පොදු ප‍්‍රවාහනයේ නව ප‍්‍රවණතා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

නගරයට ඇතුළුවන බස් මගී රථයකට වෙනම මංතීරුවක් වෙන් කිරීමට රථවාහන පොලිසිය පසුගිය දා තීරණය කළේය. ක‍්‍රියාත්මක කිරීමේ දී සෑහෙන වාද විවාද හට ගැණින. අත්හදා බැලීම් ගණනාවක නිරතවිය. උදෑසන සහ සවස් කාලයේ පවතින අධික වාහන තදබදය පාලනය කරන උත්සාහයක් මෙම පියවර තුළ තිබුණි. වාහන තදබදය කොළඹට හෝ මෙරට අනෙක් ප‍්‍රධාන නගරයකට සීමා වූ එකක් නොවේ. ලෝකයේ සෑම රටකම අඩු වැඩි වශයෙන් වාහන තදබදය පවතී. එය මගහරින විවිධ ක‍්‍රම අත්හදා බලති.

අධික තදබදය කාලය නාස්ති කරන හේතුවක් පමණක් නොවේ. වාහන වල ඉන්ධන දහනය බරපතල පරිසර විනාශයකි. පැරිස් නගරාධිපතිනිය තෝරා ගත් ප‍්‍රදේශයක් පාපැදි වලට පමණක් සීමා කර තිබේ. සැතපුම් තිහක පාපැදිවලින් පමණක් යන එන ප‍්‍රදේශයක්  නම් කර ඇත. පසුව එය සැතපුම් 620 ක් දක්වා ව්‍යාප්ත කරන්නට සැලසුම් කර තිබේ. වාහන ගමනාගමනය තහනම් කරන මෙම ප‍්‍රදේශවල සැරි සරන ජනී ජනයා ඉමහත් අස්වැසිල්ලක බව අනාවරණය වෙයි. අධික තෙහෙට්ටුව හා මානසිකක විඩාව අවම කර සැනසිලිදායක බවක් ඇති කර තිබේ. පාපැදි මංතීරු හදා වාහන තහනම් කිරීම ශ‍්‍රී ලංකාවේ දී ප‍්‍රායෝගික නොවන්නට ඉඩ ඇත.

ජාත්‍යන්තරයෙන් වාර්තා වන තවත් කරුණක් අවධානයට ගත යුතුය. ලෝකයේ ප‍්‍රධාන නගර එකසිය පනහක් පමණ පොදු ප‍්‍රවාහනය ගාස්තු රහිත බවට හරවා ඇත. එය ආරම්භ කළේ ලක්සම්බර්ග් නමැති කුඩා රාජ්‍යයයි. බස් හා දුම්රියවල ගමන් කිරීමේ දී ගාස්තු අය කිරීමක් නැත. පුද්ගලික වාහන භාවිතා කිරීමෙන් සිදුවී ඇති ව්‍යසනය එරට පාලකයෝ  මැනැවින් අධ්‍යයනය කර තිබේ. පුද්ගලික වාහන භාවිතය වැඩි ලක්සම්බර්ග් රාජ්‍යයේ තොරතුරු වලට අනුව පසුගිය වසර විසි පහ තුළ ඉතාම අඩු ආර්ථික වර්ධනයක පැවැතිණ. එයට හේතුව මහ මගට කාලය නාස්ති කිරීම බව දැක්වෙයි. දැන් එය වෙනස්  වී තිබේ. ඇමරිකාව, චීනය, ඔස්ටේ‍්‍රලියාව, බ‍්‍රසීලය, පින්ලන්තය සහ බෙල්ජියම ඇතුළු රටවල තෝරා ගත් නගර සිය ගණනක් පවා පොදු ප‍්‍රවාහනය නොමිලේ සපයන තැනට පත්ව ඇත. පහසුවෙන් ගමන් බිමන් යා හැකි බස් හා කාර්යක්ෂම දුම්රිය සේවයක් සමග ගාස්තු අය කිරීමක් නැති අවස්ථාවක, පුද්ගලික වාහන භාවිතය අඩු කරන බව සනාථ වී තිබේ. ලක්සම්බර්ග් රාජ්‍යය පෙන්වා දෙන පරිදි නොමිලේ මගී ප‍්‍රවාහනය මුලින් රාජ්‍ය අය වැය ලේඛනයට සෑහෙන වියදමක් විය. පසුව වාසියක් දක්වා හරවා ගත හැකි වී තිබේ.

