ජනපති අපේක්ෂකයනි! බලයට එන්න කලින් ලැබෙන බලය ගැන කියන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

2019/07/31- ලංකාදීප

දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනය විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා බරපතල ලෙස සීමා කර තිබේ. බලතල අඩු කිරීම ගැන විවිධ පාර්ශව දක්වන අදහස් ගැන හැඟීමක් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන්නට සූදානම් වී සිටින දේශපාලන පක්ෂ වලට හෝ අපේක්ෂකයන්ට නැත. බලය නැති ධුරයකට තරඟ කරනු සඳහා විශාල අරගලයක් ඇරඹෙමින් තිබේ. ජනාධිපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයා නිසි බලය රහිතව ධුරය ගෙන යන්නට සූදානම්ද? බලයට පත්වන ජනාධිපතිවරයාට, ජනතාව අපේක්ෂා කරන පුලූල් සමාජ පරිවර්තනය කරන හැකියාවක් ව්‍යවස්ථානුකූලව තිබේද?
දහ නම වැනි සංශෝධනය අනුව අනාගත ජනාධිපතිවරයෙකුට මෙරට කිසිම ඇමැති ධුරයක් තමන් භාරයේ තබා ගත නොහැක. අඩුම තරමින් ආරක්ෂක අමාත්‍යංශය හෝ ඔහුට අයත් විෂයයක් නොවේ. ආණ්ඩුවේ අගමැති පත් කිරීමට හෝ ඉවත්කිරීමට බලය නැති අතර ව්‍යවස්ථාවෙන් පෙන්වා දී ඇති කාලයට කලින් ආණ්ඩුවක් විසුරුවා හැරීමේ බලය ද රහිතය. අගමැතිවරයා ගේ අනුදැනුම රහිතව ඇමැතිවරු පත් කළ නොහැකි අතර අගමැති නිර්දේශ නොකළහොත් අඩුම තරමින් ඇමැති මණ්ඩල සංශෝධනයකට හෝ අයිතියක් නැත. අග‍්‍ර විනිශ්චයකාර හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු, අභියාචනාධිකරණයේ සභාපතිවරයා හා අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු සහ අධිකරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන් පත් කිරීමේ බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිත අවස්ථාවක දී හැර නැති බව ද සඳහන් කළ යුතුය. නීතිපති, විගණාකාධිපති, පොලිස්පති, ඔම්බුස්ඞ්මන් සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පත් කිරීමේ බලතල ද ව්‍යවස්ථා සභාවේ නිර්දේශ වලට යටත්කර තිබේ. ව්‍යවස්ථා සභාවට ඇති බලය කොපමණ ද යත් එම සභාවේ නිර්දේශ ලැබී දින දහ හතරක් ඇතුලත පත් නොකළහොත් නිර්දේශ කරන ලද අයවලූන් පත් කරනු ලැබූවන් සේ සලකන බව සංශෝධිත ව්‍යවස්ථාව පෙන්වා දෙයි. සංශෝධනය කර ඇත. මෙවැනි අවස්ථාවක ජනාධිපතිවරයාගේ ස්වභාවය නාමික තනතුරක් පමණක් බව පැහැදිලිය.
ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු ධුරයේ කටයුතු කරන්නට බලාපොරාත්තුවෙන් සිටින අපේක්ෂකයෝ රටට වැඩ කරන මහත් අභිලාශ ඇතිව සිටිති. ජනතාව සෑහෙන බලාපොරොත්තු සහිතවය. නමුත් කරන්නට පුලූවන් දේ සීමිත බව පොදු ජනතාව අවබෝධ කරගත යුතුව තිබේ. ඉදිරියේ දී පත්වන ජනාධිපතිවරයා විශාල නායකත්වයක් සහිත අද පවතින සියළු අර්බුද විසැඳිය හැකි එකම පුද්ගලයා වශයෙන් කල්පනා කරන්නට සමාජය නැඹුරු වී සිටින අතර එය ඇත්ත නොවේ. මුළු රටම ඡුන්දය දී විධායක ජනාධිපතිවරයෙකු පත් කරගනු ඇති නමුත් ඔහුගේ විෂය පථය පාර්ලිමේන්තු ක‍්‍රමය මගින් යටපත් කර තිබේ.
ජනාධිපති අපේක්ෂකයන් තෝරා ගැනීම ගැන උග‍්‍ර තරඟයක් පවතින බව පෙනේ. එකම පක්ෂය තුළ අපේක්ෂකයෝ ගණනාවක් සිය අභිලාශය අඟවමින් සිටී. පක්ෂ අතර මතබේධ පවා හටගෙන තිබේ. බලය ඉල්ලන අපේක්ෂකයෝ තනතුර නිසි බලයක් නැති අතර ඉතිරි සීමිත බලතල අනුව ජනාධිපති ධුරය යනු හුදෙක් සංදර්ශනාත්මක තනතුරක් බව දක්වන්නේ නැත.
ඉදිරි ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකය. ජාති, ආගම්, දේශපාලන වශයෙන් පමණක් නොව තමන් ඉගෙනගත් පාසල අනුව පවා බෙදී හුදෙකලා වූ සමාජයක් එකට එකතු කරන බරපතල වගකීමක් ඇත. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෝ මෙහි දී සිය තනතුර ගැන ඉදිරි සැලැස්ම වහාම ප‍්‍රකාශ කළ යුතුය. මුළු මහත් පුරවැසියන් ප‍්‍රකාශ කරන ඡුන්දයෙන් තෝරා ගැනෙන විධායක ජනාධිපතිවරයෙකු නම් ඔහුට රටට වැඩක් කළ හැකි පරිදි බලයක් එන ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතුය. නැත්නම් අනවශ්‍ය බලාපොරොත්තු ඇති නොකරන මෙම ධුරය නාමමාත‍්‍රික එකක් බවට හරවන්නට අවශ්‍යය. මෙම දෙපැත්තෙන් තෝරා ගන්නේ කුමක්දැයි සවිස්තරාත්මකව සමාජයට හෙළි කිරීම අපේක්ෂකයන් සතු යුතුකමකි.

