රෝග නිවාරණයට මාත්‍රාවෙන් අඩුබෙහෙත්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

2019/03/27 – ලංකාදීප

නිදුක් නිරෝගී බව අප සියළුම දෙනාගේ ප‍්‍රාර්ථනයයි. රෝගී වූ පසු එය සුවපත් කරගන්නා තෙක් ප‍්‍රශ්න සෑහෙන ප‍්‍රමාණයකට මුහුණ දෙන්නට සිදුවෙයි. වහා නිසි ප‍්‍රතිකාර ගැනීම ඉතා වැදගත්ය. සුදුසු වෛද්‍යවරයෙකු මුණ ගැසී පරීක්ෂා කිරීමෙන් පසු රෝගියාට අවශ්‍ය ඖෂධ නියම කෙරේ. ඒවා නියම කරන ලද පරිදි නිසි මාත‍්‍රාවට ලබා ගැනීම ඉතාම වැදගත්ය. රෝගීන්ට ලැබෙන ඖෂධ ගැන අලූත් අර්බුදයක් මතු වී තිබේ. අප‍්‍රිකානු මහාද්වීපයේ රටවල රෝගීන් බහුලව භාවිතා කරන බෙහෙත් වර්ග දහයකින් එකක් ව්‍යාජ ඒවා බව ජාත්‍යන්තර පර්යේෂණයක් වාර්තා කර තිබේ. නිසි ප‍්‍රමිතියට නැති බව අනාවරණය කර ඇත.

නිසි මාත‍්‍රාවෙන් යුතු ගුණාත්මක ඖෂධ මිල ඉහළය. එම පිරිවැය දරාගත නොහැකි අවස්ථාවල නියම ප‍්‍රමිතිය රහිත බෙහෙත් වර්ග නිෂ්පාදනය කර බෙදාහැරේ. ඒවා නිපදවන සමාගම් ඉතා සූක්ෂමය. මිල අඩු කර බෙහෙතක් විකුණන අතර ඒවායේ නියම ගුණාත්මක භාවය ඇති බව අඟවයි. ඇත්ත වශයෙන්ම එම බෙහෙත සිත පිනවීමක් පමණකි. රෝගියා නියමිත පරිදි බෙහෙත පාවිච්චි කරයි. රෝගය මැඩ පවත්වන්නේ නැත. වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි බෙහෙත් ගත් නමුත් රෝගියා ජීවිතක්ෂයට පත්වන්නේ රෝගයට නිසි ප‍්‍රතිකාර රහිතවය. එය අවාසනාවන්ත තත්ත්වයකි.

අප‍්‍රිකාවට පමණක් නොව ලෝකයේ සෑම තැනකටම නිසි ප‍්‍රමිතියක් රහිත ව්‍යාජ බෙහෙත් වර්ග අලෙවිය ප‍්‍රශ්නයක් වී තිබේ. එකම ඖෂධය විවිධ සමාගම් මගින් නිපදවන අතර ඒවායේ ගුණාත්මක භාවය ගැන ප‍්‍රශ්න ඇත. සාමාන්‍යයෙන් ඖෂධ අලෙවියට අනුමැතිය අවශ්‍යය. නොයෙක් නීති මගින් ප‍්‍රමිතිය සොයා බලයි. එහෙත් ව්‍යාජ ඖෂධ පාලනය කිරීම පහසු නැත.

ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් නිතිපතා භාවිතා කරන ඖෂධ වර්ග වල ප‍්‍රමිතිය ගැන සොයා බැලීමක් අවශ්‍යය. එය බටහිර බෙහෙත් වලට පමණක් සීමා කිරීම සුදුසු නැත. බටහිර බෙහෙත් ශරීරයට අහිතකර බව කල්පනා කරන ඇතැමෙකු ආයුර්වේද බෙහෙත් භාවිතා කරති. බටහිර වෛද්‍යවරු පමණක් නොව ආයුර්වේද වෛද්‍යවරු ද රෝගීන්ට ප‍්‍රතිකාර කරන අතර ඔවුහු නියම කරන බෙහෙත් වර්ග එකිනෙකට වෙනස්ය. ප‍්‍රතිකාර ලියා දුන් පසු ඔසු හලෙකින් හෝ සිංහල බෙහෙත් බඩු කඩයකින් ඒවා මිල  දී ගන්නා අතර භාවිතයට ලැබෙන්නේ නියම කරන ලද බෙහෙත දැයි ආපසු පරීක්ෂා කරන්නේ ඉතාම කළාතුරකින්ය.

