෙකු ලෙස ජීවිතයෙන් සමුගත් හෙයින්ය.

දේශපාලන ප‍්‍රතිපත්ති සහ වැඩ පිළිවෙල ගැන උවමනාවටත් වඩා හිතන නායකයන්ට ඔහු පණිවුඩයක් ඉතිරි කර තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ලිබරල් පාලනය ඇතුළු නොයෙක් සම්ප‍්‍රදාය අභියෝගයට ලක් කර ඇත. මානව හිමිකම්, මාධ්‍ය නිදහස පමණක් නොව අඩුම තරමින් මිනිසුන්ගේ චුයිංගම් භාවිතය පවා තහනම් කරන්නේය.

ලී ක්වාන් යූ නොසිටියානම් සිංගප්පූරුව තවමත් දුප්පත් ධීවර රටකි. ඔහුගේ බලවත් නායකත්වය කුඩා රටක පැවැත්ම බලවත් ආකාරයකට පරිවර්තනය කරන්නේය. කුඩා රටක් සිය අභිවෘද්ධිය වෙනුවෙන් ලෝකයේ සෙසු රටවල් කරා සරණ පතා ගමන් කරනු වෙනුවට ලෝකයේ සියලූම බලවත් රටවල් තමන් වෙත කැ`දවා ඔවුන්ගේ ශක්තිය සිංගප්පූරුවේ ජනතාවගේ අභිවෘද්ධියට යොදවන්නේය. දේශපාලන නායකයන් මෙතැන් සිට අලූතින් සිතන්නට පටන්ගත යුතුය. ඔහුගේ ජීවිතයේ නිර්භීත කැපවීම වෙනුවෙන් මුලූ දේශයම හිස නමන අතර සිංගප්පූරු පුරවැසියන්ට ඒ වෙනුවෙන් ආපසු ගෙවන්නට හැකියාවක් නැති අතර කළ හැකි ගරු කිරීම පමණක් බව එතුමා ගේ අභාවය වෙනුවෙන් සිංගප්පූරුවේ ප‍්‍රකාශය විය.

පරම විඥානාර්ථය සහ පරමාධ්‍යාශය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/03/25 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

මිගෙට්ටුවත්ගේ ගුණානන්ද හිමිපාණන් සමග එකතු වූ මෙරට බොදුනු නායකයෝ බුදු දහම යටපත් කරමින් වැඞී ආ මිෂනාරී ආගමීකරණයට එරෙහිව ශ‍්‍රාස්තී‍්‍රීය විවාද පැවැත්වූහ. පානදුර වාදය එහි උච්ඡතම අවස්ථාව වූ අතර එය මෙරට ජාත්‍යන්තර සම්බන්ධතා හමුවේ සන්ධිස්ථානයකි. එහි ප‍්‍රතිඵලය වූයේ බුදු දහම එහි පණිවුඩය විහිදීමයි. වර්තමානයේ මෙන් තාක්ෂණය සහ විද්‍යුත් තොරතුරු හුවමාරුවෙන් පුවත් විකාශය නොවූ 1800 ගණන් වල ඇමරිකාවේ ජීවත් වූ ඕල්කොට් තුමා මෙම පසුබිම දැන මෙරටට පැමිණියේය. දෙස් විදෙස් වියතුන් එකතු කරගෙන බුදු දහම සහ ජාතිය අවදිකරන බලවේගයක් නිර්මාණය කරන්නේය.

මෙම බෞද්ධ ප‍්‍රබෝධය අරඹෙන්නේ යටත් වී සිටි ජාතිය නිවහල් බව ඉල්ලා සිටින අවස්ථාවේදීය. බටහිරට යටත්වීම සමග කි‍්‍රස්තියානි ආගම ද, අධ්‍යාපනය ද ලංකාව තුළ පතුරුවන්ට අධිරාජ්‍යවාදීහු පියවර ගත්හ. අධ්‍යාපනය දෙන අතර ආගම පැතිරවීය. ස්වදේශිකයන්ගෙන් කොටසක් කැමැත්තෙන් ද, තවත් කොටසක් බලහත්කාරයෙන් ද විජාතික බලවේග වලට නතු වූහ. පරාධීන යුගය අවසන් කරන්නට ජනතාව පෙළ ගැසෙන විට බොදුනු පුනර්ජීවනයට මහත් අනුබලයක් වූයේ හෙන්රි ස්ටිල් ඕල්කොට්, හෙලේනා බ්ලැව්ස්කි, මියුසියස් හි`ගින්ස් වැනි විදේශිකයන් බුදු දහමේ සත්‍යතාව දැක මෙරටට පැමිණ දේශීය නායකයන් සමග එකතුව ඉටු කළ කාර්ය භාරයයි.

