ඛනිජ තෙල් පරිහරණයෙන් ඉවත්වීමට නෝර්වේ සම්මුතියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021/09/22 – ලංකාදීප

උතුරු යුරෝපා රටක් වන නෝර්වේ රාජ්‍යයෙහි මැතිවරණය පසුගිය දා පැවැතිණ. වාමාංශික,කම්කරු  පක්ෂය බහුතර ආසන ගණනක් දිනාගෙන අලූත් ආණ්ඩුව පිහිටුවා තිබේ.

ඡන්ද ප‍්‍රතිඵලය සාකච්ඡුා කිරීම වෙනුවට ඡන්ද වේදිකාවේ දිග හැරණු පැති ගැන අවධානය යොමු කිරීම සුදුසුය. කාලගුණ විපර්යාස ප‍්‍රධාන මාතෘකාව විය. යුරෝපා රටවල් අතර ප‍්‍රධානම තෙල් නිෂ්පාදකයා වන නෝර්වේ රජය තෙල් සහ ගෑස් නිෂ්පාදනය අවම කරන්නට සුදානමිය. පොසිල ඉන්ධන දහනයෙන් වායුගෝලයට සිදුවන හානිය ගැන මැතිවරණයේ දී විශාල අවධානයක් දක්වන ලද අතර බොරතෙල් හා ගෑස් කර්මාන්තය පාලනය කරන ආකාරය, මැතිවරණයට තරග කළ ප‍්‍රධාන පක්ෂ තුන ජනතාව හමුවේ තැබූ පොරොන්දු අතර ඉහළින්ම සටහන් වී  තිබුණි.

තෙල් හා ගෑස් අලෙවියෙන් අති විශාල ධනයක් උපයන නෝර්වේ රාජ්‍යය පොසිල ඉන්ධන නිෂ්පාදනයෙන් ඉවත්වීම ගැන ඡන්ද ප‍්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ වෙන්වී තිබුණි. කම්කරු පක්ෂය ක‍්‍රමානුකූලව ඉවත්වන බව දක්වන ලද අතර හරිත පක්ෂයේ අදහස වූයේ තෙල් ගවේශණ කටයුතු පවා වහාම නතර කිරීමය. කොන්සවටිව් පක්ෂය අතරමැදි තීරණයක පිහිටා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ කර ඇති බව සදහන් කළ යුතුය.

ඛනිජ තෙල් ක්ෂේත‍්‍රය නෝර්වේ රාජ්‍යයෙහි දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහ හතරක් වන අතර එරට අපනයන වලින් සියයට හතලිහක් බව දැක්වෙයි. දහසය ලක්ෂයකට වැඩි පිරිසක් කර්මාන්තයෙහි නිරතව සේවය කරති. ලෝකයේ විශාලතම ස්වෛරීත්ව අරමුදල නෝර්වේ රාජ්‍යය සතුවන අතර එහි වත්කම ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 1.4 කි. මෙවැනි පසුබිමක් සහිතව පවා පොසිල ඉන්ධනවලින් ඉවත්වීමට කරන යෝජනා එරට ජනතාව ගේ අමන්දානන්දයට හේතු වී තිබෙන බව මැතිවරණ ප‍්‍රතිඵලය පෙන්වයි. ජයග‍්‍රාහී කම්කරු පක්ෂය බදු සංශෝධන හා සංවර්ධනය ගැන  ද කරුණු දක්වන ලද නමුත් පරිසරය ගැන සලකා කළ යෝජනා වලට ජනතාවගේ වැඩිම අවධානය යොමු වී ඇති බව පෙනේ.

