ඉගෙන ගැනීම තරඟයක්ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2018/10/31 – ලංකාදීප

ක‍්‍රීඩා පිටියේ දී ජවන හා පිටිය තරඟ ඉසව් තිබේ. එතැන තරඟය ඇත. අධ්‍යාපනය සඳහා තරඟ වදින තැන පාසල නොවේ. පාසලේ දී ඉගෙන ගත යුතුය. පවතින දැනුම අධ්‍යයනය කළ යුතු අතර අලූත් දැනුම නිෂ්පාදනය කළ යුතුය. එය ඉගෙන ගන්නා දරුවන්ගේ වගකීමකි. තරඟයකින් තොරව අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවුරු කිරීම හා පාසලට නිසි පහසුකම් සැලසීමට ආණ්ඩු සමත් විය යුතුය.

සිංගප්පූරුව අධ්‍යාපනය අතින් ඉහළම ශ්‍රේණියේ පවතින රටකි. පාසල් අධ්‍යාපනයේ තත්ත්වය උසස්ය. නිසි ප‍්‍රමිති තිබේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන මට්ටම අගැයීමට ලක් කරන ජාත්‍යන්තර වැඩසටහනකට අනුව 2016 වසරේ අධ්‍යාපනයේ මට්ටම අතින් ඉහළින්ම පසුවන රට වශයෙන් සිංගප්පූරුව නම් කර තිබේ. විද්‍යාව, භාෂාව හා ගණිතය යන අංශ වල සිසුහු දක්වන ප‍්‍රගතිය එහි දී ශ්‍රේණිගත කෙරේ. හොංකොං, ජපානය, ස්වීඩන් හා ඇමරිකාව යන රටවල් සිංගප්පූරුවට පිටුපසින් පසුවන බව දැක්වේ. අධ්‍යාපන මටට්මේ ඉහළින් සිටින සිංගප්පූරුව විභාග ක‍්‍රමය අත්හරින්නට තීරණය කර තිබේ. ආරම්භක පියවර වශයෙන් 2019 වසරේ සිට ප‍්‍රාථමික, පළමු හා දෙවන වසර වල දරුවන්ට විභාග පැවැත්වෙන්නේ නැත. එය එරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ විශේෂ තීරණයකි. ප‍්‍රශ්න වලට උත්තර ලියා ඒවායේ ලකුණු අනුව වැනියා නම් කර ඉහළ පංතියට සමත් කිරීමේ ක‍්‍රමය අහෝසි කරනු ඇත.

විභාග නොපවත්වන සිංගප්පූරු අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රාථමික සිසුන් තරඟකාරීත්වයෙන් තොර අධ්‍යාපනයකට යොමු කරන අතර ‘‘ඉගෙන ගැනීම තරඟයක් බවට පත් කළ යුතු නැති බව’’ එරට අධ්‍යාපන බලධාරීහු ප‍්‍රකාශයට පත් කර තිබේ. වසර 2023 වන විට සිංගප්පූරුවේ අධ්‍යාපනය නිදහස් එකක් වනු ඇති අතර පංතිකාමරයේ ඉගැන්වීම වෙනුවට රට තුළ පවතින ආර්ථික හා සමාජ පසුබිම අනුව අධ්‍යාපනය ලැබීමේ අවශ්‍යතාව ඇති කරන්නට පියවර ගැනෙනු ඇත. දරුවන්ගේ සිතැඟි හා ආවේනික දක්ෂතා අනුව ක‍්‍රීඩා, කලාව හෝ කර්මාන්ත ඉලක්ක කරගත් අධ්‍යාපනය තෝරා ගත හැකිය. පරිගනක, රොබෝ තාක්ෂණය හෝ ඉලෙක්ට්‍රොනික් විද්‍යාවට අවස්ථාව තිබේ. මාර්ගෝපදේශකයන් සමග එකතු කළ විශේෂ වැඩ පිලිවෙලක් අනුව වෛද්‍ය, සිවිල් සේවා හෝ බැංකු වල සේවය කිරීම වැනි මෙතෙක් පැවැති සම්ප‍්‍රදායික අරමුණු වලින් දරුවන් නිහවල් කරනු ඇත.

