ප‍්‍රජාතන්ත‍්‍රවාදය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

 

28/09/2016 – ලංකාදීප

‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු දුෂ්ඨ අවසානයේ දී විකට, අවිශ්ෂ්ඨ, බලහත්කාරකමක් නොව හොඳ බලාපොරොත්තු ඇති කරන පරම නිදහසය’’ යැයි ඇමරිකානු ලේඛක ජේම්ස් බ්ලැඞ්වින් සඳහන් කර තිබේ. හෙතෙම අප‍්‍රිකානු සම්භවයක් ඇති ප‍්‍රකට ඇමරිකානු ලේඛකයෙකි. 1924 දී නිව්යෝක් හි උපත ලබා 1987 දී ප‍්‍රංශයේ දී අවසන් හුස්ම හෙළන අතරවාරයේ දී ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මැනැවින් අත් විඳින්නේය. එය හොඳ බලාපොරොත්තු ඇති කරන  පරම නිදහස යැයි කියන්නේ එහෙයින්ය.  නමුත් මැත කාලය තුළ හමන සුළඟ වෙනස් වී තිබේද? පායනා ඉර හඳ එදා කාලයට වඩා අද වෙනස්ද? එවැනි විමසීමක් වැදගත් මන්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය ගමන් කරන දිසාව පැහැදිලි නැති හෙයින්ය.

හංගේරියාවේ දේශපාලන පක්ෂයක් ලියා පදිංවි කර තිබේ. වලිග දෙකේ බල්ලා එම පක්ෂයේ නමයි. 2006 දි පිහිටුවන ලද පක්ෂය පිළිගැනීමට එරට ආයතනික නීති සූදානම් වූයේ නැත. අවුරුදු අටකට පසු අධිකරණ තීන්දුවකට පසු ලියා පදිංචිය හිමි වූ අතර ලබන මැතිවරණයට තරඟ කරන්නට සූදානම් වෙයි. වලිග දෙකේ බල්ලා පක්ෂය ලියා පදිංචි කරන්නට එරට බලධාරීහු මැලි වූයේ මන්ද? එම පක්ෂයේ ප‍්‍රතිපත්ති විකාරරූපී වූ හෙයින් බව සඳහන් කළ යුතුය. තමන් ජයග‍්‍රහණය කළහොත් සදාකාලික ජීවිතය ලබා දෙන බව පක්ෂය පොරොන්දු වෙයි. ලෝකයේ සාමය තහවුරු කරනු ඇත. වැඩ කළ යුතු සතියකට එක් දිනයකි. දවසට දෙවතාවක් වර්ණවත්ව ඉර බැසයන්නට සලස්සවන බව තවත් එක පොරොන්දුවකි. නොමිලේ බියර් ලබාදෙන අතර අඩුම බදු ප‍්‍රතිශත පනවන බවට ද පොරොන්දු වෙයි.

