කෘෂි අංශයෙන් ආර්ථිකයට දායකත්වය විමසුම් ඇසින්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021/11/17 – ලංකාදීප

මිල පාලන රෙගුලාසි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. වෙළෙඳ පොළට ගැලපෙන තීරණයකි.මෙතෙක් භාණ්ඩ වර්ග දහ හතකට උපරිම සිල්ලර මිල නියම කර තිබුණි. අලුත් නියෝගය අනුව පාලන මිල තවදුරටත් වලංගු නැත. ආහාර ද්‍රව්‍ය විකිණිය හැකි මිලක් ගැසට් කරන ලද නමුත් පාරිභෝගිකයන්ට එම මිලට ලැබුණෙ නැති බවද පෙන්වා දිය යුතුය. පාරිභෝගිකයෝ ආණ්ඩුවටත් වෙළඳුන්ට දොස් තැබූහ. එය සාධාරණ නැත. ඉල්ලුම පාලනය කිරීම සඳහා මිල නියම කරන්නට ආණ්ඩුවට සිදු වූ නමුත් වෙළෙන්දන් මිල තීරණය කළේ ලැබෙන සැපයුම අනුවය. භාණ්ඩ හිඟ වන විට මිල ඉහළ නැගීම සාමාන්‍යයෙන් සිදු වෙයි.

 සඳහන් කළ යුතු වැදගත් කරුණක් ඇත. පාරිභෝගිකයන්ට වාසි සැලසෙන ක්‍රමයක් උදෙසා තරගකාරීත්වය අවශ්‍යය. රාජ්‍ය හා පෞද්ගලික අංශය අතර පමණක් නොව පෞද්ගලික අංශයේ සේවා හා ව්‍යාපාර අතර ද දියුණු තරගයක් තිබිය යුතුය. එක හා සමාන භාණ්ඩ හෝ සේවා සැපයුම්කරුවන් ගණනාවක් සිටින අවස්ථාවක තමන්ට කැමති දේ තෝරා ගැනීමට නිදහසක් ලැබේ. වෙළෙඳ පොළට යන පාරිභෝගිකයෝ මිල තත්ත්වය ඇතුළු ගුණාංග කෙරෙහි සැලකිලිමත් වෙති. විශ්වාසදායක තැන කෙරෙහි අවධානය යොමු වෙයි මිල පාලනයේදී මෙම ඇතුළාන්තය මග හැරේ. වෙළෙන්ඳා දෙන දෙයක් ආණ්ඩුවේ මිලට ගැනීම හැර අනෙක් විසඳුමක් නැත. හොඳම දේ පාරිභෝගිකයාට රිසි පරිදි මිලදී ගැනීමට අවශ්‍ය පහසුව සකස් කිරීම යහපත් කළමනාකරණයක් සහිත ආණ්ඩුවක ක්‍රමයයි.

කොවිඩ් සමග ගැටළු ගණනාවක් හට ගැනිණ. වශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමක් නොතිබීම එහි එක පැත්තකි. සාමාන්‍ය ජනතාවගේ ආදායම සීමාසහිත විය. වෙළඳපොලට සපයන දේශීය වන අතර එහි මිල වැඩිවීම අතමිට හිඟ ජනතාවට තදින් දැනෙන කාරණයකි. එම ආවරණය දිගටම පවත්වාගෙන යා යුතු නැත. වෙළෙඳපොළ සක්‍රීය කර ආර්ථික දියුණුව සල සඳහා බලගැන්විය යුතුය. මිල පාලනය ඉවත් කර තරඟ ඇති කිරීම එහි ප්‍රාථමික පියවරක් වනු ඇත . 

ලබන වසර සදහා ඉදිරිපත් කරන ලද අය වැය යෝජනා අවධානයට ලක් වන කාල වකවානුවකි. කෘෂි අංශය ගැන කරුණු ඇතුලත්ය. ශ‍්‍රම බලකායෙන් සියයට අසූවක් කෘෂි අංශයෙහි බව දක්වයි. කෘෂි අංශය, දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සියයට දහයකටත් අඩු බව මතක් කළ යුතුය. විශාල ශ‍්‍රම බලකායක් යෙදවෙන නමුත් එයින් අත්පත්කරගත හැකි ආර්ථික වාසිය ගැන සොයා බැලීම සුදුසුය.