රටක් දියුණුවන විට එහි ප‍්‍රතිලාභ ලබන පුරවැසියන්ට පුද්ගලික වාහනයක් මිල දී ගැනීම ප‍්‍රශ්නයක් නොවේ. එදිනෙදා කටයුතු පහසුවෙන් කරගැනීම සදහා වාහනයෙන් ගමන අරඹති. පුද්ගලික වාහන පාරට එන විට මහ මාර්ගය අධික තදබදයක් සහිත තැනක් බවට පත්වෙයි. වේග සීමා අඩුවන අතර එක තැන සිටින වාහන වලින් දහනය කරන ඉන්ධන නරක ප‍්‍රතිඵල අත් කර ඇත. 

ශ‍්‍රී ලංකාවේ මගී ප‍්‍රවාහනය ලාභදායීව පවත්වාගෙන යන රාජ්‍ය ව්‍යවසායයක් නොවේ. ලංගම හා දුම්රිය සේවා විශාල පාඩු ලබයි. ප‍්‍රමාණවත් බස් රථ හා දුම්රිය නැති බව අවධාරණය වන තවත් කරුණකි. ප‍්‍රවේශ පත‍්‍ර රහිතව ගමන් කරන මගීන් ගෙන් සිදුවන අවාසි ගැන ද නොයෙක් අවස්ථාවල අනාවරණය වී තිබේ. රාජ්‍ය ආදායමෙන් තවත් කොටසක් යෙදවුවහොත් පොදු ප‍්‍රවාහනයයෙහි පරිවර්තනයක් කළ හැකිය.

පොදු ප‍්‍රවාහනය දුර්වලවීම ඉදිරියේ පුද්ගලික වාහන පාරට පැමිණ ඇත. රජයේ හා පුද්ගලික අංශයේ කාර්යාල තමන්ටම අනන්‍ය කාර්යාලීය ප‍්‍රවාහන සේවා ආරම්භ කර තිබේ. පාසල් බස්රථ පවා එම පාසල්වලින්ම අරඹා ඇති අවස්ථා නිරීක්ෂණය කළ හැකිය. මෙවැනි පියවර මගින් වාහන තදබදය තවත් දරුණු තැනකට කැදවා තිබේ. මෙරට ප‍්‍රධාන මං මාවත් වල ගමන් කරන වාහන ප‍්‍රමාණය ගැන තක්සේරුවකට යා යුතුය. ආර්ථික දියුණුව සමග එන මෙවැනි ගැටළු වලට සම්ප‍්‍රදායික රාමුවෙන් බැහැර විසදුමක් නිර්මාණය කරගැනීමට ජාත්‍යන්තරයෙන් ලැබෙන අදහස් ද සලකා බැලිය හැකිය.

ආර්ථික පසුබෑමකින් යැපෙන සමාජයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2020/09/23 – ලංකාදීප

ආර්ථිකය ඒකාකාරිව පවතින්නේ නැත. එහි විවිධ වෙනස්කම් සිදුවෙයි. වර්ධන වේගය අඩු වැඩි වන අවස්ථාවල වෙනස්කම් දැනෙන්නට පටන් ගනී. ශ‍්‍රී ලංකාව, ජාත්‍යන්තරය සමග බැදුන රටකි. ආනයනය සහ අපනයනය පමණක් නොව ආගමන හා විගමන වශයෙන් ඉතා සංකීර්ණ ක‍්‍රියාවලියකය. ආර්ථිකයේ වෙනස්කම්වලට රට තුළින් ඇතිවන තත්ත්ව පමණක් නොව ජාත්‍යන්තරයෙන් එන පීඩනය ද හේතුවෙයි. පවතින ආර්ථික ව්‍යුහයේ ගොදුරක්වීම එකකි. රාමුව වෙනස්කර අලූත් පැත්තකට හරවා ගැනීම අනෙකකි.

