ජනමතය කොතැනටද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/06/29 – ලංකාදීප

පසුගිය සතියේ බි‍්‍රතාන්‍ය ජනමත විචාරණයේ ප‍්‍රතිඵල ජාත්‍යන්තර ප‍්‍රජාව විමතියට පත් කර තිබේ. එරට පුරවැසියන් අතුරින් යම් කොටසක් තුළ යුරෝපා සංගමයයෙන් ඉවත්වන තද අවශ්‍යතාවයක් තිබුණි. නමුත් ජනමත විචාරණ ප‍්‍රතිඵලය එය තහවුරු කරන එකක් විය හැකි යැයි මතුපිටින් පෙණුනේ නැත.  එරට ප‍්‍රධාන දේශපාලන පක්ෂ එනම් කන්සවටිව්, ලිබරල් සහ ලේබර් යුරෝපා සංගම් සාමාජිකත්වය අත් හරින තීන්දුවක සිටියේ නැත. එම දේශපාලන පක්ෂ ප‍්‍රතිපත්ති වශයෙන් යුරෝපා හවුලේ සාමාජිකත්වය පිළිගැනීමට සූදානමින් සිටියේය. නමුත් එම පක්ෂවල යම් කොටසක් එයින් වෙන්වීම වෙනුවෙන් පෙනී සිටියේය. ඒවායේ මතධාරීන් සහ තවත් කුඩා පක්ෂයක අදහස් ප‍්‍රබල තීරණයක් වශයෙන් ඉදිරියට පැමිණ තිබේ.

නායකත්ව දර්ශනය සහ ජනතා අදහස් අතර පරතරය පෙන්වන අවස්ථාවක් වශයෙන් මෙම ජනමත විචාරණයේ ප‍්‍රතිඵලය අර්ථ දැක්විය හැකිය. බි‍්‍රතාන්‍ය පුරවැසියන්ගේ බහුතරය හිතන්නේ කෙසේ ද යන්න එරට ප‍්‍රධාන දේශපාලන නායකයන් වටහා ගෙන සිටියේ නැත. එය පංති බෙදීමක් විය. යුරෝපා සංධානයේ සාමාජිකයන් වශයෙන් සාමාන්‍ය ජනතාවට ලැබෙන වාසියක් නැති බව පහල පංතියේ තීරණයයි. සමාජයේ ඉහළ ස්ථරය යුරෝපා රටවල් අතර කරන ගමන් බිමන්, එහි ආර්ථික වාසි සහ සමාජ ප‍්‍රතිලාභ ලබන නමුත් තමන් බදු ගෙවන්නන් පමණක් බව එරට සාමාන්‍ය ජනතාව තුළ තහවුරු වූ අදහසයි. යුරෝපා සංගමය හෙයින් බි‍්‍රතාන්‍යයට වාසියක් අත් වූ නමුත් එය තමන්ට ලැබුණ ප‍්‍රයෝජනයක් සේ සාමාන්‍ය පැලැන්තිය අවධානය යොමු  කළේ නැත.

යුරෝපා සංධානය රටවල් විසි අටක එකතුවකි. භාෂා විසි හතරක් කතා කරන රටවල් වල කලාපයක් නිර්මාණය වන්නේ දශක හතරක පමණ සාකච්ඡා, තීන්දු සහ තීරණ වල ප‍්‍රතිඵලයක් වශයෙනි. 1991 අවුරුද්දේ දී මෙම රටවල් තනි කලාපයක් වශයෙන් පොදු තීරණයකට එන විට ඉන්දියාව හා චීනය හැරුණවිට ලෝකයේ වඩා විශාලතම මිලදී ගැනීමේ හැකියාව සහිත වෙළඳපොල බවට පත්වන්නේ යුරෝ කලාපයයි. එහි ජනගහනය පමණක් නොව එම කලාපයේ රටවල වැසියන්ගේ තත්ත්වය අනුව ලෝක අවධානයට ලක්වන්නේ එහි ප‍්‍රජාවයි. තනි රටවල් වශයෙන් නොව සියලූ රටවල සහභාගීත්වයෙන් පොදු තීරණ ගන්නා විට එය බලවත් කලාපයක් බව ජාත්‍යන්තර ප‍්‍රජාව තේරුම් ගනී. බලවත් තැනක සිට ආපසු තනි රටක ආකෘතියක් වෙනුවෙන් තීරණ ගැනීම ගැන විමතියෙන් බලන්නේ එහෙයින්ය.

ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ හිතන්නේ ලොකුවටය. එම පක්ෂ වල දේශපාලන නායකයන්ගේ දර්ශනය විශාලය. ඔවුන් හිතන, ඔවුන් සැලසුම් කරන අන්දම සාමාන්‍ය ජනතාව තේරුම් ගන්නවා ඇතැයි සිතන නමුත් එය එසේ නොවේ. සාමාන්‍ය ජනතාවට දැනෙන එදිනෙදා ප‍්‍රශ්න දේශපාලන නායකයන් සිතන තරම් පුලූල් ඒවා නොවේ. ඉහළ පැලැන්තිය යුරෝපා හවුල වැඩ සටහන යටතේ රටින් රට යමින් සාකච්ඡා පවත්වන නමුත් අපට ලැබෙන්නේ මොනවාදැයි ඔවුහු සිතති. ජනමත විචාරණයේ දී අනපේක්ෂිත සියුම් ප‍්‍රතිඵලයක් ලැබෙන්නේ එහෙයින්ය.

පාලකයන් සහ පාලිතයන් අතර පරතරය ගැන අවධානය යොමු කරන්නට මෙම සිද්ධිය එක් අවස්ථාවකි.ජනතා නියෝජිතයන් පොදු ජනතාවගෙන් දුරස්ථ විය යුතු නැත. දේශපාලන පක්ෂ සාමාන්‍ය ජනතාවට හැගෙන්නේ දැනෙන්නේ කෙසේදැයි තේරුම් ගැනීම වැදගත්ය. ලෝක නායකයන් වශයෙන් ජාත්‍යන්තරයේ පැවැත්ම ඉලක්ක කරගෙන දැවැන්ත අභියෝග වලට ගමන් කරන විට සාමාන්‍ය ජනතාවට ඒවා එදිනෙදා ගැටලූ වලට වඩා වෙනස් බරපතල කාරණා නොවේ. පොදු ජනතාව බලන්නේ තමන්ගේ ජීවිත පවතින තැනින් ඉහළට ඔසවන්නට ඒවා බලපාන්නේ ද යන්න ගැනය. යතාර්ථය තේරුම්කර දී මහජනතාව දිනා ගන්නට අවශ්‍යය. තමන්ගේ දර්ශනය තේරුම් කර දී සාමාන්‍ය ජනතාව සමග එකතුවී අභියෝග ජයගැනීම නායකත්වයක ලක්ෂණයකි. ඉගෙනගත හැකි පාඩම එයයි.

 

 

 

Advertisements

හොඳම පාසල ලැබුණාද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/06/22 – ලංකාදීප

බි‍්‍රතාන්‍ය පාසල් අධ්‍යාපනය අලලා කරන ලද සමීක්ෂණයක ප‍්‍රතිඵල නිකුත්ව තිබේ. මෙම සමීක්ෂණය පවත්වන්නේ බලාපොරොත්තු වූ පාසලට දරුවන් ඇතුලත් කිරීමට ලැබුණේ ද යන්න ගැනය. එහි ප‍්‍රතිඵල අනුව බි‍්‍රතාන්‍ය වැසියන්ගෙන් සියයට අසූ හතරක ප‍්‍රතිශතයක් තමන් බලාපොරොත්තුවෙන් සිටි පාසලට තම දරුවා ඇතුලත් කරන්නට ලැබුණ බව ප‍්‍රකාශ කර තිබේ. දෙමව්පියන් ගේ උපරිම උත්සාහය තම දරුවා තමන්ට වඩා ඉහළින් තබන්නටය. හොඳ පාසලක් තෝරා ගන්නට උත්සාහ කරන්නේ එහි එක් පියවරක් වශයෙනි.

