2022//06/29 – ලංකාදීප

ක‍්‍රමය වෙනස් කරන අරගලවලට ඉතිහාසයක් තිබේ. මෑත ඉතිහාසය තුළ පාලන ක‍්‍රමය හා ආර්ථික ව්‍යුහය ගැන විශාල මතවාද තිබුණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් විවෘත ආර්ථික ක‍්‍රමයත් හැර විකල්ප අවස්ථා නැති තැනට ජාත්‍යන්තරය පත්ව සිටී. පරිවර්තනයක් සදහා ලේ, දහඩිය සහ කදුළු හෙළන ලද අති විශාල ජනකොටසකගේ ප‍්‍රයත්නය මත වර්තමානය බිහි වී ඇත. ආපසු, නැවත නැවතත් පැරණි වලවල්ම හාරා, ඒවායේ වැටී වේදනාවට පත් විය යුතු ඇයි? ලෝකයේ අනෙක් රටවල් ලබාගත් අත් දැකීම් නැවතත් අපටම අත්හදා බලන්නට සිදුවී ඇති අභිරහස කුමක්ද? අත්දැකීම් සහිත පුද්ගලයන්, විශේෂඥයන් පුන පුනා ප‍්‍රකාශ කරන අතරවාරයේ සුළු පිරිසකගේ ඝෝෂාවකට ගොදුරුවීමට හේතුව ප‍්‍රශ්න කළ යුතුය.

කැළඹිලිවලින් රටවල් දියුණු කළ හැකිනම් අද මහපොලව සුරංගනා ලෝකයකි. ගැටුම්, කෝලාහල හා යුද්ධ විශාල ප‍්‍රමාණයක් තිබේ. සංග‍්‍රාමයට යන්නේ දුප්පතුන්ය. පීඩිත පංතිය වෛරයෙන් ගැටෙති. ඒවා මෙහෙයවන්නෝ බලයට පත්වෙති. අරගල සදාකාලිකය. අවසානයක් නැති චක‍්‍රයකි. පටු අදහස් ඉදිරිපත් කර, අත්දැකීම් රහිත තරුණ පිරිස නොමග යැවීම ප‍්‍රශ්න කළ යුතුය.

උතුරේ හා දකුණේ අරගල අපට පාඩම් උගන්වා තිබේ. ජනී ජනයා අනේක විධ වේදනාවලට ලක් වූහ. ක‍්‍රමය වෙනස් කළ හැකි නමුත් ශ‍්‍රමිකයා සහ පාලකයා අතර පරතරය බිංදුවට වැටෙන්නේ නැත. සමාජ හා දේශපාලන අංශවල දැවැන්ත පරිවර්තනයක නිරත වූ රටවල් අද සිටින තැන එයට පැහැදිලි සාක්ෂියකි. යතාර්ථය තේරුම්ගත යුතුය. සීමිත පිරිසකගේ පටු න්‍යාය පත‍්‍රවලට මුළුමහත් සමාජයක් වන්දි ගෙවිය යුතු නැත. විකල්ප මත තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ මත දරන්නට අයිතියක් ඇත. එම මත සමග විශාල සංකල්ප ගොඩනැගිය හැක. කැපවීම ගැන අලූත් අදහස් ජනගත කරන්නට මතධාරීන්ට බැරිකමක් නැත. පවතින ක‍්‍රමය විවේචනය කර දූෂණ හා වංචා ගැන දැවැන්ත විරෝධයක් ගොඩනැගිය හැකිය. එවැනි ක‍්‍රියාමාර්ග විශ්වාසය බිද දමන අතර රට ගොඩනගන්නට ඇති ධෛර්යය හීන කරයි. ශ‍්‍රී ලංකාව අද එවැනි උපායකට ගොදුරු වී සිටී. අලූත් මත, අලූත් ක‍්‍රම ජනතාවට ඉදිරිපත් කර ව්‍යවස්ථානුකූලව බලය ලබා ගැනීම වරදක් නොවේ. එවැනි බලයක් සදහා අවස්ථාව අහිමි දේශපාලන කණ්ඩායම් රට අස්ථාවර කර විනාශයක් තුළින් පාලනය අතට ගන්නට උත්සාහ කිරීම වරදකි.

ජනී ජනයා පීඩාවට පත්වන අවස්ථාවක පවතින නීතිය, හා විධිවිධාන අනුව තීරණ ගැනීම පාලකයන්ගේ වගකීමකි. අසාධාරණයට එරෙහිවීම පිලිගත හැක. සාධාරණව කරුණු ප‍්‍රකාශකර ජනතාව දිනාගැනීම සුදුසුය. කැළැඹිලිවලින් ජනතාවගේ පැවැත්මට බාධා කිරීමට ඉඩ දිය නොහැක.

අරගලය දින, මාස එකතු වෙමින් තිබේ. ආර්ථිකය විනාශයකය. රටට විනිමය එන මාර්ග අවහිර වී ඇති අතර සංචාරක කර්මාන්තය, අපනයන හා ආයෝජන අවස්ථා වලට එල්ලවන බාධා ඉදිරියේ රටේ විනිමය සංචිත පිරිහෙමින් තිබේ. තෙල් නැවක්, බෙහෙත් පෙත්තක්, ආහාර ප‍්‍රමාණයක් මිල දී ගන්නට ඉඩ නැති තැනට රට තල්ලූ වී ඇත. එය බරපතල අපරාධයකි. අරගලය තිබිය යුතු රට ගොඩනගන්නට වන අතර දුප්පත් ජනී ජනයා තව තවත් පෝලිම්වල තබන්නට නොවේ. වහාම තීරණ ගෙන ආර්ථික ව්‍යුහය සකස් කළ යුතු අතර එය ප‍්‍රමාදවන දිනයක් පාසා දරුණු තත්ත්වය ඉහවහා යනු ඇත. ජනී ජනයා නැවත වතාවක් පාරට බැස, ඇවිලෙන තැනට පෙළඹුනහොත් එය පාලනය කළ නොහැකි බව සදහන් කළ යුතුය.

වෙනස්කම් අවශ්‍යය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකට අවශ්‍ය වෙනස්කම් හදා ගැනීමට අයිතියක් ඇත.  එයින් පරිබාහිර බාධක රටක පැවැත්මට බාධකයකි. සාමයට හා සමාදානයට අවහිරයකි. ආගමික හා ජාතික නායකයන් මෙම කරුණු සාධාරණව තුලනය කළ යුතුව තිබේ. ජනමාධ්‍යවල වගකීම පුලූල්ය. අද බලය අල්ලා ගන්නා කණ්ඩායමක් පරාජය කරන්නට හෙට අලූත් අරගලයක් ඇති විය හැක. එය අවදානමකි. ව්‍යවස්ථාපිත රාජ්‍යයක පිලිවෙලක් තිබේ. විනයක් ඇත. ඒවා බිද වැටුණ පසු නැවත ගොඩනැගීම පහසු නැත. මතයකට ඉඩ දිය හැකි අතර සුළු කණ්ඩායමකට බහුතරයකගේ අදහස් බලහත්කාරයෙන් යටපත් කරන්නට ඉඩ දිය නොහැක. නීතිය අතට ගන්නට ඉඩ දීම වරදකි. ෂෙඞ් එක, ගෑස් පෝලිම අද පත්ව ඇති තැන ගැන මහජනතාවට සතුටුවිය හැකිද? එය පාලනය කරන්නේ අරගලකාරයන් යැයි කියා ගන්නා චන්ඩි කණ්ඩායමකි. කිසියම් වරදක් අප නොදැනුවත්වම සිදුවෙමින් තිබේ.