දුම්රිය ප්‍රමාදයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

 

milinda-prashna

2016/11/30 – ලංකාදීප

ස්කොට්ලන්තය මහා බි‍්‍රතාන්‍යයේ කොටසක් නමුත් වෙනම පාලනයක් ඇති රටකි. කුඩා නමුත් හොඳ ජීවන තත්ත්වයක පසුවෙයි. ස්කොට් වැසියන් පොදු ප‍්‍රවාහනය වශයෙන් දුම්රියට කැමැතිය. එරට දුම්රිය සේවාව රජය සතු ව්‍යාපාරයකි. කිලෝ මීටර් තුන් දහසක් පුරා පවත්වාගෙන යන සේවය අවුරුද්දකට මගීන් මිලියන හැට දෙකක් එහා මෙහා ගෙන යන බව සඳහන්ය.

ස්කොට්ලන්ත පාලකයන් එරට දුම්රිය ගමන් මගීන් ගේ පහසුව ඉහළින්ම සලකයි. පසුගිය දා එරට ප‍්‍රවාහන අමාත්‍යවරයා දුම්රිය ප‍්‍රමාදවීම ගැන මගීන්ගෙන් සමාව ඉල්ලා සිටියේය. ජාත්‍යන්තර මාධ්‍ය එම ප‍්‍රවෘත්තිය ප‍්‍රමුඛ තැනෙක ලා වාර්තා කර තිබිණ. සිද්ධි ප‍්‍රවෘත්තියක් වෙන්නේ අසාමාන්‍ය හෙයින්ය. ලෝක ප‍්‍රවෘත්තියක් වෙන්නේ එයටත් වඩා අවධානයට ලක්වන කාරණයක් බැවිනි. ඇතැම් රටවල ඇමැතිවරු ක‍්‍රියා කරන අන්දම අනුව සමාව ඉල්ලන සිද්ධි විරල බව ඇත්තකි. එහෙයින් ඒවා පුදුමාකාර ප‍්‍රවෘත්ති බවට පත්වෙයි. නමුත් ස්කොට් ඇමැතිවරයා මගීන්ගෙන් සමාව ඉල්ලන්නේ වැලැක්විය නොහැකි කරුණු මත සිදුවූ දුම්රිය ප‍්‍රමාදය ගැන කරුණු දක්වමින්ය.

ස්කෝට්ලන්තය පමණක් නොව ජපානය එරට විදුලි දුම්රිය ප‍්‍රමාද වුවහොත් දුම්රියෙන් බැස යන මගීන්ගෙන් එයට සමාව ඉල්ලයි. ජර්මනියේ දුම්රිය සේවය වෙලාවට ධාවනය කරන අතර එයට පසුබිම් වූ උපමා කතාවක් අනුව වෙලාවට දුම්රිය වේදිකාවට ගෙන නොඑන රියැදුරෙකුට මුසෝලිනි දඞුවම් කරන ලද බව කියැවෙයි. එතැන් සිට වෙලාවට දුම්රිය ධාවනය වූ අතර මගී ප‍්‍රවාහනය කොපමණ වැදගත් දැයි කියන්නට එය ද සාක්ෂියකි. ඉන්දියාවේ දුම්රිය අනතුරක් සිදුවුවහොත් වගකීම භාරගන්නේ ඇමැතිවරයාය. මහතීර් මොහමඞ් මහතා මැලේසියාවේ බස් රථ වෙලාවට ධාවනය කරනවාදැයි බලන්නට ඒවායේ අයිතිකරුවන් පෙළැඹවීය. නගරයේ තදබදය අඩුකර කගරය කාර්යක්ෂම කරනු සඳහා බස්ගාස්තු අය නොකරන නොමිලේ සේවයක් එස්තෝනියාව හදුන්වා දුන්නේය. ස්කොට්ලන්තයේ සමාව ඉල්ලීමේ සිට එස්තෝනියාව දක්වා එදා මෙදා පොදු ප‍්‍රවාහනයට අදාල සිද්ධි කියන්නේ පොදු ජනතාවගේ ගමන බිමන් ගැන රට රටවල පාලකයන් දක්වන උනන්දුවක තරමය.

