විශේෂඥයන්ගේ මත ඉවත දමා සුඵ පිරිසකගේ හඩට යට විය යුතුද

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022//06/29 – ලංකාදීප

ක‍්‍රමය වෙනස් කරන අරගලවලට ඉතිහාසයක් තිබේ. මෑත ඉතිහාසය තුළ පාලන ක‍්‍රමය හා ආර්ථික ව්‍යුහය ගැන විශාල මතවාද තිබුණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් විවෘත ආර්ථික ක‍්‍රමයත් හැර විකල්ප අවස්ථා නැති තැනට ජාත්‍යන්තරය පත්ව සිටී. පරිවර්තනයක් සදහා ලේ, දහඩිය සහ කදුළු හෙළන ලද අති විශාල ජනකොටසකගේ ප‍්‍රයත්නය මත වර්තමානය බිහි වී ඇත. ආපසු, නැවත නැවතත් පැරණි වලවල්ම හාරා, ඒවායේ වැටී වේදනාවට පත් විය යුතු ඇයි? ලෝකයේ අනෙක් රටවල් ලබාගත් අත් දැකීම් නැවතත් අපටම අත්හදා බලන්නට සිදුවී ඇති අභිරහස කුමක්ද? අත්දැකීම් සහිත පුද්ගලයන්, විශේෂඥයන් පුන පුනා ප‍්‍රකාශ කරන අතරවාරයේ සුළු පිරිසකගේ ඝෝෂාවකට ගොදුරුවීමට හේතුව ප‍්‍රශ්න කළ යුතුය.

කැළඹිලිවලින් රටවල් දියුණු කළ හැකිනම් අද මහපොලව සුරංගනා ලෝකයකි. ගැටුම්, කෝලාහල හා යුද්ධ විශාල ප‍්‍රමාණයක් තිබේ. සංග‍්‍රාමයට යන්නේ දුප්පතුන්ය. පීඩිත පංතිය වෛරයෙන් ගැටෙති. ඒවා මෙහෙයවන්නෝ බලයට පත්වෙති. අරගල සදාකාලිකය. අවසානයක් නැති චක‍්‍රයකි. පටු අදහස් ඉදිරිපත් කර, අත්දැකීම් රහිත තරුණ පිරිස නොමග යැවීම ප‍්‍රශ්න කළ යුතුය.

උතුරේ හා දකුණේ අරගල අපට පාඩම් උගන්වා තිබේ. ජනී ජනයා අනේක විධ වේදනාවලට ලක් වූහ. ක‍්‍රමය වෙනස් කළ හැකි නමුත් ශ‍්‍රමිකයා සහ පාලකයා අතර පරතරය බිංදුවට වැටෙන්නේ නැත. සමාජ හා දේශපාලන අංශවල දැවැන්ත පරිවර්තනයක නිරත වූ රටවල් අද සිටින තැන එයට පැහැදිලි සාක්ෂියකි. යතාර්ථය තේරුම්ගත යුතුය. සීමිත පිරිසකගේ පටු න්‍යාය පත‍්‍රවලට මුළුමහත් සමාජයක් වන්දි ගෙවිය යුතු නැත. විකල්ප මත තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ මත දරන්නට අයිතියක් ඇත. එම මත සමග විශාල සංකල්ප ගොඩනැගිය හැක. කැපවීම ගැන අලූත් අදහස් ජනගත කරන්නට මතධාරීන්ට බැරිකමක් නැත. පවතින ක‍්‍රමය විවේචනය කර දූෂණ හා වංචා ගැන දැවැන්ත විරෝධයක් ගොඩනැගිය හැකිය. එවැනි ක‍්‍රියාමාර්ග විශ්වාසය බිද දමන අතර රට ගොඩනගන්නට ඇති ධෛර්යය හීන කරයි. ශ‍්‍රී ලංකාව අද එවැනි උපායකට ගොදුරු වී සිටී. අලූත් මත, අලූත් ක‍්‍රම ජනතාවට ඉදිරිපත් කර ව්‍යවස්ථානුකූලව බලය ලබා ගැනීම වරදක් නොවේ. එවැනි බලයක් සදහා අවස්ථාව අහිමි දේශපාලන කණ්ඩායම් රට අස්ථාවර කර විනාශයක් තුළින් පාලනය අතට ගන්නට උත්සාහ කිරීම වරදකි.