කොවිඞ් -19 වයිසරයේ වසංගත තත්ත්වය මුළු ලෝකයටම ප‍්‍රශ්නයක් වී තිබේ. ජන සමාජ භීතියට පත් කර ඇති අතර ආර්ථික සංවර්ධනය අවම තැනකට පත් කර ඇත. එවැනි පසුබිමක් තුළ දුෂ්කරතා ඇතිවෙයි. ජීවන වියදම ඉහළ යන අතර කර්මාන්ත හා ව්‍යාපාර වලට ගැටළු පැන නැගේ. සෑම ක්ෂේත‍්‍රයකම බිද වැටීම් නිරීක්ෂණය කළ හැකිය. වානිජ හා නේවාසික දේපොල කුලියට හෝ විකිණීමට දෙන බව දක්වන දැන්වීම් ලොකු කුඩා නගර වල බහුලය. එම ස්ථාන වල තිබුණ ව්‍යාපාර ඉවත් කරගෙන ඇත. අලෙවිය අඩු අතර කුලිය ගෙවීම ද ව්‍යවසායකයන්ට ප‍්‍රශ්නයක් වී ඇති බව පෙනේ. ව්‍යාපාරික ස්ථානය වැසූ පිරිස ප‍්‍රධාන මාර්ග වල වෙළදාමට යොමු වී තිබේ. සෑම නගරයක්, මංසන්ධියක් පාසා වීදි වෙළදාම සීමාව ඉක්මවන තැනට පැමිණ ඇත. ප‍්‍රධාන කර්මාන්ත හා ව්‍යාපාර අංශ පවා බැංකු ණය හා දේපොල විකිණීම ගැන අවධානය යොමු කර ඇති බව පෙනේ. සැහෙන පිරිසකගේ රැකී රක්ෂා අවදානමකය. රන් භාණ්ඩ උකස් කරන ප‍්‍රවණතාව වර්ධනය වී ඇත. උකස් තැබූ රන් භාණ්ඩ බේරා ගැනීමට ඉදිරිපත්වන අතරමැදි ව්‍යාපාරයක් ද බිහිවන තරමට ප‍්‍රශ්නය සංකීර්ණ බව පුවත්පත් වල නිතර පළවන දැන්වීම් ඉගි කරයි. අප අවට ඇති සංකේත අද ඇති ආර්ථිකය ගැන මැනැවින් දක්වයි. නිසි තීරණ සහිත ප‍්‍රතිසංස්කරණයකින් හැර තාවකාලික පැලැස්තර වලින් විස`දුමක් නොලැබේ. නිර්භීත තීන්දු වලින් අලූත් අවකාශයක් විවෘත කරගැනීම බැරිකමක් නැත.

ආර්ථික අභියෝග ගැන කරන අනතුරු ඇගවීම ජීවත්වීමේ අරගලය ඉදිරියේ, එපමණ අවධානයට ගැනෙන්නේ නැත. නිවැරදි ප‍්‍රතිපත්ති මගින් ආර්ථික ක‍්‍රමයක වාසි අත්පත් කරගත හැකිය. ඉක්මනින් තීරණ ගෙන කාර්යක්ෂමව ක‍්‍රියාත්මකවීම ඉතාම වැදගත්ය. එහෙත්, සම්ප‍්‍රදායික සමාජ ක‍්‍රමයක් එකවර වෙනස් කිරීම පහසු නැත. අද අතට ලැබෙන දේ ගැන විශ්වාස කරන අතර අලූත් තීරණ වලින් සිදුවිය හැකි යහපත ගැන සැකයක් තිබේ. එම සැකය අසාධාරණ නැත. අලූත් ප‍්‍රතිපත්ති වලින් රට ගොඩනගන බව ප‍්‍රකාශ කරන ලද දේශපාලනඥයෝ පසව මගහැර ගොස් තිබේ. ජනතා යහපතට බව ප‍්‍රකාශ කරන නමුත් විකල්ප වැඩ පිලිවෙලකට ගමන් කරන්නට ධෛර්යයක් නැත. මෙරට පාලනය කර ආණ්ඩුවල සෑහෙන හොද අදහස් තිබුණ නමුත් ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය ගිලිහෙන්නු ඇති හෙයින් එවැනි අවස්ථාවලින් ප‍්‍රයෝජන ගෙන නැත. ශ‍්‍රී ලංකාව අවස්ථා අහිමිකරගත් රටක් වන අතර ගතානුගතිකත්වය හා ඇබ්බැහිවීම එයට වගකිව යුතුය.