Advertisements

ඔරලෝසුවත් විසිවෙයිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna 2019/07/24 – ලංකාදීප

වෙලාවට වැඩ කිරීම නූතන සමාජයේ අනිවාර්ය කටයුත්තකි. කලින් නියම කරගත් පරිදි හරියටම කාර්යයයෙහි නිරත නොවන සමාජයක් අසමත් යැයි පිලිගැනීමක් තිබේ. නමුත් නෝර්වේ රාජ්‍යයෙහි කුඩා දූපතක වැසියෝ වෙලාවට වැඩ කිරීම අනවශ්‍ය බව පෙන්වා දෙති. ඔවුහු පසුගියදා මහජන පෙත්සමක් අත්සන් කළහ. තමන් ජීවත්වන කුඩා දූපතෙන් කාලය මනින ඒකකය ඉවත් කරන සේ යෝජනා කරති.

මෙකී දූපත පිහිටා ඇත්තේ නෝර්වේ රාජ්‍යයේ උතුරු ප‍්‍රදේශයේය. අක්කර අසූ හතරක පමණ භූමියක් වන මෙම දූපත ධීවර කටයුතු වෙනුවෙන් බහුලව භාවිතා කෙරේ. නියමිත කාලයට අනුව වැඩ කිරීම අනවශ්‍ය බව පෙන්වා දී පෙත්සමක් අත්සන් කළ පිරිස තුන්සිය පනහකි. එම පෙත්සම පාර්ලිමේන්තුවේ විවාදයක යෝජනා කර ඔස්ලෝ නගරයට යොමු කළ අතර එම පිරිස දූපතේ වැසියන්ගෙන් තුනෙන් එකක් බව දැක්වෙයි. සමයරෙයි යනුවෙන් නම් තබා ඇති මෙම දූපතට මැයි සිට ජුනි දක්වා දින හැට නමයක් හිරු පායන්නේ නැත. එයට හේතුව උත්තර ධැවයේ ඉහළින්ම පිහිටා තිබීමයි. සෑහෙන කාලයක් අන්ධකාරයේ සිටින හෙයින් හිරු උදා වී දවසක්  ලබන වගක් දැනෙන්නේ නැත. ඔරලෝසුව දෙස නොබැලූවහොත් හිරු බැස ගිය බව ද නොවැටහේ. සංචාරක ආකර්ශණය අරමුණු කරගෙන මෙම දූපත කාලවේලාවක් නැති ලෝකයේ එකම ස්ථානය සේ නම් කිරීමට ද ජාත්‍යන්තර මාධ්‍ය නැඹුරු වී සිටී.