තවමත් අත නොතබන ලද තෙල් සහ ගෑස් නිධි නෝර්වේ රාජ්‍යයට තිබේ. කලින් බලයේ සිටි පක්ෂය පවා තෙල් නිෂ්පාදනය ක‍්‍රමයෙන් සීමා කරන තීරණයක සිටියේය. එරට ඇති තෙල් සම්පත ගැන සලකන විට තවත් පරම්පරා ගණනකට ආදායම් ඉපැයිය හැකි බව පැහැදිලිය. තෙල් සහ ගෑස් පරිභෝජනය පවා සීමා කරන නෝර්වේ රාජ්‍යයෙහි ජල විදුලිය උත්පාදනයක් ද තිබේ. මෑත කාලීන වාර්තා දක්වන පරිදි තෙල් පරිහරණය අවම කරන තීරණ ගෙන ඇති රටකි. විදුලියෙන් ධාවනය වන වාහන භාවිතයට වේගයෙන් නැඹුරු වී ඇති අතර විදුලිය වාහන මිල දී ගැනීමේ දී සහන සැපයේ. එය ඉන්ධන පරිහරණය අධෛර්යය කරන තීරණයකි. අතර දැනට විකිණෙන වාහන වලින් සියයට හැත්තෑවක් විදුලිය වාහන  බව දැක්වෙයි.

ඛනිජ සම්පත් වලින් පොහොසත්ය. ලබාගත හැකි වාසි පැත්තකින් තබා පරිසරය වෙනුවෙන් කැපවීම මිල කළ නොහැකි පරිත්‍යාගයකි. ලෝක ව්‍යාප්තව ටෙන්ඩර් කැදවා තෙල් හා ගෑස් නිධි ඉක්මනින් බදු දීමෙන් පමණක් නෝර්වේ රටට උපයාගත හැකි ධනය අති විශාලය. පරම්පරා ගණනක් පොහොසත් කළ හැකිය. එවැනි තීරණ කෙරෙහි නොඇලෙන එරට පාලකයෝ මැතිවරණ වේදිකාවේ දී පවා පරිසරය ආරක්ෂා කරන වගකීම ගැන අවධානය යොමු කර ඇත.

තෙල් හා ගෑස් ගවේශන කටයුතු කෙරෙහි නැවත වරක් අලූතින් කල්පනා කරන ශ‍්‍රී ලංකාව නෝර්වේ රාජ්‍යයෙහි තීරණ ගැන කල්පනා කිරීම සුදුසුය. ජාත්‍යන්තරයෙහි මතුවන ප‍්‍රවණතා ගැන සැලකිල්ල යොමු කළ යුතුය. නෝර්වේ රාජ්‍ය්‍ය පමණක් නොව යුරෝපා, ඇමරිකා හා මැදපෙරදිග රටවල් ගණනාවක් පොසිල ඉන්ධන අවම කරන ප‍්‍රතිපත්ති අනුව කටයුතු කරති. පරිසර ආරක්ෂාව ගැන සැලකිල්ල ඉදිරියෙන් තබා තිරණ ගනිමින් සිටිති. තවත් දශක දෙක තුනකින් ඛනිජ තෙල් හා ගෑස් වෙළද පොල වෙනස් විය හැකි අතර ඉල්ලූම පහත වැටෙන අවදානමක් ද ඇත. රටට වාසිදායක සේ මතු පිටින් පෙනෙන තීරණයක අභ්‍යන්තරය අවාසි සහගතය. සැලකිය යුතු අවදානමක් ද තිබේ.

බාමියන් බුදුපිළිම රැකීමට තලේබාන්ලා ගෙන් පොරොන්දුවක් අවශ්‍යයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021/09/15 – ලංකාදීප

වසර විස්සකට කලින් ඇෆ්ගනිස්ථානය ගැන ලාංකේය බොදුනු ජන කොටස්වලට මහත් උනන්දුවක් තිබුණි. තලෙයිබාන්වරු බාමියන් බුදු පිලිම විනාශ කරන ප‍්‍රහාරයක් එල්ල කළ අතර ලෝකවාසී බෞද්ධ ජනතාව පමණක් නොව සමස්ථ මනුෂ්‍ය සංහතියම විස්මයට පත් වූහ. බාමියන් බුදුපිලිම වලට හයවැනි සියවස දක්වා ඉතිහාසයක් තිබේ. එකක් මීටර් 38 ක් සහ අනෙක මීටර් 55 උස මෙම ශෛලමය ප‍්‍රතිමා ගාන්ධාර ලක්ෂණ සහිතය. තලෙයිබාන්වරු එයට එල්ලකරන ලද බර අවි ප‍්‍රහාර වලින් ලෝක උරුමයක් සේ සලකන මෙම ප‍්‍රතිමා සහමුලින්ම විනාශයට පත් වූ බව මතක් කළ යුතුය..

ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් මෙම පිලිම නැවත ප‍්‍රතිශ්ඨාපනය කරන සේ යෝජනා කළහ. නමුත් ප‍්‍රතිඵලයක් අත් වූයේ නැත. සහෝදර ජනතාව කුසගින්නේ සිටිය දී ලෝක ප‍්‍රජාව බාමියන් පිලිමවල ආරක්ෂාව සදහා මුදල් වැය කිරීම ගැන තලෙයිබාන්වරු අමනාපයෙන් පසුවූ අතර ලෝක අවධානය වෙනස් කිරීම මෙම විනාශයට තුඩු දුන් හේතුව බව, එකල ඇතැම් තලෙයිබාන් නායකයෝ ප‍්‍රකාශ කරන ලද බව ජාත්‍යන්තර වාර්තා දක්වයි.

හිටපු පාලකයන් පලවා හරින ලද තලෙයිබාන්වරු ඇෆ්ගනිස්ථානයේ තාවකාලික රජයක් ස්ථාපිත කර තිබේ. වසර විස්සකට කලින් බාමියන් ලෝක උරුමය විනාශ කළ පිරිස අද වගකිවයුතු තැන්වලය. ඇෆ්ගනිස්ථානය වෙනස් කරමින් සිටී. සංවර්ධනයෝජනා ක‍්‍රම ගැන කතා කරයි. ඉස්ලාම් නීති අනුගමනය කරන බව පෙනේ. කාන්තා නියෝජනයක් රහිත තලෙයිබාන් නායකයන්ගේ කැබිනට් මණ්ඩලයක් ඉක්මනින් පත් කරනු ඇතැයි කියැවේ. පළවෙමින් පවතින තොරතුරු අනුව නුදුරු කාලයේ දී තලෙයිබාන් පාලනය ජගත් ප‍්‍රජාවගේ පිලිගැනීමට ලක්වන බව පැහැදිලිය.

තලෙයිබාන්වරු බලය අත්පත් කරගැනීම සමග ජාත්‍යන්තර දේශපාලනය ද කැළඹී තිබේ. ඇමරිකානු හමුදා ඉවත් කරගැනීමෙන් පසු හිතවාදී රටවල් නිශ්ශබ්ධ වී සිටින බව පෙනේ. පකිස්තානය, ඉන්දියාව, චීනය හා රැසියාව වැනි රටවල් අලූත් පාලකයන් සමග නිල සම්බන්ධතාන අරඹන්නට ඉඩ ඇත. එවැනි පැති ගැන අවධානය යොමු කළ යුතුය. රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා සමග ඉදිරියේ අලූත් ව්‍යුහයක් නිර්මාණය වෙමින් තිබෙන බව පැහැදිලිය.

ශ‍්‍රී ලංකාව අනුගමනය කරන ස්ථාවරය ගැන පැහැදිලි කරගැනීම වැදගත්ය. බොදු උරුමය වෙනුවෙන් පෙනී සිටින රටක් වශයෙන් බාමියන් ප‍්‍රතිමා ගැන සදහනකට යා යුතුය. ලෝක වාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් තීරණයක් ගැනීමට සිදුවෙයි. ඇෆ්ගනිස්ථානය හා ශ‍්‍රී ලංකාව අතර සබදතා ඇති කරගන්නට සිදුවුවහොත් එයට කලින් බාමියන් බුදු පිලිම ගැන ප‍්‍රකාශයක් නිකුත් කිරීම කාලෝචිතය. නැවත ස්ථාපනය කිරීම හෝ දැනට එරට ඇති අනෙක් ඓතිහාසික වැදගත්කමක් සහිත පුරාවස්තු ආරක්ෂා කරන බවට සහතිකයක් ඉල්ලා සිටිය හැකිය. මහා සංඝරත්නයට හා බෞද්ධ සංවිධාන වලට මෙකී කාරණය ගැන ගැඹුරෙන් සලකා බැලීම සුදුසුය. බෞද්ධ ජනතාව ශක්තිමත් යෝජනාවක් රජයට ඉදිරිපත් කළහොත් එය ජගත් ප‍්‍රජාව හමුවේ තබන අවස්ථාවක් රටට තිබේ.

