ගහ හැදෙන්නටත් පෙර අස්වැන්න නෙළීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/11/25 – ලංකාදීප

මෙරට සමාජය තුළ සංස්කෘතික දුර්වල කමක් තිබේ. ගහ හැදෙන්නට කලින් අස්වැන්න අපේක්ෂා කිරීමය. දේශපාලනඥයන් ආර්ථිකය සම්බන්ධයෙන් එය මැනැවින් ප‍්‍රයෝජනයට ගනී. එම උපයෝගී කරගැනීම තුළ මහජනතාවගේ බලාපොරොත්තු ඉහළ නංවන අතර කැපවීම සහ ඉවසිල්ල නැති සමාජ ක‍්‍රමයක් බිහි කර තිබේ. නිදහස ලැබූ දිනයේ සිට ශ‍්‍රී ලාංකේය සමාජය ඉතාමත් ඉක්මනින් ප‍්‍රතිඵල ඉල්ලන අතර ඒවා සාක්ෂාත් නොවන පසුබිම තුළ පාඩමක් ඉගෙනගන්නේ ද නැත.
පෙනෙන ආකාරයට සිවිල් සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග ගැන බලවත් මානව අයිතිවාසිකම් සහ සංහිදියාව වැනි කරුණු ගැන ඉතා උනන්දුය. නමුත් ආර්ථිකය ගැන සෙවිල්ල දුබලය. ආර්ථිකයක් හැදෙන්නේ කොහොමද සහ එම ආර්ථිකය හදන්නට ගත යුතු ප‍්‍රතිපත්ති තීරණ ගැන සියුම් සංවාදයක් නැත. එහෙයින් දේශපාලනඥයන් කියන්නේ තමන්ට ඇති හැකියාව ගැනය. දවසකින් දෙකකින් ආර්ථිකය හදන මැජික් විසඳුම් ඇති බවය. එකී හැකියාව ඔවුන් සන්නිවේදනය කරන අතර ජනතාව යම් පමණකට විශ්වාස කරයි. තීරණ ගැනීමේ අමාරුකම් නොපෙන්වන අතර ආර්ථිකය ගොඩනැගීමේ දී පවත්වාගත යුතු කැපවීම ගැන සඳහන් නොකරයි. එහි ප‍්‍රතිවිපාක සමස්ථ සමාජය අඩු වැඩි වශයෙන් ගෙවන බරපතල වන්දියක් බවට පත්ව තිබේ.