සාමාන්‍යයෙන් කෙරෙන්නේ, ඔරලෝසුවේ වෙලාවට අනුව අවදිවීම, ආහාර ගැනීම, වැඩක නියැලීම යනාදී වශයෙන් සියළු දේ හි නිරතව අවසානයේ නින්දට යෑම බව ප‍්‍රකාශ කරන මෙම දූපතේ සිටින පිරිස වෙලාව ගැන අමතක කරන්නට සූදානම්ය. වෙලාව අනුව කටයුතු කිරීම ජීවිතයේ සියළු දුක් දොම්නස් වලට හේතුව බව පෙන්වා දෙයි. අවදිවෙන්නේ ඔරලෝසුවට අනුවය. ශරීරයට කෑම අවශ්‍ය වෙලාව නොසලකා උදේ දහවල් හා රාත‍්‍රී කාලයේ තීරණය කරන වෙලාවක ආහාර ගනී. වැඩ කරන්නට සිරුර සූදානම් නැති අවස්ථාවල වැඩ කරන්නට නියම වෙයි. අධික පීඩනය හා විඩාව එයින් ඇතිවන බව මෙම දූපත් වැසියෝ කියති. ගැස්ට‍්‍රයිටිස්, අධිරුධිර පීඩනය සිට පිලිකා වැනි බෝ නොවෙන රෝග වැළඳීමට හේතුව ශරීර අවශ්‍යතාව නොසලකා ඔරලෝසුවට අනුව හැඩගැසීම බව මෙම පිරිස පෙන්වා දෙන තවත් වැදගත් කරුණකි.

නෝර්වේ රාජ්‍යයේ වැසියෝ සතුටින් ජීවත් වන බව අන්තර් ජාතික දර්ශක අනුව සනාථ වී තිබේ. පින්ලන්තය හා ඩෙන්මාර්ක් වලට පසු ලෝකයේ සතුටින් ම වෙසෙන රට බව දැක්වෙයි. වැසියන්ට උවමනා පරිදි ජීවත්වීම හැර වෙනත් සතුටක් නැති බව මෙම ඔරලෝසුවට අනුව ජීවත්විය යුතු නැති බව කියන සමයරෙයි දූපතේ වැසියෝ කියති. වෙලාවට වැඩ නොකරන ප‍්‍රදේශයක් වශයෙන් නම් කිරීම ගැන නොයෙක් අදහස් පැතිරෙන නමුත් සංකල්පයක් වශයෙන් එය වැදගත් කරුණක් සාකච්ඡා කරන බව ලෝකයේ සෑහෙන පිරිසක ගේ අදහස වී තිබේ.

අතේ බඳින ඔරලෝසුව අනාගතයේ  දී භාවිතයෙන් ඉවත්වන මෙවලම් අතරින් එකක් බව දැක්වෙයි. එයට හේතුව සෑම පුද්ගලයෙකුගේම අතේ ඇති ජංගම දුරකතනය වෙලාව පෙන්නුම් කිරීමයි. අප සියළුම දෙනා අතේ ඔරලෝසුවක් බඳින සහ වෙලාව පෙන්වන ජංගම දුරකතනයක් පරිහරණය කරන බව සඳහන් කළ යුතුය. නමුත් වෙලාවට වැඩ කිරීම ගැන ප‍්‍රශ්න තිබේ. ප‍්‍රමාද වූ විට ඒ අපේ හැටි යැයි කියන්නට මැලිකමක් ද නැත. තමන් වෙලාවට වැඩ නොකර අනුන්ගේ කාලය නාස්ති කිරීම ගැන ද විවේචන ඇත. නිදහස උපරිම වශයෙන් විඳීන සහ වෙලාව අනුව ජීවිතය කොටුකරගන්නට සූදානම් නැති කුඩා සමාජයක් ලෝකයේ එක් කෙළවරක පවතින බව දැක්විය යුතුය.

