2022/03/16 – ලංකාදීප

ගොඩ වෙදකම අපේ සංස්කෘතියේ එක කොටසකි. සාමාන්‍ය අසනීපයක දී අත් බෙහෙත් භාවිතා කරන අවස්ථා ඇත. එවැනි අවස්ථාවල අසල්වැසි, දන්න කියන සියළුම දෙනා ගොඩවෙදුන් බවට පත්වෙති. ප‍්‍රතිකාරයක් වෙතැයි සිතන බෙහෙත් වට්ටෝරු වලින් උපදෙස් ලැබේ. ගොඩ වෙදකම හොද ප‍්‍රතිකාරයක් වන අතර අසනීපය සුව වී සාමාන්‍ය තත්ත්වයට පත්වීමට ද ඉඩ තිබේ. අත් බෙහෙත් පලක් නැති මොහොතක විශේෂඥ ප‍්‍රතිකාර ලබා ගන්නට සිදුවේ. ගොඩ වෙදකම්වලින් පලක් නැති තැන මුණ ගැසෙන විශේෂඥ වෛද්‍යවරයා, නිසි ප‍්‍රතිකාර නොගෙන රෝගය සගවාගෙන සිටීම ගැන තද අවවාද කරයි. ප‍්‍රතිකාර අරඹන්නේ එයින් අනතුරුවය.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ද අසනීප හා බරපතල රෝග ගණනාවක ලක්ෂණ පෙන්වමින් ගිලන්ව සිටි බව නොරහසකි. පසුගිය කාලය තුළ බලයට පත් ආණ්ඩු අසනීපයෙහි තරම දැනගෙන සිටියේය. නිසැකවම රට සුවපත් කරන බව ප‍්‍රකාශ කර බලය ලබා ගනී. බලය ලබාගත් පසු ප‍්‍රතිකාර ගැන අමතක වෙයි. ආර්ථිකයෙහි තිබුණ ව්‍යාධි දෙස බලන පසු ප‍්‍රතිකාර පහසු නැත. බරපතල සැත්කම් කරන්නට සිදුවේ. සමජයට වේදනාවක් දැනෙන තීරණයක් වන අතර බෙහෙත් තිත්තය. මිහිරි වචන කියා බලයට පත්වන පාලකයෝ නිසි ප‍්‍රතිකාර මග හරිති. ගොඩවෙදකම් වලින් ගැලවෙන්නට මෙතෙක් කල් තැත් දැරූහ. නිසි ප‍්‍රතිකාර කරන බව අගවන ලද නමුත් අවසාන මොහොතේ දී ඒවා පැහැර හරින ලද බව පෙන්වා දිය යුතුය. නිසි ප‍්‍රතිකාර ප‍්‍රමාද කිරීම අවසානයේ දී ආර්ථිකය බරපතල තැනකට පත්ව ඇති බව රෝගියාට පමණක් නොව භාරකරුවන්ට ද වැටැහී තිබේ. දැනට රට තුළ පවතින උග‍්‍ර ආර්ථික ප‍්‍රශ්න රෝගීභාවය උත්සන්න වී ඇති බව තහවුරු කරන එක සාධකයකි.   

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයෙහි බරපතල ව්‍යාධි දෙකකි. ජාතික ආදායම අඩුය. ආදායම ඉක්මවා වියදම් කරමින් සිටී. විදේශ වෙළදාම අනෙක් රෝගී පැත්ත බව සදහන් කළ හැක. අපනයන ආදායම ඉක්මවා ආනයන වියදම ඉහළය. ආදායම හා වියදම අතර පරතරය පියවා ගැනීමට රට තුළ ණය ගන්නා සහ ඒවා පියවන්නට මුදල් අච්චු ගහන ආණ්ඩු විදේශ වෙළදාමේ දී එනම් ආනයන හා අපනයන පරතරය පියවනු සදහා වානිජ ණය භාවිතා කෙරේ. දෙස් විදෙස් ණය හා ඒවාට ගෙවන පොලියෙන් ශ‍්‍රී ලංකාවේ ආර්ථික දේහය බෙලහීන වී ඇති අතර නොයෙක් රටවලින් ලැබෙන ආධාරවලින් ආරක්ෂා වෙමින් පවතින තත්ත්වයකට ඇද වැටී ඇත.