රාජ්‍ය හා පුද්ගලික අංශයේ ව්‍යාපාර හා කර්මාන්ත ප‍්‍රතිසංස්කරණයක් කළ යුතුය. අලූත් බලශක්ති ප‍්‍රභව එනම් සූර්ය විදුලිය හා තොරතුරු තාක්ෂණය යන අංශ එහි දී වැදගත්ය. අලූත් වටයකින් ආයෝජනය අවශ්‍යම සාධකයකි. වාර්තා පෙන්වා දෙන පරිදි පවතින වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සහන වශයෙන් ජනතාවට වෙන් කර ඇති මුදල දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 0.5 ක් බව හෙළිකරයි. දියුණුවන රටවල එම ප‍්‍රතිශතය සියයට 10-15 අතරය. සහන වැඩ පිලිවෙලක් ගැන අවධානය යොමු කිරීම ද අවශ්‍යය. ජනතාව ජීවත් කරන අතර පුනර්ජිවනය ඇති කරන පියවර ගැනීම වගකිව යුතු අංශවල කාර්යභාරයකි. එවැනි පියවර නොගතහොත් රට තුළ දිළිදු ජන කොටස අලූත් වටයකින් ඉහළ යා හැකි අතර සමාජ විෂමතා උග‍්‍රවෙන්නට ඉඩ තිබේ. තත්ත්වය හදුනාගෙන කල් ඇතිව තිත්ත තීරණ ගැනීම අනාගතය ඉමිහිරි කරනු ඇත. කොවිඞ් වසංගතය සාර්ථකව පාලනය කරන්නට ශ්‍රී ලංකාව සමත්විය. මෙරට සෞඛ්‍ය අංශ වල පාලනයට නතු කරගන්නට හැකිවීම ඉතා වැදගත්ය. එම නායකත්වය ආර්ථිකය වෙනුවෙන් ද ආයෝජනය කළ යුතුව තිබේ.

සංචාරක ව්‍යාපාරය දශක දෙකකින් ආපස්සට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2020. 09. 16 – ලංකාදීප

සංචාරක ව්‍යාපාරයේ අන්තර් ජාතික තත්ත්වය බලවත් පසුබෑමකට ලක්ව තිබේ. ලෝක සංචාරක සංවිධානයේ අලූත්ම වාර්තා අනුව ලොව පුරා සිදුවූ සංචරණය වසර විස්සකින් ආපස්සට ගමන් කර තිබේ. දශක දෙකකට කලින් ලෝකයේ තිබුණ ව්‍යුහය සංකීර්ණ එකක් නොවේ. අද තරමට තාක්ෂණය හා විද්‍යාව දියුණු නැත. රටවල් අතර ගමන් කිරිම සදහා නොයෙක් බාධා තිබුණි. රටවල් අතර විවෘත භාවය ගැන ප‍්‍රශ්න තිබුණ අතර සමහර රටවල එවකට පැතිර තිබුණ දුප්පත්කම, සංචරණ අවස්ථා යම් ප‍්‍රමාණයකට සීමා කළේය.