බාමියන් බුදු පිලිම බුදු දහමේ සංකේතයකි. එක සමාජයකට හෝ ජන කොටසකට අයත් වස්තුවක් නොවේ. බුදු පිලිම විනාශ කිරීම හිත් සසල කළ සිදුවීමකි. එක්සත් ජාතීන්ට අනුබද්ධ යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් බව ප‍්‍රකාශ කරන තීරණය තුළ එම සංකල්පය ගැබ්ව ඇත. මතු පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කරගත යුතු සංකේත වෙනුවෙන් හඩක් නගන වගකීමක් අපට තිබේ.

අද පවතින වාතාවරණයෙන් පසු ඇෆ්ගනිස්ථානයේ සිවිල් යුද්ධය අවසන් වනු ඇතැයි සැලකේ.තලෙයිබාන් නායකයන්ට රට නගා සිටුවන පියවර අනුගමනය කරන්නට බාධාවක් නොවන්නට ඉඩ තිබේ. සංවර්ධනය උදෙසා ජගත් ප‍්‍රජාව ආධාර කරන්නට කලින් ඔවුහු සිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිලිවෙත් අනුගමනය කරන බව ලෝකය ඉදිරියේ දැක්විය යුතුය. ත‍්‍රස්තවාදය වෙනුවට සාමය තහවුරු කර සියළු ආගම් හා සියළු ජාතීන්ට එක හා සමානව සලකන බව ඔප්පු කිරීම සදහා බාමියන් ප‍්‍රතිමා නැවත ප‍්‍රතිශ්ඨාපනය ගැලපෙන සහතිකයක් වනු ඇත.

ජනතා ආහාර ප්‍රශ්නයට මුලින් විසදුම් අවශ්‍යයයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021/09/08- ලංකාදීප 

බඩ වියත රැකගැනීම ගැන ජන ව්‍යවහාරයක් තිබේ. සියළු පරිශ‍්‍රම කුස ගිනි නිවා ගන්නට බව සදහන් කළ යුතුය. බුදු රජාණන් වහන්සේ ගොවියෙකුට ධර්මය දේශනා කරන ලද අවස්ථාවක් බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙයි. කුස ගින්නේ සිටි ගොවියාට ආහාර ලැබෙන්නට සලස්සවා ඇත. කුස පිරුණ පසු සිත සන්සුන් වූ අතර ධර්මය අවබෝධ කරගත් බව දැක්වෙයි. අධිකව ආහාර ගෙන මහත් අපහසුවෙන් බුදුන් හමුවීමට පැමිණි සිටුවරයෙකු ගැන ද සදහන් වන අතර ක‍්‍රමයෙන් ආහාර අඩුකරන ආකාරය බුදු රජාණන් වහන්සේ එහි දී දේශනා කර තිබේ. 

කොවිඞ් තර්ජනයෙන් ජීවිත අනතුරටක පත්ව ඇති කාලයකි. සමාජයේ පහල පන්තියේ ජනතාවට ආහාර හිගය. හිගය වෙනුවට ඔවුන්ට එහි මිල දැනේ. තවත් කොටසක් අතිශය සුඛිත මුදිතව වෙසෙති. ජන සමාජය තුළ ඇති නැති පරතරය වඩාත් දරුණු ලෙස පැතිරී ඇති බව වටහා ගත යුතුය. 

