බේරුට් නගරයෙන් අනාවරණය වන රටේ දුක්ඛිත කතාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2020/08/26 – ලංකාදීප

සති තුනකට කලින් බේරුට් නගරයේ සිදුවූ මහා පිපිරීමේ සිද්ධිය අවධානයෙන් ගිලිහී යමින් තිබේ. ඊශ‍්‍රායලය, සිරියාව හා සයිප‍්‍රස් යන රටවල් වලට මායිම් ව පිහිටි ලෙබනනනය දීර්ඝ කාලයක් යුද ගැටුම් වලට ලක්ව තිබුණි. නැවත හිස ඔසවන ප‍්‍රයත්නයක සිටියේය. ඒ අතරවාරයේ බේරුට් වරායේ ගබඩා කර තිබුණ අමෝනියම් නයිටේ‍්‍රට් තොගයක් නිසා පිපිරීම සිදු වූ බව තහවුුරු වී තිබේ. දෙසිය ගණනක් ජීවිතක්ෂයට පත් වූ අතර හය දහසක් පමණ තුවාල ලැබීය. දෙලක්ෂ පනස් දහසනගේ දේපොල වැනැසුන බව වාර්තාවෙයි. සිද්ධිය කිසිවෙකුගේ උවමනාවකට නොවුණ බව තහවුරු වී ඇති නමුත් උවමනාවෙන්ම කරගත් දෙයකි.  අත් අඩංගුවට ගත් නැවක තිබුණ මෙම රසායන තොගය රේගුව, ආරක්ෂක අංශ හා එරට අධිකරණය අතර තිබුණ පරස්පරතා නිසා හත් වසරක් වරාය පරිශ‍්‍රයේ තිබුණි. ජනාකීර්ණ තැනක, ජාත්‍යන්තර වරායක අනතුරුදායකව ගබඩාකර තිබීම ඉතාම අනතුරුදායකය. පාලකයන් පමණක් නොව නිලධාරීන් ද වගකීම් රහිතව ක‍්‍රියා කළ තත්ත්වයක් තුළ වෙනත් යමක් අපේක්ෂා කළ නොහැකිය.

සිද්ධියෙන් පසු නිලධාරීහු ද පාලකයෝ ද එකිනෙකාට ඇගිල්ල දිගු කළහ. බලයේ සිටින ආණ්ඩුව පවා පැවැති පාලනය වගකිව යුතු බව ප‍්‍රකාශ කර තිබුණි. ජන ජීවිතය අනාරක්ෂිත කළ අතර රට ආර්ථික අතින් ඉතාම දුෂ්කර තැනකට තල්ලූ කළ මෙම සිද්ධියට පසු පාලකයෝ හැසිරෙන ආකාරය බලා සිටි පනස් දහසක් ලෙබනන් ජනයා මහජන පෙත්සමක් අත්සන් කර ප‍්‍රංශ ජනාධිපතිවරයාට යැවූ අතර, දස වසරකට රට භාර ගන්නා ලෙස එයින් ඉල්ලා තිබුණ බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළේය. කලින් හිටපු ආණ්ඩුවේ වැඩක් යැයි පාලකයෝ ස`දහන් කරන අතර තවත් සමහර දෙනෙකු එය පිටරට කුමන්ත‍්‍රණයක් යැයි කියා සිටියහ. ලෙබනනයේ රාජ්‍ය ආයතන අතර පමණක් නොව පාලකයන් අතර පවා බෙදීම්, මත ගැටුම් හා ආරවුල් ඇති බව පෙනෙන අවස්ථාවක එරට ජනතාවට වෙනත් කළ හැකි යමක් නොතිබුණ බව ඉතාමත් පැහැදිලිය.

