අලූත් සිතිවිල්ලකින් නව වසරේ අලුත් ගමනක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2020.12.30 – ලංකාදීප

නව වසරක් උදා වෙමින් තිබේ. තවත් පැය හතලින් අටකින් අලූත් කාල පරිච්‌ඡේදයක් ඇරඹෙනු ඇත. සුබ පැතුම් හුවමාරු වෙයි. සුපුරුදු පරිදි තැපෑලෙන් කාඞ්පත් ලැබුණ යුගය අවසන්ය. දුරකථනයෙන් නැගෙන මිහිරි නාදය, සමාජ මාධ්‍යයෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් එන පණිවුඩ සතුට ඇති කරයි. දහසකුත් එකක් ප‍්‍රශ්න හා කරදර මැද ගෙවුණ දින සිහිපත් කරන අප සියළු දෙනා අවසාන වශයෙන් මතු ආත්මයක හෝ සැනසිල්ල පිරි ජීවිතයක් ප‍්‍රාර්ථනා කරන බව නිසැකය. මතු ආත්මය කෙසේ වෙතත් ජීවත්වන ජන සමාජය දිව්‍ය ලෝකයකි. අපාය හෝ දෙව්ලොව අප අසල අප අතරම පවතින බව දාර්ශනිකයන්ගේ සිතිවිල්ලකි.

සියවස් ගණනාවකට කලින් යුරෝපයේ අන්ධකාර යුගයක් තිබුණි. ආගමික අන්තවාදයක් විය. දේශපාලනික, ආගමික හා සංස්කෘතික වටපිටාවක් සහිත කැළඹිල්ලක් පැන නැගිණ. සත්‍ය වෙනුවට අසත්‍ය රජ කරවන ලද අතර මිත්‍යාව වැඩි පරාසයක් ආවරණය කරගෙන සිටියේය. වරප‍්‍රසාද ලත් සුළු කණ්ඩායමක් ජනී ජනයාගේ පැවැත්ම පාලනය කර තිබුණ බව සදහන් කළ යුතුය. මෙම අවකාශය තුළ තිබුණ පීඩනය කොපමණ ද යත් ලබන ආත්මයක හැර සැනසුමක් නැති බවට විශ්වාසයක එල්බ සිටියහ. සමාජ පරිවර්තනයක් කළ දාර්ශණික කණ්ඩායමක් ජනතාවට ඇත්ත පෙන්වා දුන්හ. අන්තවාදී මතවාද බැහැර කරන අලූත් අදහස් පතුරවන ලදහ. පෑගී, මිරිකී සිටි ජනතාව මෙම මතවාද වෙත ආකර්ශණීය වූ අතර පාලකයන් සකස් කර තිබුණ සම්ප‍්‍රදායික ගැති රාමුවෙන් වෙන්ව සිතන්නට යොමු වූහ.

බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු වූ තෝමස් මෝ මෙම දර්ශනය ගොඩනගන්නට මුලික වූයේය. එය සිදුවූයේ 1516 දී පමණ ඉතිහාසයේ දී ය. පරිසමාප්ත රාජ්‍යයක් ගැන සිතිවිල්ලක් වූ මෙය යුටෝපියාව සේ හදුන්වන්නේය. විද්‍යාව හා තාක්ෂණයට තිබුණ බාධා ඉවත් කරන්නට තෝමස් මෝ ගෙන ගිය යුටෝපියානු මතවාදයට හැකිවිය. ලෝකය ගෝලාකාර බව හිතන්නට පමණක් නොව ආකාශයේ සැරි සරන්නට ද මුල පිරිණ. නොයෙක් ලෙඩ රෝග වලට හේතු සොයා ගත්හ. ආර්ථිකය හා සමාජය ආවරණය කර තිබුණ කඩතුරා ක‍්‍රමයෙන් ලිහිල් විය. පසුව දක්වන පරිදි යුරෝපයෙන් පැන අලූත් යුගයක් ඇති කරන අරමුණ ඇතිව පෙන්සිල්වේනියාවේ පදිංචියට පැමිණි කණ්ඩායමක් ඇමරිකාව යනුවෙන් රටක් හදන්නේ ද යුටෝපියානු සිහිනය සහිතවය. සියළු පුරවැසියන්ට රාජ්‍ය තුළ සමාජ හා නීතිය සම්බන්ධ සමානාත්මතාවක් ඇති කරන ඇමරිකාව බිහිකිරීම ලෝකයේ දෙවැනි අවදිවීමක් සේ සලකන්නට තරම් ඉක්මන් වූ බව මතක් කර දිය යුතුය.

