ආර්ථිකය නංවන්නට අලූත් යමක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2013.10.30 -ලංකාදීප – මිලින්ද මොරගොඩ

අධිවේගී මාර්ග, ගුවන් තොටුපොල, වරාය සහ තොරතුරු තාක්ෂණය යන පදනම් පහසුකම් වෙනුවෙන් විශාල ආයෝජනයක් කර තිබේ. එමගින් මෑත භාගය තුළ මෙරට ආර්ථික සහ සමාජ පරිසරය විශාල වෙනසකට ලක් වූ බව අවිවාදිතය. මෙම පරිවර්තනය යහපත් මගක් වෙනුවෙන් නිසි ආකාරයට ප‍්‍රයෝජනයට ගැනීම ගැන අවධානය යොමු කළ යුතුය.
ආර්ථිකයක් නැගෙන්නේ මහා පරිමාන ව්‍යාපෘති වලින් පමණක් නොවේ. සාමාන්‍ය ජනතාවගේ දහඩිය සහ කදුලූ වලට ද ආර්ථික ජවය තුළ වටිනාකමක් ඇත. දහඩියෙන් ක`දුලෙන් වැඩෙන්නේ ව්‍යවසායකත්වයයි. අලූත් යමක් කරන ව්‍යවසායකයන්ට රට තුළ අවස්ථාවක් තිබිය යුතුය. ධෛර්යයට සහ ශ‍්‍රමයට නිසි ගරුත්වයක් ඇති කිරීම ඉතාමත් වැදගත්ය.
අද පවතින අධ්‍යාපන ක‍්‍රමය ඉතා සංකීර්ණ ව්‍යුහයකි. එහි ප‍්‍රතිඵල අනුව දරුවන්ගේ අපේක්ෂාව ඉහළ වෘත්තිය සුදුසුකමක් ලබා ගැනීමයි. එයින් අපේක්ෂා කරන රැකියාව අනුන් යටතේ කරන එකකි. නිදහසේ ස්ව ශක්තියෙන් නැගී සිටින ආකල්ප අධ්‍යාපන ක‍්‍රමය තුළ ඇති කරන්නට අවශ්‍යය. තමන්ගේම ව්‍යවසායකත්වයකින් අලූත් යමක් නිපදවා ආර්ථිකය නගා සිටුවන්නට දායක වන අරමුණ තරුණ සිත්වල ජනිතවීම වැදගත්ය. එයට අනුබල ලැබෙන්නේ රට තුළ එයට ඇති අවකාශය අනුවය. ලෝකයේ නොයෙක් රටවල් මහා පරිමාන ආයෝජකයන්ට දිරි දෙන අතර සුලූ සහ මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ට ද නැගී සිටින්නට මග පාදා දෙයි. දැනුම, සම්පත් සපයන අතර වෙළ`ද පොළ ගැටලූ මතුවන විට එයට උදවු කරන්නට ද වැඩ පිළිවෙල ඇත. ආණ්ඩු පමණක් නොව පුද්ගලික අංශය සහ රාජ්‍ය නොවන සංවිධාන පවා නොයෙක් ආකාරයට එයට අනුබලය සපයයි.