බේරුට් සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යයනය කරනවිට අවිධිමත් සහ අසමත් රටක් මුහුුණ පෑ ඉරණම හ`දුනාගත හැකිය. රජයේ නිලධාරීහු ප‍්‍රශ්නය එකිනෙකා වෙත තල්ලූ කරමින් සිටියේය. දූෂිත නිලධාරීහු ද එයට වගකිව යුතු බව සදහන්ය. 2018 මැයි මාසයේ බලයට පත් ආණ්ඩුවට පවා රට මුහුණ පා සිටින තත්ත්වය ගැන අවබෝධයක නොසිටි බව පැහැදිලිය. නගරය මැද භයානක රසායනික තොගයක් අනාරක්ෂිතව තැබූ අතර වසර හත්දහසකට වැඩි දීර්ඝ ඉතිහාසයක් සහිත ජන සමාජයක් පිරිහී ඇති තරම එයින් පෙන්නුම් කළේය. එකිනෙකාට චෝදනා කරමින් තමන්ගේ අත පිහදා ගන්නට වෑයම් කරන පාලකයන්ට වඩා ප‍්‍රංශ ජනාධිපතිවරයාට රට භාර දෙන්නට ජනතාව තීරණය කිරීම මෙම ඛේදවාචකයේ තරම පෙන්වන අවස්ථාවකි.  

ලෙබනනය කාලයක් ප‍්‍රංශයට යටත්ව තිබුණි. එය ඉතා වේදනාබර යුගයක් බව ඉතිහාසය කියා දී ඇති බව නිසැකය. එහෙත් ස්වදේශික පාලකයන් ගේ අනුවනකම්වලට වඩා වෙනත් රටක වහල්භාවය සුදුසුයැයි සිතන තරමට පත්වීම ඛේදවාචකයකි. එරට විනිමය අගය පිරිහී ආනයන නතර වී ඇති අතර ඇතැම් ආහාර වර්ගවල මිල අහස උසට නැග තිබේ. රටේ ආදායම ණය ගෙවන්නට ප‍්‍රමාණවත් නැත. ජනතාවට අවශ්‍ය මුලික පහසුකම් එනම් ජලය, විදුලිය සැපයීම පමණක් නොව කසල බැහැර කිරීමට පවා නිසි ක‍්‍රමයක් හදා ගත නොහැකි තරමට රටක් පිරිහෙන විට වෙනත් විකල්පයක් තිබේද? බේරැට් පිපිරීම සංකේතයක් කර ගත් එරට වැසියෝ පාරට බැස උද්ඝෝෂණය කළ අතර කිසිම සංවිධානගත නායකත්වයක් නොිබුණ ජන විරෝධය එකම පාලකයෙකුවත් අපිට එපා යැයි විරෝධය පළ කිරීම විශේෂත්වයකි.

සිද්ධියත් සමග ආණ්ඩුව ඉල්ලා අස්වී තිබේ. මහජන විශ්වාසය දිනාගත හැකි පාලනයක් හදන නායකත්වයක් ඇති බවක් නොපෙනේ. පිරිහීමක තරම පෙන්වන සාධකයකි. බලයට පත් කරගත් ආණ්ඩුව අසමත්වන විට කිසිම දේශපාලනයක් එපා යැයි කියන තරමට ජනතාවගේ ආවේග ඉහළ නැග තිබේ. ජනතාව තුළ ඇති දුක, වේදනාව පමණක් නොව තම පාලනයේ පවතින ආයතන අතර ඇති දුබලතා ද හදුනාගෙන නිසි පියවර ගැනීම පාලකයන්ගේ වගකීමකි. ලෙබනන පාලන ක‍්‍රමයේ බලතල සම්බන්ධයෙන් පවතින දුර්වලතා ද මෙම තත්ත්වයට වගකිව යුතු බව දක්වයි.

ධර්මයෙහි හැසිරෙන්නාට ධර්මයෙන් ආරක්ෂාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2020/08/19 – ලංකාදීප

ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරන බව අවධානයට ගත යුතු බුදු වදනකි. ‘‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’’ – මෙවැනි පණිවුඩයක වැදගත්කම ගිහි පැවිදි දෙපිරිසටමය. ගෞතම බුදු රජාණන්වහන්සේ දේශනා කළ පරිදි ‘‘විනයෝ නාම සාසනස්ස ආයු’’ එනම් භික්ෂු විනය ශාසනයේ ආයුෂය බව දැක්විය යුතුය.

