වස විස අඩු වගාවට නැනෝ පොහොර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021/10/20 – ලංකාදීප

නැනෝ තාක්ෂණය අනාගත පරම්පරාවේ භාවිතය වනු ඇත. අලූත් පැති සමාජ ආර්ථික පරිවර්තනයකට හේතු වී තිබේ. නැනෝ තාක්ෂණයෙන් නිපදවන ලද යුරියා පළමු වරට ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ භාවිතාකර ඇත. භවනගර් ප‍්‍රදේශයේ ගොවිපොලකට නැනෝ නයිට‍්‍රජන් පොහොර ඩ්‍රෝන යාත‍්‍රා මගින් විසුරුවාහැරීම සිදුකෙරිණි. එරට ප‍්‍රාන්තවලින් තෝරාගත් ගොවීහු තිස් හතර දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී කර ගෙන ඇත. පද්ම ශ‍්‍රී ඉන්දීය ජාතික සම්මාන දිනාගත් ගොවියෝ ද ඒ අතර සිටියහ. නැනෝ තාක්ෂණික පොහොර භාවිතය ගැන මතය ඉන්දියාව පුරා පැතිරවීමට මෙම මොහොත උපයෝගී කරගත හැකිවනු ඇතැයි සැලකේ.

නැනෝ අංශූ ස්වභාවිකව හා කෘතිමව පවතී. එය අනාවරණය කරගන්නේ 1950 ගණන්වල දී ය. නැනෝ අංශුවක විශාලත්වය මීටරයකින් බිලියනයකින් එක් කොටසකි. එහෙත් එය ශක්තිමත් හා සැහැල්ලූය. ද්‍රව්‍ය පිලිස්සීමේ දී හා මුහුදු ඛාදනය වැනි අවස්ථාවල නැනෝ අංශු ස්වභාවිකව නිරීක්ෂණය කර ඇත. විද්‍යාගාරවල නිපදවන නැනෝ අංශු ඉංජිනේරු ශිල්පීය නැනෝ අංශු ලෙස හදුන්වනවන අතර ඒවා නොයෙක් රසායනික මෙවලම් සමග මිශ‍්‍ර කිරීමෙන් උසස් ප‍්‍රතිඵල අත්පත් කරගන්නට හැකියාව ලැබී ඇත. යුරියා සමග මිශ‍්‍රකරන නැනෝ අංශු නයිට‍්‍රජන් අවශ්‍යතාව සදහා ඉතාම ප‍්‍රයෝජනවත් බව සොයා ගෙන තිබේ. දැනට ඉන්දියාව කරන පර්යේෂණ අනුව නැනෝ යුරියා පමණක් නොව නැනෝ සින්ක් හා නැනෝ කොපර් යන අංශූ මාත‍්‍ර දියර පොහොර ද නිපදවා ඇති බව දැක්වෙයි. මෙම පොහොර ක්ෂේත‍්‍රයට යෙදු පසු ශාඛයට අවශ්‍ය පරිදි සෙමෙන්, ක‍්‍රමයෙන් නිදහස් කරන අතර එය පොහොර වැඩිවශයෙන් පසට එකතු වී අපතේ යෑම අවම කරන බව ක්ෂේත‍්‍ර පර්යේෂණ තහවුරු කර තිබේ.

ඉන්දියන් වාර්තා දක්වන පරිදි නැනෝ පොහොර යෙදීමෙන් පිරිවැය සියයට පනහකින් අඩුවන අතර අස්වැන්න සියයට 15-30 අතර ප‍්‍රමාණයකින් වර්ධනය වෙයි. යුරියා පමණක් නොව අනෙක් පොහොර ද අවශ්‍ය පමණට ගොවියන්ටට ලබාදීම කෙරෙහි අවධානය යොමු කිරීම කෘෂිකර්ම බලධාරීන් ගේ වගකීමකි. සාමාන්‍ය යුරියා පොහොර වලට සාපේක්ෂව නැනෝ පොහොර පරිසරයට හිතකර බව අවධානයට ගත යුතු කාරණයකි. සාමාන්‍යයෙන් මිලි ලීටර් 500 ක බෝතලයක් පොහොර කිලෝ ග‍්‍රෑම් පන්සියයක ප‍්‍රමාණයක් සදහා සෑහෙන අතර ධාරිතාව, මිල, හැසිරවීමේ පහසුව, පසට උරාගන්නා ක‍්‍රමවේදය සහ පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළම ප‍්‍රතිඵල දක්වන බව සදහන් කළ යුතු වැදගත් කාරණා වශයෙන් පර්යේෂකයෝ දක්වති.