ආණ්ඩු බාරගන්නා පාලකයන්ට ඉරණමෙන් ගැලවෙන්නට කළ යුතු බරපතල සැත්කම ගැන අවබෝධයක් ඇත. ඡන්දයෙන් දිනන ඔවුහු ආර්ථිකය ගොඩගැනීමට කළ යුතු ප‍්‍රතිකාර පසෙක තබන අතර අවධානය ඊළග ඡන්දයෙන් දිනන උපක‍්‍රම ගැනය.

ආණ්ඩුවේ ව්‍යාධි පෙන්වා හිතමිතුරු රටවල්වලින්  තාවකාලික පෙති ගිලින ආර්ථිකය මෙතැනින් එහාට ජීවත් කරන ක‍්‍රමය ගැන හිතන්නට අවශ්‍යය. අද තීරණයක් ගැනීමෙන් අනාගත පරපුර සුරක්ෂිත වනු ඇති අතර විශාල ප‍්‍රතිසංස්කරණයක් නොකළහොත් එහි වන්දිය ගෙවන්නේ අපගේ දරුවන් බව අමතක කළ යුතු නැත.

ආදායම වැඩිකරගත යුතුව තිබේ. ජාතික ආදායම වැඩි කරන උපාය දෙකකි. එකක් නාස්තිකාර වියදම් හා අනවශ්‍ය සහන ඉතාමත් අඩු කර පරතරය පියැවීම සදහා බදු නංවන්නට සිදුවේ. බදු වැඩි නොකර පවත්වා ගැනීම සදහා තව තවත් කර්මාන්ත හා ව්‍යාපාර ආරම්භ කරන්නට අවස්ථාව ලබා දිය යුතුය. දේශීය හා විදේශීය ආයෝජන වැඩි කළහොත් ඒවායෙන් ලැබෙන ආදායම වාසියකි. විදේශ වත්කම් තරකරගැනීම අනෙක් උපාය මාර්ගයයි. අපනයනය කෙරෙහි නැඹුරුව මෙහි දී ඉතාම වැදගත්ය. අපනයනය කරන්නට සුදුසු දේ රට තුළ නිපදවිය යුතුය. මහා පරිමානයෙන්, තරගකාරී මිලකට උසස්ම තත්ත්වයේ දේ නිපදවිය හැකි පරිසරයක් ඇති කළහොත් අපනයන වෙළදාම ශක්තිමක් කළ හැක. කුඩා රටකට ලෝක වෙළද පොලට ගැලපෙන පරිදි මහා පරිමාන නිෂ්පාදනය පහසු නැත. අවශ්‍ය මෙවලම් හා තාක්ෂණය සදහා විශාල පිරිවැයක් අවශ්‍යය. සිංගප්පූරුව වැනි රටවල් ජාත්‍යන්තර ආයෝජන මත එය ජය ගෙන තිබේ.

ආදායම වැඩි කරන විනිමය උපයන පිලිවෙල සදහා තීරණ ගත යුතුය. ඉන්දියාව, චීනය හෝ වෙනත් රටකින් ලැබෙන සහන ආපසු ගෙවිය යුතුය. මුල්‍ය අරමුදලෙන් ලැබෙන ණය සංචිතයක් පවා ආපසු පියැවිය යුතුය. අපට ඇති රෝගී ආර්ථිකයට වෙනත් රටක ප‍්‍රතිකාර ගැලපෙන්නේ නැත. සැත්කම කළ යුතු අපට වන අතර තිත්ත බෙහෙත් බොන්නට සිදුවන්නේ අප සියළුම දෙනාටය. පාලකයන්ට දොස් තබන අතර දේශපාලන වේදිකාවේ මිහිරි වචන කියන වෙනත් පාලකයෙකු ආයෙමත් වතාවක් පත් කරගැනීම නොකෙරෙන වෙදකමකි.