milinda-prashna

2017/08/30 – ලංකාදීප

ශ‍්‍රී ලංකාව තුළ අපරාධ ඉවසන සමාජයක් කරා ගමන් කරමින් සිටින්නේ දැයි පැහැදිලි නැත. එය ඉතා බරපතල තත්ත්වයකි. එවැනි සදහනක් කරන්නට සිදුවූයේ ඇයි? රට පුරා අපරාධ සිදුවන ප‍්‍රමාණය එයට එක්තරා සාක්ෂියකි. අප අතරින් මනුස්සකම තුරන්වී ඇත. එකී පසුබිම අපටම දැනෙන්නේ නැත. එයට හුරු වී තිබේ. දශක තුනක කාලයක පැවැති යුද්ධයෙන් ඇති කරන ලද සංස්කෘතිය එයට එයට එක හේතුවකි.  මෙම අමිහිරි ස්වභාවය තුරන් කරන්නට විශේෂ වැඩ පිලිවෙලක් අවශ්‍යය. සාමාන්‍යයෙන්  ඕනෑම සමාජයක් තුළ යුදමය ස්වභාවයක පසු බිහිවන මෙම මනුස්සකම නැති ස්වභාවය තුනී වෙන්නට පරම්පරා තුනක් පමණ ගතවන බව සැලකේ. වෛරය නැති කර අපරාධ අඩුකරන පසුබිම සංහිදියාවට එපිටින් ඇති වැදගත් ක‍්‍රියාදාමයකි.

රටක් දියුණු වන විට රට ජීවත්වන පුරවැසියන්ට සැනසිලිදායක බව දැනෙන්නට අවශ්‍යය. කරදරයක් නැතිව ජීවත්වන පහසුව තිබිය යුතුය. මෙරට වැසියන් ගේ  ජීවන පසුබිම මෑත දශක තුන තුළ වෙනස් විය. නිතිපතා වාර්තාවන සිද්ධි සලකා බලන විට පවුලේ සාමාජිකයන් අතරින්, අසල්වැසියන්ගෙන් පමණක් නොව නොහදුනන්නන්ගෙන් ද අපරාධයක් වෙන්නට බැරි නැති යැයි හිතන තරමට ස්වභාවය සංකීර්ණ වී ඇත. එය රටේ එක කොටසක පමණක් නොව තැනින් තැනින් නොයෙක් අවස්ථාවල අදහාගත නොහැකි අන්දමින් වාර්තාවන විට එය බරපතලය.

අපරාධ සහමුලින්ම තුරන් කළ හැකි යැයි සඳහන් කිරීම සාධාරණ නැත. නමුත් එහි පාලනයක් කළ හැකිය. එක පැත්තකින් ආගම එයට පිටිවහලකි. අනෙක් පැත්තෙන් නීතිය වැදගත්ය. අපරාධයක් සිදුවූ වහා නෛතික කටයුතු ආරම්භ විය යුතුය. පොලිසිය පැමිණෙයි. සාක්ෂි සොයා ගනී. නඩු ගොනු කෙරේ. කෙසේ නමුත් වින්දිත පාර්ශව මෙම සිදුවීම් දෙස සාධාරණ විශ්වාසයක් ඇතිව සිටින්නේදැයි පර්යේෂණයක් කිරීම වගකිව යුතු අංශවල වගකීමකි. අපරාධයකට පසු  මාධ්‍ය මගින් විශාල ආන්දෝලනයක් ඇති කරයි. ඒවායෙන් සමාජය කම්පනයට පත්වන අතර අපරාධකරුවන්ට නිසි දඩුවම් ලැබෙනු ඇතැයි උපකල්පනයක් ඇති වෙයි. එහෙත් අපරාධ තරමට දඩුවම බලවත් නැති බව පැහැදිලි වෙමින් පවතින කාරණයකි. එහෙයින් අපරාධකරුවන් ප‍්‍රබල වී ඇත. සාධාරණව ජීවත්වන්නට කැමැති ජනතාවට එය බලවත් හිරිහැරයකි.

දරුණු අපරාධයක් සිදුවූ පසු එහි විත්තිය කවි කොලයක් වශයෙන් සකස් වී ගම් දනව්වල අළෙවි වූ බව තවමත් මතකයේ ඇත. සිද්ධිය පරපතල නම් ඒවා ගැන ජනී ජනයා කම්පා වූ තරම කවි කොළ සන්නිවේදනයෙන් මැන ගත හැකිවිය. වර්තමානයේ කවි කොළය නැත. අපරාධ ගැන ජනතාව කම්පා වෙන නමුත් එය අමතක වෙන්නටත් කලින් කවියන් කියන්නා සේ මහපොළව නොඉවසන තවත් අපරාධයක් වාර්තා වෙන්නේ නම් ඒ ගැන කෙසේ කවි රචනා කරන්නද?

අපරාධ ඉවසන සමාජයක් යනු ගෞරවයක් නොවේ. අපරාධයකට ගොදුරු වූ අයට ඉවසීම හැර අන් යමක් රහිත ස්වභාවයක් නැති බව දැනෙන්නට පටන් ගැනීම හොඳ තත්ත්වයක් නොවේ. අපරාධ පිටු දකින පමණක් නොව අපරාධයක් සිදුවූ වහා ක‍්‍රියාත්මක වී තද දඩුවම් මගින් නැවත නැවතත් අපරාධ සිදුවෙන්නට ඉඩ නොදෙන වැදගත් සමාජයක් බිහි කළ යුතුය. එය අප සියළු දෙනාගේම පොදු වගකීමකි. අනෙක් වෛරය තුරන් කරන භීතිය නැති කරන යම් සාධනීය පසුබිමක් ඇතිකරන්නට අවශ්‍යය.