සුපිරි වෙළ`දාමේ නව ප්‍රවනතා

එක් ප්‍රතිචාරයක්

milinda-prashna

27.08.2014- ලංකාදිප- මිලින්ද මොරගොඩ

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට අත්‍යාවශය පරිභෝජන භාණ්ඩ මිළදී ගැනීම ස`දහා සති පොළ සිට සුපිරි වෙළ`දසැල දක්වා විහිදුන අවස්ථා පවතී. සති පොළට පැමිණ එහි ඇති නොයෙක් සුවිෙශ්ෂි දේ මිළදී ගනිමින් සති පොළක පවතින සංස්කෘතිය වි`දින්නට මෙරට පාරිභෝගිකයින්ගෙන් යම් කොටසකට රුචිකත්වයක් ඇත. ඔවුන්ගේ අරමුණ දුර බැහැර තැන්වලින් එකතු කරගන්නා නොයෙක ආවේනික ආහාර ද්‍රව්‍ය මිළදී ගැනීමටය. නාගරික ප්‍රදේශවල සංකීර්ණ ජීවිත ගත කරන ඇතැමුන් තමන් බාලවියේ දී ආහාරයටගත් නමුත් දැන් සොයා ගැනීමට නොහැකි ඵලවැල සහ ධාන්යා සති පොළේ දී මිළ ගෙවා අත්පත් කරගන්නේ මහත් තෘප්තියකින්ය.

සුපිරි වෙළ`ද පොළ එයට වෙනස් තැනකි. මුල් කාලයේ ඒවා කෙරෙහි සාමාන්‍ය ජනතාව ආකර්ශනය වූයේ නැත. ධනවත් ඉහළ පැලැන්තියක කොටසක් වැඩි මිළක් ගෙවා නොයෙක් වෙළ`දනාම වලින් විකුණන ආනයනික දේ මිලයට ගැනීමට එහි යන බව එකල පාරිභෝගිකයෝ නිගමනය කරනලද බව නිරීක්ෂණය කරනවිට පෙනේ. නමුත් රට තුළ මැදි ආදායම් ලබන ජනකොටස වැඩි වන විට සහ කාර්යබහුල සංකීර්ණ සමාජයක් බිහිවන විට එහි ජීවත්වන පාරිභෝගිකයන් නිතැතින්ම සුපිරි වෙළ`දසැළ කරා ආකර්ශනය වෙයි. එහි ගොස් භාණ්ඩ මිළදී ගැනීම සහ සුපිරි වෙළ`ද සැලෙහි ගැවසීම එක්තරා විශේෂිත සමාජ මට්ටමක් ඇති කරනු ඇතැයි අපේක්ෂාවෙන් ද මෙම වෙළ`දසැල් කරා යොමුවන කොටසක් ද සිටී.

කෙසේ නමුත් මෑත කාලය තුළ මෙරට සුපිරි වෙළ`ද සැල් වලින් මිළදී ගැනීමට සාමාන්‍ය පාරිභෝගිකයන් පවා නැඹුරු වෙමින් පවතින බව වෙළ`ද වාර්තා දක්වයි. රටක ආර්ථිකය දියුණුවන විට දැකිය හැකි වෙනස එයයි. මැලේසියාවේ වෙළ`දාමෙන් සියයට හැටක් පමණ සුපිරි වෙළ`ද සැල් වලින් සිදුවන අතර එරට දියුණුවන විට එය සිදුවූ බව දැක්වෙයි. ඉදිරි වසර දහය තුළ දැනට මෙරට සුපිරි වෙළ`ද සැල් වලට හිමි ප්‍රතිශතය සියයට දහසයක සිට ඉදිරි වසර දහය තුළ සියයට පනහ ඉක්මවනු ඇත. මෙරට සුපිරි වෙළ`ද සැල්වලින් කරන ගනුදෙනු වලදී සාමාන්‍ය යෙන් සියයට අසූවක් පමණ රුපියල් දහසකට අඩු වටිනාකමක බඩු භාණ්ඩ මිලදී ගැනීම් බව දැක්වෙයි, එක්තරා ප්‍රමාණයකට පමණක් වියදම් කළ හැකි කොටසක් මෙම සුපිරි වෙළ`දසැල් ජාල කරා යොමු වෙමින් පවතින බව මෙයින් පෙනේ.
මිළ සහ තත්ත්වය යන පැරණි ගුණාංග ආරක්ෂා කිරීම වෙනුවට පාරිභෝගිකයන්ට ගරු කිරීම සහ ඔවුන්ගේ තෝරා ගැනීමට මෙරට සුපිරි වෙළ`දසැල් ඉඩ දී තිබේ.