ශ‍්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික පිම්ම වෙනුවෙන් ව්‍යවසායකත්ව ජාලයක් රට පුරා ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. රජය යටතේ ඇති ආයතන සහ පුද්ගලික අංශය නොයෙක් ආකාරයට දැනටත් යම් ආකාරයකට රට තුළ ව්‍යවසායකත්වය ඇති කරන වැඩ පිළිවෙලට දායකවෙයි. නමුත් ඒවායේ ඇති යම් යම් ලක්ෂණ සහ ඌණතා නිසි පිබිදීමකට ඇති පූර්ණ ඉඩ කඩ යම් ප‍්‍රමාණයකට අවුරා තිබේ. ව්‍යවසායකයන් බිහි කිරීම ගැන අලූත් ආකාරයකට සැලසුම් සකස් කරන්නට අවශ්‍යය.
මහා පරිමාන ව්‍යාපෘති වලට පහසුකම් සපයන ආකාරයට සුලූ සහ මධ්‍යම පරිමාන ව්‍යවසායකත්වය වෙනුවෙන් එක තැනෙකින් විස`දුම් සපයන වැඩ පිළිවෙලක් සකස් කළ හැකිය. ඇමරිකාවේ එවැනි ව්‍යාපෘතියක් තිබේ. එයට අනුව ව්‍යවසායක රුචිය ඇති තරුණන්ට ඉල්ලූම් කර යම්යම් ක්ෂේත‍්‍රවල පුහුණුවක් ලබා ගත හැකිය. දැනුම හා අවබෝධය ඇති බව මෙම පුහුණුවෙන් ඔප්පු කරන විට මූල්‍ය ආයතනයකින් ආරම්භක ණය සහන පදනමකින් සැපයේ. එය නිකුත්කරන්නේ ව්‍යවසායකත්වය දියුණු කරන සැලසුම අනුව ආයතනය ඇප වන පදනමකින්ය. ව්‍යවසායකයන්ගේ ගැටලූ සහ එදිනෙදා මුහුණ දෙන ප‍්‍රශ්න සම්බන්ධව සමාලෝචනය කරන අංශ ද ඒයට සමාන්තරව ක‍්‍රියාත්මක වෙයි. පළමුවෙන් ආයතනයේ අනුබලයෙන් නැගෙන ව්‍යවසායකයෝ පසුව වර්ධනය වී ස්වාධීන තත්ත්වයට පත්වෙති.
සාමාන්‍යයෙන් සාර්ථක ආර්ථිකයක කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යවසාය රාශියක් පැවැතිය යුතුය. මහා ව්‍යවසාය දුම්රිය එන්ජිමක් සේ කුඩා ව්‍යවසාය එකතු කර ගෙන ගමන යා යුතුය. නමුත් ලංකාවේ පවතින රාමුව අනුව අධ්‍යාපනයෙන් පසු තරුණන් එකතු වන්නේ රැකියා විරහිත කණ්ඩායමටය. ඔවුන් දෙස බලන්නේ කරදරකාර හැ`ගීමෙන්ය. ආණ්ඩුවේ රැකියා ඉල්ලා බලකිරීම ඔවුන්ගේ ස්වභාවයයි. ප‍්‍රාග්ධනය සොයන්නට වානිජ බැංකුවකට කතා කළහොත් බැංකුව ඉදිරිපත් කරන කොන්දේසි අනුව ව්‍යවසාය ආරම්භ කරන්නට අවශ්‍ය පසුබිම සකසකන්නේ නැත. පුහුණුවක් දෙන අවස්ථා ඇතත් ඒවා අවසන් වන විට නිලධාරීන් සහ ක‍්‍රියා පටිපාටි ගැන ඉතිරි වන්නේ කනස්සල්ලක් පමණකි. මෙම සියලූ පැති දෙස උවමනාවෙන් බලා අලූත් දර්ශනයක් අනුව ව්‍යවසායකත්වය වර්ධනය කරන්නට අවශ්‍යය. එය ආරම්භ කළ යුතු පාසල් අධ්‍යාපනයේ සිට බව අමතක කළ යුතු නැත.

