ආරක්ෂාවත් පිරිමැස්මත් එකට ගෙදර සිට රාජකාරිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න


රැකියාව හා පුද්ගලික ජීවිතය සමබර කරන පිලිවෙල ගැන විවාදයක් කාලයක සිට පවතී. කොවිඩ් වසංගත තත්ත්වය සමග එය තවත් අලුත් පැති වලට යොමු වී තිබේ. ලෝකයේ ඕනෑම තැනක සිට සේවය කළ හැක. තාක්ෂණය එයට පසුබිම සකසයි. එක තැනක ස්ථිරව රාජකාරි කරන පිලිවෙල ද අවලංගු වෙමින් තිබේ. නිදහස් වෘත්තිකයන් වශයෙන් නොයෙක් ආයතන වලට, සේවා සපයන අවස්ථා නිර්මාණය වී තිබේ.
ජගත් ආර්ථික සංසදය පසුගිය කාලයේ ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකට අනුව වැඩකරන ජනතාවගෙන් තුනෙන් දෙකක් නිවසේ සිට රාජකාරි කරන්නට කැමැත්ත පළ කර තිබේ. රටවල් විසි නමයක තෝරාගත් පිරිසකගෙන් අදහස් විමසන ලද බව දැක්වෙයි. ලෝක ජනගහනයෙන් හරි අඩක් පමණ කොවිඩ් ලොක් ඩවුන් කිරීමට යටත් වී ඇත. එය දීර්ඝ කාලයක් රාජකාරි වලින් බැහැරව සිටීමට හේතුවකි. නරක ප්‍රතිඵල ඇති කරන බව දැක්වේ. ආදායම පහත වැටෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සංකෝචනයක් සිදුවෙයි. එක දිගට සේවයට සුපුරුදු පරිදි වාර්තාකරන්නට නොහැකි වන ජන කොටස් මුහුණ දෙන මානසික ව්‍යාධි ගැන ද සමාජ විද්‍යාඥයන් සහ කළමණාකරණ විශේෂඥයන් අවධානය යොමු කර ඇත.


දැනට පවතින තාක්ෂණය අනුව නිවසේ කොටසක් කාර්යාලයක් බවට හරවා එහි සේවය කරන ආකාරය දුරස්ථව අධීක්ෂණය කිරීමට හැකියාවක් තිබේ. ඇතැම් ආයතන ප්‍රධානීහු දක්වන පරිදි නිවසේ පරිසරය සමග එකට රාජකාරි කටයුතු කිරීම කාර්ය මණ්ඩලයේ ආතතිය දුරු කරන පිලිවෙලකි. එහෙත් කාර්යාල විධි විධාන සහ සාමුහිකව වැඩකිරීම යනාදිය අභියෝගයට ලක්වෙයි. ආර්ථික සංසදය කරන ලද සමීක්ෂණයෙන් අනාවරණය වන වැදගත් කරුණක් තිබේ. පසු කාලයක කාර්යාලයට කැඳවුවහොත් එයට එකඟ නැති බව පිරිසක් ස්ථිර වශයෙන්ම දක්වා තිබේ. නිවසේ සිට සේවයට හුරුවූ තුනෙන් එකක පිරිසක් එයට අයත්ය. රැකියාවේ ස්වභාවය නම්‍යශීලීවීම ගැන ඔවුහු තෘප්තිමත්ව සිටිති.


නිවසේ සිට සේවය කිරීමෙන් ඉහළ ඵලදායීතාවයක් අත් පත් කරගත හැකි වූ බව සමීක්ෂණයට භාජනය වූවෝ කියති. හරි අඩක් දෙනා සිය කාර්යාල සගයන්ගෙන් දුරස්ථවීම ගැන කනස්සල්ලකින් පසුවන නමුත් එදිනෙදා රාජකාරි අන්තර් ජාලය භාවිතාකර නොපිරිහෙලා ඉටු කළ හැකි බව දක්වා ඇත.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ ප්‍රධානීහු පවතින ව්‍යුහයට එපිටින් ඇති අවස්ථා ගැන අවධානය යොමු කළ යුතුය. නිරෝධායන ඇඳිරි නීතිය පනවන වකවානු තුළ ද නිසි පරිදි කාර්යාල කටයුතු කළ හැකිය. කාර්යාලයේ ලිපිගොනු වලට ලෝකයේ ඕනෑම තැනක සිට ප්‍රවේශවන පද්ධති තිබේ. සාකච්ඡා කර තීරණ ගැනීමට අතිශය දියුණු සන්නිවේදන ක්‍රම භාවිතා කළ හැක. වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමෙන් පසු පවා හයිබි්‍රඩ් එනම් සතියේ එක කාලසීමාවක් නිවසේ සිටින අතර තවත් කාලසීමාවක් කාර්යාලයට එන පරිදි රාජකාරි කටයුතු කරගෙන යන සැලසුම් වැදගත් බව අනාවරණය වී තිබේ.