කොළඹ ප‍්‍රධාන වීදියේ කුඩා කාර්යාලක් අරඹන්නේය. එය පරම විඥානාර්ථ සංගමයයි. එහි කරන ඉංග‍්‍රීසි ඉගැන්වීමේ පන්තියක සිට බෞද්ධ පාසල් ජාලයක් රට පුරා ඇරඹෙන අතර බෞද්ධ කොඩිය, භක්ති ගීත, වෙසක් කාඞ්, වෙසක් හා තොරණ ද බොදු දහමට සම්බන්ධ ආකර්ශණීය අංග ලෙස සමාජය පුරා පැතිරිණ. අමද්‍යප ව්‍යාපාරය ඇතුළු බොදු සුසිරිත් අගයමින් ඒවා සමාජ ගතකරන්නට මෙරට ආගමික සහ සමාජ නායකයින් සමග එකතුව එයින් ඇති කරන ලද බලපෑම සියුම්ය.
පිටරටකින් පැමිණ ඔහුගේ කාලය ධනය සහ ශක්තිය වැය කර බෞද්ධ ශී‍්‍ර ලාංකේය අනන්‍යතාවයක් ගොඩනගන්නට ඕල්කොට් තුමා ඉටුකරන ලද මෙහෙවර වර්තමාන සමාජය නිසි ආකාරයට අගය කරන්නේ දැයි අද ප‍්‍රශ්න කළ යුතුව තිබේ. ඕල්කොට් මාවතක් ඇත. එතුමාගේ පිළිරුවක් තිබේ. පරම විඥානාර්ථ සංගමය පමණක් නොව අමද්‍යප සංවිධානයක් ද ඇත. එසේ තිබූ පමණින් සමාජ අධ්‍යාශය සාක්ෂාත් වන්නේ දැයි අප විමසා බලන්නේ නැත.

කොළඹ ඉංග‍්‍රීසි පන්තිය ආරම්භ කරන ලද ගොඩනැගිල්ල එලෙසම තිබේ. එතැනින් පළමු පියවර තබා බිහිවූ පාසල් රට තුළ අද්විතීය අධ්‍යාපන කේන්ද්‍රස්ථාන බවට පත්ව ඇත. රට පුරා ජාතික පාසල් විශාල ප‍්‍රමාණයකට අනුබලය ලැබෙන්නේ මෙම බලවත් මෙහෙවර හෙයින් බව ද පසුගිය සියවස් ගණන ඇතුලත රට තුළ ධර්ම ශාස්ත‍්‍රීය පුනර්ජීවනයකට මග පැදෙන උල්පත එතැන හා ඒ දැවැන්ත සෙවනැල්ල බව ද පොදුවේ අමතක කරන්නේය.

මෙම ගොඩනැගිල්ල අයිතිකරුවන් ගණනාවක් සිටින ව්‍යාපාරික භූමියකි. දැනි එතැන අයිතිය හා පරිපාලනය සම්බන්ධ අර්බුද මතුව තිබේ. එසේ නමුත් එතැනින් ඇරඹුන අමධ්‍යප ව්‍යාපාරයට රැුස්වන්නට තැනක් නැත. ඕල්කොට් තුමා පරිහරණය කළ ලී බඩු ඇතුළු ඓතිහාසික යම් වටිනාකමක් ඇති දේ මෙම ගොඩනැගිල්ලේ සහ එයට යාබදව තවමත් පවතින බව කියන නමුත් ඒවා ගැන සොයා බලන්නේ හෝ මතු පරපුරට අවබෝධයක් ගත හැකිවන ආකාරයට සංරක්ෂණයට නොකරන්නේ මන්ද? මෙම ප‍්‍රදේශය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කළ යුතු තැනක් ලෙස හ`දුනාගෙන ඇත. කළ යුතු රජය මැදිහත්වී උරුමය ආරක්ෂා කිරීමය.