Advertisements

පාපැදියේ සංවර්ධනය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2013.10.23- ලංකාදීප- මිලින්ද මොරගොඩ

තාක්ෂණික යුගයට ගැලපෙන පරිදි නගර සංවර්ධනය කරන වකවානුවක පාපැදියට ගැලපෙන ආකාරයට නගරයක් සැලසුම් කිරීම අමුතු ආකාරයක සංවර්ධනයක් විය හැකිය. නමුත් එය එසේ සිදුවෙයි. පා පැදියට පළමු තැන ලැබෙන නගර ලෝක අවධානයට ලක්වන්නට පටන්ගෙන තිබේ. එක පැත්තකින් පරිසරයට හිතකරය. අනෙක ශරීරයට හො`ද ව්‍යායාමයකි. නෙදර්ලන්තයේ Groningen නගරය පාපැදි භාවිතය වැඩිම නගරයකි. සාමාන්‍යයෙන් නෙදර්ලන්තයේ පුරවැසියන්ගේ එදිනෙදා ප්‍රවාහන කටයුතු වලින් සියයට 27 ක් පාපැදි භාවිතාවෙන් සිදු වන අතර ග්රෝිනින්ගන් නගරයේ පාපැදි භාවිතාව සමස්ථ ප්‍රවාහනයෙන් සියයට 57 ක් බව අනාවරණය වෙයි.
විසි ලක්ෂයක පමණ ජනගහනයක් වෙසෙන ග්රෝදනින්ගන් නගරය සැලසුම් කර ඇත්තේ පාපැදිය භාවිතා කරන පුරවැසියන්ට උචිත ආකාරයටය. නගරය වටා වට රවුම් මාවතකි. එහි වාහන ධාවනය වෙයි. වාහනයකින් තැනෙක සිට තවත් තැනෙකට ගමන් කරන්නට නම් වට රවුමෙන් පැය කිහිපයක් යන්නට සිදුවන අතර නගරය හරහා ඇති පාපැදි ධාවන තීරු ඔස්සේ ගමන් කරන්නට ගතවන්නේ විනාඩි කිහිපයක් පමණකි. පා පැදියේ ගමන් කිරීම මෙම නගර වැසියන්ට ආශ්වාදය ඇති කරන ප්‍රවාහන ක්‍රමයක් වී තිබේ.
නෙදර්ලන්තයේ ස්වභාවික සමතලා භූමිය පාපැදි භාවිතයට උචිත වන අතර එරට නගර නිර්මාණ ශීල්පීන් පා පැදි නතර කරන්නටත්, ගමනට පසු අවශ්‍යනම් තමන්ගේ මුහුණ සෝදා පිරිසිදු වන්නටත් පොදු තැන් සකස් කර ඇත. දුර බැහැර නගර වලට කේබල් කාර් යොදවා ඇත. කේබල් ගමනෙන් පසු නගරයෙන් ගන්නා තාවකාලික පා පැදියකින් තමන්ගේ කාර්යය ඉටු කරගැනීමට පසුබිම සකසා තිබේ.
බලශක්ති වියදම පරිසරය සහ පුර වැසියන්ගේ සෞඛ්යව ගැන ඉදිරි දැක්මක් ඇති නගරාධිපතිවරු තමන්ගේ නගර වල පාපැදි භාවිතා කරන්නන්ට වැඩි පහසුකම් සපයන්නට පටන්ගෙන ඇත. ලන්ඩන් නගරාධිපති ෙබාරිස් ජොන්සන් Boris Johnson එය තවත් වෙනස් ආකාරයකට සැලසුම්කළ පුද්ගලයෙකි. ඔහු ලන්ඩන් නගරයේ පාපැදි භාවිතය පරනස චලිත කරන්නට මහන්සි වෙයි. එම වෑයම ඔස්සේ ඔහුගේ ජනප්‍රියත්වය තවත් වැඩිවී ඇත යන්න ජාත්‍යන්තර වාර්තා අනාවරණය කරන කරුණකි. බොරිස් බයිසිකල් නමින් ව්‍යාපාරයක් ද නගරයේ ආරම්භ කර ඇත. එම ව්‍යාපාරයෙන් කුලියට ගන්නා පා පැදියක් තමන්ගේ ගමන අවසන් කළ පසු ඒ වෙනුවෙන් ඇති ඕනෑම පාපැදි ගාලකට බාර දී තමන්ගේ ගමන යන්නට ඕනෑම කෙනෙකුට හැකියාව ඇත. ගාස්තුව ක්රෙඩිට් කාඞ් පතකින් අය කරන අතර කාඞ් පත භාවිතා කර පාපැදිය ස්වයංක්‍රීයව තමන්ටම නිදහස් කරගත හැකිවෙයි. එය සන්තකව ඇති කාලය තුළ අන්තර්ජාලය ඔස්සේ එහි ගමන්මග නිරීක්ෂණය කරන්නට ව්යාකපාරය පවත්වාගෙන යන සමාගමට හැකියාව ලැබී ඇති අතර තවත් තැනෙක නතරකර නියමිත ගාස්තුව ගෙවීමෙන් කුලී පාපැදි සේවාව භාවිතා කිරීම අවසන්වෙයි. තමන්ටම පාපැදියක් නඩත්තු කිරීමේ උවමනාව මෙයින් අවසන් කර ඇති අතර තමන්ගෙන යන පාපැදිය ආපසු මුල් තැනටම ගෙනැවිත් භාරදීමේ අවශ්‍යතාවය ද අහෝසි වී තිබේ. පසුගිය ලන්ඩන් ඔලිම්පික් කරිග ඩා තරගාවලිය අතරතුර මෙම අලූත් පාපැදි කුලී ව්‍යාපාරයට හො`ද ඉල්ලූමක් තිබුණ බව ද දැක්වෙයි. මෙම සංකල්පය නිව්යෝක් නගරයටත් ව්‍යාප්තව ඇති බව ජාත්‍යන්තර මාධය වාර්තා කරයි.