දියුණු රටවල ජනී ජනයා රටින් රට ගමන් කරන විට දියුණුවෙමින් පැවැති රටවලට අලූත් අවස්ථා බිහි වූ අතර ගුවන්ගමන්, ආගන්තුක සත්කාර, රැකී රක්ෂා සහ රජයේ ආදායම ඉහළ ගියේය. කොවිඞ් -19 වසංගත තත්ත්වය අභිමුවෙහි සංචාරක ක්ෂේත‍්‍රය ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දුන්නේය. සෞඛ්‍ය විධිවිධාන අනුව සමාජ දුරස්ථභාවය පැනැවීය. වසංගතය රටින් රට පැතිරීම වලකනු සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය තද සීමා හදුන්වා දුන්නේය. ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි සංචාරක කටයුතු ආශ‍්‍රිතව සේවයෙහි නිරත මිලියන 120 ක පමණ පිරිසකට සිය වෘත්තීය සම්බන්ධයෙන් අවදානමක් උද්ගත වී තිබේ. ඇතැම් කොටසකට සම්පූර්ණයෙන්ම රැකියා අහිමි වී ඇති අතර තවත් කොටසකගේ අදායම ඉතා පහලට වැටී ඇත. ගුවන් සේවා සමාගම්, සංචාරක හෝටලවල කාර්ය මණ්ඩල, මග පෙන්වන්නන් ගේ සිට සංචාරකයන් ඉලක්ක කරගෙන ආහාර පාන නිෂ්පාදනය කළ පිරිස දක්වා විශාල පරාසයකට මෙම ගැටළුවට මුහුණ දීමට සිදුවී තිබේ. ක්ෂේත‍්‍රයේ පිරිවැටුම ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 1.4 තෙක් ඉහළ නැග තිබුණ අතර සමහරවිට මෙම වසරේ එය ඇමරිකානු ඩොලර් බිලියන 310 කට පමණ සීමා විය හැකි බව පැවසේ. එය අති විශාල පරිහානියකි.

සංචාරක ව්‍යාපාරය ස්වකීය ආදායම වශයෙන් මුල් තැනෙක පවත්වාගෙන ගිය රටවලට සංචරණය අඩුවීම ප‍්‍රශ්නයක් වී තිබේ. එහි නිරතව සිටි මිලියන සංඛ්‍යාත පිරිසකට ජීවත්වීම සදහා ආධාර කරන්නට සිදුවී ඇති බව වාර්තා වෙයි. එය පහසු නැත. වසරේ මුල් කාර්තුවේ දී සංචාරණය සීමා වූ අතර අපි‍්‍රයෙල් හා මැයි යන මාස වල සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබුණි. සියළු රටවල් බාධා ඉවත්කර සංචරණයට දොරටු විවෘත කරන දිනයක් ගැන තවමත් සදහනක් නැත. සංචරණ අවස්ථා සම්බන්ධ බාධා ඉවත් කිරීමෙන් පසු පවා ආකල්ප වෙනස් වී විශ්වාසය තහවුරුවීමට තවත් කාලයක් ගත විය හැකිය. සංචාරක ව්‍යාපාරයෙහි නිරතව ආදායම් උත්පාදනය කරගත් පිරිසට පවතින අවදානම සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ.

ලෝකයේ තත්ත්වයට වඩා ශ‍්‍රී ලංකාවේ ස්වභාවය තවත් වෙනස්ය. ඉස්ලාම් අන්තවාදී සංවිධානයක මරාගෙන මැරෙන ප‍්‍රහාර රට ගැන නරක ප‍්‍රතිරූපයක් ඇති කළේය. එතැන් සිට මෙරට සංචාරක අංශය රජයේ සහන වැඩ පිලිවෙල සහිතව පවත්වාගෙන ගිය බව ද දක්වන්නට අවශ්‍යය. සංචාරක හෝටල් සදහා ණය, ආධාර සපයන ලද අතර එහි නිතර පිරිසට පවා විශේෂ පහසුකම් ප‍්‍රදානය කරන පියවර ගෙන තිබුණි. රාජ්‍ය ආදායම ඉතාම යහපත් තැනක නැති අවස්ථාවක නිකුත් කළ හැකි සහන සම්බන්ධධ සීමා තිබේ. වසංගත තත්ත්වය හා ලෝක ආර්ථික තත්ත්වය දුර්වල අවස්ථාවක සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍යය. පවතින රාමුවට ගැලපෙන ලෙස වෙනස්කම් සිදුකර පුනරුදයක් කරා අවතීර්ණ විය යුතුය.