නිර්වාණය අවබෝධ කරගැනීම සාසනයට ඇතුළු වන සංඝයාවහන්සේලා ගේ ඒකායන අරමුණයි. ගිහියෝ පන්සිල් රකිති. චතු පාරිශුද්ධි ශීලය හෙවත් කෝටියක් සංවරශීලය භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරගත යුතුය. භික්ෂුභාවය ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ දර්ශනයට සෘජුවම සමීපය. එය බැදීම් හා වගකීම් වලින් ගැලවී සත්‍යාවබෝධය ඇතිකරගැනීමට තබන පියවරකි. සෝවාන්, සකෘදාගාමි, අනාගාමී සහ මහරහත් ව නිවන අවබෝධ කරගත හැකි බව බුද්ධ දේශනාවයි. සසුන් ගතවන සංඝරත්නය අනුගමනය කළ යුතු කි‍්‍රයාමාර්ග තිබේ. ත‍්‍රිපිටකයේ සදහන් වන කරුණු ගවේශනය කළහොත් භික්ෂු ජීවිතය ගැන අවබෝධයක් ලබා ගත හැකිය.

භික්ෂුන් වහන්සේලා තම භික්ෂුත්වය රැකගනිමින් රට ජාතිය ආරක්ෂා කිරීමට කැපවෙති. සංසාරයෙන් එතෙරවීම අරමුණු කරගෙන සාසනයට ඇතුළු වන සංඝරත්නය අතරින් ඇතැම් භික්ෂූන්වහන්සේලා පිරිසක් තම මූලික අරමුණ පසෙක ලා රට ජාතිය ආරක්ෂා කිරීමේ වගකීම භාරගෙන තිබීම විවාදාත්මකය. දේශපාලනය හා සාසනය අතර බලවත් පරතරයක් තිබේ. බුදු රජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළ අවස්ථාවේ දී ‘‘මහරජ ඔබ ශාක්‍ය වංශයේ මම බුද්ධ වංශයේ ’’  බව පිය රජු අමතා ප‍්‍රකාශ කළ බව මතක් කර දිය යුතුය. බුද්ධ වංශය හැර දමා ‘‘රාජ්‍ය පාලනයට ’’ ඇතුළුවීමට වෑයම් කිරීම මෑත කාලීන ඇතැම් භික්ෂුවකගේ උත්සාහයකි. දේශපාලනය පිරිහී ඇති අතර දේශපාලනයට එන පිරිස අතිශය දූෂිත බවට නැගෙන විවාදය තුළ යම් ප‍්‍රමාණයක ඇත්තක් තිබේ. අවංක කෙනෙකුට දේශපාලනයේ නිරතවිය හැකිදැයි ප‍්‍රශ්නයක් ද තිබේ. වැරදි හදාගන්නට නියම මග දැක්වීම සුදුසුය. දේශපාලනයට ඇතුළු වී වැරදි හදන්නට උත්සාහ කිරීම තුළ පරස්පරතාවයක් තිබේ.

මෙරට පවතින සියළු නිකායවල මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් නොයෙක් වතාවල දී භික්ෂු දේශපාලනයෙහි අවැත සහ අවැඩදායක බව ගැන අදහස් පළ කර ඇත. එහෙත් සමහර භික්ෂුන් වහන්සේලා ඒවා අවධානයට ගන්නේ නැත. ඉකුත් මහ මැතිවරණයට ද භික්ෂූන් වහන්සේලා හැට නමක් පමණ ඡුන්දයට ඉදිරිපත්ව තිබුණ බව වාර්තා පළ වී තිබේ. බුදු දහම අනුව හැසිරෙන, නිතර පන්සිල් රකින සමාජයක් නමුත්, එකම හිමිපාණන් වහන්සේ නමක හෝ පාර්ලිමේන්තුවට යවන්නට ඡන්දදායකයෝ තීරණය කර නැත. ලැබුණු ඡන්ද සුළු ප‍්‍රමාණය අනුව හිමි වී ඇති ජාතික ලැයිස්තු එක මන්ත‍්‍රීධුරයක් සදහා ද මතබේදයක් හටගෙන තිබේ. අවුල් වියවුල් මැද පාර්ලිමේන්තු නියෝජනය ලබාගත හැකි නමුත් මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුවට පත් වූ සංඝයා වහන්සේලා මුහුණ පෑ ඉතා අමිහිරි සිද්ධි මතක් වන විට ඇති වන්නේ බලවත් සංවේගයකි.