යහපත් ආර්ථිකය තුළ සමාජ සාධාරණත්වය දැනෙන්නට අවශ්‍යය. සියලූම දෙනාට ජීවත්වීමේ පහසුව තිබිය යුතු අතර හොඳ ආදායමක් ලැබෙන සහ ආර්ථික සුරක්ෂිතතාවය ගැන උසස් සංකල්ප පවතින තැනක් බවට සමාජය පත්විය යුතුය. එවැනි තැනකට ආර්ථික ස්වභාවය වෙනස් කරන්නේ කෙසේද? අප සියලූ දෙනාම සාකච්ඡා කළ යුතු වැදගත්ම කාර්යය එයයි. එය පහසු නැති කාර්යයකි. මිහිරි වචන වලින් මෙම වෙනස් කිරිම කළ නොහැකිය. එපමණක් නොව හොඳ ආර්ථිකයක් යනු සිවිල් සමාජය අපේක්ෂා කරන යහපත් පාලනය සම්බන්ධ ගුණාංග වල ශක්තිමත් අත්තිවාරම බව තේරුම් ගැනීම අවශ්‍යය.
අද සඳහන් කරන මැදි ආදායම් මට්ටමට රට බවට පත්ව ඇත්තේ නිරායාසයෙන්ය. මෙම නිරායාසය තුළ නිෂ්පාදනය වැඩිවී නැත. වැඩිපුර නිපදවන දේ වෙළඳ පොලට සපයා නැත. වෙළඳ පොල රට තුළ පමණක් නොව රටින් එපිටට ද පතුරවන්නට හැකියාව ලැබී නැති බව ද නිරීක්සණය කළ හැකිය. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ආනයන මත පදනම්ව තිබේ. සේවා අංශය වැඩි පරිමාවක් උසුලයි.
පවතින තත්ත්වය වෙනස් කිරීමෙන් හැර ආර්ථික දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය. එම වෙනස ඇති නොකර ජිවත්වීමේ පහසුව ඇති කරන්නට හැකියාවක් නැත. අලූත් කර්මාන්ත සහ ව්‍යාපාර ඇති විය යුතු අතර එය සමාජයට රැකියා සහ ආණ්ඩුවට බදු ආදායම සම්පාදනය කරයි. එම කර්මාන්ත සහ ව්‍යාපාර නිෂ්පාදනය කරන දේ වෙළඳ පොලට නිකුත් කළ යුතුය. නිපදවිය යුතු දේ තරගකාරී මිලට හොඳ ගුණත්මක බවක් සහිතවීම අවශ්‍යය. ලෝක වෙළඳ පොලේ ඉඩක් ලබා ගත හැකි එවිටය.
යැපෙන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් දක්වා හරවන කාර්යයකින් තොරව සමාජයට පහසුවක් දැනෙන්නේ නැත. එම පරිවර්තනය සමාජයට ප‍්‍රශ්න ඇති නොවන ආකාරයට කරගෙන යාම ද පහසු එකක් නොවේ. දේශපාලනයේ දී පහසුගමන් සහ සිත පිනවන කතා සමාජයට ඉදිරිපත් කරන්නේ ජනප‍්‍රියතාව වෙනුවෙන් නමුත් ජනප5ිය තීන්දු වලින් ලෝකයේ ඉහළට නැගී බලවත් වූ රටවල් නැත. දියුණුවට පත්වූ දරු පවුලකට තමන්ගේ සාර්ථකත්වයේ රහස් ගැන කතාන්දරයක් තිබේ. ඉවසීම සහ කැපවීම ගැන අත්දැකීම් එහි මැනැවින් අඩංගුය. රටක තත්ත්වය ද එයින් වෙනසක් නැත. මතු පරම්පරාවට තමන්ගේ අත්දැකීම් සහ දුශ්කරතා මැද දුක දිනාගෙන නැගී සිටි ආකාරය ගැන නිවී සැනසිල්ලේ සිහිපත් කරන්නට හැකි අද කැපවීමෙන් ක‍්‍රියා කළහොත් පමණකි. සාර්ථකත්වය ආණ්ඩුවක පමණක් මෙහෙයැවීමක් නොවන අතර ආර්ථිකය යනු ආණ්ඩුවේ තීරණ පමණක් යැයි කල්පනා කිරීම වැරදි අදහසකි. ආර්ථික දියුණුව උදෙසා සමාජ සම්මුතියක් රටට අවශ්‍යය. ඒ වෙනුවෙන් සංවාදයක් ඇති කළ යුතුය.

Advertisements

ජනතා බලාපොරොත්තු ඉටු කිරීමේ අරගලය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/11/18 – ලංකාදීප

අය වැය යෝජනා ඉදිරිපත් වන කාල වකවානුව ළඟාවන විට ලබාගත හැකි සහන ගැන ජනතාව බලාපොරොත්තුව වෙයි. ආණ්ඩු ගණන් බලන්නේ ජනතාව ගේ හිත දිනාගන්නට ගත හැකි ක‍්‍රියාමාර්ග ගැනය. අයවැය යෝජනා වලදී ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් සාක්ෂාත් කළ නොහැකි අතර ඒ ආකාරයටම පොදු ජනතාවගේ හිත දිනාගන්නට ද ආණ්ඩු අසමත් වෙයි. ඉතිහාසයේ සිට අත්දකින ලද පාඩම එයයි.