ජනී ජනයා පීඩාවට පත්වන අවස්ථාවක පවතින නීතිය, හා විධිවිධාන අනුව තීරණ ගැනීම පාලකයන්ගේ වගකීමකි. අසාධාරණයට එරෙහිවීම පිලිගත හැක. සාධාරණව කරුණු ප‍්‍රකාශකර ජනතාව දිනාගැනීම සුදුසුය. කැළැඹිලිවලින් ජනතාවගේ පැවැත්මට බාධා කිරීමට ඉඩ දිය නොහැක.

අරගලය දින, මාස එකතු වෙමින් තිබේ. ආර්ථිකය විනාශයකය. රටට විනිමය එන මාර්ග අවහිර වී ඇති අතර සංචාරක කර්මාන්තය, අපනයන හා ආයෝජන අවස්ථා වලට එල්ලවන බාධා ඉදිරියේ රටේ විනිමය සංචිත පිරිහෙමින් තිබේ. තෙල් නැවක්, බෙහෙත් පෙත්තක්, ආහාර ප‍්‍රමාණයක් මිල දී ගන්නට ඉඩ නැති තැනට රට තල්ලූ වී ඇත. එය බරපතල අපරාධයකි. අරගලය තිබිය යුතු රට ගොඩනගන්නට වන අතර දුප්පත් ජනී ජනයා තව තවත් පෝලිම්වල තබන්නට නොවේ. වහාම තීරණ ගෙන ආර්ථික ව්‍යුහය සකස් කළ යුතු අතර එය ප‍්‍රමාදවන දිනයක් පාසා දරුණු තත්ත්වය ඉහවහා යනු ඇත. ජනී ජනයා නැවත වතාවක් පාරට බැස, ඇවිලෙන තැනට පෙළඹුනහොත් එය පාලනය කළ නොහැකි බව සදහන් කළ යුතුය.

වෙනස්කම් අවශ්‍යය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකට අවශ්‍ය වෙනස්කම් හදා ගැනීමට අයිතියක් ඇත.  එයින් පරිබාහිර බාධක රටක පැවැත්මට බාධකයකි. සාමයට හා සමාදානයට අවහිරයකි. ආගමික හා ජාතික නායකයන් මෙම කරුණු සාධාරණව තුලනය කළ යුතුව තිබේ. ජනමාධ්‍යවල වගකීම පුලූල්ය. අද බලය අල්ලා ගන්නා කණ්ඩායමක් පරාජය කරන්නට හෙට අලූත් අරගලයක් ඇති විය හැක. එය අවදානමකි. ව්‍යවස්ථාපිත රාජ්‍යයක පිලිවෙලක් තිබේ. විනයක් ඇත. ඒවා බිද වැටුණ පසු නැවත ගොඩනැගීම පහසු නැත. මතයකට ඉඩ දිය හැකි අතර සුළු කණ්ඩායමකට බහුතරයකගේ අදහස් බලහත්කාරයෙන් යටපත් කරන්නට ඉඩ දිය නොහැක. නීතිය අතට ගන්නට ඉඩ දීම වරදකි. ෂෙඞ් එක, ගෑස් පෝලිම අද පත්ව ඇති තැන ගැන මහජනතාවට සතුටුවිය හැකිද? එය පාලනය කරන්නේ අරගලකාරයන් යැයි කියා ගන්නා චන්ඩි කණ්ඩායමකි. කිසියම් වරදක් අප නොදැනුවත්වම සිදුවෙමින් තිබේ.

පක්ෂ නායක තේරීම්වලට ජනතාව අනුගත විය යුතුද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022/06/22 – ලංකාදීප

ඡන්දදායකයන් හා මහජන නියෝජිතයන් අතර පරතරය තවත් වටයකින් දුරස් වී තිබේ. අරගලය ඇරඹෙන මොහොත වන විට මැති ඇමැතිවරු ඇතුළු මහජන නියෝජිතයන් කෙරෙහි වෛරයක් සමාජය තුළ තිබුණි. ආර්ථික දුෂ්කරතා දරුණු විය. අතෘප්තියට පත් ජනී ජනයා විරෝධතා අවුලවන ලද අතර අවසානයේ උද්ගත වූ  ව්‍යසනයෙහි තරම ඉතාමත් බිහිසුණු එකක් විය.

