බල වෙනසකට සැරසෙන හැටි මිහිතලය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

 

2012.09.27 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

 

බලශක්තිය ජන ජීවිතයට අවශ්‍යම දෙයකි. වියලි ලී කැබලි දෙකක් ඇතිල්ලීමෙන් හෝ ගල් කැබලි ගැටීමෙන් ගින්දර අවුලවාගත් යුගය පසුකර බොහෝ දුර පැමිණ තිබේ. එහි නතර වීමක් නැත. තව තවත් අලූත් සොයාගැනීම් සමග අනාගතය අතිශය සංකීර්ණ වෙමින් තිබේ. තරගකාරීව එයට අනුගත නොවන තැතක පැවැත්මක් නැත. ලෝක ධර්මතාවය එයයි.

බලශක්ති විප්ලවය මෝටර් රථ වාහන අංශයෙහි මැනවින් පෙනේ. විදුලිය හා ඉන්ධන මිශ‍්‍රව භාවිතා කර ධාවනය වන රථ නිෂ්පාදනය කර වැඩි කලක් නැත. විදුලියෙන් පමණක් දිවෙන වාහන නිපදවා තිබේ. මෙයින් එක කොටසක් ජවය සපයා ගන්නේ හිරු එළියෙන්ය. සූර්ය කෝෂ රථයට බලය සපයයි. තවත් කොටසක් ප‍්‍රති ආරෝපනය කළ හැකි බැටරි බලයෙන්ය. ඉදිරි වසර දහය තුළ ප‍්‍රධාන නගරවල සිතියම් සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකිය. සම්ප‍්‍රදායික ඉන්ධන අළෙවි සැල් නැත. වාහන සේවා ස්ථාන ද දකින්නට නොහැකි වනු ඇත. ඝෝෂාකාරී වාහන ශබ්ධ බෙහෙවින් අඩුවිය හැකිය. ඉන්ධන පිරවුම් හල් වෙනුවට නගරය පුරා තැනින් තැන වාහන බැටරි යළි ආරෝපණය කරන තැන් ඇත. වාහන නැවතුම් පොලවල බැටරි ආරෝපණය කරන මෙවලම් තිබේ. ගරාජය, සම්ප‍්‍රදායික ව්‍යාපාරයක් වශයෙන් අසාර්ථක විය හැකිය. අලූත් දැනුම මත පමණක් මෝටර් රථ කාර්මිකයන් සාර්ථකත්වයට පත්වනු ඇත. එවැනි වෙනසකට ගැලපෙන පරිදි මාර්ග නීතිය අලූත් වෙයි. වාහන අනතුරක ප‍්‍රතිඵල අදට වඩා වෙනස් එකකි. රක්ෂණ ක‍්‍රම අලූතෙන් එකතු විය හැකිය. මෙය මිහිතලය මත බල ශක්තිය සම්බන්ධයෙන් සිදුවිය හැකි පරිවර්තනයෙන් අංශුමාත‍්‍රයක් පමණකි.

ශ‍්‍රි ලංකාව ද මෙම යථාර්තයට මුහුණ දෙන්නට සිදුවෙයි. දැවි තෙල් හෝ ඞීසල් භාවිතා කරමින් ඉන්ධන නිපදවා විදුලියෙන් ධාවනය කරන වාහන ආරෝපනය කිරීම ඵලදායකත්වයක් නැත. විකල්ප බලශක්ති උත්පාදක ක‍්‍රම මගින් විදුලිය බිල අඩු කිරීමට දැන් තබා සැලසුම් සකස් කිරීම ඉදිරි දශකයට මුහුණ දීමේ දී සාර්ථකත්වයට බෙහෙවින් හේතු වෙයි. ඉන්ධන ලීටරයකින් සැතපුමකට දෙකකට වඩා ගමන් කළ නොහැකි සුපිරි වාහන භාවිතය ගැන ද දෙවරක් සිතන්නට සිදුවෙයි. තවත් දශකයකින් කිසිම වටිනාකමක් නැති වන ලකුණු පෙනෙන ඉන්ධන අධිකව භාවිතා කරන වාහන තව තවත් ගෙන්වීම නිරර්ථකය. විදුලි හා ඉන්ධන පරිභෝජනය අඩු ද්විත්ව බල වාහන රට තුළට ගෙන එන්නට ඉඩ දිය යුතුය. මගී ප‍්‍රවාහන බස්රථ, දුම්රිය හා භාණ්ඩ ප‍්‍ර‍්‍රවාහන ලොරි පවා තාක්ෂණයෙන් වෙනස් ව නිපදවෙයි. අන්තර් ජාතික ලක්ෂණ රටට ඇතුළු වන පරිදි ආර්ථික ප‍්‍රතිපත්ති වෙනස් කිරීම වටී.