රටක පරමධ්‍යාශය විය යුතු ඉතිහාසය අමතක කිරීම නොවේ. පැරණි දේ ඉක්මනින් අමතක කර අලූත් දේ වෙනුවෙන් ගොදුරු වෙමින් සිටින වකවානුවක යුග පුරුෂයන් සහ ඔවුන්ගේ කාර්යභාරය ගැන තක්සේරුවක සිටීම සමාජයේ සියළු පුරවැසියන්ට පැවරෙන පරම යුතුකමකි. අඩුම තරමින් කොළඹ පරමවිඥානාර්ථ සංගමය පදනම් කරගෙන බිහිවූ ආනන්ද, මහින්ද, ධර්මරාජ සහ මලියදේව විදුහල්වල දරුවන්ගේ සිට බොදු පාසලේ අනන්‍යතාවයට මුල් වූ ඕල්කොට් තුමා සහ මෙම සංගමයේ කාර්ය භාරය ගැන පුලූල් අවබෝධයක් ඇති කරන්නට අවශ්‍යය.

පොදුජනතාව සමග විදේශ සම්බන්ධතා ගොඩනගමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/03/18- මිලින්ද මොරගොඩ

ඉන්දු ශ්‍රිලංකා සබ`දතා සම්බන්ධයෙන් අලූත් පරි‍ච්‍ඡේ‍දයක් ආරම්භ වෙමින් තිබේ. දෙරට අතර නායකයින් එක් එක් යුග වලදී තමන්ට දැනෙන දර්ශනය අනුව රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බව ඉතිහාසය අධ්‍යනය කරනවිට නිරීක්ෂණය කළ හැකිය. සමීප රටක් වශයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවේ උරුමයට සම්බන්ධතාවයක් තිබේ. එසේම නොයෙක්වර ශ්‍රීලංකාව ආකර්මන්‍යය කර ඇත්තේ ද ඉන්දියාවයි. විශාල රටක් ආසන්නයේ ඇති කුඩා දිවයිනක වැසියන් වශයෙන් ලාංකිකයන් නිතරම ඉන්දියාව දෙස බලන්නේ යම් බයක් ඇතිවය. ඉන්දියානු සාධකය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වටහා ගත නොහැකි රාමුවක සිරගතව සිටී.

එසේ නමුත් අලූත් ආකාරයකට ඉන්දියානු උප කලාපයට ප්‍රවේශවීමේ හැකියාවක් රටට තිබේ. ශ්‍රී ලාංකිකයන්ගේ දක්ෂතාවය සහ කැපවීම ගැන විශ්වාසයක් සමාජයට ඇත. මෙම විශ්වාසය තහවුරු කරන්නේ නූතන සමාජ ගෝලීයකරණයයි. ලෝකයේ ඕනෑම තැනක ඕනෑම ආකාරයකට ස්වකීය අනන්‍යතාවය අනුව මෙහෙයැවෙන්නට සමත් ජන සමාජයකට තමන්ට ඉතාමත් නුදුරින් සිටින රටක අභියෝග සහ අවස්ථා හ`දුනාගැනීම අපහසු විය නොහැකිය. පවතින තාක්ෂණ හැකියාව තුළ එය වඩාත් පුලූල් ස්වභාවයක් ගන්නේය.
මේ අනුව ඉන්දු ශ්‍රී ලංකා නායකයන් අතර සම්බන්ධතා ඇතිවන අතරතුර ඉන්දු ලංකා ජනතාව අතර අන්නෝය සම්බන්ධතා තහවුරු විය යුතුව තිබේ. සාමාන්‍ය ජනතාව අතර සම්බන්ධතා සමීපවන විට දුර සිටින විට දැනෙන යම් බියකට වඩා ළ`ග සිටින විට ඉන්දියාව තුළ ඇති අතිවිශාල අවස්ථා ගැන අවබෝධයක් ඇති කරගත හැකිවෙයි. ඉන්දියාව විශාල ජනගහනයක් සහිත එම ජනගහනය වෙනුවෙන් සකස් වූ වෙළ`ද පොලක් සහිත රටකි. වේගයෙන් සංවර්ධනය වන ඉන්දියාව තුළ වෙළ`ද සහ කර්මාන්ත අවස්ථා සොයමින් ලෝකයේ නොයෙක් රටවලින් ව්‍යවසායකයන් සංකරන මණය වෙමින් සිටී.

