නඩු යන්නෝ වැනසෙන්නෝ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

2019/05/29 – ලංකාදීප

නඩු යන්නෝ වැනසෙන්නෝ යනුවෙන් ජන ව්‍යවහාරයක් තිබේ. නඩුවක පැටලීම ව්‍යසනයක් යැයි එකල තහවුරු වන්නට ඇත. අදට ද විවාදාත්මකය. අධිකරණය අරභයා එක්තරා භීතියක් තිබේ. එය අනව්‍යශ්‍යය. ගෞරවයක් තිබිය යුතුය. එය වෙනත් කාරණයකි. හැම දෙයකටම සීමාවක් තිබේ. අද වන විට අධිකරණයේ නඩු පවරන ස්වභාවය රට තුළ සුලබය. අධිකරණයෙන් තීරණය කළ යුතු දෙයටත් නැති දෙයටත් නඩු පැවැරීමට නැඹුරු වී තිබේ.  අධිකරණයෙන් තීරණ ගැනීමට හුරුවීම සුදුසු ද යන්න සාකච්ඡුා කළ යුතුය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය තුළ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන අංශ තුනක් තිබේ. මෙම ව්‍යුහ අතර සමබර පැවැත්ම ජන සම්මතවාදය තහවුරු කරයි. ව්‍යවස්ථාදායකය, එනම් මහජන නියෝජිතයෝ එකතුවන පාර්ලිමේන්තුව නීති හදයි. අධිකරණය එම නීති ක‍්‍රියාත්මක කරයි. නීති හදන ආයතනයේ විශ්වාසය පලූදු වී තිබේ. මහජන නියෝජිතයන් කෙරෙහි ජනතාව සැක පහල කරයි. ජනතා ඡුන්දයෙන් බලයට පත් වන දේශපාලනඥයන්ගේ හැසිරීම හා ප‍්‍රතිපත්ති ගැන ජනතාව තුළ පිලිකුල වර්ධනය වී තිබේ. පාර්ලිමේන්තුවේ කටයුතු ගැන ඇති පිරිහීම පදනම් කරගෙන අධිකරණය වෙත අතිරේක බරක් පැටවී ඇත. හැම දෙයකටම අධිකරණයෙන් තීන්දුව අපේක්ෂා කරයි.

ව්‍යවස්ථාව ගැන, විධායකය හෝ මහජන නියෝජිතයන්ගේ තීරණ ගැන අධිකරණයට යන්නට යුහුසුළුවීම වර්තමානයේ දැකිය හැකි සුලබ තත්ත්වයකි. පාර්ලිමේන්තුව හා ඇමැතිවරුන් යටතේ ඇති අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වල තීරණ ගැනීම පවා අධිකරණයෙන් අහන තැනට පත්ව තිබේ. නීතිපතිවරයා ගෙන් හෝ ශේෂ්ඨාධිකරණයේ මතය එනම් නීතිය පැහැදිලි කරගැනීම සාධාරණ විය හැකිය. අධිකරණයේ නඩු පවරා එම නඩු තීන්දුවක් අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට හුරුවීම බරපතල ගැටළු සහගත බව ස`දහන් කළ යුතුය.

අධිකරණයේ තීරණ ගැනීම පනවා ඇති වගන්ති අනුව සිදුවෙයි. නීති හදන ව්‍යවස්ථාදායකයේ හෝ ජනතාව පත්කරන විධායකයේ තීරණ ගැන අධිකරණයෙන් තීන්දුවක් ඉල්ලා සිටීම බැලූ බැල්මට ඉතා ගැටළු සහගතය. ව්‍යවස්ථාදායකයට හෝ විධායකයට වඩා අධිකරණය ඉහළ යැයි මතයක් ඇති වෙයි. එම ආයතන වල බලතල අභිබවා යන ආකාරයේ ආරෝපිත බලයක් ගොඩනැගෙන්නට ඉඩ තිබේ. ප‍්‍රායෝගිකව සලකා බලන විට රටට හෝ ජනතාවට සිදුවන යහපතක් තිබේදැයි ප‍්‍රශ්න කරන්නට අවශ්‍යය.