යුටෝපියානු අදහස පෙරදිග බෞද්ධ අදහස් අනුව නිර්මාණය වී තිබෙන අදහසක් වූ කේතුමතී රාජධානියට යම් පමණකට සමාන කළ හැකිය. සියළු යස ඉසුරින් පිරි කේතුමතිය සර්ව සාධාරණ තැනක් වනු ඇතැයි විශ්වාස කෙරේ. දියසෙන් කුමාරයා පහල වී අනේක විධ අර්බුද මැඩ සන්තුශ්ඨී රාජ්‍යයක් බිහිකරන බවට ද විශ්වාසයක් තිබේ. යුටෝපියාව, කේතුමතිය හෝ දියසෙන් කුමාරයාට පරිබාහිරව තවත් අදහස් ලෝකයේ විවිධ ජන සමාජ තුළ පවතින බව සැකයක් නැත. අවසානයේ දී සියළු තැවුල් නිවා සනසන සුපැහැදිලි වෙරළ තීරයකට අවතීර්ණවීමක් අපේක්ෂා කෙරේ.

සිත් සතන් වල ජනිත වන අදහස් සංකල්ප බවට හැරවිය හැකිය. මතවාද කඩදාසි වල සටහන් කර න්‍යාය වශයෙන් ගොඩනගන්නට හැකියාව තිබේ. දත්ත එකතු කර පර්යේෂණ කළ හැකි අතර ඒවායෙන් සත්‍ය සොයා ගන්නටත් ක‍්‍රම ඇත. සත්‍යය පමණක් නොව එයට බැහැරව ගිය පශ්චාත් සත්‍ය වශයෙන් වූ ව්‍යවහාරයකක් ද වර්තමානයේ භාවිතා වෙයි. හැගීම් හා විශ්වාස එකතුකර, ප‍්‍රකාශවන දේ කිසිම වග විභාගයකික් තොරව සත්‍ය වශයෙන් පිලිගැනීම මෙම පශ්චාත් සත්‍ය යන තලයෙහි හැසිරීම බව දක්වයි. යුටෝපියාවක් හෝ කේතුමතියක් ගැන සිහින මවන ජන සමාජ පශ්චාත් සත්‍ය තුළ පැවැතීම ගැඹුරින් සාකච්ඡා කළ යුතු කාරණයක් බව මෙහි දී සදහන් කළ යුතුය.

නව වසර උදාව සත්‍ය සොයා යා යුතු තීරණාත්මක අවස්ථාව සනිටුහන් කිරීමකි. අනන්තවාරයක් මිත්‍යා මතිමතාන්තරවලට ගොදුරු වූවෝ යතාර්ථය දකින්නටත්, දකින, අත්විදින දේ විශ්වාස කරන්නටත් නැඹුරුවිය යුතුය. අප සියළු දෙනා එකට එකතු වී ක‍්‍රමය වෙනස් කරනු හැර අනෙක් විසදුමක් නැත. එක පුද්ගලියෙකුට එක රාත‍්‍රියකින් සියල්ල වෙනස් කරන හැකියාවක් නැති අතර කැපවීම, ආත්ම ශක්තිය හා ධෛර්යය ජීවිතයට ඉතාම වැදගත්ය. යස ඉසුරු පිරි යුගයක් වෙනුවෙන් නොනවත්වා ඇවිද යා යුතු ගමනක් තිබේ.  නව වසර අලූත් ද්‍රෘෂ්ටියකින් අවදිවන්නට එන අලූත් අවස්ථාවකි.

මිනිසාට සම්පත් ගෙනෙන ගහ කොළ වැවෙන පාරාදීසය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2020/12/23 – ලංකාදීප

ලෝකය එක යායක එකට, එකමුතුව වෙසෙන සමාජයක් ගැන සිහින දකිමින් සිටියේය. සියල්ල වෙනස් වී තිබේ. කොවිඞ් වයිරසය අණසක පතුරුවා ඇත. එදිනෙදා පැවැත්මට එල්ලකර ඇත්තේ බලවත් තර්ජනයකි. සාමුහිකත්වය වෙනුවට සමාජ දුරස්ථභාවය වැදගත්ම සාධකය බවට පත්ව ඇත. ජන ජීවිතය විස්මිත යුගයකට හරවන ගෝලීයකරණ සංකල්පය අනෙක් පැත්තකට හැරී තිබේ. ගෝලීය වසංගත තත්ත්වය ඉදිරියේ ජනී ජනයා ඉතා අවිනිශ්චිත ස්වභාවයකය.