පාරිභෝගිකයා සතු මුදල සහ ඔහු මිළදී ගැනීමට අවශ්‍ය ප්‍රමාණය ගැන සුපිරි වෙළ`ද සැළ තකන්නේ නැත. සාමාන්‍ය වෙළ`ද සැළකින් අර්තාපල් ග්‍රෑම් සියයක් ඉල්ලා සිටියහොත් වෙළෙන්දා පාරිභෝගිකයා දෙස බලන්නේ අවඥාවෙනි. අර්තාපල් කිලෝ දෙකක් ඉල්ලන ගනුදෙනුකරු කෙරෙහි වැඩි අවධානයක් දක්වයි. මුදලාලි තරාදියට දමන අර්තාපල් ගෙඩි කිහිපය විනා තමන්ගේ පවුලට වේලකට සකස්කර ගැනීමට හැකි ප්‍රමාණයේ හෝ පලූදු ඇති ගෙඩි වෙන්කර ගැනීමට සාමාන්‍ය තැනෙක වැඩි ඉඩක් නැත. එවැනි විමසීමක් කරන ගනුදෙනු කරුවෙකුට ලැබෙන්නේ නරක ප්‍රතිචාරයකි. එය පුද්ගලික අංශයේ පමණක් නොව රාජ්‍ය අංශයේ වෙළ`දාමේ දී ද දකින්නට ඇති සාමාන්‍ය කරුණකි.
තමන්ට අවශ්‍යදේ පරෙස්සමෙන් තෝරාගෙන අවශ්‍ය ප්‍රමාණයෙන් මිළදී ගැනීම වෙනුවට දෙනදේ රැ‍ගෙන යන පාරිභෝගික රටාව වෙනස් වී තිබේ. ගනුදෙනු කරුට සවන්දෙන සහ ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරන වෙළ`දාමක් කරා සුපිරි සැළ පරිවර්තනය වී තිබේ. මැදි ආදායම් ලබන රටක පාරිභෝගිකයන්ගේ ආකල්ප සහ හැසිරීම පර්යේෂණය කර වෙළ`ද ප්‍රතිපත්ති තීරණයකර ඇති අතර මෙවැනි සුළු හැ`ගවීමකින් වෙළ`දාම තුළ සිදුවී ඇති පරිවර්තනය ව්‍යාපාරික අංශ සිය අවධානයට ගත යුතුය.

හුදෙක් දෙයක් විකිණීම පමණක්නොව වෙළ`ද සැලට පැමිණෙන පාරිභෝගිකයාගේ බිල්පත් ගෙවන්නට සහ අවශ්‍ය නම් කැමැති වේලාවක් ගතකර භාණ්ඩ තෝරා ගැනීමට ඉඩදීම ද තර`ගකාරී වෙළ`ද අංශ අධ්‍යනය කළ යුතු පැති සේ සැලකිය හැකිය. පවතින නව ප්‍රවනතා සලකා ඒවාට අනුගත වීමට වඩා සුපිරි වෙළ`ද සැලට අභියෝගවන අලූත් සේවා සම්පාදනයට සාමාන්‍ය ව්‍යාහපාරික අංශ යුහුසුළු වියයුතුය. එය තර`ගයක් ඇති කරන අතර වාසිය ලැබෙන්නේ පාරිභෝගිකයාටය.