නූතන අධ්‍යාපනික ප‍්‍රතිසංස්කරණ වලින් අපේක්ෂා කරන අරමුණ තේරුම් ගැනීම වැදගත්ය. ජාත්‍යන්තරයේ ඉලක්ක හදුනා ගැනීම අවශ්‍යය. ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය තවදුරටත් ගතානුගතිකය. පාසල් අධ්‍යාපනයට සමාන්තරව අතිරේක පන්ති නොඑසේනම් ටියුෂන් විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබේ. එයට හේතුව බලවත් තරඟය බව නොරහසකි. තරඟයෙන් ජය ගැනීමට සෑහෙන මහන්සි විය යුතු අතර විවේකය, විනෝදාංශය වෙනුවෙන් නැඹුරුවක් නැති විෂය සිද්ධාන්ත කටපාඩම් කරන ශිෂ්‍ය ප‍්‍රජාවක් මෙරට සිටී. ඉගෙන ගැනීම අවසන් කරන දරුවෝ රැකී රක්ෂා ඉල්ලා ආණ්ඩුවලට බල කරන ස්වභාවයක් පවතී. මෙම අධ්‍යාපන ක‍්‍රමයෙන් අනාගතය සාක්ෂාත් කරගත හැකි යැයි විශ්වාසයක් ජන සමාජය තුළ නැත.

අධ්‍යාපනය නිදහස් බව ප‍්‍රකාශ වන නමුත් එහි නිදහසක් තිබේද? පවතින ස්වභාවය ප‍්‍රශ්න කරන්නට කාලය උදා වී ඇත. බාල වියේ සිට දරුවන්ට වඩා දෙමාපියන් කැපවන ඉගෙන ගැනීමේ ක‍්‍රමය අවසානයේ දී රටට බිහිකරන ප‍්‍රතිඵලය ගැන ගැඹුරින් සාකච්ඡා කළ යුතුය. ජාත්‍යන්තරයේ සිදුවන නව ප‍්‍රවණතා ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. රටට ගැලපෙන, රටේ ඇතිවන වෘත්තීය අවශ්‍යතා පදනම් කරගෙන ඒවාට සුදුසු පුහුණු බුද්ධිමත් පරපුරක් බිහි කරන්නට මෙරට අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කළ යුතු බව පැහැදිලිය. තරඟය තුරන් කර ඉගෙනුමට මග පාදන අධ්‍යාපන ක‍්‍රමයක් සකස් කිරීම සුදුසුය.

 

 

වැඩිහිටි සත්කාරයට නව මානයක් ඕනෑ ඇයි..?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2018/10/24 – ලංකාදීප

කඨින චීවර පූජෝත්සව සමය එළැඹ තිබේ. බොදුනුවන්ට අනුව මහා සංඝරත්නය වෙනුවෙන් කඨින චීවරයක් පූජා කිරීමට ලැබෙන අවස්ථාව මහත් භාග්‍යයකි. විහාරස්ථානයේ සියළු උපාසක උපාසිකාවන් එකමුතුවෙන් මහා උත්සවාකාරයෙන් කඨින පූජාව සංවිධානය කෙරෙති.

වැසි සහිත මාස හතරෙන් අවසාන මාසය චීවරදාන සමයයි. ශික්ෂා පද ආරක්ෂා කරමින් වස් කාලයේ දී වැඩ වසන භික්ෂූන් වහන්සේලා ගේ වස් පවාරන විනය කර්මයෙන් අනතුරුව කඨිනස්ථාරය නම් විනය කර්මය සිදු කිරීමට අවස්ථාව උදාවන බව දැක්වෙයි.

සමාජ සහ ආර්ථික ව්‍යුහය පරිවර්තනය වන ස්වභාවය අනුව විහාරස්ථානයේ සිදුකෙරෙන කඨින පූජෝත්සවය හා සමාන මහෝත්සවයක් ගිහිගෙය තුළ සිදු කළ යුතුව ඇති බව නිරීක්ෂණය කළ හැකිය. එය වැඩිහිටි සත්කාරයයි. ශ‍්‍රී ලංකාව මැදි ආදායම් රටක් වන නමුත් මෙරට ජනගහන රටාව දියුණු රටක තත්ත්වයක බව වාර්තා දක්වයි. තරුණ ජනගහනයට වඩා වැඩිහිටි ජනගහනය ප‍්‍රතිශතයක් වශයෙන් ඉහළය. එක නිවසක උපයන දෙදෙනෙකු ගෙන් දරුවන් හා වැඩිහිටියන් අඩුම වශයෙන් හතර දෙනෙකු යැපෙන ස්වභාවය බහුල වී තිබේ. ආර්ථික ගැටළු සහිත පසුබිමක දරුවන් ද සමග වැඩිහිටියන් රැකබලා ගැනීම ගැටළු සහගතය. ආදායම ප‍්‍රමාණවත් නොවීම එයට හේතුවයි. මූලික අවශ්‍යතා සම්පාදනය සම්බන්ධ ප‍්‍රශ්න මතුවන අවස්ථාවේ දී පවුල් අරගල මතු වන ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය. පසුගිය කාලයේ මාධ්‍ය මගින් වැඩිහිටියන්ට නොසලකන, ඔවුන් පිටමංකරන අවස්ථා බහුලව අනාවරණය කළේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

