2013.12.25 – ලංකාදීප අවස්ථාව අත් නොහරින්නට නම් ගත යුතු මග

2013.12.25 – ලංකාදීප අවස්ථාව අත් නොහරින්නට නම් ගත යුතු මගහි ප්‍රතිචාර වසා ඇත.

2013.12.25 – ලංකාදීප – මිලින්ද මොරගොඩmilinda-prashna

ලෝකය පරිවර්තනය ආකාරය අනුව අලූත් අවස්ථා උදාවෙයි. ආර්ථික සහ සමාජ දියුණුවට මෙම ඇතිවන අවස්ථා ඉවහල් කර ගැනීම ඉතාමත් වැදගත්ය. නිදහස ලබා ගැනීමෙන් පසු ගත වූ දශක හයකට වැඩි කාලය තුළ රටට අත්පත් වූ සහ මග හැරී ගිය ආයෝජන අවස්ථා සමාලෝචනය කිරීම වැඩදායක බව පෙනේ.
දෙවන ලෝක යුද්ධයට පසු ජාත්‍යන්තර ආර්ථිකයේ තරගකාරීත්වය ක‍්‍රමයෙන් වර්ධනය විය. ඇමරිකානු සහ රුසියානු සීතල යුද්ධය අවසන්වන විට එය තවත් තීරණාත්මක තැනකට පැමිණියේය. විවෘත ආර්ථික ක‍්‍රමය සහ ලෝකය තුළ අවස්ථා වැඩිපුර බිහිවන්නට පටන් ගත්තේය. ජපානය ඒවා උපයෝගී කරගෙන පැන නැගුන රටකි. දෙවන ලෝක යුද්ධයේ පරාජිත රටක් වූ ජපානය වේගවත් ආර්ථික පරිවර්තනයකට පසු ආර්ථික අතින් බලවත් ශක්තියක් අත් පත් කරගත්තේය. අලූතින්ම සැලසුම් කළ හෙයින් කාර්මික නිෂ්පාදන තාක්ෂණික අතින් ද කාර්යක්ෂමතාවය අතින් ද ඉදිරියට පැමිණෙන්නට ඔවුන්ට හැකියාව ලැබුණි. එයින් එරට ජන ජීවිතය ද ඉහළට නැගිණ. කලින් අඩු මුදලට තිබුණ ශ‍්‍රමයට ගෙවන මිළ තරමක් වැඩිවන විට එරට ආයෝජකයන් අඩු වියදමකින් ශ‍්‍රමය උපයා ගැනීම වෙනුවෙන් ලෝකයේ වෙනත් රටවලට ව්‍යාපාර ව්‍යාප්ත කරන්නට උවමනාවක් ඇතිවිය. ජපානයේ ආයෝජන ආකර්ශනය කර ගැනීමට ඉතාමත් හො`ද පසුබිමක් එවකට නිර්මාණය වී තිබුණ නමුත් අයහපත් පැත්ත වූයේ ශ‍්‍රී ලංකාවට වර්ධනය වෙමින් තිබූ ත‍්‍රස්තවාදයයි. යුද ගැටුම් වලින් පාඩම් ඉගෙනගෙන තිබූ ජපානය ශ‍්‍රී ලංකාව ආයෝජනයට තෝරා ගත්තේ නැත.
ආර්ථික ජයග‍්‍රහණ සමග ලෝකයේ ඉදිරියට පැමිණි දකුණු කොරියාව ද මෑත කාලය තුළ තමන්ගේ ආයෝජන පුලූල් කරන මග ආසියාවේ රටවල් වලින් සොයා බලමින් සිටියේය. නමුත් ජපානයේ පමණක් නොව දකුණු කොරියාවේ ආයෝජන ද සාර්ථකව උපයා ගැනීමේ හැකියාවක් අපට අහිමිවිය.