සමාජය තුළ සිදුවන අයුක්තිය සහ අසාධාරණය දකින අවස්ථාවේ මහණකම නොවැදගත් යැයි ඇතැම් භික්ෂුන්වහන්සේ නමකට කල්පනා කිරීමට අයිතියක් තිබේ. එබදු අය භික්ෂුභාවය ලබා ගත් ගුරු හිමිපාණන්ගේ දෙපා නමැද කසාවත විහාරස්ථානයෙහි තබා දේශපාලන වේදිකාවට පැමිණීම සුදුසුය.

පාර්ලිමේන්තු ක‍්‍රමයට වඩා විශාල සහ පුළුල් විදර්ශනාත්මක අවකාශයක් සංඝරත්නයට තිබේ. ‘‘මිනිහා හදා ගතහොත් රටක් හැදිය හැකි ’’ බව අතිපුජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් ගේ සංකල්පයකි. සමාජය හදන්නට ගමින් ගමට වැඩම කර ධර්මය දේශනා කළ හැකිය. ජන සමාජය ඉතාම සංකීර්ණ තාක්ෂණික යුගයක පවතී. සමාජයට යහ මග පෙන්වන්නට ඇති එකම තැන පාර්ලිමේන්තුව නොවේ. සත්‍ය වටහා දී සංසාරයෙන් එතෙරවීමට අනුසාසනා කිරීම ශාසන ආනිසංසය ඇති කරයි. මහා නායක හිමිපාණන් වහන්සේලාට පමණක් නොව රාජ්‍ය නායකයන්ට ද මෙහි දී වගකීමක් තිබේ. පන්සල හා පාර්ලිමේන්තුව අතර තිබිය යුතු පරතරය සහ ගෞරවය ආරක්ෂා කරගැනීම අරමුණු කරගෙන අලූත් නීති පැනවීම පවා අනර්ථයක් විය නොහැකි යෝජනාවක් බව සදහන් කළ යුතුය.

මෝදි ජනතාවට ළංවෙන සන්නිවේදන බලය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

 

m prash

2020/08/12 – ලංකාදීප

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මාසයකට වතාවක් ඉන්දියානුවෝ ආමන්ත‍්‍රණය කරති. එරට ජාතික ගුවන් විදුලියෙන් ආරම්භ කළ මෙම වැඩසටහන පසුව ඉන්දීය ජාතික රූපවාහිනිය ද සමාන්තරව විකාශය ඇරඹීය. වසර හයක් පුරා මෝදි අගමැතිවරයා ජනතාවට කතා කර තිබේ. එය හුදෙක් ජනතාව වෙත කරන දේශනාවක් නොවේ. කථෝපකතනයකි. රාජ්‍ය නායකයා වශයෙන් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් වෙත සමීපවීමට කරන බලවත් සන්නිවේදන ප‍්‍රයත්නයකි.

‘‘Mann Ki Baat’’ යනුවෙන් මෙම ගුවන් විදුලි වැඩ සටහන නම් කර තිබේ. ඉතාම අඩු වියදමකින් කෙලින්ම ජනතාවගේ හදවතට කතා කරන වැඩ සටහනක් වශයෙන් අවධානයට ලක් ව ඇත. භූමි විශාලත්වය අනුව රට පුරා එකවර වැඩිපුරම යොමුවිය හැකි මාධ්‍ය වශයෙන් ගුවන් විදුලිය බව සදහන්ය. මෝදි අගමැතිවරයා එම අවකාශය අවස්ථාවක් කරගෙන තිබේ. පසුගිය මැයි මාසයේ දී මෙම මන් කී බාත්  වැඩසටහන සම්බන්ධයෙන් කෘතියක් පළ කෙරිණ. මෝදි මහතාට සම්බන්ධ ලේඛකයෙකු වැඩ සටහනෙන් අත්පත් කරගත් අවස්ථා ගැන එහි විස්තරාත්මකව දක්වා තිබේ. එයට කලින් ප‍්‍රකට මාධ්‍ය පර්යේෂණ ආයතනක් මෙම ගුවන් විදුලි වැඩ සටහන ගැන විමර්ෂණයක් කර ඇත. ප‍්‍රධාන නගර හයක් පදනම් කරගෙන කළ එම පර්යේෂණය අනුව සියයට හැට හයක ශ‍්‍රාවක පිරිසක් නිතිපතා සවන් දෙන්නට පුරුදු වී සිටින බව අනාවරණය කරගෙන ඇත. වැඩිම පිරිසක් ගුජරාට්, බිහාර් හා මධ්‍ය ප‍්‍රදේශ වල වැසියෝ බව දැක්වෙයි.scan0336