මෙම පොරොන්දු ඉටු කරන්නට හැකි ඒවා නොවේ. රටවැසියන්ට පවා බැලූ බැල්මට එය තහවුරු වන නමුත් අනෙක් සියලූ දේශපාලන පක්ෂ කරන සාමාන්‍ය රැවටිල්ල එයට වඩා ඉහළින් ප‍්‍රසිද්ධියේ කරන්නට මෙම පක්ෂය සූදානම්ය. හංගේරියාවෙන් ලැබෙන තොරතුරු දක්වන අන්දමට දැනට එරට වැසියන්ගෙන් සියයට එකක් මෙම දේශපාලන පක්ෂයට කැමැතිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය ඇති කර සමාජය හොඳ තැනක් බවට පත් කරන බව කියන ලෝකයේ බහුතරයක් දේශපාලන පක්ෂ හැසිරෙන අන්දම ගැන ප‍්‍රශ්න තිබේ. බලය ලබා ගැනීම සඳහා පක්ෂ පමණක් නොව දේශපාලනඥයන් ද ඉතා සටකපට ප‍්‍රතිපත්ති අනුව ක‍්‍රියා කරමින් සිටී. බුද්ධිමත් ජනතාවට ඒ ගැන මනා අවබෝධයක් ඇත. දේශපාලනඥයන් තම පාක්ෂිකයන්ගේ බහුතර මතය හසුරවන්නට අනුගමනය කරන අතිශය ලාබ උපක‍්‍රම හෙයින් දේශපාලන පක්ෂ, දේශපාලනඥයන්, මැතිවරණ ක‍්‍රමය සහ අවසානයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය බරපතල අනතුරකය. හංගේරියාවේ වලිග දෙකේ පක්ෂය මැනැවින් විදහා දක්වන්නේ එයයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ලෝකය පුරා මහා බලාපොරොත්තු ඇතත් ක‍්‍රමය ගමන් කරන දිසාව පෙන්වන්නේ එය විකට, අවිශ්ෂ්ඨ, බලහත්කාරකමක්  වෙත සමීප වෙමින් ඇති බවය. දේශපාලනඥයන් පොරොන්දු දෙන්නේ විකට ස්වරූපයෙන්ය. ජනතාව ඉදිරියේ කතා කරන්නට, ගයන්නට පමණක් නොව නර්තනයෙහි යෙදෙන්නට ද ඔවුහු සූදානම්ය. ස්වකීය ඡන්ද පදනම වැඩි කරගැනීම එකම අභිප‍්‍රායයි. ප‍්‍රතිවිරුද්ධ දේශපාලනඥයන් හමුවේ ඉතාම නරක, ද්වේශ සහගතව හැසිරෙන අතර මැර කල්ලි නඩත්තු කරමින් ප‍්‍රචණ්ඩව හැසිරෙන බව රහසක් නොවේ. සිය අභිප‍්‍රාය වූ බලය සාක්ෂාත් කරගැනිමට බලහත්කාරයෙන් කටයුතු කරන බවට උදාහරණ උවමනා තරම් සම්පාදනය කළ හැකිය. අන් මතය පරාජය කරන්නට ඝෝෂාව උපයෝගී කරගන්නා අතර සත්‍යය යටපත් කරන්නට උපයෝගී කරගන්නේ අසත්‍යයයි.

මහජන ගෞරවය දිනාගත යුතු පක්ෂ සහ දේශපාලනඥයන් පටු අරමුණු සලකා ජනප‍්‍රියත්වය හඹා යන අතර අවසානයේ දී අනතුර එල්ල වෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයටය. අද වන විට එය සීමාව කරා පැමිණ ඇති බව ලොව නන් දෙසින් වාර්තා වෙන කරුණු  මැනැවින් අනාවරණය කරයි. මෙම සන්ධිස්ථානය තුළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කොතැනක ද යන්න සාකච්ඡා කිරීම සුදුසුය.

 

 

පොත් ප‍්‍රදර්ශනය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

 

milinda-prashna

21/09/2016 – ලංකාදීප

ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය වාර්ෂිකව සංවිධානය කරයි. එය සෑහෙන සමාජ අවධානයක් දිනා ගත් එකක් බවට පත්ව තිබේ. ඉකුත් සති අන්තය වන විට වාර්තාගත ජන සහභාගීත්වයක් පැවැති අතර එය පෙන්වන්නේ පොත පත කියවන්නට, දැනුම් සොයායන්නට පවතින උනන්දුවක තරම බව සඳහන් කළ යුතුය.

අවුරුදු දහ අටකට කලින් පොත් ප‍්‍රකාශකයන් තිස් හතර දෙනෙකුගෙන් අරඹන ලද මෙම ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අද වන විට දෙස් විදෙස් ප‍්‍රකාශකයන් විශාල දෙනෙකු එකතුවන එකකි. පොත් නිකුත් කිරීම. කවි පවුර, ස්වර්ණ පුස්තක සහ ප‍්‍රවේශ පත‍්‍ර ගාස්තුව සමග ඇති කරනලද ශිෂ්‍යත්ව ක‍්‍රමය ඇතුළු එය වටා එකතු වූ සාහිත්‍ය සහ සංස්කෘතික අංග පෙන්වන්නේ පොත් ප‍්‍රදර්ශනය විහිදී ව්‍යාප්ත වූ ස්වභාවයයි.