සංවර්ධනයෙන් ඉහළයි එහෙත් විනයෙන් බිංදුවයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

 

2019/07/17 – ලංකාදීප

දැවැන්ත ප‍්‍රයත්නයකින් සංවර්ධනය කරා ගමන් කරමින් සිටින රටකි. නමුත් කාන්තාවකට තනිව මහ මග ගමන් කරන්නට පුලූවන්කමත් නැත. සාමය, සෞභාග්‍යය හා යස ඉසුරින් පිරි සිරිමත් රටක් බව ප‍්‍රකාශ වන නමුත් පැවැත්ම ඉතා කණගාටුදායකය.

ශ‍්‍රී ලංකාව ගමන් කරමින් සිටින ප‍්‍රපාතය ගැන පුලූල් සමාජ සාකච්ඡාවක් අවශ්‍ය වී තිබේ. විශාල ගොඩනැගිලි හා හොඳ මංමාවත් රටක දියුණුව මනින මිනුම් දණ්ඩ නොවේ. පාවෙන මාලිගා වැනි වාහන වලින් ඇති කරන මනරංජනීයත්වය පලක් නැත. විනය ඉතාම වැදගත්ය. පිරිමින්ගේ උසුළු විසුළු වලින් ගැලවී කාන්තාවකට නිදහසේ ගමන් කරන්නට ඉඩ නැති රටක් බිහිවී තිබීම කණගාටුදායක තත්ත්වයකි. කාන්තාවෝ කෙළි බඩු නොවෙති. ආදරයට හා ගෞරවයට පාත‍්‍ර විය යුතුය. 2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කරන ලද පර්යේෂණයකට අනුව මෙරට කාන්තාවන් දහදෙනෙකුගෙන් නම දෙනෙකුම පොදු ප‍්‍රවාහන සේවාවල දී ලිංගික අඩන්තේට්ටම් වලට ගොදුරුවන බව පෙන්වා දී තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කාන්තාවෝ රැකියාවක් කරන අදහස අත්හැර දමා ඇත. වාර්තා පෙන්වන පරිදි කාන්තා ශ‍්‍රම බලකාය පහත වැටී ඇති අතර අඩුම තරම්න් වසර 2020 වන විට කාන්තා ශ‍්‍රම බලකාය සියයට හතලිහක් දක්වා නංවනු අරමුණ ඇතිව විශේෂ වැඩ පිලිවෙලක් ද ආණ්ඩුව ක‍්‍රියාවට නගා ඇත. නමුත් එයින් පලක් වී ඇත්දැයි සැක සහිතය.

මෙරට ඇතැම් පිරිමින් ගේ අප‍්‍රිය ජනක හැසිරීම රටට බලවත් නිගාවක් වී තිබේ. නීතිය හා විධි විධාන අනුව කාන්තාවන්ට කරන හිරිහැර දඩුවම් ලැබිය යුතු වරදකි. අතවර වලට ගොදුරුවෙන කාන්තාවෝ ලජ්ජාව නිසා නීතිය ඉදිරියට නොගොස් නිහඩව එය දරාගන්නා බව තේරුම් ගත යුතු අතර එය කිසිසේත් යහපත් තත්ත්වයක් නොවේ. පොදු සමාජයේ දී පිරිමින්ගේ අයුතු හැසිරීම නිසා කාන්තාවන්ට සිදුවන හිරිහැර නොසලකා සිටීම විශාල වරදකි. අවිනීත සිද්ධි සිදුවන බව පිලිගැනීමට මැලිවන අධිපතිවාදී මානසිකත්වයක පැවැතීම එයටත් වඩා දරුණු පිරිහීමක ප‍්‍රතිඵලයක් බව සඳහන් කළ යුතුය.