පරිසරය ගැන නොතකා සම්පත් අසීමිතව පරිභෝජනය කිරීමේ විපාක බව සමහර මතධාරීහු නගන චෝදනාවකි. එල්ලවී ඇති අභියෝගය තියුණු නමුත් මනුෂ්‍යයාගේ ශක්තිය පරාජය කළ නොහැකි බව තවත් පාර්ශවයකගේ අදහස වී තිබේ. මෙම පැති දෙක ගැනම වෙනම අදහස් ඇති බව නිසැකය. එහෙත් සොබා දහම සමග එකගව ගත කරන අලූත් ජීවිතයක් ගැන මධ්‍යස්ථ මතධාරීහු අදහස් දක්වන බව පෙනේ. සංවර්ධනය හා සමානව මහපොලව ආරක්ෂාකර ගැනීමේ වැදගත්කම ගැන ඉතිහාසයේ නොතිබුණ සාකච්ඡාවක් ආරම්භ වී ඇත. කොවිඞ් වයිරසය තුරන් කිරීමේ පියවරකට පසු එළැඹෙන කාල වකවානුවේ දී පරිසරය ආරක්ෂා කරගෙන හැසිරිය යුතු බව එයින් අවධාරණය වෙමින් තිබේ. බලශක්ති නිෂ්පාදනයේ දී ඉන්ධන භාවිතාව අඩු කරන අතර ආහාර නිපදවන ක‍්‍රියාවලියේ දී අහිතකර වායු විමෝචනය නරක බව වටහා ගෙන ඇත. දිරා පත් නොවන දේ භාවිතා කිරීම අත්හරිමින් තිබේ. මහපොලව පමණක් නොව ආකාශය හා සාගරය ද අපිරිසිදු නොකරන තැනට ප‍්‍රතිපත්ති සකස් කෙරෙමින් පවතින බව ලෝකයේ රටවල් හා සංවිධාන අනුගමනය කරන පියවර මැනැවින් දක්වයි.එළැඹ ඇති අවකාශය අලූතින් හිතන්නට අවස්ථාවකි. මෙතෙක් අනුගමනය කරන ලද පිලිවෙල වෙනුවට සතුට සහ සැනසිල්ල වෙනුවෙන් පෙනී සිටින වගකීමක් තිබේ.

ජර්මනියේ විද්‍යාඥයන් කණ්ඩායමක් යුරෝපයේ ජීවත්වන විවිධ ජන කොටස් හා වෙනත් දත්ත ගණනාවක් ආශ‍්‍රයෙන් කර ඇති පර්යේෂණයක් අනුව කුරුල්ලන් වැඩි ප‍්‍රමාණයක් ගැවසෙන තැනක ජීවත්වීම හොද වැටුප් වර්ධකයකට වඩා තෘප්තියක් ඇති කරන බව ඔප්පු කර තිබේ. කාර්ය බහුලත්වය හා ජීවත්වන පරිසරයේ තිබුණ සංකීර්ණ ස්වභාවය නිසා පලාගිය සියොතුන් නැවත කැදවන අවශ්‍යතාවයක් ඇති බව මෙම පර්යේෂකයන් පෙන්වා දෙයි. පරිසරය ආරක්ෂා කරන, කුරුල්ලන් බහුලව ජීවත්වන වටපිටාවක වාසය තෝරා ගැනීම ඉතා ඥාණාන්විත බව දක්වයි. මෙහි දත්ත උපුටා දැක්වීම සුදුසුය. කුරුළු විශේෂ දහ හතරක් වෙසෙන පරිසරයක වාසස්ථානය තිබේනම් එය වාර්ෂිකය ඇමරිකානු ඩොලර් 1,806.27 ක වැටුප් වර්ධනයක් හා සමාන බව ගණන් බලා ඇත. වැඩිහිටියන් විසි හයදහසක් මෙම පර්යේෂණයට සම්බන්ධ කරගෙන ඇති බව දැක්වෙයි. හරිත පරිසරය  හා ජලාශ සහිත ප‍්‍රදේශවල කුරුලූ වර්ග වැඩි ප‍්‍රමාණයක් හදුනාගෙන ඇත. නාගරික ප‍්‍රදේශයක නමුත් කුරුල්ලන් ගැවසෙන ස්ථානවල ජීවත්වන අයවලූන් සන්තෝෂයෙන් කල්ගතකරන බව හදුනාගෙන තිබේ. එම සතුට ලබා ගන්නට වැය කළ හැකි මිල ගැන තක්සේරුවක් කළ නොහැකි නමුත් සාමාන්‍යයෙන් වැටුප් වර්ධකයක් සේ සැලකිය හැකි බව පර්යේෂණ වාර්තාව දක්වන වැදගත් කරුණකි.

නගර සැලසුම් වල දී ස්වභාවික පරිසරය වෙනස් කෙරේ. ගහ කොල හා ස්වභාවික ජලාශ අඩුවන විට කුරුල්ලෝ එම පෙදෙස් හැරයති. එහිම රැදෙන කුරුල්ලන් පවා කැදැලි තනන නමුත් බෝවීම අඩු බව දැක්වෙයි. මිනිසුන් ගැන පමණක් නොව ගහ කොළ, කුරුල්ලන් හා සියළු සතුන් සමග එකට වාසස්ථානය ඉතාම සන්සුන්, සතුටුදායක පැවැත්මක් සහතික කරයි.