පොත් ප‍්‍රකාශකයන් ගේ ප‍්‍රදර්ශනය නමුත් එහි දී ඉලක්ක කරන්නේ අළෙවියයි. කොළඹ අවට පමණක් නොව දුර බැහැර සිට පැමිණෙන  ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පොත පත මිල දී ගැනීමට මෙහි දී යුහුසුළු වෙති. ඥාන ප‍්‍රබෝධය ඇති කරන විශ්ව ඇගයීමට ලක් වූ කෘති පමණක් නොව දරුවන්ගේ ප‍්‍රයෝජනයට අවශ්‍ය විෂයානුබද්ධ  පොත්, පෑන්, පැන්සල් සහ අභ්‍යාස පොත් දක්වා දේ මෙහි විකුණන්නට ඇති දේ අතර සමහරකි. ප‍්‍රදර්ශනය නරඹන්නට පැමිණෙන ජනකාය දෙස විමර්ශනය කිරීම සුදුසුය. එහි එන දුදරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ගේ අරමුණ පවතින අධ්‍යාපන ක‍්‍රමය තුළ තව දුරටත් ආකෘති ගත වෙයි. ඔවුහු මිල දී ගන්නේ විභාග ප‍්‍රශ්න පත‍්‍රය ඉලක්ක කරගත්  පොත්ය. වැඩිම ඉල්ලූමක් ඇති පමණක් නොව වැඩිම ආකර්ශනයක් ඇති පොත් අළෙවි කුටි බවට පත්ව ඇත්තේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වෙනුවෙන් දැනුම සම්පාදනය කරන තැන්ය. තරුණ තරුණියන් පොත් ප‍්‍රදර්ශනයට එන්නේ විනෝදයටය. එහි සැරි සරා එක පොතක් නැත්නම් දෙකක් මිල දී ගෙන පිටත්ව යන බව නිරීක්ෂණය කළ හැකිය. සාහිත්‍යවේදීන්, නිර්මාණ ශිල්පීන් පමණක් නොව බුද්ධිමතුන් යන සුවිශේෂී පිරිස මෙම පොත් දැක්මට පැමිණෙන බවක් අනුමාන කළ හැකිය. නමුත් මෙතැනින් ලබාගත හැකි යමක් ඔවුන්ට නැත.

පසුගිය අවුරුදු විස්ස තුළ දැනුම උත්පාදනය වන ආකාරය වෙනස් විය. පහුගිය පරම්පරාවට පොත පත පරිශීලනය සහ එය ඇසුරෙන් අධ්‍යයනය ඉතාම වැදගත් විය. අද වන විට දැනුම ගබඩාකර ඇත්තේ අන්තර් ජාලයේය. අන්තර් ජාල කියැවීම සහ එහි අධ්‍යයනය ඥාණ ගවේශනයට පහසු මගත් බවට පත්ව තිබේ. විද්‍යාර්ථීහු තමන්ගේ පර්යේෂණ නිබන්ධන වෙබ් අඩවි වලට මුදා හරිති. පොත පත පළකිරීම සීමා වී තිබේ. එය වෙනුවට පර්යේෂණ සහ එහි දත්ත ගබඩා කරන ශාස්තී‍්‍රය අන්තර් ජාල අඩවි තුළ සංවාද පැවැත්වෙයි. පොත මිල දී ගෙන කියැවීම තව දුරටත් වලංගු නැත. පුස්තකාලයක ඇති පොත් ලබාගෙන කියැවීමට ඇති උනන්දුව ක‍්‍රමයෙන් හීන වෙමින් තිබේ. අන්තර් ජාලයෙන් පොත් කියැවීම අද සුලබ දෙයකි. අන්තර් ජාල පරිහරණයට ඉඩ දෙන තමන් අත ඇති ස්මාට් දුරකථනය කියැවීමට පමණක් නොව ගවේශනයට ද ඉඩ දෙන විට රාමුව වෙනස් වී ඇති බව තේරුම් ගත යුතුය.