ප‍්‍රශ්න විසදාගත හැකි ක‍්‍රමයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව තුළ තිබේ. බහුතරයේ කැමැත්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ගුණාංගයකි. අරගලය තුළ සිටින කණ්ඩායම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හරය නොදන්නා පිරිසක් නොවේ. ඔවුන් නගන හඩ පැහැදිලිය. දීර්ඝ කාලයක් තිස්සේ කැකෑරෙමින් තිබුණ ප‍්‍රශ්න වලට සාධාරණ විසදුම් නොලැබුණි. අවශ්‍යම කරන මොහොතේ තීරණ ගැනීමට පසුබට වූහ. නිතර සදහන් කරන පරිදි රටට ලැබුනේ පැලැස්තර විසදුම්ය. දැවෙන ගැටළු යටපත් කරන මහජන නියෝජිතයෝ ඒවා විසදන බව මහත් විශ්වාසයකින් කියමින් දේශණා පවත්වති. පාර්ලිමේන්තුවේ කතා කරන්නේ ජනතා අවශ්‍යතා නොවේ. අවසානයේ දී, මෙම සුපුරුදු දේශණා වලින් ජනතාව සැනසිය නොහැකි තැනට පැමිණ ඇත. එදිනෙදා ජීවත්වන පිලිවෙලක් නිර්මාණය කිරීම වහාම අවශ්‍යය. සුරක්ෂිත අනාගතයක් ගොඩනගන බවට විශ්වාසයක් ඇති කළ යුතුය. පවතින වාතාවරණය පෙන්වන පරිදි කිසිම දේශපාලනඥයෙකු හෝ දේශපාලන පක්ෂයක් ගැන විශ්වාසයක් රහිත සෑහෙන පිරිසක් අප අතර සිටී.

පැවැත්ම ගැන විශ්වාසයක් රහිතව ගමනක් නැත. තමන් නියෝජනය කරන පුද්ගලයා සමග හොද සංවාදයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අවශ්‍යය. නියෝජිතයාට වෛර කරන, දේපොල ගිණි තබන, ඒවා වැනසෙන විට ඔල්වරසන් දෙන ක‍්‍රමයකින් අපට පැවැත්මක් නැත. ඡන්දය ගන්නට බඩු බෙදන, පාක්ෂිකයන්ට පමණක් සේවය කරන ගෝත‍්‍රික ක‍්‍රමයක සිට මහජන නියෝජිතයාට වෛර කරන තැන දක්වා පැමිණ ඇති ගමන ගැන ප‍්‍රශ්න කළ යුතු කාලය උදා වී තිබේ. මෙතැනින් ඔබ්බට රටට ඇති පාලන ක‍්‍රමය කුමක්ද? නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය ප‍්‍රතික්ෂේප කරන ස්ථාවරයකට පසු සමාජය ඉල්ලන්නේ කුමක්ද?

අපට පෙනෙන පරිදි, සෘජු පාලන ක‍්‍රමයක් අවශ්‍ය බවට මතයක් තිබේ. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර තිබිය යුතු බලය සම්බන්ධ දීර්ඝ විවාදයක් ඇත. තද තීරණ ගන්නා පාලනයෙකු ගැන ද අදහසක් පවතී. බලය බෙදන ක‍්‍රමවේදයක් කෙරෙහි ද දීර්ඝ කාලයක් තිස්සේ නොවිසදුණු අවධානයක් තිබේ. මේවා අතරින් සුදුසුම ක‍්‍රමය තෝරා ගැනීම සදහා තවත් පරම්පරාවක් වන්දි ගෙවිය යුතු නැත.

රටට අවශ්‍ය මෙතැන් සිට ඉදිරියට යන ක‍්‍රමවේදයකි. ජනතා විශ්වාසය දිනාගත හැකි දේශපාලන පක්ෂ උවමනා කර තිබේ. මහජන නියෝජිතයන් ගරුත්වය දිනාගත යුතුය. ජනතාවට ඇත්ත කියන, රට ගොඩනගන්නට කැපවන නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් අවශ්‍යය. පටු අදහස් මතු කර රට බෙදන, රට විකුණන හා විජාතික කුමන්ත‍්‍රණ වැනි මත ඇවිලවීමෙන් රටට සිදුවී ඇති හානිය තක්සේරු කළ යුතු අතර මේවා අතහැර අලූත් රටක්, අලූත් ආර්ථිකයක් සදහා අවශ්‍ය ආර්ථික ජවය සහ ආයෝජන ලබාගැනීමට වෙහෙස විය යුතුව ඇත.