දියුණු රටවල මෙවැනි අර්බුද ඇත. දරුවන්ට දෙමාපියෝ රැකබලාගත නොහැකිය. වැඩිහිටියන් වෙනුවෙන් වෙන්කරන්නට කාලයක් නැත. අවශ්‍යතා සොයා බලා ඒවා නොපිරිහෙලා සම්පාදනය අපහසු වී තිබේ. පවුලට පමණක් නොව රටක පැවැත්මට ද එය බලපායි. පුරවැසියන්ට පහසුකම් සැපයීමේ දී වැඩිහිටියන් ගැන වෙනම අවධානයක් යොමු කරන්නට සිදුවෙයි. නෙදර්ලන්තය, නෝර්වේ, සිංගප්පූරුව හා චීනය වැනි රටවල් මෙම ස්වභාවයට මුහුණ දී සාර්ථක අත්දැකීම් උපයා ගෙන ඇති රටවල්ය. මෙම රටවල් වැඩිහිටියන් ගැන වැඩි පුර අවධානය යොමු කර ඔවුන්ට ගැලපෙන සෞඛ්‍ය, අධ්‍යාපන, ප‍්‍රවාහන සහ ආහාර සම්පාදන පහසුකම් ඇති කර තිබේ. තරුණන්, දරුවන් වෙනුවෙන් නොව වැඩිහිටියන්ට රෝහල් ඇත. ඒවායේ සත්කාරක සේවා වැඩිහිටියන් කේන්ද්‍ර කරගෙන සිදුවෙයි. මහ මාර්ගයේ ඇවිදින කොටස්, ගොඩනැගිලිවල ප‍්‍රවේශ ස්ථාන හෝ පොදු මගී ප‍්‍රවාහනය වැඩිහිටියන්ට කාලය ගෙන වාරුවෙන් යා හැකි පරිදි වෙනස් කර ඇත. සැඳෑ සමයේ දී පවා ඉගෙන ගන්නට අවස්ථා තිබේ. පහසුවෙන් කළ හැකි රැකියා නිර්මාණය කර ඇති අතර සිංගප්පූරුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සරල කටයුතු වලට සම්බන්ධ කරගෙන වේතනයක් ගෙවන ආයතන වලට වැටුපෙන් කොටසක් රජයෙන් ගෙවන ක‍්‍රම සම්පාදනය කර ඇත. ව්‍යායාම අවස්ථා, සංගීත, රූපවාහිනී වැඩසටහන් වැඩිහිටියන් ඉලක්ක කරගෙන සම්පාදනය කරයි. අවශ්‍ය ප‍්‍රමාණයට සහ ආදායම් මට්ටම අනුව වැඩිහිටි නිවාස තිබේ.

ශ‍්‍රී ලංකාවේ වැඩිහිටි සත්කාරක සේවාව අලූත් පියවරකට යා යුතුය. එය මහෝත්සවයක් කර ගැනීම බෞද්ධ දර්ශනයට එකඟය. සෙසු ආගම් වල පවා වැඩිහිටියන්ට සැලකීම මහා ගුණාංගයකි. ආණ්ඩුව එයට අවශ්‍ය අණ පණත් හා යටිතල පහසුකම් සම්පාදනය කළ යුතු අතර පුද්ගලික අංශය හා දානපතියන්  එකට එකතු විය යුතු බව යෝජනා කරන්නට අවශ්‍යය. මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්, සමාජ නායකයන් වැඩිහිටි සත්කාරක සේවා පුලූල් කිරීම වෙනුවෙන් ජනමතයක් ඇති කිරීමට පෙනී සිටිය යුතුව තිබේ.

