ජීවත්වන්නට වඩා අවසන් ගමනට දරන වියදම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2012.07.25 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ලෝක ජනගහනය වැඩි වෙමින් පවතී. සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුව මිනිසුන්ගේ ජීවිතාපේක්ෂාව නංවන්නට සමත්ව ඇත. ලෝකය පුරා දිනපතා බිහිවන දරුවන් ජන සමාජයට දල්වන්නේ පී‍්‍රතියයි. නමුත් ජීවිත ජීවත් කිරීම ලෝකයේ හැම රටකටම සැලකිය යුතු ප‍්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. ඉඩම, ආහාර, ජලය සමාජ සුරක්ෂිතභාවය යන හැම එකකම අසමානතා වැඩෙමින් ඇති බව පෙනේ.

ඉපැදීම සතුට දනවන සමාජයක මරණය මහත් වේදනාවකි. ආගමික ශාස්තෘවරුන් දාර්ශනිකයන් මරණය සම්බන්ධයෙන් නොයෙක් ආකල්ප එක්කර ඇත. ප‍්‍රියයන්ගෙන් වෙන්වීම දරා ගැනීමට එය ඉවහල් වෙයි. ඉපැදීම, විවාහය මහත් උත්කර්ශයෙන් සමරන අතර මරණයද මහා ධනයක් වියදම් කරන සැරසිල්ලක් වෙමින් පවතින බව නොයෙක් සමාජ වලින් ලැබෙන තොරතුරු දක්වයි.

ශ‍්‍රී ලංකාවේ අප ජීවත්වන්නේ මිශ‍්‍ර ආගමික සංස්කෘතික පසුබිමකය. මරණයක දී අසල්වැසියන් ක‍්‍රියා කරන්නේ කෙසේදැයි චාරිත‍්‍ර වාරිත‍්‍ර අනුව තේරුම් ගැනීමේ හැකියාවක් අපට ඇත. ආගමික පසුබිම, පවුල් ලක්ෂණ සහ ධනය ඇති නැති ස්වභාවය අනුව පවුලේ කෙනෙකුගේ වියෝව වෙනුවෙන් හැසිරෙන ආකාරය එකිනෙකට වෙනස්ය. රටක අනන්‍යතාවය අනුව වියෝවක දී ක‍්‍රියාකළ යුතු ආකාරය නීති පනවා සම්මතයක් ඇති කිරීම නොවටී. නමුත් ජීවත්වන්නට ධනය වියදම් නොකරන ආකාරයට ජීවිතයෙන් සමුගත් දේහයක් වෙනුවෙන් අවමගුල් උත්සව පැවැත්වීම යුක්ති සහගත නැත. එය තේරුම් ගැනීම වැදගත්ය. පවුලක සාමාජිකයෙකු මරණයට පත්වූ විට ඇතිවන වේදනාව බෙදාහදා ගන්නට එකතුවන ඥාති හිතවතුන්ට ජීවිතයේ අරමුණ විනා බාහිරාලංකාර උලූප්පා පෙන්වීම නිගාවට කරුණකි.

වෛද්‍ය විද්‍යාවට අනුව ජීවයෙන් තොර සිරුර ඉක්මනින් අත්හල යුතුය. සියලූ ආගම් වල දර්ශනය පොදුය. මියගිය පසු තවදුරටත් දේහය ආරක්ෂා කිරීම පලක් නැත. ගරු කළ යුතු වන්නේ ජීවත්වූ කාලය තුළ රටට සමාජයට, දරු පවුලට ඉටු කළ සේවාව පිළිබ`දවය. වර්තමානයේ අවමගුලක දී බාහිරාලංකාරය එකී අගය කිරීමට වඩා නැගෙන අවස්ථා එමටය. මෙරට සිංහල බෞද්ධ ජනතාව එහිලා වැඩි නැඹුරුවකය. ජීවිතයේ අනියත බව සම්බන්ධව ගැඹුරු දහම ලොවට පළකරන දර්ශනය එයට අනුගත පිරිස නොසලකන බවට එය සාධකයකි. බුද්ධ ධර්මය අනුව ඉපදීම දුකකි. මරඛය ද එසේමය. දුක ඇති කරන උත්සවයක සිරි ගැනීම අප අතර සංවාදයට ලක් කළ යුතුය. මරණය අති විශාල ධනස්කන්ධයක් වැය කර දේහය සරසා, දිවා රාත‍්‍රී යන එන්නන්ට සංග‍්‍රහ කරමින් සහ නොයෙක් ප‍්‍රචාරයන්හි යෙදෙමින් ඇතැමුන් කරන දෙය වටිනාකමක් නැත. එවැනි හර සුන් අංග සමාජයට ඇතුලත්වී ඇති තරම පෙනෙන්නේ අවමංගල්‍ය අවස්ථා සංවිධානය කරමින් එයට වැය කළ හැකි ධනය අනුව නිල තත්ත්ව මවන්නට ව්‍යාපාර පවා බිහිවීමෙන්ය.