ඉන්ධන ආනයන වියදම ඉන්දියාවට මහත් බරකි

එක් ප්‍රතිචාරයක්

milinda-prashna

2013.10.16 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

බස් ගාස්තු වැඩි කිරීම ගැන රට තුළ සංවාදයක් පැන නැගී තිබේ. මගී ප්‍රවාහනයේ නිරත බස් හිමියන් තම ඉන්ධන වියදම ඇතුලූ බස් රථයේ නඩත්තු වියදම් ඉහළ යාම දරාගත නොහැකි බව දක්වයි. ගාස්තු වැඩිකිරීම මගී ප්‍රවාහන සේවාවේ නිරත පුද්ගලික බස් ධාවකයන්ට යම් පිටිවහලක් විය හැකිය. එවිට පොදු ජනතාව තමන්ට දරන්නට සිදුවන අතිරේක පිරිවැය ගැන මැසිවිලි නගන්නට පටන් ගනී. වැඩිවන වියදම සලකා වැටුප් නංවන ලෙස බලකරයි. යම් ආකාරයකට ජනතාවට සහනයක් දෙන්නට ආණ්ඩුවට ද සිදුවෙයි. ආණ්ඩුව එම සහන වලට අවශ්‍ය අරමුදල් උපයා ගන්නේ ද මහජනතාවට පනවන බදු වැඩි කරමින්ය. මෙය අනිවාර්ය ක්‍රමයකි. එයින් ගැලවීමක් නැත. විකල්ප ආකාරයට ප්‍රශ්න දෙස බලන්නේ කොහොමද? යන්න අද අප සියලූ දෙනා වගකීමෙන් සලකා බැලිය යුතුව ඇති ගැටලූවකි.
ඉන්දියාවේ ආර්ථිකයට එරට ඉන්ධන ආනයන වියදම විශාල බරක් වී තිබේ. ඒ බව එරට ඛනිජ සම්පත් ඇමැතිවරයා අවධාරණය කරයි. ගෙන්වන ඉන්ධන යම් අර පරෙස්සමකින් භාවිතා නොකළහොත් ඉන්ධන ආනයන වියදම යම් ගැටලූවක් විය හැකිය. හෙතෙම සතියට දිනයක් තමන්ගේ නිල වාහන අත්හැර නගරයේ පොදු ප්‍රවාහන සේවාවේ ගමන් කරන්නට තීරණය කර තිබේ. ඛනිජ සම්පත් ඇමතිවරයා සෑම බදාදා දිනයකම ආරක්ෂකයන් සමග පොදු ප්‍රවාහන සේවාවෙන් ගමන් කිරීම අරඹා ඇත. විරුද්ධ මත දරන්නනන් එය උපහාසයට ලක් කරමින් සිටී. ප්‍රතිවාදී දේශපාලනඥයන් එය ඉදිරි මැතිවරණයේ ඡන්ද උපායක් යැයි දැන්මම කියන්නට පටන් ගෙන ඇත. ඇමැතිවරයාගේ පිළිවෙත එරට අති විශාල ඉන්ධන ආනයන වියදම අනුව සලකන විට ඉතා සුලූ ඉතිරි කිරීමක් පමණක් බවට ද මතයක් නැගී තිබේ. නමුත් වැඩි දෙනෙකුගේ අවසාන නිගමනයේ දී අමාත්‍යවරයා යමක් කරන්නට උත්සාහ කරන බව සිතන්නට පටන් ගෙන ඇත. කිසිවෙකු හෝ ආරම්භයක් දිය යුතුය.
