2022/04/06 – ලංකාදීප

දරුණු ආර්ථික අර්බුදයකින් පීඩාවිදිමින් සිටි ජනතාව පාරට බැසීම එක්තරා හැරවූම් ලක්ෂයකි. පාලන ක්‍රමයට විරුද්ධව නැගෙන බලවේගය මැද පන්තියේ නැගී සිටීමකි. අවස්ථා අහිමිවීම පිලිබදව ඛෙදවාචකයේ පැතිකඩකි. ජනතාව වෙත බරපටවන ක්‍රමය උසුලන්න සමාජය සූදානම් නැත. පරිවර්තනයක් අවශ්‍යය. ක‍්‍රමය ගැන විශ්වාසය ඉතාම වැදගත්ය. නායකත්ව ගැන විශ්වාසය ඉහළින්ම තිබිය යුතුය. විශ්වාසය පලූදු වූ සමාජයක අවසානය බිහිසුණුය.

ශ‍්‍රී ලංකාව ලෝකයේ වාසනාවන්තම රටවල් අතරින් එකකි. අවාසනාවකට අප අතර එකගතාවය නැත. විශ්වාසය පලූදු වී තිබේ. සමාජ නායකත්ව, ආදර්ශවත් චරිත, පරමාදර්ශී හැසිරීම නොසලකා හැර ඇත. ආගම, සංස්කෘතිය හෝ පරපුරෙන්න පරපුරට දායාද කරන සිරිත් විරිත් අමතක කර තිබේ. මෙම පසුබිමට හේතුව වටහා ගත යුතුව ඇත. අවස්ථාවාදී දේශපාලන සටන් අපගේ විශිෂ්ඨ අනන්‍යතා පලූදු කර ඇත. පැලැන්ති, ගෝති‍්‍රික වශයෙන් සමාජය බෙදා වෙන්කර නාස්ති කර තිබේ. පරෙස්සමෙන් අධ්‍යනය කළහොත් ජාතිය, ආගම හෝ කුලය අභිබවා ගිය විශාල දෙදරීමකි. මෙම වියැවුල තුළ එකතුවීමක් නැත. බලාපොරොත්තු   විය නොහැක. ඉතාම බරපතල වසංගත තත්ත්වයක්, ඉවසාගත නොහැකි තරමට පීඩා අත් කරගෙන ආර්ථික අර්බුදයක් කෙළවර කරගැනීමට එකතු නොවීම මෙහි බරපතලකම මැනැවින් දක්වයි.

මුලින් ද සදහන් කළ  පරිදි විශ්වාසය බිද වැටීම රටට ඇති බලවත්ම ගැටළුවකි. ආගමික නායකයෝ, ජාතික නායකයෝ සහ දේශපාලන නායකයෝ කෙරෙහි ඇති විශ්වාසය හා ගෞරවය ගැන හිතන්න. එක පැත්තකින් ඔවුහු ඒවා අහිමි කරගෙන සිටී. අනෙක් පැත්තෙන් සිනි ගෞරව පිරිනමා විශ්වාසය ඇති කරගන්නට සමාජයේ බහුතරයක් දෙනා සූදානම් නැත. මෙම අන්ත දෙක අපගේ පිරිහීම දක්වයි. විශ්වාසය බලහත්කාරයෙන් නිර්මාණය කළ නොහැක. ඉතාම දක්ෂ පිටපත් රචකයන්ට හෝ නිර්මාණවේදීන්ට විශ්වාසයක් තිබෙන බව චිත‍්‍රණය කර පෙන්වන ව්‍යාජෝක්තියක් ඇති කරන්නට බැරිකමක් නැත. එහෙත් එය තාවකාලිකය. ආලෝකයට නිරාවරණයවන විට ඇතුලාන්තය හෙළිදරව් වෙයි.

රටට අවශ්‍ය අවංක භාවයකි. අවංකව කි‍්‍රයා කිරීමෙන් තහවුරු කරගත් විශ්වාසයක් ඇති වෙයි. සැක දුරු කෙරෙන විනිවිද පෙනෙන චරිතවලට සමාජයේ ගෞරවය දිනාගත හැකිය.

ඉතිහාසයේ නොතිබුණ තරම් ප‍්‍රබල ආර්ථික පීඩනයක් ඉදිරියේ ජනතාව ප‍්‍රකෝපවීම අපේක්ෂා කළ යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ජනතාව තුළ නැගෙන පීඩනය පිට කළ හැකි යාන්ත‍්‍රණ ඇත. ජනතාවගේ කැමැත්ත, තීරණ විමසා බලන පිලිවෙලක් තිබේ. මැතිවරණ හා සමාජ සමීක්ෂණ ඒ අතර ප‍්‍රධානය. මහජනතාව අතරට ගොස් ඔවුන් සමග කරන සාකච්ඡාවකින්, සංවාදයකින් පීඩනය ලිහිල්වෙයි. බලාපොරොත්තු ඇති කෙරේ. විශ්වාසය දියුණුවෙයි. ජනතාවගෙන් ඈත්වන ආගමික, සමාජ නායකයෝ සහ විශේෂයෙන් මහජන නියෝජිතයෝ අද පවතින අභාග්‍ය සම්පන්න අවස්ථාව දක්වා රට තල්ලූ කර ඇත. මෙතැනින් ගැලවීම ද අප සියළු දෙනාගේ ප‍්‍රයත්නයකි. ලෝකයේ අනෙක් රටකින්, අනෙක් නායකයෙකුගෙන් හෝ ප‍්‍රාතිහාර්යයකින් අලූත් දෙයක් අපේක්ෂා කළ නොහැක.

අන්තවාදී බලවේග, ඒවා පිටුපස සිටින මෙහෙයවන පිරිස් ඇති කරන ව්‍යාකූල තත්ත්වය ගැන ද සදහන් කිරීම වටී. මෑත කාලය තුළ රටක සිටිය යුතු වටිනාම හා ධෛර්යය සම්පන්නම තරුණ ජීවිත අපට අහිමි කළේ ගැටුම් හා අරගල බව මතක් කළ යුතුය. අරගල කළ යුතු ක‍්‍රමය වෙනස් කරන්නටය. පුද්ගලයන් පලවා හැරීමෙන් ක‍්‍රමය වෙනස් වෙන්නේ නැත. පුද්ගලයන් පලවා හැර අලූත් නායකයන් මහ ඉහලින් ඔසවා තබන අප සියළුම දෙනා නායකයන්ගෙන් මැජික් විසදුම් අපේක්ෂා කරන අතර මැජික් පෙන්වන ක‍්‍රමය එකම බව දැනෙන්නට වැඩි කල්යන්නේ නැත.

සිස්ටම් ජේන්ජ් එකක් සදහා ප‍්‍රයත්නයක් රටට උවමනා කර තිබේ. ජනතාවට සේවය කරන, ජනතා අවශ්‍යතා වහා සාක්ෂාත් කරන ක‍්‍රමය අලූතින් හදන්නට අවශ්‍යය. නිලධාරීවාදය, ආකාර්යක්ෂමතාව සහ යල් පැනගිය නීති ජනතාව අවුලූවන මතුපිටට නොපෙනෙන දරුණු බලවේග වන අතර අලූත් වෙනසක් ඇති කරන්නට ඉඩ නොදෙන, විහ්වාසය පලූදුකරන තැන් බව වටහා ගැනීම ද වැදගත්ය.