අපරාධ හෝ සිවිල් නඩු අති විශාල ප‍්‍රමාණයක් අධිකරණ වල තිබේ. මේවා විසඳීමට ගතවන කාලය ගැන සාමාන්‍ය ජනතාවට ප‍්‍රශ්න ඇත. ව්‍යවස්ථාදායකයට හෝ විධායකයට ඇති බලතල අනුව ගන්නා තීරණ වලට එරෙහිව අධිකරණයේ නඩු පැවැරීමෙන් සිදුවන අනර්ථය ගැන සමාජ නායකයෝ පුලූල් අවධානයට ගැනීම වැදගත්ය. යම් අසාධාරණයක් හමුවේ යුක්තිය ඉල්ලා සිටීම ගැන එකඟ විය හැකිය. නමුත් සෑම කාරණයකටම අධිකරණයෙන් විසªමක් පැතීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවේ.

ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කරන බල කණු තුන එනම් ව්‍යස්ථාදායකය, විධායකය හා අධිකරණය යන තැන් වලින් ඉටුකරන වගකීම හා ජනතාව අපේක්ෂා කරන යුතුකම ගැන අවබෝධයක් රටට අවශ්‍යය. මෙකී ආයතන වල සමබරතාවය බිඳ එකකට වඩා අනෙකකට බලය ආරෝපනයට ගන්නා උපක‍්‍රම වලින් සිදුවන හානිය බරපතල බව තේරුම් ගැනීම අවශ්‍යය. මේවායේ ප‍්‍රධානීහු උද්ගතවිය හැකි අනතුර ගැන අවධානය යොමු කළ යුතුය. විශ්වාසය තහවුරු කරන යුක්තිගරුක ආයතන වශයෙන් පවත්වාගෙන යන්නට ප‍්‍රයත්න දැරිය යුතුය.

 

 

 

 

Advertisements

නිසි කලට මැතිවරණ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

2019 /05 /22 – ලංකාදීප

නිසි කලට මැතිවරණ පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක වැදගත් ලක්ෂණයකි. තමන්ට කැමැති මහජන නියෝජිතයන් පත් කරගැනීම ජනතාවගේ පරම අයිතියකි. මැතිවරණයකින් පොදු ජනතාවට ස්වකීය අභිලාශය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ලැබේ. ව්‍යවස්ථාව අනුව මැතිවරණ පැවැත්විය යුතු කාල වකවානු නිශ්චිතව දක්වා ඇත. එය උල්ලංඝනය කිරීම සුදුසු නැත.

ඉතාම හොඳ පාලනයක් යටතේ ඉතාම විශිෂ්ඨ පාලකයෙකු පවා ඡන්දය ප‍්‍රකාශ කිරීමට පොදු ජනතාවට ඇති අයිතියට ගරු කළ යුතුය. මැතිවරණයක දී ජනතාව සිය නියෝජිතයන් පත් කර ගැනීම ගැන තින්දුවක් ප‍්‍රකාශයට පත්කරන අතර එය පිලිගැනීමට නැඹුරු විය යුතුය.

මැතිවරණයකින් පසු බලයට පත්වන  මහජන නියෝජිතයන් ගැන ධුර කාලය අතරතුර තීරණයක් ගන්නට ජනතාවට අවස්ථාව නැත. ඡන්ද කාලයේ දී ජනතාව හමුවට එන බොහෝ නායකයෝ බලයට පත් වූ පසු සාමාන්‍ය ජනතාවගෙන් ඈත් වෙති. එය යහපත් ලක්ෂණයක් නොවේ. මෑත භාගය තුළ ක‍්‍රමය හා දේශපාලන නායකයන් සම්බන්ධයෙන් තිබුණ ගෞරවය බරපතල ලෙස පිරිහීගිය අතර එයට හේතු විග‍්‍රහ කිරීම මෙහි අරමුණ නොවේ.  ඡන්ද නොපැවැත්වීමෙන් රටට වන හානිය සාකච්ඡා කලයුතුය. ජනතා ඡන්දයෙන් බලයට පත් වූ පාලකයෝ නොයෙක් හේතු දක්වා මැතිවරණ කල් දැමූ අවස්ථා ඉතිහාසයේ තිබේ. සමගි පෙරමුණු ආණ්ඩුව අවුරුද්දක් වැඩි පුර බලයේ ඉන්නට ක‍්‍රියා කළේය. හයෙන් පහක බලයක් ලැබ බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව  එම කාල පරිච්ෙඡ්දය අවසානයේ ජනමත විමසීමකින් කාලය දීර්ඝ කර ගෙන තිබේ.