මැතිවරණ කොමිසම දක්වන පරිදි අලූත් දේශපාලන පක්ෂ ගණනාවක් ලියා පදිංචියට ඉදිරිපත්ව සිටී. පවතින පක්ෂවලට අමතරව ඡුන්දවලට සූදානම් වන බව පෙනෙන මෙම පක්ෂ සිය දැක්ම, ප‍්‍රතිපත්ති හා කැපවීම ගැන ඉදිරිපත් කරන අලූත්ම මතවාදය කුමක්ද? ප‍්‍රාදේශීය මටට්මින් ජනතාව ඒකරාශී කරගත හැකි, ප‍්‍රලාප දේශපාලනය බැහැර කරන ක‍්‍රමවේදයකින් හැර රටට අනාගතයක් නැත. මනාප ක‍්‍රමය සහ දිස්ත‍්‍රික් කොට්ඨාශ ක‍්‍රමය තුළ විශාල සම්පත් නාස්තියක් සහ දූෂණයක් සිදුවේ. දේශපාලන පක්ෂ වලින් නම්කරන පක්ෂ නායකයන් තෝරන නියෝජිතයන්ට ඡන්දය දෙන ක‍්‍රම වහාම වෙනස් කළ යුතුය. ජනතා නැගිටීම තුළ ඇති වූ සංසිද්ධි සාකච්ඡා කරන දේශපාලන පක්ෂ  සහ දේශපාලනඥයන් පාපෝච්ඡාරණය කළ යුතු අතර ඡන්දදායකයන්ගෙන් දුරස්ථවීම ගැන කණගාටු විය යුතුව ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරගැනීම වැදගත්ය. මහජනතාව හමුවට ගොස් ඡන්දය ඉල්ලන්නේ කෙසේදැයි හිතන්නට අවශ්‍යය. ජනතාවට සමීපවන වැඩපිලිවෙලක් ගැන දේශපාලනඥයන් හා පක්ෂ තීරණයක් ගත යුතුව තිබේ.

ධර්මයත් සමාජයත් සුරකින කථිකාවතක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2020/06/15 – ලංකාදීප

පොසොන් පුර පසලොස්වක දිනය ඊයේ ට යෙදී තිබුණි. මිහිදු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීම, පොසොන් පොහොය දිනයෙක සිදුවිය. දඩ කෙළියෙහි නිරතව සිටි දේවානම් පියතිස්ස රජු සමග මිහිදු රහතන් වහන්සේ පවත්වන ලද සංවාදය ඉතා ප‍්‍රකටය. දහම අවබෝධ කරගන්නට තරම් ප‍්‍රඥාවන්ත සමාජයක් ද යන්න සනාථ කරගැනීම සදහා එය පවත්වා තිබේ. එවැනි සංවාදයක් අද නැවතත් අවශ්‍යය. ජන සමාජය දැනුමෙන් පොහොසත්ය. තාක්ෂණ අවබෝධය තිබේ. ප‍්‍රඥාවන්තභාවය ගැන ප‍්‍රශ්නයක් ඇත. අදහස් සහ මතවාද ඒවායේ වෙනස්කම් පුළුල්ව දකින්නට තරම් සමර්ථභාවයක් අපට නැත.

දහම තුළ ගැබ්ව ඇති කරුණු ක‍්‍රියාවට නැංවීම අවශ්‍යය. මධ්‍යස්ථබව, නොඇලී නොගැලී සිටීම කොපමණ වැදගත්ද? සංඝ සමාජයේ ඇතැම් භික්ෂුන් වහන්සේලා ගේ හැසිරීම උගන්වන පාඩමක් තිබේ. බුද්ධ දේශණාවෙහි එය සදහන්ව ඇත. සියල්ල වෙනස්වන සුළුය. ස්ථිර දෙයක් නැත. බුදු දහම පවා කාලානුරූපව වෙනස් වන බව ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. සියළු ආසාවන් අත් හැර නිර්වාණය සොයා යන ගමනට එකතු වූ  සමහර භික්ෂුන් වහන්සේ ලා ගිහියන් ද ඉක්මවා ප‍්‍රකෝපකාරීව හැසිරෙති. ප‍්‍රචණ්ඩය. වෛරීව කටයුතු කරති. මෑත කාලයේ සිදුවූ අරගලයේ දී ද එවැනි සිද්ධි දැකගත හැකිවිය. පසුගිය අවුරුදු දහයක දොලහක කාලය තුළ සමාජයේ සිදුවූ පිරිහීම සාසනයට ද බලපා තිබේ. සාසන කතිකාවතක් සංවිධානය කොට නිසි ක‍්‍රියාමාර්ග ගත යුතු බව මධ්‍යස්ථ මතධාරී නායක හිමිපාණන් වහන්සේලා ප‍්‍රකාශ කරති. තරුණ භික්ෂුන් වහන්සේලා ගේ පැවැත්ම අරභයා වැදගත් තීරණ වලට එළැඹිය යුතු බව දක්වන ලද අවස්ථා ගණනාවකි. එහෙත් එවැනි පියවර පහසු නැත. ශාසනයත්, භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම සම්බන්ධ ක‍්‍රියාකලාපයත් සංකීර්ණ අවධියකට පැමිණ තිබේ.