පුස්කොලයක ලියා කළු මැද කියැවූ දවස තවමත් මතක ඇති සමාජයක ජීවත්වන දරුවන් පොත් ගැන හිතන්නේ විෂයානුබද්ධ කාරණාවක් සේ පමණකි. පාසල එහි උගන්වන දේ සහ විභාගයට අහන ප‍්‍රශ්න වලට උදව් කරන ස්වභාවය නොවේ නම් මෙරට සාහිත්‍යක් නැත. කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සහ එයින් ඇති කරන ප‍්‍රබෝධය අනියමින් පෙන්වන්නේ එයයි.

අද ලෝකයේ  ඕනෑම විශ්ව විද්‍යාලයක දේශන වලට අන්තර් ජාලයෙන් සහභාගී විය හැකිය. අප ජීවත්වන්නේ ලෝකයේ නම් දරා ඇති විශ්ව විද්‍යාලයක උපාධියකට ලියාපදිංචි වී ගෙදර සිටම හැදෑරිය හැකි යුගයක එළිපත්තේය. ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය පොදු ජනතාවට විනෝදය උදෙසා රැස්වෙන්නට ස්ථාන නැති අඩු පාඩුවට විකල්පයක්වීම නුසුදුසුය. ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය යොමු විය යුතු දිශාව අධ්‍යයනය කරන්නට ද මෙම පොත් දැක්ම කැඩපතකි. අධ්‍යාපන ක‍්‍රමය ඉතාම තරඟකාරී එකක් වන අතර එහි ඇති සීමිත අවස්ථා දිනාගන්නට නම් ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයක් වැනි දේ පවා වැදගත්ය හිතන තැනට සමාජය පත්ව තිබීම හිතා බලන්නට වටින පැත්තකි.

 

 

ජී. අයි. පනත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

10/09/2016 – ලංකාදීප

ජී. අයි. පනත් කෙටුම්පත ඇමරිකානු පුරවැසියන් හොදින් දන්නා එකකි. එයින් ප‍්‍රතිපාදන සලසන්නේ එරට ආරක්ෂක අංශ සාමාජිකයන්ටය. උසස් අධ්‍යාපනයටය. ජී. අයි. කියන්නේ ගැල්වනයිස් යකඩ හදුන්වන කෙටි ව්‍යවහාරයයි. ඇමරිකානු ආරක්ෂක භටයන් ජී. අයි. වෙන්නේ ඔවුන් ගේ අතට මුලින්ම ලැබෙන යකඩින් තැනූ ගිනි අවිය හෙයින්ය. එසේම සෙබලූන් ‘‘ගැල්වනයිස් යකඩයන්’’ සේ දැඩි නිසාය.  ඕනෑම දුෂ්කරතාවයකට මුහුණ දී රට වෙනුවෙන් අභියෝගයට මුහුණ දෙන ආරක්ෂකයන් ගේ සත්කාරය හා අභිමානය තහවුරු කරන්නට අයි. ජී. පණත ප‍්‍රතිපාදන සලසයි.

පනත ඉදිරිපත් කළේ දෙවන ලෝක යුද්ධයට පසුවය. දෙවන ලෝක යුද්ධය අවසන් කර ආපසු එරටට පැමිණි සෙබළුන් ගේ අනාගත අභිවාද්ධිය  තහවුරු කළේ එම පණතින්ය. ඉන්පසු ඉරාකය, ඇෆ්ගනිස්ථානය ඇතුළු මෑත පැවැති සෑම යුද්ධයකටම සහභාගී වූ භටයෝ එහි ප‍්‍රයෝජන ලැබූහ. හැමදාම යුද්ධය නැත. යුද බිමේ සේවය අවසන් කර ඇමරිකාවට පැමිණි සෙබලූන්ට හමුදා නිල ඇදුම පැත්තකින් තියා සිවිල් ජීවිතයට හුරු වෙන්නට සිදුවෙයි. හමුදා ජීවිතයේ දී වීරයන් සේ ජීවත් වූ භටයන් සාමාන්‍ය පැවැත්මට පත්වන විට මානසිකත්වය සමබර කර ඔවුන් රැක බලාගැනීම වෙනුවෙන් ජී. අයි. පණත බලගන්වන්නේය.

