තාක්ෂණයෙන් ප්‍රයෝජන ගනිමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/05/25 – ලංකාදීප

කැළණි පාලම එක්තරා වකවානුවක සමාජ සංකේතයකි. මහා වැසි සමයෙහි එහි ආසන්නයේ ජීවත්වූ ජනතාව ගඟ ගලා ජන ජීවිතය අර්බුදයකට පත්වන විට හැසිරෙන්නේ කෙසේදැයි විචාරාත්මක ද්‍රෘෂ්ටියකින් බලන්නට කැළණි පාලම නාට්‍යයට හැකිවිය. දුකට පත් මිනිසුන්, ඔවුන්ගේ භාව ප‍්‍රකාශන, දේශපාලනඥයන්, නිලධාරීන් ගේ හැසිරීම එහි නිරූපනය කරන ලද්දේ යථාර්තය ඒත්තු ගන්වමින්ය. පැල්පත් ජීවිත ගත කළ ඔවුන්ට ජීවිතය හැරෙන්නට අත් හරින්නට වැඩි යමක් එකල තිබුණේ නැත. නමුත් මෙදවස කැළණි ගඟ ගලා ජන ජීවිතය ව්‍යාකූල කරන විට එයට මුහුණ දුන් ජනතාව අති විශාල සමාජ ආර්ථික පරිහානියකට ගොදුරු විය. එයට හේතුව ජීවිත කාලයක් උපයාගත් සියලූ දේපොල අහිමි වීමයි.

දියුණු වෙමින් පැවැති රටක දුප්පත් ජන කොටසක මට්ටමක සිට මැදි ආදායම් රටක යම් ප‍්‍රමාණයක යහපත් ආර්ථික වටපිටාවක ජීවත්වන ජන කොටසක් දක්වා පරිවර්තනය විය. එහිදී ඔවුන් පරිහරණය කරන ලද දේ එකිනෙකට වෙනස්ය. සෑම නිවසකම ගෘහ භාණ්ඩ, නිවෙසට අදාල උපකරණ, විදුලි මෙවලම් සහ යාන වාහන යනා දී වශයෙන් එකිනෙකට වෙනස් පරාසයකය. අයහපත් කාලගුණය මෙම සියලූම දේ පැහැර ගත් අතර ගංවතුරින් යට වූ සෑම නිවසකම අලාභය මතු පිටින් පෙනෙන ආකාරයට වඩා වෙනස් බව අවබෝධ කරගත යුතුය. බත් පැකැට් සහ ඇඟළුම් බෙදන ආකාරයේ උපකාර දෙස අවඥාවෙන් බලන්නට ඇතැම් කොටස් නැඹුරු වූයේ එහෙයින් බව තේරුම් ගැනීම වැදගත්ය.

ස්වභාවික විපත් කොතැන කවර ආකාරයකට මතුවී අපහසුතා ඇති කරන්නේ දැයි නිවැරදිව කියන්නට හැකියාවක් නැත. නමුත් අනුමාන කර විපත් අවම කරගන්නට තාක්ෂණය දියුණුය. දේපොල ආරක්ෂා කරගත නොහැකි අවස්ථාවල පවා ජීවිත ආරක්ෂා කරගන්නට නවීන තාක්ෂණය ඉවහල් වී තිබේ.

ශ‍්‍රී ලංකාව මැදි ආර්ථික මට්ටමක රටක් වශයෙන් ස්වභාවික විපත් හමුවේ තාක්ෂණයෙන් උපරිම ප‍්‍රයෝජන අත්පත් කරගන්නේ කෙසේදැයි අවධානය යොමු කරන්නට අවශ්‍යය. දුගීකමින් අත් මිදෙන්නට කරන ලද ආයෝජනය යම් ප‍්‍රමාණයකට සාර්ථක වී ඇති අතර මෙරට පොදු ජනතාව දල්වන ලද අපේක්ෂා සහිත සමාජයක ජීවත්වන පුරවැසියන් බවට පත්ව සිටී. මෙතැන් සිට ඉදිරිය බලා ගමන් කිරීමේ දී ස්වභාවික විපත් ගැන විද්‍යාත්මක අවධානයකින් සිටින්නට සූදානම් විය යුතුය. රැකවරණය සහ ආපදා කළමණාකරණය ගැන වෘත්තීය ආකාරයකට ක‍්‍රියාකරන්නට අවශ්‍යය. ස්වභාවික විපත් හමුවේ ගැලවීමේ හමුදාවක් වශයෙන් ක‍්‍රියා කරන්නට රටට ඇති හැකියාව ප‍්‍රමාණවත් නැති බව අවබෝධ කරගත හැකිය. මෙහි දී පුනරුත්තාපනය සහ රක්ෂණය ඉතාම වැදගත්ය. ගත කරමින් සිටි ජීවිතය කරා විපතට පත්වූවන් ඔසවා තබන්නට පුනරුත්තාපන වැඩසටහන් ප‍්‍රයෝජනවත් වෙයි. රක්ෂණය වැදගත් වන්නේ අහිමි වූ දේපොල නැවත හිමි කර ගැනීමේ ක‍්‍රියාවලිය වෙනුවෙන්ය.