අලූත් ආරම්භයක් ගැන කල්පනා කරන අප සියළු දෙනාටම වැදගත් පණිඩුවයක් මෙහි තිබේ. ඉඩම් වෙන්දේසියකින්, ඉතාම කුඩා බිම් කැබැල්ලක් මිල දී ගෙන නිවහනක් තනා ගෙන එහි තාප්ප බැද ආරක්ෂා කරගත් පමණකින් සැනසුමක් ලැබෙන්නේ නැත. විවේකයකට පිට පලාතක සංචාරයකට අවස්ථා අඩුවන විට හොදම නිවෙසක පවා දැනෙන ඒකාකාරීත්වය දරුණු බව වටහා ගත යුතුය. අත්දැකීම් වලින් පාඩමක් ඉගෙනගත යුතුය. සොබාදහම විනාශ කරන ආරත්මාර්ථකාමී පැවැත්මකින් ජීවිතයට ලැබෙන සැනසිල්ලක් නැත. තවත් දින දහයකට අඩු කාලයකින් උදාවන නව වසරේ අනාගතය වෙනුවෙන් කුරුල්ලන්ට එන්නට දොරටු විවර කළ යුතුය.

සියලු ආගමික – ජාතික සිරිත් විරිත් වලට ගරුකරමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2020/12/16 – ලංකාදීප

අලූතින් උපදින දරුවෙකුට මහත් ආදරයක් දක්වන හා සමානව ජීවිතක්ෂයට පත්වන පුද්ගලයෙකුගේ දේහයට ලැබෙන්නේ ද බලවත් ගෞරවයකි. උස් පහත්, ජාති ආගම් බේද පැත්තකින් තබමු. අහිමිවෙන්නේ මනුෂ්‍ය ජීවිතයකි. ජීවත් වූ සමාජ පසුබිමට වඩා තරමක් උසස් ගෞරවයක් අවසන් ගමනේ දී පිරිනැමේ. යුද බිමේ දී ඝාතනය වන සතුරු පාර්ශවයේ දේහ පවා ගෞරවාන්විතව හුවමාරු කරගන්නට තරම් විනයක් සහිත යුගයක අප ජීවත්වෙමින් සිටී.

භයානක වසංගත තත්ත්ව හමුවේ මරණයට පත්වන මිනිසුන් ගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය ගැන අමිහිරි සිද්ධි ලෝක ඉතිහාසයේ සනිටුහන්ව ඇත. කොවිඞ් -19 වයිරසයේ තියුණු බලපෑම සියළු සාරධර්ම වලට අභියෝග කර තිබේ. විද්‍යාව හා තාක්ෂය දියුණු අද වැනි කාල පරිච්ඡේදයක ජන අනන්‍යතාවලට ගරු කරන වගකීමක් අප සියළු දෙනාටම තිබේ. ඉස්ලාම් පුද්ගලයන් කොවිඞ් ආසාදනය වී ජීවිතක්ෂයට පත් වුවහොත් ඔවුන්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් අනුගමය කරන විධිවිධාන ගැන බලවත් විවාදයක් ඇත. අනොන්‍ය අවබෝධයක් ඇති, සමාජ සංස්කෘතින් ට ගරු කරන උසස් සමාජයක් වශයෙන් මධ්‍යස්ථ විසදුමකට එළැඹීම සුදුසුය.

බෞද්ධ, හින්දු, කිතුනු හා ඉස්ලාම් පමණක් නොව අනෙක් ආගම් වල ද මරණයෙන් මතු ජීවිතය ගැන විශ්වාසයක් පවතී. අවසන් කටයුතු කෙරෙන ආකාරය ගැන එකගතතා තිබේ. ඒවායේ ඉතිහාසය සංකීර්ණය. සත්‍යය අසත්‍යතාව පැත්තකින් තැබිය යුතුය. ඒකමතික තීරණය නුසුදුසුය. අසල්වැසියාගේ මරණය සංහිදියාව ඇති කරන පියවරක් බවට හරවා ගැනීම සුදුසුය.

ඉස්ලාම් ආගමිකයන්ගේ දේහය එක දිනයකින් ඉතා සරල පියවරක් අනුගමය කර සුසාන භූමියෙහි තැන්පත් කරන්නට පදනම් වන හේතුවක් තිබේ. කොව්ඞ් වයිරසය ඇතිවී ඇති අනතුරු සලකා සිරුරු ආදාහනය කිරීමට තීරණය කිරීම එම හේතුවලට අභියෝග කිරීමකි. බලය අභිමුවෙහි අසරණ වන නමුත් ඉවසීම කෙළවර විය හැකි තැනක් තිබේ. වෛරය ඇති විය හැකිය. ලෝකයේ අනෙක් රටවල භූමදානයට ඉඩ දී ඇත. ශ‍්‍රී ලංකාවේ ඉස්ලාම් ආගමිකයන්ට කර තිබෙන අවහිරය ප‍්‍රශ්නයකට තුඩු දිය හැකිය. තම මතු ආත්මයට ලැබෙන සැනසීම ගැන අවිනිශ්චිතව ජීවත්වන මුස්ලිම් ජන ප‍්‍රජාව ගේ හැගීම් වටහා ගැනීම ඉතාම වැදගත්ය. 