ජාත්‍යන්තරයේ පවතින තත්ත්වය ගැන විස්තර දන්නා අපට මෙරට පොදු ජනතාව ගමන් බිමන් යන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කරන්නට වගකීමක් තිෙබි. පොදු ප‍්‍රවාහනයේ දී ජනතාව බලවත් වේදනාවක් විඳිති. වෙලාවට දුම්රිය නැත. ලංගම බස් රථ ප‍්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ කරන්නට ප‍්‍රමාණවත් නොවේ. පුද්ගලික බස් රථ සේවය ගැන මහජන විවේචන අප‍්‍රමාණය. වේගවත් සහ නවීන දුම්රිය සේවා රටට එªන්වා දෙන බව කියන්නේ සෑහෙන කාලයක සිටය. එසේ තිබිය දී දුම්රිය, බස් රිය පමණක් නොව තමන්ගේම වාහනයකින් ගමනක් යන්නට පාරට එන පුරවැසියන් මුහුණ දෙන්නේ සෑහෙන දුෂ්කරතාවන්ටය.

ජනතාව දුක්විඳින අතරවාරයේ ජනතා නියෝජිතයන් වශයෙන් පත්වන මැති ඇමැතිවරු හැසිරෙන්නේ කෙසේද? වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරු තමන්ගේ බදු රහිත  වාහන බලපත‍්‍රය, අමාත්‍යංශ නිල වාහනය හෝ එවැනි වාහනයක් දෙනතුරු ගන්නට තැත් කරන දීමනා සම්බන්ධ විස්තර මාධ්‍යයෙන් කියවන විට ලෝකයේ වෙනත් රටවල සිදුවීම් අභව්‍ය දේ මෙන් පුරවැසියන්ට දැනෙන බව නිසැකය. ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පොරොන්දු දී බලයට පත්වන මහජන නියෝජිතයන්ට මැතිවරණ වේදිකාවේ දී ජනතා දුක වෙනුවෙන් කියන ලද කිසිවක් මතක නැති බව පැහැදිලිය. දුම්රිය ප‍්‍රමාදවීම ගැන සමාව ඉල්ලන ඇමැතිවරු ඉන්නා ලෝකයක ශ‍්‍රී ලංකාව යන දූපතේ මහජන නියෝජිතයන් තමන් මහජන මුදලින් නඩත්තු වන ආකාරය ගැන නැවත හිතා බැලීම සුදුසුය.

 

 

 

ජනමතය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/11/23 – ලංකාදීප

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ආණ්ඩු පත් කරන්නේ පොදු ජනතාවයි. මහජන ඡන්දයෙන් බලයට පත් ආණ්ඩු ජන සම්මත ව්‍යවස්ථාවට අනුකූලව ක‍්‍රියාත්මක වෙයි. නිල කාලය තුළ ආණ්ඩු හැසිරෙන අන්දම අනුව ජනප‍්‍රියත්වය අඩු  වැඩිවෙන බව නිරීක්ෂණය කළ හැකිය. පාලනය මැනැවින් පවත්වාගෙන යන සමහර රටවල් ජනතාව හමුවට ගොස් තමන් ක‍්‍රියාත්මක වන ආකාරය ගැන සමීක්ෂණ වලින් විමසා බලයි. ආණ්ඩු ජනතා මතය සොයා නොබලන විට ජනමාධ්‍ය ආයතන කරන්නේ ස්වාධීන සමීක්ෂණ පවත්වා ඒවායේ ප‍්‍රතිඵල අනාවරණය කිරීමයි. එම දත්ත ඇසුරු කරන පාලකයන් සිය තීන්දු ගැනීමේ ක‍්‍රියාවලියේ දී සාධාරණ වෙන්නට උත්සාහ දරති.