 

රට ගැන කැක්කුමක් ඇති විනය ගරුක පරපුරක් බිහිකිරීමේ අවශ්‍යතාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2018/10/17 – ලංකාදීප

අවංක උත්තරයක් අවශ්‍ය වැදගත් ප‍්‍රශ්නයක් මතු කළ යුතුව ඇත. අපට රට ගැන කැක්කුමක් අපට තිබේද? ‘‘ නැත’’ යන උත්තරය අසාධාරණ එකකි. අගය කළ යුතු විශිෂ්ඨ ජන කොටසකට රට ඉහළින් තැබීමේ අප‍්‍රමාණ උවමනාවක් තිබේ. නමුත් අවාසනාවකට බහුතරයකට එකී අවශ්‍යතාව නැත. රට ගැන හැඟීමක්, කැක්කුමක් නැති පරපුරකින් අනාගතය දෙස බලන්නේ කෙසේද? රට ගැන ඇති කැක්කුම වශයෙන් අදහස් කරන්නේ පටු ජාතිවාදය නොවේ. සැබෑ ජාතිකත්වයයි. ශ‍්‍රී ලාංකිකත්වය, එහි අභිමානය වෙනුවෙන් මුළු හදවතින්ම සේවය කිරීමයි.

පසුගිය වකවානුවේ පැවැති ගැටුම් හෙයින් බෙදුණු, බිදුණු සමාජයක් යළි නගාසිටුවන යුගයක් ශ‍්‍රී ලංකාව පසු කරමින් සිටී. සංහිඳීයාව යන වචනයෙන් විශාල කාර්ය භාරයක් අපේක්ෂා කරයි. එහෙත් එය ක‍්‍රියාවට නගන්නේ කෙසේ ද යන කාරණාව ගැන පුලූල් සාකච්ඡාවක් රටට නැත. වැඩ පිලිවෙල ගැන ද නොයෙක් විවේචන තිබේ. ජාති, ආගම්,  භාෂා, පන්ති බේධ තුරන් කර රට එකමුතු කරන්නේ කෙසේද? රට ගැන කැක්කුමක් ඇති පරපුරක් බිහි කරන සැලැස්ම කුමක්ද? අලූතින් හිතන්නට අවශ්‍යය.

ජාත්‍යන්තරයෙන් අත්දැකීම් උකහා ගත හැකිය. ජර්මන් පෙඩරල් සමූහාණ්ඩුවේ අලූත් තීරණය එයින් එකකි. අනිවාර්ය ජාතික සේවය නැවතත් ආරම්භ කිරීමට කර තිබේ. වසර පනහකට වැඩි කාලයක් තිස්සේ අනිවාර්ය ජාතික සේවය එරට ක‍්‍රියාත්මක විය. නමුත් 2011 දී එය නතර කළේය. ආණ්ඩු පක්ෂය නැවත අනිවාර්ය ජාතික සේවය ආරම්භ කරන ලෙස යෝජනා කර ඇත. එම අදහසට සෑහෙන සහායක් පළ වී තිබේ. පාසල් අධ්‍යාපනය අවසන් වූ වහා සියළුම දරුවන් එක අවුරුද්දක ජාතික සේවා වැඩ සටහනකට සම්බන්ධ විය යුතුය. පුරවැසියන් පමණක් නොව සංක‍්‍රමණිකයන්ට ද එය අදාලය. උස් පහත් බේධයක් නැති අතර රාජ්‍ය පාලකයන්ගේ මෙන්ම පහලම වෘත්තියේ නිරත අයගේ දරුවන් ද එකට එක අවුරුද්දක් ගත කළ යුතුය.

රට හමුදා සේවයකි. පුහුණුවක් ලැබේ. එයින් විනය ගොඩ නැගේ. අනිවාර්ය සේවා කාලය තුළ පොදු වැඩසටහන් හි නිතර වෙති. වැඩිහිටියන් රැක බලාගැනීම, අනාථ කඳවුරු හා රෝහල් වල ස්වේච්ඡාවෙන් සේවය කිරීමට නියම වෙයි. පොදු වැඩ වල නිරත වන අතරවාරයේ හදිසි ආපදා තත්ත්වයක් උද්ගතවුවහොත් එතැන සත්කාරක සේවා වලට ද සම්බන්ධවීම අනිවාර්ය වගකීමකි. පුහුණුවෙන් පසු අත්දැකීම් සහිත පුරවැසියෙකු රටට ලැබේ. ඔහුට රට ගැන හැඟීමක් ඇති අතර සමාජයේ සැම පැලැන්තියකම කොටස් එකට මිශ‍්‍ර වන හෙයින් හැබෑ සංහිඳීයාව ගොඩ නැගේ. ජර්මනිය නතර කරන ලද තැනින් ආපසු ගමන අරඹන්නට තීරණය කිරීමට හේතුව එහි වැදගත්කම අවබෝධ කර ගත් හෙයින් බව තේරුම් ගත යුතුය.

ශ‍්‍රී ලංකාවේ දරුවන්ට ඉහළම පාසල් සොයන තියුණු තරඟයක් ඇයි? අධ්‍යාපනයෙන් දුර්වල වුවත් ඉහළ පැලැන්තියේ සමාජ වටපිටාවක් දරුවාට උපයා ගත හැකි බව දෙමාපියෝ සිතති. බේධ හැදෙන්නේ එතැනින්ය. බේධ දුරු කරන සැලසුම් අපට නොතිබුණා නොවේ. ශිෂ්‍ය භට සේවා ප‍්‍රකටය. බාලදක්ෂ සේවාව තවත් එකකි. පරිසර නියමු වැඩසටහන්, විවාද, කලා හා සාහිත්‍ය සමිති වැඩසටහන් ද නම් කළ හැකිය. එහෙත් අද වන විට පාසල් දරුවෝ බාහිර ක‍්‍රියාකාරකම්වලට උනන්දුවක් නැත. පත පොත, අතිරේක පන්ති ඇතුළු විෂයානුබද්ධ දේ වලට පමණක් සීමා වී සිටී. පාසල් වියේ දී සමාජය ගැන දැනගන්නට හෝ විනයක් හැදෙන්නට මේවාට යොමුවන දරු දැරියෝ ඉතාම සීමිතය. අඩුම තරමින් දහම් පාසල් අධ්‍යාපනයට හෝ නැඹුරුව සීමිතය.

රටක් එකමුතු කරන්නේ කෙසේද? මාධ්‍ය වලින් හෝ කතා පැවැත්වීමෙන් පමණක් බැඳීම් ගොඩ නැගෙන්නේ නැත. රට ගැන කැක්කුමක් ඇති ප‍්‍රජාවක් බිහි නොවේ. ජාතිකත්වය තහවුරු නොවේ. ඒ වෙනුවට පටු ජාති ආලය ඇති වෙයි. රටත්, නායකයනුත්, රටේ අනන්‍යතාවයක් උපහාසයට ලක් කෙරේ. මෑත කාලය තුළ එවැනි සිද්ධි විශාල වශයෙන් වාර්තා විය. අනිවාර්ය ජාතික සේවය ඇති කිරීම ගැන රට තුළ අදහස් වරින් වර පැණ නැගිණ. නමුත් එයට විශාල වියදමක් කරන්නට සිදුවෙයි. සමාජය එකතු වී ආණ්ඩුව හා පුද්ගලික අංශය සම්බන්ධ වුවහොත් අපහසු නැත. අනිවාර්ය ජාතික සේවය සංකල්පයක් වශයෙන් ගෙන රටට උචිත වැඩ සටහනක් නිර්මාණය කර ගැනීමට බැරිකමක් නැත.

නියම ජන නායකයකුට ඉරාන කුමෙයිනිගෙන් පාඩමක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2018/10/10 – ලංකාදීප

රජයේ මැති ඇමැතිවරයෙකු ගෙන් ලැබුණ ලිපියක් අවසානයේ දී මෙයට ජනතා සේවක යනුවෙන් ලියා අත්සන් කරන ලද යුගයක් තිබුණි. නිදහස ලබා දශක හතක් ගතවන විට ජනතා සේවකයෝ සර්වබලධාරීහු බවට පත්ව සිටිති. ඉතා ගරු කටයුතුව ආමන්ත‍්‍රණය නොකළහොත් උදහස් වන අතර ජනතා ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයෝ උතුමන් ගේ තත්ත්වයට පත් වෙති. ජනතාවගේ බදු වලින් ජීවත්වන, සියළු සැප පහසුකම් භුක්ති විඳින පාලකයෝ තමන් ගේ පැවැත්ම හැසිරීම ගැන ලජ්ජා විය යුතුය. ස්වල්පයකට හැර ඉතා විශාල බහුතරයකට එය පොදු චෝදනාවකි.