සිරුරු මහපොලවේ තැන්පත් කිරීමෙන් ජල මුලාශ‍්‍ර වලට වයිරස එකතු විය හැකි බව ඇතැම් විශේෂඥ මතයකි. සිරුරු වලින් පමණක් නොව මල මුත‍්‍ර හෝ ඛේඨය මගින් ද වයිරසය ජල මුලාශ‍්‍ර වලට බැහැර වෙන්නට බැරි කමක් නැති බව මැදහත් විශේෂඥයන් දක්වන අදහසකි. එය බැහැර කළ නොහැකි සියුම් තර්කයකි. කොවිඞ් -19 වයිරසයට ආසාදනය වන අයවලූන්ගේ ශරිරයෙන් බැහැරවන දේ ජල මුලාශ‍්‍ර වලට එකතුවීමට ඉඩ ඇත. එය මළ සිරුරරක ක‍්‍රියාකාරීත්වයෙන් සිදුවිය හැකි හානියට වඩා බලවත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඉස්ලාම් ආගමිකයන්ගේ අවසන් කටයුතු වලට අවහිර නොකරන තීරණයක් ගෙන තිබෙන අතර අන්තවාදී මතයකින් බැහැර, බුද්මධිත්ව කටයුතු කරන වගකීමක් රටට තිබේ. අවස්ථාවාදී දේශපාලන විරෝධතා දුරු කළ යුතුය. යහපත් සමාජ ද්‍රෘෂ්ඨිවාදයක් පතුරවන ව්‍යායාමකට හරවා විය යුතුය.

කොවිඞ් වසංගත තත්ත්වය අභිමුවෙහි හැසිරෙන අන්දම පමණක් නොව එය තුරන් කිරීමෙන් පසු එකට ජීවත්වන දිනය ගැන ද අවධානය යොමු කිරීම සුදුසුය. කිසිම ආගමික ශාස්තෘවරයෙකු අනෙක් ආගමික පවතින විශ්වාස බැහැර කළේ නැත. බුදු රජාණන් වහන්සේ, දහම දේශණා කරන කාල වකවානුවේ පවා අන්‍ය ආගම් විශාල ප‍්‍රමාණයක් තිබුණි. සත්‍යය අවබෝධ කරදීම හැර අන්තවාදයකට ඉඩක් බුද්ධ දේශණාවේ තිබුණේ නැත. එකට ජීවත්වන සමාජ අතර ඇතිවන යම් යම් පළුදු දරුණු අන්තවාදයක් තෙක් ගමන් කළහොත් ඇතිවිය හැකි විනාශය ගැන පරෙස්සම් විය යුතුය. රටට උගත් පාඩම් තිබේ. සෑහෙන අත්දැකීම් සම්භාරයක් ඇත. කුඩා ගිණි පුළිගු වලින් හටගත් ත‍්‍රස්තවාදය පසුව මරාගෙන මැරෙන මහා ගින්නක් දක්වා පැතිරී ගිය බව රටට අමතක නැත. ජීවිතක්ෂයට පත්වන කොවිඞ් ආසාදිතයන්ගේ දේහයන් ගැන අවසන් කටයුතු කෙරෙන අනන්‍යතා ගැන අප සියළු දෙනා එකගතාවයකට පැමිණීම අවශ්‍යය.

කොරෝනා එන්නතෙන් සමාජ පරතරය නංවයිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2020/12/09 – ලංකාදීප

කොවිඞ් -19 වයිරසයේ පැතිරීම එදිනෙදා පැවැත්ම වෙනස් කර තිබේ. සම්බන්ධතා කෙරෙහි තද බලපෑමක් කර ඇත. කණ්ඩායම් හැගීම හෝ එකමුතු භාවය වෙනුවට සමාජ දුරස්ථභාවය කෙරෙහි වැඩි අවධානයක් පවතී. මෙම වයිරසය, ඇති නැති පරතරය නොසලකා දියුණු නොදියුණු සෑම සමාජයක්ම ආක‍්‍රමණය කර ඇත. අලූත් වාර්තා අනුව කොවිඞ් සදහා එන්නතක් සොයා ගෙන තිබේ. කණ්ඩායම් සිය ගණනක් ඉතාම වේගයෙන් කරන ලද පරීක්ෂණ අවසානයේ සාර්ථක ප‍්‍රතිඵල ලැබී ඇත. එන්නත භාවිතාව සමග සමාජ පරතරය ඇති කරන අවදානමක් හටගෙන තිබේ. තරාතිරම නොසලකා පැතිර ගිය වයිරසය මැඩ පවත්වන පියවර ඉදිරියේ ධනය හෝ බලය මතුවිය හැකි ලකුණු පහල වි ඇත.