ජනමත සමීක්ෂණ, නමත විචාරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වටිනාකම නංවන තැන්ය. විශේෂයෙන් ජනමත විචාරණය ව්‍යවස්ථාවෙන් පනවන ලද, ජනතා අනුමැතිය ලබාගැනීම සඳහා අනුගමනය කරන ක‍්‍රමයකි. ජනමතය ගැන හොඳටම විශ්වාසය තබා තමන්ගේ තීරණයට ජනතා අනුමැතිය ඉල්ලා සිටි ආණ්ඩු අපහසුතාවයට පත් අවස්ථා ලෝක ඉතිහාසයෙහි තිබේ. ඉතා මෑතක බි‍්‍රතාන්‍ය ජනමත විචාරණයක් පවත්වන ලදී. යුරෝපා කොමිසමෙන් ඉවත් විය යුතුද නැද්ද යන කාරණය ගැන ජනමතය විමසීය. අගමැති කැමරන් මහතා යුරෝපා කොමිසම ගැන ඉලක්කයක සිටි අතර කොමිසමේ සාමාජිකත්වය දැරිය යුතුයැයි ජනතාව අනුමත කරනු ඇතැයි හෙතෙම විශ්වාස කළේය. පූර්ව සමීක්ෂණ වල දී ද අගමැතිවරයාව සිටි ඬේවිඞ් කැමරන් ට වාසිදායක බව අනාවරණය වූ නමුත් බි‍්‍රතාන්‍ය ජාතිකයෝ මෙම ජනමත විචාරණයේ දී කැමරන් පරාජය කළහ. ඔහු ධුරයෙන් ඉල්ලා අස් වූ අතර දැන් යුරෝපා කොමිසමෙන් ඉවත්වන බාරධුර කාර්යයෙහි බි‍්‍රතාන්‍ය නිරතය.

මෙම ජනමත විචාරණයේ ප‍්‍රතිඵල ගැන ආන්දෝලනය අවසන් වන විට දැන් ජාත්‍යන්තරය බලා ඉන්නේ ඉතාලියේ ජනමත විචාරණයට කුමක් වනු ඇත් ද යන්න ගැනය.

ඉතාලියේ අගමැති මැටෙයෝ රෙන්සි  එරට ජනප‍්‍රිය චරිතයකි. හෙතෙම ආණ්ඩුවේ නීති වෙනස් කිරීමේ පටිපාටිය පහසු කරන යෝජනාවක් ඉදිරිපත් කරන ලද අතර එය ලබන දෙසැම්බර් හතරවැනිදා ජනමත විචාරණයකට ඉදිරිපත් කරන්නට නියමිතය. ව්‍යවස්ථාවට අනුව අලූත් නීති සම්පාදනයේ දී සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යය. සෙනෙට් බහුතරයක් නැති අවස්ථාවල පවා ආණ්ඩුවට අවශ්‍ය නීති සංශෝධනය කරගත හැකිවන පරිදි ව්‍යවස්ථාව වෙනස් කරන්නට ඉතාලිය සූදානම්ව සිටී. යෝජනාව කැබිනට් සහ සෙනෙට් අනුමැතිය ලබා ඇති අතර දැන් අවශ්‍යව ඇත්තේ ජනතා අනුමැතියයි. මේ සඳහා වූ ජනමත විචාරණයේ දී ආණඩුව පරාජය වුවහොත් තමන් ධුරයෙන් ඉවත්වන බව අගමැතිවරයා සඳහන් කර තිබුණු අතර දැන් වන විට මෙම ජනමත විචාරණය අගමැතිවරයාට අවාසි සහ ඇතැම්විට ඉතාම තියුණු සටනක් වන ලකුණු පෙන්වා තිබේ.

ඉතාලි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එන ජනමත විචාරණ දෙකක් මෙතෙක් පවත්වා තිබේ. 2001 වසරේ පැවැත්වූ ජනමත විචාරණය ආණ්ඩුව ජයගත් අතර 2006 වසරේ දී පවත්වන ලද ජනමත විචාරණයේ දී ආණ්ඩුව පරාජයට පත්විය.