ආර්ථික සහ සමාජ සංවර්ධනයට දේශීය ව්‍යවසාය පමණක් නොව ජාත්‍යන්තර ආයෝජන ද රටකට වැදගත්ය. තාක්ෂණය සහ ධනය අලූතින් එකතුවන විට අඩු මිලට නිෂ්පාදනය සහ ලෝක වෙළ`ද පොලට තරගකාරීව අපනයනය කරන්නට ඉඩ කඩ විවර වෙයි. මැදි ආදායම් රටක් නැගෙන ශ‍්‍රී ලංකාවට ඉදිරියට යන්නට නම් ජාත්‍යන්තරයෙන් අවස්ථා අත්පත් කරගැනීම ඉතාම අවශ්‍ය සාධකයකි. ජපානයෙන් සහ දකුණු කොරියාවෙන් මග පාදාගත නොහැකි වූ ශ‍්‍රී ලංකාවට චීනයෙන් ආයෝජන ළ`ගා කරගන්නට වාතාවරණයක් අද සැකසෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. චීන ආර්ථිකය වේගයෙන් දියුණුවීම සමග එරට ප‍්‍රධාන පෙලේ ආයෝජකයන් සිය කම්හල් දක්ෂ ශ‍්‍රමය ඇති සහ වියදම අඩුවෙන් ව්‍යාපාර මෙහෙයවන්නට පසුබිම ඇති රටවල් ගැන අවධානයෙන් පසුවෙයි. මෙය අත් හැරිය යුතු නැති මොහොතකි.
තොරතුරු සන්නිවේදනය, ප‍්‍රවාහනය යනා දී වශයෙන් මෙරට යටිතල පහසුකම් දියුණු වී ඇත. මානව සම්පත ලොව කිසිදු රටකට නොදෙවෙනිය. නිෂ්පාදකයන් අවධානය යොමුකරන වෙළ`ද පොළ විශාලත්වය වැනි සාධකයකට ඉන්දු ලංකා නිදහස් වෙළ`ද ගිවිසුම කදිම උත්තරයකි. වරාය, තරගකාරීව නිපදවන දේ ඉන්දියාව ප‍්‍රධාන කරගෙන ආසියාවට සපයන්නට ශ‍්‍රී ලංකාව මධ්‍යස්ථානයක් කර ගත හැකිය. මෑතක දී චීනය සහ ශ‍්‍රී ලංකාව අතර ද නිදහස් වෙළ`ද ගිවිසුමක් අත්සන් කළ අතර චීන ආයෝජකයන්ට එයින් යම් පිටිවහලක් ද ලබා ගත හැකිවෙයි. චීන ව්‍යාපාරික අංශ ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ සොයමින් සිටින අවස්ථා මෙරටින් සැපයිය හැකි නම් එය ආර්ථික ජවය ඇති කරන්නකි. අලූත් අදහස් ඇති දේශීය ව්‍යාපාරිකයන්ට චීන සමාගම් සමග එකතු වී පුලූල් වෙමින් පවතින ආර්ථික අවස්ථා උපයා ගැනීම ගැන විමසිල්මත්වීම රටට සමාජයට ඉටු කළ හැකි වැදගත් මෙහෙවරකි.

Advertisements

E- සාප්පු සවාරියෙන් ගුවනින් භාණ්ඩ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2013.12.18- ලංකාදීප- මිලින්ද මොරගොඩ

ලෝකය ඉතා ඉක්මනින් පරිවර්තනය වන බව දැනෙන්නට පටන්ගෙන තිබේ. තාක්ෂණය භාවිතාවට පැමිණීම එයට හේතුවක් බව පැහැදිලිය. කෘෂි යුගයෙන් කාර්මික යුගයට පැමිණෙන්නටත්, එතැනින් කර්මාන්ත සහ සේවා යුග වලට අවතීර්ණ වන්නටත් ලෝකය ගත කළ කාලය සෑහෙන එකකි. නමුත් තාක්ෂණික යුගය සමග ලෝකයේ මුහුණුවර වෙනස්වන්නට ගතවන කාලය ඉතාමත් කෙටි එකක් බවට පත්ව තිබේ.