සරල පැවැත්ම, අල්ප අපේක්ෂා සහ ජනතා ගෞරවයට පාත‍්‍රවූ සැබෑ ජන නායකයෝ සෑහෙන පිරිසක් ලෝක ඉතිහාසය තුළ අමරණීය චරිත බවට පත්ව තිබේ. ඉරානයේ විප්ලවීය ආගමික නායක අයතොල්ලා කුමෙයිනි ඒ අතරින් අයෙකි. ඉතා බලවත් රේසා ෂා පාලනයට එරෙහි ජනතා විප්ලවයක් දියත් කළේය. වසර දෙදහස් පන්සියයක කාලයක් පැවැති අධිරාජ්‍ය අහෝසි කර ඉරානයේ ජන සම්මතවාදී පාලනයක් බිහි කළේය. එය ආගමික හා ජනතාව එකතු වී කරන ලද අරගලයක් විය. ජනතාව වීදියට බැස විරෝධතා පළ කළේය. වැඩ වර්ජනය කළ අතර ෂා පාලනය සම්පූර්ණයෙන්ම අසරණ විය. රේසා ෂා බැහැර කර අල්ලා ගත් වටිනා සම්පත් කිසි දෙයක් අයතොල්ලා කුමෙයිනි සිය පරිහරණයට වෙන් කර ගත්තේ නැත. විශාල මාලිගා, යාන වාහන, සුඛෝපභෝගී මෙවලම් සියල්ල පැත්තකට කළේය. විප්ලවයකට පසු බලයට පත්වන පාලකයෝ පැරණි විභූතියෙන් කොටසක් තමන්ගේ පරිහරණයට වෙන් කරගනිද්දී ආගමින කායක අයතොල්ලා ඒ සියල්ල පැත්තකට කළේය. සිය පාලක මණ්ඩලයට හා නිලධාරීන්ට සරල ජීවිතයකට නැඹුරු වන සේ අවවාද කළේය.

‘‘ මම සේවකයෙක්මි. නායකයෙකු සේ මට කතා කරනවාට වඩා සේවකයෙකු සේ අමතනවානම් ඉතා කැමැත්තෙමි.’’ අයතොල්ලා රුහොල්ලා කුමෙයිනි ආගමික නායකයා ප‍්‍රසිද්ධියේ කියා සිටියේය. ‘‘ මගේ අපේක්ෂාව ජනතා සේවකයෙකු වන අතර මුර භටයෙකු සේ ජනතාව ආරක්ෂා කිරීමයි.’’ ඔහු පෙන්වා දුන්නේය.

ඉරානයේ ආගමික නායකයා වශයෙන් අසීමිත බලයක් සහිතව රට පාලනය කළ කුමෙයිනි ඔහුට නිල බලයෙන් ලැබුණ පහසුකම් අත් හැරියා පමණක් නොව ඒ වන විට ඔහුට අයිතිව තිබුණ දේපොල ද සම්පූර්ණයෙන්ම අවශ්‍යතා ඇති තැන් වලට බෙදා දුන් බව සඳහන් වෙයි. පරම්පරාවෙන් අයිති වූ ඉඩම් ගොවියන්ට බෙදා දී ඇති අතර තවත් ස්වල්පයක් ආගමික මධ්‍යස්ථාන වලට පවරා ඇත. ඉතා කුඩා කාමරයක තමන්ගේ රාජකාරි කටයුතු කරගෙන ගොස් තිබේ. විශාල ජන බලයක් සහිත සාමාන්‍ය පුද්ගලයෙකු වූ අයතොල්ලා කුමෙයිනි ජීවිතය හැර යන විට ඔහුට කියා දේපොලක් වශයෙන් තිබුණේ පොත පත කිහිපයක් පමණකි. 1979 දී හෙතෙම ටෙහෙරාන් වලට පැමිණ මවුබිම ෂා පාලනයෙන් මුදවා ගන්නා අවස්ථාවේ දී දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔහු වටා ඒකරාශී වූහ. 1989 ජුනි මාසයේ දී ඔහු ජීවිතයෙන් සමුගෙන යන අවස්ථාවේ දී ටෙහෙරානයට එකතු වූ ජන ගංගාව මිලියන දහයකට වැඩි බව වාර්තා පෙන්වා දෙයි.