එන්නත වහාම ලෝකයේ සියළුම දෙනාට එකවර ලබා දෙන්නට හැකියාවක් නැත. අවදානමක් ඇති ජන කොටස සහ අනාරක්ෂිත පිරිස තෝරා ගන්නට වෑයම් කරන බව පෙනේ. ලෝක සෞඛ්‍ය සංවිධානය හා අදාල බලධාරීහු යාන්ත‍්‍රණයක් සකස් කරමින් සිටිති. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, සේවා සම්පාදකයන්, ආරක්ෂක අංශ ඇතුළු අයවලූන් අවදානමක් සහිත කොටස සේ සැලකේ. වයස්ගත ජනගහනය සහ බරපතල අනෙක් රෝගයකින් පීඩා විදින පිරිස අනාරක්ෂිතයන්ය. තෝරාගත් අය සදහා පළමුවෙන් එන්නත ලබා දිය යුතු බව ප‍්‍රකාශ වී ඇත. ඇමරිකාව, චීනය, බි‍්‍රතාන්‍ය, කියුබාව, සිංගප්පූරුව හා රුසියාව ඇතුළු රටවල එන්නත් සාර්ථක වි ඇත. විශ්වාසය සම්බන්ධ ගැටළු නිරාකරණයට ජන නායකයෝ ඉදිරිපත් වී සිටිති. රැසියාවේ ජනාධිපතිවරයා සහ පවුලේ අය එරට එන්නත ලබාගත් බව ප‍්‍රචාරය විය. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු එන්නත පළමුවෙන් ලබාගෙන විශ්වාසයක් ඇති කරන බව ප‍්‍රකාශ වී තිබේ. එවැනි පියවර අගය කළ යුතුය.

එන්නත පළමුවෙන් ඇනවුම් කරන තරගයක් ඇති බව පෙනේ. ධනවත් රටවල් බිලියන ගණනින් එන්නත් වාර මිල දී ගැනීමට සූදානම්ය. දිළිදු රටවල් අසරණව බලා සිටිති. දියුණු හා නොදියුණු රටවල්වල ධනය ඇති ජන කොටස පුද්ගලික රෝහල් වලට මුදල් ගෙවා එන්නත සහ විශේෂිත ප‍්‍රතිකාර පහසුව ලබා ඇත. වැඩිම අවදානමක් ඇති කිසිවක් කරකියාගත නොහැකි ජනී ජනයා භීතියෙන් සිටිය දී ‘‘ධනියගෝපාල සමාජයක් ’’ නිර්මාණවීම ෙවිදනාවකි. වසරප‍්‍රසාද සහිත සමාජයක නරක ලක්ෂණ වැඩිදියුණු වන බව දැක්විය හැකිය.

අවදානම උස් පහත්වන පමණක් නොව දෙවැනි රැල්ලක ව්‍යාප්තියක් දක්වන ශ‍්‍රී ලංකාව සිටින තැන ගැන අවධානය යොමු කළ යුතුය. වයිරසය ආසාදිත ප‍්‍රමාණය වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. සුවය ලබන පිරිස ද සැලකිය යුතුය. ජීවිතක්ෂයට පත්වන පිරිස, අනෙක් රටවල වාර්තා සසදනවිට අඩු බව නිරීක්ෂණය කළ හැකිය. එහෙත් ශ‍්‍රී ලංකාවේ ජනගහනය වයස්ගත වෙමින් තිබේ. රෝග වලක්වා ගැනීමේ ශඛ්‍යතාව දියුණු නමුත්, එකවර විශාල රෝගීන් ප‍්‍රමාණයකට ප‍්‍රතිකාර කිරීමේ ධාරිතාවයක් නැත. පරෙස්සමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන අතර නිනි උපදෙස් අනුගමනය කිරීම ඉතාම වැදගත් බව මෙහි දී පෙන්වා දිය යුතුය.