ඉතාලියේ ලාබාලතම අගමැතිවරයා සේ සැලකෙන මැටෙයෝ රෙන්සි 2014 වසරේ සිට අගමැති ධුරය උසුලන අතර නගරාධිපති ධුරයක සිට අගමැතිවරයෙකු දක්වා  ගමනක් පැමිණි ජනප‍්‍රිය පාලකයෙකි. ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ජනතාව හමුවට ගෙන ගිය හෙතෙම අද වන විට උණුසුම් ප‍්‍රතිචාර වලට මුහුණ දෙමින් සිටී. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල මහජනතාව හැසිරෙන අන්දම පූර්ව විනිශ්චයකට යා නොහැකි තත්ත්වයකට පත්ව ඇති අතර ජනමත විචාරණ යෝජනා කරන පාලකයන් මුහුණ දෙන පසුබිම ද සලකා බැලිය යුතුය.

 

බ්‍රිතාන්‍යයේ පාසලකින් නිවසට ලිපියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

16/11/2016ලංකාදීප
milinda-prashna
පාසල අධ්‍යාපනය ලබා දෙන තැනයි. නිවසේ දෙමාපියන් සමග ගත කරන කාලයට වැඩි වේලාවක් දරුවන් ජීවත් වෙන්නේ ගුරුවරු ඇසුරෙහිය. මෙරට අද පවතින අධ්‍යාපන රාමුව අනුව දරුවා පාසලෙන් පසු ටියුෂන් පන්තියටය. තමන්ගේ දරුවාගේ දුක සැප සොයන්නට මව්පියන්ට ලැබෙන කාල අවකාශය සීමිතය. අම්මාත් තාත්තාත් රැකියාව කරන නිවසක දරුවන් හැදෙන වැඩෙන අයුරු වඩා දැනෙන්නේ පාසලේ ගුරුවරයාට හෝ ගුරුවරියටය. දරුවා තේරුම් ගෙන නිවසට සන්නිවේදනය කරන අලූත් ව්‍යුහයක් අත්හදා බැලීම සුදුසුය.

බි‍්‍රතාන්‍යයේ පාසල් පරිපාලනය දරුවා ගැන සොයා බලා නිවසට ලිපියක් එවන ක‍්‍රමයක් හදුන්වා දී තිබේ. එයට අනුව දරුවන් ගේ බර වැඩිවන විට එය අනතුරක් බව ලිඛිතව දන්වයි. දත්ත අනාවරණය කරන අන්දමට බි‍්‍රතාන්‍යයේ පාසල් සිසුන් පස් දෙනෙකුගෙන් අයෙකු බර වැඩිය. නොඑසේනම් තරබාරුය. ප‍්‍රාථමික අධ්‍යාපන මට්ටමේ දී එය මෙයටත් වඩා වෙනස්ය. එනම් සෑම තුන් දෙනෙකු දෙනෙකුගෙන් ම අයෙකු බර වැඩි කෙනෙකි. බාල වියේ දී බර වැඩිවන දරුවන් ගේ සෞඛ්‍ය යහපත් ම නැත. ගැටළු අවම කරගන්නට නම් නිසි උසට ගැලපෙන බර පවත්වා ගත යුතුය. පාසලෙන් ලිපියක් ලැබෙන විට එය අවධානයට ගන්නා දෙමාපියෝ දරුවන්ගේ ආහාර එයවෙ වෙනස් කරන්නට පියවර ගන්නා අතර එය රටේ නිරෝගී පරපුරක් බිහි කරන්නට හොඳ හේතුවක් වෙයි.

බි‍්‍රතාන්‍යයේ දරුවන් ගේ බර වැඩිවෙන්නට හෝ තරබාරුවට වඩා බලපාන්නේ ආහාර පාන වෙනුවෙන් ඇති ප‍්‍රවර්ධන වැඩසටහන් බව හෙළිදරව් වී තිබේ. වෙළ`ද සැල් වල විකුණන්නට ඇති ශරීර සෞඛ්‍යයට බලපෑමක් ඇති කරන ආහාර සහ පැනි බීම වර්ග මිල අඩු කර විකුණන විට ඒවා වැඩිපුර මිල දී ගන්නා ගෘහ ඒකක වල අධි පරිභෝජනය සිසුන්ගේ පැවැත්මට තර්ජනයකි. බි‍්‍රතාන්‍ය පාසල් වල මෙවැනි සොයා බැලීම් වලට යුහුසුළු වෙන්නේ අනාගතය සම්බන්ධව දුරදක්නා නුවනින් යුතුව ගන්නා තීරණ හෙයින් බව සඳහන් කළ යුතුව තිබේ.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික සමාජ පැවැත්ම වෙනස් වෙමින් තිබේ. මැදි ආර්ථිකයක් ඇති රටක් වශයෙන් ආහාර පරිභෝජන රටාව වෙනස් වී ඇත. ක්ෂණික ආහාර වලට හුරුවන තරම සීඝ‍්‍රයෙන් ඉහළ යන බව නිරීක්ෂණය කළ හැකිය. දරුවන්ට පමණක් නොව පුරවැසියන්ට ද එදිනෙදා ආහාර භාවිතය සම්බන්ධ කාරණා ජීවිත අනතුරකට හේතුවන එකක් විය යුතු නැත.