අසල්වැසි ඉන්දීයාව තම සෙබළුන් වෙනුවෙන් විශේෂ සුබසාධනය පවත්වාගෙන යන්නේ  ආරක්ෂක අමාත්‍යංශයේ මෙහෙයැවීමෙන්ය. විශාල හමුදා නඩත්තු කරන රටවල් දෙකක් තමන්ගේ භටයන් බලා ගන්නා වැඩ පිලිවෙලවල් වල මූලික රාමුව එසේය.

ශ‍්‍රී ලංකාව දරුණු ත‍්‍රස්තවාදයකට මුහුණ දුන්නේය. ස්වකීය ජීවිතය පරදුවට තබන ආරක්ෂක හමුදාව සහ පොලිසිය රට තුළ සාමය තහවුරු කරයි. ජන ජීවිතයට තිබූ බිය තුරන් කර සුරක්ෂිතතාවය ඇති කරයි. ඒ වෙනුවෙන් රට වැසියන් කල කැපවීම අමතක කළ යුතු නැත. සාමාන්‍ය ජනතාව හමුදාවට අවශ්‍ය සියළු දේ වෙනුවෙන් පරිත්‍යාගයක් කළේය. ආරක්ෂක අංශ කළ කැපවීමේ දී තමන්ගේ ජීවිතය දෙවැනි තැනට සේ සලකා පෙරට ගිය බව සදහන් කළ යුතුය. ත‍්‍රස්තවාදයට එරෙහි ගැටුම් උත්සන්න වන විට විශාල පිරිසක් රජයේ ආරක්ෂක අංශ වලට බැදී සටන් බිමට ගියේය. දැන් සාමය තහවුරු කර වසර හතකි.

යුද්ධය වෙනුවෙන් කැපවූ ආරක්ෂක අංශ නැවතත් සමාජගත වෙමින් තිබේ. ඒ විශ‍්‍රාම ජීවිතයත් සමගය. යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක යන අංශ වල සේවා ස්ථිර කාලයක් තිබේ. එයින්පසු විශ‍්‍රාම ලබයි. යුද ගැටුම් උත්සන්නව පැවැති සමයේ යුද්ධයේ සිටි තරුණ සෙබලූන් දැන් විශ‍්‍රාම ලබමින් සිටී. යුද්ධයේ ප‍්‍රතිඵලයක් වශයෙන් දස දහස් ගණනින් දිවි පිදූහ. තවත් දස දහස් ගණනක් සදාකාලික ආබාධ වලට ගොදුරු වූහ. ඔවුන වෙනුවෙන් සමාජ සත්කාරක වැඩ සටහන් විවිධ ආකාරයෙන් ක‍්‍රියාත්මක වෙයි. සාමය තහවුරුවෙමින් පවතින අවස්ථාවක නිල ඇදුම ගලවා තබා ආපසු නිවෙසට එන ආරක්ෂක අංශ නිලධාරීන් වෙනුවෙන් ජන සමාජයට යම් වගකීමක් තිබේ.