අධික වැසි, කඳු නායයාම් සහ ගංවතුර හමුවේ රටට අත්විඳින්නට සිදුවූ බරපතල තත්ත්වය සමාලෝචනය කර සංවාදයක් කළ යුතුය. මැදි ආදායම් රටක පුරවැසියන් වශයෙන් විපතකට පත්වන පොදු ජනතාව දෙස බැලිය යුතු ආකල්ප පවා වෙනස් එකකි. ඔවුන් වෙත සමීප විය යුතු ඔවුන්ගේ හානිය ගැන අවබෝධයක් ඇතිවය. නිරුප‍ද්‍රිත යුගයක් වෙනුවෙන් ජන සමාජය ගත යුතු තීරණය එයයි.

 

 

 

Advertisements

ස්වාභාවික විපත්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/05/18 – ලංකාදීප

කාලගුණ විපර්යාස සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියට ශ‍්‍රී ලංකාව පසුගිය දා අත්සන් කළේය. එම සම්මුතිය අනුව පරිසර හිතකාමී සැලසුම් වලට ගමන් කරන්නට රට එකඟත්වය පළ කර ඇත. ගෝලීය උණුසුම ඉහළ යන්නට හේතුවන කාරණා වලින් වැලකී සිටින්නට රාජ්‍යයක් වශයෙන් වගකීම භාරගෙන තිබේ.එය ඉතාම වැදගත් අදහස් ගණනාවකින් සමන්විතය. එයින් පෙනී යන්නේ පරිසරය සම්බන්ධයෙන් පුලූල් අවධානයක් යොමු කරන්නට රජය සූදානම් බවය. පාරිසරික විශේෂඥ අදහස් නිතර පෙන්වා දෙන්නේ පරිසරයට එකඟ ආකාරයට ජන ජීවිතය පවත්වා ගත යුතු බවය. ජනමාධ්‍ය ඒ බව පෙන්වා දෙන්නේ තද අවධානයක් සහිතවය. නමුත් මෙයින් මාස කිහිපයකට කලින් තිබුණ අධික උශ්ණත්වයකින් යුතු පරිසරය අද වන විට තද වැසි සහ ගංවතුර තර්ජන ඇති කරන තැනට පත්ව තිබේ.

දින කිහිපක් තද වැසි සහිත කාලගුණය මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනගහනයක් අසරණ කර ඇත. නාය යාම සහ ගංවතුර ජීවිත ගණනාවක් බිලි ගෙන තිබේ. එය ඉතාමත් කණගාටුදායක අවස්ථාවකි. ජීවිතයක වටිනාකම ගැන මානව සංහතිය තුළ අති විශාල උනන්දුවක් ඇති අවස්ථාවක මෙවැනි විපත් පිටුදැකිය යුතුය.කාලගුණ වෙනස්කම් ගැන අවධානයට තාක්ෂණය බලවත් පිටිවහලක් වී තිබේ. ඉතාමත් දියුණු මෙවලම් උපයෝගී කරගෙන ජගත් ප‍්‍රජාව හදිසියේ සිදු විය හැක්කේ කුමක්දැයි අවධානයෙන් සිටී. මහ වැසි වැටෙන, ගිණි කඳු විදාරනය වන, අධික සුළං හමන බව කල් ඇතිව දැනගන්නට හැකියාව ලැබී තිබේ. ගංගා පිටාර ගලන, පමණක් නොව කඳු නාය යන බව කල්තබා දැන ගැනීමෙන් විපත් වලකාගන්නට හැකියාව ලැබී ඇත. ජනගහනය වැඩි වන විට ස්වභාවික තත්ත්ව වෙනස්වන අතර එය මනුෂ්‍යයාට බලපාන ආකාරය සොයා බලා වහා ප‍්‍රතිකර්ම කරන්නට දියුණුවට පත් ලෝකය අවස්ථා සම්පාදනය කරගනිමින් සිටී. මිනිස් ක‍්‍රියාකාරකම් වධිමත්ව සහ පරිසරයට උචිත ආකාරයට හසුරුවන ලෙස කළමනාකරණය වන්නේ ද ඒ අනුවය.