ආර්ථික ගමනට කෙටි පාරවල් නැත. සංවර්ධනය පහසුවෙන් අත්පත් කරගන්නට හැකි ආකාරයේ මැජික් විසඳුම් ලෝකයේ කොතැනකින් හෝ වාර්තා වී නැති බවද සඳහන් කළ යුතුය. ආයෝජනය කරන ලද තරමට ප‍්‍රතිලාභ ලැබේ. එම ආයෝජනය තරඟකාරී එකක් වන තරමට අනෙක් රටවල් පරදවා ඉදිරියට යා හැකිය. කාර්යක්ෂමව සහ කැපවීමෙන් කි‍්‍රියා කළ රටවල් ලෝකයේ ඉහළට පැමිණ ඇති අතර එම රටවල පුරවැසියන් ආර්ථික සහ සමාජයීය වශයෙන් හොඳ ප‍්‍රතිලාභ වලට හිමිකම් කියති. දේශපාලන සහ මානව අයිතිවාසිකම් සම්බන්ධ ඉහළ ප‍්‍රමිති අත්පත් කරගන්නට ද බලවත් පදනමක් බවට පත්ව ඇත්තේ හොඳ ආර්ථිකයයි. ආර්ථිකය ගැන සුපුරුදු කතාන්දරය එවැනි එකක් නමුත් දේශපාලනඥයන් එසේ නොවේ. ඔවුන් අඟවන්නේ තමන්ට ආර්ථිකය පාලනය කළ හැකි අතර ජනතාව වෙනුවෙන් ඕනැම කැපවිමකට සූදානම් බවය.

පසුගිය දශක හතට කිට්ටු කාලය තුළ පක්ෂ දේශපාලනයේ එවැනි පුරසාරම් වල ප‍්‍රතිඵල අද පැහැදිලිව පෙනේ. සමාජයේ මධ්‍යම පැලැන්තිය පුලූල් වී ඇති නමුත් එම පිරිසගේ මිලදී ගැනීමේ හැකියාව දුර්වලය. ගමනාගමනය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ නිවාස වැනි මූලික අවශ්‍යතා සපුරා ගන්නට හැකි ආකාරයේ ආර්ථිකයක ජනතාව අතරින් බහුතරයක් නැත. සංවර්ධනය ගැන සඳහන් කරන විට ශ‍්‍රී ලංකාවේ ණය බර ගැන කරුණු දක්වන්නට සිදුවී ඇති අතර රාජ්‍ය ආදායම අඩුවීම සහ අපනයන ආදායම පහත වැටීම ගැන කතා කරන්නට ද සිදුව තිබේ. තම ආදායම වැඩි කරගන්නට නිෂ්පාදනය නැංවීමට ඇති උවමනාව කෙරෙහි ජනතාව අවධානය යොමු කරන්නේ නැත.

නිපදවන දෙයින් කොටසක් විකුණා වැඩිපුර විනිමය උපයන්නට ඉලක්ක කරන්නේ ද නැත. සමාජ අපේක්ෂාව ආණ්ඩුවයි. ආණ්ඩුවෙන් යැපෙන්නට හදන සමාජය එම සමාජ අරමුණ ඉශ්ඨ කරන්නට ධනය උපයා ගන්නේ සමාජයෙන් බව අවධානයට ගන්නේ නැත. කණගාටුදායක පැත්ත එයයි. එවැනි පසුබිමක සිටිය දී තවත් අය වැයක් යනු සම්ප‍්‍රදායික එකක් පමණකි. ආර්ථිකය නිවැරදි ආකාරයට සකස්කර ජනතාවට එහි ඇති අවස්ථා අත්පත් කරගන්නට විවෘත අවකාශ දිය හැකිය. එය කරන්නට නම් ජනතාවට ඇත්ත කියන්නට අවශ්‍යය. දේශපාලන පක්ෂ බේධයෙන් තොරව පවතින යථාර්ථයට මුහුණ දෙන්නට රට සූදානම් කළ යුතුය. රටක් වශයෙන් එකතු වී ආර්ථිකය තුළ පවතින ප‍්‍රමුඛ ගැටලූ විසඳාගන්නට අලූත් බලවේගයක් සකස් කරගැනීම වැදගත්ය.