මෙම වකවානු දෙකම සාධාරණ නැත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නොසිතූ ප‍්‍රතිඵල අත් කර දුන් බව අමතක කළ යුතු නැත. බලයේ ඉන්නා දේශපාලන පක්ෂ තව දුරටත් බලය ආරක්ෂා කරගනු සඳහා නීති වගන්ති පෙන්වා ජනතාව ඉදිරියට යන්නට තැත් කරන නමුත් ඒවා සාර්ථක වී නැත. මැතිවරණයකින් ජනතාව තුළ ඇති පීඩනය නිදහස් වන බව සැලකිය යුතුය. එයට ඉඩ නොදෙන සෑම අවස්ථාවකම රුධිරයෙන් වන්දි ගෙවා ඇත.  බිලිවෙන්නේ අහිංසක ජනතාව බව සඳහන් කළ යුතු අතර එයින් සිදුවන හානිය බලවත්ය. මෙරට ඉතිහාසය උගන්වා ඇති පාඩම එයයි.

වත්මන් ආණ්ඩුව බලයට පත් කරන්නට ජනතාව බලවත් උනන්දුවකින් ක‍්‍රියා කළ බව පිලිගත යුතුය. ජනතාවගේ එම අභිලාශය ඡුන්ද නොපැවැත්වීමට ලබා දුන් වරමක් නොවේ. ඉතා උපායශීලී ආකාරයට පලාත් පාලන ඡන්දය ප‍්‍රමාද කළ වත්මන් ආණ්ඩුව ඉනික්බිතව පලාත් සභා ඡන්ද නොපවත්වන තැනට කටයුතු කර තිබේ. අලූතින් නීති හදන්නට හෝ මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්නට සාධාරණ උවමනාවක් ඇති බව පිිලිගත යුතුය. නමුත් එකී අවශ්‍යතාව පෙන්වා ස්වකීය පටු පරමාර්ථ සාක්ෂාත් කරගැනීම ආණ්ඩුවක වගකීම නොවේ. ඡුන්ද කල් දැමීමෙන් ජන සම්මතවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය අසරණ වූ බව පාලකයෝ දැන සිටියේය. පලාත් පාලන මැතිවරණය හා පලාත් සභා මැතිවරණ නිසි අවස්ථාවේ දී නොපවත්වන විට මධ්‍යස්ථ ජනතාව තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය වටහා ගැනීමට පාලකයෝ උත්සාහ කළේ නැත. එය බලවත් වරදකි. එහි ප‍්‍රතිඵලය අද අත් විඳීන්නට සිදුවී තිබේ.

ජන හුමතයට සවන් නොදෙන ජනතාවගේ අයිතිය උදුරා ගන්නා අවස්ථාවල උද්ගත වූ තත්ත්ව ගැන ලෝකය පුරා උදාහරණ තිබේ. පාලකයන්ට බලය තහවුරු කරගැනීම උදෙසා අයුක්ති සහගත ලෙස මැතිවරණ කල් දැමීම අරගල, කැරළි කෝලාහල වගට හේතු වන අතර සමාජ නොසන්සුන්තාවය ඇති කරයි. මහජනතාවගේ දුක වේදනාව විමසන සෑම සාධාරණ අවස්ථාවකම රටට සැනසිල්ල උදා වී තිබේ. ජනතාවගේ අදහස් විමසා බලන සමීක්ෂණ නිතර පවත්වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ජන ජීවිතය ඉතා උසස්ය. පලාත් පාලන මැතිවරණ කල් දැමූ හා පලාත් සභා පැවැත්වීම අවිනිශ්චිත වී ඇති රටක ජනතාව පාලන ක‍්‍රමය ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සිය මතය ප‍්‍රකාශ කරන්නේ කෙසේදැයි තමන්ගෙන්ම ප‍්‍රශ්න කිරීම පාලකයන්ගේ වගකීමකි.

වෙසක් මාසේ බුද්ධ භාෂිතය හැදාරමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