කාලගුණ විපත් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති අනුව ක‍්‍රියා කරන්නට සූදානම් වන ශ‍්‍රී ලංකාව ඒ සඳහා ජාතික සැලැස්මක් අනුගමනය කිරීම වැදගත්ය. මෙරට භූමිය සහ මානව සම්පත නිසි ලෙස කළමණාකරනය කිරීම එහිලා ඉතාම අවශ්‍යය. අද වන විට අනාවරණයවන කරුණු වලට අනුව විපත්වලට බලපා ඇත්තේ ජනතාව අනතුරු ඇඟවීම් නොසලකා තම පැවැත්ම සකස් කරගැනීමයි. දැඩි අවදානම් කලාප වල පදිංචි වී සිටින අතර ගං ඉවුරු සහ අනාරක්ෂිත ස්ථාන ගැන කරන විද්‍යාත්මක කරුණු දැක්වීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නැත.

ශ‍්‍රී ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් පරෙස්සමෙන් සොයා බලා මිනිස් වාසයට සුදුසු තැන් නිශ්චය කිරීම පහසුය. නාගරික ප‍්‍රදේශ පමණක් නොව වකා කටයුතු වලට සුදුසු සහ කර්මාන්ත වලට ගැලපෙන තැන් වෙන් කළ හැකිය. ජලාශ ආශි‍්‍රත නගර සහ කඳුකර ප‍්‍රදේශවල ජන ජීවිතය නැවත සකස් කරන්නට බැරිකමක් නැත. සියලූම නගර නැවත සැලසුම් කර ඉදිරි සියවසට ගැලපෙන පරිදි සකස් කරන්නට හැකියාව තිබේ. මේ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදි උවමනාවක් පමණකි.

හැමදාමත් ගංවතුරට යටවන සහ නාය යන තැන් වලින් ජනතාව ඉවත්කර ජීවත්වන්නට සුදුසු තැනි වල අලූත් නගර ඉදිකළ හැකිය. මිනිස් ක‍්‍රියාකාරකම් නිසා පොලව කනින, පාංශූ ඛාදනයට හේතුවන තැන් සොයා බලා ඒවා ප‍්‍රසිද්ධ කරන්නට හැකියාව ලැබේ. කුඩා රටක් හෙයින් එක සැලැස්මකට ප‍්‍රතිපත්ති සම්පාදනය කළහොත් ස්වභාවිකත්වය ආරක්ෂා කරගෙන ජන ජීවිතය නගා සිටුවන්නට නොහැකියාවක් නැත. අවශ්‍ය කරන්නේ ඒ වෙනුවෙන් කැපවීම පමණකි. ස්වභාවික විපත් වලට මුහුණ දෙන, එයින් ජන ජීවිතය අසරණ වී ඇති මෙවන් අවස්ථාවක එය කළමණාකරණය කරන නිසි වැඩ පිළිවෙලක අවශ්‍යතාවය සාකච්ඡුා කිරීම රටට ඉතාම වැදගත්ය.