අධ්‍යාපනය අවසන් කරන විට හොඳ රැකියා අවස්ථා රට තුළ සකස් කරන කර්මාන්ත සහ සේවා අංශ දියුණු කරන තීන්දු ගැනීම වැදගත්ය. අයවැය මගින් ආර්ථීකයේ ඇති බැඳීම් හා පැරණි ආකල්ප ලිහිල් කළයුතු සේ ම රාජ්‍ය සේවය, අධ්‍යාපනය හා කෘෂිකර්මය වැනි පැති කෙරෙහි ද මෙයට වඩා පුලූල්ව තීන්දු ගත යුතුව තිබේ. රටක් දියුණුවන විට කළමණාකරණයට දක්ෂ, අධ්‍යාපනයක් ඇති මානව සම්පත අත්‍යවශ්‍ය සාධකයකි. දැනට පවතින අධ්‍යාපන ක‍්‍රමයෙන් බිහිකරන්නේ තීරණ ගතහැකි කළමණාකරුවන් නොවේ. පාසල් අධ්‍යාපනය අවසන් කරන බහුතරය අපේක්ෂා කරන්නේ රජයේ රැකියාවකි. රජය රැකියා සපයන්නෙක් විය යුතු නැත. වර්තමාන අධ්‍යාපන ක‍්‍රමය ව්‍යාපාරිකයන් හා නව නිපැයුම්කරුවන් බිහිකරන්නේ නැත. පාසලෙන් එළියට එන්නේ තවත් කෙනෙකු යටතේ රැකියා කරන ආකල්ප ඇති පුද්ගලයෙකි. මෙම වහල් ආකල්ප වලින් රට දියුණු නොවේ. මේ ආකල්ප වෙනස් කළයුතු පාසල් අවධියේ පටන්මය. අය වැය සමාජය තනන දර්ශනයක් ඇති එකක් විනා අය වැය පියවන යෝජනා වලින් පමණක් සමන්විත විය යුතු නැත.

වෘත්තීයවේදීත්වයේ ඒකාධිකාරය රටට යහපතක් නොවේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/11/11 – ලංකාදීප

සංචාරක හෝටල සහ සූපවේද ක්ෂේත‍්‍රය මෑත කාලය තුළ මෙරට වේගයෙන් දියුණුවට පත්වූ බව නිරීක්ෂණය කළ හැකිය. ඉදිරි වසර කිහිපය තුළ විදේශ විනිමය උත්පාදනය අතින් ඉහළම තැනට පැමිණෙන්නට සංචාරක අංශයට අවකාශයක් තිබේ. වැඩිම රැකියා අවස්ථා සපයන අතර ආර්ථික නවෝදය වෙනුවෙන් එහි ප‍්‍රබෝධය වෙනුවෙන් අවශ්‍ය තීරණ ගැනීමට අවධානය යොමු කළ යුතුය.

අලූත් දැනුම සහ ජාත්‍යන්තර අත්දැකීමි රටට ගැලපෙන ආකාරයට උපයෝගී කරගන්නේ කෙසේද? මෙරට වෘත්තීයවේදීන් විදේශගතව සේවය කර ආපසු පැමිණීම එයට හො`ද අවස්ථාවකි. මැදපෙරදිග සහ යුරෝපීය රටවල තරු හෝටලවල සේවය කරන මෙරට සංචාරක, ආගන්තුක සත්කාර සහ සූපවේද අංශවල වෘත්තිකයන් ගණන ලක්ෂ සංඛ්‍යාතය. කෙටි කාලයක් විදේශ රටවල සේවය කරන මෙම පිරිස ලෝකයේ අලූත්ම දැනුම සහ මහජන සම්බන්ධතා පැතිවල නව ක‍්‍රමවේද ප‍්‍රායෝගිකව අත්වි`ද ඇති පිරිසකි. එහි සේවය නිමකර මෙරටට පැමිණෙන දක්ෂ වෘත්තීයවේදීන්ගේ අත්දැකීම් සහ නව දැනුම මෙරට සංචාරක අංශයේ අනාගරත අවශ්‍යතා වෙනුවෙන් ආයෝජනය කරන්නට ප‍්‍රතිපත්ති තීරණ ගැනීමට සුදුසු කාලය උදා වී තිබේ. විදේශ්‍යක සේවය කර පැමිණෙන වෛද්‍යවරු සත්කාර සංචාරක අංශයක් ඇති කරන්නට හැකි බව අත්දැකීමෙන් දනිති.