මෙම සමීක්ෂණය ශ‍්‍රී ලංකාවේ පැවැත්වූවා නම් ලැබෙන ප‍්‍රතිඵලය කුමක් විය හැකිද? මෙයට හාත්පසින්ම වෙනස් එකක් බව නිසැකය. අලූතින් පළමු වසරට පාසලට ඇතුලත් වෙන දරුවන් සඳහා අයැදුම් පත් යොමු කරන කාලය උදා වී තිබේ. දෙමව්පියන් අයැදුම් පත් සකස් කරගෙන ඒවා නීත්‍යාත්‍යානුකූලව යොමු කරමින් සිටින අතර බහුතරයක් කරන්නේ කෙසේ හෝ හොඳ පාසලකට දරුවා යොමු කරන්නට හැකි ඕනෑම පියවරකට මහන්සිවීමයි. නමුත් අවසානයේ දෙමව්පියන් අතෘප්තිමත්ය. පාසලට දරුවා ඇතුලත් කරන ලේඛනයේ ඇතුලත් කරන ලද පාසට වඩා සහ මුලින්ම වෙනස් අපේක්ෂා නොකළ පාසලකට දරුවා ඇතුලත් කර සතුටු වෙන්නට මෙරට පුරවැසියන්ට සිදුවී තිබේ. එය බලවත් පීඩනයක් වෙන විට උද්ඝොෂණ ඇති වෙයි. විරෝධතා පමණක් නොව බලධාරීන්ට තර්ජන එල්ල කරන අවස්ථා ද ඇත.

අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් නමුත් කොතැනක හෝ පාසලකට දරුවා යොමුකර එය සාක්ෂාත් වූ බව සඳහන් කිරීම යුක්ති සහගත දැයි ප‍්‍රශ්න කරන්නට කාලය උදා වී තිබේ.

ප‍්‍රතිපත්ති සම්පාදකයන් ගේ අදහස පදිංචි බල ප‍්‍රදේශය තුළ පාසලකට දරුවන් ඇතුල් කරන්නට දෙමාපියන් පෙළැඹවීඹයි. නමුත් සියලූම දෙමව්පියන්ගේ කැමැත්ත තමන්ගේ දරුවන් ජාතික පාසලකට ඇතුලත් කිරීමය. අධ්‍යාපනයට වඩා යමක් උපයා ගැනීමට එයින් පසුබිම හැදෙන බව ඔවුන් ගේ අපේක්ෂාවයි. කුඩා දරුවන්ට මෙම උවමනාව ගැන තද හැඟීමක් නැත.දෙමව්පියන්ගේ ජාතික පාසල් උවමනාව රට තුළ වෙනම සංස්කෘතියක් නිර්මාණය කර තිබේ. දේශපාලනඥයන්, අතරමැදියන් සම්බන්ධ වන ධනය හා බලය හුවමාරු වෙන බලවත් ව්‍යායාමයකි. විදුහල්පතිවරු, ගුරුවරු පමණක් නොව ආදි ශිෂ්‍ය සංගම් ද බලය ඇති ප‍්‍රභව බවට පත්ව ඇත.

දරුවන් ඇතුලත් වන පාසල සම්බන්ධ ගැටලූවට දෙමව්පියන් එකඟවන උත්තරයක් හදන්නේ කෙසේද? එය පහසු නැත. නමුත් විසඳුමක් සොයා ගත යුතු ගැටලූවකි. එම විසඳුම තුළ මෙරට පෙරවරුවේ සහ පස්වරුවේ අධික වාහන තදබදය විසඳිය හැකිය. දරුවන්ගේ පෝෂණ මට්ටම ගැන විසඳුමක් තිබේ. අධ්‍යාපනයේ පවතින උග‍්‍ර තරඟය වෙනස් කර දරුවා තේරුම් ගෙන හැකියාව අනුව ඉගෙනුමට ඉට දෙන ව්‍යුහයක් සකස් කරන්නට හැකියාව ඇත.