 

 

 

සත්ත්ව කරුණාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/05/11 – ලංකාදීප

දකුණු ඉන්දියාවේ කදිනම්කුලම් හි ශ‍්‍රී මහාදේව් කෝවිල මේ දිනවල ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති තැනකි.  කුමාරපුරම් හි භාග්‍යවතී දේවාලය ද ඒ හා සමාන ආකාරයට ලෝක ජනමාධ්‍යයේ මාතෘකාවක් වී තිබේ. කෝවිල් පරිපාලන අංශ ගෙන ඇති තීන්දු මෙම පසුබිමට හේතුවයි. කදිනම්කුලම් කෝවිල පසුගිය උත්සවය දක්වා අලි ඇතුන් දහ අටදෙනෙකු යොදවාගෙන මහත් භක්තියෙන් දේව ප‍්‍රතිමා වීදි සංචාරය කරවා ඇත. මේ අවුරුද්දේ උපයෝගී කරගන්නේ එක අලියෙකි. ලබන වසරේ සිට එය සම්පූර්ණයෙන්ම නතර කරනු ඇත. භාග්‍යවතී දේවාලය අලි ඇතුන් ගෙන යන දේව ප‍්‍රතිමා සංචාරය කරනු සඳහා මිනිසුන් ඔසවාගෙන යන දෝලාවක් නිර්මාණය කර තිබේ. මෙම සිද්ධි වලින් පෙන්වන්නේ සම්ප‍්‍රදාය වෙනස් කරන තරමට සත්ව කරුණාව බලපෑමක් වී ඇති බලවත් ආකාරයයි.

හිංසනය වලක්වන සහ සියලූම සත්වයන් කෙරෙහි කරුණාවෙන් සලකන්නට ප‍්‍රවනතාවක් ඇතිව තිබේ. එය එක්තරා උසස් ලක්ෂණයක් දක්වා ඉහළටම පැමිණ ඇත. දකුණු ඉන්දියාවේ දේවාල තමන්ගේ උත්සවයේ දී විලංගු සහිතව අලි ඇතුන් භාවිතා කිරීම පවා අත් හැර දමන්නට තීරණය කරන්නේ ඒ අනුවය. දේවාලයේ පූජකයන් පමණක් නොව ඒවා පාලනය කරන අධිකාරීන් ද දේවෝපහාරය වෙනුවට සතුන්ගේ අයිතිය ගැන හිතන්නට පටන්ගෙන තිබේ. එය ජනතාවගේ ප‍්‍රසාදයට ද ලක්වන කාරණාවක් වී ඇත.

ගහ කොළ වන සතුන් මිනිසා උදෙසා නොව මිනිසුන් ද සමග එකට ජීවත්වන කොටසක් බව තීරණය කරන සමාජය සතුන්ට පීඩාව, හිංසනය වෙනුවට සතුන් ගේ ගැන කතාකරන අතර එය උසස් මානුෂිකත්වය බවට ද දක්වන්නේය. ලෝකය දියුණුවන විට ආකල්ප වෙනස් වෙයි. සිතුම් පැතුම් වෙනත් ආකාරයකට ක‍්‍රියා කරයි. සංස්කෘතික අංග සහ සම්ප‍්‍රදායට ද අභියෝග කරන මට්ටමට පැමිණ ඇත.

ශ‍්‍රී ලංකාවේ ද ජන සමාජය සත්ව හිංසනය ප‍්‍රතික්ෂේප කර සතුන් ගේ අයිතිවාසිකම් ගැන කතාකරන්නට පටන්ගෙන තිබේ.දීර්ඝ කාලයක් මහනුවර දළදා මාලිගාවේ කරඞුව වැඩමවන ලද රාජා ජනතා සත්කාරයට ලක්වෙයි.  ජීවත් වූ රාජා පමණටම මිය ගිය රාජා ද බොදුනුවන් තුළ ගෞරවය ලබයි. මෙරට පෙරහර වල අලංකාර සළු පිළි හැඳ විනයානුකූලව බර අඩි තබමින් ගමන් කරන අලි ඇතුන් සංස්කෘතියෙහි කොටසකි. අලි ඇතුන් නැති පෙරහරක් ගැන සංවිධායකයන්ට හිතන්නට නොහැකි පමණක් නොව ඒවා නරඹන්නට ද බැතිමතුන් උනන්දු නොවනු ඇති බව නිසැකය. දකුණු ඉන්දියාවේ දේවාලයක අලි ඇතුන් නැති පෙරහර පවත්වන නමුත් මේවා අපට ගැලපෙන ඒවා ද යන්න සලකා බැලිය යුතු ප‍්‍රවේසමෙන්ය. අනාදිමත්  කාලයක සිට ජන ජීවිතය සමග බද්ධ වී ඇති සහ බොදුනුවන්ගේ දර්ශනය හා පැවැත්ම අනුව හිංසනයක් සම්බන්ධව කිසිදු චේතනාවක් නැති උතුම් ක‍්‍රියාවකට සම්බන්ධ කර ගැනීම සලකා බැලිය යුතු වෙනත් ආකාරයකින්ය.