ශ්‍රී ලංකාවේ මහ මග ධාවනය වන වාහන වලින් යම් කොටසක් ඉතාමත් සුපිරි ඒවාය. එම වාහන ඉන්ධන පිරිමැසුම්දායක නැත. ලංකාවේ අවුරුද්දක ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන හයක් පමණ වෙයි. මෙම වියදම පියවා ගන්නට සරිලන විදේශ මුදලක් රටට ලැබෙන්නේ විදේශ ගත ශ්‍රී ලාංකිකයන් එවන ධනයෙන් පමණකි. තේ කර්මාන්තයෙන් අවුරුද්දකට ලැබෙන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් පමණ මුදලකි. සංචාරක කර්මාන්තය ද උපයන්නේ ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලකි. එවැනි ආදායම් පසුබිමක පසුවන අප රටට ද ඉන්ධන වියදම අඩු කර ගැනීම ගැන අලූත් ආකාරයකට අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි. මැද පෙරදිග ඇතුලූ රටවල සේවය කර මෙරටට එවන සම්පූර්ණ විදේශ මුදල ආපසු මැද පෙරදිගටම යවන පිළිවෙතකින් රටට දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය.
නීති පනවා මහජනතාව පීඩාවට පත් කර ඉන්ධන ආනයන වියදම අඩු කර ගැනීමට මං සෙවීම සුදුසු නැත. නමුත් ඉන්ධන පරිභෝජනය සම්බන්ධව රටට යම් දැක්මක් අවශ්‍යය. වාහන තාක්ෂණය දියුණු වෙයි. ඉන්ධන හා විදුලිය දෙමුහුන් වාහන බලවාහන බලශක්තිය අඩුවෙන් භාවිතා කරයි. ඒවා භාවිතය දිරි ගැන්විය යුතුය. සම්පූර්ණයෙන් ම විදුලියෙන් ධාවනය කරන වාහන වෙළ`ද පොළට පැමිණෙමින් තිබේ. ධනවත් සමාජය මෙම අලූත් තාක්ෂණික යුගයට ඇතුල් විය යුතුය. රට තුළ කාර්යක්ෂම පොදු ප්‍රවාහන පද්ධතියක් රහිතව ඉන්ධන භාවිතය ගැන ආදර්ශයක් සැපයීම අපහසු එකකි. අධිවේගී මාර්ග, දියුණු තාක්ෂණය සහිත වාහන ඉන්ධන ඉතිරි කරයි. මේගැන අවධානය යොමු කළහොත් ඉන්දියාවේ ඛනිජ සම්පත් ඇමතිවරයාට වඩා පියවරක් ඉදිරියෙන් සිටිය හැකිය.