සංචාරක දැනුම පමණක් නොව මෙරට පවතින වෘත්තීය පසුබිමට ලෝකයේ නොයෙක් තැනින් අලූත් දැනුම සහ අවබෝධය ඇතුළු වෙන්නට ඉඩ කඩ ඇති නමුත් සම්ප‍්‍රදායීක පටු ආකල්ප එයට ඉඩ නොදෙන බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. දියුණුවෙන රටක් හැටියට එය අවාසියකි.
ලෝකයේ වෙනත් රටක ඉගෙනගෙන මෙරටට එන වෛද්‍යවරයෙකුට බාහිර රෝග අංශය හැර වගකීමක් දෙන්නේ කලාතුරකින්ය. වෛද්‍යවරු, නීතිවේදී, ඉංජිනේරු ඇතුළු නොයෙක් ක්ෂේත‍්‍රවල පවතින පරිපාලනක‍්‍රමය අනුව පළමු තැන ලැබෙන්නේ මෙරට ඉගෙනගත් අයට පමණකි. විදේශගතව කවර ප‍්‍රතිඵල ඇති සහතික තිබුණත් සහ මොන ආකාරයේ අත්දැකීම් තිබුණ ද දේශීය වශයෙන් විභාගයක් පවත්වා පහල සිට නැවත පටන්ගන්නට පොලඹවන ක‍්‍රමයක් අනුගමනය කරන්නේය. විශේෂඥ පුහුණවට විදේශගතවන වෛද්‍යවරයෙකුට පවා පුහුණුව අවසන් කර ආපසු පැමිණ සේවා ආරම්භ කරන විට තමන් සිටි තැන නොව යළි මුල සිට ගමන පටන් ගන්නට සිදුවෙයි. විශ්ව විද්‍යාලයකින් නිවාඩුගෙන අධ්‍යයනය නිමකර ආපසු එන විද්‍යාර්ථින්ට තමන්ට අලූත් දැනුමක් හෝ කුසලතාවක් ඇති බව පෙන්වන්නට කාලයක් ගතවෙයි. පැමිණි වහා තනතුරක් ලැබුණොත් බරපතල විරෝධතා නැගේ. මෙයින් අදහස් කරන්නේ මෙරට දැනුම ඉතාම හො`ද සහ පිටරටක ඉගෙනගෙන රටට සේවය කරන්නට පැමිණීම අධෛර්යවත් කළ යුතු බවද?

පවතින ඒකාධිකාරයට එපිටින් එන වෘර්තීයවේදීත්වයට ඉඩක් දෙන්නට කැමැත්තක් නැති සමාජ රාමුව සාක්ෂාත් කරන අවස්ථා ගැන අලූතින් හිතන්නට අවශ්‍යය. වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු විදේශ්‍යක ඉගෙනගන්නේ මෙරටට සහමුලින්ම වෙනස් පරිසරයකය. උසස් අධ්‍යාපනයක නිරත වන අවස්ථාවක ඒ වෙනුවෙන් ඇති පුහුණු වැඩසටහන් පමණක් නොව භාවිතා කරන තාක්ෂණ සහ විද්‍යාත්මක උපකරණ පවා ශ‍්‍රී ලංකාවේ දී ප‍්‍රයෝජනයට නොගැනෙන ඒවා විය හැකිය. ලෝකයේ නොයෙක් තැනින් එන නොයෙක් වෘත්තීකයන් ඇසුරෙන් අත්දැකීම් හුවමාරු කරගෙන දැනුම පමණක් නොව ආකල්ප සහ තීරණ ගැනීමේ විලාශය ද අලූත් ආකාරයට හුරු වූ පිරිසක් වෙන්නට ඉඩ තිබේ. එවැනි පසුබිමක් රටට ලැබෙන විට එයින් ලැබෙන අවස්ථාව ප‍්‍රයෝජනයට ගැනීමට හැකිවන ආකාරයට වෘත්තීයවේදීත්වය නිර්මාණශීලි ආකාරයට සකස් කිරීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි.
දුපතක සිටින ශ‍්‍රී ලංකාව පවතින තැනින් ඉදිරියට ගොස් තර`ගකාරීව නැගෙන්නට නම් පිටින් එන දැනුමට, අත්දැකීම්වලට නිසි ආකාරයට උපයෝගී කරගන්නට සහ එයින් පෝෂණය වන ලෙස හෝටලය, කම්හල, රෝහල සහ විශ්ව විද්‍යාලය තුළ අධිකාරි බලය නම්‍යශීලි එකක් කරන්නට උවමනාවක් තිබේ. එය එක් ආකාරයකින් වෘත්තීයවේදීත්වය තුළ ඇති ඒකාධිකාරය අවසන් කරන අතර එහි වාසිය ලැබෙන්නේ සමාජයට සහ මෙරට ආර්ථිකයට බව ස`දහන් කිරීම අවශ්‍යය.

මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්වරූපය කෙබඳුද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2015/11/04 – ලංකාදීප

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙබඳු එකක් ද? බහුතරයකගේ කැමැත්ත බව කෙටියෙන් සඳහන් කළ හැකිය. අප අත් විඳින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංග ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැනට පවතින හොඳම පාලන ක‍්‍රමයක් ලෙස සැලකිය හැකි නම් පුරවැසි සහභාගීත්වයෙන් යහපත් ආකාරයට ක‍්‍රමය ගොඩනගන්නේ කෙසේද? ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග තහවුරු කරනු සඳහා ජනතාව සහ පාලකයන් අතර සංවාදය යහපත් ආකාරයකට ඇති කරන්නේ කෙසේද? මෙවැනි පැති ඔස්සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අද පවතින අනන්‍යතාවය තේරුම් ගැනීමට උත්සාහ කිරීම ඉතා වැදගත්ය.

ස්විට්සර්ලන්තයේ වැසියෙකුගෙන් රටේ නායකයා කවුදැයි විමසුවහොත් උත්තරයක් ලැබෙන්නේ නැත. වැඩි දෙනෙකු රටේ ජනාධිපති කුවුදැයි හරියටම දන්නේ නැත. වැසියන් ඡන්දය දෙන්නේ අවුරුදු හතරකට වරකි. එයින් අලූත් පාර්ලිමේන්තුවක් පත් කරගනී. එම පාර්ලිමේන්තුව විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන එකකි. පාර්ලිමේන්තුවට පත්වන මහජන නියෝජිතයේ පක්ෂ පදනමින් තවත් හත්දෙනෙකු හඳුනා ගනිති. ඒ අය ස්විට්සර්ලන්ත ආණ්ඩුවේ ප‍්‍රධානීහුය. එරට ජනාධිපතිවරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවේ සංකේතයකි. අවුරුද්දක් පාසා, තෝරාගත් නියෝජිතයන් හත් දෙනා අතරින් කෙනෙකු ජනාධිපති පුටුවේ වාඩි වෙයි. එය පිළිවෙලින් සිදුවන්නකි. ආණ්ඩුවේ ප‍්‍රධානම හත්දෙනා අතරින් ජනාධිපති හැටියට ඉන්නේ කවුදැයි නොදන්නා නමුත් රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය පවතින බව ස්ව්ට්සර්ලන්ත වැසියෝ දනිති. නිතර පවත්වන ජනමත විචාරණ එහි පදනම බවට පත්ව තිබේ.