ආරක්ෂක සේවයෙන් විශ‍්‍රාම ලබන්නේ හොද අත්දැකීම් ඇති පිරිසකි. හමුදා විනය අනුව පසුබිම සකස් කරගත් අනන්‍ය සංස්කෘතික ලක්ෂණ සහිත පිරිසකි. අවුරුදු විස්සක් පමණ යුද බිමේ සිටි මෙම පිරිස සතු හැකියාව, සමත්කම් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් හසුරුවා ගැනීමට සැලැස්මක් අවශ්‍ය කෙරේ. මෙකී පිරිසට නිෂ්පාදන සහ සේවා යාන්ත‍්‍රණය ගැන නිසි පුහුණුවක් අවශ්‍යය. එයින් පසු රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයට එකතු කරගැනීම ගැන අවධානය යොමු කළ හැකිය. එය ජාතික වැදගත්කමකින් යුතු සුවිශශේෂී කාර්ය භාරයක් බව සදහන් කරන්නට අවශ්‍යය. ජවය සහිත, හැකියාවෙන් යුතු රට වෙනුවෙන් කැපවී ක‍්‍රියා කළ ආරක්ෂක අංශ වල පිරිස වෙනුවෙන් රටට ඉදිරිපත් කළ හැකි ජී. අයි. පණත කුමක්ද? සියළු අංශ වල අවධානය යොමු කළ යුතු කාරණයකි.

 

වීරත්වය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/09/07

‘‘වීරයා මැරිලා’’ රට පුරා වේදිකාගත වන නාට්‍යයකි. රාජිත දිසානායක එම නාට්‍ය ඉදිරිපත් කරන්නට කලින් ‘‘සිහින හොරු අරන්‘‘ යනුවෙන් නාට්‍යයක් වේදිකා ගත කළේය. සම්මාන දිනූ මෙම නාට්‍ය වලින් කියන්නේ එදිනෙදා ජන ජීවිතයේ මුහුණ පාන සරල සිද්ධීන්ය. පොදු ජනතාව හොයන්නේ විරයන්ය. තමන්ගේ සිහින සාක්ෂාත් කරන්නට සමත් නායකයන්ය. නාට්‍යවේදීන් ප‍්‍රතිනිර්මාණය කරන්නේ මෙම උවමනාවයි. තමන්ගේ අභිමතාර්ථ ඉටු කරදෙන වීරයෙකුට ජනතාව කැමැතිය. නමුත් ප‍්‍රශ්නයක් තිබේ. එවැනි වීරයන් නැත. හි`ගය. ලෝකයේ හැම තැනකම තත්ත්වය එයයි.

‘‘අලූත් හොරෙක්  ඕනෑ’’ යනුවෙන් අජිත් මෙන්ඩිස් නාට්‍යයක් හදයි. මෙම නාට්‍යයේ රඟපෑ දක්ෂ නළුවෙකු වූ විජය නන්දසිරි අද ජීවතුන් අතර නැත. නාට්‍ය වලින් වීරයන් හොයන සමාජය එක්තරා සන්ධිස්ථානයකට පැමිණ සිටී. ‘‘වීරයා මැරිලා’’ යනුවෙන් අනියමාර්ථයෙන් සමාජයට කියන නාට්‍යකරුවන් ‘‘අලූත් හොරෙක්  ඕනෑ’’ යයි කියන්නේ ඇයි? නිර්මාණකරුවන් වේදිකාව තුළ කරන හරඹයේ දී වීරයෝ සොයති. වීරයන් ගේ චරිත වලට ආවේශ වී ප්‍රෙක්ෂකයන්ගේ හිතේ ඉන්නා වීරයා මවා එම චරිතයේ විවිධ පැතිකඩ නිරූපනය කරති. එම සජීවී අභ්‍යාසයට ජනතාව කැමැතිය. නමුත් හැබෑ ජන සමාජය තුළ වීරයෝ නැත. නායකයෝ විරලය. ඉතාම ඉක්මනින් ජනප‍්‍රිය වෙන චරිත සුළු කාලයකින් ජනතාව ගේ අතෘප්තියට ලක්වෙති. පිරිහීමට ලක්ව ජන අනවධානයට හේතුවෙති. වීරයෙකු හැටියන සමාජය තෝරා ගන්නා නායකයා ඉක්මනින්ම හොරෙකු වෙන්නේ ඇයි? එපමණක් නොව අලූත් හොරෙක්  ඕනෑ යයි ප‍්‍රකාශ කරන්නට හදිස්සි වෙන්නේ මන්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්වභාවය එබඳුය. එය නූතනයේ ස්වභාවයයි. මහා පිළිගැනීමකින් ඉහළටම ඔසවා තබන නායකයෙකු මාසයක් දෙකක් යන විට එපා වෙන සමාජය ඉල්ලන්නේ වෙනත් නායකයෙක්ය.