දළදා වහන්සේ වඩමවන මහනුවර ඓතිහාසික මහා පෙරහර සියලූ සංස්කෘතික අංහ වලින් පොහොසත් එකකි. එක් එක් ජන කොටස් වලට අනන්‍ය වාදක, ගායන සහ නර්තන  අංග එයට එකතු වෙන්නේ බුද්ධ වන්දනාව ගෞරවයක් වශයෙන් සලකමින්ය. එහි වතාවත පමණක් නොව අලංකෘත භාවය විඳින්නට ලෝකයේ නොයෙක් රටවලින් පැමිණෙන පිරිස ද එය සුවිශේෂී උත්සවයක් සේ දකිති. නමුත් ජාත්‍යන්තරයේ සිදුවෙමින් පවතින දේ පමණක් නොව සංස්කෘතික අංග අභියෝගයට ලක්වීම තේරුම් ගත යුතුය. ආකල්ප වෙනස්වන පමණක් නොවසමාජ වටිනාකම් සම්බන්ධ අලූත් අර්ථකතන එකතු වෙමින් පවතින ආකාරය ද විමසා බැලීම වැදගත්ය.

 

 

 

 

සූර්ය බල ශක්තියට ඉඩක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/05/04 – ලංකාදීප

වසර 2025 සිට පොසිල ඉන්ධන භාවිතා කර ධාවනය කරන කාර් භාවිතා කිරීම තහනම් කරන්නට නෙදර්ලන්න පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරගෙන ඇත. එම යෝජනාවට හොඳ ප‍්‍රසාදයක් ලැබී තිබේ. එරට කැබිනට් මණ්ඩලය ඒ වෙනුවෙන් සැලැස්මක් සූදානම් කරන්නට යයි. එරට ඇම්සඩ‍්‍රෑන් නගරයේ පදිංචිකරුවන්ට සිය වාහනය ගාල් කර තබන්නට ඉඩ සොයා ගැනීම අපහසුය. නමුත් වාහනය පරිසර හිතකාමී විදුලි එකක් නම් නිවස ඉදිරිපිට ගාල් කිරීමේ අවසරය පමණක් නොව ආණ්ඩුවේ වියදමෙන් එහි බැටරි නොමිලේ ආරෝපනය කර දිමට ද සූදානම්ය.

ඔස්ලෝ නගරය මේ හා සමාන තවත් තීරණයක් ගෙන තිබේ. ඒ අනුව නගරය තුළට පුද්ගලික වාහන ඇතුළු කිරීම 2020 සිට තහනම් කරනු ඇත. සිංගප්පූරුව සති අන්ත දිනවල එරට ප‍්‍රධාන මහා මාර්ග වල මංතීරු පා පැදි වලට පමණක් වෙන් කරන අතර වාහනයක ගමන් කිරීම අපහසු වන එකක් තරමට එම නීතිය තදින් බලපානු ඇතැයි සැලකේ.

නෝර්වේ රාජ්‍යය සූර්ය බලය බෙහෙවින් ප්‍රයෝජනයට ගැනීමට සැලසුම් කර ඇති අතර දිවා කාලයේ දී සියලූ බලශක්ති අවශ්‍යතා හිරු එලිය උපයෝගී කරගෙන  සපුරා ගන්නට ක‍්‍රියා කරයි. දිවා කාලයේ දී ක‍්‍රියාත්මක කරන සූර්ය බල විදුලි මෝටර් ජලාශ වල පහල සිට ඉහළට ජලය පොම්ප කර ගබඩා කරගන්නා අතර රාත‍්‍රියේ දී ජල විදුලිය නිපදවන්නේ එම ජලය මුදා හැර කරකවන ටර්බයින් වලින්ය. එය අලූත් සැලසුමකි.