2019 05 15 – ලංකාදීප

වෙසක් මාසය බුද්ධ භාෂිතය හැදෑරිය යුතු වකවානුවකි. පංචශීලයෙහි සමාදන් වූ බෞද්ධයෝ බොරු නොකියති. පංච ශීලය ගිහියෙකු ආරක්ෂා කරන අවම ප‍්‍රතිපදාවකි. බොරු කීම හා අසත්‍ය ආරංචි පැතිරවීම යන කරුණු දෙකම එකම ගනයේ ලා සැලකිය යුතු වැරදිය. පාස්කු ඉරිදා දිනයේ සිදුවූ මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව, ඉනික්බිතිව ආරක්ෂක අංශ කළ සෝදිසි මෙහෙයුම් වල දී සොයාගත් අවි ආයුධ ගැන තොරතුරු සමග මුසු කර හදූ අසත්‍ය තොරතුරු මෑත කාලය තුළ රට පුරා පැතිරුණ බව මෙහි දී මතක් කළ යුතුය. සත්‍ය හා අසත්‍ය වෙන්කර හªනාගැනීම දුෂ්කර වූ අතර තත්ත්වය පාලනය කරගැනීමට සමාජ මාධ්‍ය තාවකාලිකව තහනම් කරන හා රජයේ නිවේදන පමණක් පළකරන සේ මාධ්‍යයට නියම කිරීම නිසා ඇත්ත ගැන සැකය වඩාත් පැතිරිණ.

නූතනයේ මාධ්‍ය ඉතා වේගවත්ය. සංකීර්ණ ව්‍යුහයක් ගනී. සමුප‍්‍රදායික මාධ්‍ය අතරට එකතු වී ඇති සමාජ මාධ්‍ය ජාලා ඉතාම ප‍්‍රබලය. ඒවායේ කර්තෘවරයා සිද්ධිය ඉදිරිපත් කරන්නාමය. ආචාර ධර්ම හෝ ප‍්‍රතිපත්ති ගැන අවබෝධයක් නැති පිරිසක් ද සමාජ මාධ්‍ය හසුරුවති. තොරතුරු ප‍්‍රවාහයක සිටින ජනී ජනයාට ඇත්ත හා බොරුව තෝරා ගත හැක්කේ කෙසේද? වෙසක් සතියේ අවධානයට ගත යුතුය.

අසත්‍ය තොරතුරු පැතිරවීම ගැන සිංගප්පූරු ආණ්ඩුව ක‍්‍රියාකරන ආකාරය ද දැන ගෙන සිටීම සුදුසුය. එරට අගමැතිවරයා පසුගිය සතියේ ආන්දෝලනාත්මක පණතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය සම්මත විය. එම පණත අනුව අසත්‍ය තොරතුරු පැතිරවීම බරපතල වරදකි. වරදකරු වුවහොත් වසර දහයක සිරදඩුවමක් හෝ ඇමරිකානු ඩොලර් හත් ලක්ෂ තිස් පන්දහස් පන්සියයක් එනම් සිංගප්පූරු ඩොලර් මිලියනයක දඩයකට යටත් වෙන්නට සිදුවෙයි.

ලිබරල් අදහස් ඇති ලෝකයේ නොයෙක් අංශ මෙම නීතිය තදබල විවේචනයකට ලක් කර තිබේ. නමුත් මෙම නීතිය මගින් කිසිසේත් නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමට බාධා නොකරන බව සිංගප්පූරු ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගේ මතයයි. දියුණු රටක් වශයෙන් ලෝකයේ ඉහළ ප‍්‍රමිතියක සිටින සිංගප්පූරුව අසත්‍ය තොරතුරු පළ කිරීමට එරෙහිව නැගී සිටින්නේ ඇයි? ඇතැම් සමාජ මාධ්‍ය ජාලා, නිසි පදනමක් නැති තොරතුරු ජනතාව අතර විසුරුවා හරින හෙයින් සහ එය පාලනය කිරීමේ අරමුණ ඇතිවය.  සත්‍ය හා අසත්‍ය තෝරා ගන්නට නොහැකි තරමට ප‍්‍රවෘත්ති පතුරවන අවස්ථාවක  ඕනෑම ආණ්ඩුවකට මෙවැනි පියවරක් හැර අන් මගක් නැත.

තොරතුරු අහන, දකින සමාජය ඒවා විමසා බලා සිහි නුවණින් අවබෝධ කරගත යුතුය. බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙහි සත්‍ය සොයා ගැනීම දක්වා ඇත. බුද්ධ වචනය පවා හොඳීන් විමර්ෂණය කර නුවණින් පිලිගන්නා සේ කාලාම සූත‍්‍රයෙන් දේශනා කර තිබේ.  නමුත් සංකීර්ණ ජන සමාජයට ගැඹුරෙන් විමසා බලා ඇත්ත සොයා ගන්නට තරම් කාලයක් නැත. එය ද වර්තමාන අර්බුදයේ එක පැත්තක් බව සඳහන් කරන්නට අවශ්‍යය.