කාන්තාවන්ට, දරු දැරියන්ට සිදුවන හිරිහැර ගැන මෙම තීරුවෙන් මෙයට කලින් පෙන්වා දී තිබේ. දැරියන් සමග පාසලට ගොස් පාසල අවට ගැවසෙන දස දහස් සංඛ්‍යාත අම්මාවරු හෝ සෑම යුවතියක සමගම අතිරේක පන්තියට යන මවුවරු එසේ ක‍්‍රියා කරන්නේ ඇයි දැයි පෙන්වා දුන් බව මතක් කළ යුතුය. තමන් අත්විඳි අමිහිරි සිදුවීම් වලට තම දියණියෝ  මුහුණ දිය යුතු නැති බව දියණියන් සමග ගැවසෙන සෑම මවකම නිහඩව කියන පණිඩුවයකි. මෙම ඇත්ත තේරුම් ගැනීම අප සියළු දෙනා සතු බලවත් වගකීමක් බව සඳහන් කිරීම අවශ්‍යය.

නිවසෙන් බැහැරව සිටින අවස්ථාවක පොදු ප‍්‍රවාහනයේ දී, කාර්යාලයේ දී හෝ මහ මග දී රැකවරණයට පත් විය යුතු කාන්තාව, යුවතිය හෝ දියණිය මානසික රෝගී පුරුෂයන්ගේ ගොදුරු බවට පත්වීම නීතියෙන් පාලනය කළ හැකි දෙයක් නොවේ. ආගම, සාරධර්ම හා යහපත් ගුණාංග පිරිහීමේ ප‍්‍රතිඵලයකි. අලූත් සමාජයක් හදන්නට යෝජනා කරන පාලකයෝ මෙකී ස්වභාවය ගැන සොයා බැලිය යුතුය. සියළු ආගමික නායකයෝ සිය දේශනාවල හරය තේරුම් නොගත් සමාජයක් බිහිවීම ගැන හිතා බලන්නට අවශ්‍යය. සමාජ නායකයෝ සහ ආයතන ප‍්‍රධානීහු කාන්තාවට නිසි ගෞරවය අත්පත් කර දෙන වැඩ පිලිවෙල ආරම්භ කළ යුතුය. විවිධ ප‍්‍රශ්න ගැන සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරන පාර්ලිමේන්තු තේරීම් කාරකක සභා පත් කර තිබේ. කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර ගැන සොයා බලා විසªම් යෝජනා කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සුදුසුය. රටේ ව්‍යවස්ථාදායකය මෙකී ගැටළුව අතට ගැනීම යහපත්ය.

සැකය වෛරය වෙනුවට සුහදත්වය මෛත්‍රීය ගොඩනගමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

2019/07/10 – ලංකාදීප

සිරිමත් පැවැත්මක තිබුණ රට අසෝබන තැනකට තල්ලූවෙමින් තිබේ. බෙදීම් ඉතාම නරක අන්දමට සමාජය හසුරුවන්නට සූදානම් බව නිරීක්ෂණය කළ හැකිය. අප සියළු දෙනා දකින්නේ අවලස්සන තාරා පැටවුන්ය. ජාතිය, ආගම අනුව කොන් කිරීම සහ සමච්චල් කර පැත්තකට කිරීම ඉතා පහසුවෙන් සිදුවෙයි. අවලස්සන තාරාවා අවසානයේ දී අඟ පසඟ වැඩුණ පසු හංසයෙකු සේ ඉගිල යන්නට බැරි නැත.