පාරිභෝගිකයන් ගේ පැත්තෙන් අවධානය යොමු කළ යුතු කාලයකි. නිෂ්පාදන, සේවා හෝ කාර්මික අංශවල නිරත වන බවට වෙන්කළ හැකි නමුත් සියළුම දෙනා පාරිභෝගිකයෝය. එලවලූ වගා කරන ගොවියා නිෂ්පාදකයෙකු වශයෙන් ආරක්ෂා කරගත යුතු නමුත් වෙළ`ද පොලට පැමිණි පසු ඔහු ද අනෙක් පිරිස සමග පවතින මිල විපර්යාසයෙහි ගොදුරකි.

ඉන්දියාවේ සිල්ලර මිල අනුව ලොකු ලූනු කිලෝ එකක් රුපියල් දහයකි. ශ‍්‍රී ලංකාවේ මුදලින්  සලකනවිට රුපියල් විසි හයකට ආසන්නය. තොග මිල තවත් අඩු බව සැකයක් නැත. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර වෙළද ගිවිසුමක් තිබේ. දෙරට අතර භාණ්ඩ ප‍්‍රවාහනයට විශාල පිරිවැයක් නැත. අස්වනු හිග කාලයේ ලංකාවේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් තුන්සියය ඉක්මවයි. මාතලේ, දඹුල්ල, ගලේවෙල, ලග්ගල ඇතුළු ප‍්‍රදේශවල මහා පරිමානයෙන් ලොකු ලූනු වගා කෙරේ. උතුරු නැගෙනහිර පලාත්වල ද සුළු ගොවියෝ සිටිති. ලොකු ලූනු අස්වැන්න ලැබෙන කාලයේ දී පවා ඉන්දියාවේ මිලට අපට ලැබෙන්නේ නැත. පාරිභෝගිකයන් විදින අවාසිය බරපතලය. පවතින සම්ප‍්‍රදායික රාමුව වෙනස් කළහොත් ජීවන වියදම සම්බන්ධ අලූත් අත්දැකීමකට යා හැකිය. මෙහි සදහන් කළේ එක පාරිභෝජන ද්‍රව්‍යයක් ගැන පමණකි. අනෙක් කෘෂි නිෂ්පාදන වල ද අභ්‍යන්තරයෙහි වෙනස මේ හා සමානය.

ලොකු ලූනු වගාවට අවශ්‍ය බීජ වලින් වැඩි කොටසක් ආනයනය කෙරේ. පොහොර පිටතින් ගෙන්වයි. ගොවියන්ට සහනාධාර ක‍්‍රම වෙනුවෙන් රජය වැයකරන ධනය ද සුළු පටු නැත. ඉඩම හා ශ‍්‍රමය පමණක් මෙරටින්ය. වගා බිම් සෑහෙන කොටසකට ඔප්පු නැත. වගා කරන්නේ අද ගොවීහුය. අස්වැන්න විකිණීමෙන් පසු ණය ගෙවීම හැර ආදායමක් ගොවියන්ට නැති බව ඉතාම පැහැදිලි කරුණකි. ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරීම කෙරෙහි ප‍්‍රතිපත්ති සම්පාදකයෝ අවධානය යොමු කළ යුතුය.

ලොකු ලූනු වෙනුවට වෙනත් දෙයක් වගා කළ හැකිය. අපනයනයෙන් වැඩි ආදායමක් ලබා ගත හැකි බෝග ප‍්‍රබේධ තිබේ. කෘෂි ව්‍යාප්ති අංශ මේවා ගැන අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කරන්නට අවශ්‍යය. ලොකු ලූනු වගා කරන ගොවියන් ගේ ඉරණම වෙනස් කරන තීරණ අවශ්‍යය. එය පාරිභෝගිකයන් ගේ ද ඉරණම වෙනස් කිරීමකි. මුලින් ගැටළු ඇතිවෙයි. විරෝධතා එල්ල වෙනු ඇත. ඒවා සනුමනය කළ හැක. ලූනු ගොවියන් තෝරාගෙන ඔවුන්ට කෙලින්ම ආධාර සැපයිය යුතුය. ආනයනික ලොකු ලූනු වලට විශේෂ බද්දක් පනවා එයින් ලැබෙන ආදායම අනෙක් වගාවකින් ස්ථාවර වන තෙක් ගොවි ජනතාවට ගෙවිය හැකිය. අවුරුදු දෙක තුනකින් අලූත් යමක් සිදුවෙයි. පාරිභෝගිකයන්ට අඩු මිලට ලොකු ලූනු මිල දී ගත හැකිවනු ඇත. වෙළද පොල මිල ස්ථාවරව තබාගැනීම සදහා, විදේශීය සැපයුම්කරුවන් සමග ඉදිරි මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කරන්නට හැකියාව ඇත.