පැය අටක රාජකාරි සඳහා කාර්යාලයට එන්නට සහ ආපසු නිවෙස බලායන්නට සෑහෙන කාලයක් ගතවෙයි. එයට වැය කරන ධනය සුළු පටුනොවේ. කාර්යාල වලින් ප්‍රවාහන පහසුකම් සපයන ආයතනවලට එය මහත් පිරිවැයකි. පොදදු ප්‍රවාහන සේවා වල පවතින තදබදය දකිනවිට නිවසේ සිට රාජකාරි කරන ක්‍රමයකට පරිවර්තනය වුවහොත් විශාල වාසියකි.මහා මාර්ගවල තද බදය අවම කරන අතර කාර්යාල ඉඩකඩ සඳහා අලුතින් ඉදි කරන ගොඩනැගිලි වෙනුවෙන් සෑහෙන ආයෝජනයක් කරන්නට සිදුවෙයි.

මෙම මුදල් තාක්ෂණය දියුණු කරන අලුත් සැලසුම්වලට යෙදවුවහොත් ක්‍රමය වෙනස් කර ගත හැකිය. අධික තදබදයක, බලවත් මානසික පීඩනයක් සහිතව සේවය කිරීමට වඩා නිදහසේ වැඩ කරන සමාජයක් ගොඩනාගතහොත් සෞඛ්‍ය පැත්තෙන් ද වාසිදායකය. වාර්තා පෙන්වන පරිදි ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය වයස් ගතවෙමින් සිටී. දියුණුව සඳහා ශ්‍රම බලකාය වැදගත් සාධකයකි. තරුණ ශ්‍රමය වෙනුවට තාක්ෂණයෙන් පොහොසත් සමාජයක් වැඩදායක වනු ඇත. වසංගත තත්තවයෙහි අවසානය කොතැන කෙලෙසෙක සිදුවනු ඇත් ද යන විශ්වාසයක් නැත. ඇතැම් අංශවල දී ශ්‍රමය ඉතාම කාර්යක්ෂමව උපයෝගී කරගත හැකි පරිදි තාක්ෂණික වටපිටාවක් නිර්මාණය වෙමින් තිබේ. මෙහි අවස්ථා හා අභියෝග ගැන වෙනම සාකච්ඡා කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයෝ අවධානය යොමු කළ යුතුය.

ඇෆ්ගනිස්ථානය දෙස අවධානය අවශ්‍ය ඇයි?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021/08/18 – ලංකාදීප

ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් පාලනයට නතු වී තිබේ. සති ගණනක් තිස්සේ පැවැති අරගලය අවසානයේ දී අශ්රෆ් ගානි ජනාධිපතිවරයා ගේ නිල නිවස වට කළහ. ඔහු නික්ම යෑම සමග තාවකාලික ජනාධිපතිවරයෙකු ගේ පාලනයකට එකග වී ඇත.

ඇෆ්ගනිස්ථානයේ ඉකුත් දශක දෙක තුළ ගෙන ගිය වැඩ පිලිවෙල එක්තරා අවසානයකට පැමිණ ඇත. බටහිරට නතු එරට පැලැන්තියක් එරට රිද්මය වෙනස් කරන්නට වැර දරන ලදී. අන්තවාදී සහ පැරණි දැඩි මතධාරී ශිෂ්‍ය කණ්ඩායමක් වන තලෙයිබාන්වරු එයට එකග වූයේ නැත. දිගින් දිගටම ගැටුම් ඇති කළේය. නගරයේ ජීවත්වන බටහිරට අනුව හිතන සමාජය සහ පිටිසරබද ජනතාවගේ තද ආකල්ප අතර නොගැලපීම මෙයට හේතු වූ බව පෙනේ. ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් මෙකී අභ්‍යන්තරය වටහා ගත්තේ නැත. තමන්ට හිතවාදී නාගරික කණ්ඩායම ගැන පමණක් අවධානය යොමු කළ අතර රට තුළ පවතින ගැඹුර අධ්‍යයනය නොකළේය.