ආණ්ඩුවට පමණක් මෙම පරිවර්තනයට මුහුණ දිය නොහැකිය. ඉන්ධන අලෙවියේ යෙදෙන, වාහන සේවා කරන ව්‍යවසායකයන්ගේ සිට විදුලිය නිපදවන සමාගම් දක්වා එයට එකතු විය යුතුය. රාජ්‍ය හා පෞද්ගලික අංශය එකතු වී ඉදිරි අභියෝගයට මුහුණ දෙන ඒකාබද්ධ සමාජ දර්ශනයක් ඉදිරිපත් කිරීම අවශ්‍යය. තරගකාරීව අනාගතයට මුහුණ දෙන්නට හැකි ව්‍යවසායකත්ව පරිසරයක් රට තුළ බිහි කිරීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. ආයෝජකයන් ආයෝජනයට උත්සුක විය යුතු අද වෙළඳ පොලට නොව තවත් අවුරුදු දහයකින් පවතින පාරිභෝගික සමාජයටය. නගර සභාවේ සිට ජාතික මට්ටම දක්වා බලශක්ති සම්පාදනය ගැන අවධානය යොමු කළ යුතුය. අද සැලසුම් සකස් කළ යුතු තවත් අවුරුදු දහයකින් ජීවත්වන පොදු ජනතාවගේ අවශ්‍යතා පරිදි ගම් දනවු යළි ගොඩනැගීමටය. අපි එයට සූදානම් ද?

Advertisements

ධාතු වන්දනාවේ සමාජ සන්නිවේදනය

එක් ප්‍රතිචාරයක්

2012.09.19 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ඉන්දියාවේ, කපිලවස්තු පුර සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම වීය. දිවයිනේ නොයෙක් තැන් වල මහජන ප‍්‍රදර්ශනයට ඉඩදීම බොදු බැතිමතුන් ලද මහත් ආශ්වාදයකි.  බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් දැක සිත මහත් සේ පහදවාගත් පොදු ජනතාවට බුද්ධ දර්ශනයෙහි ගැඹුර අවබෝධ කර ගැනීමට අවස්ථාවක් උදා වී තිබේ.

සමානාත්මතාව බුද්ධ දර්ශනයේ වැදගත් ම ලකුණයි. උස් – පහත්, කුල – මල බේධ එහි නැත. විසාකා තරමටම පටාචාරාව ද සමාන වූවාය. ශුද්ධෝදන රජු හෝ යසෝදරාව මහා උපාසක උපාසිකාවන් වූයේ නැත. රාහුල පුතු සංඝ ශාසනයට ඇතුලත්ව සිටි නමුදු මට්ටකුණ්ඩලී ද ලක් වූයේ එකම දයාවකටය. මහත් ධනයක් යොදවා පූජා ලෙස ලැබූ ජේතවනාරාමය ද පාරිල්‍යෙය වනය ද බුදු රජාණන් වහන්සේට එකම සෙවනක් විය.

බුද්ධ දේශනාව අකාලිකය. එය සදාකාලයටම ගැලපෙන දර්ශනයකි. තමන් ගේ දහම හෙයින් විශ්වාස නොකරන ලෙස බුදු රජානන් වහන්සේ දේශනා කර ඇත.  බුදු දහම පවා ප‍්‍රශ්න කර, සැක හැර අවබෝධ කර ගන්නා ලෙස කාලාම සූත‍්‍රයෙහි දැක්වෙයි. රන් කරුවෙකු පිරිසිදු රන් හඳුනා ගන්නට රන් කැබැල්ලක් කපා කොටා පුලූස්සා බලන්නාක් මෙන් එය කරන්නැයි එම බුදු වදනෙහි සඳහන්ය. බුදු දහම අදහන්නෝ විනා එහි දර්ශනය අනුව එහි හැසිරෙන සුධීමතුන් විරලය. සියලූ දෙනාටම සම සිත, සම මෙත පැතිරවූ බුදු රජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු ඉතිරිවූයේ ධර්මයයි. ධර්ම අවබෝධය ඇතිවන්නේ පවතින සමාජ ආර්ථික පසුබිම අනුවය. කපිල වස්තුපුර සර්වඥ ධාතු ප‍්‍රදර්ශනයේ දී ලාංකික බොදුනුවන් අතුරින් ඇතමෙකු සමාජ සමානාත්මතාව ඉක්මවා ක‍්‍රියා කළහ. ධනයෙන්ද, බලයෙන් ද දුගි දුප්පත් ජනතාව අවු වැසි නොතකා පැය ගණන් පෝලිම් වල සිටිය දී විශෙෂ බලපත‍්‍රලාභී ඇති හැකි පිරිස පෝලිම පැන ධාතු වන්දනා කරන්නට සමත්විය. දිවයිනේ නොයෙක් තැන පොලිම් වල පැය ගණන් සිටි පොදු ජනතාවට දන් ද, පැන් ද සැපයුන බව ඇත්තකි. එහෙත් එයින් සිත පහදාගත හැකිද? මෙතැන පමණක් නොව ආගමික භක්තියෙන් ඇලලී ජනතාව එකතුවන කවර පූජණීය බිමක ද මෙය ම අඩු වැඩි වශයෙන් සිදුවෙයි.