දේශීය සංචරණය සදහා නැඹුරුවීම ගැලවීම සදහා ඇති එක අවස්ථාවකි. හෝටල් ගාස්තු, ආහාන පා නඅය කිරීම් සහ ප‍්‍රවාහන පිරිවැය සාමාන්‍ය ජනතාවට දරාගත හැකි පරිදි අඩු කළහොත් සති අන්තයේ සහ නිවාඩු කාලයේ සංචාරක හෝටල් වල සහ ආශි‍්‍රත ස්ථාන වල යම් කාර්ය බහුලබවක් ඇති කරගන්නට බැරිකමක් නැත. රජය මැදිහත්වී තිරණ දෙන්නට කලින් තම රාමුව වෙනස් කරන්නට සංචාරක ව්‍යාපාරයෙහි නිරත පිරිස උත්සාහ කළහොත් යම් පරිවර්තනයක් සිදුවනු ඇත. අඩු පිරිවැය සංචාරක කර්මාන්තය සමග විදේශික සංචාරකයන් ද අලූතින් අවධානය යොමු කරන්නට ඉඩ තිබේ. එය මෙරට සංචාරක ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂයක් වනු ඇත.

හදිසි ගලවා ගැනීමේ ඒකකයක අවශ්‍යතාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2020.09.09 – ලංකාදීප

ඉන්ධන ප‍්‍රවාහනය කරමින් තිබුණ දැවැන්ත නෞකාවක හදිසියේ හටගත් ගින්න පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කළේය. ක්වෙට් සිට ඉන්දියාව දක්වා ගමන් කරමින් තිබුණ එහි අනතුර හුදෙක් ආර්ථික ප‍්‍රශ්නයක් පමණක් නොවේ. නැව විනාශ වී ඉන්ධන පිටාර ගියහොත් බරපතල පාරිසරික ගැටළු ඇති කරන්නට ඉඩ තිබුණි. මත්ස්‍ය සම්පත ඇතුළු සාගර ජීවීහු විනාශ වනු ඇති අතර ලෝකය පුරා වෙරළ තීර අපවිත‍්‍රවනු ඇති බවට අනතුරු ඇගවිණි. සාගරයට සිදුවන හානියෙන් පසු නැවත පුරුදු ජීවි කලාපය හැදෙන්නට වසර තිහක් දක්වා කාලයක් ගතවනු ඇති බව පරිසර විද්‍යාඥයෝ කියා සිටියහ. ගින්න නිවා අනතුර දුරු කරන්නට සමත් විය. රජයේ නිලධාරීන්, නාවික, ගුවන් සහ යුධ හමුදා සෙබළුන් බලවත් කැපවීමකින් කි‍්‍රයා කළ අතර ඉන්දියාවේ සහාය ද එයට ලැබුණි.

සාගරයේ ඇතිවූ ආපදාවක දී ක‍්‍රියාකර සිය හැකියාව ජාත්‍යන්තරයට පෙන්නුම් කරන්නට ශ‍්‍රී ලංකාව සමත්ව සිටී. ප‍්‍රයත්නය ලෝක ප‍්‍රජාවගේ ඇගයීමට ලක්ව තිබේ. මෙම සිද්ධියෙන් පසු පාඩමක් ඉගෙන ගත යුතුය. ශ‍්‍රී ලංකාව අවට මුහුදු කලාපයේ ඇතිවිය හැකි අනතුරුවලට සහාය වන ගලවා ගැනීමේ ඒකකයක් පිහිටු වියහැකිය. රටට අලූත් අවස්ථාවකි.

