වගකිවයුතු චරිතයක් ඕනෑ කර තිබේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2017/08/16 – ලංකාදීප

බටහිර රටවල ප‍්‍රකට කියමනක් තිබේ. ‘‘you need adult in the room’’ යන්න එයයි. තමන් අවට ස්වභාවය උදෙසා වැඩිහිටියෙකු අවශ්‍ය බව එයින් අඟවයි.  සමාජයක යම් යම් සිද්ධි පාලනයකින් තොරව සිදුවන විට ඒවා වෙනුවෙන් කිසියම් ඇනවුමක් කළ හැකි වගකිවයුතු චරිතයක අවශ්‍යතාව මෙයින් අදහස් කරයි.

මෙරට පැවැත්ම දෙස බලන විට එය වත්මන් සිද්ධි වලට ගලපා ගත හැකිය. පැන නැගෙන අසංවිධිත බව කිසියම් ආකාරයකින් පාලනය කළ හැකි චරිත උවමනා කර ඇති  බව පැහැදිලිව පෙනේ. සෑම ක්ෂේත‍්‍රයක්ම අවිධිමත් ස්වභාවයේ පවතින අතර එම ක්ෂේත‍්‍ර දෙස බලා වැඩිහිටියෙකු සේ දැනමුතුකමක් දෙන්නට පුලූවන්කමක් ඇති අය හිඟ බව නිරීක්ෂණය කළ හැකිය.

හැම තැනෙකම පාහේ කි‍්‍රයාකාරීත්වය නොදරුවන් ගේ මට්ටමට පත්ව තිබේ. කෝලාහලය විනා සන්සුන් බව නැත. බුද්ධිමත්ව යමක් දෙස බලන ව්‍යුහය දුර්වල වී තිබේ. පොදුවේ සඳහන් කළ හැකි දේ ඇත. ආගමික ස්ථානවල දර්ශනය නැත. පැවැත්ම වෙනුවෙන් ආන්දෝලන ඇති කරන්නට පටන්ගෙන ඇත. මාධ්‍යයේ යථාර්ථය නැත. පවතින සිද්ධි සංදර්ශන බවට පත් කර ඇති අතර ද්‍රෘෂ්ටියක පිහිටා ක‍්‍රියා කිරීම වෙනුවට ඇති කරන්නේ ව්‍යාජ රැළි බව සඳහන් කළ යුතුය. ගුරුවරු, දේශපාලනඥයන් සහ සමාජ නායකයන් හැසිරෙන්නේ වගකිව යුතු අන්දමට නොවේ. ජනප‍්‍රිය වෙන්නට විනා ගරුත්වය වෙනුවෙන් කටයුතු කරන්නට උත්සුක නොවන බව නිරීක්ෂණය කළ හැකිය. හරි දේ වැරදියට කරන අතර වැරදිකර එම දේ හරි යැයි තර්ක කරන ස්වභාවයකට රට පත්ව ඇත. අද ඇත්තේ බලය ඇති විට එය පාවිච්චි නොකිරීම වරදක් බව හිතන සමාජයකි. තමන්ගේ සියළු නොකටයුතුකම් ආවරණය කරගන්නට බලය උපයෝගීකරගත හැකි යැයි බලය ඇති පාර්ශවයේ අදහස වී තිබේ. පුන පුනා අසත්‍යය කියන විට එය සත්‍යයැයි සමාජයට ඒත්තු යන්නට පුලූවන් යැයි නිගමනය කරන ස්වභාවයක් පවතී. ප‍්‍රශ්නයක් පැන නැගෙන විට එහි අවධානය අන් තැනෙකට හරවන්නට වෙනත් මුසාවක් ප‍්‍රකාශ කිරීම ඉතාම සරල දෙයක් වී ඇත. එසේ කිරීම සියුම් හපන්කමක් යැයි හිතන්නට අද ඇතැම් නායකයන් නැඹුරු වී සිටී. මෙයින් සිදුවන්නේ කුමක්ද? විකෘති තත්ත්වයන් භයානක සේ ඉදිරියට පැමිණ ප‍්‍රකෘතිය යටපත් කිරීමයි.

සමාජය උසස් තැනකට පත් කරන්නට පෙරමුණගත යුතු යමක් කමක් දන්නා පිරිස මෙසේ හැසිරෙන විට රටට අත්පත්වන ඉරණම කුමක්ද? රට ගැන හිතන්නට වගකීමක් ඇති පිරිසක් අවාසනාවන්ත සේ ක‍්‍රියා කරන විට පැවැත්ම කොපමණ ශෝචනීය එකක් වී තිබේද? වර්තමානයේ සිදුවන සිද්ධි එකිනෙක පෙල ගසන විට අප අභිමුවෙහි පවතින ස්වභාවයේ තරම තේරුම්ගත හැකිය. මෙය වූ කලී ඉතා තියුණු අවධානයට ලක් විය යුතු තත්ත්වයකි.