නැනෝ තාක්ෂණ යුරියා පොහොර අත්හදා බැලීමේ ආදර්ශනයක් සදහා අවස්ථාව ශ‍්‍රී ලංකාව ද ලැබී තිබේ. ඉන්දියන් රජයේ ඉහළ නිලධාරීහු දක්වන පරිදි මෙම සාම්පල් පොහොර ශ‍්‍රී ලංකාවේ දී සාර්ථකව අත්හදා බලා ඇත. ලෝකයේ පළමුවරට කරන ලද සොයා ගැනීමක් බව ද පෙන්වා දිය යුතුය. ඉන්දියාව අත්පත් කරගෙන ඇති ප‍්‍රතිඵල සලකා ඉන්දීය ගොවි ජනතාව වෙත මෙම නැනෝ පොහොර සැපයීමේ යාන්ත‍්‍රණයක් දැන් අරඹා තිබේ. ශ‍්‍රී ලංකාව ට ද එහි වාසි අත්පත් කරගැනීමට අවස්ථාවක් ඇත.

රසායනික පොහොර සම්බන්ධ මතවාදයක් දීර්ඝ කාලයක් තිස්සේ රට තුළ පවතී. වස විස නැති ගොවිතැන ගැන ඉහළම අවධානයක් තිබේ. රසායනික පොහොර භාවිතය නතර කිරීම සම්බන්ධ ආන්දෝලනය ද එහි ප‍්‍රතිඵලයකි. අනාගත පරපුර නිදුක් නිරෝගී පිරිසක් බවට පත් කරන අධ්‍යාශයක් ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජයට ඇත. එහි ලා ගන්නා කි‍්‍රයාමාර්ග කෙරෙහි සැකයක්, අවිස්වාසයක් පවතින බව පෙනෙන අතර සම්ප‍්‍රදායෙන් පිටට පැන අලූත් ව්‍යුහයකට ඇතුළුවීම පහසු නැති බව දැක්විය යුතුය. දැනට භාවිතා කරන රසායනික පොහොර හා ඒවායේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධව පැන නැගී ඇති ගැටළු සලකා බලනවිට නැනෝ තාක්ෂණයෙන් නිපදවන පොහොර අගනා අවස්ථාවක් විය හැකිය. කෘෂිකර්මයෙහි ප‍්‍රබෝධයක් අරමුණු කරගෙන අලූත් අත්දැකීම් සොයා යා යුතුය. පද්ම ශ‍්‍රී සම්මානය ලැබූ ඉන්දීය ගොවියෝ නැනෝ පොහොර ගැන දක්වන අදහස් නවීන සන්නිවේදන ක‍්‍රම වලින් රටට ලබා ගැනීමට වැඩ පිලිවෙලක් සැකසිය යුතුය. අලූත් ක‍්‍රම ගැන ගොවියන් අතර තොරතුරු සන්නිවේදනයට අවස්ථාව ඇතිකිරීම ඉතාම වැදගත්ය.

තාක්ෂණ යුගයේ අවස්ථා දිනාගැනීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021.10.13 – ලංකාදීප

අලූත් පරම්පරාවේ ජවය තොරතුරු තාක්ෂණය බව පැහැදිලිය. අලූත් පැති සමාජ ආර්ථික පරිවර්තනයකට හේතු වී ඇති බව ඉතිහාසය ගවේශනය කරන විට පෙනේ. මානව වංශ කතාවේ කැපී පෙනෙන කාල පරිච්ඡේද ගණනාවකි. ගින්දර සොයා ගැනීම, රෝද භාවිතා කිරීම, බලශක්ති ප‍්‍රභවයන්හි විවිධ අංශ යනා දී වශයෙන් දිග ලේඛණයක් ඉදිරිපත් කළ හැක. එහෙත් තොරතුරු තාක්ෂණය අසම සම අවස්ථාවකි. ගෝලීයකරණය ගැන තිබුණ නොපැහැදිලි භාවය තුරන්කරන අතර ලෝකය එක යායක් බවට හරවන්නට තොරතුරු තාක්ෂණයට හැකියාව ලැබී ඇත.

මෑත අතීතය දක්වා තොරතුරු වරප‍්‍රසාද සහිත පැලැන්තියකට සීමා වී තිබුණි. සිද්ධි දැනගැනීමට අවස්ථා නොතිබුණ තරම්ය. දුරකතනයකින් හෝ ලිපියකින් කරුණු දැනගැනීමට ද කාලයක් ගත විය. දැන් ලෝකයේ එහා කෙළවරක සිදුවන දේ මෑත රටක සිටින  ඕනෑම කෙනෙකුගේ ජංගම දුරකතනයට ක්ෂණයකින් ලැබේ. ජන ජීවිතය පහසු කරනු සදහා තොරතුරු තාක්ෂණය ඉවහල් කරගත හැකිය.