දැනුමෙන් අවබෝධයෙන් දියුණු වන සමාජයක් ස්වකීය චාරිත‍්‍ර වාරිත‍්‍ර සහ උත්සව සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කළ යුතුය. සමාජ සම්මතයන් සම සංස්කෘතික ලක්ෂණ වෙනස් කරන ආකාරයට ක‍්‍රියා කිරීම ඔබින්නේ දැයි ජීවත්වන්නන් තමන්ගෙන් ම ප‍්‍රශ්න කළ යුතු යුගයකි. ස්වකීය මරණයෙන් පසු දේහය උදෙසා අනුගමනය කළ යුතු සරල සහ චාම් වැඩ සටහන අන්තිම කැමැත්තෙන් ලියා ප‍්‍රසිද්ධ කර අවසන් ගමන් ගිය මෙරට පුරවැසියන් මතකයට නැගේ. ඔවුන් රටට පෙන්වන ලද දැක්ම මහත් සේ අගය කළ යුතුය. 

 

Advertisements

වටිනා කාලයක පෙන්වන නොවටිනා දසුන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

 දවස අවසන් කරන අතරවාරයේ මෙරට ජනතාව රූපවාහිනිය නරඹන්නට සූදානම් වෙයි. සරල විනෝදයක් පවුලේ සියලූ දෙනා එකතුව ලබන අදහසින්ය. වටිනා කාලයක් වැය කරන නමුත් රූපවාහිනී පේ‍්‍රක්ෂකයන්ට දකින්නට ඇත්තේ වටිනා දසුන්ද? පවුලේ සියලූ දෙනාට පොදු වැදගත් තැනක සිටිය යුතු රූපවාහිනි නාලිකා පෙන්වන්නේ  අසාමාන්‍ය දර්ශන විනා සාමාන්‍ය සමාජයේ හරස් කඩක ප‍්‍රතිනිර්මාණයක් නොවේ. දශක තුනහමාරක් පමණ පරිනත රූප මාධ්‍යය ගමන් කරන්නේ මහජනතාවගේ රසාස්වාදය නොතකමින්ය.

ශ‍්‍රී ලංකාවේ ගුවන් විදුලි සහ රූපවාහිනි නාලිකා සෑහෙන තරම්ය. සම්ප‍්‍රදායික පුවත් පත සමග නවීන තොරතුරු තාක්ෂණ යුගයට ද ප‍්‍රවේශ වී සිටී. විද්‍යුත් මෙවලම් උපයෝගී කරගන්නට ධනය ඇති සමාජයට ලෝකයේ  ඕනෑම නාලිකාවක් නිවසේ සිට නරඹන්නට ඉඩ ඇත. පොදු මහජනතාවට තෝරා ගැනීමට දේ බහුල අවස්ථාවක ඉතාම නොවටිනා දේ සැපයීමේ වලංගු භාවය ප‍්‍රශ්න කළ යුතුය. සමාජයේ එක තලයක ජීවත්වන පිරිසට නොවටිනා දේ ප‍්‍රතික්ෂෙප කර විකල්පය තෝරා ගැනීමට අවස්ථා තිබියදී අඩු ආදායම් ලබන සමාජය මෙරට රූපවාහිනි නාලිකා විනා විකල්පයක් නැත. එවැනි පසුබිමක නාලිකාවල පෙන්වන දෙය පොදුවේ ඉතාමත් වැදගත් වන්නේය.