පාසල් වල පවතින ව්‍යුහය වෙනස් කරන්නට පමණක් නොව ඒවායේ සම්පත් ගැන වෙනස් ආකරයකට ක‍්‍රියා කරන්නට අවශ්‍ය අතර ඉතාමත් වැදගත් වෙන්නේ සමාන අවස්ථා අපයා ගත හැකි පසුබිමක් පාසල් අධ්‍යාපනයේ සිට තහවුරු කිරීමය. ජාතික පාසලට යන දරුවාට වඩා සැලකිලි ලැබෙන බවට සමාජ විශ්වාසයක් පවතින තාක්කල් එය කරන්නට නොහැකිය.

මෙරට අධ්‍යාපනය සම්බන්ධ අතෘප්තිය සහ තරඟකාරීත්වය සම්බන්ධයෙන් පරම්පාරා ගණනක් වන්දි ගෙවා තිබේ. නිවැරදි කරන්නට නම් දෙමාපියන් සහ ප‍්‍රතිපත්ති සම්පාදකයන් අතර දීර්ඝ සංවාදයකට මග පාදා ගැනීම සුදුසුය. බලාපොරොත්තු වූ පාසලට දරුවන් ඇතුලත් කිරීමට ලැබුණේ ද යන්න ගැන සමීක්ෂණයකින් විමසා බලා අපේ්ක්ෂා කරන විසඳුම ප‍්‍රජාව තුළින් හඳුනා ගැනීමට උත්සාහ කිරීම වැඩදායකය.

 

 

 

 

වාහන භාවිතය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/06/15 – ලංකාදීප

එක්තරා කාලයක ඇමරිකානු කලූ ජාතිකයන් එරට අවධානයට ලක් නොවන තැන්වල ජීවත්වූහ. කුඩා නිවාස වල අඩු පහසුකම් යටතේ විසූ ඔවුන්ගෙන් සමහරක් දෙනා එරටට ආවේනික දැවැන්ත කැඩිලැක් කාර් පාවිච්චි කළහ. තමන් සතු සියලූම මුදල් වියදම් කර, ණයට ගන්නා අලූත්ම පන්නයේ වාහනයක් නිවස ඉදිරිපිට නතර කර තැබීම සමාජ සංකේතයක් විය. කොපමණ අමාරු පැවැත්මක සිටින නමුත් කැඩිලැක් වාහනයක අයිතිකරුවෙකු යැයි පෙන්වන්නට තැත් දරන්නේය. කාලයාගේ ඇවෑමෙන් මෙවැනි සංකල්ප වෙනස් වෙමින් තිබේ. ඉන්දියාවේ සිටින මෙක්සිකෝ තානාපතිනිය නව දිල්ලියේ එදිනෙදා කටයුතු වලට තී‍්‍රවිලර් නිල වාහනයක් තෝරාගෙන තිබේ.

වාහන ගැන ඇති සමාජ වටිනාකම් වෙනස්වීම අප රටට ද අදාලය. අද වන විට මෙරට සමාජ තත්ත්වය නරකය. ස්වභාවික විපත් බහුලය

. රට තුළ පලාත් හයක ව්‍යසන තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබේ. නමුත් සංවාදය රථ වාහන ගැනය. එවැනි ව්‍යුහයක් ඇති කරන්නේ මන්ද යන කාරණය ද, විමර්ෂණය කළ යුතුය. කොපමණ ගැටලූ සහ විපත් මැදි ජීවත්වන නමුත් සමාජයේ ඉහළ පැලැන්තිය පමණක් නොව බහුතරයකගේ මාතෘකාව මැති ඇමැතිවරුන්ගේ නිල වාහන සම්බන්ධවය. නොඑසේනම් වාහනයක් මිලදී ගැනීමට බාධා වන පරිදි බදු වැඩි කිරීමය.