ස්විට්සර්ලන්තයේ ජනමත විචාරණ පුරවැසියන්ගේ අදහස් දැනගැනීමට පමණක් නොව ඒ අනුව තීන්දු ගන්නට ද ඉඩ සලසා තිබේ. ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන් අදහස් විමසීමක දී පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දිය හැකිය. ඡුන්දය දෙන්නට ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය අවශ්‍ය එකක් නොවේ. තමන්ට ලැබෙන පත‍්‍රිකාව පුරවා තැපෑලෙන් එවන්නට පහසුව තිබේ. පත‍්‍රිකා විවෘත කර මහජන අදහස අනුව බහුතරය ගේ කැමැත්ත තීරණය කරයි. යෝජනාව ක‍්‍රියාත්මක වෙයි. මෙම මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය එතැනින් අවසන් වන්නේ නැත. තමන්ගේ මතයට නිවැරදි පිලිගැනීම ලැබී නැති බව කිසියම් පුරවැසියෙකුට දැනෙන්නේ නම් ඔහු හෝ ඇය කළ යුතු දින සියයක් ඇතුලත තමන්ගේ අදහසට කැමැති පනස් දහසක පිරිසකගේ අත්සන් ලේඛනයක් සහිත පෙත්සමක් ඉදිරිපත් කර ආණ්ඩුව ගත් තීරණය ආපසු හරවන්නට සම්පූර්ණ අවස්ථාව තිබේ. පාර්ලිමේන්තුවේ අණ පනත් ඉදිරිපත් කිරීමේ ක‍්‍රියාවලියට සම්බන්ධ වෙන්නට පුරවැසියන්ට ද ඉඩ ඇති අතර උනන්දුවක් දක්වන කෙනෙකු ඇත්නම් අලූත් පණතක් ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ව්‍යවස්ථාවෙන් ඉඩ දී තිබේ. ව්‍යවස්ථාව නරක එකක් යැයි කල්පනා කරන්නේ නම් ලක්ෂයක් දෙනා එකතු වී ව්‍යන්‍ස්ථාව වෙනස් කරන්නැයි ආණ්ඩුවට යෝජනා කරනු ඇත. එවැනි යෝජනාවක් ඉදිරිපත් වූ විට එය සලකා බලන්නට පාර්ලිමේන්තුවට සිදුවන අතර ඒ ගැන විවාද කර යෝජනාවක් මහජන විචාරණයකට ඉදිරිපත් කරනු ඇත.

ස්විට්සර්ලන්තයේ මෙම ජනාධිපතිවරයා නොදන්නා පමණක් නොව පාර්ලිමේන්තුවේ ක‍්‍රියා පටිපාටියට කෙලින්ම මහජනතාවට මැදිහත් වෙන්නට ඉඩ ඇති ක‍්‍රමවේදය ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සියලූ දෙනාගේම ඉමහත් අවධානයට ලක් වූ එකකි. එපමණක් නොව මෙවැනි කෙටි සඳහනකින් වටහා ගැනිමට පවා අපහසු සංකීර්ණ වශුහයකි. එයින් කාර්ය ඉක්මන් නොවන සහ නිතර මහජන මතය අහන හෙයින් තීරණ ගැනීම ප‍්‍රමාද වන බව වැසියන් හිතන්නේ නැත. නමුත් බහුතරයකගේ අදහස් විමසන හෙයින් සුළුතරයගේ කැමැත්ත යටපත්වන බවට මතයක් නැගී තිබේ. නොබෝදා පැවැති ජනමත විචාරණයක දී ඉස්ලාම් පල්ලිවල සංකේත ඉදිකිරීම අනවශ්‍ය බව තීරණය කරන්නේ සුළුතරයේ අදහස යටපත් කරමින්ය. මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවත්වාගෙන යන්නට අධ්‍යාපනය හා අවබෝධය ඉතා වැදගත්ය. පක්ෂ බේධයෙන් තොරව වැඩ කරන දේශපාලනයක් අවශ්‍යය. සමාජය සංකීරණ වෙන විට මෙම පැති කෙබඳු පැත්තකට නැඹුරු විය හැකිදැයි නොපෙනෙන නමුත් පුරවැසි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ වලට පදනම් වූ මෙම පැවැත්ම අවුරුදු එකසිය හැට පහකට වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන එන අතර එය ආසියාවට හෝ ශ‍්‍රී ලංකාවට ගැලපේ යැයි කල්පනා කරන්නට අවශ්‍ය නැත.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ එයට රාමුව සකස් කරන ව්‍යවස්ථාව ගැන නොයෙක් පැති වලින් දීර්ඝ කාලයක් තිස්සේ නොනවතින සංවාදයක් පවතී. ව්‍යවස්ථාවක් අවශ්‍ය නමුත් එම ව්‍යවස්ථාව අවශ්‍ය කරන්නේ පාලකයන්ට ද නොඑසේනම් ජනතාවට ද යන්න සලකා බලන්නේ නැත. ස්විට්සර්ලන්තයේ ආකාරයට රටක් පාලනය කරන්නට තීරණය කිරීම පහසු නැත. මහජන මතය විමසන අතර ඒ වෙනුවෙන් නිතිපතා වියදම් කරන්නට රටට හැකියාවක් නැත. ඉවසිලිවන්තව ඒ වෙනුවෙන් කැපවෙන සමාජයක් ද අපට නැත.