සංඝ සමාජය හා ගිහි පිරිස් අතර දුරස්ථබවක් තිබුණ අතර දැන් එකී පරතය ඉතාම අඩුය. බුද්ධ වංශයක් ගැන බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. ශුද්ධෝදන රජු අමතන බුදුන් වහන්සේ ඔබ ශාක්‍ය වංශයේ වන අතර තමන් බුද්ධ වංශයෙහි බව සදහන් කළහ. වර්තමානයෙහි මෙම පරතරය අවම තැනකට පත්ව ඇති බව පෙනෙන අතර එමගින් පත් වන අනතුර බෞද්ධයන් වශයෙන් අප හදුනාගත යුතුව තිබේ.

භික්ෂු අධ්‍යාපනය කාලානුරුපව ප‍්‍රතිසංවිධානය මනා පියවරක් වනු ඇත. තරුණ භික්ෂුන් වහන්සේලා පිරිවෙණකට සීමා කර පාලි, සංස්කෘත ඉගෙනගෙන සමාජ ප‍්‍රශ්නවලින් ඈත් කළ යුතු බවක් එයින් අදහස් නොකෙරේ. දැනුම, අවබෝධය හා ප‍්‍රඥාව සම්පාදනය කරන භික්ෂු විශ්ව විද්‍යාල ක‍්‍රමයක් ඇති කළ යුතුය. දැනට ඇති විෂය මාලා සංශෝධනය කර කාලීන සංකීර්ණ පර්යේෂණ අධ්‍යයනය කළ හැකි තැන් භික්ෂු අධ්‍යාපනය සදහා පිහිටුවීම සුදුසුය.

තරුණ භික්ෂුන් දේශපාලනය, ඉතිහාසය, තොරතුරු තාක්ෂණය හා ජාත්‍යන්තර ප‍්‍රවණතා ඉගෙනගැනීම ගැටළුවක් නොවේ. ගිහියන් සමග එකට අධ්‍යාපනය ලැබ සාමාන්‍ය සමාජයේ ප‍්‍රශ්නවලින් කැකෑරෙන හිත් ඇතිව පාරට බැසීම සුදුසු නැත. ආවේගයෙන් ගැටෙන අවස්ථා අනුචිතය. කදුළු ගෑස්, බැටන් ප‍්‍රහාර මැද ඇද වැටෙන චීවරය ජන සමාජයට ඇති කරන පීඩනය බලවත්ය. එය හුදෙක් සුළු සිද්ධි ලෙස තැකීම වරදකි. රට ජාතිය ගලවාගැනීම සදහා ජාතියේ මුර දේවතාවුන් වශයෙන් නැගී සිටීමක් ලෙස අර්ථ දැක්වීම අනුචිතය. රෝහිණී ගංගාවේ ජලය බෙදා ගැනීම සදහා ශාක්‍ය සහ කෝලිය දෙපාර්ශවය ගැටෙන අවස්ථාවේ රාජ්‍ය වෙනුවෙන් පෙනී නොසිටි බුදු රජාණන් වහන්සේ දෙපැත්ත සමගි කරන ලද බව දැක්වේ. රටට අවශ්‍ය එවැනි මග පෙන්වීමකි.