ජාතික අාදායමට කාන්තා දායකත්වය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2013.10.09 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

කාන්තාවට සමාජ ආර්ථික ව්‍යුහය තුළ සමාන තැනක් ඇති කිරීම සම්බන්ධව ලෝකය පුරා අවධානයට ගැනුණේ කලකට කලින්ය. එයින් ඇති කළ ප්‍රවනතාව වර්තමානයේ පුලූල් සංවාදයට ලක්ව තිබේ. පොදුවේ සෑම රටකම කාන්තාවන් ගේ අධ්‍යාපන මට්ටම ඉහළය. යුරෝපීය සහ ආසියානු රටවල උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති සමාජ ස්ථරයෙන් හරි අඩකට වඩා කාන්තාවන්ය. දැනුම හා අවබෝධයෙන් පොහොසත් කාන්තාවන් සමාජය තුළ සැලකිය යුතු පිරිසක් වන විට සමාජ ක්‍රියාකාරකම් සහ ආකල්ප සම්බන්ධයෙන් ද යම් ගැඹුරු පරිවර්තනයක් අපේක්ෂා කළ යුතුය.
ශ්‍රි ලංකාවේ ද අධ්‍යාපනය අතින් කාන්තාවන් ඉදිරියෙන් සිටින බව වර්තමානයේ දී පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. 1931 දී මෙරට කාන්තාවන්ට ඡන්ද අයිතිය තිබුණේ නැත. 2011 වන විට මෙරට විශ්වවිද්‍යාල වලට ඇතුලත් වන සිසුන්ගෙන් සියයට 58 ක් කාන්තාවන්ය. වෙනස එයයි. නීති අංශයේ එහි වර්ධනය එයටත් වැඩිය. මෙම යහපත් ප්‍රවනතාව සමග සම්ප්‍රදායික පැති අභියෝගයට ලක්වනු ඇත. පුරුෂ මූලික සමාජ වටපිටාවක් තිබුණ ලංකාව අද වන විට පවුලේ මව සහ පියා සාකච්ඡා කර තීරණ ගැනීමේ අවධියකට ගමන් කරමින් සිටී. එය අලූත් තත්ත්වයකි. පිරිමි පාර්ශවයේ උසස් අධ්‍යාපන ප්‍රතිශතය යම් තරමකින් පහල ගොස් ඇති අතර රැර්‍කයාවක් කර උපයන පිරිස කාන්තාවන් බවට පත්ව තිබේ. ජාතික ආදායමට කාන්තාව දක්වන දායකත්වය ක්‍රමයෙන් වැඩි වෙමන්‍ තිබේ. කාන්තාවන් තවත් බල ගන්වන අතරතුර පිරිමි පාර්ශවය උසස් අධ්‍යානයට තව තවත් පොළඹවන කාර්ය භාරයට උරදෙන්නේ කෙසේ දැයි සාකච්ඡාවට ගැනීම අද පවතින අවශ්‍යතාවයකි.
නමුත් සලකා බැලියයුතු පැත්තක් තිබේ. ලාංකේය කාන්තාව අධ්‍යාපනයෙන් පොහොසත් නමුත් තීරණ ගැනීමේ අංශයට කාන්තාවන්ගේ ඇති නියෝජනය තවමත් දුර්වලය. ඉහළ තනතුරකට කාන්තාවක් පත් නොකරන්නට ඇති සියලූ අවස්ථා උපයෝගී කරගන්නට අදටත් මෙරට සමාජය උනන්දු බව පෙනේ. කාන්තාව රටේ ඉහළම තනතුරු වලට පත්වීමෙන් ආදර්ශයක් සපයා ඇති අප රට තුළ ජාතික ආර්ථික දේහයට අධ්‍යාපනයෙන් කාන්තාවන් ලබා ඇති දියුණුව දායක කර නොගැනීම ගැටලූවකි. පවතින වාතාවරණය අනුව ඉතා දුප්පත් රැකියා අවස්ථා වලට කාන්තාවන් ගෙන් බහුතරය කොටු වී සිටී. ආධිපත්‍ය ඇත්තේ පිරිමින්ටය.
ඒ අනුව සම්ප්‍රදායික කෘෂිකර්මයේ වැඩිම ශ්‍රමදායකත්වය උසුලන්නේ කාන්තාවන්ය. වි ගොවිතැනට කාන්තාවගේ දායකත්වය සහ තේ රබර් වගා වල දී කාන්තාවන්ට ලැබෙන රැකියාව එයට උදාහරණයකි. ඇගලූම් ඇතුලූ කාර්මික අංශයේ වැඩි ඉපැයීමකට දායකත්වය දක්වන්නේ ද කාන්තාවන්ය. මැද පෙරදිග ඇතුලූ වෙනත් රටවලට ගොස් රටට විනිමය උපයාදෙන පිරිස අතර වැඩි පිරිස කාන්තාවයි. මෙම සියලූ අංශ වැඩි අධ්‍යාපනයක් ඇති කාන්තාවන් නියෝජනය කරන ක්ෂේත්‍ර නොවේ. එහි දී දැක ගත හැකි වන්නේ කාන්තාවන්ගේ ධෛර්යය සහ යමක් උපයා පවුල නගා සිටුවීමට දක්වන උවමනාවයි. උසස් අධ්‍යාපනයක් නැති කොටස ආර්ථිකයේ විශාල පරාසයක් ආවරණය කරන විට සමාජයේ ස්ත්‍රි පුරුෂ භාවය අනුව උසස් අධ්යානපනය සහිත ප්‍රතිශතයක් වශයෙන් වැඩි පිරිස කාන්තාවන් වන විට යම් ගැටලූවක් ඇති බව වටහා ගැනීම අවශ්‍යය.