දුරකථනය සොයා ගෙන එය රැහැන් රහිත එකක් බවට පත්වන්නටත්, අන්තර් ජාලය භාවිතාවට පැමිණීම සහ තොරතුරු තාක්ෂණය ජන ජීවිතයට බද්ධවීමත් ගත කරමින් සිටින සියවසේ විශාල වෙනස්කම් ජනිත කර තිබේ. එයට අලූතින්ම එකතුවී ඇත්තේ භාණ්ඩ ප්‍රවාහනයයි. තමන්ට අහස පාලනය කළ හැකි නම් අවුරුදු පහක් ඇතුලත පාරිභෝගික භාණ්ඩ ප්‍රවාහන අංශයෙහි පෙරැළියක් කළ හැකි බව මෙම සේවාවෙහි නිරත ආයතනයක් ප්‍රකාශ කර තිබේ.
එය කරන්නේ කෙසේද? ප්‍රකාශ වී ඇති ආකාරය අනුව පාරිභෝගිකයෙකුට තමන් මිලදී ගන්නට කැමැති භාණ්ඩයක් ඇනවුම් කළ හැකිය. එයට සාප්පු සවාරියක් යන්නට අවශය නැත. අන්තර් ජාලයෙන් සොයා බලා තත්ත්වයෙන් උසස් මිල අඩු දේ තෝරා ගැනීමට හැකියාව ලැබෙන අතර අන්තර්ජාල ගෙවීම් මගින් බිල්පත පියැවීමට ද හැකිය. තමන් තෝරා ගත් භාණ්ඩය අධික රථවාහන තද බදය මැද කලට වේලාවට ලැබේදැයි සැක ඇති කර ගත යුතු නැත. නියමුවන් රහිත කුඩා ගුවන් යානා තාක්ෂණික උපදෙස් භාවිතා කරමින් ඇනවුම් කරන ලද භාණ්ඩය ඉක්මනින් ගුවනින් ගෙන ගොස් පාරිභෝගිකයා අතටම පත් කරන්නට දැන් සූදානමක් තිබේ. ඇමේසන් නමැති සමාගම සහ එයට එකතු වූ ඉ-කොමස් නමැති වෙළ`දාම් ක‍්‍රමය පාරිභෝගිකයා වෙත භාණ්ඩ යවන්නට නියමුවන් රහිත යාන්ති‍්‍රක මෙවලම් භාවිතාවට ගෙන තිබේ. අහසේ සැරි සරන ගුවන් යානා, අහස උසට තැනෙන ගොඩනැගිලි සහ නියමුවන් රහිත යානා යන සියල්ල කළමනාකරණය කළ හැකි තාක්ෂණික පද්ධතියක් සකස් කරන්නට හැකියාව ඇත්නම් ඉදිරි අවුරුදු පහ ඇතුලත කාර්ය බහුල තැනක් කළ හැකි බවට මෙම සමාගම දැනටමත් පුරෝකථනය කරයි.