වයිරසය සදහා ප‍්‍රතිකාර ගැන විවිධ අදහස් තිබේ. පෙරුම්කායම්, කොත්තමල්ලි වල සිට දේශීය අත්හදා බැලීම් අයහපත් නැත. යම් ප‍්‍රතිශක්තිකරණයක් විය හැකි අතර චිත්ත ධෛර්යය ඇති කරන බව නිසැකය. වෛද්‍ය විද්‍යාව දියුණු සහ තාක්ෂණික භාවිතාවක් සහිත සමාජයක තිබිය යුතු සූදානම මෙහි දී වැදගත්ය. ගතානුගතික ආකල්පවලින් ගැලවී ප‍්‍රායෝගික විය යුතුය. දියුණු වෙමින් පවතින රටක් වශයෙන් ජන සමාජය සුරක්ෂිත කරනු සදහා ගත හැකි පියවර වෙනුවෙන් ප‍්‍රමාද විය යුතු නැත. කොවිඞ්-19 එන්නත ගැන අවධානය යොමු කිරීම සෞඛ්‍ය විශේෂඥයන්ගේ වගකීමකි. යුතු පියවර ගැන රජයට නිර්දේශ ඉදිරිපත් කළ යුතුය. මිල දී ගැනීම හෝ සමාජයේ තෝරාගත් කොටස් වලට ලබාදෙන ක‍්‍රමවේද සකස් කිරීමට යහුසුළු විය යුතුය. සමහර වර්ග අධිශීත තත්ත්ව යටතේ ගෙන්විය යුතු අතර තවත් වර්ග විශේෂ උපදෙස් සහිතය. මේවා සොයා බලා රටට ගැලපෙන එන්නත සූදානම්කිරීම සුදුසුය.

ඉන්දියාව සැලැස්මකට අනුව ගමන් කරමින් සිටී. බංගලා දේශය එන්නත් මිලියන ගණනක් දැනටමත් ඇනවුම්කර තිබේ. පී.සී.ආර්. පරීක්ෂණ හා ප‍්‍රතිදේහජනක පරීක්ෂණ ගැන පසුගිය කාලයේ මෙරට තිබුණ ආන්දෝලනය අමතක නැත. දේශපාලනඥයන් පමණක් නොව විශේෂ වෛද්‍ය කණ්ඩායම් පවා පිල් බෙදුණි. වාද කළේය. එවැනි අවාසනාවන්ත තත්ත්ව තුරන් කර ජිවිත බේරා ගැනීම සදහා අධිෂ්ඨානශීලීව පියවර ගත යුතු තීරණාත්මක මොහොත උදා වී තිබේ. 

දියර කිරි නිෂ්පාදනයට කටින් බතල සිටුවීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

දියර කිරි නිෂ්පාදනය නංවන පියවර සම්බන්ධයෙන් බතල කොළ කටින් හිටවන හපන්කම අපට තිබේ. කිරි පිටි මිල වැඩිවන විට ජන ඝෝෂාව ඇවිලෙයි. පිටරටින් ගෙන්වන්නට යන වියදම පාලනය කරගත නොහැකි වූ විට පාලකයෝ නොයෙක් අර්ථකථන දක්වති. දුර දිග බලන සැලැස්මකට අනුව, වැඩ පිලිවෙලක් තිබුණි නම් අද වන විට කිරි ආහාර වලින් ශ්‍රී ලංකාව පොහොසත්ය. පාන්දර අවදි වී තේ හදන්නට ලිප ගිනි ඇවිලවීමෙන් පසු, වේලකට සෑහෙන කුඩා පිටි පැකැට් එකක් ගන්නට වෙළද සැලට යන තරමට ප්‍රශ්නය ව්‍යාකූල වී තිබේ. දශක හත අටකට කලින් ඇති තරම් කිරි ආහාර තිබුණ රටක් අවසානයේ දී පත් ව ඇති තැන ශෝක ජනකය.

ආණ්ඩු ගණනාවක් කිරි වලින් රට පොහොසත් කරන උත්සාහ ගෙන තිබේ. පුද්ගලික අංශයේ ව්‍යවසායකයෝ ද ප්‍රයත්නයක නොයෙදුනා නොවේ. දේශීය ආයෝජකයන් සමග එකතු වූ විදේශීය සමාගම් මගින් ද වෑයම් කර ඇත. කිරි පිටි ගෙන්වන්නට බිලියන ගණන් මුදල් වැය කෙරේ. ලබන වසර සදහා අය වැය ද දේශීය කිරි ගොවියා ශක්තිමත් කරන යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඉතාම වැදගත් පියවරකි. දෙනුන් සැපයීමෙන් හෝ අතට දෙන අඩු පොලී ණය මුදලකින් පමණක් කාරිය කෙරෙන්නේ නැත. ගව සම්පත දියුණු කරන ප්‍රායෝගික සැලැස්ම මෙරට ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති වලට අනුව ගලපා ගැනීමට හැකියාවක් තිබිය යුතුය.