මෙම තොරතුරු පෙන්වන්නේ ලෝකයේ නොයෙක් රටවල් බලශක්ති ක්ෂේත‍්‍රය සම්බන්ධව අලූතින් හිතා බලන ආකාරයයි. වර්තමානයේ ඛනිජ තෙල් නැත්නම් පැවැත්මක් නැතැයි හිතන රටවල් තවත් දශකයකින් දෙකකින් සම්පූර්ණයෙන් සූර්ය බල තාක්ෂණයෙන් මෙහෙයැවෙන තත්ත්වයකට පත්විය හැකි ලකුණු තිබේ. පොසිල ඉන්ධන භාවිතය අත් හරිමින් සිටින්නේ අවුරුද්ද පුරා හිරු රුස් නොවැටෙන රටවල් වන අතර මෙම රටවල් තෙල් මිල කොපමණ ඉහළ මට්ටමක දී පවා මිල දී ගත හැකි තරමට ධනවත් බව සිහිපත් කිරීම ද මෙහිදී වැදගත්ය.

ශ‍්‍රී ලංකාව අවුරුද්ද පුරා හොඳට හිරු රුස් වැටෙන රටකි. ඛනිජ තෙල් මිල වැඩිවන විට රටට එහි පිරිවැය දරා ගැනීම පහසු නැත. එහෙයින් සූර්ය බල ශක්තිය ප‍්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් පුලූල් දර්ශනයක් සහිතව ක‍්‍රියාත්මක විය යුතුය. ලෝකයේ නොයෙක් රටවල් වේගයෙන් ස්වභාවික බලශක්ති ප‍්‍රභවයන් වෙත යොමුවන වකවානුවක සූර්ය බලය ප‍්‍රයෝජනය සඳහා රටට ඇති අවස්ථාව සම්බන්ධයෙන් අදට වඩා ප‍්‍රමාණවත් උනන්දුවක් අවශ්‍යය.

නෙදර්ලන්තය අවුරුදු දහයකටත් අඩු කාලයක් තුළ පොසිල බලය අත් හරින්නට තීරණය කරන විට එය විශාල පරිවර්තනයකි. සමාජය එයට සූදානම් විය යුතුය. ඉන්ධන භාවිතා කරන වාහන අත් හැර අලූත් වාහන මිල දී ගන්නට සිදුවන අතර එය විශාල වියදමකි. නමුත් නෙදර්ලන්තයේ වැසියන් පරිසරයට සිදුවන යහපත තකා එවැනි කැපවීමකට සූදානම්ය. සිංගප්පූරු වැසියන් වාහන පැත්තකින් තබා පා පැදියෙන් ගමන් කරන්නටත්, ඔස්ලෝ ඇතුළු නගර සෑහෙන ප‍්‍රමාණයක වාහන ඇතුළු කිරීම සීමා කරන්නටත් සූදානම් වන විට ශ‍්‍රී ලංකාවේ සැලැස්ම කුමක් ද යන්න විමසා බැලීම වැදගත්ය. ශ‍්‍රී ලංකාව පසුගිය දා ජාත්‍යන්තර කාලගුණ විපර්යාස සම්බන්ධ සම්මුතියට අත්සන් කළේය. එම එකඟතාවය අනුව පරිසර හිතකාමී සැලසුම් වලට ගමන් කරන්නට රට එකඟ වී තිබේ. එහෙයින් ජාත්‍යන්තරයේ සිදුවන මෙවැනි දේ ගැන අවධානය යොමු කිරීම වැදගත්ය.

ඇතැම් රටවල මෙම තීරණ ගන්නේ ප‍්‍රධාන ආණ්ඩුව නොවේ. පරිසරය සහ ආර්ථික සාධක සලකා බලා නීති සකස් කරන්නේ නගර සභා වැනි ප‍්‍රාදේශීය පාලන ආයතනයි. ආණ්ඩුවට පමණක් නොව පලාත් පාලන ආයතන වලට ද තමන්ගේ බල ප‍්‍රදේශය සම්බන්ධයෙන් තීරණගත හැකිය. අඩු තරමින් ඉන්ධන පරිභෝජනක් නැති වාහන පාවිච්චිය දිරිමත් කරන්නට අවකාශයක් තිබේ. අලූතෙන් අවධානය යොමු කළ යුතු පැති වශයෙන් දැක්විය යුතුය.