දහම් අධ්‍යාපනය සහ ඉරිදා පන්ති තහනම් කරන යෝජනාව

එක් ප්‍රතිචාරයක්

milinda-prashna

2013.10.03 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ශ්‍රි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ විශාල තරගකාරීත්වයක් පවතී. ඒ හා සමානව නිදහස් අධ්යා‍පනයක් ගැන පොදු ජනතාව තුළ විශාල විශ්වාසයක් ඇති බව පෙනේ. පවතින රටාව අනුව මෙරට පාසල් පද්ධතිය සහ එහි පැවැත්ම ඉතාම සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ. රජය අධ්‍යාපන පහසුකම් වෙනුවෙන් වාර්ෂිකව සෑහෙන වියදමක් කරයි. පාසල් පද්ධතිය නඩත්තුව සහ සිසුන්ගේ පොත පත වෙනුවෙන් එය වැය කෙරේ. නිල ඇදුම් සපයයි. තෝරාගත් පාසල් සිසුන්ට දිවා ආහාරය සහ පාවහන් සපයන්නට ද රජය මුදල් වෙන් කරන බව අනාවරණය වෙයි. මෙම සියලු වියදම් අතරතුර අධ්‍යාපන සම්බන්ධ ගැටලු රැසක් පවතින බව නිරීක්ෂණය කළ හැකිය.
දරැවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් දෙමවුපියන් දරන වෙහෙස එයින් ප්‍රමුඛය. ජාතික මට්ටමේ පාසලක් සොයා ගැනීමට දෙමවුපියන් මහන්සිවෙයි. එය වටා නොයෙකුත් නීතිවිරෝධී ක්‍රම පැන නැගී ඇත. නිතිපතා පාසලට දරැවන් යවන අතරතුර අතිරේක අධ්‍යාපන වෙනුවෙන් කාලය සහ ධනය වැය කරන බව ප්‍රකට කරැණකි. ළදරැ අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වාද සහ එයින්ද නොනැවතී වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් ද අතිරේක පන්ති වෙළද පොලක් රට තුළ බිහිවී තිබේ. එය පැවතෙන්නේ වානිජ මුහුණුවරකින්ය. පාසල් කාලයෙන් පසු අතිරේක පන්තියකට සහභාගී නොවන දරැවෙකු නැත. තෘතිය අධ්‍යාපන ප්‍රවේශය වෙනුවෙන් රට තුළ ඇති පහසුකම් අඩු වන විට අතිරේක පන්ති වලින් තොරව හොද ප්‍රතිඵල ළගාකරගත නොහැකි බවට මතයක් ගොඩනැගී තිබේ. අධ්‍යාපනය නිදහස් නමුත් පවතින පුද්ගලික අතිරේක පන්ති රටාව ඉදිරියේ එය සාක්ෂාත් කර ගන්නට දරන වියදම කිසිසේත් සරල සහ පහසු එකක් නම් නොවේ.