ගොවි ජනතාව ඉකුත් පරම්පරා ගණනක, මහ පොලව සමග හැපී, ගැටී එයින්ම පෝෂණය වී ඇත. අලූත් පරපුර මෙහි විෂම පැත්ත ගැන අවබෝධයක් සහිතය. දරුවෝ ගොවිපොලට එහා ඇති අවස්ථා දකිති. නගරයට හො නගරයෙන් පැන වෙනත් රටකට යන්නට සූදානම්ය. වෙළද පොල සදහා ගොවිතැනෙහි නිරත වන පිරිස ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතී. ඵලදායීත්වයක් නැති අකාර්යක්ෂම ක‍්‍රමවලින් ගැලවෙන සූදානම වැදගත්ය. වෙනස් ක්ෂේත‍්‍ර තෝරා විධිමත් අධ්‍යයනයක් කළ හැකිය. අර්බුදකාරී පැතිවලින් ගැලවීමට පර්යේෂණ කළ යුතුය. මෙරට කෘෂිකර්මය හා ගොවිතැන ගැන විශ්ව විද්‍යාල මට්ටමින් වැදගත් සොයාගැනීම් කර තිබේ. ඒවා ප‍්‍රායෝගිකව භාවිතයට නොගැනීම අඩුවකි. මෙහි ලා සදහන් කළේ එක වගාවක් ගැන පමණකි. ආසන්න රටක අත්දැකීමක් වන අතර අනෙක් අංශ ගැන ද පරීක්ෂාකාරීව සොයා බැලීමෙන් පාරිභෝගික උන්නතිය ඇති කළ හැකිවනු ඇත.

පළමුවත් දෙවැනුවත් තාක්ෂණය පාසලට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2021.11.03 – ලංකාදීප


දීර්ඝ නිවාඩුවකට පසු දරුවන් පාසලට කැඳවන තීරණයක් ඇත. කොවිඩ් වසංගතයේ බලපෑම මත අවස්ථා ගණනක්, සංචරණ සීමා යටතේ පැවැතිණි. අධ්‍යාපන කටයුතුවලට තියුණු බලපෑමක් එල්ලවිය. අන්තර් ජාල පහසුකම් යටතේ ක්‍රමානුකූලව කරගෙන යන බලවත් වෑයමක් තිබුණ නමුත් එහිදී ද මතු වූ සංකීර්ණ ගැටළු ගණනාවකි. වෘත්තීය ප්‍රශ්න, ආකල්ප ගැටළු වෙනම සාකච්ඡා කළ යුතුය. පාසල නැවත විවෘත කිරීමෙන් පසු, කලුලෑල්ලේ ආකෘතියෙන් ඔබ්බට ගමන් කිරීම ගැන ප්‍රතිපත්ති විවාදයක් අවශ්‍යය.


ජංගම දුරකථන හා අන්තර් ජාල භාවිතා කිරීම දරුවන්ට තහනම් වී තිබුණි. කොවිඩ් වංසගතය සමග ගුරුන් හා දෙගුරුන්ට ක්‍රමානුකූලව එයින් බැහැරවෙන්නට සිදුවිය. වාර්තාවෙන කරුණු අනුව පෙර පාසල පවා ‘ඔන්ලයින්’ ක්‍රමයටය. යුගයට අනුව පරිවර්තනයවීම අගය කළ යුතුය. විදේශ රටවල පවා අධ්‍යාපන කටයුතු තාක්ෂණයට නැඹුරු වී ඇත වකවානුවකි. දුරස්ථව ඉගෙනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. උතුර දකුණ බේද රහිතව අධ්‍යාපනය ලබාදිය හැකි ක්‍රමයකි.
පාසල් නැවත ආරම්භ කළ පසු පවා දෙමුහුන් ක්‍රමයකට අධ්‍යාපන පහසුකම් සකස් කිරීම උචිතය. පොත් මුද්‍රණය, බර පාසල් බෑග්, සහ වාහන තදබදය හේතුවෙන් කාලය නාස්ති කරන පාසල් වෑන් සංස්කෘතිය වෙනස් කරන්නේ කෙසේ ද යන්න මධ්‍යස්ථව අධ්‍යයනය කළ හැකිය. පෙල පොත් අන්තර් ජාලයට එකතු කිරීම හා සාමාන්‍ය පරීක්ෂණ අන්තර් ජාලයෙන් කළ හැකිය. සටහන් පොත් පමණක් දරුවන්ට සෑහේ. අවශ්‍ය විෂය කරුණු ලියා ගත හැකිය.