ඉන්දියාවට ඉතාමත් සමීපයෙන් පිහිටි රටක වැසියන් වශයෙන් ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ සිදුවන සංවර්ධනයේ අවස්ථා අත්පත් කරගැනීමේ හැකියාවක් තිබිය යුතුය. ඇමරිකාව, බ්‍රසීලය සහ චීනය වැනි විශාල රටවල් වටා පිිහිටි කුඩා රටවල් මෙකී බලවත් රටවල ආර්ථිකයෙන් පබෝධය අත්පත් කරගෙන වර්ධනය වී තිබේ. චීනයට දොරටුවක් වූ හොංකොං දේශය එයට කදිම උදාහරණයකි. චීනයේ ආර්ථික හෝ සමාජ ප්‍රතිපත්ති වලට වඩා ලිහිල් සහ ඉදිරියෙන් සිටින ස්වභාවය තුළ ව්‍යවසායකයන් හොංකොං රටට පැමිණ එහි ව්‍යවසාය මෙහෙයවා චීනයට අපනයනය කරන්නට අවස්ථාව සම්පාදනය කරගත්තේය. එහි ප්‍රතිඵලය හොංකොංහි වෙසෙන්නන්ගේ ජීවන මට්ටම විශාල පිබිදීමකට ලක්වීමයි.

මෙයින් දශක කිහිපයකට කලින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තිබූ ස්ථානය අද අතීතයට එක්වී තිබේ. දෙරටෙහිම යටිතල පහසුකම් වෙනස් ස්වභාවයක් ගෙන තිබේ. තොරතුරු තාක්ෂණය අනුව සම්බන්ධතා ගොඩනැගී ඇති අතර ගුවනින් සහ මුහුදෙන් රටවල් දෙක අතර ජනී ජනයා මුහුවෙමින් තිබේ. දෙරට අතර නායකයන්ගේ මුණගැසීම් වලට සමාන්තරව ජනතාවගේ සම්බන්ධතා වැඩි කරන ආකාරයට පසුබිම සකස් කළ හැකි නම් දෙරටටම එයින් ලැබෙන අමතර ශක්තිය බලවත් එකක් වනු නොඅනුමානය.

ජන සංක්‍රමනය රටවල් අතර පවතින ආධිපත්‍ය සහ දේශසීමා වෙනස් කර ඇති බව ඉතිහාසය අධ්‍යන කරන විට පෙනේ. දියුණු තාක්ෂණික සම්බන්ධතා සමග රටවල් අතර ජනතාවට නිදහසේ ගමන් කරන්නට ඉඩකඩ ලැබෙන විට පවතින සීමාසහිත තත්ත්ව සම්පූර්ණයෙන්ම වෙනස්වනු ඇත. ඉන්දියානු රාජ්‍ය නායකයාගේ සංචාරය සමග ඉන්දියාව බලා යන ලාංකිකයන්ට එරටට පැමිණීමෙන් පසු වීසා අනුමත කරගැනීමට අවසරය දී තිබේ. එය යහපත් තීරණයකි. වන්දනා ගමන් වල සිට ව්‍යාපාරික කටයුතු ස`දහා ද ඉන්දියාවට යන ලක්ෂ සංඛ්‍යාත ජනකායකට එය අස්වැසිල්ලකි. සංචාරක දත්ත අනුව මෙරටට වැඩිම සංචාරක පිරිසක් පැමිණෙන්නේ ඉන්දියාවෙන්ය. පවතින බාධා ඉවත් කර අතීතයේ පැවැති ආකාරයට දෙරට ගමනාගමනය විවෘත වුවහොත් එය රටට අවස්ථාවකි. හම්බන්තොට දරු පවුලකට දුම්රියක නැගී ඉන්දියාව දක්වා ගමන් කරන්නට අවස්ථාව ලැබෙන දිනයක රටවල් දෙක අතර පවතින සම්පරදුමදායික භීතිය අවසන්වනු ඇති අතර පරන් තිපත්ති සම්පාදකයන් දෙරට අතර පොදු ජනතාව සම්බන්ධ කරන එවැනි සැලසුමක් ඉලක්ක කරන්නට අවශ්යටය.