මෑත කාලය තුළ මෙරට සිදුවූ සිද්ධි අපේක්ෂිත ඒවා නොවේ. මරාගෙන මැරෙන පාස්කු ඉරිදා ප‍්‍රහාරය ජන සමාජය තැතිගන්වා ඇත. අන්තවාදී කණ්ඩායම් වල සාහසික ක‍්‍රියා අනුමත කළ නොහැක. නමුත් එක අන්තවාදයට උත්තරය තවත් අන්තවාදයක් බෝ කිරීම නොවේ. අන්තවාදයක් ඇති කරමින් සිටින බව පැහැදිලි අතර දැනුවත්ව හෝ නොදැනුවත්වම රට තුළ බේධකාරී තත්ත්වය පාලනය කරගත නොහැකි තරමට දරුණු වී තිබේ. ජනකොටස් අතර පරතරය පුලූල් වී ඇත. පරම්පරාවකට දෙකකට කලින් එකට, එක වාසයකට නතු වී සිටි ශ‍්‍රී ලංකාවේ පුරවැසියෝ සැකයෙන් වෛරයෙන් ජීවත්වන පාර්ශව බවට පත්වෙමින් සිටින බව නිරීක්ෂණය කළ හැකිය. වෙනස්කම් සහිත නමුත් එකම රටක එක පුරවැසියන්යැයි ප‍්‍රකාශ කරන්නට මැලිකමක් දක්වන තරමට එය දුරදිග ගොස් ඇති බව පැහැදිලිව පෙනෙන අතර එය කිසිසේත් අභිමානයට හේතුවක් නොවේ.

එකතු කළ යුතු පැති ව්‍යාකූල කරන සිදුවීම් ගැන අප සියළු දෙනා ගැඹුරු අවධානයක් යොමු කළ යුතුය. ඇතැම් දේශපාලන නායකයන් ඉතා පටු ආකාරයට ක‍්‍රියාකරමින් සිටිති. ආගමික පැතිවලින් පවා එය සිදුවෙයි. අසත්‍ය හා මිත්‍යා කරුණු දේශනා කරන අතර ඒවායෙන් ඇතිකරන මතවාදය බරපතලය. දේශපාලකයන්ගේ දේශන හා ආගමික දේශනා වලින් ඇති කරන පීඩනය යුක්ති ගරුක සමාජයට කිසිසේත් ඔරොත්තු නොදෙන තත්ත්වයකි. දේශපාලනඥයන් ගේ හැසිරීම බලය ආරක්ෂා කරගැනීම හෝ බලය ලබා ගැනීම බව පැහැදිලිය. නමුත් සමාජයට සත්‍ය පෙන්වා දී දර්ශනයකට යොමු කළ යුතු ඇතැම් ආගමික නායකයෝ අරමුණු කරන්නේ කුමක්දැයි පැහැදිලි නැත. මුදු ගුණය ඇතිකර නැවත පෑරුණ සිත් සනහන්නට ඇතැම් වැදගත් දේශපාලනඥයන් හා ආගමික නායකයෝ වෑයම් කරන නමුත් ඒවා බලවත්ව නැගෙන්නේ නැත. ජන මාධ්‍ය පවා එයට එක්තරා අන්දමකට වගකිව යුතුය. ජනමාධ්‍ය අභිබවා නැගී ඇති නූතන සමාජ මාධ්‍ය ප‍්‍රවාහය යහපත් හෙටක් තනන වගකීම තවත් සංකීර්ණ ස්වභාවයකට පත් කර තිබේ.

පවතින තත්ත්වය අනුව ඉදිරි කාලයේ දී මෙකී පැවැත්ම තවත් නරක විය හැකිය. ඉතා තියුණු තරගකාරී මැතිවරණ ගණනාවක් පැවැත්වෙනු ඇති අතර ඒවායේ දී දේශපාලන පක්ෂ අතර මතුවන ගැටුම අන්තවාදී ආකෝෂ පරිභව බහුල පරිසරයක් තනනු නිසැකය. අවසානයේ දී දියුණු, පොහොසත් සමාජයක් අපේක්ෂා කළ හැකිද?