නමුත්  මෙරට පාසල සහ දෙමාපියන් අතර සම්බන්ධතා හමුවේ ප‍්‍රතිසංන්ධානයක අවශ්‍යතාවය තිබේ.  පාසලේ ගුරුවරු පොදුවේ දරුවන් ගැන සොයා බලන ආකල්පය තරමක් වෙනස් වී ඇත. එයට හේතුව සිසුනට දෙන ද`ඩුවම පොලිස් පැමිණිලි දක්වා දුරදිග යාමයි. පරණ පරම්පරාව දරුවා ඉස්කෝලයට යවන්නේ ගුරුවරයා ලවා මට්ටු කර හදා ගන්නටය. ගෙදරට වී සිටියොත් නාස්ති වෙන හෙයින්ය. අද පරම්පරාව සිසුන්ට නිය පිටින් තලන්නට ඉඩ දෙන්නේ නැත. ඇ`දුම ගැන අවවාදයක් කළොත් එය දුර දිග යන ප‍්‍රශ්නයට මුල විය හැකි බව දෙගුරුන්ට අවබෝධයක් ඇත. කරුණු එසේ එයින් ඇතැම් පාසල් වල විනය භාර ගුරුවරු දරුවන් ගැන එතරම් හොයන්නේ නැත. කෙස් වැටිය,  නිය කැපීම, දත් මැදීම වැනි මූලික සෞඛ්‍ය කාරණා ගැන අවවාද දෙන්නට සූදානම් නැත. එය පාසල තුළ ගත කරන කාලයේ දී දරුවන් ගැන සොයා බලන ස්වභාවය ලිහිල් වී නරක පැතිකරා යොමු වීමකි. දරුවන් ආරක්ෂිතදැයි සොයා බැලිය හැකි තාක්ෂණ මෙවලම් රටට පැමිණ ඇති බව කියන්නේ මේ අතරවාරයේය.

තාක්ෂණය පැත්තකින් තැබිය යුතු මෙරට සමාජය ජාත්‍යන්තරයේ සිදුවන්නේ කුමක්දැයි විමසා බැලීම වැදගත්ය. ලක්ෂ සංඛ්‍යාත දරුවන්ගේ පෝෂණය, විනය හා හැදියාව අනාගත ශ‍්‍රී ලංකාවේ හැඩරුව පෙන්නුම් කරනු ඇත. පාසල සහ දෙමාපියන් අතර සම්බන්ධතාවය අලූත් පැත්තකින් ඇරඹිය හැක්කේ කෙසේදැයි විමසා බැලීම සුදුසුය.

 

මිලින්ද මොරගොඩ
http://www.milindaprashna.wordpress.com

ලෝකයම නොසන්සුන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/11/09 – ලංකාදීප

ගෙවී ගිය පැය විසි හතර තුළ ලෝකයේ පැවැති නොසන්සුන් තත්ත්වය අවධානයට ගෙන තිබේද? හොඳ දේ සියයක් කියැවෙන විට දහසක් දේ අහන්නට ලැබෙන්නේ ආන්දෝලනාත්මක කාරණාවන්ය. ඉන්දුනීසියාවේ ජනතාව වීදි බැස තිබේ. දකුණු කොරියාවේ අර්බුදයකි. දකුණු අප‍්‍රිකාව ද නොසන්සුන්ය. මෙම රටවල පුරවැසියන් කියන්නේ මොනවාද? අවුරුදු හය හතකට කලින් අරාබි වසන්තය ලෝකයේ නායකයන් තැති ගැන්මකට ලක් කළේය. ඒ හා සමාන ස්වභාවයක් දැන් පැන නැගෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය දක්වයි.