ධනය ඇති සමාජයට තමන්ගේ මුදල් වලින් වාහනයක් මිල දී ගැනීම ප‍්‍රශ්නයක් නැත. නමුත් බලය හිමි පැලැන්තිය මහජන මුදලින් නඩත්තුවන වාහනයක් ගැන අවධානය යොමු කරන විට සමාජ වගකීම ගැන එකඟතාවයක සිටීම යහපත්ය. රට වැසියන් තම ප‍්‍රයෝජනය වෙනුවෙන් වාහනයක් මිල දී ගන්නා විට එය ඔවුන් උපයන ධනයෙන් කරන වියදමකි. කුඩා වාහනයකට පවා ලෝකයේ වෙනත් රටක සුඛෝපභෝගී වාහනයක මට්ටමට බදු ගෙවන්නට සිදුවී තිබේ. මහජන නියෝජිතයන් වියදම් කරන්නේ රාජ්‍ය ආදායමෙන්ය. රටේ ආදායමට එකතුවන මහජනතාවගේ බදු වියදම් කරන විට එය රටට බරක් බව දැනේනනට අවශ්‍යය. මහජනතාව මහජන නියෝජිතයෝ පත් කර ගනිති. ජනතාව බලය පවරන්නේ රට දැය නංවන්නටය. සාර්ථක ලෙස රට ඉදිරියට ගෙන යන ජන නායකයන් මහජන අභිවෘද්ධිය ඇති කරන ලද නායකයන් සේ සලකා ඉතිහාස ගතවන අතර නිදහසින් පසු බලයේ සිටි මැති ඇමැතිවරුන් අතරින් මහජන ගෞරවාදරයට ලක්වූ පිරිස අතලොස්සකි. ඔවුන්ගේ පැවැත්ම ජන හදවත් වල නොමැකෙන ලෙස සනිටුහන්ව තිබේ. එයට හේතුව ඔවුන් ගමන් කරන ලද නිල වාහනය නොව ඉටුකරන ලද සේවය බව සිහිපත් කිරීම වටී.

අද වන විට සමාජ ආර්ථික පැවැත්ම විහිදී ඇති ආකාරය අනුව වටිනාකම් වෙනස් වී තිබේ. නූතන තාක්ෂණික ස්වභාවය තුළ වාහනය තත්ත්වය සංකේතවත් කරන එකක් නොවේ. එය හුදෙක් පරිභෝජනය කරන මෙවලමකි. වාහනයක හිමිකාරීත්වය වැදගත් නැත. අයිතිය වෙනුවට පරිහරණය ප‍්‍රමුඛ තැනෙකට පැමිණ තිබේ. වාහනයක වර්ගය, එහි මිල හෝ සුඛෝපභෝගීත්වය වෙනුවට කාර්ය ස්වභාවයට තැනක් ලැබී ඇත.

තාක්ෂණය ජන ජීවිතය පහසු කරන ආකාරය අනුව වාහනයක් මිල දී ගෙන එය නඩත්තු කිරීම ප‍්‍රයෝජනයක් නැත. ගමනක් යන්නට උවමනා වූ විට ගැලපෙන වාහනයක් අන්තර් ජාලයෙන් වෙන් කරගැනීමට හැකියාව තිබේ. තමන්ගේ ගමන යන වාහනය කාහට අයත්, කොතැනක සිට තමන්ගේ නිවස ඉදිරිපිට නතර කරන්නේ ද යන්න නොවැදගත් වන පමණක් නොව නුදුරු අනාගතය තුළ එය රියැදුරෙකු රහිතව ස්වයංකී‍්‍රයව මෙහෙයැවෙන ලකුණු පෙන්වන පසුබිම තුළ රට තුළ පැන නැගී ඇති රථ වාහන සම්බන්ධ සංවාදය අනවශ්‍ය එකකි.

ප‍්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමේ දී අනාගතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැන විනා තමන් භාවිතා කරන රථය අනුව අති විශාල වටිනාකමක් තමන්ට ලැබෙන්නේ යැයි අනුමාන කිරීම අද කාලයේ භාවිතාව නොවේ.