පටු අවිද්‍යාවාදීන් පරාජය කරනු සඳහා සියළු මානුෂික බලවේග එකතු විය යුතුව තිබේ. යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නට අවශ්‍යය. නැවත බිංදුවෙන් ආරම්භ කරනු සඳහා වැඩ පිලිවෙලක් සැකසීම වැදගත්ය. බිදවැටීම්, පරාජයවීම් හා ඛේදවාචක වලින් බහුල අතීතය සහමුලින්ම අමතක කර අලූතින් සියළු දේ ආරම්භ කරන්නට පියවර ගැනීම සුදුසුය. රට ගොඩනගන නායකයෝ වෙනුවට අතීතය අමතක කර බිංදුවෙන් නැවත ගමන ආරම්භ කරන්නට තරම් ශක්තියක් ඇති නායකයෝ අප සොයා ගත යුතුව තිබේ.

 

 

 

 

 

නස්රුදීන්ගේ එල්ලා මැරීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

2019/07/03 – ලංකාදීප

නස්රුදීන් ගේ උපහාසාත්මක කතා ලෝක ප‍්‍රකටය. දහ තුන්වැනි සියවසේ දී ඔහු ජීවත් වූ ප‍්‍රදේශය දැන් තුර්කිය ට අයත්ය. එකල එහි විසූ පාලකයා නගරයට අනවශ්‍ය මිනිසුන් පැමිණීම වලකනු සඳහා නගර ද්වාරයේ එල්ලූම් ගසක් ස්ථාපිත කළේය. මිනිසුන් සත්‍යගරුක විය යුතු බව කියා සිටි හෙතෙම නගරයට ඇතුළුවන අයගෙන් ප‍්‍රශ්න අසා ඔහු හෝ ඇය අසත්‍ය ප‍්‍රකාශ කරන බව ඒත්තු ගියහොත් එල්ලා මරා දමන සේ නියෝග කළේය. ජනතාව දෙන උත්තරය කුමක් නමුත් එල්ලා මරා දැමීමට හේවායෝ නැඹුරු වූහ. එය මහා ව්‍යසනයකි. අධිරාජ්‍යයාට කරුණු කී නමුත් පලක් වූයේ නැත. අන්තිමේ දී පාලකයා කරන අපරාධය නතර කරන්නට නස්රුදීන් ඉදිරිපත් විය. ඔහු නගරයට ඇතුල්වන දොරටුව ඉදිරියේ පෙනී සිටි අතර හේවායෝ නගරයට එන්නේ ඇයි දැයි ප‍්‍රශ්න කළ විට ‘‘ එල්ලිලා මැරෙන්නට ’‘ යැයි උත්තර දුන්නේය. ඒක බොරුවක් හේවායෝ එක හෙලා කියා සිටියේය. ‘‘එහෙනම් එල්ලාපල්ලා’’ නස්රුදීන් කියා ඇත. එහෙම කළොත් නස්රුදීන්ගේ උත්තරය ඇත්තක් බවට පත්වෙයි. පාලකයා එල්ලූම් ගස ඉවත් කරන ලද බව කියැවේ. මෙම කතාව නස්රුදීන් ගේ දක්ෂතාව දක්වයි. පාලකයන්ගේ තීරණ වල අභ්‍යන්තරය පෙන්වයි.

මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. මත් ද්‍රව්‍ය ජාවාරම් වල සිට මිනිස් ජාවාරම් දක්වා පාලනය කරගත නොහැකි තරමට අපරාධ ඉහවහා ගොස් තිබේ. අපරාධ අවම කරනු සඳහා නීතිය උපරිමයෙන් කි‍්‍රයාත්මක කළ යුතු බව අවධානයට ගෙන ඇති බව පෙනේ. මෙම තීරණය ගැන මෙරට පොදු ජනතාව තුළ මිශ‍්‍ර අදහස් ඇති බව නිරීක්ෂණය කළ හැකිය. මහ පොළව නුහුලන අපරාධ වලට මරණ දඩුවම දිය යුතු බව ජනතාව එක හෙලා කියන නමුත් එල්ලා මරන්නේ හැබෑ අපරාධකාරයන්ද? පොදු ජනතාව පාලකයන්ගෙන් ඉල්ලන්නේ යුක්තිය හා සාධාරණත්වයයි. අපරාධකාරයෙකු එල්ලා මැරීම ජනතා අභිලාශ සාක්ෂාත් කිරීමක්ද? රටට යුක්තිය ඉටු වී ඇතැයි සතුටු විය හැකිද?