මම මෙවැනි සිද්ධි ගැන සාකච්ඡ කළෙමි. ‘‘ පෙර පින් කළ ඇත්තන්ට එහෙම වඳින්නට පින පෑදුනා. අපි මෙහෙම දුක් විඳගෙන වඳින්නට යන්නේ මතු සසරේ එහෙම නොවෙන්නයි. නිවන් දකින්නයි.’‘ එය බොදුනුවෙකු දැක්වූ එක් අදහසකි. උපේක්ෂා සහගතය. බෞද්ධකම පදක්කමකි. බුදු දහම තම ආගම කරගත්තේ උපතින්ය. බුද්ධ දේශනාවේ හරය අවබෝධකරගත් ජන සමාජයකින් රටට අත්පත්වන්නේ සෙතකි.

පස් පවු, දස අකුසල් සහ අට ලෝ දහම බුදු දහම දක්වන මූලික කරුණුය. දහමට අනුකූලව හැසිරෙන බව ශ්වේත වර්ණ ඇඳුමෙන් හෝ පුදන පූජා භාණ්ඩයක තරමින් විදහා නොදැක්වෙයි. තමන් කරන කියන දේ තමන් පසු පස හෙවනැල්ලක් සේ ඇදෙන බව සැලකිය යුතුය. සර්වඥ ධාතූන් වන්දනාවෙහි යෙදුන ලාංකිකයන් හැම දෙනාම බුදු රජාණන් වහන්සේ ගත් මග නිසි ලෙස දකින්නට වැයම් කළා නම් යහපත්ය. ධනය, බලය නොව වැදගත්වන්නේ දහම දැන දහමෙහි හැසිරීමය.

පෙරදිගින් යළි නැගෙන නාලන්දයේ ආනන්දය

එක් ප්‍රතිචාරයක්

 2012.09.13 ලංකාදීප – මිලින්ද මොරගොඩ

නාලන්ද විශ්ව විද්‍යාලය ඥාන කේන්ද්‍රස්ථානයක් වශයෙන් සැලකුණ තැනකි. හය වැනි සියවසේ දී දකුණු ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ පැවති මෙම විශ්ව විද්‍යාලය දරුවන්ට නේවාසිකව ඉගැන්වූ ලෝකයේ පළමු තැන ලෙස ද, සඳහන්ය. බෞද්ධ දර්ශනය අනුව යමින් පෙරදිග සංස්කෘතිය හා ශිෂ්ටාචාරය ගොඩනගන්නට එහි විද්‍යාර්ථීන්ගෙන් ඉටු වූ සේවාව අද ද මහත් සේ ඇගයෙයි. ආක‍්‍රමණ ඉදිරියේ නාලන්දය තෙවතාවක් විනාශ කළේය. අවස්ථා දෙකක දී එය යළි ගොඩ නැගිණ. වසර 1193 දී ඇෆ්ගන් ආක‍්‍රමණයකින් පසු විනාශ වූ පසු නාලන්දයේ දැක්ම සහ ප‍්‍රතිභාව වැයැකී ගියේය. නාලන්ද ප‍්‍රතිභාව නගා සිටුවන වෑයමක් මෑතක සිට පවතී. අන්තර් ජාතික විශ්ව විද්‍යාලයක් ලෙස යළි නාලන්දය ඇතිකරන්නට පදනම සකස් වී තිබේ.