 නාලිකා මගින් විකාශය කරන වෙළඳ දැන්වීම් වල සීමාවක් නැත. ටෙලි නාට්‍යය හෝ ප‍්‍රවෘත්ති නරඹන පේ‍්‍රක්ෂකයන්ට ගරුසරු නොකර දැන්වීම් පළ කිරීම හිරිහැරයකි. රූපවාහිනි තිරයේ සම්පූර්ණ දර්ශනය නැරඹීමට ඉඩ නොදී එහි තැන් තැන් වල වෙළඳ දැන්වීම් ද, විවිධ නිල ලාංඡන ද ප‍්‍රදර්ශනය කිරීම පේ‍්‍රක්ෂකයන් ඉවසා සිටිය යුතුය. අනෙක් පැත්තෙන් ටෙලි නාට්‍ය හරයෙන් දුර්වලය. වැඩසටහන්වල කලාත්මකබව හා නිර්මාණශීලීත්වය ඇත්තේ කලාතුරකින් එකක දෙකකය. රාත‍්‍රියේ පැය තුනක් සියලූ නාලිකා පෙන්වන ටෙලි නාට්‍ය වලින් සෑහෙන ප‍්‍රමාණයක ඇත්තේ පවුල් ගැටුම්ය. අඩ දබර සහ කඳුළු කතාන්දරය. වෛරය සහ බෙදීම් බහුලය. මේවා සමාජයට දෙන දැක්ම පැහැදිලි නැත. ගැටුමක දී පමණක් නොව සාමාන්‍ය දෙබස් වල පවා සම්මත ව්‍යවහාරයේ නොගැනෙන වචන කියැවෙයි. මත්පැන් සහ ආයුධ පරිහරණය සීමාව ඉක්මවන තරමට පෙන්වයි. විදේශ රටකින් ගෙන මෙරට දෙබස් කැවූ නාට්‍යයක නැති තරමට සංස්කෘතික පරිහානියක් අද සිදුවන බව පෙනේ. විදේශීය ටෙලි නාට්‍ය වෙනුවෙන් පැනවූ බද්ද මගින් උපයන ලද ආදායම ද යහපතක් කර නැත.

නීති පනවා නිර්මාණ බිහිකළ හැකිද? ටෙලි නාට්‍යක දිග, කාලය සීමා කිරීම හෝ දේශීය දේ පමණක් යැයි යන ආකල්ප නොවැදගත්ය. නාලිකා ජනපි‍්‍රයවන තරමට මහජන ගරුත්වය දිනාගත යුතුය. බි‍්‍රතාන්‍යයේ බී.බී.සී. රජයේ නාලිකාවකි. එහි භාෂාව සහ වැඩසටහන් අනෙක් නාලිකා වලට ආදර්ශයක් සපයයි. ඇමරිකාවේ පී.බී.එස් නාලිකාව රජයේ සහන ඇති පදනමකට අයත්ය. නමුත් වගකීම් පැහැර නොහරියි. ජපානයේ එන්.එච්.කේ නාලිකාව ද එවැනිය. මහජනතාවගේ දැනුම, බුද්ධිය වඩවමින් ආචාරශීලීව නිවසට පැමිණෙන්නට වග බලා ගන්නා රූපවාහිනී නාලිකා ලෝකය පුරා ඉහළ කීර්තියක් දිනා ඇත. වානිජ අරමුණ පසෙකින් තබා ප‍්‍රමිතිය ආරක්ෂා කරන එක නාලිකාවකින් මෙරට රූපවාහිනී සංස්කෘතිය ආපසු උසස් තත්ත්වයට හැරවිය හැකිය. රසික මහජනතාව ඉල්ලන්නේ එයයි. විකල්පයක් නැති අවස්ථාවක, තමන්ට දෙන දේ නරඹන සමාජයක් බිහිකිරීම යුතුකමක් නොවේ.  