මෙතැන දක්වා පැමිණ ඇත්තේ පණිවුඩ හුවමාරු කිරීමේ වයාපාරය බව අමතක කළ යුතු නැත. අලූත් අදහසක් කි‍්‍රයාත්මක කළ ඇමරිකාවේ පුද්ගලයෙකු අශ්වයන් කුලියට ගනිමින් තැනින් තැනට ඉක්මනින් පණිවුඩ ගෙන යන්නට සමත්විය. එය වේගවත් පණිවුඩ හුවමාරුවක ආරම්භයයි. පසුව පෙඩරල් එක්ස්ප‍්‍රස් වූ මෙම ආයතනය අනුව යමින් රෝයල් තැපැල්, යු,පී,එස්, ඞී.එච්,එල් ඇතුලූ නොයෙකුත් වේගවත් භාණ්ඩ හුවමාරු සමාගම් බිහිවන්නට පදනම සැකසීය. එහි ඉදිරි පියවර වූයේ මුදල් තැනින් තැනට යැවීමයි. පණිවුඩයකින් ආරම්භ වී පසුව වේගයෙන් මුදල් යවන්නට හැකි ආකාරය දක්වා පරිවර්තනය විය. දුරකථනය සමග පණිවුඩ හුවමාරුව වේගවත් වන විට එයින් මුදල් යවන්නට එවන්නට නොහැකි බව වටහා ගත් සමාගම් තමන්ගේ මුල් අදහස් වෙනස්කර වෙස්ටන් යුනියන් වැනි ලෝක ප‍්‍රකට ආයතන බිහි කළේය. පණිවුඩය සහ මුදල් හුවමාරුව වේගවත්ව කරන්නට ආයතන අවශය නැති තැනට ජාතයන්තරය පත්ව තිබේ. ජංගම දුරකථනය සහ බැංකු ජාල ගතවීම සමග වෙනස් වූ පරිසරය ජය ගන්නට සූදානම් වන්නේ භාන්ඩ ප‍්‍රවාහනයෙහි අලූත් පැති අනාවරණය කර ගනිමින් බව අවබෝධ කර ගත යුතුය. මුල් යුගයේ අරමුණ වූ ලියුම් බෙදා හැරීම පමණක් තමන්ගේ වයාපාරය සේ සලකා කි‍්‍රයා කළේ නම් මෙවැනි වෙනසක් අද ඇතිවන්නේ නැත. ලියුමක් හෝ පණිවුඩයක් යැවීම වෙනුවෙන් ආයතන නඩත්තු කිරීම අත්‍යාවශ්‍ය සේවාවක් බව අද ලෝක ප‍්‍රජාව විශ්වාස කරන්නේ නැත.
අන්තර් ජාලයෙන් ලෝකයේ නොදන්නා නිෂ්පාදකයෙකුගෙන් ඇනවුම් කළ භාණ්ඩයක් තමන්ගේ නිවස ඉදිරිපිටට පැමිණෙන යාන්ති‍්‍රක මෙවලමකි‍ එය පරෙස්සමෙන් අතහැර යන මොහොත උදාවන තෙක් අහස දෙස බලා සිටින සමයක් ඉදිරි දශකය ඇතුලත අපට ද උදාවිය හැකිය. මෙම පරිවර්තනය අද සිදුවෙමින් පවතී.

දැව කර්මාන්තයට නව මංෙපත් විවර වීම ‍

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2013.12.11 -ලංකාදීප – මිලින්ද මොරගොඩ

මොරටුව ප්‍රසිද්ධ දැව කර්මාන්තයටය. ගහට ගහක් හමුවන බව කියන මොරටුව එම කියමන තව දුරටත් තහවුරු කරගැනීමේ උවමනාවක සිටින බව පෙනේ. දැව කර්මාන්තය සම්බන්ධයෙන් අනන්‍යතාවයක් මොරටුවට තිබිය යුතු නමුත් කර්මාන්තය සම්බන්ධව ඒකාධිකාරයක් එහි තිබිය යුතු නැත. පසුගිය මාස ගණන තුළ මොරටුව ප්‍රදේශයේ පැවැති නොසන්සුන් තත්ත්වය පෙන්වන්නේ කර්මාන්තයේ අධිපතිභාවය වෙනුවෙන් පවතින අරගලයේ පැතිකඩකි.