කොවිඞ් වසංගත තත්ත්වය සමග ජන ජීවිතය තවත් පැත්තකට හැරිණ. තෙරතුරු තාක්ෂණයට වේගයෙන් නැඹුරුවිය. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම, අධ්‍යාපනය, ඇතැම් රැකියා කටයුතු, මුදල් හුවමාරුව ඇතුළු නොයෙක් ක්ෂේත‍්‍රවල පැතිරීමක් සිදුවිය. ඇතැම් වෛද්‍යවරු පවා රෝග වාර්තා යොමු කළ පසු අන්තර් ජාලයෙන් ප‍්‍රතිකාර කිරීම අරඹන ලද බව සදහන් කළ යුතුය. වසංගත තත්ත්වය පාලනය කිරීමෙන් පසු නැවතත් පුරුදු සම්ප‍්‍රදායට ඇතුළු විය යුතු නැත.

අවධානයට ගත යුතු තවත් පැත්තක් තිබේ. තවත් පියවරක් ඉදිරියට ගමන් කිරිමට අවශ්‍ය පසුතලය සැකසීම සම්බන්ධ පුලූල් වගකීමක් රජයට ඇත. රජයේ කටයුතු සදහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ භාවිතය වේගවත් කළ යුතුය. පැරණි චක‍්‍රලේඛන හා විධිවිධාන ඉවත් කළ යුතුව තිබේ. සම්ප‍්‍රදාය අතහැර අලූත් රාමුවට ඇතුළුවීම අවශ්‍යය. ආණ්ඩුවේ හා විපක්ෂයේ මහජන නියෝජිතයන් එහි ලා ආධුනිකයෝ නොවෙති. මැතිවරණ කාලයේ දී සියළු සමාජ මාධ්‍ය භාවිතා කරන අතර ඡන්ද දායකයන් සමග සන්නිවේදනයෙහි යෙදෙති. මැතිවරණය අවසන් වන පසු ඇතැම් මහජන නියෝජිතයෝ එහි ලා තිබුණ උනන්දුව අත් හරින බව පෙනේ.

ජනතාව සමග පමණක් නොව ජාත්‍යන්තරය සමග කටයුතු කිරීම සදහා තාක්ෂණික දොරටුව විවෘත කරගත යුතුව තිබේ. රජයේ නිලධාරීන් එහි ලා යුහුසුළු විය යුතුය. ජාත්‍යන්තර සම්බන්ධතා සහ රටවල් අතර කරන ගනුදෙනු සදහා ද මෙම නැඹුරුව ඉතා වැදගත්ය. රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා අලූත් වී ඇති වකවානුවකි. රාජ්‍ය නායකයෝ කෙලින්ම සාකච්ඡා කරති. මැති ඇමැතිවරු ද්වී පාර්ශවික හා බහු පාර්ශවික සාකච්ඡා කරන බව අනාවරණය වෙයි.  ජාත්‍යන්තර සංවිධාන සැසිවාර තොරතුරු තාක්ෂණය උපයෝගී කරගෙන කරගෙන යයි. මේවායෙන් විශාල වරප‍්‍රසාද ලැබේ. කාලය ඉතිරිවෙයි. රටින් රටකට ගමන් කර පුද්ගලිකව කරන හමුවීම් වැදගත් නමුත් එයට ගෙවිය යුතු වන්දිය බරපතලය. ගුවන් ගමන් වෙනුවෙන් පිරිවැය අධිකය. විශාල වියදමක් දරන්නට සිදුවෙයි. ශ‍්‍රී ලංකාව විදේශ විනිමය හිගයක පසුවෙන අතර රට තුළ ආර්ථිකය ද යහපත් තැනක නැත. මෙවැනි කාල වකවානුවක රට තුළ කරන ගමන් බිමන් පමණක් නොව ජාත්‍යන්තර සංචාර ද සීමා කිරීමෙන් විශාල පිටිහවහලක් අත්පත් කරගත හැකිය.