නොබෝදා සිද්ධියේ දී පමණක් නොව එයට කලින් ද වත්මන් ආණ්ඩුව සමාජ මාධ්‍ය තාවකාලිකව තහනම් කළේය. එහි බලධාරීහු මෙරටට කැඳවා අසත්‍ය තොරතුරු පතුරවන අවස්ථා පාලනය කළ හැකි මග සොයා බැලීය. දිනපතා සියළු වෙබ් අඩවි, සමාජ මාධ්‍ය හා වෙනත් ඇප් මගින් පළ කරන අති විශාල තොරතුරු ප‍්‍රමාණය සොයා බලා ඒවායේ හරි වැරදි සෙවීම පහසු කාර්යයක් නොවේ. තාක්ණයට කළ යුතු ආයෝජනය ශ‍්‍රී ලංකාව වැනි රටකට දරා ගැනීම දුෂ්කරය. අනෙක් වැදගත්ම කාරණයක් තිබේ. සත්‍ය හෝ අසත්‍ය තොරතුරු බෙදන මිනුම් දණ්ඩයි. සිංගප්පූරුවේ මෙන් නීති පැනවුවහොත් සිදුවිය හැක්කේ කුමක්ද? මෙරට පාලකයෝ තමන්ට අවාසි සහගතව වාර්තාවන සියළු දේ අසත්‍ය බව කියා ඒවාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්නට ඉඩ තිබේ. පරිනත නැති සමාජයක් තුළ එය විරුද්ධවාදීන්ගෙන් පලිගැනීම සඳහා භාවිතා කරන අශෝබන මෙවලමක් බවට හරවා ගන්නට ඉඩ තිබේ. බොරුව පාලනය කරනු සඳහා නීති පැනවෙන්නට ඉඩ නොතබන බුද්ධිමත් සමාජයක් කෙරෙහි බලාපොරොත්තු තබාගත යුතුය. වෙසක් සමයේ පණිවුඩය විය යුතු එයයි.

 

 

 

 

වගකීම් වලින් මාරුවෙන ලංකාවේ දේශපාලකයෝ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

LOGO

2019/05/08 – ලංකාදීප

තනතුරක් යනු වගකීමකි. වැටුප් ලබන තනතුරු තිබේ. වැටුප් නොලබන ගරු සේවා තනතුරු ඇත. සේවාවක් කරන නමුත් දීමනා ගෙවන තනතුරු ද තිබේ. ගෙවන මිල කෙබදු නමුත් තනතුරකට පත් වන පුද්ගලයෙකුගෙන් අපේක්ෂා කරන යුතුකමක් තිබේ. වගකීම් සම්භාරයක් ඇත. පත්වීම් ලිපියකින් කරුණු වගන්ති සහිතව පවරන වගකීම කෙසේ වෙතත් නිරායාසයෙන් සෑම පුද්ගලයෙකුටම ජන සමාජය හා බැදුණු යුතුකමක් හා වගකීමක් තිබේ.

වගකීම හා යුතුකම ගැන දීර්ඝ විග‍්‍රහයක යෙදීම අවශ්‍ය නැත. පවුලේ සාමාජිකයෙකුගේ සිට රාජ්‍ය නායකයා දක්වා පුලූල් පරාසයකට විහිදෙන එකකි.  යම් අවස්ථාවක සිදුවන පැහැර හැරීමක දී සිදුවන්නේ කුමක් ද යන්න ගැන සවිඥාණිකව සිටීම වැදගත්ය.