රටක වටිනාකම ඉහළ නංවන මැතිවරණ වියදම් පාලනය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

20.08.2014 – ලංකාදිප – මිලින්ද මොරගොඩ
මහජන නියෝජිතයන් තෝරාගැනීමට ඡන්ද පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ යහපත් ලක්ෂණයකි. මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයෙකු සිය ඡන්ද දායකයන්ගේ අවධානය දිනාගැනීමට කරන වියදම සුළු පටු එකක් නොවන බවට අදහසක් පැන නැගී තිබේ. එයට සමාන්තරව යමින් ලෝකයේ නොයෙක් රටවල් අපේක්ෂකයන් මැතිවරණයකදී කරන වියදම පාලනය කර සමාන අවස්ථා සපයන්නේ කෙසේද යන බරපතල ගැටලූවට විස`දුම් සොයමින් සිටී.
බ‍්‍රසීල මැතිවරණය ලබන ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වෙන විට අපේක්ෂකයන්ට ප‍්‍රචාරක අනුග‍්‍රහය එරට රජයේ වියදමින් කරන සූදානමක් ගැන අනාවරණය වෙයි. එයට අනුව ප‍්‍රධාන අපේක්ෂකයන්ගේ රූපවාහිනී දැන්වීම් වියදමින් සියයට අසූවක් බ‍්‍රසීලය ගෙවන අතර නාලිකාව නරඹන ග‍්‍රාහක ප‍්‍රතිශතය සහ ජයග‍්‍රහණය ස`දහා අපේක්ෂකයන්ට ඇති හැකියාව සම්බන්ධ විශේෂ මිනුමකට අනුව එය සිදුවනු ඇත.

එපමණක් නොව මෙම නාලිකා ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයේ දී අපේක්ෂකයන්ට දෙන ගුවන් කාලය ද මෙකී ප‍්‍රමිති අනුව සීමා කර තිබේ. එම තීරණ අනුව සෑම අපේක්ෂකයෙකුටම සමාන අවස්ථා සම්පාදනය කිරීමට හැකිවන අතර මැතිවරණ
ක‍්‍රියාවලිය යුක්ති සහගත එකක් කළ හැකි වෙතැයි බ‍්‍රසීලයේ අපේක්ෂාවයි. ඇමරිකාව මහජන නියෝජිතයන් මැතිවරණ වලට කරන වියදම සීමාකරන නොයෙක් නීති පනවා ඇත. පුද්ගලයන්ට හෝ සමාගම්වලට පවා පක්ෂ වලට හෝ
අපේක්ෂකයන්ට කළ හැකි පරිත්‍යාග යම් විනිවිද පෙනෙන ක‍්‍රමවේදයකට හසුරුවන්නට නීති පනවා තිබේ.

බි‍්‍රතාන්‍ය පවා දේශපාලන පක්ෂ වලට ලැබෙන ආධාර සහ ඒවා වියදම් කරන ආකාරය මහජනතාවට දැනුම් දිය යුතුය. ජර්මනිය අපේක්ෂක වියදම් කෙලින්ම ගෙවන අතර ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් ද මැතිවරණයක දී ලබන ඡන්ද ප‍්‍රමාණය අනුව වියදම් වලින් කොටසක් ආණ්ඩුවෙන් පියවන ක‍්‍රමවේදයක් අනුගමනය කරයි. මෙවැනි ක‍්‍රම මගින් මැතිවරණ වියදම් සම්බන්ධයෙන් පාලනයක් කරන්නේ ඇයි? මැතිවරණ වියදම් සහ අපේක්ෂකයන් අතර ගැවසෙන අනිසි ධනය රටක පාලනය කෙරෙහි කරන බලපෑම අඩු කිරීම වැදගත් හෙයින්ය. ඕනෑම රටක මැතිවරණයක දී අපේක්ෂකයන්ගෙන් කොටසක් කලූ සල්ලි උපයෝගීකර ගන්නා අතර ඒවායේ තරම අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරකට පත්වන බව පැහැදිලිව අනාවරණය වී තිබේ. නොයෙක් ක‍්‍රම වලින් අයථා ආකාරයට ධනය උපයන ඇතැමුන් ඒවා යොදවන්නේ තම අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාරයටය. ධනය නැති නොඑසේනම් සාධාරණව ධනය උපයන අපේක්ෂකයන් මෙම බලවත්කම හමුවේ අසරණ භාවයට පත්වෙයි.