මරණ දඩුවම ගැන අන්තර් ජාතිකව විශාල විවාද තිබේ. ඇමරිකාවේ ප‍්‍රාන්ත සෑහෙන ප‍්‍රමාණයක මරණ දඩුවම කි‍්‍රයාත්මක වෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉහළින්ම බලපවත්වන ඇමරිකානු නීතිය අනුව මනුෂයාගේ ජීවිත අයිතිය පැහැර ගැනීමට ප‍්‍රතිපාදන සලසා ඇත. අනෙක් පැත්තෙන් චීනය ද මරණ දඩුවම ක‍්‍රියාත්මක කරයි. චීනයේ කොමියුනිස්ට් පාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන මුහුණුවරක එකක් නොවේ. එය චීන ක‍්‍රමයයි. සෑහෙන ආර්ථික දියුණුවක් සහිත සිංගප්පූරුව ද කලාතුරකින් අපරාධකරුවෝ මරා දමති. එහෙත් යුරෝපා රටවල් මරණ දඩුවමට එකඟ නැත. මරණ දඩුවම ක‍්‍රියාවට නැගීම උසස් මනුෂ්‍ය ගුණාංග වලට හානියක් බව කල්පනා කරති. ඝාතනය කිරීම වරදක් කරන ලද කෙනෙකුට එය තේරුම් ගෙන නිවැරදි වෙන්නට ඉඩක් දෙන්නේ නැති දරුණු තීරණයක් බව යුරෝපා ප‍්‍රජාවගේ අදහසයයි.

මරණ දඩුවම ක‍්‍රියාවට නැංවිය යුතු බවට රට තුළ සෑහෙන කාලයක් තිස්සේ ආන්දෝලනයක් තිබුණි. නීතිය අනුව අධිකරණයෙන් දෙන තීරණය ජනාධිපතිවරයාගේ අත්සනින් ක‍්‍රියාත්මක කළ යුතුය. එල්ලා මරන්නට නියම වූ සෑහෙන පිරිසක් බන්ධනාගාරයේ අදුරු සිරමැදිරිවල ජීවත්වෙති. මෑත කාලය තුළ කිසිම ජනාධිපතිවරයෙකු මරණ දඩුවම් ලිපි ගොනු වලට අත්සන් තබා නැත. එම ප‍්‍රතිපත්තිය බැහැරව නීතිය අකුරටම ක‍්‍රියාවට නැගීමට ජනාධිපතිවරයා තද අධිශ්ඨානයක සිටින බව පැහැදිලිය. මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති බරපතල විනාශය තුරන් කිරීම අරමුණ වී තිබේ.

මෙරට බලපවත්වන නීතියට අනුව මත් ද්‍රව්‍ය ජාවාරම මරණ දඩුවම නියම කරන වරදකි. දීර්ඝ නඩු විභාගයකට පසු දඩුවම නියමවන්නේ ජාවාරමක මැද පැටැලී ඇති එක පුද්ගලයෙකුටය. හැබෑ ජාවාරම්කරු නිරුපද්‍රිතය. සමහරවිට ලෝක ප‍්‍රකට මහා චරිතයකි. එල්ලූම්ගහට යන මනුෂ්‍යයාට මෙම යතාර්ථය ලෝකය හමුවේ කියා දෙන්නට පුලූවන්කමක් තිබේද? ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණයක දී එයට සමාන්තර  පත‍්‍රිකාවකින් ජනතා ජනමතය විමසා බහුතර අනුමැතියෙන් තීරණයක් ගැනීම සුදුසුය.