ප‍්‍රතිකාර සොයා වෙහෙසීම නිරර්ථක අතර රෝග වැළදෙන හේතු පාලනය කිරීම ඉතාම වැදගත්ය. ව්‍යායාම, නිසි ආහාර පාන ඇතුළු එදිනෙදා පැවැත්ම නිසි පරිදි පාලනය කරගත යුතුය. නමුත් ඉතා අවිවේකී, ආහාර ගැන අවධානය අඩු මෙරට වැසියෝ බෝ නොවෙන රෝග වලට ගොදුරු වන අවස්ථා බහුල බව සෞඛ්‍ය අංශයේ වාර්තා තහවුරු කරයි. සෑම නගරයකම ඇති වෛද්‍ය මධ්‍යස්ථාන ගණන හා ඖෂධ අලෙවි කරන ස්ථාන ප‍්‍රමාණය මෙරට නිරෝගී බව ප‍්‍රශ්න කරන එක්තරා සංකේතයකි.

පොදු ජනතාව මිල දී ගන්නා බෙහෙත් හේත් ගැන විශ්වාසනීයත්වය තහවුරු කරන වැඩ පිලිවෙලක් අවශ්‍යය. ඖෂධ මිල දී ගැනීමෙන් පසු නැවතත් වෛද්‍යවරයාට පෙන්වා ඒවා නියම කරන ලද දේ දැයි දැනගන්නට ප‍්‍රජාව නැඹුරු කළ යුතුය. තාක්ෂණික භාවිතාව බහුල වර්තමානයේ දී නිසි ප‍්‍රමිතියක් සහිත බෙහෙත් මිල දී ගැනීමේ දී තමන්ටම සොයා බලා දැනගන්නට හැකි සංඥා – සංකේත ක‍්‍රමයක් හදුන්වා දීමට ඇති හැකියාව කෙරෙහි සොයා බැලීම සුදුසුය. භාවිතා කරන බෙහෙත හැබෑ එකක් දැයි දැන ගැනීම අයිතියක් සෑම පුරවැසියෙකුටම තිබිය යුතුය.

 

 

රැකියා ඇතත් මිනිස්සු නැත මිනිසුන් ඇතත් රක්ෂා නැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

2019/03/20 – ලංකාදීප

ස්ථිර රැකියාවක් සොයා ගැනීම පුද්ගල සමාජ අවශ්‍යතාවයකි. ඉගෙනගැනීමෙන් පසු යහපත් ආදායමක් ලැබෙන සහ හොඳ පිළිගැනීමක් ඇති වෘත්තියක් අපේක්ෂා කෙරේ. ලැබෙන අවස්ථා හා පවතින රැකියා අවස්ථා අතර පරතරයක් තිබේ. එහි විෂමතා ඇත. ඇමරිකාවෙන් ලැබෙන වාර්තාවක් අනුව එරට වෘත්තීය අවස්ථා මිලියන 7.6 ක් තිබේ. මෙම හිඟය පියවා ගැනීම අපහසු නැත. රැකියා රහිත ඇමරිකානුවන් මිලියන හයක් සිටින බව අනාවරණය වෙයි. මෙම සම්පූර්ණ පිරිසටම ඇමරිකාවෙන් රස්සා සැපයීම ගැටළුවක් නොවේ. එහෙත් යැපෙන මාර්ගයක් සොයා ගන්නට මහන්සිවෙන පිරිස මෙම පවතින වෘත්තීය අවස්ථා වලට කැමැති නැත. එය වෙනස් අර්බුදයකි.

ඉන්දියාවේ තත්ත්වය වෙනස්ය. ඉන්දියාවේ ප‍්‍රාන්ත ගණනාවක රැකියා හිඟය දරුණු අර්බුදයක් වී තිබේ. ඉන්දියානු දුම්රිය සේවයේ පොදු සේවක තනතුරු අනූ දහසක් සම්පූර්ණ කරන්නට අයැදුම් පත් කැඳ වූ විට ලැබී ඇති ඉල්ලූම් පත් ගණන මිලියන විසි අටකි. උපාධිධරයෝ පවා සුළු රැකියා අවස්ථා වලට අයැදුම් කර තිබේ.

ලෝකයේ රටවල් දෙකක දැනට පවතින මුහුණුවර ගැන යම් අවබෝධයක්  ලබාගැනීමට මෙම තොරතුරු සෑහෙනු ඇත. ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම වෙළඳ පොළ හා තරුණ පෙළ අපේක්ෂා කරන රැකියාව ගැන අවධානය යොමු කිරීම සුදුසුය. අඩු ආදායම් මට්ටමක සිටි රටක තත්ත්වයෙන් මිදී මැදි ආදායම් රටක ස්වභාවයට පත් වූ ශ‍්‍රී ලංකාවේ ජන සමාජය තුළ පවතින ආකල්ප වෙනස් වී තිබේ. එය සාධාරණ තත්ත්වයකි. යැපෙන වෘත්තියක වෙනුවට තෘප්තිමත් සේවයක නිරතවීම අපේක්ෂාවයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පවතින රැකියා වලට සුදුසු අය නැත. රැකියා අවස්ථා විශාල වශයෙන් පවතින නමුත් ඒවායේ වැඩ කරන්නට තරුණ පෙළ සූදානම් නැත. මෙම පරතරය මගින් සෑහෙන විෂමතා ඇති කර තිබේ.

කාර්මික හා කෘෂිකාර්මික අංශ වල පවතින රැකියා ඇබෑර්තු සෑහෙන ප‍්‍රමාණයකි. ශ‍්‍රම හිඟය නිසා ගොවිතැන අඩාල වී තිබේ. ඇ`ගළුම් කර්මාන්තය ආශ‍්‍රිව විශාල අවස්ථා ඇත. අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත ආයතන තමන්ගේ වැඩ පොල වල ශ‍්‍රම හිඟයක් පවතින බව වාර්තා කර තිබේ.  ඉගෙනගැනීමෙන් පසු නොගැලපෙන වෘත්තීන් හි නිරත වන්නට කැමැති නැත. ලැබෙන තෘප්තිය හා රැුකියාවෙන් උපයාගත හැකි ආදායම අතර වාදයක් පවතී. ඇතැම් කොටසක ගේ අරමුණ වී ඇත. රැකියාවක සඳහා ගමන බිමන දුෂ්කරය. වැය කළ යුතු කාලය වෙනස් වී තිබේ. එම කාලය වෙනුවට තමන්ටම තී‍්‍රවිලර් එකක් හෝ මිල දී ගෙන ආදායමක් හොයා ගැනීම සුදුසු බව හිතන තරුණ පිරිසක් ද ඇත. පොදු ප‍්‍රවාහනයේ දී සිදුවන හිරිහැර හෙයින් ශ‍්‍රී ලංකාවේ කාන්තාවෝ රැකියාවකට යන්නට මැලි කමක් දක්වන බව ද පර්යේෂණ වාර්තා පෙන්වා දී තිබුණි. එය ශ‍්‍රම හිඟය තවත් පැත්තකින් ගැටළුවක් බවට පත් කර තිබේ. අනාගතයේ දී මෙරට තරුණ ශ‍්‍රමය හි`ග වන අතර වයස්ගත ජනගහනය ප‍්‍රතිශතයක් වශයෙන් වැඩි වන බව ද අනාවරණය වී ඇති කරුණකි.

ලෝකයේ වෙනත් රටවල් ශ‍්‍රම හිඟයට මුහුණ දෙන ආකාරයට විදේශ රටකින් ශ‍්‍රමිකයන්ට මෙරටට පැමිණ වැඩ කරන්නට ඉඩ දෙන වාතාවරණයක් රට තුළ නැත. රටට අවශ්‍ය ශ‍්‍රමය සොයා ගත යුතුය. නිෂ්පාදන අංශ අඩාල නොවන පරිදි හසුරුවා ගැනීමේ දී ශ‍්‍රම වෙළ`ද පොල හැසිරීම ගැන නිසි අවධානයක සිටිය යුතුය. පවතින රැකියාවලට අකමැති නම් ඒවා තාක්ෂණික යන්ත‍්‍ර වලට පවරා ඒවා මෙහෙයවන දැනුම තරුණන්ට දෙන අධ්‍යාපනයේ වෙනස්කම් ඇති කිරීම ගැන කල්තබා සාකච්ඡුා කිරීම සුදුසුය.

 

 

 

අනාගතයේ පිළිකාව තුරන් වූ ලොවක්?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

2019/03/13 – ලංකාදීප

පිළිකාව මාරාන්තික රෝගයකි. තවත් කෙනෙකුගෙන් බෝ නොවෙන පිළිකා රෝගය මෑත කාලීනව සෑහෙන වර්ධනයකට ලක් වූ බව ජාත්‍යන්තර වාර්තා දක්වයි. පිළිකා වෛරස් කලින් හදුනාගෙන මර්දනය කළ හැකි එන්නතක් නිදපවීමට හැකිවනු ඇතැයි සුප‍්‍රකට ප‍්‍රකෝටිපති බිල් ගේට්ස් විශ්වාසය පළ කර තිබේ. හෙතෙම සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් සිය ධනය පරිත්‍යාග කරයි. මැලේරියාව තුරන් කිරීම හා ඒඞ්ස් රෝගය පාලනය කිරීම සඳහා විශාල මෙහෙවරක නිරත විය.

2019 වසරේ දී වාර්තා බිඳ හෙළමින් ජාත්‍යන්තරය කළඹන්නට සමත්වන අලූත් විද්‍යා හා තාක්ෂණ සොයා ගැනීම් ගණනාවක් ගැන ගේට්ස් සිය තාක්ෂණික විවරණිකාවකින් පෙන්වා දෙයි. එයට අනුව පිළිකාව මර්දනය කළ යුතුම එකකි. පිළිකාවේ පැතිරීම හා එයින් සිදුවන ජීවිත හානි දෙස අවධානය යොමු කර ඇති ජාත්‍යන්තර පර්යේෂණ ආයතන, එය ඇති වෙන්නට කලින් වලක්වා ගන්නේ කෙසේදැයි සොයා බැලීම ආරම්භ කර තිබේ. බිල් ගේට්ස් එකී පර්යේෂණ වෙනුවෙන් කතා කර තිබේ. සාමාන්‍ය එන්නතක් ලෙස ශරීරයට ලබාගත් පසු පිළිකා වෛරස සෛල ඇතිවිය හැකි අවදානම විනාශ කරන එන්නතක් වනු ඇති අතර එය බලවත් අස්වැසිල්ලකි.

වෛද්‍ය විද්‍යාව විශාල ඉදිරි පිම්මකට අවතීර්ණ වී තිබේ. රෝග වැළදුන පසු ප‍්‍රතිකාර ගැනීම වෙනුවට රෝග ඇති වීමෙන් වලකන පියවර කෙරෙහි යොමු වී සිටී. ස්වභාවික ප‍්‍රතිශක්තීකරණය අභිබවා බාහිරව දෙන ප‍්‍රතිශක්තීකරණයෙන් සෑහෙන රෝග ප‍්‍රමාණයක් පාලනය කරගත හැකි වනු ඇත. රෝග ඇති විය හැකි ආහාර පාන හා ජීවිත හුරුපුරුදු අත් හැරීමට ද වෛද්‍ය උපදෙස් නිකුත් වෙමින් තිබේ. අප ජීවත්වන පරිසරය සෑම පැත්තකින්ම අභියෝගාත්මකය. ආහාර පාන කෘතීම රසකාරක හා කල්තබා ගැනීමේ ද්‍රව්‍ය භාවිතා කර නිපදවයි. අලූත් එලවලූ හා පලතුරු භාවිතා කිරීමට ඇති අවස්ථා සීමිතය වාතය, ජලය අපවිත‍්‍ර වී තිබේ. පොසිල ඉන්ධන භාවිතය හා මිනිස් ක‍්‍ර‍්‍රීයාකාරම් හෙයින් වායුගෝලයේ ඇතිවූ වෙනස්කම් නොයෙක් රෝග වලට බලපා ඇති මූලික සාධක සේ හදුනා ගෙන ඇත. පරෙස්සම් නොවීම භයානක රෝග වලට මුල බව අවධාරණය කෙරේ. නිසි ආහාර ගැනීම හා ශරීරයට අවශ්‍ය කරන ව්‍යායාම මගින් අනවශ්‍ය මේදය දහනය කර හොඳ සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම ඉතාම වැදගත්ය. ලෙඩ රෝග ඇති වීම පාලනය කරන විද්‍යාත්මක හුරු පුරුදු වෛද්‍ය උපදෙස් වලට අඩංගු බව සිහිපත් කිරීම වටී.

අලූත් සොයා ගැනීම් අනුව වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම පවා විශාල වෙනස්කම් වලට නැඹුරු වී ඇත. විශාල වියදමක් යන ශරීර අභ්‍යන්තරයේ රෝග පරීක්ෂා කුඩා ’‘ටැබ්ලට් එකක්’’ වැනි කැමරාවක් ගිලීමෙන් අනාවරණය කරගත හැකි වී තිබේ. අතේ බැඳගෙන යන ඔරලෝසුවක් වැනි උපකරණයකින් ඊ.සී.ජී වාර්තා නිකුත් වෙයි. ඒවා ස්වයංකී‍්‍රයව පවුලේ වෛද්‍යවරයා වෙත යොමු කෙරෙන අතර හදිසි අවස්ථාවක දී රෝගීන් ක්ෂණයකින් රෝහල් කරා යොමු කළ හැකි ජාල ගත පහසුකම් නිර්මාණය වෙමින් තිබේ. ප‍්‍රතිකාර කිරීමට වඩා මෙවැනි ක‍්‍රම මගින් රෝහල් ගාස්තු අවම කළ හැකිය. වෛද්‍යවරු හා රෝගීන් වෙනුවෙන් පවතින අධික තදබදය පාලනය කරන්නට පුලූවන්කමක් තිබේ.

පිළිකාව, හෘද රෝග, දියවැඩියාව, වකුගඩු වැනි වලක්වා ගත හැකි රෝග ඉතාම නරක අන්දමින් රට තුළ පැතිරෙමින් පවතින බව පෙනේ. විශාල වියදමක් දරා රෝග වලට ප‍්‍රතිකාර කරනු වෙනුවට රෝග ඇතිවීම වලක්වන උපදෙස් කෙරෙහි මෙරට සෞඛ්‍ය අංශ පවා අනුගමනය කිරීම සුදුසුය. පාසල් වියේ සිට දරුවන් ගැන සැලකිලිමත්වීම වටී. නොයෙක් රටවල් පාසලේ දී දරුවන් අනුභව කරන ආහාර, ශාරීරික ක‍්‍රියාකාරකම් වලට යොමු කිරීම කරන අතර නිවැරදි සෞඛ්‍ය පුරුදු වලට නැඹුරු කිරීමට සැලසුම් සකස් කර තිබේ. දරුවන් වියපත්වන විට නිරෝගී ජීවිත ගත කරන්නට එය පදනමකි. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් ලැබෙන අදහස් අනුව සම්ප‍්‍රදායික ප‍්‍රතිකාර ක‍්‍රම රෝග වලක්වා ගැනීමේ ප‍්‍රයත්න දක්වා හරවා ගැනීම වැදගත්ය.

 

 

 

අන්තවාදයෙන් මිදී මැද මාවතට පිවිසීමේ වාසිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

2019/03/06- ලංකාදීප

අන්තවාදය පලක් නැති බව අවබෝධ වෙමින් තිබේ. ලෝකයේ තැනින් තැන වාර්තා වූ එකිනෙකට වෙනස් සිද්ධි මැද මාවතට අවතීර්ණ වීමේ වැදගත්කම පෙන්වා දී තිබේ. ඉන්දියාව සහ පකිස්තානය අතර අන්තවාදී අදහස් උත්සන්න වී ඇත. දෙපාර්ශවය අතර මෝදු වූ අන්තවාදී අදහස් අවසානයේ ගැටුමකට මුල පුරා තිබේ. මුල් වටයේ ප‍්‍රහාර වලින් පසු ගැටුම් ඇති කිරීමට වඩා සාකච්ඡාවෙන් විසඳා ගැනීම වැදගත් බව පකිස්තාන අගමැතිවරයා පෙන්වා දී තිබේ. ඇවිලවීම පහසුය. පියවරක් පිටුපසට තබා මැද සොයා ගැනීම අපහසුය.

බි‍්‍රතාන්‍ය ඉතාම තද අන්තවාදයක් කරා ගමන් කළේය. බි‍්‍රක්සිට් එහි එක කෙළවරකි. යුරෝපා සංගමයෙන් ඉවත්වන යෝජනාවක් පදනම් කරගෙන එරට දේශපාලනය දෙකට බෙදී අවුල් ඇති කරනගන්නා තැනට පත් විය. ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පසු පෙළ මහජන නියෝජිතයන් පිරිසක් අන්තවාදයෙන් ප‍්‍රයෝජනයක් නැති බව සඳහන් කර පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව ප‍්‍රකාශ කර තිබේ. ඇමරිකාවේ ද අන්තවාදී අදහස් වලට තැනක් නැති බව සනාථ වෙයි. වසර දෙක තුනකට කලින් තිබුණ පසුබිම වෙනස් වී ඇත.

දේශපාලන, ආර්ථික, ආගමික වශයෙන් මැද මාවත තෝරා ගැනීමට අවධානය යොමු කළ යුතුය. ශ‍්‍රී ලංකාව බුද්ධ දර්ශනය ගැන අවබෝධයක් ඇති බහුතර පිරිසක් ජීවත් වන රටකි. අන්තවාදය සැනසුමට මග නොවන බව බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. සෙසු ආගම් වල පවා අන්තවාදය නැත. ඇදහිල්ල අනෙකකි. ආගමික වශයෙන් මධ්‍යස්ථ තැනක ද යන්න ප‍්‍රශ්න කරන්නට අවශ්‍යය. මහා සංඝරත්නය ආදර්ශයක් සැපයිය යුතුය.

දේශපාලන වශයෙන් අන්තවාදී කණ්ඩායම් වල ක‍්‍රියාකාරීත්වයෙන් වලින් රටට ලැබී තිබෙන ප‍්‍රයෝජනය කුමක්ද? පටු පරමාර්ථ ඇතිව කටයුතු කරන කුඩා කණ්ඩායම් විශාල ඝෝෂාවක් ඇති කරන අතර එම හඞ මතුකරන පිරිස සතු ශක්තිය අන්තවාදය පමණක් බව තේරුම් ගත යුතුය. පටු අන්තවාදය මගින් රට තුළ බෙදීම් උග‍්‍ර කර තිබේ. එකිනෙකා කෙරෙහි ඇති බැඳීම් විනාශ කර ඇත. එයින් පලක් නැත. එකතුව, එකමුතුව මුහුණ දීම අරභයා දෙපාර්ශවයම පිලිගන්නා මැද මාවතක් සොයා ගැනීම අවශ්‍යය. දේශපාලනයේ දී අන්තවාදී ක‍්‍රියාකාරකම් හෙයින් රට සෑහෙන වතාවක් ගැටළු වලට මුහුණ දී ඇත. ජනතාවගේ මතයට සවන් දී මධ්‍යස්ථව කටයුතු කරන්නට සමත්වූයේ නම් ශ‍්‍රී ලංකාව ආර්ථික හා සමාජයීය වශයෙන් ඉහළ තැනකය.

අප සියළුම දෙනා ආර්ථික, සමාජ, දේශපාලන හා ආගමික ඇතුළු සෑම ක්ෂේත‍්‍රයකම අන්තවාදී ගොදුරු බවට පත්ව තිබේ. තර්කය හැර අනෙකක් ගැන හිතන්නේ නැත. අන්තවාදීව කරන තර්කයෙන් ඇත්ත මතු වෙන්නේ නැත. විවාදයක දී තර්ක කරන පාර්ශවයක අන්තවාදී ඉදිරිපත් කිරීම හා එය මතුකරන උස් විලාසය අනුව සත්‍ය මතු වෙන්නේ යැයි හිතන්නේ නම් වරදකි. සාවධානව කල්පනා කළ යුතුය. සත්‍ය යැයි සිතන වෙනත් මුහුණුවරක් සැම අංශයකම පවතී. දේශපාලන, ආගමික අංශ වල එය ඉතා දරුණු මුහුණුවරක් ගෙන ඇති අතර පැවැත්ම වෙනුවෙන් සත්‍යගරුකවීම හැර අනෙක් ක‍්‍රමයක් අනුගමනය කරමින් සිටී. ආර්ථික විෂයයෙහි දී ද අමිහිරි සත්‍ය වෙනුවට කනට මිහිරි අසත්‍යයට ගොදුරු වෙන්නට අප සියළු දෙනාම කැමැතිය. එහෙයින් පාලකයෝ හැබෑව වෙනුවට එය වෙනත් පැත්තකට හරවා ජනතාව හමුවට ඉදිරිපත් කරන්නට යොමු වී තිබේ. ලෝකයේ කොතැනත් සිදුවන්නේ එයයි.

පැවැත්ම වෙනස් කරගැනීමට සමාජය සූදානම් විය යුතුය. අප දකින අහන දෙය තුළ ඇති සත්‍ය සොයා ගැනීම වැදගත්ය. එය දුෂ්කරය. මධ්‍යස්ථව සිතා බලා සත්‍ය සොයා ගැනීමට කැපවීමක් අවශ්‍යය. අන්තවාදය තුළ සත්‍ය නැත. මධ්‍යස්ථව හිතන, මධ්‍යස්ථව කටයුතු කරන තැන ඇත.