කොවිඞ් පාලනය කර ගැනීමට ගෙන යන කර්තව්‍ය පැසසුම් කටයුතුය. නොයෙක් අභියෝග මැද සෞඛ්‍ය අංශ සමග එකතු වී ඇති ආරක්ෂක අංශ කැපීපෙනෙන මෙහෙවරකය. වෙළද පොල හැසිරිම තුළ සාමාන්‍ය ජනතාවට අපහසුතා මතු වී තිබේ. සියළු ආහාර ද්‍රව්‍ය මිළ ගණන් ඉහළ නැග ඇත. එදිනෙදා අවශ්‍ය වන ආහාර වල මිල විශේෂිතය. මෙම ස්වභාවය ගැන තියුණු අවධානයක් අවශ්‍යය. සහල්, පරිප්පු, සීනි, පිටි, එලවලූ හා මස් මාලූ මිල දරාගැනීම අපහසුය. වියලි කහ මිළ ගණන් වැඩිවන විට ජනතාවව එය මැදහත්ව ඉවසූහ. පිටරටින් ගෙන්වන දේ නතර කරන තීරණයට විරෝධය පළ කළේ නැත. එහෙත් රට තුළ නිපදවන, එලවලූ හා පලතුරු වල පවා මිල අසාමාන්‍ය ලෙස ඉහළ නැග ඇති බව වෙළද පොල වාර්තා දක්වයි. එය සතුටුදායක තත්ත්වයක් නොවේ. ආනයනකරුවන්ට, තොග හා සිල්ලර වෙළෙදුන්ට දෝෂාරෝපණය කර තත්ත්වය පාලනය කරගත නොහැකි බව අවධාරණය කළ යුතුය. 

ආර්ථික ප‍්‍රශ්න පැන නැගෙන හදිසි අවස්ථා තේරුම්ගත හැකිය. සුදුසු පරිදි විසදුම් නිර්මාණය කිරීම අවශ්‍යය.  එයින් වර්ධනයක් සිදුවෙයි. එකී පරිවර්තනය ගැන හුවා දක්වන්නට ආර්ථික විශේෂඥයන්ට හැක. එහෙත් පළමුවෙන් ජනතාවගේ කුසගින්න ගැන අවධානය අවශ්‍යය. ප‍්‍රතිසංස්කරණ හා ආයෝජන ගැන තීරණ ගන්නා අතරවාරයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගැන ද කල්පනා කිරීම සුදුසුය.  

මුලික ආහාර සපයා ගැනීමට ඇති පහසුව රටක සංවර්ධනයේ එක ලක්ෂණයකි. ඇමරිකාව, චීනය, බි‍්‍රතාන්‍ය, ඉන්දියාව හෝ තායිලන්තය වැනි රටවල පවා ආහාර වෙනුවෙන් ජනතාව ගෙවන මිල සාධාරණ එකකි. ඉතාම දුප්පත් දරු පවුලකට පවා එදා වේල ජීවත් විය හැකි පසුබිමක් තිබේ. බොහෝ රටවල වියලි ආහාරවල මිල ඉතාම අඩුය. සහල්, පරිප්පු, අර්තාපල් හෝ ලූනු වලට වැඩි වියදමක් නැත. නමුත් ඒවා රසවත්ව පිස අලෙවිකරන අවන්හල්වල දී ආහාර වේලකට අධික මුදලක් ගෙවන්නට සිදුවෙයි. සිංගප්පුරුව වැනි රටවල අඩු මිලට පිසූ ආහාර විකුණන තැන් තිබේ. ඒවා සාමාන්‍ය ජනතාවට පහසුවකි. ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ මහ ඇමැතිනියව සිටි ජයලලිතා මහත්මිය අම්මා නමින් බොජුන් හලක් චෙන්නයි හි 2013 දී ආරම්භ කළේය. එහි බත් වේලක් රුපියල් පහකි. පසුව ඔඩිස්සා, කර්නාටක හා අන්ද්‍රා ප‍්‍රදේශ වෙත ව්‍යාප්ත වූ අතර දැන් නව දිල්ලියේ පවා සමහර ව්‍යවසායකයෝ එම නමින් අඩු මිලට ආහාර සපයති. 