තොරතුරු තාක්ෂණය සමග සම්මුඛ සාකච්ඡා සදහා නවතම අන්තර් ජාල ව්‍යුහ දියුණු කර තිබේ. ජාත්‍යන්තර විශ්ව විද්‍යාල වල ඉගෙනගන්නා දරුවෝ ඒවා බහුලව භාවිතා කරති. පුද්ගලික අංශයේ ජාලගත සම්මන්ත‍්‍රණ ඉතාම සාර්ථක ප‍්‍රතිඵල පෙන්වා තිබේ. රජයේ ආයතන අතර සාකච්ඡා සදහා තාක්ෂණය උපයෝගී කරගන්නට හැකිය. රටවල් අතර කරන රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු තවත් පියවරක් ඉදිරියට ගමන් කිරීම සදහා පිටුවහලක් ලැබේ. කාලය කළමනාකරණය හා පිරිවැය සීමා කරගෙන සෞඛ්‍ය ආරක්ෂක ක‍්‍රම අනුගමනය කරමින් ලෝකය දෙස බලන්නට ඇති අවස්ථා මග හැරිය යුතු නැත. ජාලගත මුණගැසීම, සාකච්ඡා හා ගිවිසුම්වලට එළැඹීම සදහා අවශ්‍ය කරන නීති රීති සම්මත කර ඒවාට අනුගතවීම රජයේ වගකීමකි. තාක්ෂණික හැකියාව හා එයින් අවස්ථා ලබාගැනීම පදනම් කරගෙන පන්ති බෙදීමක් සමජය තුළ ඇති නොවිය යුතුය.

සුළු පිරිස් සතුටු කිරීමට බහුතරයේ අපේක්ෂා බොදකිරීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021.10.06 – ලංකාදීප

මානව වංශ කතාව ගැන ඩෙස්මන්ඞ් මොරිස් ලියන ලද සාරවත් කෘතියක් ‘නිරුවත් මානවයා’ නමින් එස්. එම්. බන්දුසීල සිංහල භාෂාවට පරිවර්තනය කර තිබේ. මුල් යුගයේ සිට රෙදි පිලි අදින, ගින්දර භාවිතා කරන තැන දක්වා මනුෂ්‍ය පරිනාමය ගැන මුලික රාමුවක් එහි සදහන්ය.

ආර්ථිකය හා සමාජය හසුරුවන ක‍්‍රම හදාරන ලද විද්වත්හු ලෝකය දැවැන්ත පරිවර්තනයකට යොමු කර තිබේ. වරින් වර එන අභියෝග තියුණුය. කාලගුණ විපත්, යුද ගැටුම් හා දැන් පවතින කොවිඞ් වැනි වසංගත පැන නැගී ඇති බව ඉතිහාසය දක්වයි. එහෙත් පසු බැස නැත. නැවතත් නැගී සිටියි. අලූත් ව්‍යුහයකින් අනාගතය දෙස අවධානය යොමු කර තිබේ.ජාත්‍යන්තරයේ පැවැත්ම වෙනම කාරණයකි. ශ‍්‍රී ලංකාවේ ජනී ජනයාගේ එදිනෙදා කටයුතු ගැන සලකා බැලිය යුතුය.

අප සියළු දෙනාටම බලාපොරොත්තු තිබේ. සැනසිල්ලේ එදිනෙදා ජීවත්වීමට අවශ්‍යය. ලොකු පොඩි, දුප්පත් පොහොසත් බේධයක් නැත. මුදල් උපයාගන්නටත්, එම මුදල් වැය කර සතුටින් සාමදානයෙන් කාලය ගත කිරීම අපේක්ෂාවය. මුදල් ප‍්‍රමාණවත්ව ඇත්නම් තමන් මිල දී ගන්නා දේ දේශීය ද විදේශිය එකක් ද යන්න වැදගත් නැත. හොදම තත්ත්වය සලකා අඩු මිලට ගත හැකි දෙයකට නැඹුරු වෙති. දරුවන්ගේ අනාගතය, ඔවුන්ගේ උවමනා එපාකම් සම්පූර්ණ කිරීමට ප‍්‍රමාණවත් ශක්තිය කෙරෙහි  හැම පුරවැසියෙකුටම උනන්දුවක් ඇත.

ජනතා අපේක්ෂා සාක්ෂාත් කිරීම පාලකයන්ගේ වගකීමකි. යුතුකමකි. මෙරට පාලකයෝ නිතර කරුණු සලකා බලන්නේ ජනතාව ගේ පැත්තෙන් නොවේ. ඉතිහාසයේ සිට එයට සාක්ෂි තිබේ. ජාතික බලවේග, විවිධ ආස්ථාන, නොයෙක් මතවාදවල බලපෑම අනුව තීරණ ගනී. විදුලිය නිපදවන්නේ කොහොමද, කොතැනින් ද යන්න ජනතාවට වැදගත් නැත. නොරැටියන් නිපදවන හෙයින් අන්ධකාරයේ සිටින්නට කැමැතිද? දුරකතනය එන්නේ කොහොමදැයි පාරිභෝගිකයෝ නොසලකති. විජාතික හෙයින් අන්තර් ජාලය පැත්තකට කරයිද? ආහාර, ඇදුම් පැළදුම් හෝ යාන වාහන ගැන ද වෙනම කල්පනා කරන බවක් කිසිසේත් නොපෙනේ.