ඉකුත් විසි වසර තුළ ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියනයක් පමණ ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් වැය කර ඇත. දස දහස් ගණනක් ඇෆ්ගන් හමුදා භටයන්ට හමුදා පුහුණුව ලබාදී තිබේ. දක්වන වාර්තා අනුව ඇමරිකානු භටයන් 2,448 ක් ඇෆගනිස්ථානයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විසි එක් දහසක පමණ පිරිසක් එහි මෙහෙයුම් වල දී තුවාල ලබා ඇත. දහස් ගණන් ඇමරිකානු භටයන් මානසික අවුල් සහිතව නිහඩවම ආපසු නික්ම ගොස් තිබේ. තවදුරටත් ඇෆ්ගනිස්ථානය වෙත අවධානය යොමු නොකරන බව ඇමරිකාව ප‍්‍රකාශ කර ඇත.

එරට වැසියන්ගේ අභිමතාර්ථ ඉක්මවා ලෝක බලවතුන් ගේ අභිලාශ සදහා පැවැති උග‍්‍ර තරගය අවසානයේ දී තලෙයිබාන්වරු අත්පත් කරගත් වාසිය මෙහි දී අධ්‍යයනය කිරීම වැදගත්ය. ලෝකයේ රටවල් ගණනාවක් විසින් කරන ලද අතපෙවීම අවසානයේ දී උග‍්‍ර මුහුණුවරක් ගත්තේය. ඇෆ්ගනිස්ථානය ලෝක බල කදවුරුවල පාපන්දුවක් බවට පත්විය. තලෙයිබාන්වරු එය නැවත තමන් වෙත අත්පත් කරගෙන ඇත. පිටින් එන කණ්ඩායම් රටක පැවැත්මට කරන බලපෑම සියුම්ය. උත්සාහය ව්‍යවර්ථවන අවස්ථාවේ දී අත්හැර දමන ස්වභාවය ගැන අවබෝධ කරගන්නට ද ඇෆ්ගන් සිද්ධිය හොද උදාහරණයකි.

තලෙයිබාන් තරුණ සටන්කාමීන් හිස ඔසවන්නේ 1990 ගණන් වල දී ය. ඉස්ලාම් සංස්කෘතික අනන්‍යතාව වෙනුවෙන් ඔවුහු පෙනී සිටියහ. එම පිරිස් එරට කාන්තාවන්ගේ අයිතීන් පාලනය කළහ. හිජාබ් ඇදුම අනිවාර්ය කළේය. ආගමික බලපෑම තද කරන ලද අතර කාන්තාවන්ට නිවසේ රැදෙන්නට බල කළ බව සදහන් කළ යුතුය. කාන්තා අධ්‍යාපනය හෝ වෘත්තීය අවස්ථා තහනම් කළේය. මේවා වෙනස්කිරීම බටහිර පාලකයන්ගේ සහ නාගරික පිරිසගේ උවමනාව වී තිබුණි.