 

 

 

උපාධිධාරීන්ට රැකියා කෝ

එක් ප්‍රතිචාරයක්

milinda-prashna

2016/06/08 – ලංකාදීප

මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ මීළඟ උපාධි ප‍්‍රදානෝත්සවය අවසන් වන විට මතු විය හැකි ස්වභාවය සම්බන්ධව ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු විය යුතුව තිබේ. මෑත වසර දෙක තුළ උපාධිධාරී තරුණන් හතලිස් පන්දහසක් විශ්ව විද්‍යාල මගින් බිහිකර ඇත. මෙම පිරිස අතරින් වැඩි දෙනෙකු රැකියා විරහිත  පුද්ගලයන් වශයෙන් සමාජයට එකතු වී සිටී. මෙම පිරිසට වෘත්තීය අවස්ථා සම්පාදනය කරන්නේ කෙසේද?

පවතින තරඟකාරී අධ්‍යාපන රටාව තුළ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන්නේ සීමිත පිරිසකි. උපාධිය හිමිවන විට රටට ලැබිය යුතු දැනුමෙන් පොහොසත් අලූත් ආකාරයකට හිතන්නට හැකි දක්ෂ මානව සම්පතකි.නිදහස් අධ්‍යාපන ක‍්‍රමය බිහිකරන උපාධිධරයන් පුද්ගලික අංශයට නොගැලපෙන පිරිසක් බව ප‍්‍රකාශ වෙයි. විදේශීය අධ්‍යාපනය හෝ පුද්ගලික අංශයේ ඉගෙනගත් දරුවන්ට තැන ලැබෙන ආකාරයට පුද්ගලික අංශය තුළ රැකියා නිර්මාණය වන බව පෙනේ. මෙරට විශ්ව විද්‍යාල වල දැනුම තරගකාරී ආර්ථිකයකට නොගැලපෙන තත්ත්වයට පත්ව ඇති අතර නූතන අභියෝග සමග සමාජයට ප‍්‍රවේශවන දරුවන්ගේ බලාපොරොත්තු ඉටු කරන්නේ කෙසේද? යන ගැටලූව මෙහි දී මතුවෙයි.

විශ්ව විද්‍යාලයෙන් පිටවන උපාධිධරයන් අතරින් සැලකිය යුතු කොටසක් රැකියාවක් නැති පිරිසක් බවට පත්වන විට අධ්‍යාපන ක‍්‍රමය තුළ ගැටලූවක් ඇති බව දැනේ.  උපාධියෙන් පසු රැකියාවක් සොයා ගැනීම අපහසු තැනට වැඩිපුරම පත්වන්නේ කලා උපාධිය හදාරා අවසන් කළ දරුවන් බව නිරීක්ෂණය කළ හැකිය. ඉංජිනේරු සහ වානිජ කළමණාකරණ සිසුන් යම් ආකාරයකින් ගලපා ගනී. මෙයට පසුබිම කුමක්ද? ජාත්‍යන්තර අධ්‍යාපන ක‍්‍රම දෙස බලන විට මෙරට අධ්‍යාපනයේ ක‍්‍රමය වෙනස්ය. පාඩම් කරන අන්දම නූතන විද්‍යාත්මක  ආකාරයකට නොවේ. දැනුම මනින්නේ කටපාඩම් කරන්නට දක්ෂ ආකාරය අනුව බව පෙනේ. අන්තර් ජාලය වැනි පැති වලින් තොරතුරු සොයා දැනුම වැඩි කරගන්නට විශ්ව විද්‍යාල දරුවන් සූදුනම් නැත. එහෙයින් පවතින ක‍්‍රමය තුළ බිහිවෙන්නේ නිර්මාණාත්මකව හිතන, විකල්ප ආකාරයේ තීරණගන්නා මානව සම්පතක් නොවේ. අනුකාරක සහ පොත පතෙහි සඳහන්  කරුණු කට පාඩම් කරගත් පිරිසකි. මෙම තත්ත්වය වෙනස් කරන තාක්කල් උපාධිධරයන්ගේ රැකියා හිඟයට උත්තරයක් ලැබෙන්නේ නැත.