මෝදි අගමැතිවරයා ජනතාවට දැනෙන කරුණු ගැන ඉතා සරලව මන් කී බට් ගුවන් කාලයේ දී සාකච්ඡා  කරයි. සමහර අවස්ථාවල තෝරා ගත් අසන්නෝ සම්බන්ධ කරගනිති. එක අවස්ථාවක ඉන්දියාවේ විවිධ ප‍්‍රදේශවල වෙසෙන ශිෂ්‍යත්ව දිනා ගත් දරුවන් කණ්ඩායමක් සම්බන්ධ කරගත්තේය.  පවුල් පසුබිම හා අනාගත අපේක්ෂා ගැන කතා කළේය. දරුවන්ට ඉතා ඉහළ පිලිගැනීමක් ලැබුණි. රාජ්‍ය නායකයා සමග කතා කරන්නට ලැබීම විරල අවස්ථාවකි. තවත් අවස්ථාවක ජල හිගයෙන් පීඩා විදින ගමක වැසියෝ සමග සාකච්ඡා කළහ. ප‍්‍රශ්නයේ මුහුණුවර හදුනා ගත් අතර ගත හැකි පියවර ගැන ප‍්‍රවේසමෙන් ජනතාවට කියා දුන්නේය. ජලය සම්බන්ධයෙන් පවතින ප‍්‍රශ්න සහ ඉදිරියේ දී මතුවන අර්බුද ගැන කියා දෙන අතර ජල හිගය විසදන ක‍්‍රමය ගැන ද අවබෝධයක් දුන්නේය. තවත් වතාව හෙතෙම එදිනට යෙදී තිබුණ එරට පැරණි අභ්‍යන්තර කැරැල්ලක විස්තර මතක් කළේය. එය මැඩ පවත්වා සාමය ආරක්ෂා කළ අන්දම හා එය වෙනුවෙන් එදා කැපවූ ඉන්දීය ආරක්ෂක අංශවල නිලධාරීන්ට ප‍්‍රණාමය පුද කර සිටියේය.

රාජ්‍ය නායකයෙකුට රජයේ මාධ්‍ය භාවිතා කරන්නට තහනමක් නැත. සියළුම මාධ්‍ය වල අවශ්‍යතරම් ප‍්‍රචාරය ලබා ගත හැකිය. රාජ්‍ය නායකයෝ යන එන තැන් හා කරන කියන දෑ වාර්තා කරන්නට සෑම මාධ්‍යක්ම යුහුසුළුය. එතෙකින් නතර නොවන අතර  ඕපාදූප සොයා අවුලූවන්නට ද සමත්ය. කරන දෙයට හිමි ප‍්‍රචාරය සහ ජනතාවට කියන්ට ඇති දේ කෙලින්ම සන්නිවේදනය අතර වෙනසක් තිබේ. ජාතිය අමතන අවස්ථාවකට වඩා ඔබ්බට ගිය ස්වරූපයකි. ජාතික ප‍්‍රශ්නයක්, විශේෂ අවස්ථාවක් පමණක් නොව සාමාන්‍ය පුරවැසියෙකුට දැනෙන දෙයක් වෙනුවෙන් සංවේදීවීම රාජ්‍ය නායකයෙකු ගේ පරිනතභාවය පිළිබිඹු කරයි. ප‍්‍රතිපත්ති ගරුකව අසන්නා වෙනුවෙන් පෙනී සිටීම ගැඹුරු සංකල්පයකි. මහා ජනකායක් වෙතට ගොස් ඔල්වරසන් මැද කරන ප‍්‍රකාශනයකට වඩා වටිනාකමක් තිබේ. එය වටහා ගැනීම වැදගත්ය.