ග`ග දිගේ නගරයට පා කරගෙන ආ දැව ක`දන් මොරටුවේ දක්ෂ ශිල්පීන් ගේ අතට පත් වූ අතර රටට අවශ්‍ය ගෘහ භාණ්ඩ නිපදවීමට එහි පසුබිම සැකසිණ. ගෘහ භාණ්ඩයක උසස් තත්ත්වය සහ නියම දැව යොදා කරන නිෂ්පාදන බවට රට පුරා පිළිගැනීමක් තිබුණේය. කර්මාන්තය ගැන දැනුම පමණක් නොව දැව ඉරා පදම් කොට සකස් කර ගැනීමේ හැකියාව ද තිබුණේ මෙහි ජීවත් වූ පිරිසටය. නමුත් තාක්ෂණය සහ කාලය සියල්ල වෙනස් කර තිබේ. පහසුවෙන් දැව ඉරා කැටයම් කපා ඔප දමා ගන්නට මිනිස් අත් වලට නොදෙවෙනි යන්ත්‍ර දැන් නිපදවා ඇත. ඒවා මෙහෙයවන දැනුම ඇති කණ්ඩායම රට පුරා විසිරී සිටින අතර තව දුරටත් දැව කර්මාන්තය මෙරට එක තැනෙකට අනන්‍ය වී නැත. ලී බඩු පමණක් නොව එයට විකල්ප වශයෙන් භාවිතයට පැමිණි ප්ලාස්ටික් සහ දැව හා සමාන ආනයනික කෘතීම නිෂ්පාදන දැව කර්මාන්තය තුළ විශාල වෙනසක් ඇති කර තිබේ. දැව භාණ්ඩ මිලදී ගන්නට මොරටුවට එන්නට සූදානමක් නැති අවස්ථාවක එම කර්මාන්තයෙන් ජීවත් වූ විශාල පිරිසක් අපහසුතාවයට පත්ව සිටී.
තමන් නිෂ්පාදනය කරන දැව භාණ්ඩ වලට මිලක් නැති සහ වෙළ`ද පොළ තරගකාරීත්වයට මුහුණ දිය නොහැකිව සිටින පිරිස පාරට පැමිණ විරෝධතා දක්වන්නට පටන්ගෙන ඇත. සම්ප්‍රදායික දැව ශිල්පීන් ලක්ව ඇති ගැටලූ වලට ආණ්ඩුව සහනාධාර සැපයීම උත්තරය නොවේ. ක්ෂේත්‍රය පිලිබ`දව පුලූල් අධ්‍යනයක් කර උත්තරයක් සෙවීම අවශ්‍යය.
ඉදිරි වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අය වැය යෝජනා වල ද දැව ප්‍රවාහනයට තිබූ බලපත්‍ර ක්‍රම ලිහිල් කර තිබේ. නීති ඉවත් කර පුරවැසියන්ට සමාන අවස්ථා උදා කිරීම වැදගත්ය. නීතියක් අවශ්‍යය නමුත් එය අනවශ්‍යය ආකාරයකට බලපවත්වන විට එයින් වඩාත්ම පීඩාවට පත්වන කොටසක් ද සිටින බව අමතක කළ යුතු නැත.
නමුත් ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණය හමුවේ ගහ කොළ සීමාවකින් තොරව කපා ප්‍රයෝජනයට ගැනීම සුදුසු නැත. දැව කර්මාන්තය ආශ්‍රිතව ව්‍යවසායකත්වය දියුණු වී රැකියා සහ ආර්ථික ප්‍රබෝධයක් ඇති වන්නේ නම් රටට වැදගත්ය. පැවති නීති අනුව ස්ථාන මාරුවක් ලබන මහේස්ත්‍රාත්වරයෙකුට පවා තමන්ගේ ගෘහ භාණ්ඩ ප්‍රවාහනයේ දී ග්‍රාම නිලධාරී සහතිකයක් අවශ්‍යය. තොරතුරු වාර්තා වන පරිදි මෙරටින් ගෘහ භාණ්ඩ අපනයනය කරන්නේ නම් එම නිෂ්පාදන කෞතුක වටිනාකමක් රහිත බවට ජාතික කෞතුකාගාරයේ අනුමැතිය අවශ්‍යය. මහේස්ත්‍රාත්වරයෙකුට ග්‍රාම නිලධාරීවරයාගේ අනුමැතිය ගන්නට සිදුවීම සහ දැව භාණ්ඩ අපනයනයේ දී කෞතුකාගාරයේ අනුමැතිය අවශ්‍යය වීම මෙම ක්ෂේත්‍රය අදට ගැලපෙන පරිදි වෙනස් වී නැති බව පෙන්වන සරල කරුණු දෙකක් පමණකි.
ලෝකයේ වෙනත් රටවල දැව කර්මාන්තයෙහි නිරත ශිල්පීහු තාක්ෂණ දියුණුව සමග අලූත් පැති කරා යොමුවන අතර විශ්ව විද්‍යාල වල පවා දැව කර්මාන්තය ආශ්‍රිත උසස් අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය හිමිය. ශ්‍රී ලංකාවේ ද කර්මාන්තය දියුණු විය යුතු අතර වෘත්තීය ගරුත්වය ඇතිකළ යුතුය. අදටත් පරම්පරා ගණනක් මොරටුවේ ජීවත් වූ දැව කර්මාන්ත ශිල්පීන්ගේ ජීවිත එදා තත්ත්වයට වඩා වෙනස් වී නැති අතර මොරටුවේම පිහිටි විශ්ව විද්‍යාලයේ හෝ අලූතින් ඉගෙනගෙන දැනුමෙන් පොහොසත්වන අවස්ථා පාදා දී නැත. එහෙයින් අවසානයේ දී තමන්ගේ ලී බඩු විකුණාගත නොහැකිවන කර්මාන්තකරුවන්ට පාරට පැන විරෝධතා පළ කරනු විනා කළ හැකි අන් මගක් නැත.

කාන්තාව ව්‍යවසායකත්වයෙන් දියුණු කරමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2013.12.04 – ලංකාදීප- මිලින්ද මොරගොඩ

ලබන වසර ස`දහා රජය ඉදිරිපත් කළ අය වැය යෝජනා වල කාන්තාවන්ට වයස අවුරුදු 68 දක්වා පොලී රහිතව ණයක් ලබා ගැනීමේ අවස්ථාවක් යෝජනා කර තිබේ. වැදගත් හා බැරැරුම් තීරණ ගත යුතු සංධිස්ථානයකට ශ්‍රී ලංකාව පැමිණ ඇත. අය වැය යෝජනාව අනුව වරප්‍රසාදය හිමිවිය හැකි පිරිස සීමිත විය හැකිය. නමුත් කාන්තාවන්ට නිසි තැන ලබාදීමට යම් පියවරක් ගැනීම රටට වැදගත් සංකේතයකි. විවාහයට පෙර බාල සහෝදරයන්ට, විවාහයෙන් පසු සැමියාට හා සැමියාගේ වියෝවෙන් පසු තම පිරිමි දරුවන්ට ද අවනතව සිටින්නට සම්ප්‍රදායික කාන්තාවට සිදුව තිබේ. වර්තමාන සමාජයේ වුව ද යටි තලයෙන් පෙනෙන්නට ඇති සත්‍ය එයයි. මෙම අසමානතාව දුරු කිරීමට අදහස් හා සංවාද විවිධ අන්දමට මතුවූ නමුත් එය ප්‍රායෝගිකව අවසන්ව නැත. කාන්තාව ආර්ථික අතින් ශක්තිමත් කර ව්‍යවසායකයන් බවට පත්කරන මග සකස් කිරීම එයට හො`ද විකල්පයක් වනු ඇත.
ඉන්දියාව එරට කාන්තාවන් වෙනුවෙන් වෙනම වානිජ බැංකුවක් පිහිටුවන තීරණය ගෙන ඇත. කැමැත්තට සහ අවශ්‍යතාවයට ඉඩ සැලසෙන අයුරින් තීරණ ගැනීමට කාන්තා බැංකු පද්ධතියකින් අවකාශ සැලසෙනු ඇත. විශාල ජනගහනයක් සහිත ඉන්දියාව පුරුෂාධිපත්‍යට නතුව සිටි රටක් බව ඉතිහාසය සාක්ෂි දරයි. එවැනි රටක කාන්තාවන් වෙනුවෙන් බැංකුවක් පිහිටුවීම පෙරුළිකාර තීන්දුවකි. නමුත් ශ්‍රී ලාංකේය සමාජය පොදුවේ ක්‍රියාකරන අතරවාරයේ සුවිශේෂී අවස්ථාවලදී කාන්තාවන්ට නිසි තැන ලැබෙන ආකාරයට ප්‍රතිපත්ති තීරණය කිරීම වැදගත්ය.
1938 අවුරුද්දේ දී දෑවැද්ද ඉල්ලීම තහනම් කළ යුතු බවට ඒ. පී. ද සොයිසා මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආවේය. එතුමන්ට නොයෙක් දෙනාගේ විවිධ විචේචන වලට මුහුණ පාන්නට සිදුවිය. පනත විවාද කර එය සම්මත කර ගැනීමට ඡන්දය විමසන අවස්ථාවේ පක්ෂවත් විපක්ෂවත් ලැබුණේ එකම ඡන්ද ගණනකි. කථානායකවරයා සිය තීරක ඡන්දය පණතට විරුද්ධව ප්‍රකාශ කළේය. එහෙයින් එය පරාජයට පත් වූ අතර එදා සිට මේ දක්වා කිසිදු පාර්ලිමේන්තු සැසිවාරයක දී දෑවැද්ද තහනම් කිරීමේ යෝජනාව කතා කර නැත. නමුත් අද කාන්තාවන් අපහාසයට පත්වන අනෙක් වෘත්තීන් නීතිගත කරන ලෙස සමාජයට යෝජනා කරමින් සිටී. එවැනි අවස්ථාවක අයවැය මගින් සුළු වශයෙන් හෝ කාන්තාවන් ව්‍යවසායකයන් බවට පත් කරන යෝජනා ඇතුලත් කිරීම සැලකිල්ලට භාජනය කිරීම වටී.
ආර්ථිකයේ වැඩි දායකත්වයක් උසුලන, නීතිය, අධ්‍යාපනය අතින් ඉදිරියෙන් සිටින හා ජනගහනය වශයෙන් ද සුලූ වැඩිවීමක් පෙන්වන කාන්තාව සකසුරුවම සහ පවුලේ අනාගතය සම්බන්ධව ගැඹුරෙන් සිතන පිරිසකි. අද මෙරටින් පිටත්ව මැද පෙරදිග ඇතුළු රටවලට යන පිරිස අතර ද කාන්තාව බහුලය. කටුක ජීවිතගත කරමින් නුපුහුණු ශ්‍රමිකයන් ලෙස පිටරට වැඩකරන කාන්තාවන් රටට ශෝක ජනක සිද්ධි ඇති කළ අවස්ථා අමතක කළ යුතු නැත. රටට වැඩිම විදේශ විනිමය උපයනනමුත් ලාංකික කාන්තාවන් රට තුළම ජීවත් වෙමින් ඔවුන්ට ගරුත්වයක් විය හැකි ව්යනවසායකත්වයට නැඹුරු කිරීම වැදගත්ය. දැනටත් සුළුවෙන් ආරම්භ කළ ව්‍යවසාය ඉතාම ඉහළට ගෙනවිත් ව්‍යාපාරික අංශයේ පෙරමුණ ගෙන ඇති කාන්තාවන් එයට ආදර්ශයකි. එය පහසු ගමනක් නොවන බව එකී කාන්තා ව්‍යවසායකයන් දක්වන බව නිසැකය. සමාජයේ සියලූම පොදු කටයුතු වලදී ඉදිරියෙන් සිටින්නේ කාන්තාවයි. ගම් මට්ටමේ ප්‍රජා සංවිධාන වල කාන්තා නියෝජනය වැඩිය. ඕනෑම සමිතියක, ඕනෑම ආගමික කටයුත්තක ඉදිරියෙන් ඇත්තේ කාන්තා නියෝජනය වැඩි වශයෙන් පෙනේ. එම ශක්තිය රටට සහ සමාජයට වැඩදායක ලෙස උපයෝගී කරගැනීමේ වගකීමක් අප සතුව ඇත. එවැනි වෙනසක් ඇති කළ හැකි නම් කාන්තාවන් ව්‍යවසායකත්වය අතින් දියුණු වන විට අන් අසමානතා දුරුවීමට පදනමක් ඇතිවනු ඇත.