ඇමරිකාවේ ද සමහර ප‍්‍රාන්තවල සුපිරි හෝටල්වල පරිභෝජනය නොවූ ආහාර එකතුකර දුප්පත් ජනතාවට බෙදා හරින සංවිධාන තිබේ. ජනහිතකාමී පුද්ගලයෝ ඒවා පරෙස්සමෙන් එකතුකර ආකර්ශනීය ලෙස පැකැට් කර, ගෞරවාන්විතව දුප්පත් ජනතාව ගේ අතට ලැබෙන්නට සලස්වති. ස්කැන්ඩිනේවියානු රටවල ටින් හා පැකැට් කල ආහාර පවා කල් ඉකුත්වෙන දින ආසන්නයේ දී ඉතාම අඩු මිලට වෙනම විකුණන ස්ථාන ඇත.  

සියළුම දෙනා එකම වෙළද පොලක යැපෙන්නට සලස්වා අධික ජීවන බරකින් පීඩාවට පත් කිරීම වෙනුවට අලූත් පැති වලට යොමුවීම කාලෝචිතය. එදිනෙදා ආහාර වෙනුවෙන්  දුක් විදින, එක්තරා ජන කොටසක් අද දවසේ ඉසිලිය නොහැකි පීඩාවකින් පසුවන බව සිහි තබා ගැනීම වගකිවයුතු අංශවල යුතුකමකි. 

ආර්ථික ස්ථාවරත්වයට ඉන්දීය  මුදල් ඇමති යන මග

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021/09/01 – ලංකාදීප

කොවිඞ් වසංගතයේ මතුපිට භයානකකම ජනතාවට වැටහී තිබේ. අභ්‍යන්තරය ගැන ගැඹුරු අවබෝධයක් තිබිය යුතුය. මුහුදේ පාවෙන අයිස් ශිඛරයක පතුල අපට පෙනෙන්නේ නැත. ටයිටැනික් ගැටෙන්නේ එවැනි අයිස් කන්දකය. කිසිදා විනාශ කළ නොහැකි බව සනාථ කර තිබුණ එම නැවේ ගමන් ගත් මගීහු බලවත් විශ්වාසයකින් සිටියේය. අවසානයේ දී කිසිදා අමතක කළ නොහැකි ඛේදවාචකයක වේදනාව ජගත් ප‍්‍රජාවට ඉතිරි කළේය.

කොවිඞ් වැළෙදන රෝගීන්, එයින් අසරණ වන අහිංසක පවුල් ගැන කම්පාවන ජනී ජනයා ආර්ථිකය පවතින බිහිසුණු තැන ගැන වටහා ගැනීම වැදගත්ය. බලවත් කම්පනයක් ඇතිකරමින් නොපෙනෙන, ආර්ථික අයිස් ශිඛරයක ශී‍්‍ර ලංකාව නමැති නැව ගැටී තිබේ. ලෝකයේ නොයෙක් රටවල් එකී ඉරණමට මුහුණ පා ඇත. ආර්ථිකයකට දැනට ඇති කර තිබෙන විනාශය ගැන කලබලයට පත් ව සිටී. ගැලවීමක් තකා නොයෙක් පියවර ගනිමින් පසුවන අවස්ථාවකි. බර අඩු කර, ආර්ථිකය සැහැල්ලූ කරන තීරණ මගින් සැනසිලිදායක තීර්ථයක් කරා ගමන් කළ හැක. තීරණාත්මක මොහොතක විවිධ මතවාද, පරස්පර විරෝධී අදහස් තවත් කුණාටු ඇති කරන බව සදහන් කළ යුතුය.

කිසිම දෙයක් කරගත නොහැකි තැනකට පත් වූ ටයිටැනික් නැව පරිදි සංගීත කණ්ඩායමේ මිහිරි වාදන මැද ගිලී වැනසෙන හෝ නිර්භීත පියවරකින් පසු දුෂ්කර ගමන් මාර්ගය වෙනස් කරන හැකියාවක් තිබේ. ඉන්දිය රජය යෝජනා කර ඇති සැලසුම හොද උදාහරණයකි.