මහජන නියෝජිතයෙකු වීමට මහා ධනයක් ආයෝජනය කළ යුතු වන අතර එම ධනය කවර ආකාරයකට හෝ උපයා ගත හැකි බව තහවුරු වෙමින් තිබේ. ඒ අනුව ඉතාමත් දුෂිත සහ අසාධාරණ ක‍්‍රම වලින් ජන මතය වෙනස් වන අතර තමන් වියදම් කළ ධනයට සරිලන ආකාරයේ ප‍්‍රති උපකාර අපේක්ෂාවෙන් ජයග‍්‍රාහකයන් සමග එකතුවන ඇතැමුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංග උල්ලංඝනය කිරීම බහුලව සිදුවන බව සෑම රටකින්ම ලැබෙන වාර්තා පෙන්වයි.
බ‍්‍රසීලය පමණක් නොව ලෝකයේ නොයෙක් රටවල් සහ ප‍්‍රතිපත්ති සම්පාදකයන් මෙම ගැටලූවට එරෙහිව විස`දුම් සොයමින් සිටින අතර එය පහසු හෝ සරල එකක් නොවන බව පැහැදිලිව පෙනේ. මහජන කැමැත්තෙන් ජනතා නියෝජිතයන් පත් කර ගැනීමේ මැතිවරණ ක‍්‍රියාදාමය සරල සහ ජනතාව ගරු කරන තත්ත්වයකට පත් කරගැනීම අභියෝගයකි.

මැතිවරණකදී දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් වටා එකතුවන මැර බලය සහ ධන බලය මහජන මතයට බලපෑමක් කරන තත්ත්වයට පත්ව ඇත්නම් එය සමාජ ප‍්‍රගමනයට බලවත් හානියකි. සර්ව ජන ඡන්ද බලය හිමි දීර්ඝ කාලයක් එය අත්හදා බලා නොයෙක් අත්දැකීම් ඇති ශ‍්‍රී ලංකාවට ද මැතිවරණ කි‍්‍රයාදාමයේ හො`ද නරක ගැන අවබෝධයක් තිබේ. ලෝකය යහපත් තැනක් කරන්නට සහ මහජන මතය නිසි ලෙස විමසන්නට අනුගමනය කරන ප‍්‍රතිපත්ති සම්බන්ධව අවධානයක් රට තුළ තිබිය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම පමණක් නොව එහි ඇති ගුණාංග ආරක්ෂා කරන ප‍්‍රයත්නය ද රටක වටිනාකම් ඉහළ නංවන බව අමතක කළ යුතු නැත.
මිලින්ද මොරගොඩ

ජන සංස්කෘතිය ජනගත කිරීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

13.08.2014 – ලංකාදිප – මිලින්ද මොරගොඩ

සෞන්දර්ය ශ්‍රී ලාංකේය ජන ජීවිතයේ අංගයකි. රට තුළ පවතින සංස්කෘතිය සහ ජන විඥාණය සමාජයේ තහවුරු වන්නේ පොදු ජනතාවගේ හැසිරීම, සිරිත් විරිත් සහ ඇදහිලි අනුවය. අතීතයේ සිට පැවැත එන ආකාරය මෙහි රටාවයි. සෞන්දර්ය අංග ජන සමාජයේ ආගම් අනුව අනන්‍යය. කතා කරන භාෂා විලාශය අනුව එකිනෙකට වෙනස්ය. ප්‍රදේශය අනුව ද නොයෙක් වෙනස් ගති ලක්ෂණ පෙන්වයි.
බලිතොවිල් සහ ශාන්තිකර්ම මෙම සංස්කෘතිය අතරින් සුවිශේෂී ස්ථානයක් ගනී. මිනිසාට බලපාන නොයෙක් රෝග සහ ව්‍යාධි වලට හේතුව අණවින සහ හදි හූනියං බව පැරැන්නෝ විශ්වාස කළහ. යක්ෂ සහ පේරේත වශයෙන් නොපෙනෙන බලවේග ඇති අතර මෙම බලවේග මිනිසුන්ට අතුරු ආන්තරා පමුණුවයි. මේඅ තරෙහි සෙත ශාන්තිය අත්පත් කරදෙන බලවේගයෝ ද වෙති.