බටහිර හා නැගෙනහිර යා කරන ප‍්‍රධාන නාවික මාර්ගය ශ‍්‍රී ලංකාවට නුදුරින් පිහිටා තිබේ. නාවික සැතපුම් දොලහක පමණ දුරකින්ය. ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි මෙම මුහුදු මාර්ගයේ වසරකට ගමන් කරන නැව් ප‍්‍රමාණය හැට දහස ඉක්මවයි. ඉන්ධන ප‍්‍රවාහනයෙහි යෙදෙන සම්පූර්ණ නැව් වලින් සියයට හැත්තෑ දෙකක් මෙම මාර්ගයේ ගමන් කරන අතර කන්ටේනර් ප‍්‍රවාහනය කරන නැව් වලින් සියයට පනහක් ද ගමන් කරන්නේ ශ‍්‍රී ලංකාවට නුදුරින් බව දැක්වේ. කොළඹ, ත‍්‍රිකුණාමලය සහ සහ මෑතක දී ඉදිකරන ලද හම්බන්තොට වරාය හදිසි ගලවාගැනීමේ සේවා ඒකක  වෙනුවෙන් යොදවා ගත හැකිය. සාගරයේ සිදුවන විපතක දී පළමුවෙන් අහසින් සොයා බලයි. අනතුරුව මුහුදු යාත‍්‍රා යෙදවේ. මත්තල ගුවන් තොටුපල ඇතුළු යටිතල පහසුකම් රටට විශාල වාසියකි.

මුහුදු මාර්ගයේ සිට ළගම රට ශ‍්‍රී ලංකාවයි. ඉන්දියාවේ වරායකට ගමන් කරන්නට පැය විස්සක සිට පැය තිස් දෙකක් පමණ ගත වන අතර ශ‍්‍රී ලංකාව පැය අටක පමණ මුහුදු ගමනකට නුදුරින්ය. මුහුදු මාර්ගයේ ගමන් කරන නැව් ප‍්‍රමාණය සහ අනෙක් වරායකට වඩා ළගින් පිහිටා තිබීම අප‍්‍රමාණ වාසියකි. ඉන්දියාව, චීනය හා යුරෝපා රටවල් සමග ශ‍්‍රී ලංකාවට ඇති සබදතා අනුව අනාගතයේ දී ඇති කරගත හැකි ව්‍යාපාරික අවස්ථාවකි. 

නාවික අනතුරු සම්බන්ධ විශේෂඥයන්ට ශ‍්‍රී ලංකාවේ අයෝජනය කළ හැකිය. රජයේ හෝ පුද්ගලික අංශයේ ව්‍යවසාය වලට මෙරට ව්‍යාපාර සමග ඒකාබද්ධ සමාගම් ඇරඹීමට ඉඩ දිය හැකිය. නැව්, ටග් යාත‍්‍රා, ඩ්‍රෝන සහ ගුවන් ආධාර ඒකක මෙම හදිසි ගලවා ගැනීමේ ව්‍යාපාරයට ඇතුලත් කළ හැකිය. එමගින් ඉන්දියානු සාගරයේ ගමන් කරන නැව් වලට සහායවීම ව්‍යාපාරයක් වනු ඇත. වෙළද නැව් වල සේවය කරන පිරිස සිමිතය. විශේෂයෙන් තෙල් ප‍්‍රවාහනයේ නිරත නැව් වල කාර්ය මණ්ඩලය කුඩාය. හදිසි අවස්ථාවක දී බාහිර උදව් අවශ්‍ය කෙරේ. ඉන්ධන හා කන්ටේනර් ප‍්‍රවාහනය කරන නැව් රක්ෂණය කර ඇති අතර ඒවායේ රක්ෂණ භාරය ඉතා අධිකය. හදිසි විපතකින් නැවක් ගලවා ගැනීම නැව් සේවා සමාගම් වලට පමණක් නොව රක්ෂණ ආයතන වලට ද විශාල ආර්ථික වාසියකි. ශ‍්‍රී ලංකාව නාවික විපත් ගලවා ගැනීමේ ඒකක ගැන අවධානය යොමු කළහොත් එකී අංශ වලින් ද සහාය ලබා ගත හැකිය. තාක්ෂණය ඉතා දියුණු වී ඇති අතර මනා සන්නිවේදන පහසුකම් සහිත වුවහොත් ලෝකයේ  ඕනෑම තැනකින් පලපුරුදු කණ්ඩායම් වහා කැදවන මධ්‍යස්ථාන වශයෙන් ක‍්‍රියා කරන්නට ද හැකියාවක් තිබේ. එය රටට අවස්ථාවකි. විශේෂ පුහුණු රැකියා ලැබෙන අතර විනිමය උපයන මාර්ගයක් ද වනු ඇත.