ශ‍්‍රී ලංකාව පැමිණ ඇති විනාශකාරී මාර්ගය සහ දේශපාලනයෙහි අගතිගාමී රාමුව ගැන සමාජයට ප‍්‍රශ්න තිබේ. ස්වකීය දායකයන් අත් විදින ගැහැට දකින තරුණ භික්ෂූන් වහන්සේලා චීවරය පසෙක තබා තීරණ ගැනීම වැලැක්විය නොහැක. ප‍්‍රශ්න දෙස මතුපිටින් බැලීම වෙනුවට සමාජය සුවපත් කරන දාර්ශණික මාර්ගයක් වෙත අවතීර්ණ විය යුතුය. එවැනි මගපෙන්වීමක් සදහා තරුණ භික්ෂූන් වහන්සේලා පුහුණු කළ යුතුය. හොද ඉගෙන ගැනීමේ පරිසරයක්, වෙනම අධ්‍යාපන ධාරාවක් සැපයීම අප සියළු දෙනාගේ වගකීමකි. එය ධර්මයත් ජන සමාජයත් ආරක්ෂා කරනු ඇත.

ශ්‍රී ලංකාවට පෙන්වන්න බැරි පෞද්ගලීකකරණය සිපගන්නා තලේඛාන්වරු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

2022/06/08 – ලංකාදීප

කාබුල් නගරයට කිලෝ මීටර් එකසිය තිහක් දුරින් පිහිටි ලෝක ප‍්‍රකට බාමියන් බුදු පිලිම වනසන ලද තලෙයිබාන්වරු ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය නැවතත් ලෝක අවධානය දිනා ගන්නට සමත් වී ඇත. කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටුපොල මෙහෙයුම් පෞද්ගලීකරණය කරන්නට තීරණය කර තිබේ.

තලෙයිබාන් පිලිම විනාශ කරන්නට බලපෑ හේතු අතර ඇෆ්ගනිස්ථානයේ දරිද්‍රතාවය ද එකකි. ජනී ජනයා ආහාර හිගයෙන් පීඩා විදින අතරවාරයේ ලෝක ප‍්‍රජාව බුදු පිලිම නඩත්තු කර ප‍්‍රතිසංස්කරණයට විශාල ආධාර ප‍්‍රමාණයක් යෙදවූ අතර එය නොඉවසන ලද තලෙයිබාන් ත‍්‍රස්තවාදීහු එය විනාශ කිරීමට ප‍්‍රහාරයක් එල්ල කළහ. එම සිද්ධියෙන් දශක දෙකකට පසු තලෙයිබාන්වරු ඇෆ්ගනිස්ථානයේ පාලනය අත්පත් කරගෙන සිටී. ඇමරිකානු හා නේටෝ හමුදා සමග වසර විස්සක යුද්ධයක් කළ ඇෆ්ගනිස්ථාන තලෙයිබාන්වරු අවසාන විදෙස් හමුදා සේනාංකය ද ඉවත් කරන තෙක් බලා සිටි අතර දැන් ආර්ථිකය නංවන සැලසුම් ඉදිරිපත් කරයි. කාබුල් ඇතුළු ගුවන් තොටුපොල තුනක මෙහෙයුම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සමාගමකට පැවැරීම සදහා ගිවිසුම් අත්සන් කර ඇත. එකී ගිවිසුම අනුව පර්යන්තයෙහි සම්පූර්ණ මෙහෙයුම්  එමීර් රාජ්‍යයේ සමාගමට හිමිවේ. ලෝකයේ ප‍්‍රකට ගුවන් සේවා ඇෆ්ගනිස්ථානයට කැදවන අතර ලෝකයේ සියළුම රටවල් සමග සම්බන්ධතා අරඹන්නට සූදානම් බව මෙහි දී ඉගි කරයි. ආයෝජන සහ සංචාරක අවස්ථා සදහා අවකාශයක් ඇති බව ඇෆ්ගන් අලූත් පාලනය ප‍්‍රකාශ කර ඇත.

දරුණු ත‍්‍රස්තවාදී අරගලයකට ගොදුරු වී සිටි ශී‍්‍ර ලංකාව දශක තුනකට පසු එයින් නිදහස් වූ අතර අද වන විට දරුණු සමාජ ආර්ථික පරිහානියකට මුහුණපා සිටී. ත‍්‍රස්තවාදය පරාජය කළ ශ‍්‍රී ලංකාව සාමයේ අභියෝගවල තරම නිසි ලෙස වටහා ගෙන නැත. සමාජය අවුල් වූ අතර බෙදී, ගැටුම් ඇති කරගෙන අන්තවාදයක් කරා ගමන් කළේය. මෙහි ලා බලපාන්නේ වගකීමක් රහිත අපගේ හැසිරීම බව ඉතාම පැහැදිලිය. ඇෆ්ගනිස්ථානයටත් වඩා නරක සමාජයක් බවට ජාත්‍යන්තරය ඉදිරියේ දිග හැරෙමින් තිබේ. මිත්‍යාවෙහි ගැලෙන, එයින් ක්‍රෝධය හා වෛරයට පාර හදා ගන්නා අප සියළුම දෙනා මෙම තීරණාත්මක අවස්ථාවේ දී අන්ධයන්, බිහිරන් සහ ගොළුවන් සේ සිටීම අනුචිතය.

ජාත්‍යන්තර ප‍්‍රජාව මෙතෙක් ඇෆ්ගන් පාලනය පිලිගෙන නැත. මානව හිමිකම් ප‍්‍රශ්න හා ත‍්‍රස්තවාදය යන කරුණු සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් සිටී. සවුදි අරාබිය සමග නිල සම්බන්ධයක් නැති බව ප‍්‍රකාශ කරන ඇෆ්ගන් පාලකයෝ මෙය හුදෙක් ව්‍යාපාරික අවස්ථාවක් බව නිවේදනය කර ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ක‍්‍රමයකට ඇතුළුවන ත‍්‍රස්තවාදී කණ්ඩායමක් පුද්ගලීකරණයෙහි වටිනාකම හදුනාගෙන ඇති නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවා දී ගුණාංග සම්බන්ධ ආසියානු කලාපයේ දීර්ඝ ඉතිහාසයක් ඇති ශ‍්‍රී ලංකාව පුද්ගලීක ආයෝජන ගැන කල්පනා කරන්නේ ත‍්‍රස්තවාදී විලාශයකින්ය. ඉතාම නරක අවසානයක් කරා ගමන් කරන බව පැහැදිලිව පෙනී සිටින අවස්ථාවක පවා ආර්ථික ප‍්‍රතිසංස්කරණයකට සූදානම් නැත.

කටුනායක, හම්බන්තොට සහ රත්මලාන ගුවන් තොටුපොල පුද්ගලීකරණය කළ හැක. ශ‍්‍ර‍්‍රී ලංකන් ගුවන් සේවය විදේශ ආයෝජකයෙකුට පැවැරීම හොද ආයෝජනයකි. එයින් ලැබෙන ධනය සමාජයේ යහපතට වැය කළ හැකිය. ගුවන් තොටුපොල හා ගුවන් සේවය නඩත්තු කරන වියදම අඩුවනු ඇති අතර අතිරේක බදු ආදායමක් රටට ලැබේ. මෙම ආයෝජන හුදෙකලා සිද්ධි වශයෙන් සැලකි යුතු නැත. එවැනි විවෘත කිරීමකින් පසු ආයෝජන අවස්ථා ගැන විශ්වාසයක් ජාත්‍යන්තර ප‍්‍රජාවට ලැබේ. ක්ෂේත‍්‍රයෙහි වෙනස්කම් සිදුවන අතර නවතම තාක්ෂණය සහිත අලූත් ව්‍යාපෘති එකතුවෙනු ඇත. රටක් දියුණු කරන්නට එවැනි ප‍්‍රතිපත්ති ඉතාම වැදගත්ය. ජාත්‍යන්තර ගුවන් සේවා ආයතන සමග එකතුවන පසු සංචාරක කර්මාන්තය දියුණුවනු ඇත. සංචාරක කර්මාන්තය ඉක්මනින් විනිමය උපයා ගත හැකි අංශයකි.

ලෝකයේ අනෙක් රටවල් එනම්, ඇමරිකාව, බි‍්‍රතාන්‍ය, ජපානය හෝ සිංගප්පූරුව අනුගමනය කරන ලද ක‍්‍රම ගැන මෙතෙක් අවධානයෙන් සිටි ශ‍්‍රී ලංකාවට ඇෆ්ගනිස්ථානයෙන් පාඩම් ඉගෙන ගන්නට සිදුවීම කණගාටුවට කරුණකි. අවාසනාව එය නොවේ. ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සටන්කාමීන් වෙනස් වන නමුත් ශ‍්‍රීලංකාවේ ඇතැම් පිරිසකගේ අන්තවාදී අදහස් වෙනස් කළ නොහැක.