ජනතාවට කලන්තේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2018/05/16 – ලංකාදීප

ඛනිජ තෙල් මිල වැඩි කිරීම සන්සුන් ස්වභාවයක තිබුණද එදිනෙදා ජන ජීවිතය කලත්තන්නට හේතු වී තිබේ. කාලගුණය හා බලශක්තිය අලූත් ව්‍යුහ අනුව ආර්ථිකයට බලපාන ප‍්‍රධාන මර්මස්ථාන දෙකකි. කාලගුණය පාලනය කළ නොහැකි අන්දමට බලශක්ති අංශයෙන් ද ශ‍්‍රී ලංකාවට ගැලවීමක් නැත. ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල ගණන් ඉහළ ගොස් ඇත. රජයේ ආනයන වියදම් පාලනය කරගත නොහැකි වී තිබේ. මෙම තත්ත්වයට මුහුණ දීමට  ඕනෑම ආණ්ඩුවකට සිදුවීම වැලැක්විය නොහැකි අතර උපක‍්‍රමශීලී වීම හැර අන් මගක් නැත.

ඛනිජ තෙල් ආනයනය හා රට තුළ අලෙවිය පහසු ව්‍යාපාරයක් නොවේ. ලෝක වෙළඳ පොලේ නිතර වෙනස් වන මිල ගණන් සමග රට තුළ ස්ථාවර මිල මටට්මක් පවත්වා ගැනීම දුෂ්කරය. ඉතිහාසයේ සිට උගන්වන පාඩම එයයි. ක‍්‍රම දෙකකින් එයට මුහුණ දිය හැකිය. එකක් වසර පුරා සාමාන්‍ය මිලක් පවත්වාගැනීම. මිල වැඩි කාලයේ දී අඩු මිලට විකිණීමෙන් ලාභ උපයන අතර බොර තෙල් මිල වැඩි වන වකවානුවේ දී මුලින් ලැබූ ලාභයෙන් පාඩු පියවා ගැනීමය. අනෙක් ක‍්‍රමය ඉතා තරගකාරී ව්‍යුහයකින් පවත්වාගෙන යාම බව සඳහන් කළ යුතුය. ලෝක වෙළඳ පොලේ මිල අඩු වැඩිවන සෑම අවස්ථාවකම එහි මිලට අනුකූල වන මිල සූත‍්‍රයක් නඩත්තු කිරීමය. ඒ සඳහා  රට තුළ තෙල් ආනයනය හා විකිනීමේ ඒකාධිකාරය ඉවත් කළ යුතු අතර තද නියාමනයක් අවශ්‍යය. සහන දිය යුතු අංශ ඇත්නම් කෙලින්ම අය වැය ලේඛනයෙන් මුදල් වෙන්කළ හැකිය.

එසේ හෙයින් ඉන්ධන මිල සූත‍්‍රය මෙකී පැති නොසලකා ඉතාම නරක වෙලාවක හදුන්වා දුන් යහපත් ආර්ථික සංකල්පයකි. ජනතාව මුහුණ පා සිටින පීඩනය නොසලකා ගත් තීරණයකි. මෙරට ආර්ථිකය දුෂ්කර තැනක පවතින අතර ජනතාව එයින් පීඩා විඳිමින් සිටිති. ආර්ථික වර්ධනය පහත වැටී තිබේ. වැඩ කරන ජනතාව මත තව තවත් බදු පනවා ඇත. බදු සංශෝධන වල බර පාරිභෝගිකයන් මත පැටවී ඇති අවස්ථාවක ඔවුහු තවත් අසීරු අඩියකට පත් කරමින් ඉන්ධන මිල ගණන් ද ජනතාව වෙත හැරවීම සුදුසු නැත. ප‍්‍රජාව මුහුණ පා සිටින දුෂ්කරතා ගැන ප‍්‍රමාණවත් අවබෝධයක සිටීම ජනතාවාදී ආණ්ඩුවක ප‍්‍රධාන ලක්ෂණයකි. තීරණ ගැනීම පමණක් නොව තීරණයක් ගැනීමට ඉතාම නුසුදුසු මොහොත නිසි සේ හදුනාගෙන තිබීම දක්ෂ පාලකයන්ගේ වගකීමකි.