පොහොර හා කිරි අවශ්‍යතාවයට එල ගවයන් ඇති කළ එකල කුඹුරු අස්වද්දන්නට මහත් ප්‍රයෝජනයක් ගත්තේ මී ගවයන්ගෙන්ය. මී කිරි නිෂ්පාදන කළේ ද මී දෙනුන්ගේ කිරිවලින්ය. භාණ්ඩ ප්‍රවාහනයට ද, ගමන් බිමන් වලට ද කරත්තවල බදින ලද පුහුණුකරන ලද එල ගවයෝ යොදා ගත්හ. හණ තැබීම, ලාඩං ගැසීම, ගෙජ්ජි බැදීම පමණක් නොව ගැල් බැදගෙන කරන බඩු ප්‍රවාහනය ද මෙරට ජන සංස්කෘතියේ වැදගත් කොටසක් විය. කුඹුරට මැසිම යොදවා අස්වද්දන අතර භාණ්ඩ ප්‍රවාහනයට මෝටර් රථය එකතු  වී තිබේ. ගමන් බිමන් වෙනුවෙන් කරත්තයක් දකින්නට නැත. ගවයන් ඇති කිරීමෙන් ලබන අතුරු වාසි ගිලිහෙන සමාජයකින් කිරි දොවා ගැනීමට පමණක් ආදායමක් ඉපැයිය නොහැකිය. වානිජ වශයෙන් කිරි නිෂ්පාදනය කරන රටවල එයට සමාන්තරව මස් නිෂ්පාදනය ද කරගෙන යන බව සදහන් කළ යුතුය. පස් පවු වලින් වැලකී සිටින බෞද්ධ ජනතාව බහුලව ජීවත්වන රටක කිරි පමණක් ලබාගෙන මස් නිෂ්පාදනය අත්හැර ගවපාලනයෙහි යෙදීම පහසු නැත. ගව ඝාතනය නීතියෙන් තහනම් කරන නීති පනවන ලද කාලවකවානුවක් බව ද මතක් කර දිය යුතුය. කිරි නිපදවීමට ගවයන් ඇතිකරන ගොවියෙකු අවසානයේ දී මුහුණ දෙන ප්‍රශ්න අතර වියපත් ගවයන් නඩත්තුව ද අතිරේක බරක් විය හැකිය.  

ඉන්දියාවේ ශ්වේත විප්ලවය කලාපයේ කටයුතු සම්බන්ධව ආදර්ශයකි. එරට ජාතික කිරි දිනයක් තිබේ. ආචාර්ය වාර්ගේෂ් කුරීන් ඉන්දියාවේ ක්ෂීර විප්ලවයේ පියා සේ සලකන අතර ඔහු සිහිකරමින් කිරි දිනය වාර්ෂිකව පවත්වයි. ලෝකයේ විශාලතම කිරි ගොවි පොල සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹෙන්නේ කුඩා ගොවියන්ගෙන්ය. එපමණක් නොවේ අද ලෝකයේ විශාලතම කිරි නිෂ්පාදනය කරන තැනට ඉන්දියාව කැදවන පියවරක් විය. කිරි සමිති පිහිටුවන ලද අතර පසුව එය කිරි ගොවි සමූපකාරයක් බවට හැරවීය. දිනපතා එකතු කරන දියර කිරි කම්හල්වලට යැවෙන පියවර අවසානයේ රට පුරා බෙදා හැරෙති. කිරි පානය කිරීම සෑම ඉන්දියානුවෙකුගේ ම දෛනික ආහාරයේ වියදම අඩු සහ ඉතාම වැදගත් පෝෂණීය කොටසක් වී තිබේ. මිලියන සංඛ්‍යාත පිරිසක් කිරි නිෂ්පාදනය ආශ්‍රිත වෘත්තීන් හි නිරතය. අපනයනය හෙයින් එරට විදේශ ආදායමෙන් කොටසක් බව ද සදහන් කළ යුතුය.

සත්ව පාලනයෙහි නිරත පිරිස තෝරා ඔවුන් කිරි ගවයන් ඇති කිරීමට නැඹුරු කළ හැකිය. රටට අවශ්‍ය තරම සලකා බලා දියර කිරි නිපදවන්නට බැරිකමක් නැත. පර්යේෂකයන් ඉදිරිපත් කරන කරුණු වලට මතධාරීන් එකතු විය යුතුය. අවශ්‍ය පහසුකම් සලසන තීරණ ඉතා වැදගත්ය. ඉඩම් හා තෘණ භූමි සම්බන්ධ ගැටළු පවතී. මුලින් සදහන් කළ කරුණු අතරට ඒවා ද එකතු විය යුතුය. කිරි ගොවියන්ට ඉඩම් නැත. ආයෝජනයට ඉදිරිපත් වන පිරිසට ද එය ප්‍රශ්නයකි. අවශ්‍ය ඉඩම් පවරන  තීරණ ගැනීම අවශ්‍යය. කුඩා ව්‍යවසායකයන් පමණක් නොව ඔවුන් සම්බන්ධ කෙරෙන මහා පරිමාන ගොවිපොල ක්‍රමයක් ද අවශ්‍ය වනු ඇත