ඡන්දයකින් දිනන ජන නායකයන් ජනතා කැමැත්ත ආරක්ෂා කරගත යුතුය. වර්තමානයේ දී පහසු නැත. ප‍්‍රසාදය පවතින්නේ කෙටි කාලයකි. ඉක්මනින් පිරිහීම ඇරඹේ. ජනතාවගෙන් දුරස්වීම එක හේතුවකි. ජනතාව සමග පවත්වන සංවාදය අත් නොහැරිය යුතුය. විශාල පිරිස් මෙහෙයුමක් සහිතව දැවැන්ත ආයෝජනයකින් කරන සන්නිවේදන ප‍්‍රයත්නයකට වඩා විශ්වාසනීයත්වයක්  ඉතා සුළු පියවරකින් ඇති කරගත හැකිය. ජනතාවට කරුණු අවබෝධ කරදෙන්නට අනුගමනය කළ හැකි පියවරකි. නරේන්ද්‍ර මෝදි මහතාගේ ගුවන් විදුලි වැඩසටහන එක සාක්ෂියකි.

 

 

 

 

 

අභියෝග ගොන්නක් එක්ක බලයට පත්වන ආණ්ඩුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

 

m prash

 

2020/08/05 – ලංකාදීප

දස ලක්ෂ සංඛාත ඡන්ද දායකයෝ පිරිසක් පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා අද ස්වකීය ඡන්දය පාවිච්චි කරති. පිලිගත් දේශපාලන පක්ෂ, ස්වාධීන අපේක්ෂකයන් විශාල ප‍්‍රමාණයකි. ජාතික ලැයිස්තුවෙන් වරම් ලබන පිරිස සමග මන්ත‍්‍රීවරු දෙසිය විසි පස් දෙනෙකු පත් කර ගැනේ. උද්යෝගයෙන්, බලවත් උවමනාවකින් මහ මැතිවරණය පැවැත්වෙයි. එහෙත් දිනන ආණ්ඩුව ඉදිරියේ අති විශාල ප‍්‍රශ්න ප‍්‍රමාණයකි. නිදහසට පසු බලයට පත් ආණ්ඩු අතරින්, ඉතාම බලවත් දුෂ්කර අභියෝග එල්ලවන ආණ්ඩුවක් බව ස`දහන් කළ හැකිය.

පසු කරන ලද ඉතා බැරෑරුම් අවස්ථා දෙකක් මෙරට ඉතිහාසයේ සනිටුහන් වී තිබේ. දශක තුනක් රටට පීඩා කළ ත‍්‍රස්ත‍්‍රවාදය එකකි. දකුණේ හෝ උතුරේ යනුවෙන් වෙන් කළ හැකි  නමුත්, ත‍්‍රස්තවාදයේ බලපෑම නිසා රටට තිබුණ වටිනා අවස්ථා අහිමි වී ගොස් ඇත. විනාශ වූ ජීවිත හා දේපොල ගණන් බලා දක්වන්නට පුලූවන්කමක් නැත. සුනාමි ව්‍යසනය තවත් අමිහිරි සිද්ධියකි. ක්ෂණයකින් ශ‍්‍රී ලංකාවේ ඉරණම ආපසු හැරවීය. ත‍්‍රස්තවාදයේ දී සහ සුනාමි විපතේ දී විපත බලවත් නමුත් ජාත්‍යන්තර ප‍්‍රජාව අප හැර නොගියහ. ආර්ථික අතින් ආධාර කරන ලද අතර, ධෛර්යය හා ආත්ම ශක්තිය ඇති කරගන්නට මිතුරු රටවල් මහත් සේ උපකාරී වූ බව මතක් කළ යුතුය.