සෘජු බදු වැඩිකර, ඉන්ධන මිල සූත‍්‍රයක් පනවා පාලනය විනිවිද කරන බව පෙන්වන ආණ්ඩුවේ මැති ඇමැතිවරු එය ඔවුන්ට අනුගමනය නොකරන්නේ ඇයි? කැපවීම දුප්පතුන්ටය. අති විශාල බදු සහන මැති ඇමැතිවරන්ටය. බදු රහිතව ආනයනය කරන වාහනයක මිල ලක්ෂ හාරසියය, පන්සියය ඉක්මවයි. මේවාට තෙල් ජනතාවගේ බදු වලින් බව සඳහන් කළ යුතුය. මැති ඇමැති දීමනා, ගොඩනැගිලි කුලී, ගුවන් ගමන් වියදම්, විදේශ සංචාර, කාර්යාල නඩත්තුව පමණක් නොව පාර්මේන්තුවට යන එන දීමනා ද ජනතාවට බරකි. පලාත් සභා, පලාත් පාලනය සහ රාජ්‍ය යාන්ත‍්‍රණයේ නිලධාරී පැලැන්තිය කිසිම අවස්ථාවක කැපවීමක් කරන්නේ නැත. රට දුෂ්කර තැනෙක පසුවන බව ඔවුන්ට දැනෙන්නේ නැත්තේ ඇයි? එක දවසක් අඩු මිලට තෙල් මිල දී ගැනීමට ජනතාව තෙල් පෝලිමේ සිටින අතර වාරයේ ආරක්ෂකයන් පිරිවරාගෙන නිල වාහන වලින් සැරිසරන මෙරට දේශපාලනඥයන් රටට දෙන ආදර්ශය කුමක්ද? ජනතා නියෝජිතයන් වශයෙන් රට තුළ පවතින තත්ත්වය ගැන කැක්කුමක්, වේදනාවක් නැති පාලකයන්ගෙන් අපේක්ෂා කළ හැකි දර්ශනය කුමක්ද?

මිල සූත‍්‍රයක් කරගෙන යන හැකියාව මෙරට ආර්ථිකයට නැත. වෙළඳ පොල යාන්ත‍්‍රණය ඉතාම දුර්වල තැනක තිබිය දී මිල අඩු කිරීම හා නැවත වැඩි කරන හැම අවස්ථාවකම පාඩුව පාරිභෝගිකයා වෙත පැවරෙන බව නිසැකය. තෙල් මිල අඩුවන විට ඒවායේ වාසිය ගොවියාට ලැබෙන සේ වට්ටක්කා ප‍්‍රවාහනය කරන්නට මෙරට භාණ්ඩ ප‍්‍රවාහන අංශ සූදානම්ද? වහා ගාස්තු අඩු කරන්නට බස් සංගම් නිවේදන නිකුත් කරනවායැයි උපකල්පනය කළ හැකිද? මැති ඇමැතිවරු හා නිලධාරීහු මෙම ප‍්‍රශ්න වලට උත්තර දිය යුතුය.

 

 

Advertisements

රජ්ජුරුවෝ හෙළුවෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2018/05/10- ලංකාදීප

එක්තරා ජන කතාවකට අනුව පිටරටකින් පැමිණි උපායශීලී පිරිසක් රජ්ජුරුවන්ට අලූත් ඇදුමක් සකස් කරන්නට කැමැත්ත පළ කර ඇත. එයට අනුමැතිය ලැබී තිබේ. මාළිගයේ කොටසක් වෙන් කරගත් ඔවුහු ඉහළම සත්කාර ලබමින් කාලය ගත කර තිබේ. අවසානයේ දී නිම කළ ඇදුම රජ්ජුරුවන්ට පෙන්වයි. ඥානවන්තයන්ට පමණක් පෙනෙන ඇදුමක් බව උපායශීලීහු නිවේදනය කරන අතර රජ්ජුරුවෝ මෙතැන ඇදුමක් තැතැයි කියන්නට මැලි වෙති. ඒ රජු අඥාණ යැයි ප‍්‍රසිද්ධ වන හෙයින්ය. රජුට පෙනෙන ඇදුම තමන්ට නොපෙනෙනවා යැයි ඇමැතියෝ කියන්නේ නැත. ඇමැතිවරු නොකියන හෙයින් නිලධාරීහු ද, ආරක්ෂකයෝ ද මුනිවතින් සිටිති. සියළුම දෙනා බුද්ධිමතුන්ය. අලූත් ඇදුම ඇඳගෙන සැරිසරන්නට රජුට කැමැත්තක් ඇති විය. එසේ කළේය. පුරවැසියෝ ද රජු නිරුවතින් බව කියන්නට මැලි විය. එය රාජ උදහසට හේතුවකි. අනෙක අඥාන බව පළ කිරීමකි. රජ පෙරහර බලා සිටි කුඩා දරුවෙකු රජ්ජුරුවෝ හෙළුවෙන් යැයි කෑ ගැසී යැයි සඳහන්ය. හැබෑවට රජ්ජුරුවෝ නිරුවතින් යයි හැම දෙනෙකුම කියන්නේ එයින් අනතුරුවය.