රැකියා විරහිත උපාධිධරයන්ට අවස්ථා සම්පාදනය කිරීමෙන් තොරව මතු වෙමින් පවතින ස්වභාවයට මුහුණ දිය නොහැකිය. ව්‍යවසායකත්වය බිහි කරන හෝ පුද්ගලික අංශයට සුදුසු නිර්මාණශීලී උපාධිධරයන් බිහි කරන්නට අධ්‍යාපන ක‍්‍රමය සමත් විය යුතුය. නූතන ආර්ථික සහ සමාජ භාවිතාව තුළ එය කරන්නේ කෙසේද?

විශ්ව විද්‍යාලයෙන් පිටවන උපාධිධාරීන් මෑත භාගය තුළ වරින් වර බඳවා ගත්තේ රජයේ රැකියා වලටය. අවුරුදු කිහිපයක් තුළ රජයේ සේවය කරන පිරිස දෙගුණයක් තෙක් ඉහළ යන්නේ මෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි. රජයේ රැකියා වලට බඳවා ගත හැකි සීමාවක්තිබේ. එයට විකල්ප ආකාරයකට මෙරට ජාතික ආර්ථිකයේ නිශ්පාදන හා සේවා අංශ වලට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගලපා ගන්නේ කෙසේද? මෑත භාගයේ දී රට තුළ වේගයෙන් ප‍්‍රසාරණය වෙන්නේ සංචාරක ක්ෂේත‍්‍රයයි. ඒ ගැන අවධානය යොමු කරන්න අවශ්‍යය. ඉංගී‍්‍රසි උගන්වා මැද පෙරදිග ඇතුළු රටවලට යැවීම හෝ ලෝකයේ වෙනත් රටවල පරිවර්තනයට කලින් සිදුවූ ආකාරයට ත‍්‍රීවිලර් රැකියාව උපාධිධරයන්ට ගැලපෙන තැන් නොවේ.

 

 

 

විකල්ප අදහස්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/06/01 – ලංකාදීප

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම එක්තරා මතබේධාත්මක තැනකට අවතීරණ වී තිබේ. බහුතර කැමැත්තට ඉඩ දීම එහි හරයයි. නමුත් ජාත්‍යන්තරය තුළ ක‍්‍රමය පරිවර්තනය වෙමින් පවතින ආකාරය පෙන්වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හරය හා දර්ශනය විකෘති වෙමින් පවතින බවය. අන්‍ය මතයට ඉඩදෙනු වෙනුවට තමන් ගේ දැක්මට එපිටින් ඇති සියලූම දේ යටපත් කළ යුතු අදහස් වශයෙන් දකින  බවක් පෙනේ. විකල්ප අදහස් යනු විරුද්ධවාදීන් ගේ දෝෂාරෝපණ වශයෙන් සලකන්නට පටන්ගෙන ඇත. විවිධ මත ඇති ජන සමාජ වෙනුවට බලය ඇති මතයට එරෙහි සියලූ දේ යටපත් කරන ව්‍යුහයකට ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැඹුරු වෙමින් තිබේ.

දේශපාලන නායකයන් ක‍්‍රියා කරන්නට පටන්ගෙන් ඇත්තේ ගෝත‍්‍රික ලක්ෂණ අනුව බව නිරීක්ෂණය කළ හැකිය. ජාති, ආගම්, පන්ති ඒ අතරින් කිහිපයකි. එම කඳවුරු වලට ඇතුළු වන නායකයෝ එකී කඳවුරු වලට සම්බන්ධ නැති කොටස් පෙන්වන්නේ ‘‘යක්ෂයන් ’’ හැටියටය. තද අදහස් වලින් අන්‍යයන් ගේ මත හෙලා දකින දේශපාලනඥයන් ගේ හැසිරීම පෙන්වන්නේ එයයි. මැද මාවත වෙනුවට අන්තවාදය ඇති කරන්නට හේතුවක් වී ඇත.