පාසල් දරැවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අතිරේක පන්ති අත්‍යාවශය සාධකයක් බව නිරායාසයෙන් පත්ව ඇති අවස්ථාවක සමාජය තුළ තවත් වැදගත් අදහසක් ද පැන නැගී ති‍බේ. මෑතක දී දහම් පාසල් අධ්‍යාපන ගැන තොරතුරැ සොයා දැන ගැනීමේ අවස්ථාවක් උදා කරගතිමි. කොළඹ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන දුරකථන නාමාවලිය නිකුත් කරන දහම් සභාව අතරතුර දහම් අධ්‍යාපනට කැපවූ හිමිපාණන් වහන්සේලා සහ ඉරැදින දහම් අධ්‍යාපනය නගා සිටුවනු කැමැති වියතුන් ඉරිදා පෙරවරැවේ අතිරේක පන්ති තහනම් කළ යුතු බවට මතයක් ගොඩනගන බව පෙණින. සබරගමුව පලාත සහ කඹුරැපිටිය ප්‍රාදේශීය සභා ප්‍රදේශය තුළ දැනටමත් ඉරැදින පෙරවරැවේ අතිරේක පන්ති තහනම ක්‍රියාත්මක බව මෙහිදී අනාවරණය විය. තවත් ප්‍රදේශ වල එවැනි තහනමක් තිබිය හැකිය. බොදුනු දහම් අධ්‍යාපනයට පමණක් නොව කිතුනු සහ හින්දු අන්යව ආගමික අධ්‍යාපනයට ද සතියකින් යම් කාලයක් වෙන් කිරීම ඉතා වැදගත් බවට විවාදයක් නැත. විශේෂයෙන් පවතින සමාජය තුළ ගුණ ධර්ම පිරිහීම සහ දුරාචාර වර්ධනයවීම යන කරැණ ගැන නැගෙන අදහස් අනුව නම් දරැවන්ට දහම් අධ්‍යාපනය ඉතාමත් අවශ්‍යය.
ගැටලුව ඇත්තේ නීති පැනවීමය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ නීතියෙන් කළ හැකි දේ සීමා සහිතය. නීති පනවන විට එය අභිබවා අනෙක් අදහස් ද පැන නගියි. අධ්‍යාපනයේ නොසිතූ විරෑ අවශ්‍යයතා පැන නැගෙන්නේ එහි ඇති නොයෙක් ගැටලු හෙයින් බව වටහා ගත යුතුය. දරැවන් දහම් අධ්‍යාපනයට යොමු කළ යුතු බව දැන දැනම ‍දෙමවුපියෝ තම දරැවන් අතිරේක පන්තියට යවන්නේ අන්ත දෙකම අත්හැරිය නොහැකි හෙයිනි. සමාජය තුළ ගොඩ නැගී ඇති පසුබිම විද්වතුන්ගේ අවධානයට යොමු විය යුතුය. පාසල් අධ්‍යාපනය සංකීර්ණ සහ එහි අවස්ථා උදා කරගැනීම නීරස තරගයක් වන විට දරැවන්ට දහම් පාසල් යන්නැයි බල කිරීම නිරර්ථක වෑයමකි. දරැවන් ශිල්පයෙහි කෙළ පැමිණිය ද ඔවුන් ශික්ෂණයෙන් පිරිහී නම් ගොඩනගන අනාගතය පල නැති බව ද දැක්විය යුතුය. නීතිය වෙනුවට අන්ත දෙක අතර ගැලපීමක් සොයා ගන්නට සමාජය දක්වන උනන්දුව ඉතාමත් වැදගත්ය.