මෙම කතාන්දරය වර්තමානයට ගැලපෙන්නේ නැත. උපායශීලීන්ට පහසුවෙන් රැවටිය හැකි රජවරු දැන් කාලයේ නැත. රට පාලනය කරන්නේ ජන නායකයෝය. ජනතා වරමින් බලයට පත්වන ඔවුහු ධුර කාලය තුළ රට දියුණු කරන මහා සංවර්ධන සැලසුම් සකස් කරති. බලයට පත්වන ආණ්ඩු යෝජනා කරන අදහස් ක‍්‍රියාවට නැගුණේ නම් අද වන විට ලෝකයේ පවතින ඉතාමත් ඉසුරුමත් දිවයින ශී‍්‍ර ලංකාවයි. නමුත් එය එසේ නොවේ. පුරවැසියන්ට සෑහෙන ප‍්‍රශ්න තිබේ. ජීවත්වීම අමාරු බව ප‍්‍රකාශ වෙයි. ජීවන වියදම දිනෙන් දින ඉහළට යන අතර එය නොසලකන ආණ්ඩුව තව තවත් බදු වැඩි කරමින් සිටිති. පොදු ජනතාවට ගමන බිමන දුෂ්කරය. මගට වැඩ කරන කාලය අපරාධයක් වී තිබේ. දරුවන්ගේ අධ්‍යාපනය, දරු පවුලේ සෞඛ්‍ය  සෑම කෙනෙකුටම පොදු අපහසුතාවයන්ය.

ජනතාවගේ පීඩනය දුරු කරන බව කියා බලයට එන පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ හැකි උපරිම පහසුකම් භුක්ති විඳින අතර වැසියන්ගේ වේදනාව තකන්නේ නැත. ක‍්‍රමය විකෘති කර පැවැත්ම තහවුරු කරගෙන තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංග බව පෙන්වමින් දේශපාලනඥයන් ඉතාම නරක ප‍්‍රතිපත්ති අනුගමනය කරමින් සිටී. බලය පාවිච්චි කිරීම පමණක් නොව ඉතා අශෝබන ලෙස මහජන මුදල් තම ප‍්‍රයෝජනයට ගැනීමට නැඹුරු වී තිබේ. නිල නිවාස, යාන වාහන, දෙස් විදෙස් සංචාර, අති සුඛෝපභෝගී කාර්යාල සිය උවමනාව වෙනුවෙන් උපයෝගී කරගනිමින් සිටින අතර නීති හා විධි විධාන පවා දේශපාලනඥයෝ තම වාසියට හරවා ගනිමින් සිටිති. දුප්පතාට එක නීතියක් බල පවත්වන අතරවාරයේ ධනය හා බලය ඇති දේශපාලනඥයන් වෙනුවෙන් අනෙකකි. මහජනතාව ගේ දුක හා වේදනාව නොසලකා ඉතාම සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සිටිති. විනය ගරුක නැත. පටු අරමුණු ඇතිව කි‍්‍රියා කරමින් සිටින අතර සමාජ සම්ප‍්‍රදායයන් නොසලකන තත්ත්වයකට පත්ව තිබේ. එසේ කරන්නේ පිරිසිදු වස්ත‍්‍ර වලින් සැරසී ඉතාම ආදරණීය වචන වලින් කතා කරමින් බව සඳහන් කළ යුතුය.