ඉන්දීය පාර්ලිමේන්තුව නාලන්ද අන්තර් ජාතික විශ්ව විද්‍යාලය නැවත ස්ථාපිත කිරීමේ පණත සම්මත කර ඇත. පෙරදිග සමාජය එයට මහත් ආශ්වාදයකින් එකතු වන බව පෙනේ. චිනය, සිංගප්පූරුව හා ජපානය විශාල ධනයක් පරිත්‍යාග කර ඇත. දැවැන්ත බලකාමී රටවල් දෙකක් වශයෙන් ඉන්දියාව හා චීනය දෙරට අතර සහයෝගීතාවයක් ගොඩනගා ගන්නට සමත්ව ඇත. කීර්තිමත් මහාචාර්ය අමිර්ත්‍යා සෙන් නාලන්ද යළි ඉගෙනුමෙන් ඉහළම තැනක් බවට පත්කරන වෑයමෙහි පෙරමුණෙහි සිටී. නාලන්දයෙහි පුනර්ජීවනය උදෙසා ලෝකයේ නොයෙක් තැනින් ආශිර්වාදය ලැබෙමින් පවතී. අනන්‍යතාව විදහා දැක්වෙන ගෘහ නිර්මාණ කැඳවා ගැලපෙන සැලසුම අනුමත කර ඇත. බෞද්ධ දර්ශනය සහ අධ්‍යාපනයෙහි නැග්මට නාලන්දයෙන් ජනිත පිටිවහලට නැඹුරුව අධ්‍යාපන විද්‍යාවෙහි සලකුණ එහි යළි ඇතිවනු ඇත. එය ආශ්වාද ජනකය.

තායිලන්තය ‘‘ස්වර්ණභූමි’’ නමින් නාලන්ද අන්තර් ජාතින විශ්ව විද්‍යාලයේ ස්වකීය දායකත්වය ඇතිකරන පදනම තහවුරු කර තිබේ. ‘‘ශ‍්‍රී විජය’’ සිංගප්පූරුවේ අනන්‍යතාව දක්වන පදනමයි. ඉදිරියේ දී තවත් පෙර අපර රටවල් නාලන්දයේ ගමනට එකතු වනු නිසැකය.

නාලන්ද පුනර්ජීවනයේ කොටස්කරුවෙකු වීම ශ‍්‍රී ලංකාව ද වැදගත්ය. ධන ආයෝජනයට වඩා එහි දර්ශනය ගොඩනගන වෑයමට උර දිය හැකිය. බුදු දහම හා එහි සත්‍යය සොයමින් නොයෙකුත් පර්යේෂණ පැවැත්වෙන මෙම වකවානුව එහිලා විශාල මෙහෙවරක් කළ හැකිවනු ඇත. ඉන්දියාවෙන් බිහිවූ බොදු දැක්ම වර්තමානයෙහි ඇත්තේ මෙරටෙහිය. තොරතුරු තාක්ෂණය සමග එය ලෝකය පුරා පැතිරෙමින් තිබේ. ශ‍්‍රී ලංකාවෙහි අනන්‍යතාවය පිහිටුවමින් නාලන්දය ගොඩනැගීමේ සත්කාරය හමුවේ දායක වන්නට හැකි මග සොයායාම මෙරට විද්වතුන්ගේ යුතුකමයි. එහි බැහැර කළ නොහැකි වගකීමක් ද රටට තිබේ.

නාලන්ද අන්තර් ජාතික විශ්ව විද්‍යාලයට ශ‍්‍රී ලංකාවෙන් එකතු කළ හැකි ඓතිහාසික කරුණු සම්භාරයකි. ත‍්‍රිපිටකය ලේඛන ගත කිරීමේ සිට අද දක්වා පැමිණීම එක පැත්තකි. අතීතය ගවේශනය කරන්නෙකුට වැදගත්වන ආකාරයට බලංගොඩ මානවකයාගේ සිට රාවන යුගය ඔස්සේ මෙරට අනිතිම සිංහල රජ දවස දක්වා තොරතුරු එකතු කළ හැකිය. යපස්, වාරී සහ ගෘහ නිර්මාණ යනාදියෙහි ලාංකික දැක්ම එයට අතිරේකවය. මෙරට ගිහි පැවිදි වියතුන් රටට අන්තර් ජාතිකව පිළිගැනීමක් ඇති කරන නාලන්ද විශ්ව විද්‍යාලයේ ලාංකික යම් පදනමක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.