තලෙයිබාන්වරු ඇෆිගනිස්ථානයේ බලය අත්පත් කරගැනීම සමග ජාත්‍යන්තර දේශපාලනය කැළඹී ඇත. ඇමරිකානු හිතවාදී රටවල් පැත්තකට වී තිබේ. චීනය හා රැසියාව අලූත් පාලකයන් සමග සාකච්ඡා අරඹා ඇත. ඇෆ්ගනිස්ථානයේ යටිතල පහසුකම් දියුණු කරන යෝජනා ක‍්‍රම යෝජනාකර තිබෙන බව අනාවරණය වෙන අලූත් පැත්තකි. ලෝකයේ පැවැත්ම එක හා සමාන විය යුතු ද සහ විෂමතා තුළින් වෙනස්ම හැඩතල පෙන්නුම් කළ යුතු ද යන්න කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් පවතින කරුණකි. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය ඇතුළු බටහිර කදවුර එයට බලරමින් සිටියේය. බටහිර අධිපතිවාදී මත හැසිරවීමි ලිහිල් වී ඇත. නවීන මාධ්‍ය භාවිතාව එයට බලපා ඇති එක  කාරණයකි. ලෝකය එකම තනි යායක් කරන්නට ප‍්‍රයත්නය වෙනුවට එකිනෙකට වෙනස් ඇදහිලි, සංස්කෘතික අනන්‍යතා සහිත පාලනක‍්‍රම මතුවෙමින් තිබේ. 

ජනතාවගේ සිතුම් පැතුම් එම රටවලටම තීරණය කරන්නට ඉඩ දෙන පියවර ඉතාම වැදගත්ය. ප‍්‍රශ්න අපම විසදාගත යුතුය. එක පැත්තකින් ආධාර දෙන අතර අනෙක් පැත්තකින් ඔවුන්ගේ රාමු වලට රටවල් ඇතුල් කරගන්නට දරන සෘජු හා වක‍්‍ර බලපෑම් බටහිරෙන් පමණක් නොව චීනය ප‍්‍රමුඛ අනෙක් කදවුරෙන් ද එල්ලවිය හැකිය. ජවහල් ලාල් නේරු මහතා වරක් ප‍්‍රකාශ කළ පරිදි සියළු පැතිවලින් හමා එන සුළග ඇතුළු වෙන්නට දොර ජනෙල් විවෘත කරන නමුත් එම සුළගෙන් ගසා ගෙන යන්නට ඉඩ දිය යුතු නැත.

තැතිගත් අවස්ථාවක මනසට රසාස්වාදයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2020/08/11 – ලංකාදීප

කොවිඞ් වසංගත තත්ත්වය ඉතාම භයානක තැනක බව අවිවාදිතය. මුළු ලෝකයම තැති ගෙන ඇති ස්වභාවයකය. එන්නත්කරණය ඉතාම සාර්ථකව කරගෙන ගිය රටවල් නැවත වටයකින් වසංගතයේ ව්‍යාප්තියක බව වාර්තාවෙයි. නැවත ලොක් ඩවුන් කරන ලද රටවල් ගණනාවකි. මතුපිටින් පෙනෙන ව්‍යුහයට හාත්පසින්ම වෙනස් අර්බුදකාරී අවකාශයක් කරා යොමුවෙමින් සිටි කාලවකවානුවකි. කිසිවෙකු කිසිම ආකාරයකින් කොවිඞ් වෛරසයෙන් පරෙස්සම් කළ නොහැකි අතර ස්වකීය හැසිරීමෙන් පරෙස්සම්විය යුතු බව අවධාරණය කළ යුතුය.

දිනකට සිය දෙනෙනුට ආසන්න ප‍්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වන කාල වකවානුවක අප සියළු දෙනාටම බරපතල වගකීමක් තිබේ. බිහිසුණු ත‍්‍රස්තවාදී ගැටුම් පැවැති කාලයේ දී හෝ දිනපතා මෙපමණ මිනිස් ජීවිත ප‍්‍රමාණයක් රටට අහිමි වූයේ නැත. තර්ජනය නැග එන අතරවාරයේ පවා ධෛර්යය සම්පන්නව නැගී සිටිම අවශ්‍යය. උපරිමයෙන් ශක්තිමත් විය යුතුව තිබේ. මුහුණු ආවරණ පැළැදීම, නිතර අත් සෝදා ගැනීම, සමාජ දුරස්ථකරණය වැනි මූලික සෞඛ්‍ය පිලිවෙත් අපහසු දේ නොවේ. එහෙත් නොසැලකිල්ල හා වගකීමක් රහිත හැසිරීම අප සියළු දෙනා අසරණ කර ඇති බව ස`දහන් කළ යුතුය.