බාහිර සුළු පිරිසකගේ මතවාදයක් අනුව නැගෙන ආන්දෝලන ගැන අවධානය යොමු කරන මෙරට පාලකයෝ තීන්දු ගැනීමේ දී ගන්නේ ඡනප‍්‍රියතාව ගිලිහෙතැයි බිය වෙති.  පාරිභෝගික ජනතාවට කළ හැකි යහපත ගැන එපමණ සලකන්නේ නැත. එය බලවත් වරදකි. දිගින් දිගටම තීරණ නොගෙන පැවැති එම ව්‍යුහය එක්තරා සන්ධිස්ථානයකට පැමිණ තිබේ. දැන් ආර්ථිකය දුර්වල තැනකය. අවශ්‍යතා දැඩි පාලනයකට යටත් කර ඇත. තියෙන තරමට ආර්ථිකය හදන්නට උත්සාහ කළ ආණ්ඩු අවසානයේ දී ජනතාව නිරුවත් කර තිබේ. මුලින් ආර්ථිකය විශාලය. ජනතා අවශ්‍යතා සම්පූර්ණ කළේය. ඇදුමක් සකස් කරගන්නට තරම් ප‍්‍රමාණවත් ‘‘ආර්ථික රෙදිකඩක්’’ තිබුණි. ක‍්‍රමයෙන් ආර්ථිකය කුඩා වූ අතර කුඩා ප‍්‍රමාණය අනුව ඇදුම සකස් කරගන්නට සිදුවී තිබේ. දැන් පොදු ජනතාව ගේ ආර්ථිකය යාන්තම් විලි වසා ගැනීමක් පමණකි. තිබෙන ආර්ථිකයෙන් වැඩි දෙයක් කරගන්නට පුලූවන්කමක් නැත.

පැහැදිලි කරගත යුතු එක වැදගත් කාරණයක් තිබේ. ආණ්ඩු පත්කරගන්නේ ජනතාවගේ බලාපොරොත්තු පාලනය කරන්නට ද? ගෙයක් දොරක්, වාහනයක්, හො`ද නිවාඩුවක්, රසවත් ආහාර පාන, වටිනා ගෘහ උපකරණ යනාදී වශයෙන් හැම දෙනාටම ඉලක්ක ඇත. ආර්ථිකය අනුව සියළුම දේ පාලනය කර ඇත. ජනතාවට උවමනා කර තිබේ. පාලනය කරන්නේ පාලකයෝය. පාලනය කරගන්නට ආණ්ඩු අවශ්‍ය ද?

ආගමකම පැවැත්ම ගැන කියා දී තිබේ. ආදායම හා වියදම අනුව ජීවත්වන ක‍්‍රම ගැන ජනතාවට අවබෝධයක් ඇත. රට හදන්නට බලය ගන්නා පාලකයෝ ජනතාවගේ සිහින සැබෑ කරගැනීමේ මග අවහිර කර බාධා පමුණුවති. එය සුදුසු නැත.

සමාජය විවෘත කළ යුතුය. ජනතාවගේ පැවැත්මට නිදහස අවශ්‍යය. තිබෙන ආර්ථිකයට ඇ`දුම සකස් කිරීම පාලකයන් කළ යුතු දෙය නොවේ. බහුතර ජනතා අවශ්‍යතා ගැන අධ්‍යයනය කර, ඒවා සපුරන ආර්ථිකය හැදීම අවශ්‍යය. අසාමාන්‍ය භීතියකින් වෙලී සිටින සුළු පිරිසකගේ අධ්‍යාශය අනුව ආර්ථිකය පාලනය කිරීම සුදුසු නැත. අතීතයේ සිට තිබුණ සෑම ආණ්ඩුවක්ම ජනතාව පාලනය කළ අතර අවසානයේ දී එහි අන්තයටම පැමිණ තිබේ. ආණ්ඩුවක් හෝ දේශපාලන නායකයෝ පමණක් නොවේ. සමාජයක් වශයෙන් අප සියළු දෙනාම මෙහි වග උත්තරකරුවෝය. ආර්ථිකය පුලූල් කරන, නිසි ප‍්‍රතිපත්ති ස`දහා බලකිරීමක් සමාජයෙන් අවශ්‍යය.