ව්‍යවසායකත්වය සම්බන්ධ ජාතික වැඩ පිළිවෙලක් අවශ්‍යය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2012.07.11 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

සියලූම දෙනාගේ අපේක්ෂාව සමාන අවස්ථා ඇති සමාජයක්. සියලූ දෙනාටම අභිමානවත්ව ස්වශක්තියෙන් නැගෙන්නට පසුබිමක්. නමුත් යථාර්ථය එහෙම නෙවෙයි. නොයෙක් බලපෑම්, අභියෝග සහ බලවේග හමුවේ අසරණ වෙන්නෙ පුද්ගලයන්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ එහි ගුණාංග ගැන ගැඹුරින් අවධානය යොමු කරන සමාජ, යුක්ති ගරුක අවස්ථා මහජනතාවට පිරිනමන්නට විශෙෂ අවධානය දක්වන බව පෙනේ.

නිසි අධ්‍යාපනය ලබමින් පියවරෙන් පියවර ඉදිරියට යන පහසුව තිබෙන්න පුළුවන්. නමුත් දරුවන් දෙදෙනෙකුගේ අනාගතය එක හා සමානව සාර්ථකව විසදන බවට සහතිකයක් නැහැ. දෙදෙනාගේ ඉරණම තීන්දු වෙන්නෙ ආකාර දෙකකට. එල්ලවන බලපෑම අනුව මෙම දෙආකාරය එකිනෙකට වෙනස් සමාජ තත්ත්ව බිහිකරයි. අවස්ථාව ලැබෙන දරුවා ඉදිරියට යන අතර අහිමිවන දරුවා ගේ ජීවිතය ගමන් කරන්නේ අපේක්ෂිත ඉලක්කයකට නොවේ. ගී‍්‍රසිය, ස්පාඤ්ඤය වැනි රටවල තරුණන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට රුකියා අවස්ථා නැති තත්ත්වයක් උදා වෙලා. මැදපෙරදිග දියුණු සවුදි අරාබියේ පවා පසුබිම එහෙමයි. රුකියාව ඇති පුද්ගලයාට අනාගතය ගොඩනගාගන්නට ශක්තිය ලැබෙන අතර රුකියා අහිමි ජන කොටස සමාජයේ දී ලැබෙන තක්සේරුව වෙනස් එකක්.

වේගයෙන් ඉදිරියට ගමන් කරන ආර්ථික රාමුවක් තුළ නිෂ්පාදනයක නිතර නැති කොටස ප‍්‍රශ්නයක්.  ආර්ථිකයක් දියුණු කරන්නට නම් රටක පුරවැසියන්ට ධනය බිහිකරන්නට ඉඩ දිය යුතුය. කම්හලක හෝ ගොවිපොලක සේවකයන් සේ වැඩ කිරීමෙන් නිපදවන ධනයට සීමාවක් තිබේ. ව්‍යවසායකත්වය එයට විකල්පයකි. ධනය නිපදවියහැකි අලූත් අවස්ථා සොයාගැනීම ව්‍යවසායකත්වයේ වැදගත් සාධකයක් වෙයි. ආර්ථිකයක් දියුණු කරන්නට නම් අලූත් දේ සොයා යා යුතුය. අධිරාජ්‍යවාදීන් යටත් කරගෙන සිටි පාලන කාලයේ දී රට වැසියන්ට නිවහල්ව කි‍්‍රයාකරන්නට ඉඩ දුන්නේ නැත. ජීවත්වන්නට සිදුවූයේ පාලකයන් ගේ නීති වලටයටත්වය. ඔවුන්ගෙන් යැපෙන්නට සිදුවිය. නිදහස ලැබීම සමග අධිරාජ්‍යවාදී පාලකයන්ගෙන් යැපුන යුගය වෙනුවට ආණ්ඩුවෙන් යැපෙන ආකල්පය නැගී- වැඞී තිබේ. එය අවසන් කළ යුතුය. නිවහල් රටක වැසියන් රජයෙන් යැපෙන මානසිකත්වයක, ආණ්ඩුවේ රුකියා, ආණ්ඩුවේ සහනාධාර බලා සිටිය යුතු නැත. තමන්ට හිමි පංගුව ආණ්ඩුවෙන් බලා සිටිනු වෙනුවට තමන්ම තමන් ගැන සිතන පරපුරක් බිහිකිරීම අද යුගයේ අවශ්‍යතාවයයි.