ඇමරිකානු ඩොලර් බිලියන අසූ එකක් නොඑසේනම් එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට තුනක් පමණ උපයා ගන්නා වසර හතරක සැලැස්මක් ඉන්දීයාව ප‍්‍රකාශයට පත් කර ඇත. මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය දක්වන පරිදි මහා මාර්ග, දුම්රිය සේවාවේ වත්කම්, ගුවන් තොටුපොල, විදුලිය බෙදාහැරීමේ අංශ සහ ගැස් නල පද්ධති ඇතුළු රජය සතු දේපොල වලින් සෑහෙන කොටසක් පුද්ගලික අංශයේ ආයෝජනය සදහා වෙන් කරනු ඇත. කිසිසේත් ඉන්දියාවේ ජාතික සම්පත් හෝ වත්කම් විකිණීමක් වශයෙන් හදුන්වන්නට එතුමිය කැමැති නැත. ඉදිරියේ දී  ඉන්දියානු රජයට අයත් වත්කම් පුද්ගලික අංශයට පවරන සැලැස්ම සවිස්තරාත්මකව ප‍්‍රකාශයට පත් කරන්නට යෝජිතය.  භාරත් පෙට්‍රෝල්, එයාර් ඉන්දියා සහ ලයිෆ් ඉන්ෂුවරන්ස් වැනි ඉන්දීය රජයේ සමාගම් වල කොටස් ද පැවැරීමට යෝජනා වී තිබේ. අවදානම් සහගත ආර්ථික පරිසරය තුළ ගත යුතු ක‍්‍රියාමාර්ග ගැන දීර්ඝ සංවාදයක් මධ්‍යම රජයේ ඇමැතිවරු එකොලොස් දෙනෙකු සමග වෙනම ම පවත්වා ඇති මුදල් අමාත්‍යවරිය රට තුළ පැන නැගිය හැකි බාධක ගැන ද අවධානය යොමු කර ඇත. සවිස්තරාත්මක සැලසුම සමග කරුණු ඉදිරිපත් කරන අතර මෙම යෝජනාව මගින් පවතින අඩු වර්ධනය වේගවත් කිරීමට පුද්ගලික අංශයේ සහාය ලබා ගැනීම ඉතා වැදගත් බව පෙන්වා දී තිබේ.

වසර විසිපහක් සදහා කාලයකට ආයෝජන අවස්ථා පැවැරෙන බව සදහන්ය. අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ උපායශීලි ආයෝජන අවස්ථා පුලූල් කිරීමේ ප‍්‍රතිපත්තියෙහි එක කොටසක් වනු ඇති අතර ජාතික වැදගත්කමක් සහිත තෝරාගත් ව්‍යවසාය සීමිත කොටසක් පමණක් රජය භාරයේ ඉතිරි කරගනු ඇතැයි දැක්වෙයි. ඉන්දීය ආණ්ඩුවේ බදු ආදායම විශාල වශයෙන් පහත වැටී තිබේ. කොවිඞ් වසංගතය සියළු අංශ අඩපණ කර තිබේ. සහන සදහා සෑහෙන ධනයක් වැය කරන්නට සිදුවී ඇත. අය වැය පරතරය ඉහළ ගොස් ඇති අතර හිගය පියැවීමට අනුගමනය කරන  ක‍්‍රියාමාර්ග ජනතාව පීඩාවට පත්වීම වැලැක්වීම ඉන්දීය රජයේ අරමුණකි.

පොදු ජනතාව ගේ ජීවිත ආරක්ෂා කරගත යුතුය. වසංගතයට මුහුණ දෙන අතරවාරයේ ආර්ථිකය ද අලූතින් ගොඩනගන ක‍්‍රම ගැන සාකච්ඡා කිරීම අවශ්‍යය. තව තවත් ණය බර ඉසිලිය නොහැකිය. දුෂ්කරතා මැද පවත්වාගෙන යන කාලවකවානුවක ලිහිල් බව ඇති කරගන්නා ආකාරය පැවැත්ම තහවුරු කරනු ඇත. ජනතා අපේක්ෂා සාක්ෂාත් කරන අතර දැනට වේගයෙන් වැඩිවෙන ආර්ථික පීඩනය අවම කරන කාලෝචිත ක‍්‍රියාමාර්ග ශ‍්‍රී ලංකාවට ද අනුගමනය කරන්නට සිදුවනු ඇත.