ජන සමාජයක් කිසිම පිලිගත් විධානයක් රහිතව හැසිරෙන විට අපේ හැසිරීම දෙස බලා අවවාදයක් දිය හැකි නායකත්වයක් අවශ්‍යය. ජන සමාජ උසස් ගුණාංග වලින් පොහොසත් කරන්නට පරමාදර්ශී චරිත වලට හැකියාවක් ඇත. නමුත් එයට කලින් රටට හරි වැරදි කියා දෙන්නට උවමනා කර තිබේ. අඩුම තරමින් නොදරුවන්ගේ හැසිරීමක් දක්වන වත්මන් තත්ත්වය පාලනය කරගෙන සන්සුන් කරන්නට හැකි වැඩිහිටි පැලැන්තියක් රටට අවශ්‍යය.

milinda-prashna

ශිෂ්‍යයන්ගේ චර්යාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

 

milinda-prashna

2017/08/09 – ලංකාදීප

අයිවර් ජෙනින්ග්ස් මෙයින් වසර හැට පහකට කලින් ලියන ලද සටහනක් කියවන්නට ලැබිණ. විශ්ව විද්‍යාල දරුවන් ගැන එය ලියා ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා වූ හෙතෙම මෙරට පළමු ව්‍යවස්ථාව කෙටුම්පත් කළ විද්වතා වශයෙන් වඩාත් ප‍්‍රකටය.

ශිෂ්‍යයන්ගේ චර්යාව යනුවෙන් ලියැවිල්ල අරඹන හෙතෙම එහි මුලින් කියන්නේ තම බිරිඳ සමග වාහනයෙන් යන එන විට පාසල් දරු දැරියන් ඉතා විනීතව පාරේ ගමන්කරන සුන්දර බව ගැනය. එහි ඇති ශික්ෂණය සහ සන්සුන් බව විශ්ව විද්‍යාලයට පැමිණි වහා වෙනස් වෙන්නේ කෙසේදැයි ජෙනින්ග්ස් ප‍්‍රශ්න කරයි. එය දුබල මානසිකත්වයක් යැයි හදුන්වන එතුමා ලෝකයේ වෙනත් රටක දී විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාවගෙන් එවැනි නුසුදුසු පැවැත්මක් අත් නොවිඳී බව දක්වයි. මෙයින් දශක හයහමාරකට කලින් පවා මෙරට විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය සංගම් ඒවායේ නිලවරණ ගැන කතා කරන හෙතෙම එම ශිෂ්‍ය සංගම් ඡන්ද වල ක‍්‍රියාකාරකම් කිසිසේත් අනුමත කළ නොහැකි බව කියයි.  විනයක් නැති ශිෂ්‍ය හැසිරීම්, නවක වධය හා ගුරුවරුන් පවා නොතකා කරන ඇතැම් දේ බටහිර සම්ප‍්‍රදාය ලෙස කියන නමුත් කිසිසේත් එය ඇත්තක් නොවේ යැයි දක්වා ඇත. එනම් මේවා බටහිරෙන් පැමිණි ගුණාංග නොව මෙරට ඇත්තන්ම හදා ගත් ඒවා බව ජෙනින්ග්ස් එම ලියැවිල්ලේ අවධාරණයයි.

ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල දරුවන්ගේ තත්ත්වය ගැන අයිවර් ජෙනින්ග්ස් ගේ  දැක්ම ගැන වාද කරන්නට අවශ්‍ය නැත. දශක හයහමාරක කාලය තුළ එය තව තවත් පිරිහී දුඛිත ස්වභාවයකට පත්වීම ශෝක ජනකය. අද විශ්ව විද්‍යාලයට එන දරුවන් නොකරන්නේ ඉගෙනගැනීම පමණකි. ඔවුහු අනෙක් සියළු සමාජ ව්‍යවසනයන්හි කොටස්කරුවෝ බවට පත්ව සිටිති. කොපමණ දරුණු ද යත් ඉතාම දුක් මහන්සියෙන් හදා වඩා විශාල මහන්සියකින් උපයා ගන්නා ධනය වියදම් කර විශ්ව විද්‍යාලයට එවූ පසු දෙමාපියන් තම දරුවන් ගැන ශෝක වන බව පෙනේ. එය කොපමණ අභාග්‍යයක් ද යන්න තේරුම් ගැනීම වැදගත්ය.