ඇමරිකාවේ එය සිදුවෙමින් පවතී. සාධාරණ යුක්ති සහගත දර්ශනයක් ඇති නායකයන් වෙනුවට ජන ආකර්ශනය වෙනුවෙන් අසත්‍ය කියන. අනුන් හෙලාදකින, වෛරය වපුරවන නායකත්වයකට තැන ලැබී තිබේ. යුරෝපයේ සිදුවන්නේ ද එයයි. ආසියාවේ ද එවැනි යමක් සිදුවෙමින් පවතී. ශ‍්‍රී ලංකාවේ ද දේශපාලන නායකයන් ගමන් කරමින් සිටින්නේ අන්‍ය අදහස් වලට ඉඩ නොදෙන, මතය වෙනුවට පුද්ගලිකත්වයට පහර දෙන ව්‍යුහයකටය. එය උත්තරිතර බව දක්වන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණයක් නොවේ.

මෙම ප‍්‍රවනතාවය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දුර්වලතාවයකි. මතු පිටින් පමණක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය භුක්ති විඳින හුරුවකට කොටු වීමේ අවසානය මෙයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා එය ආරක්ෂා කරන්නට ඇති නීති රීති වලට වඩා සම්ප‍්‍රදායට ගරු කරන ලක්ෂණ වත්මන් දේශපාලන නායකත්වයට නුහුරුය. මූලික රීති උල්ලංඝනය නොවෙන ලෙස මිනිස් නිදහස අගයමින් හැසිරීම තාක්ෂණික සමාජයට පුරුදු නැත.

සමාජය හදන ක‍්‍රමවේදය කුමක්ද යන්න ගැන නායකයන් අලූතින් සිතන්නට අවශ්‍යය. රට වෙනුවෙන් රටේ පැවැත්ම වෙනුවෙන් ක‍්‍රියා කළ යුතු පවතින රාමුවට අනුව නොවන බව නයකයන් තේරුම්ගත යුතුව ඇත. තනි පුද්ගලයෙකුට උවමනා ආකාරයට ලෝකය හැදුනා නමු එහි ස්වභාවය මේ අන්දමේ එකක් නොවන්නට ඉඩ තිබිණ. විකල්ප මතයකට ඉඩ නොදෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉතාමත් වේගයෙන් ලං වෙමින් සිටන්නේ ඒකාධිපතිවාදී පැවැත්මකට බව පැහැදිලිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත නිසි මගට ගන්නට සමත් සමාජ පවතින ස්වභාවය විමර්ෂණාත්මකව සලකා බලමින් සිටී. නමුත් එවැනි තුලනාත්මක විවේචනයකට යා නොහැකි සමාජ උත්තර සොයන්නේ ලේ ගංගා වලින්ය. එක පරම්පරාවක් උත්තරය වෙනුවෙන් බිලි දෙමින්ය. අප රටේ ඉතිහාසය දෙස ආපසු හැරී බල න විට නිදහසින් පසු කාලය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය තුළ ඇති වූ කැරළි පෙන්නුම් කරන්නේ එයයි. කැරළි මැඩ පවත්වන විට විකල්ප අදහස් ඇති හොඳම මානව සම්පත රටට අහිමි වී තිබේ. ඉදිරියට ගමන් කරන පියවර ගණනක් පාසා රට ගමන් කර ඇත්තේ පෙරට නොවේ.

සැනසිලි සමාජයක් වෙනුවෙන් අද පරම්පරාවේ නායකයන්ට බලවත් සහ දුෂ්කර කැපවීමක් කරන්නට සිදුව තිබේ. ගමන් කරමින් සිටින අන්තවාදී සහ තද අදහස් ඇති ව්‍යුහය මග හැර මධ්‍යස්ථ අදහස් සහිත සංවාදයකට ඇතුළු විය යුතුය. වර්තමානය දෙස ඉතිහාසයේ අත්දැකීම් වලින් සලකා බලා අනාගතය වෙනුවෙන් ගන්නා තීරණ විශිෂ්ඨ යුගයක් ඇති කරන බව නිසැකය.