පාසලට එන දින ගණන වෙනස් කිරීමෙන් අධ්‍යයනයේ කොටසක් නිවසේ සිට කරගෙන යන හැකියාව තිබේ. ප්‍රායෝගික හැදෑරීම් සඳහා පාසලට පැමිණිය හැක. එවැනි පියවර තුළින් සෞඛ්‍ය ආරක්ෂාව පමණක් නොව දරුවන්ගේ මානසික තත්ත්වය ද උසස් කෙරේ. සෘජු අධීක්ෂණය හා නිසි මගපෙන්වීම සම්බන්ධයෙන් ගුරුවර්න්ටත්, දෙමාපියන්ටත් විශාල වගකීමක් පැවරෙන බව ද මෙහි ලා සඳහන් කරන්නට අවශ්‍යය. ගුරු පුහුණු ක්‍රම වහාම වෙනස් කළ යුතු අතර දුරස්ථ අධ්‍යයනය ගැන සැසි පවත්වා අලුත් පසුබිමක් සකස් කළ යුතුව තිබේ.


තාක්ෂණය හේතු කොටගෙන සමාජ බෙදුම් රේඛාවක් නිර්මාණය නොකිරීමට වගබලාගැනීම ඉතාම වැදගත් කාරණයකි. ඇති නැති පරතරය හැදෙන්නේ අන්තර් ජාලය භාවිතා කරන්නට ඇති පහසුව සමග බව ජාත්‍යන්තරයේ අද පවතින පිලිගැනීමයි. ‘කොළඹට කිරි – ගමට කැකිරි’ යන ප්‍රකට ව්‍යවහාරය එන්නේ පාසලේ ගොඩනැගිලි, විද්‍යාගාර හා පිහිණුම් තටාක වැනි පොදු පහසුකම් පරතරය සමගය. එවැනි දේ වෙනුවෙන් අසීමිත ධනයක් වැය කරන්නට සිදුවූ අතර දෙමාපියන් සහ පුද්ගලික අංශය එහි දී එකතු වී ක්‍රියා කළ ආකාරයක ද සිහිපත් කරන්නට අවශ්‍යය.


අන්තර් ජාලයෙන් අධ්‍යාපනය ලබන්නට නිසි යටිතල පහසුකම් සම්පාදනය කිරීම රජයේ වගකීමකි. දැනට ජාලගත පහසුකම් රට පුරා එක හා සමානව නැත. දුෂ්කර ප්‍රදේශවල අන්තර් ජාල පහසුකම් වෙනුවෙන් විඳින හිරිහැරය වගකිවයුතු අංශ නොදන්නවා නොවේ. නගරයෙන් එපිට දරුවන්ගේ අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් අවශ්‍යය.අන්තර් ජාල ඉගෙනගැනීමක දී හොඳම පාසලේ දේශනවලට ශ්‍රී ලංකාවේ එහා කෙළවරක සිටින දරුවෙකුට පවා ප්‍රවේශ විය හැකිවනු ඇත. එය ඉතාම වටිනා අවස්ථාවකි. පාසල් පන්ති කාමර රටට විවෘත වුවහොත් දැනට විසඳාගත නොහැකිව ඇති ටියුෂන් තරඟයට ද උත්තරයක් වෙන්නට බැරි නැත. අවශ්‍ය තිරණ ගැනීම වැදගත්ය. සන්නිවේදන පහසුකම් සපයන ආයතන දිරිමත් කර දුෂ්කර ප්‍රදේශවලට ජාලගත පහසුකම් සැපයීමේ දී රජයෙන් මුදල් ගෙවන ක්‍රමයක් ඇති කළ හැක. පුරුදු රාමුවෙන් එපිට දෙමුහුන් එනම් පාසල හා අන්තර් ජාලය එකට එකතු කරන අධ්‍යාපනයක් සඳහා සැලසුම් සකස් කළ යුතු අතර එයට අධ්‍යාපන බලධාරීහු පමණක් නොව දෙමාපියන් ද ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතුය.