2022/07/20 – ලංකාදීප

අද දවස ශ‍්‍රී ලංකාවේ ඉතිහාසයට එකතුවන තීරණාත්මක දිනයක් විය හැකිය. මෑත භාගය තුළ බරපතල සිද්ධි සෑහෙන ප‍්‍රමාණයක් සිදුවිය. මැදි ආදායම් රටක, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය මුහුණ දුන් දැවැන්ත අර්බුදය විචාර බුද්ධියෙන් විමසිය යුතුය. ආර්ථිකය අර්බුදයකට පත්වන අතරවාරයේ නොසන්සුන් වූ පිරිස් ආණ්ඩු විරෝධී අරගලය මැකිය නොහැකි පැල්ලම් ගණනාවක් ඉතිරි කර තිබේ.

ජනාධිපති නිල නිවෙස, ලේකම් කාර්යාලය හා අගමැති කාර්යාලය අරගලකරුවෝ අත්පත් කරගත් අතර අගමැතිවරයාගේ පුද්ගලික නිවෙස ගිනි තබා විනාශ කර ඇත. මෙයට මාසයකට කලින්  ද ජීවිත බිලිගනිමින්, නිවාස හා දේපොල ගිණිතබන ලද සිද්ධිවලට දෙවැනි නොවේ. ආණ්ඩු විරෝධී සාමකාමී අරගලයක්  වශයෙන් පෙනී සිටින්නට උත්සාහ කළ නමුත් තැවැරුණ ලේ පැල්ලම්, ඇති කරන ලද භීතිය හා නීතිය අතට ගෙන ක‍්‍රියා කළ ආකාරය අනුමත කළ නොහැක. රජයට අයත් දේපොල අත්පත් කරගැනීම සහ අල්ලාගත් ස්ථානවල රැදීසිටි ආකාරය ශීලාචාර සමාජය ලජ්ජාවට පත් කර ඇත. රූපවාහිනියට ඇතුළුවී හැසිරුණ ආකාරය මාධ්‍ය නිදහස මාධ්‍ය සදාචාරය අගය කරන පිරිස ගේ තැති ගැන්මට හේතුවිය. වෙනස් මතවාද දරන නාලිකා වලට පවා තර්ජනාත්මකව ඇගිල්ල දිගු කරන ලදී. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සමාජය මෙකී ප‍්‍රචණ්ඩවාදය අනුමත නොකරන බව අවධාරණය කළ යුතුය.

ආර්ථිකය අර්බුදයකට පත්වන විට, නැති බැරිකම් ඉහවහා යන විට එහි පීඩනය අපට දැනේ. අධ්‍යාපනය අඩාලවන සහ රෝහල්වල බෙහෙත් පෙත්ත පවා හිගවන අතරවාරයේ නොසන්සුන්වීම පුදුමයක් නොවේ. ජනතාව බලය පවරන ලද ආණ්ඩුවක් අසමත්වන පසු ඉවත් කරන ක‍්‍රමයක් ඇත. රටට ව්‍යවස්ථාවක් තිබේ. ව්‍යවස්ථාව අනුව තීරණ ගත හැක. ව්‍යවස්ථාව පැත්තකට වීසි කර අරගලය නීතිය බවට හැරවීම පූර්වාදර්ශයක් වනු ඇත. හෙට බලයට පත්වන ආණ්ඩුවක් ද අරගලයකින් පසු ඉවත් කිරීමට අවස්ථාවක් නිර්මාණය වන අතර මැර බලයෙන් ආණ්ඩු අල්ලා ගැනීම කිසිසේත් හිතකර තත්ත්වයක් නොවේ.

ඉකුත් දශක හතර තුළ අවස්ථා ගණනාවක ඇති වූ භීෂණය හා ත‍්‍රස්තවාදය පරාජය කර, ඒවායෙන් පාඩම් ඉගෙනගත් සමාජයක් නැවත නැවතත් භීතියෙන් එතැනටම තල්ලූ කිරීමට ඉඩ දිය යුතු නැත. ආණ්ඩුවක ඇතැම් ප‍්‍රතිපත්ති විවේචනය කරන අතර ඒවාට විරුද්ධව ගෙන යන අරගල සාධරණීකරනය කළ හැකි නමුත් කුඩා කණ්ඩායමක් නීතිය අභිබවා කටයුතු කිරීම බහුතරයක ගේ පැවැත්ම අනතුරකට තල්ලූ කිරීමකි.

කල්ලියක් රට පාලන කිරීම, දූෂණ හා වංචා ගැන පාලකයන්ට එරෙහි විරෝධතාවයක් ඇත. ක‍්‍රමය වෙනස් කරන ආකාරය ව්‍යවස්ථාව දක්වා තිබේ. කම්පුචියාවේ, පොල් පොට් අනුගමනය කළ ක‍්‍රමය අද සමාජයට ගැලපෙන්නේ නැත. චීනයේ සංස්කෘතික විප්ලවය හෝ වෙනත් රටක අන්තවාදී ප‍්‍රතිපත්ති ශ‍්‍රී ලංකාව වැනි රටකට ඉහිලිය නොහැක. දීර්ඝ ඉතිහාසයක් ඇති, සංස්කෘතික අනන්‍යතා සහිත ලාංකිකයන්ට නැවත බිංදුවෙන් පටන් ගැනීමට බලකිරීම නුසුදුසුය. ලෝකයේ සමහර රටවල අත්හදාබලා ඒවායෙන් පලක් නැති බව තහවුරු වී ඇති ක‍්‍රම බලහත්කාරයෙන් සමාජයට ඇතුළු කිරීමට සූදානම්වීම බරපතල තත්ත්වයකි. මහජනතාව පත්කළ පාලකයන්, ජන ජීවිත හා දේපොල ආරක්ෂා කරන්නට බැදී සිටින ආරක්ෂක අංශ සංවිධානාත්මකව කෙරෙන විනාශකාරී සිද්ධි ගැන අවධනයෙන් සිටිය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව ජනතාව තුළ සමානාත්මතාව ඇති කර සමාන අවස්ථා තහවුරු කිරීම වැදගත් නමුත් එය කළ යුතු ජනතාවගේ කැමැත්ත ඇති ජනවරමකින් බව අවධාරණය කළ යුතුව තිබේ.

අද පාර්ලිමේන්තුවේ දී සිදුවන වෙනස්කම් උහුලන්නට අපට ධෛර්යයක් අවශ්‍යය. අඩුලූහුඩුකම් මැඩ නැවත නැගී සිටින්නට අවශ්‍ය එකමුතුව අතිශය වැදගත්ය. විනාශයකින් ස්වර්ණමය යුගයක් ඇති නොවේ. සුළු පිරිසකගේ ඝෝෂාවකට බහුතරයකගේ හඩ යටපත් කළ යුතු නැත. සාමකාමීව, සම්මුතියකින් රට ඉදිරියට ගෙන යා යුතු අතර මහජන දේපොල විනාශ කරන, ජනතාව නොමගයවන පිරිස් නැවත ක‍්‍රමයට ඇතුළු කරගත යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැර අනෙක් ක‍්‍රමයක් පිලිගන්නට ශ‍්‍රී ලංකාවේ බහුතර ජන සමාජය සූදානම් නැත. එවැනි එකගතාවයක් තිබේ ද යන්න ව්‍යවස්ථානුකූලව පවත්වන මැතිවරණකින් ගත යුතු තීන්දුවකි.