පොදු ජනතාවට හිරිහැරයක් නොවන විරෝධතා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/02/11 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක විරෝධතා අලූත් දෙයක් නොවේ. දේශපාලන පක්ෂ උද්ඝෝෂණ සංවිධානය කරයි. වැඩ කරන ජනතාව උද්ඝෝෂණ කරන්නේ තමන්ගේ අයිතීන් වෙනුවෙන්ය. ජනතා සංවිධාන ද උද්ඝා්ෂණ පෙලපාලි පවත්වන අවස්ථා තිබේ. පාසල් සහ විශ්ව විද්‍යාල දරුවන් ද නිතර විරෝධතා වල නිරත වෙති. විරෝධය දක්වන්නේ සහ පෙලපාලි වලින් පැමිණ බලකරන්නේ ඇයි? යන ප‍්‍රශ්නයට උත්තරයක් තිබේ.සෑහෙන කාලයක් නොවිස`දුන බලධාරීන්ගේ අවධානයට ලක්නොවූ පැති ගැන අවධාරණය කරන්නට සිදුවී ඇත්තේ මේ ආකාරයටය.

මෙම පෙලපාලි සහ විරෝධතා පවත්වන විට දැනෙන්නේ ආණ්ඩුවට හෝ වගකිවයුතු අංශ වලට ද නැතිනම් පොදු ජනතාවට ද යන ප‍්‍රශ්නයට නිසි උත්තරයක් ලබා ගත යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව විරෝධතා පළකරන විට එය කළ යුතු අන් අයට අවම හිරිහැරයක් සිදුවන ආකාරයටය. නමුත් දැන් එය කරන්නේ සාමාන්‍ය පොදු ජනතාවට වැඩිම බලපෑමක් සිදුවන ආකාරයට බව නිරීක්ෂණය කළ හැකිය. සංවිධායකයන් තෝරා ගන්නේ ඉතාම කාර්ය බහුල වෙලාවයි. දහවල් පාසල් අවසන් වන වෙලාවය. නොඑසේනම් හැන්දෑවේ කාර්යාල අවසන් වන කාලවකවානුවේ දීය. මෙම අවස්ථාවල දරුවන් දෙමාපියන් පමණක් නොව දවසේ වැඩ කර කඩිනමින් නිවසට යන්නට මහ මගට ප‍්‍රවේශවන පුරවැසියන්ට අධික වාහන තදබදයෙන් පීඩා වි`දින්නට සිදුව තිබේ.

විරෝධතාකරුවන් මෙම වේලාවල් තෝරා ගන්නේ එයින් ඇතිවන පීඩනය මත තමන්ගේ විරෝධතාවය දෙගුණ තෙගුණ කරගන්නටය. ආරක්ෂක අංශවලට වාහන සහ ජනතාව හසුරුවන්නට විශාල වෙහෙසක් ගන්නට සිදුවන අතර විරෝධතාකරුවන්ගේ ඊළ`ග පියවර ගැන ද අවධානයෙන් සිටින්නට සිදුවෙයි. පොදු ජනතාව නගරයට එන්නේ දහසකුත් එකක් කාරණා ඉටු කරගන්නටය. ඔවුන්ගේ දෛනික සැලසුම් අර්බුදයකට පත්වන ආකාරයකට විරෝධතා ව්‍යාපාර පෙළගැසෙන විට එටය හිරිහැරයක් පමණක් නොවේ. ජතතාව අසතුටට පත්වෙති. සමාජ අවධානය හිමි විය යුතු විරෝධතාව ගැන වෛරයක් ඇතිවන්නේය.

විරෝධතා පමණක් නොව දේශපාලන පක්ෂ සිය අදහස් ජනතාව අතරට ගෙන යන රැස්වීම් සංවිධානය කරන්නේ ද මහා මාර්ගයේ කොටසක් අවහිර වන ආකාරයටය. පක්ෂ විපක්ෂ සියලූ දේශපාලන පක්ෂ එය සූක්ෂම ආකාරයකට කරන බව පෙනේ. මහා මාර්ග කොටසක් අවහිර වන ලෙස හෝ ජනතාවට එකතු විය නොහැකි කුඩා ස්ථාන වල රැස්වීම් සංවිධානය කරන විට ඇතිවන තදබදය ඇති කරන්නේ විශාල හිරිහැරයකි.විරෝධතා සංවිධානය කරන, දේශපාලන රැස්වීම් සංවිධානය කරන සියලූ පාර්ශව පොදු ජනතාවගේ පැත්තෙන් සිතනන්ට අවශ්‍යය. ජනතාවට හිරිහැරයක් නොවන ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව විරෝධතාව ප‍්‍රකාශ කරන්නේ කෙසේද යන්න සාකච්ඡාවට ගත යුතුය. පොදු ජනතාව නොසන්සුන් කර ඔවුන්ගේ එදිනෙදා පැවැත්මට බාධා කර මහා විරෝධතාවයක් ඇති කළේයැයි මාධ්‍ය වලින් ප‍්‍රතිරූප මතු කරගැනීමට පමණක් මෙහෙයැවීම අසාර්ථක ක‍්‍රියාවලියකි.

ජනතා සංවිධාන සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පක්ෂ නූතන කාර්ය බහුල ජනතාවගේ ජන ජීවිතය ගැන මෙයට වඩා වගකීමක් ඇතිව අවධානයයොමු කරන්නට අවශ්‍යය. තාක්ෂණික ලෝකයේ ජනමතය ඇතිවන්නේ මහා මාර්ගයේ පුවරු එල්ලාගෙන කෑගැසීමෙන් නොවේ. නූතන මාධ්‍ය භාවිතාව මත ඇතිකරන්නේ සමාජ වෙබ් අඩවි උපයෝගීකර ගනිමින්ය. පැවැති ජනාධිපතිවරණය, ඉන්දියාවේ ජනාධිපතිවරණය, අරාබි වසන්තය වැනි උදාහරණ එයට සාක්ෂි සපයයි. නිහ`ඩව වෙබ් අඩවි ඔස්සේ ගෙන යන සියුම් මතදැක්වීම් අවසානයේ දී විශාල ජන රැුල්ලක් ඇති කරන්නේය.

මහා මාර්ගය අවහිර කර පොදු ජනතාව හිරිහැර කරන විරෝධතා වලට වඩා වෙනස් ආකාරයකට නවීන සමාජ සන්නිවේදන ව්‍යුහය ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධතාවලට සම්බන්ධ කරගන්නේ කෙසේදැයි ජනමත ප‍්‍රධානීන් සහ දේශපාලනඥයින් විශේෂයෙන් හැදෑරිය යුතුව තිබේ. ශ‍්‍රී ලංකාවේ සාමකාමී උද්ඝෝෂණ සහ නිර්මාණශීලී සටන්පාඨ ලිප්ටන් වටරවුමේ දී අවසන් වී තිබේ. දැන් පවත්වන උදඝෝෂන සහ ඒවායේ කියැවෙන සටන්පාඨ ජනතාව එකතු කරගන්නා ආකාරයට සිදු නොවීම නූතන ප‍්‍රජාතන්ත‍්‍රවදී ප‍්‍රවාහයට බාධාවකි. අලූත් ආකාරයකට, ජනතාව සම්බන්ධකරගෙන ජනමතය අවුලූවන්නට ඇති අවස්ථා තාක්ෂණයෙන් ඇති කරන අතර ජනතාවට ගෞරව කරන ආකාරයකට ඒවා මෙහෙයැවීම අවශ්‍ය බව අවධාරණයයි.

ප‍්‍රවාහනයේ නව ප‍්‍රවනතා අධ්‍යයනය කිරීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/03/04 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ප‍්‍රවාහන අංශයෙහි කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ලෝකයේ නොයෙක් තැන අලූත් අදහස් ඉදිරිපත් වෙමින් තිබේ. නවෝත්පාදන සංකල්ප ඉදිරිපත්කර ඒවා ප‍්‍රායෝගිකව තහවුරු කරන්නට සමත්කම් දැක්වූ එලොන් මස්ක් නමැති පර්යේෂකයා ගමනාගමනය අධිවේගී කරන්නට ඉදිරිපත් කර ඇති අදහස ක‍්‍රියාවට නැගෙන්නට පටන්ගෙන තිබේ. ඔහුට අනුව සිලින්ඩරයක් තුළ ස්ථාපිත කරන ප‍්‍රවාහන ඒකකය එම සිලින්ඩරයේ වායු පීඩනය වෙනස් කිරීම තුළින් අධික වේගයකින් ගමන් කිරීමට සැලැස්විය හැකිය. එය දැන් මහා මාර්ගයේ පවතින ධාවන වේගය ඉක්මවන කාර්යක්ෂම ක‍්‍රමවේදයකි.
එලොන් මස්ක් දකුණු අප‍්‍රිකාවේ උපත ලබා දැන් ඇමරිකාවේ ජීවත්වන අලූත් අදහස් ඇති අයෙකි. විදුලි වාහන නිපදවීම (Tesla Motor&amp) විද්‍යුත් කාඞ් ක‍්‍රමයට මුදල් ගනුදෙනු කිරීම (PayPal) ඇතුළු අදහස් ඉදිරිපත් කර ඒවා සාර්ථකව ලෝකයට හ`දුන්වා දී කීර්තියට පත්ව ඇති හෙතෙම මෙම සිලින්ඩරාකාර නලයක් තුළ කරන ප‍්‍රවාහනය ගැන අදහස මුලින් 2013 වසරේ දී ඉදිරිපත් කළේය.

පසුගිය දා එය ක‍්‍රියාවට නැගුන අතර ලොස් ඇන්ජලීස් සිට සැන් ප‍්‍රැන්සිස්කෝ දක්වා කිලෝ මීටර් 570 ක දුරක් පැයට කිලෝමීටර් 962 ක සාමාන්‍ය වේගයකින් ධාවනය කරවන්නට වැඩ අරඹා තිබේ. මේ අනුව මෙම දෙකෙළවර යා කරන්නට ගතවන්නේ විනාඩි තිස් පහක් පමණක් වන අතර උපරිම වේගයකින් එනම් පැයට කිලෝමීටර් 1,220 ක වේගයෙන් ගමන් කළහොත් ගතවන කාලය තවත් කෙටි වනු ඇති බව අනාවරණය වෙයි. මෙම අදහස සම්බන්ධ නිල පත‍්‍රිකාව මුලින් මහජනතාවගේ අදහස් ලබා ගැනීමට ඉදිරිපත් කර තිබූ අතර දැන් එය ක‍්‍රියාවට නැගීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන හයක ඉදිකිරීම් පිරිවැයක් දරන්නට සැලසුම් කර ඇත.

මෙම නගර දෙක අතර අධිවේගී මාර්ගයක පැයට කිලෝමිටර් එකසිය පනහකට අඩු සාමාන්‍ය වේගයකින් ගමන් කළ මගීන්ට නුදුරු දිනයක පැයට කිලෝ මීටර් දහසක වේගයකින් සහ වඩා ආරක්ෂාකාරී ආකාරයකට ගමන් කළ හැකි වුවහොත් ලෝකය පුරා සිදුවිය හැකි මගී සහ භාණ්ඩ ප‍්‍රවාහනයේ විප්ලවය කෙබ`දු මුහුණුවරක් ගනු ඇති දැයි විමසා බැලීම වැදගත්ය.සිලින්ඩරාකාර නලයක පීඩනය වෙනස් කිරීමෙන් අධිවේගයක් ඇති කරගෙන කරන මෙම ගමන ගැන අදහස ජාත්‍යන්තරයේ කතාබහට ලක්වී ඇති අවස්ථාවක ශ‍්‍රී ලංකාව තවමත් අධිවේගී මාර්ග සහ මොනෝ රේල් වැනි ව්‍යාපෘති ගැන තර්ක කරමින් සිටී.

අධික මාර්ග තදබදය සහ පවතින ප‍්‍රවාහන ක‍්‍රම සම්බන්ධව පැවැති බලවත් විවේචනය යම් පමණකින් දුරු වූයේ අධිවේගී මාර්ග කිහිපයක් රට තුළ ඉදි කිරීමෙන් අනතුරුවය. දිවයිනේ නොයෙක් පලාත් ආවරණය වන අධිවේගී මාර්ග ජාලයක් සැලසුම් කර ඇති අතර එය ක‍්‍රියාවට නැගෙන්නට වැය කළ යුතු මුදල ප‍්‍රශ්නයක් වන අතර ගත විය හැකි කාලය කොපමණ විය හැකි දැයි තක්සේරුවකට යා නොහැකිය. අධිවේගී මාර්ග ඔස්සේ නගර කරා වේගයෙන් පැමිණිය හැකි නමුත් නගරය තුළ මගී සහ භාණ්ඩ ප‍්‍රවාහනය අධික පිරිවැයක් දරන්නට සිදුවන සහ විශාල කාලයක් නාස්ති කරන ක‍්‍රියාවලියක් බවට පත්ව තිබේ. කාර්යක්ෂමතාව සහ ඵලදායීතාවය ගැන අවධානය යොමු කරන විට මෙම ප‍්‍රමාදය සහ අතිරේක වියදම ජන ජීවිතයට කරන හිරිහැරය බරපතල කාරණයකි.

Older Entries

Follow

Get every new post delivered to your Inbox.