ඉන්දුනීසියාවේ පවතින පාලනය අන්‍යාගමික එකක් යැයි කියන මුස්ලිම්වරු එයට විරුද්ධව වීදි බැස තිබේ. ආසන්න හේතුව ජකර්තා ආණ්ඩුකාරවරයාගේ ප‍්‍රකාශයයි. ජනාධිපතිවරයා එයට සමාව ගත් නමුත් ලක්ෂ ගණනින් ජකර්තා නගරයට රැස් වූ ජනී ජනයා ආණ්ඩුව අපහසුතාවයට පත් කරමින් සිටිති. එරට ජනහගනයෙන් සියයට අනූවක් පමණ මුස්ලිම් බැතිමතුන් වන අතර අන්‍ය ආගමිකයන් තම ආගමට නිග‍්‍රහ කරන බව කියමින් වීදි බැසීම දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇත. දකුණු කොරියාවේ ජනාධිපතිනිය දෙවතාවක් ජනතාවගෙන් සමාව ගත් නමුත් ඇයගේ හිතවතුන් බලය අයුතු ලෙස පාවිච්චි කරන බව කියන ඉන්දුනීසියානුවන් ඇයට ඉවත්ව යන ලෙස බලකරමින් සිටී. දකුණු අප‍්‍රිකාවේ ජනාධිපතිවරයා ඉදිරියේ දුෂණ සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විශාල ජනමතයක් ඇවිලී තිබේ. මෙම රටවල් තුන පමණක් නිරීක්ෂණය කළ ද ආර්ථික සහ සමාජ ගැටළු වලින් එපමණකට උග‍්‍ර තැනක නොතිබුණ නමුත් වර්තමානයේ ක‍්‍රමයෙන් නැගී අවදිවන ජනතා බලය බරපතල බව ඉතාමත් පැහැදිලිව පෙනෙන කාරණයකි. මෙම සිද්ධි තුන පමණක් නොව බටහිර යුරෝපා රටවල ද වෙනස් වලාකුළු මතු වෙමින් තිබෙන බව පහැදිලිව පෙනේ.

සන්සුන් රටවල් එකවර ඇවිලෙයි. ජනයා නැගී ඇවිලෙන වේගය තේරුම් ගන්නට තරම් අපහසු එකකි. ඉන්දුනීසියාවේ, දකුණු අප‍්‍රිකාවේ හෝ දකුණු කොරියාවේ පාලකයන් ඉතාම නරක තීන්දු ගත්තේ නැත. පාරට බැස, විශාල හානියක් කරමින් උද්ඝෝෂණය කරන්නට කලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡාවකින් අනතුරුව තීරණයකට එළැඹ සමතයකට පත් විය හැකි සිද්ධි සේ සැලකිය හැකිය.

මත අවුළුවා ජනී ජනයා පොළඹවන්නේ කොතැනින්ද? ජාත්‍යන්තර විචාරකයන්ට අනුව සමාජ මාධ්‍ය එයට වගකිව යුතුය. සමාජ මාධ්‍ය ජාලා අලූත් අදහස් එකතු කරයි. ඒවායෙන් මතු වෙන්නේ ක්ෂණයකින් පැන නැගෙන අදහස්ය. මනුෂ්‍යයන්ගේ හැඟීම්ය. කෙටියෙන් පළ කරන අදහස්, ඒයාට එන ප‍්‍රතිචාර ආවේග මතු කරයි. සමාජ මාධ්‍ය ජාලා වල පළ කරන විත්ති කතා කරන්නේ මොලයට එහෙම නැතිනම් බුද්ධියට නොවේ. හදවතටය. විශේෂයෙන් මේවායේ කතාන්දර ආමන්ත‍්‍රණය කරන්නේ හදවතක හැඟීම් වලටය. හැඟීම් ඇවිලෙන විට බුද්ධියට ආමන්ත‍්‍රණය කිරීම පහසු කාර්යයක් නොවේ. සලකා බැලිය යුතු වැදගත්ම පැත්ත එයයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහභාගීත්ව ක‍්‍රමවේදයකි. සියළු දෙනාගේ අදහස් සාකච්ඡා කරන අතර තීරණ ගැනෙන්නේ පොදුවේ වැඩි දෙනෙකගේ කැමැත්ත අනුවය. නමුත් අද ඇති අභියෝගය මුණ නොගැසෙන කණ්ඩායම් තමන්ගේ මත පැතිරවීමයි. සාකච්ඡාවට, සංවාදයට පාත‍්‍ර වන නමුත් මෙම සමාජ මාධ්‍ය ජාලය තුළ ඒවා හැසිරෙන්නේ අන්තවාදී ප‍්‍රවේශයකින්ය. ලෝකයේ පැවැත්ම හමුවේ තර්ජනාත්මක සේ නැගෙන්නේ එකී අන්තවාදී මතවාදයන්ය.