ආගමික නායකයන්, ජනතාව, බුද්ධිමතුන් සහ ජනමාධ්‍ය මෙරට විකෘති දේශපාලන පැවැත්ම ගැන අප‍්‍රසාදයෙන් සිටිති. රජ්ජුරුවෝ හෙළුවෙන් යැයි කැගසා කියන අප‍්‍රමාණ පාර්ශව සිටී. කවියෙන්, ගීතයෙන්, කාටුන් චිත‍්‍රයකින් දේශපාලනඥයන්ගේ නිරුවත හෙළිදරව් කරන අතර එය දේශපාලනඥයන්ට දැනෙන්නේ නැත. දේශපාලන නායකයන් කරගෙන යන ක‍්‍රමයේ වැරදි දෙස බලන්නට එකී විවේචන කිසිසේත් උපයෝගී කර නොගන්නා බව ඉතාමත් පැහැදිලිව පෙනේ. ලජ්ජාව සහ බය නැති නායකයෝ ඉතාම වටිනා වාහන වල නැගී උස් හඬින් කතා කරමින් මිත්‍යාව වපුරවන අතර ඒවා පළකරන මාධ්‍ය මෙකී නිරුවත් දේශපාලනඥයන් වීරයින් බවට ඔසවා තබමින් සිටී. උසස් සංස්කෘතියක්, අනර්ඝ සමාජ පැවැත්මක් පැවැති බවට ඉතිහාසගත ශ‍්‍රී ලංකාවේ පැවැත්ම අසාරවත් තැනකට පත් වෙමින් තිබේ. මුළු සමාජයම විකෘති වී ඇත. බුද්ධ දේශනාවෙන් ද දක්වා ඇති ලජ්ජාව හා බය නැවත මෙරට ඇති කිරීම ප‍්‍රමුඛ අවශ්‍යතාවයකි.

 

 

හැදෙනවා නම් ආදර්ශයට ගත හැකි තැන් එමටය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2018/05/02 – ලංකාදීප

‘‘පැලක ඉන්නවා නම්, දොළක නානවා නම් රුවල් නැව් මොකටද’’ කොළඹ නගරයේ ජනාකීර්ණ මාවතක ගමන් කරමින් තිබුණ වාහනයක පිටුපස මෙම වාක්‍ය ලියා ප‍්‍රදර්ශනය කර තිබුණි. පිටු ගණනකින් ප‍්‍රකාශ කළ හැකි අදහසක් වචන දහයකට අඩු ගණනකින් සරලව දක්වා තිබේ. රට පුරා සැරිසරන බස්, ලොරි හා තී‍්‍ර විලර් රථ වල  අදහස් සැහෙන ප‍්‍රමාණයක් ප‍්‍රදර්ශනය කර ඇත. ඇතැම් එකක අදහස වටිනා බව ඉතාමත් පැහැදිලිය. ආදර්ශයට ගත හැකි කරුණු කාරණා බොහෝ ප‍්‍රමාණයක් ඒවා අතර තිබේ.

මුලින් සඳහන් කරන ලද වාක්‍යයෙන් ලොකු බලාපොරොත්තු නැති සරල ජීවිතයක් ගැන ඇඟවෙයි. එය තේරුම් ගත හැකිය. එනමුත් ඇත්ත එය නොවේ. සෑම සියළු දෙනාටම විශාල අදහස් ඇත. අපේක්ෂා තිබේ. ඒවා සාක්ෂාත් කරගැනීම සඳහා එකිනෙක අයට අනන්‍ය වෙනස් වැඩ කරන ස්වභාව තිබේ. ලොකුවට හිතුවොත් සුළුවෙන් හෝ දිනන්නට පුලූවන්කමක් ඇත. සාමාන්‍ය අදහස එයයි. ඉහළම බලාපොරොත්තු ඇතිව ඉතා මහන්සියෙන් වැඩ කරන අය සිටිති. එසේ වැඩ කරන්නේ ඒවා දිනා ගන්නට ධෛර්යය ඇතිවය. ඉතාම ධෛර්යය සම්පන්න මිනිසුන් අති මහත්  ඕනෑ කමකින් අරමුණ කරා ගමන් කරති. සෑම කෙනෙකුම සිහිනයක් දකින අතර එය සාක්ෂාත් කරගැනීම සඳහා කැපවීමෙන් පමණක් සිහිනය සැබෑ කරගත හැකි වෙයි. එයට අනුව බලන විට ලොකු බලාපොරොත්තු ඇති කරගැනිම නරක නැත. ලෞකික ජීවිත ගත කරන අප සියළු දෙනාම කවදා හෝ රුවල් නැවක් අයිති කරගන්නට හිතා ඉන්නා අය අතර වෙති. යතාර්ථය එයයි.