පරමාදර්ශී නායකයන් බලාපොරොත්තු වෙන පොදු ජනතාවට සැබෑ ජීවිතයේ දී ලැබෙන්නේ කලාතුරකින්ය. තමන්ගේ ප‍්‍රශ්න නිරාකරණය කර අයුක්තියට අසාධාරණයට එරෙහිව නැගී සිටින වීරයෝ ස්පර්ශ කරන්නට අවස්ථාව නැත. අභියෝග හමුවේ සටන් කරන සමාජ උන්නතිය වෙනුවෙන් ජීවිතය නොතකා පෙනී සිටින වීරයෝ ඇත්තේම නැති තරම්ය. එහෙයින් නායකයන් පමණක් නොව ජන වීරත්වය ද තැනෙන්නේ වේදිකා චරිත රංගනයකය. සිනමා හෝ ටෙලි නාට්‍ය නිර්මාණයකය.

නොබෝදා දකුණු ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් ප‍්‍රදර්ශනය ආරම්භ කරන ලද කබාලි චිත‍්‍රපටය ද එවැනි එකකි. එහි අයුක්තියට එරෙහිව සටන් කරන වීරයෙකු සිටී. එහි පේ‍්‍රක්ෂකයන් මෙම වීරත්වයට දක්වන්නේ මහා කැමැත්තකි. කබාලි චිත‍්‍රපටය ඉන්දියාවේ සිනමා ශාලා තුන්දහස් දෙසීයක එකවර ප‍්‍රදර්ශනය ආරම්භ කළේය. එයින් දෙදහසකට වඩා දකුණු ඉන්දියාවේය. ප‍්‍රදර්ශනය ආරම්භ කරන දිනයේ දී ම එය නරඹන්නට සිනමාලෝලීහු කැමැතිය. එය සිනමා තාරකා අතරින් වීරත්වය සොයන  උන්මාදයකි. එය කොපමණ බලවත් එකක් ද යත්, කම්හල්, ව්‍යාපාර හා සේවා ස්ථාන වල සේවකයන් අසනීප නිවාඩු ගෙන කබාලි බලන්නට යන උත්සාහය හමුවේ දකුණු ඉන්දියාවේ ඇතැම් කාර්යාල එදින නිවාඩු දිනයක් සේ ප‍්‍රකාශයට පත් කර තිබුණි. ඉන්දියාවේ පමණක් නොව ලෝකය පුරා රටවල් ගණනාවක කබාලි ප‍්‍රදර්ශනය කර තිබේ. එය ආදායම් වාර්තා පිහිටුවා ඇති අතර චින භාෂාවට ද සිරස්තල යොදා චින සිනමා රසිකයන්ට ද පෙන්වන්නට සූදානම්ය.

මෙරට පමණක් නොව අසල් වැසි ඉන්දියාවට හා එයින් ඔබ්බට ද වීරයන් ගැන තක්සේරුවක් තිබේ. ජනතාව සොයන්නේ පුද්ගල අභිලාශයන්ගෙන් තොරව සටන් කරන නායකයන්ය. මෙරට ත‍්‍රීවිලර් වල පවා චේ ගුවේරා ගේ පින්තූරය අලවා සංකේතවත් කරන්නේ එයයි. දුශ්ඨයා පරාජය කර සමාජය යහපත් තැනක් කරගැනීමේ අපේක්ෂාව නායකත්වය තුළින් පළවෙයි. එය රටවල් පුරා පැතිර යන, ජාත්‍යන්තර තලයේ පවා අවධානයට ලක්ව ඇති කාරණයකි. වීරයා මැරිලා ය. අලූත් හොරෙක් උවමනා වී තිබේ. ජනතාව නායකයන් දකින්නේ වේදිකාවේ දීය. යථාර්ථය එයයි.