අපට ඇති ප‍්‍රශ්නය කොවිඞ් තර්ජනය පමණක් නොවේ. ආර්ථික ප‍්‍රශ්න පැන නැගී තිබේ. දරුවන්ගේ අනාගතය ගැන කනස්සල්ලක් ඇත. රැකියා ස්ථානයෙහි ගැටළු ඇත. සංචරණ සීමා කිරීම මත ඇතිකරන හුදෙකලා භාවය ඉතා නරක මනෝභාවයක් ඇති කරන්නටට ඉඩ තිබේ. මෙම අනපේක්ෂිත කාල වකවානුව තුළ ජන සමාජයේ මානසික මටට්ම උසස් තැනෙක පවත්වා ගැනීම ඉතාම වැදගත්ය. සැනසිල්ල අවශ්‍යම හෝරාවකි. අනවශ්‍ය ගමන් බිමන්වලින් වැලකී නිවෙස්වල සිටින ජනතාවගේ රසවින්දනට ගැන අලූත් පැත්තකින් අවධානය යොමු කළ යුතුය. රට තුළ තිබුණ පසුබිම මෙම රාමුව තේරුම්ගැනීමට උපකාරී වනු ඇත. නාට්‍යයක්, චිත‍්‍රපටියක් බලන්නට අවස්ථාව තිබුණි. සංගීත සංදර්ශන වැනි විනෝදාත්මක කටයුතු වල නිරතව සිටියහ. නිවසින් බැහැර ගොස් ආහාර වේලක් ගැනීමට ඉඩ  කඩ තිබුණි.

මනස හදන, යමක් ඉගෙන ගන්නට ඉඩ දෙන සහ රසාස්වාදය ඇති කරන පරිදි මාධ්‍ය භාවිතාව වෙනස් කිරීමට පියවර ගැනීම අවස්ථාවෝචිතය. පුවත්පත්, ගුවන් විදුලිය හා විශේෂයෙන්  රූපවාහිනි නාලිකාවල වැඩසටහන් සමාලෝචනය වැඩදායකය. අනෙක් අතට නිර්මාණකරනයේ ඒකාධිකාරයක් ඇති කිරීම අනුචිකය.

ධනය ඇති ඉහළ පැලැන්තියේ පිරිස විශේෂ නාලිකා වලින් උසස් රසවින්දනයනයකට යොමු වී සිටී. පුද්ගලිකව රසාස්වාදයකට අවස්ථා තිබේ. මුදල් ගෙවා ලෝකයේ සම්භාව්‍ය නිර්මාණ ලබා ගත හැකිය. මැද පන්තියේ ඇතැම් පිරිසකට හා සමාජයේ පහල ස්ථරයට ලැබෙන රසාස්වාද අවස්ථා ගැන තෘප්තිමත් විය හැකිද?  පසුගිය කාලයේ කුඩා සිනමාශාලා, අලූත් චිත‍්‍රපට ගෙන්වන වැඩපිලිවෙල වෙනුවෙන් ආයෝජනයක් සිදුවිය. එය ව්‍යවසායයක් පමණක් නොව අවස්ථා අහිමි පිරිසකට පිලිතුරක් විය. අලූත් තීරණ අනුව කර්මාන්තයට සීමා පනවා ඇත. එය නිර්මාණකරනය පාලනය කිරීමකි.  ආයෝජකයන් දුර්මුඛ කරන පියවරක් ද වී තිබේ.

සංස්කෘතික විවිධත්වය මනුෂ්‍ය අවශ්‍යතාවයකි. වෙනත් රටක සිදුවන නිර්මාණකරනයක රස විදින්නට අයිතියක් තිබේ. එතැනින් ලැබෙන පිටිවහල ප‍්‍රබෝධනය ඇති කරයි. නිර්මාණයක විචිත‍්‍රභාවය පුරා ඇති කරන මනෝභාව ජීවිතයට ඉතාම වැදගත්වන අතර අලූත් සිතිවිලි ඇති කරන බව දැක්විය යුතුය. මෙවැනි තීරණාත්මක වකවානුවක මනස ලිහිල් කරන, අලූතින් හිතන්නට ඉඩ දෙන නිර්මාණ ජනතාව අතරට යා යුතුව තිබේ. සාහිත්‍යවේදීන්, නිර්මාණ ශිල්පීන් සමාජයක ඇති වන වේදනා පිරිමැද සුවපත් කරන්නෝ වෙති. සියුම් තත්සරයකින් හදවතක් සුවපත් කළ හැකිය. ප‍්‍රතිකාරයකට වඩා යමක් බව සදහන් කළ යුතුය. මෙම තීරණාත්මක හෝරාවේ දී දෙස් විදෙස් නිර්මාණවේදීන් ගේ ඇසුර සමග ජනී ජනයා ගේ රසාස්වාදනය ඉහළට නංවා බලාපොරොත්තු ඇති කරන තැනට පත් කරගැනීම වැඩදායක වනු ඇත.