විපත් පැමිණි අවස්ථාවල නරක දුරුකරන ලෙස සහ යහපත ළ`ගා කර දෙන ලෙස අයැදින වැසියෝ ඒ වෙනුවෙන් යකැදුරන් නොඑසේනම් ගුරුන්නාන්සේ ලවා අඩුම තරමින් අත්ත කහටිකක් හෝ මතුරා ගනිති. නැතිනම් කරන්නේ දෙහිගෙඩියක් කපා සියලූ අවගුණ ඉවත්කර ගැනීමය. බාලයන්ට බාලගිරිදෝෂ හටගනී. කාන්තාවන්ට කළුකුමාර දිශ්ඨටියකි. මහ සෝනාගේ සිට නොයෙක් නම් වලින් හැ`දින්වෙන යක්ෂයන් ගේ ඇල්ම බැල්ම මනුෂයන්ට වැටේ. මේවායේ බරපතලකම අනුව සුරයක් බැ`ද ආරක්ෂාකර ගැනීමේ සිට දහඅට සන්නියක් නටා ආතුරයා ආරක්ෂා කිරීම දක්වා විවිධය. බලියක් ඇරීම පමණක් නොව පණට පණක් දී ජීවිත ආරක්ෂාකරන යන්ත්‍ර මන්ත්‍ර යන ගුරුකම් ආරක්ෂා කර දියහැකි ශිල්ප දන්නා ඇදුරන් සිටී.

නොයෙක් දුෂ්කර අවස්ථාවන්හි දෙවි දේවතාවුන් ආමන්ත්‍රණය කර රටට ගමට සෙත් ශාන්තිය අපේක්ෂා කරයි. ගම් මඩුව එයින් එක් ශිල්පයකි. තවත් පළාතක දෙවොල් මඩුව යැයි ද කියැවේ. අස්වැන්න නෙලාගත්පසු ගම එකතු වී දුක දුරුකර සෞභාග්‍ය අපේක්ෂාවෙන් ගම්මඩුව පවත්වයි. එය පෙර සූදානමක් ඇතිව පිරිසිදුව කරන ශාන්ති කර්මයකි. සන්ධ්‍යාවේ ආරම්භ වී පහන්වන තුරු පවත්වන ගම්මඩුවේ දී දෝසාන්ධකාරයේ උපත සහ එයට හේතුවන එකිනෙකට වෙනස් අදෘෂ්‍යමාන බලවේග කැ`දවා ඒවා විග්‍රහ කර ජන මනස තුළ විශ්වාසය තහවුරු කරයි. පසු කාලීනව සන්නි ආකාරයට තමන්ට පැමිණි රෝග පීඩා පමණක් නොව ජනතාවට පීඩා කළ පාලන තන්ත්‍රයද නිර්දය උපහාසයට ලක් කරන අංග එකතු වී තිබේ.

මෙම සංස්කෘතික විශ්වාස සහ ඇදහිලි අද තකන්නේ නැත. යක්ෂයාගෙන් පහරකා ඇ`ග නිල් වී මැරී වැටී තිබූ බව මුතුන් මිත්තන් ස`දහන් කරනලද නමුත් අද තාක්ෂණය අනුව නම් එය හෘදයාබාධයකි. වෛද්‍ය විද්‍යාවෙි දියුණුව සමග මැරී වැටෙන්නට කලින් රෝගය හ`දුනාගෙන ප්‍රතිකාර කරන්නට හැකියාව ඇත. බටහිර වෛද්‍ය ක්‍රම නිසා විශ්වාස පලූදු වෙන්නට පටන්ගෙන තිබේ. අත් කහ මැතිරීමේ සිට සුරයක් බැ`දීම දක්වා‍ ක්‍රම අනුගමනය කරන්නේ කළාතුරකින්ය. එදා සමාජයේ වීරයන්වු බලිතොවිල් ඇදුරන්ට අද එය ජීවත්වීමේ වෘත්තියකි. රාත්‍රියක් පහන්වනතුරු ගායනා කරන විලාශය අමතක කරන අද සමාජයට සුපර් ස්ටාර් තර`ග එයට වඩා වැදගත් වී තිබේ.
පාරම්පරික ශිල්ප ක්‍රම සහ ඒවායේ ගති ලක්ෂණ අධ්‍යනයකර මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම අවශ්‍යතාවයකි. ශිල්පය දන්නා භවතුන් අදත් සිටින නමුත් ඔවුන්ගෙන් ඉගෙන ගෙන එකී සුවිශේෂී ලක්ෂණ අඛණ්ඩව අනුගමනය කරන්නට තරුණ පෙළට උනන්දුවක් නැත. නර්තනය හදාරන නමුත්, වෙස්බ`දින නමුත් එය හුදෙක් වානිජ අරමුණකින් පමණකි. ජන පර්යේෂකයන් සහ විශ්ව විද්‍යාල වියතුන් තොවිල් සහ ශාන්ති කර්ම ගැන නොයෙක් පර්යේෂණ පවත්වා ඒවා ආරක්ෂාකර ගන්නටත් පිළිගැනීමක් ඇති කරගන්නටත් උරදෙනබව පෙනේ.