ස්ව ශක්තියෙන් නැගී සිට්න්නට ව්‍යවසාය වැදගත් පදනමකි. එහිදී තමන්ම නිපදවන, තමන්ම අලෙවිකරුවෙකුවන අතර එය පහසු නැත. අනුන් යටතේ වැඩ කර යමක් උපයා ගෙන ජීවත්වීම වෙනුවට  තමන්ගේ යැපෙන මාර්ගය සොයා ගැනීම බාරධුර කර්තව්‍යයකි. රටට අවශ්‍ය අභියෝග දිනා ගෙන දිරියෙන් නැගී සිට්න්නට සමත් පරපුරකි. සමාජයේ මුල්බැස ඇති පැරණි සංකල්ප අනුව ආණ්ඩුවේ වැඩ කිරීම ස්ථිරත්වය අගවයි. පුද්ගලික අංශයේ වැඩ කිරීමේදී අවදානමක් ඇතත් යම් ආදායම් මට්ටමකට යා හැකි බව සිතන්නට හුරු වී තිබේ. සමාජයේ පිලිගැනීම ඇත්තේ ද මෙම කොටස්වලටය. සුළුවෙන් හෝ තමන්ගේ ම ව්‍යවසායයක් අරඹන අලූත් අදහස් ඇති දිරියවත් තරුණන් පසුව එය දියුණු කර බැබලෙති. යැපෙන රුකියාවකට වඩා තවත් කිහිප දෙනෙකු හෝ තමන් යටතේ රකින ව්‍යවසායයන් රටට වැදගත්ය. පැරණි මත විනාශ කර ව්‍යවසායකත්වය සම්බන්ධ අලූත් ආකල්ප රට තුළ ඇති කරන්නට අවශ්‍යය. අලූත් යමක් කරන්නට විශාල ආත්ම ශක්තියක් අවශ්‍යය. එවැනි ජව සම්පන්න ධෛර්යයවන්තයන් ගොඩනගන ජාතික ව්‍යවසායකත්ව වැඩ පිළිවෙලක් අද රටට අවශ්‍යව තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව තුළ නිසි ව්‍යවසායකත්ව ඇතිකළ හැක්කේ එයට සාධාරණ අවස්ථා ඇති කිරීමෙන්ය.

බුදු දහම පතුරවන විනය සංගායනාවක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2012.07.04 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුරජාණන් වහන්සේ බරණැස මිගදායේ දී, දම් සක් පැවතුම් සූත‍්‍රය දේශනා කරන ලද බව සඳහන්ය. ඇසල මස පොහොය දිනකය. අරිට්ඨ කුමරු ප‍්‍රධාන ලාංකික තරුණන් පනස් හය දෙනෙකු මහණ උප සම්පදාව ලැබුවේ ද ඇසල මස පොහොය දිනයෙක බව ඉතිහාසය කියයි. බුද්ධ වර්ෂ 2260 දී කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු සියම් රටින් උපාලි මහ තෙරුන් ප‍්‍රධාන සංඝරත්නය වැඩමවා නැවත උපසම්පදාව ඇතිකර ඇත්තේ ද ඇසල මස පොහොය දිනයකය. සම්බුද්ධත්වයෙන් වසර දෙදහස් හයසියයක් ගතව ඇති තැන ශ‍්‍රී ලංකාවේ බුදු දහම හා එහි පැවැත්ම ආන්දෝලනයකට ලක්ව තිබේ.