හැඟීම් වලින් ජනකාය අමතන නූතන ව්‍යුහය දෙස නායකයන් අවධානය යොමු කළ යුතුය. ආගමික, ජාතික හෝ දේශපාලන නායකයන් තමන්ගේ තීරණ දෙස නව ප‍්‍රවේශයයකට යොමු විය යුතුය. තීරණ ගන්නා විට එයින් ඇතිවියහැකි ප‍්‍රතිඵල ලැන දෙතුන් පැත්තකින් හිතා බලන්නට අවශ්‍යය. වර්තමාන ජාලගත සන්නිවේදනය හා සමාජ මාධ්‍ය භාවිතාව නායකත්ව භූමිකාව අභියෝගයට ලක්කර ඇති අතර නායකයින්ට පරෙස්සමෙන් යනුවෙන් කියන්නට සිදුවී ඇත්තේ ඒ නිසාය.

 

 

 

දුර්වල සහ අසාර්ථක තීරණ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2016/11/02 – ලංකාදීප

මහජනතාව තම නියෝජිතයන් තෝරාගන්නේ රට පාලනය කරන්නටය. යහපත, දියුණුව සහ පැවැත්ම වෙනුවෙන් තීරණ ගෙන ක‍්‍රියාත්මක කරන්නටය. නමුත් මැත කාලය තුළ දේශපාලනඥයන්ට අභියෝග මතු වී තිබේ. ආණ්ඩු බලයට පත් කරන්නේ බලාපොරොත්තු සහගතවය. මැතිවරණයක දී මහජන නියෝජිතයන් බලයට පත්වන්ටන් විශාල ජනතා කැමැත්තකින් බව පෙනේ. නමුත් ඉක්මනින් මෙම කැමැත්ත සහ බලාපොරොත්තු පළුදු වෙමින් තිබේ.

මෑත භාගයේ පැවැති ආණ්ඩු ක‍්‍රියාත්මක වන විට අසංවිධානාත්මක පැති පිළිබිඹු වෙන්නට පටන් ගත් බව සිහිපත් කළ යුතුය. දුර්වල සහ අසාර්ථක තීරණ මතු වෙයි. අවසාන ප‍්‍රතිඵලය විශ්වාසය පලූදුවීමය. දේශපාලනඥයන් යනු ඳුෂිතයන් බවට මතයක් සමාජය තුළ හටගෙන ඇති අතර තමන්ගේ පෝෂණය උදෙසා මැති ඇමැතිකම් වලට පත් වන බවට පොදු අදහසක් පැන නැගී තිබේ. ජනතාව තුළ ප‍්‍රමාණයට වඩා බලාපොරෙත්තු ඇති කරන්නේ ඡන්ද වේදිකාවේදීය. සාක්ෂාත් කරන්නට නොහැකිවීම තුළ මෙකී කලකිරීම ඇතිවන බව පැහැදිලිය.

දේශපාලන ව්‍යුහය සම්බන්ධ විරෝධය නැගෙන විට දෝෂ හඳුනාගෙන නිවැරදි කරගන්නට උත්සාහ කිරීම වැදගත්ය. නමුත් බහුලව සිදුවෙන්නේ ක‍්‍රමය නිවැරදි කිරීම වෙනුවට අලූත් ආයතන හදා වගකීම පැවැරිමට බව පෙනේ. එය පවතින ස්වභාවය තවත් සංකීර්ණ කරන්නට  හේතුවක් වී ඇත.