ආණ්ඩුවට, පුද්ගලික අංශයට පමණක් නොව ජන මාධ්‍යටපවා මෙම අංග සංරක්ෂණය කර අනාගතය වෙනුවෙන් නඩත්තු කරන්නට කැප වියයුතුය. ඇතැම් රටවල් ලොතරැයි ආදායමෙන් කොටසක් යොදවා පරිතයාගශීලීන් සම්බන්ධකරගෙනන ඩත්තු අරමුදල් සකස් කරන ආකාරයේ යමක් අපටත් කළහැකිය. ගම්මඩුවක් යනු නොදියුණු යමක් නොව පැවැත්මේ අංගයක් බව සිතන්නට අප හුරුවිය යුතුය. ලෝකයේ නොයෙක් රටවල් දියුණුවන විට අතිවිශාල ධනයක් වියදම් කරන ව්‍යාපෘති වලින් ඉතිහාසය ගවේශනයකර ඒවා ඒ ආකාරයටම පවත්වාගෙන යන පරම්පරාවලට සුවිශේෂ උපකාර කරයි. ශ්‍රී ලංකාවට ද එවැනි උවමනාවක් ඇතිවිය යුතුය. සියලූ අංග තාක්ෂණයෙන් පටිගතකර සහ මුද්‍රණයෙන් තහවුරු කරන අතර තුර ශිල්පීය දක්ෂතා වැළලී යන්නට ඉඩනොදෙන වැඩ පිළිවෙලක් කෙරෙහි පොදු අවධානයක් අවශ්‍යය.

අදට ගැලපෙන පොලිස් සේවාවක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

06/08/2014 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

මෙරට මහජන ආරක්ෂාව, සහ සදාචාරය ඇති කිරීම සම්බන්ධයෙන් පොලිස් සේවාව සතු සුවිශේෂී කාර්යභාරයක් තිබේ. එසේ තිබියදී පොලිසියේ පැවැත්ම ගැන බාහිර සහ අභ්‍යන්තර විවේචනයක් ඇත. පොලිස් සේවාවේ නිරත නිලධාරීන්ට තම කාර්ය භාරය සහ එහි සිදුවිය යුතු වෙනස්කම් අලලා කියන්නට දෙයක් ඇතිබව පෙනේ. නිලධාරීහු තමන්ට ලැබෙන පහසුකම්ගැන අතෘප්තිමත්ය. එය අභ්‍යන්තර විවේචනය වන අතර ජනතාවට ද පොලිසිය සහ එය මෙහෙයැවෙන ආකාරය ගැන ගැටලූ ගණනාවකි.

පොලිසිය පිහිටවුයේ යටත් විජිත යුගයේදීය. නිදහසින් පසු ගතවූ කාලය තුළ මෙරට පොලිස් සේවාවට මුහුණ දීමට සිදුවූ අභියෝග ගණනාවකි. ත්‍රස්තවාදය එහි ප්‍රධාන තැනක් ගනී. නීතිය සහ සාමය ආරක්ෂාකිරීමේ වගකීම හැරෙන්නට ත්‍රස්තවාදයට මුහුණදීමට ද සිදුවූ පොලිසියට බැටන් පොල්ල රැ‍ගෙන රාජකාරියටයාම වෙනුවට ටී පනස්හයේ තුවක්කුව අතට ගන්නට සිදුවිය. ත්‍රස්තවාදය පරාජය කරන්නට ත්‍රිවිධ හමුදාව ක්‍රියාකළ ආකාරයටම පොලිසිය ද කැපවීමෙන් සේවය කළබව සමාජයක් ලෙස පිළිගෙන තිබේ. නමුත් මහජනතාව අතරට ගොස් රාජකාරි කිරීමේ දී අසීමිත බලයක් ලැබීම සහ පොලිසියට ලැබුණ බලය පරිහරණය කරන ආකාරය ගැන සමාජයට බරපතල විවේචන ඇත.
දුෂණ, වංචා සහ දේශපාලන බලපෑම් වලින් තොර කාර්යක්ෂම තැනක් බවට පොලිස් සේවාව පත්කරන්නේ කෙසේද? මේ සම්බන්ධව පුලූල් සංවාදයක් ඇරඹිය යුතුය.