බුදු දහම දර්ශනයකි. මැද පිළිවෙත, අටලෝ දහම එය මනුෂ්‍යයන්ට කියා දෙන පාඩමයි. ජීවත්විය යුතු හරය ගැන එහි ඉගැන්වෙයි. පෘතග්ජනයන් තුළ විනය සහ හික්මීම ඇති කරයි. බෝසතාණන් ඉපැදෙන, වැඩෙන හා බුදුවන කාලයෙහි ඉන්දියාවේ සිටි ශාස්තෘවරයන් ගණන බොහෝය. නොයෙකුත් ඇදහිලිය. විශ්වාසයන්ය. රන් කරුවෙකු තමන් අතට ලැබෙන රන් කැබැල්ල පිරිසිදු එකක් දැයි සොයන්නට කපා කොටා පුලූස්සා බලන්නා සේ ධර්මය නිවැරදි එකක් දැයි පරීක්ෂා කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කළහ. අද විද්‍යාව හා තාක්ෂණය දියුණුය. ලෝ වැසි ජනතාව බුද්ධිමත්ය. සත්‍යය සොයා ගැනීමට පර්යේෂණ කරන්නට නොයෙක් ක‍්‍රම බිහිව තිබේ. නවීන තොරතුරු තාක්ෂණ සමාජයට බුදු දහම ගැලපෙන බව එය ලොව පුරා පැතිරෙන තරමින් ප‍්‍රත්‍යක්ෂ වෙයි.

ලෝකයේ නොයෙක් වකවානුවල නොයෙක් ආගම් අර්බුද වලට මුහුණ දුන්නේය. ආගමික ධර්මතාවය අභිබවා ධනය හා බලය මතුවූ අවස්ථා ඇත. එක දිය වැලකින් නැගුණ ආගම් පසුව බෙදී, බිඳි නොයෙකුත් ආකෘති ඇති කළහ. ආගම නිසා යුද ගැටුම් ඇතිවිය. රාජ්‍ය නායකයෝ ජනතාව අදහන ආගම අනුව ස්වකීය පාලන ක‍්‍රම ප‍්‍රතිසංවිධානය කළහ. ආගම ආගමික ශ‍්‍රාස්තෘවරුන්ගේ දර්ශනය රැගත් නායකයින් ද, අනුගාමිකයන් ද අනන්‍යතා අනුව ක‍්‍රියාකරන්නට පටන් ගත්හ.

දීර්ඝ කාලයක් ව්‍යවහාරයෙන් පැවති නිර්මල බුදු දහම දැනි ලිඛිතව පවතී. ලේඛනගත කිරීමෙන් පසු එය එක හෙලා පිළිගැනීමට ලක්ව ඇත. දහම තිබියදී, නිතිපතා බණ අසන, මෙරට ජන සමාජය දහමට අනුකූලව හැසිරෙන්නේ නම් රටට බරපතල ප‍්‍රශ්න ඇතිවිය නොහැකිය. ධර්මානුකූලව සමාජය හැසිරෙන්නේ නම් රට තුළ විනය තහවුරු විය යුතුය. විනය නැති තැන දහම ආරක්ෂා නොවේ. බුදු දහමට පමණක් නොව  ඕනෑම ආගමකට අභියෝග මතුවන විට එය එහි ප‍්‍රතිසංස්කරණයක් විය යුතුය. නිසි කල නිසි අවස්ථාවේ එය සිදු නොවුනහොත් බිහි වන්නේ විකෘතියකි. මනුස්ස ස්වභාවය අනුව විකෘතියට මුහුණ පාන අවස්ථාවේ නොයෙක් අලූත් චරිත ද මතුවෙන්ට පටන් ගනී. අද ලාංකික සමාජය එතැනට පැමිණ සිටී. ප‍්‍රකෘතිය වසා විකෘතිය පැතිරෙයි. ගිහි පැවදි දෙපැත්තෙන්ම එය නිරීක්ෂණය කළ හැකිය. විකෘතිය මඩින විනය සංගායනාවක් අද අවශ්‍යය. දේශනාවට සමාජය අවනත නැති බව දැනෙන අවස්ථාවේ දී සංඝ සමාජය ස්වකීය ඇවතුම් පැවතුම් උදෙසා විනය සංගායනාවකට එළැඹීම අවශ්‍යතාවයකි. නිසි අවස්ථාවේ ප‍්‍රතිසංස්කරණයක් නොවන විට එය පසුව විප්ලවයකින් කෙළවර වෙයි. ඉතිහාසය එයට සාක්ෂි දරයි. එවැනි විප්ලවයකට මග අවුරා සංවාදයෙන් පැවැත්ම සකසා ගැනීම ජාතික – ආගමික නායකත්වයේ වගකීමකි.