ජනතාවට එපා වූ පාලකයෝ බලයෙන් පහ කරන්නට නායකත්වය දෙන ජන නායකයෝ පසුව ඉතා විශාල ජනතා කැමැත්තක් සහිතව පාලනය භාර ගනිති. බලයට පත් වූ පසු ජනතා සේවය ගැන අවධානය ගිලිහෙයි. ඉන් පසු ජනතා සේවකයෝ නොවේ. ජනතාවගේ ආරක්ෂකයෝ වෙන්නේ නැත. ජනතාවගෙන් ඈත් වන අතර ජනතාවගේ පාලකයා වන අතර ඔහු ආරක්ෂා කිරීම ජනතාව වෙත පැවරෙන කාර්යයකි. පාලකයා නඩත්තුව හා ඔහු ආරක්ෂා කිරීම වෙනුවෙන් අති විශාල කැපවීමක් කරන රටවල් අති විශාල ප‍්‍රමාණයක් ලෝකය පුරා පවතින අතර ඒවායේ ජීවත්වන ජනී ජනයා සෑහෙන පිරිසක් අතිශය දුඛිත ජීවිත ගත කරති. පාලනය වෙනස් කිරීමෙන් ලැබුණ වෙනස ගැන පොදු ජනතාවට වැටහීමක් නැත. ඉතා කෙටි කාලයක් ඇතුලත සිහින බිඳ වැටී අසරණ වන අතර ඒ මොහොතේ සිට පාලනය වෙනස් කරන්නට අධිශ්ඨානය ඇතිව හැසිරෙයි. එවැනි පසුබිමක ඉරානයේ ආගමික නායක අයතොල්ලා කොමෙයිනි ගේ පැවැත්ම අද යුගයට ආදර්ශයකි.

 

 

ගුමු ගුමුවෙන් අලි එලවන්නට කෙමක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

milinda-prashna

2018/10/03 – ලංකාදීප

කුමාරතුංග මුනිදාස ශූරීහු හීන්සැරය ළමා කෘතිය රචනා කළහ. වනාන්තරයේ අරුමය දරුවන් ගේ සිත් තුළ තහවුරු වන සේ එහි කියැවෙයි. අලි රාළහාමි පුංචි කටුස්සෙකුට අභියෝග කළේය. කටුස්සා කළේ අලියා අතු ඉති බුදින අවස්ථාවක් බලා අලියාගේ හො`ඩවැල තුළට රිංගීමය. එතැන් සිට අලියාට විසුමක් නැත. අවසානයේ දී කටුස්සෙකු පෙනෙන තෙක් මානයේ අලියා ගැවසෙන්නේ නැත. සොබා දහම අතර පවතින පැවැත්ම එයින් දරුවන්ට කියා දෙන බව තේරුම් ගත යුතුය.

වනයේ වෙසෙන දැවැන්තයා සහ මනුෂ්‍ය ප‍්‍රජාව අතර පවතින ගැටුම තීරණාත්මක සංන්ධිස්ථානයකට පැමිණ තිබේ. ලෝකයේ නොයෙක් තැන් වලින් අලි මිනිස් ගැටුම ගැන සිද්ධි වාර්තා වෙයි. මෙරට බොහෝ තැන් වලින් මිනිසුන්ගේ ඉලක්ක වලට ගොදුරුවන අලි ඇතුන්  ගැන වාර්තා වෙයි. දුම්රිය වල ගැටී ජීවිතක්ෂයට පත් වන අලියන්ගේ ගණන සැලකිය යුතු ප‍්‍රමාණයකි. වන අලි ඇතුන් ගේ ක‍්‍රියාකාරකම් නිසා විපතට පත් වන ජනතාව ගැන තොරතුරු ද නිති පතා වාර්තාවෙයි. වගා කරගත් සියළු දේ විනාශ කරන අතර ගේ දොර බිඳ දමන අවස්ථා ඉතා ශෝක ජනකය. අහිංසක ජනතාව වන අලි ප‍්‍රහාර වලට ලක්වන අවස්ථා නිති පතා වාර්තා වෙයි. වනාත්තරයේ ජීවත්වන අලි සහ ගම්මාන වල ජීවත්වන වැසියන් අතර කෙළවරක් නැති බව පෙනෙන ගැටුම නතර කළ හැක්කේ කෙසේද?