සමාජය පරිවර්තනය වන විට පොලිස් සේවාව ද, මහජන ගෞරවය දිනාගන්නා තත්ත්වයකට වෙනස්කිරීම අවශ්‍යය. එය කළ හැක්කේ කෙසේද?
සෝවියට් දේශයෙන් කැඞී වෙන්වූ ඇතැම් රටවල් පොලිසිය අලූතෙන්ම පටන් ගත්තේය. තවත් රටවල් පවතින අභියෝග ගැන සොයා සම්පූර්ණ ප්‍රතිසංවිධානයක් කර ඇත. බ්‍රිතාන්‍ය පොලිසිය සම්බන්ධයෙන් ද පසුගිය ජුලි මාසයේ දී එවැනි තීරණයක් ගත්තේය. පොලිස් පුහුණුව ලබාදෙන බ්‍රිතාන්‍ය ආයතනය ප්‍රතිපත්ති මට්ටමින් පොලිසිය ප්‍රතිසංශෝධනය කළයුතු ආකාරය ගැන දීර්ඝ සමාලෝචනයක් කළේය. මෙම පර්යේෂණය මූලික කරුණු දහයකින් සහ දීර්ඝ නිර්දේශ සහිතව ප්‍රකාශයට පත්ව ඇති අතර එය පිළිගෙන එයට අනුව සේවාව සංශෝධනය කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත. නිලධාරීන්ගේ අවංක භාවය හා හැසිරීම ගැන එහි කරුණු දැක්වෙයි. අධිකාරීබලය, ගෞරවය සහ කෘතවේදීත්වය ගැන අනාවරණය කරයි. සියලූ දෙනාටම එකහාසමානව ක්‍රියා කිරීම සහ බලය පාවිච්චි කරන ආකාරය විග්‍රහකර ඇත. රාජකාරි සහ වගකීම් ගැන පූර්ණව අවධානය යොමුකර තිබේ. රහස්‍ය භාවය, රාජකාරි කරන්නට ඇති හැකියාව ගැන ද කරුණු දක්වන මෙහි විශේෂයෙන් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලැබියයුතු පොලිසියෙන් ම වන අතර දේශපාලනඥයන්ගෙන් අණ නොලැබිය යුතු බව අවධාරණය කරයි.

මෙම අධ්‍යන වාර්තාව කියවන විට ශ්‍රී ලංකාවේ පොලිස් සේවාව යහපත් සහ කාර්ය ශූර තැනක් කරන්නට ගත හැකි පියවර මොනවාදැයි අවබෝධ කරගත හැකිය. පවතින චෝදනා සහ මහජනතාව අතර පවතින බරපතල විවේචන වලට කෙළින්ම මුහුණ දෙන්නට නම් මෙරට පොලිස් සේවාව ද සංශෝධනය විය යුතුව තිබේ. ඒ ස`දහා කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්නට විද්වතුන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධන බලකායක් පත් කළ හැකිය. දේශපාලනයෙන් තොරව රට ගැන සිතා, නීතිය සදාචාරය සහ මහජන විනය ස්ථාපිත කරන්නට නම් වගකීම සහිත පොලිස් සේවාව නිවැරදි ස්ථාවරයක පිහිටුවිය යුතුය.
ත්‍රස්තවාදය පරාජයට පත්කර සාමකාමී ජන සමාජයක් ගොඩනගන වර්තමානය සංකීර්ණ අවදියකි. ගැටුම් සහිත තත්ත්වයන්ට මුහුණදීමට වඩා සාමකාමී පරිසරයක අභියෝග සියුම්ය. සමාජය වටහාගෙන අපරාධකරුවන් පරාජය කරන්නටත්, ජනතාවගේ සහ පොලිස් සේවාවේ ගරුත්වය ආරක්ෂාකර ගන්නටත් අවශ්‍යය. එහි එක පියවරක් වශයෙන් පොලිසිය ප්‍රතිංසවිධානය වියයුතු අකාරය ගැන ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවා සෘජු විවේචනයකට මුහුණදීම කාලෝචිතය.