කොවිඞ් -19 වයිරසය මුලින් සදහන් කළ අවස්ථා දෙකට වඩා බලවත් භීතියක්, කැළඹීමක් ඇති කර තිබේ. සැගවී පහර දුන් ත‍්‍රස්තවාදීන්ට පමණක් නොව ක්ෂණයකින් නැගී වනසා දැමූ ස්වභාවික විපතටත් වඩා භයානකය. මිතුරු රටවල් හා ඒවායේ ජනී ජනයා පවා දුෂ්කරතාවයකය. අනෙක් රටවල් ගැන අවධානය යොමු කරන නමුත් සහන අවශ්‍ය නැති ප‍්‍රජාවක් ලෝකයේ නැත. කොවිඞ් වයිරසයට ප‍්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් අප සියළුම දෙනා පොදු, අනපේක්ෂිත පැවැත්මක බව ඉතාමත් පැහැදිලිය. මහ මැතිවරණයෙන් බලයට පත්වන ආණ්ඩුව රට ඉදිරියට ගෙන යන්නට කලින් ජනී ජනයා ගේ ජීවිත ආරක්ෂා කළ යුතුය. මුලික අවශ්‍යතා ගැන හිතන්නට සිදුවී තිබේ. ඡුන්දය දින්නට පහසු නමුත් ඡුන්දයෙන් පසු ආණ්ඩු කිරීම ලෙහෙසි නැත. අද ඡුන්දය ප‍්‍රකාශ කරන පුරවැසියන් ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් වන විට එම පණිවුඩය අමතක කළ යුතු නැත.scan0319

වැඩිම ආසන ප‍්‍රමාණයක්, ලබා ගන්නා දේශපාලන පක්ෂය උද්දාමයට පත් වනු ඇත. වැඩි මනාප සමග ඇමැති, නියෝජ්‍ය ඇමැති තනතුරු ගැන කල්පනා කරනු ඇත. මැති ඇමැතිවරු වටා විශාල නිලධාරී මණ්ඩලයක් හැදේ. සංස්ථා සහ දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්, තානාපති පත්වීම් ද එයට ඇතුලත්ය. ලෝක ප‍්‍රජාව පැවැත්ම ගැන අරගලයක සිටිය දී මහ මැතිවරණයෙන් පසු ආණ්ඩුවට ඇති අභියෝග පමණක් නොව ආණ්ඩුව තුළ මතුවන අරගලය ද සුපුරුදු පරිදි විය හැක.

කොවිඞ්-19 වසංගතය හා එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතා තිබිය දී සුපුරුදු රටාව වෙනස් කළ යුතුය. අලූත් ආණ්ඩුව අලූත් සැලසුම් වලට යා යුතුය. මහත් බලාපොරොත්තු සහගතව ආණ්ඩුව පත් කරන ජනතාව මුලික ප‍්‍රශ්න නිරාකරණය කරගන්නා තෙක් ඉවසන්නට ද අවශ්‍යය. ඉවසිමට ගරු කරන  ආණ්ඩුවේ සාමාජිකයෝ ජනතාවගේ ප‍්‍රසාදය දිනාගත හැකි පරිදි හැසිරෙන්නට අවශ්‍යය. සුව පහසු වාහන, සුපිරි කාර්යාල සහ ඉහළම වැටුප් සහිත සුඛෝපභෝගී ජීවන රටාව තාවකාලිකව කැප කළ යුතුය. කැපවෙන පණිවුඩය ජනතාවට දෙන්නට කලින්, ඉවසීමක් හා විනයක් ආණ්ඩුවට ඇති බව ඔප්පු කළ යුතුය.

නිදහසට පසු එල්ල වී ඇති බරපතලම අභියෝග වලින් ගැලවී ජන ජීවිතය සුඛිත මුදිත කරනු සදහා ප‍්‍රාතිහාර්යයක් නැත. පියවරෙන් පියවර ඉදිරියට යා යුතුය. ජාත්‍යන්තර ප‍්‍රජාව සාර්ථක වූ අවස්ථා ආදර්ශයට ගැනීම සුදුසුය. රටට අනන්‍ය පියවරක් අනුගමනය කළ යුතු අතර ධෛර්යය අත් නොහැර, අලූත් යුගයක් උදා කරගත යුතුය. තිත්ත තීරණ ගැනීමට සිදුවිය හැකිය. පවතින රාමුව වෙනස් කරන්නට සිදුවනු නිසැකය. ජනතාවට ඇත්ත කියා ඔවුන් එකගකරගෙන වෙනස්කම් කළහොත් අනාගතය සාක්ෂාත් කරගත හැකිය.