වර්තමානයෙහි මෙරට විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව දේශපාලනයෙහි නිරතවන්නේ අන්තවාදීවය. ප‍්‍රශ්නයක් දෙස විවිධ පැතිවලින් සාකච්ඡා කර තීරණයකට එන්නට සමත්විය යුතු බුද්ධිමත් ප‍්‍රජාවක් වන විශ්ව විද්‍යාල දරුවන් සිය විශ්ව විද්‍යාල ජීවිතයෙන් වැඩිම කාලයක් වෛරයෙන් හා පීඩනයෙන් ගත කරන බව මෙහිලා සඳහන් කළ යුතුය.

පේරාදෙණිය විශ්ව විද්‍යාල උප කුලපති ධුරයෙන් පසු ජෙනින්ග්ස් කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ ප‍්‍රධානියා වශයෙන් පත්ව යයි. මෙහි සඳහන් කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ චර්යාව ගැන ලියැවිල්ල අවසානයේ ඔහු කරුණු පහක් මෙරට බලධාරීන්ගේ අවධානයට යෝජනා කර තිබේ. ඒවායෙන් කියන්නේ කිසිම ලෙසකින් නවක වධයට ඉඩ දිය යුතු නැති  බවය. ශිෂ්‍ය සංගම් වෙනුවෙන් ප‍්‍රචාරක මෙහෙයුම්, රැස්වීම් පෙලපාලි  තහනම් කළ යුතු අතර මැතිවරණ ජය ගැන සතුටුවීමට ද ඉඩ නොතැබිය යුතු බව ද එහි දක්වා තිබේ.

ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාල වල තත්ත්වය උසස් කර දරුවන් හොඳීන් ඉගෙනගන්නා තැනට පත් කරන්නට නම් අනුගමනය කළ යුතු එක වැදගත් යෝජනාවක් තිබේ. අතීතයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආරම්භක උප කුලපතිවරයා ලියා ප‍්‍රකාශයට පත්කරන ලද ලියැවිල්ල නැවත ජනගත කිරීමය.

විධායක ජනාධිපති ධුරය ඕනෑද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2017/08/02 – ලංකාදීප

විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කළ යුතු බවට සමාජය තුළ සංවාදයක් තිබේ. පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විශ‍්‍රාම ගැනීමෙන් පසු 1992 වසරේ දී ‘‘Men and Memories’’ යනුවෙන් ග‍්‍රන්ථයක් රචනා කළේය. එය එතුමා විශ‍්‍රාම සුවයෙන් සිටි කාලයේ ලියන ලද එකම කෘතියයි. එහි හයවැනි පරිච්ඡේදය විධායක ජනාධිපති ධුරය වශයෙන් නම්කර ඇත. එහි දක්වා ඇති අන්දමට ඔහු විධායක ජනාධිපති ධුරය ගැන අදහසක් රටට පළමුවෙන් අනාවරණය කරන්නේ 1966 දෙසැම්බර් මාසයේ දීය. එවකට ඩඞ්ලි සේනානායක ආණ්ඩුවේ ඇමැතිවරයෙකු වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා ශිෂ්‍ය සංගමයේ දේශනයක දී එය කර ඇත.

එම දේශනයේ දී ‘‘කිසියම් කාලපරිච්ඡේදයක් සඳහා පාර්ලිමේන්තු ක‍්‍රියාවලියෙන් යැපෙන්නේ නැති කෙලින්ම ජනතාව තෝරාගන්නා ස්ථිර කාල සීමාවකට පුළුල් බලතල ඇති විධායකයෙකු අවශ්‍ය වන අතර සංවර්ධනය වන රටක් වශයෙන් අද අප මුහුණ පා ඇති ප‍්‍රශ්න අනුව එය ඉතාමත් අවශ්‍යය. විධායකයෙකු සිටින  සමහර රටවල් ඇති අතර බි‍්‍රතාන්‍ය හා ඇමරිකානු ක‍්‍රම මිශ‍්‍ර කරගෙන සම්පාදනය කර ඇති නව ප‍්‍රංශ ව්‍යවස්ථාව හොඳ උදාහරණයකයැයි’’ දේශනයේ දී සදහන් කරන ලද බව කෘතියෙහි අනාවරණය කර තිබේ. ‘‘ දුර්වල, වැඩි බලයක් නැති පාර්ලිමේන්තුවකට නිවැරදි, එහෙත් ජනප‍්‍රිය නැති තීරණ ගැනීමේදී විධායකය යනු වැදගත් ධුරයයක් යැයි’’ හෙතෙම එහි දී කියා තිබෙන බව ද මෙම පරිච්ඡේදයේ මතක් කර දී ඇත.

ජේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ක‍්‍රමයෙහි අවශ්‍යතාව නැවතත් මතු කර ඇත්තේ 1972 දී බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන අවස්ථාවේ දී ය. ව්‍යවස්ථා සම්පාදක කවුන්සලයට විධායක ජනාධිපති ක‍්‍රමයක් ගැන යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස හෙතෙම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා කරන ලද නමුත් පක්ෂ නායක ඩඞ්ලි සේනානායක මහතා එයට අනුකූලතාවක් දක්වා නැත. නමුත් ඇමරිකාව වැනි රටවල් වේගයෙන් ඉදිරියට ආවේ විධායක බලය හෙයින් බව ඩඞ්ලි සේනානායක මහතා පිළිගෙන තිබේ. එයින් අධෛර්යයට පත් නොවූ හෙතෙම පක්ෂයට දැනුම් දී 1971 ජූලි 02 දා ව්‍යවස්ථා සම්පාදක කමිටුව හමුවට ගොස් විධායක ජනාධිපති ක‍්‍රමයක් අවශ්‍ය බවට යෝජනාවක් කර තිබේ. ඔහු සමග එවකට විපක්ෂයේ සිටි ආර්. පේ‍්‍රමදාස මහතා එහිදී එම යෝජනාව අනුමත කර ඇත. එනමුත් එම ව්‍යවස්ථා සංශෝධනයේ දී සැලකිල්ලට නොගත් එම යෝජනාව පැත්තකට කර තිබේ. නිදහස ලැබූ දිනයේ සිට බලයට පත් වූ සියළුම ආණ්ඩු බහුතර බලය අඩු දුර්වල ඒවා වූ අතර වේගයෙන් වැඩ කරන්නට අසමත් වූ හෙයින්  විධායක ජනාධිපති ක‍්‍රමයක අවශ්‍යතාව මතු කරන්නට හේතු වූ බව ජයවර්ධන මහතා මෙම ලිපියෙන් මැනවින් අවධාරණය කර ඇත.

පක්ෂ ක‍්‍රමය හෙයින් අඩු මන්ත‍්‍රී බලයක් ඇති ආණ්ඩු වලින් රට සංවර්ධනය කරන්නට අවශ්‍ය තද තීරණ ගැනීමට නොහැකිය. විධායක බලය සහිත රටවල් ලබා ඇති දියුණුව සලකා විධායකය අවශ්‍ය යැයි තමන් ප‍්‍රතිපත්ති තීරණයක සිටි බව ජේ. ආර්. ජයවර්ධන මහතා මෙම කෘතියෙහි අවධාරණය කර තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මහජන නියෝජිතයෙකු මහත් ධෛර්යෙන් යුතුව විධායක ජනාධිපති ක‍්‍රමය රටට ඇති කරන්නට පැමිණි දීර්ඝ ගමන ගැන යම් අදහසක් මෙයින් ලබාගත හැකිය. වැඩි දුරටත් ගවේශනය කරනු කැමැති විද්වතුන්ට ජේ. ආර්. ජයවර්ධන මහතා ගේ ලියැකියැවිලි පිරික්සීම සුදුසුය. විධායක ජනාධිපති ක‍්‍රමයෙන්  වසර හතලිහකට පසු අද රටට මෙම ක‍්‍රමය නොගැලපෙන බවට තද විවාදයක් පවතී. එහෙත් එය අනවශ්‍ය මන්ද යන කාරණය බරපතල ලෙස විග‍්‍රහ කරන්නට අප අසමත්ය. ජේ. ආර්. ජයවර්ධන මහතා ‘‘ දුර්වල, වැඩි බලයක් නැති පාර්ලිමේන්තුවකට නිවැරදි එහෙත් ජනප‍්‍රිය නැති තීරණ ගැනීමේදී විධායකය ප‍්‍රයෝජනවත් විය හැකිය’’ යන කාරණය අද වන විට පැත්තකින් තැබීමට තරම් ශ‍්‍රී ලංකාව සමෘද්ධිමත් තැනකදැයි ප‍්‍රශ්න කළ යුතුව තිබේ.

පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය කොපමණ උසස් නමුත් රටට අවශ්‍ය කරන මොහොතක වැදගත් තීරණ ගැනීමේ දී එය දක්වන දුර්වල හැසිරීම අදටත් මෙරට සාමාන්‍ය ජනතාව පවා අත් විඳින කටුක තත්ත්වයක් බව දැක්වීම අවශ්‍යය.