ක‍්‍රමයක වෙනස්කම් ප්‍රගමනයට රුකුලකි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021/08/04 – ලංකාදීප

ක‍්‍රමයක වෙනස්කම් උහුලන්නට ජන සමාජයකට හැකිවිය යුතුය. වෙනස් නොවන දෙයක් පවතින්නේ නැත. එය ස්වභාවික නියමයකි. වෙනස්කම් නතර කරන්නට අරගල කළ හැක. විප්ලව සිදුවනු ඇත. ගැටුම් හා කොලාහල තුළින් අලූත් ව්‍යුහයක් තැනෙන අතර එයට අනුගතව අවස්ථා උදාකරගන්නට සමත්වන කොටස විකාශයක පෙර ගමන්කරුවෝ බවට පත්වනු ඇත.

සන්නිවේදන තාක්ෂණයේ විකාශය සම්බන්ධ අත්දැකීමක් අපට තිබේ. දුරකතනයක් භාවිතා කිරීම පැලැන්තිය දක්වන ආභරණයක් වී තිබුණි. රැහැන් ඇද සවිකරන දුරකථනය බලය පෙන්වන සංකේතයක් විය. අවහිරතා නොතිබුණහොත් දෙකෙලවරක සිටින දෙදෙනෙකුට සීමාසහිත ප‍්‍රදේශයක් දක්වා කතා කළ හැකි වූ බව මතක් කළ යුතුය. සන්නිවේදනය ක‍්‍රමික විකාශයක් සිදුවිය. ශ‍්‍රී ලංකාවට ද එහි බලපෑම එල්ලවිය. ජංගම දුරකථන සේවා සමාගමකට ඉඩ සැලසෙන පණත් සංශෝධනය කෙරිණි. දශක දෙකක් තුළ විශාල වෙනසක් සිදුවී තිබේ. සන්නිවේදනය විවිධ පැති කරා විහිදී ඇත. අන්තර් ජාලය ගැන නොදන්නෝ නොවෙති. ජීවිතය පහසු කරන්නට සමත්ව ඇත. සංස්කෘතික හා සදාචාර විනාශයකට හේතුවූ බව දක්වන කොටසක් ද සිටින නමුත්, ලබාගත හැකි ප‍්‍රයෝජන මිල කළ නොහැකිය. බැංකුව අත ළගට පැමිණ තිබේ. අධ්‍යාපනයට අවස්ථා ලැබී ඇත. තොරතුරු වේගයෙන් දැනගැනීමට හැකිය.

විකාශයට අවහිර කරන තාක් දුපතක සිරකරගෙන සිටිය හැකිය. දොරටු විවෘත කළ වහා පරිවර්තනය ආරම්භ වෙයි. අධ්‍යාපන සහ බලශක්ති වැනි අංශ වල විශාල වෙනස්කම් ජාත්‍යන්තරව සිදුවී තිබේ. එයට අනුව ඉදිරියට ගමන් නොකිරීම අපට ඇති දුබලතාවයකි. පැරණි ව්‍යුහයයෙන් ගැලවෙන විට එයින් යැපෙන කණ්ඩායමට ප‍්‍රශ්න ඇතිවෙයි. පවතින යතාර්ථය බුද්ධිමත්ව තේරුම්ගත යුතුය. හදවතට ආමන්ත‍්‍රණය කරන ආකර්ශණීය වචනවලට බහුතරයක් දෙනා රැුවටී ඇත. සිදුවන දැවැන්ත වෙනස්කම් වලට අවහිර කළ හැකිය. බාධා පමුණුවන අතර නිදහස් අධ්‍යාපනය වනසන බවට දොස් තබන්නට පුලූවන්කමක් ඇත. එහෙත් අප සියළු දෙනා නොදැනුවත්වම අවස්ථාව අහිමි ජන කොටමක් බවට පත් වෙමින් සිටී. උචිත ආකාරයට අනුගත නොවුනහොත් ප‍්‍රතික්ෂේපවන අවදානමක් තිබේ.