වැසියන්ට පමණක් නොව රටක ද ස්වභාවය නොවෙනස්ය. පවතින තත්ත්වයට වඩා ඉහළින් හිතන්නට අයිතියක් ඇත. උසස් දර්ශනයක් ඇතිව නිසි සැලැස්මකට රට  මෙහෙයවන විට රටත් එහි වෙසෙන ජනතාවගේත් ජීවිත දියුණුවට පත්වෙයි. ලෝකයේ දියුණු රටවල් සහ ඒවායේ ජීවත්වන වැසියෝ සිය සිතිවිලි සාර්ථක කර ගැනීම සඳහා වැඩ පිලිවෙලක් සකස් කරගෙන ඒ අනුව මෙහෙයැවෙන බව සඳහන් කළ යුතුය. අලූත් දේ සොයා ගැනීමත් ඒවා සමාජ යහපත සදහා උපයෝගී කරගැනීමත් නොනැවතී සිදුවෙමින් තිබේ. සියවස් ගණනකට කලින් තිබුණ සමාජ ආර්ථික පසුබිමට වඩා වෙනස් ස්වභාවයක් අද පවතින අතර එය පරිවර්තනයක් උදෙසා නොනවතින අරගලයක නිරත වූ උසස් මනුෂ්‍යයන්ගේ කැපවීමේ ප‍්‍රතිඵලයකි.

හැදෙනවා නම් ලෝකය පුරා ආදර්ශ තිබේ. දියුණු වෙන්නට අවශ්‍ය නම් එයට මග දක්වන අත්දැකීම් ලෝකයේ කොතැනකින් හෝ ලබා ගත හැකිය. මෙරට දීර්ඝ ඉතිහාසය තුළ ලියැවී ඇති අත්දැකීම් සම්භාරය වෙනත් රටවල් වලට නැත. වැව දාගැබ, ගම හා පන්සල අතර ඇති අනන්‍ය සම්බන්ධතාවය විශාල වපසරියක් පුරා විහිදී යයි. ලංකාව සශී‍්‍රක පුනරුදයක පසුවිය. නොයෙක් රටවල් වලින් පැමිණි ආගන්තුකයෝ රට සමග ගනු දෙනු කරන ලද බව ඉතිහාසයෙහි දැක්වෙයි. බටහිර අධිරාජ්‍යවාදීහු රට යටත් විජිතයක් කරගත්හ. එය මෙරට අනන්‍යතාව හා උසස් අභිමතාර්ථ යටපත් වූ අවස්ථාවකි. නිදහස ලැබීමෙන් පසු ගත වූ දශක හත තුළ දියුණුව උදෙසා දරන ලද අප‍්‍රතිහත වෑයම සම්පූර්ණයෙන් අසාර්ථක බව ප‍්‍රකාශ කළ නොහැකි නමුත් එය තිරසාර පැවැත්මක් ඇති කරන්නට සමත් වී නැත.

විනය සම්බන්ධ ප‍්‍රශ්න ජන සමාජය තුළ මතු වී තිබේ. සාරධර්ම අර්බුදයකට ලක්ව ඇත. ජන කණ්ඩායම් අතර විශ්වාසය පිලිබඳ ගැටළු පවතින අතර නොයෙක් බෙදීම් නැවත නැවතත් පවතින තත්ත්ව ව්‍යාකූල කරන බව පෙනෙන්නට තිබේ. මේවා අලූතින් සාකච්ඡා කළ යුතු දේ නොවේ. රට තුළ පවතින සමාජ ආර්ථික පරිහානිය ගැන  ආගමික, ජාතික සහ දේශපාලනික නායකත්වයට අවබෝධයක් ඇත. නමුත් සියළු පැති නිසි සේ සලකා බලා අලූත් ජවයකින් රට එකතු කරන්නට පුලූවන් කමක් ලැබී නැත. අපට රුවල් නැව් අවශ්‍ය නැතැයි හිතන, එදා ජීවිතය ගත කරන ව්‍යුහයකට කොටුවීම එහි ප‍්‍රතිඵලයකි. අවසානයේ දී කොතැනකින් හෝ වෙනසක් සිදුවිය හැකිය.