2022/03/02 – ලංකාදීප

යුක්රේනයට ප‍්‍රහාර එල්ල කරන රුසියාව ගැන දෙස් විදෙස් අවධානය යොමු වී ඇත. අසල්වැසි රට, එහි අහිංසක ජනතාව පත්ව ඇති විපත කණගාටුවට කරුණකි. මෙම ගැටුම ගැන විවිධ මත ඇත. ලෝකයේ ප‍්‍රබල රටවල බලහත්කාරය ගැන අලූත් මානයකින් කියැවීමකට අවස්ථාවකි. ලෝක ධර්මතාවය නැවතත් සිහිපත් කරන ලද බව ද පෙන්වා දිය හැකි තවත් පැත්තකි.

අප හැම දෙනාටම තරම ගැන අවබෝධය වැදගත්ය. ඇගිල්ලේ තරමට ඉදිමෙන්නට ජන විඥාණය කියා දී තිබේ. යුතුකම් හා වගකීම් ඇත. අසල්වැසියන් සමග ක‍්‍රියාකිරීමේ දී බලය වෙනුවට ගෞරවය දිනාගත යුතුය. තමන් ගැන පමණක් සිතන සහ බලය ගැන උවමනාවට වඩා තැකීම ඛේදවාචකයකින් කෙළවරවෙයි. පුද්ගලයන්ට පාඩමකි. රටවල් වලට ද පොදුය. දේශපාලන හෝ සමාජ නායකයෝ මෙවැනි සිදුවීම් වලින් අත්දැකීම් ලබාගත යුතුය. බලයේ සිටින හා බලයට එන්නට සූදානම්වන දේශපාලන පක්ෂ යුක්රේන සිදුවීමෙහි ඇතුලාන්තය ගවේශනය කිරීම සුදුසුය.

යුක්රේන ජනාධිපති සෙලෙස්න්කි බලයට පත්වෙන්නේ 2019 දීය. ඉතාම ජනප‍්‍රිය විකට නළුවෙකු වූ හෙතෙම ජනපියත්වය උපයෝගී කරගෙන දේශපාලන පක්ෂයක් පිහිටුවයි. පළමු ඡන්දයෙන්ම අති විශාල ඡන්ද ප‍්‍රමාණයකින් ජනාධිපති ධුරයට පත්වෙයි. පළමු විදේශ සංචාරය සදහා ඔහු බ‍්‍රසල්ස් නගරය තෝරා ගත් අතර ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් සමග සබදතා ඇති කරගත්තේය. නේටෝ සංවිධානයට ඇතුලත්වීමට එකග විය. සෝවියට් දේශයෙන් කැඞී වෙන්වුණ රටවල් වශයෙන් බටහිර සමග තිබුණ පැරණි අත්දැකීම් සැහැල්ලූවෙන් තැකූ යුක්රේන නායකයා අසල්වැසි රුසියාව, එරට ජනාධිපති පුටින් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන ආකාරය ගැන නොතකා ක‍්‍රියා කළේය.

ජාත්‍යන්තර දේශපාලනයේ දී පුලූල් දැක්මක් තිබිය යුතුය. බලවත් රටවල අභිමානය, ඔවුන්ගේ සාහසික තීරණ ගැන කල්පනාවෙන් සිටීම සුදුසුය. ජාත්‍යන්තරය සාධාරණ නැත. යුක්රේනයට ප‍්‍රහාර එල්ලවන විට බටහිර, සහ නේටෝ සහාය අපේක්ෂා කළ නමුත් ප‍්‍රතිචාර සැලකීමේ දී අපේක්ෂා කරන ලද තරමට නොවේ. මේවා අත්දැකීම්ය.

කුඩා රටවල් සිය අනන්‍යතාව ආරක්ෂා කරගෙන, සමීපයේ ඇති බලවත් රටවල් සමග ගනුදෙනු කළ යුතුය. අපට ඉහළ නිලධාරීහු සිටිති. ලොකු මිත‍්‍රයෝ ඇත. ධනවත් ඥාතීහු සිටී. ඔවුන් සමග හැසිරෙන ආකාරය එකිනෙකට වෙනස්ය. තරම දැනගෙන කටයුතු කෙරේ. බලවත් පුද්ගලයෙකුට හෝ රටකට අභියෝග කළ හැකි නමුත් එහි සීමාවක් තිබේ. ලෝකයේ නොයෙක් තැන් වලින් එයට උදාහරණ ඇත.

බලවත් රටවලට ද වගකීමක් ඇත. අසල්වැසි කුඩා රටවල් සමග මිත‍්‍රශීලීව කටයුතු කිරීම වැදගත්ය. පුලූල් රාජ්‍ය තාන්ත‍්‍රික සබදතා ඇති කරගත යුතුය. වියට්නාමය, ඇෆ්ගනිස්ථානය සහ තවත් මැදපෙරදිග රටවල් ද, බලවත් රටවලට අමතක නොවන පාඩම් උගන්වා ඇති බව සදහන් කිරීම මෙහි දී වැදගත්ය. මේවා හැදෑරීම පාලකයන් නැඹුරු විය යුතුය. යුතුකම් සහ වගකීම් අමතක වූ පසු එහි පීඩාව විදින්නේ අහිංසක ජනතාවය. යුක්රේන ජනතාවගේ කදුළු වේදනාවේ තරම දක්වයි.

පසුගිය කාලයේ ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ද නොගැලපුන තැන් තිබුණි. පැරණි යටගියාව ද ඉදිරියේ දී තිබිය යුතු සබදතාවය ගැන ද අලූතින් හිතන්නට පාඩමකි. බැදීම් අවශ්‍යය. තේරුම් ගැනීම වැදගත්ය. අසල්වැසියා භීතියට පත්වන තැන් කොනිත්තා තාවකාලික වාසි ලබාගත හැක. අවසානයේ දී විනාශයක් ඇති කෙරේ.

ජාත්‍යන්තර සබදතා බලවත් ජාලයකි. විවිධ ක‍්‍රම හා නොයෙක් බලවේග අනුව සංකීර්ණ බැදීම් රටවල් අතර ඇති කරගෙන තිබේ. ප‍්‍රබල රටවල ක‍්‍රියාපටිපාටි ඉදිරියේ සෘජුව සිටින්නට උපාය අවශ්‍යය. සූක්ෂම දැක්මක් තිබිය යුතුය. තමන් ගේ ප‍්‍රශ්නවලට අසල්වැසියන්ගෙන් හෝ පිටස්තර රටවලින් උත්තර සොයන අවස්ථාවල ආපසු හැරෙන තැන ඉතාම නිවැරදිව දැනගෙන සිටීම වැදගත් බව මෙහි දී සදහන් කළ යුතු කරුණකි. දේශපාලනඥයන් හා දේශපාලන පක්ෂ අනුගමනය කරන පටු ප‍්‍රතිපත්ති හා   එයින් ලැබෙන තාවකාලික ජනප‍්‍රියත්වය කෙළවර ඇති උගුල්, කිසිසේත් අමතක නොකළ යුතු පැත්තකි. රුසියාවේ බලය සහ බටහිරට නැමෙන්නට යුක්රේනයේ තිබුණ හදිස්සිය දරුණු ගැටුමක් අවුලූවා ඇත. මතුපිටින් පෙනෙන ව්‍යුහයට වඩා ගැඹුරක් ලෝක සිතියමෙහි තිබේ.