දුරකථනය, එක්තරා පැලැන්තියකට වරප‍්‍රසාදයක් වූ  හා සමානව අධ්‍යාපනය ද එක කොට්ඨාශයක් අතට පත්ව ඇත. තාක්ෂණයෙන් එය වෙනස් කළ හැකිය. ලෝකයේ  ඕනෑම විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය, නිවසේ සිට ලබාගත හැකි අන්දමට රාමුව වෙනස් වෙමින් තිබේ. අනෙක පන්ති කාමරයට පැමිණ ඉගෙනගැනීම අනිවාර්ය නැත. මුදල් ගෙවන හෝ ශිෂ්‍යත්වයකට හිමිකම් ඇති ශිෂ්‍ය ප‍්‍රජාවට ලෝකයේ හොදම කථිකාචාර්යවරයාගේ සේවය ලබාගත හැකි ආකාරයක පරිවර්තනයකි. ඔක්ස්ෆඞ්, කේම්බි‍්‍රජ් හෝ සෝබෝන් යනු දුරබැහැර ගමක දරුවෙකුට ද ඉගෙනගත හැකි තැන් බවට පත්වෙන යුගයක වෙනත් අධ්‍යාපනයේ නිදහස තවත් අර්ථ දැක්විය හැකිද?  කොවිඞ් තර්ජනය පවතින පසුබිම තුළ අන්තර් ජාලය භාවිතා කර ඉගෙන ගන්නා දරුවෝ එහි පළමු පුරුක විය හැකිය. පවතින ක‍්‍රමය ආරක්ෂා කරගැනීම වෙනුවට අප සටන් කළ යුතු අලූත් යුගයකට ඇතුළුවන වරම වෙනුවෙන්ය.

සන්නිවේදනය, අධ්‍යාපනය හෝ බලශක්තිය වැනි අංශවල පැරණි ක‍්‍රම ආරක්ෂා කරගැනීම එයින් යැපෙන සුළු කොටසකගේ එකම අභිප‍්‍රාය වී තිබේ. පස්වැනි පරම්පරාවේ සන්නිවේදන දියුණුව, පොසිල බලශක්ති යුගය අවසන් කිරීම හෝ පාසල සාධකයක් නොවන ඉගෙන ගැනීම වැනි සිද්ධි මෙම අලූත් යුගයේ ලක්ෂණ අතර තිබෙන බව අමතක කළ යුතු නැත.

ලෝකයේ සමහර රටවල විභාග පැවැත්වීමක් නැති අධ්‍යාපනයක් හදුන්වා දෙන තරමට ක‍්‍රම වෙනස් වී ඇත. අධ්‍යාපනය යනු සිතිවිලි පෝෂණය කිරීමකි. දැනුම ගබඩාකර තබාගැනීම වෙනුවට දැනුම සොයාගන්නා ආකාරය ගැන දැනුම්වත්වීම අධ්‍යාපනය බව නිර්වචනය වෙමින් පවතින යුගයකි. කටපාඩම් කිරීම වෙනුවට පර්යේෂණයට ඉඩ දෙන කාලය වැඩි ඈතක නොවේ. අලූත් පැති ගැන සාකච්ඡා නොකරන්නේ ඇයි? පාසල, පාසල පැවැත්වෙන දින ගණන, ඒවායේ චක‍්‍ර ලේඛන හුදෙක් දරුවන්ගේ සාක්ෂරතාවය සදහා වැදගත් අංග වනු ඇත. ඉගෙන ගැනීම හා අධ්‍යාපනය එයින් ඔබ්බට විහිදී ගිය පුළුල් ක්ෂේත‍්‍රයකි. විශාල විකාශයක් සිදුවෙමින් පවති. අවස්ථාව අහිමි සමාජයක් හැදෙන්නට ඉඩ තැබිය යුතු නැත.