අලි වෙඩි හා රතිඤ්ඤා පත්තුකර බිය ගැන්වීම සුලබව සිදුවෙයි. එයට හුරුවූ අලි ශබ්ධය නතර වූ වහා ආපසු ආක‍්‍රමණය ආරම්භ කරන බව ගොවීහු කියති. විදුලිය වැට තවත් උපක‍්‍රමයකි. අධික වියදමක් දරා විදුලිය වැට සවිකරන නමුත් හදිසි විසන්ධිවීමක දී අලි ඒවා කඩා ගෙන ඉදිරියට පැමිණෙයි. විශාල දැව කඳන් ඔසවාගෙන එන අලි ඒවා වැට මතට හෙලා බිඳ එතැනින් ඇතුළු වී වගා බිම් වනසන බව ද හෙළිදරව් වී තිබේ.

ඔක්ස්ෆඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් කෙන්යාවේ ජාතික වනෝද්‍යානයේ දී ස්වභාවිකව අලි පලවා හරින ක‍්‍රම ගැන පර්යේෂණයක් කර ඇත. විවිධ ශබ්ධ අත්හදා බලා ඇති අතර මී මැස්සන් ගේ ගුමු ගුමුව අලි බියපත් කරන බව තහවුරු කරගෙන තිබේ. මී මැස්සන්ගේ නාදය සඟවන ලද ශබ්ධ විකාශන යන්ත‍්‍ර මගින් අලි ගහනයක් ඉදිරියට එන අවස්ථාවේ දී විසුරුවා හැර ඇති අතර අලි අතරින් සියයට අනූ තුනක ප‍්‍රතිශතයක් එයට ප‍්‍රතිචාර දක්වා ආපසු හැරී ඇත. එහි සාර්ථකත්වය අනුව කෙන්යාවේ අලි මිනිස් ගැටුම් පවතින ප‍්‍රදේශ වල නිවැසියන්ට මී මැසි නාදය වාදනය කළ හැකි මෙවලම් සපයා ඇති අතර එය සාර්ථක ප‍්‍රතිඵල අත්කර දී ඇති බව අනාවරණය වෙයි. විදුලිය වැට සමීපයෙන් සවිකරන යන්ත‍්‍ර අලින් ගේ පැමිණීම සමග ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වන අන්දමට සවිකිරීමෙන් සෑහෙන ප‍්‍රයෝජන ලැබී ඇත. ඩිස්නි අරමුදල මෙම තාක්ෂණික මෙවලම් කෙන්යාවේ නිවාස වල සවි කරන්නට ආධාර කර ඇති බව ජාත්‍යන්තර වාර්තා දක්වයි. ඉන්දියාව ද එය සාර්ථකව අත්හදා බලා තිබේ. 2017 දී ඊසාන දිග දුම්රිය මාර්ග වල මී මැසි නාදය වාදනය කර අලි මරණ අඩු කරගෙන ඇත. වනජීවී නිලධාරීන් හා දුම්රිය රියැදුරන් වට්ස් ඇප් මගින් කරන පණිවුඩ හුවමාරුවකට සම්බන්ධ කර ඇත.

ස්වභාවික ක‍්‍රමවලින් වන සතුන් ගෙන් වන උවදුරු පාලනය කරන අන්දම මෙරට ඉතිහාසය සාක්ෂි දරයි. නොයෙක් ශාඛ යුෂ, ඒවායේ අලූ හෝ දුම වන සතුන් පලවා හැරීමට උපයෝගී කරගෙන තිබේ. කෙම් ක‍්‍රම හා මන්තර ගැන ද විශ්වාසයක් තිබුණි. වෙඩි හා හක්ක පටස් තබා අලි නසනු වෙනුවට තාක්ෂණය භාවිතා කර නිවාස හා ගොවිපොල සීමාවෙන් එපිටට අලි පලවා හරින්නට මී මැසි නාදය උපයෝගී කරගත හැකිය. දුම්රිය වලින් වන අලින්ට සිදුවන හානි වලකනු සඳහා ද එය ප‍්‍රයෝජනයට ගැනීමට බැරිකමක් නැත. විදුලිය වැට හා සමාන්තරව අලූත් තාක්ෂණ උපක‍්‍රම භාවිතා කළ හැකි අතර අවසානයේ දී අලි මිනිස් ගැටුම සොබාදහමට ගැලපෙන විස`දුමක් විය යුතුය.