අතවරයට ලක් වූ කාන්තාවන් ගෙන ගිය බලවත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පසුගිය කාලයේ වාර්තා විය. ‘‘මී ටූ’’ යනුවෙන් එය නම් කර තිබුණි. තමන් කිසියම් අවස්ථාවක අතවරයකට ලක් වූ බව නම් ගම් සහිතව හෙළිදරව් කරන අතර එය කාන්තාවන්ගේ ආත්ම ශක්තිය නංවන වැඩ පිලිවෙලක් විය. ලෝකයේ නොයෙක් බලගතු පුද්ගලයෝ මෙම හෙළිදරව් කිරීම් හෙයින් අපහසුතාවයට පත් වූ අතර ඉන්දියාවේ ප‍්‍රකට දේශපාලනඥයෙකු ධුරයෙන් ඉල්ලා අස්වූයේ ‘‘මී ටූ’’ හෙළිදරව් කිරීමක් හේතුවෙන්ය. මෑතක දී බල්ගේරියාවේ කදුකර ප‍්‍රදේශයක වාහන අනතුරක් හෙයින් දහ හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර එයට වගකීම භාර ගනිමින් එරට ඇමැතිවරු තිදෙනෙකු ඉල්ලා අස්වූහ. කදුකර ප‍්‍රදේශයේ සුළු අතපසුවීමකින් සිදුවූ වාහන අනතරකට ඇමැතිවරු වගකිව යුතුද? යන ප‍්‍රශ්නය පැන නැගිය හැකිය. කාන්තාවක චෝදනා කළ පමණින් නිසි විභාගයකින් තොර අවස්ථාවක දී පවා ඉන්දියානු අමාත්‍යවරයා සිය ධුරයෙන් අස් විය යුතු ද යන්න තවත් කෙනෙකුගේ ප‍්‍රශ්නයක් විය හැකිය.මේවායෙන් පෙන්වන්නේ කුමක්ද? ලෝකයේ නොයෙක් රටවලින් හෘද සාක්ෂියක් ඇති අවංක චරිත ස්වකීය අඩු ලූහුඩුකම් පිලිගන්නට මැලි නොවෙති. පිලිගන්නවා පමණක් නොව එයට උත්තරයක් වශයෙන් තමන් වගකීමක් දරන්නට නුසුදුසු බව ප‍්‍රසිද්ධියේ පළ කරමින් ධුරයෙන් ඉල්ලා අස්වෙති. එය ඔවුන්ගේ චර්යාවට පමණක් නොව අනාගත පැවැත්මට ද ඉතා හොඳ පූර්වාදර්ශයකි.

ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය තුළ දහ දහස් ගණනින් වගකීම් හා යුතුකම් පැහැර හරින සිදුවීම් වාර්තා වී තිබේ. එහෙයින් දහස් ගණනින් අහිංසක ජීවිත බිලි වී ඇත. කාගේ හෝ ප‍්‍රමාද දෝෂයකින් සිදුවන වගකීම පැහැර හැරීමක අවසාන තීරණය කුමක්ද? වගකිව යුත්තෝ කිසි දෙයක් නොදන්නා අන්දමට සමාජය ඉදිරියට පැමිණ හැසිරීමය.

නොබෝදා සිදුවූ බලවත් ආරක්ෂක හිඩැස බරපතල සිද්ධියකි. සිදුවීම ගැන කල් තියා දැනගත් නමුත් නිසි විධිවිධාන නොයෙදූ රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව ගැන අන්තර් ජාතික ප‍්‍රජාව විමතියෙන් බලා සිටියේය. කුඩා දරුවන් ඇතුළුව දෙසිය පනහකට වැඩි නිරායුධ, අහිංසක පිරිසක් වන්දි ගෙවා තිබේ. යමක් සිදුවිය හැකි බව දැනගෙන, එය නොතකා සිටි පිරිසක් පමණක් නොව මරාගෙන මැරෙන අනතුරක් සිදුවිය හැකි බව නොදැන සිටි ඉතාම වැදගත් ධුර හොබවන වගකිව යුතු පිරිසක් ද සමාජය ඉදිරියේ නිරාවරණය වී තිබේ. වගකීම භාර ගන්නා බව පොදුවේ ප‍්‍රකාශ කිරීමෙන් පමණක් අතසෝදා ගත හැකිද?  එකිනෙකා වෙත ඇඟිල්ල දිග් කිරීමෙන් පීඩනය මගහරින්නට පුලූවන්කමක් තිබේද?

ස්වකීය අඩුලූහුඩුකම පිලිගැනීමට මැලිවීම විශාල පරිහානියක ලක්ෂණයකි. බලය අතහරින්නට සූදානම් නැති පසුබිමක බලය බෙදාහැරීම ගැන කතා කරන්නේ කෙසේද? තනතුරු හා වරප‍්‍රසාද වලට විශාල කෑදරකමක් මෙරට පවතී. ඉතිහාසයේ සිට බලය හා වරප‍්‍රසාද වෙනුවෙන් කරන ලද පාවාදීම් ප‍්‍රකටය. නූතන සමාජ විග‍්‍රහය අනුව විනිවිද පෙනෙන පාලනයක් හමුවේ මෙවැනි අශෝබන අවස්ථා රටක ඉදිරි ගමන අඩාල කරයි. වරදක් වූ පසු වගකීම භාරගැනීම පමණක් නොව තමන්ට වඩා හොඳීන් තත්ත්වය පාලනය කරන්නට හැකි විකල්ප අවස්ථා ඇතැයි කල්පනා කිරීමට විශාල ආත්ම ශක්තියක් අවශය.