LOGO

2018/12/26 – ලංකාදීප

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරනු සඳහා බව ප‍්‍රකාශ කරමින් පසුගිය දින පනස් එකක කාලය තුළ රට තුළ පැවැති දීර්ඝ සටන පුරවැසියෝ උපේක්ෂා සහගතව බලා සිටියහ. දේශපාලනඥයන් ගෙන ගිය අරගලය මුවහත් කරන්නට සමාජ මාධ්‍ය, සිවිල් සංවිධාන විශාල මෙහෙවරක් කළේය. සම්ප‍්‍රදායික මාධ්‍ය අභිබවා ගෙන ගිය මත ගොඩනැගීම එක්තරා ආකාරයක අන්තවාදී ස්වරූපයකට ගොනු වූ බව පැහැදිලිව පෙනිණ. මෙරට දේශපාලන ප‍්‍රවාහයේ සිදුවීම් ගැන අලූතින් හිතන්නට එය හොඳ පදනමකි.

ආණ්ඩුව පිහිටුවා ගත් පසු අලූත් සටනක් තිබේ. එය ඇමැති ධුරයක් ලබා ගැනීමේ අරගලයකි. බල පොරයකි. ආණ්ඩුව හදා ගත් පසු ඇමැතිකමක් රහිතව ගමට යන්නට බැරි දේශපාලනඥයෝ සිටිති. ජනතා ඡුන්දයෙන් නියෝජනට ලබා ගන්නා දේශපාලනඥයෝ බලයට පත් වෙන්නේ ඇමැති වරමකින්ය. මෑත කාලය තුළ ඇමැතිකමක් සඳහා ප‍්‍රසිද්ධියේ කේවල් කරන තත්ත්වයක් ඇති වී තිබේ. ආධාරකරුවෝ එයට කැමැතිය. තම නායකයා බලවත් ඇමැතිකමක් සහිතව ආරක්ෂකයන් පිරිවරාගෙන අලූත්ම වාහන පෙලකින් පිලිගැනීමේ උත්සවයට එන විට රතිඤ්ඤා පත්තු කර මහ ඉහලින් පිලිගන්නේ ඔවුහුය. ඇමැතිධුරයක් රහිතව ආධාරකරුවන්ට සලකන්නට හැකියාවක් නැත.

මහජනයා නියෝජනය කිරීම හා ආණ්ඩුවේ ඇමැතිධුරය යන කරුණු දෙක මෙරට දේශපාලනයේ දී එකට ඈඳා තිබේ. දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති බටහිර රටවල් අනුව එහි බෙදුම් රේඛාවක් තිබේ. ප‍්‍රංශයේ මන්ත‍්‍රීවරු ඇමැතිධුරයට පත් වූ වහා මන්ත‍්‍රීකමින් ඉවත් විය යුතුය. බි‍්‍රතාන්‍යයේ මෙම වෙනස්කම් සම්ප‍්‍රදායානුකූලව පවතී. මහජන මන්ත‍්‍රී පාර්ලිමේන්තුවේ වාද විවාද වලට සහභාගී වෙයි. ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයේ දී ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති වෙනුවෙන් කැපවෙයි. ජේ. ආර්. ජයවර්ධන මහතා ප‍්‍රංශ ව්‍යවස්ථාව ඇසුරු කරගෙන මෙරට ව්‍යවස්ථාව සම්පාදනය කරන අවස්ථාවේදී මෙම මූලාශ‍්‍රය ගැන හිතන්නට ඇත. නමුත් මෙරට සංස්කෘතිය අනුව ඇමැතිකමක් නැතිව පවතින්නට නොහැකිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංග පමණක් නොව වගකීම් හා යුතුකම් ද පටලවා ගෙන ඇති මෙරට නායකයෝ ඇමැතිකම ආභරණයක් කරගෙන ඇත. පාක්ෂිකයන් සතුටු වන අතරවාරයේ බහුතර බුද්ධිමත් ජනතාව ඇමැතිවරුන්ගේ හැසිරීම අවඥාවට ලක් කර ඇත. ස්වකීය අභිමතාර්ථ සාක්ෂාත් කරන්නට අසමත්වන පාලකයන් ගේ හැසිරීම ජනතාව උපහාසයට  ලක්කරන බව ඇමැතිවරු දැනගත යුතුය.

මුදලි කෝලම, ආරච්චි කෝලම, පොලිස් කෝලම වැනි ජන සංස්කෘතිකාංග අපට තිබේ. මෑතක දී කොළඹ සෞන්දැ්ය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු පිරිසක් මන්ත‍්‍රී වන්නම යනුවෙන් අලූත් නිර්මාණයක් නිෂ්පාදනය කර නවීන යුගයට අනුව යූ ටියුබ් මාධ්‍යය මගින් ජනතාව හමුවට පමුණුවා තිබේ. එයින් ඇති කරන උත්ප‍්‍රාසය බලවත් පණිවුඩයක් සන්නිවේදනය කරයි. නිර්භිත විලාශයකින් ඉදිරිපත් කරන අනියමාර්ථ ඇඟවීම් බුද්ධිමතුන් ගෙන් අපේක්ෂා කරන සාධාරණ විවේචනය කුමක් ද යන්න දක්වයි. නිර්මාණකරුවෝ ඇතිතරම් ඇමැතිධුර වල සළු පිලි ගලවා අභ්‍යන්තරය හෙළිදරව් කර තිබේ. මාධ්‍යකරුවෝ ඇමැතිකම් ගන්නා ජනතා නියෝජිතයන්ගේ හැසිරීම නොවටිනා තරම් බව නොසෑහෙන්නට පෙන්වා දී ඇත. මුහුණට හිනාවෙන ජනී ජනයා පවා යටිහිතෙන් ඇමැතිවරු ගැන කරන සඳහන් ගැන අවබෝධයක් තිබේනම් කිසිම දේශපාලනඥයෙකු බලය වෙනුවෙන් ඇමැතිකම් ඉල්ලන්නේ නැත. නමුත් ශ‍්‍රී ලංකාවේ මැති ඇමැතිවරු ඒවායෙන් නොසැලෙති. ඇමැතිකමකට සූදානම්ය.  වරප‍්‍රසාද අභිලාශයෙන්ය.

මෙරට බදු ගෙවන ජනතාව එකක් තේරුම් ගත යුතුය. මහජන නියෝජිතයන් පත් කරන්නේ රටට සේවයක් වශයෙනි. එය විශාල මුදලක් වැයවන කාර්යයකි. මිල ගෙවන්නේ පොදු ජනතාවගෙන් අය කරන බදු වලින් බව දැක්විය යුතුය. මිල දී ගන්නා සීනි, පරිප්පු කිලෝවෙන් අයකරන බදු වලින් සැප විඳීන මැති ඇමැතින්ගේ ක්‍රියාකාරකම් ජනතාව ප්‍රශ්න කල යුතුය.  ඇමැතිතුමා යනුවෙන් පිලිගෙන මුලසුනේ හිඳුවා , හොඳම වාහනයෙන්, හොඳම මැදුරක හිඳුවා තැබීමෙන් රට ඉහළට එසවෙන්නේ නැත.