සංවර්ධනය වෙනුවෙන් ආයතන තිබිය දී ඒවා වෙනුවට අලූත් ආයතන හැදෙන අතර පරිපාලනය වෙනුවෙන් විධිවිධාන තිබිය දී ඒවා වෙනුවට වෙනත් පරිපාලන ව්‍යුහ සකස් වෙයි. මණ්ඩල, සංවර්ධන අධිකාරී. ස්වාධීන කොමිෂන් ඇතුළු විශේ ෂ ඒකක පිහිටුවීම මැත කාලය තුළ සිදුවිය. අරමුණු සාක්ෂාත් කරගන්නට ක‍්‍රමයක් තිබිය දී එයට අනුරූප තවත් විශේෂ ව්‍යුහයක් හදන විට සංවිධානාත්මක රාමුවක හැඩතල වෙනස් වෙයි. පිරිවැය ඉහළ යන අතර බලය කේන්ද්‍රගතවන ආකාරයෙහි පරස්පරතා මතුවෙයි. මෑත දශක දෙක තුන තුර මෙරට රාජ්‍ය පාලනය, සංවර්ධනය, නීතිය හා සමාජ සාධාරණත්වය උදෙසා පිහිටුවන ලද එකිනෙකට වෙනස් ආයතන විශාල ප‍්‍රමාණය එක්තරා අන්දමකට මෙරට අසාර්ථකත්වය පෙන්නුම් කරන දර්ශකයකි.

ජනතාව පත්කරන නියෝජිතයන්ගෙන් වැඩක් කෙරෙන්නේ නැති හෙයින් එයට විකල්ප ආයතන හැදීම රට ඉදිරියට ගෙන යන ක‍්‍රමය නම්, රටට මහජන නියෝජිතයන් කුමටද?

රාජ්‍ය සේවය අකාර්යක්ෂම වෙන විට ජනතාව දොස් කියන්නේ ආණ්ඩුවටය. නීතිය තුළ ගැටළු මතුවෙන විට මහජනතාව එය පවරන්නේ පාලකයන්ටය. හරි දේ නිසි අන්දමට ක‍්‍රියාවට නැගීම දේශපාලනඥයන් ගේ වගකීම විය යුතුය. නමුත් කළ යුතු දේ පැත්තකින් තියා ක‍්‍රමය තුළ අලූත් අත්හදා බැලීම්වලට යොමුවන විට ජනතාවට ලැබෙන්නේ විසඳුම් නොව ආයතන පද්ධතියක් පමණකි.

දේශපාලනඥයන් පිරිහී, ක‍්‍රමය අසාර්ථික වන විට ඇතිවිය හැකි අනතුර භයානයකය. ජනතා අපේක්ෂා සාක්ෂාත් කරන වැඩ පිලිවෙල නිසි සේ සකස් නොකළහොත් එහි අවසානය පිපිරීමක් විය හැකිය. මෑත කාලය තුළ අවස්ථා ගණනාවක දී උතුර දකුණ වෙනසක් නැති විප්ලව පෙන්නුම් කළේ ක‍්‍රමය වෙනස් විය යුතු බවය. දේශපාලනඥයන් පැවැත්ම සොයා ගත යුතු මහජනතාව මතු කරන ඔවුන්ගේ එදිනෙදා ගැටළු වලට විසඳුම් සම්පාදනයෙන් විනා අලූතින් ආයතන හැදීමෙන් නොවේ. අලූත් ආයතන හැදී දේශපාලනඥයන්ගේ බලය අඩුවෙන විට එයින් ඇතිවන ප‍්‍රතිඵලය විනිවිද දැකිය යුතු අතර මහජන ඡන්දයෙන් පත්කරන නියෝජිතයා ගැන විශාල බලාපොරොත්තුවක් ඇති සමාජය නැඹුරු වෙන්නේ කොතැනට දැයි සිතා බැලිම වැදගත්ය.