2022.02.23 – ලංකාදීප

වෙළද පොල තුළ භාණ්ඩ හිගයක් පවතින අතර පාරිභෝගිකයන් පීඩාවට පත් කර ඇත. අත්‍යවශ්‍ය ආනයනික ද්‍රව්‍යවල හිගය සහ එහි ප‍්‍රතිඵලයක් ලෙස මිල ඉහළයාම බරපතල කරුණකි. ආනයන නතර කළ යුතුය. පිටරටට නතු නොවී අපට හැකි දේ අප රට තුළ නිපදවාගත යුතුය යන අදහසක් ද ඇත. දේශීය නිෂ්පාදන නැංවීම ගැන විවාදයක් නැත. සිය රට දේ මිල දී ගන්නට කැමැතිය. වෙළද පොලට ගිය පසු අප සියළුම දෙනා පාරිභෝගිකයෝය. විකිණීමට ඇති ද්‍රව්‍යවල ප‍්‍රමිතිය, මිල ගැන සලකනවිට ප‍්‍රශ්න ඇති බව සලකා බැලිය යුතු පැත්තකි.

ආනයන අඩු කර අපනයන නංවන පියවරකට අවතීර්ණ වන පසුබිම ඉතාම පැහැදිලිය. විදේශ විනිමය හිගයක් පවතී. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉන්ධන, ඖෂධ වැනි දේ ආනයනයට පවා බාධා මතු වී ඇත. අපනයනය වැඩි කර එමගින් විදේශ විනිමය සොයා ගැනීමේ ප‍්‍රයත්නයක් ගැන සාකච්ඡා කෙරේ. අපනයන නැංවීම වැදගත්ය. ලෝක වෙළද පොලට සැපැයිය හැකි දේ නිපදවන පියවර ඉක්මන් කිරීම සුදුසුය. මතක තබාගත යුතු කරුණක් මෙහි දී සදහන් කරන්නට අවශ්‍යය. ආනයන හා අපනයන අතර සබදතාවයක් තිබේ. ආනයන රහිතව අපනයන නැංවීම ප‍්‍රායෝගික නැත.

ගනු දෙනු හුරු පුරුදු සරල භාවිතාවකි. එදිනෙදා පැවැත්ම තුළින් අපට කියා දෙන වැදගත් පාඩමකි. ගනු දෙනු රටවල් අතර වෙළදාම හා බැදේ. රටකින් යමක් මිල දී ගත හොත් ඔවුන් අපගෙන් යමක් ආපසු ගන්නට සුදානම්ය. ලෝකයේ කිසිම රටක් වෙළද පරතරය වැඩි කරගන්නට සූදානම් නැත. මිල දී ගැනීම ආනයනය වන අතර අපනයනය විකිණීමය. ආනයන හා අපනයන අතර අසමතුලිත විදේශ වෙළදාමක් නැත. නැව් වරායට ළගා වෙන්නේ මෙරට දේ මිල දී ගන්නට පමණක් නොවේ. ඔවුන්ගේ නැව්වල ඇති ලංකාව ඇනවුම් කරන ලද දේ ප‍්‍රවාහනය කරයි. අපනයනයට පමණක් බහාලූම් හෝ ලැබෙන්නේ නැති බව වටහා ගත යුතු සරල කාරණයකි.

විදේශ වත්කම් පිරිහී ඇති අවස්ථාවක ආනයන පාලනය අනුගමනය කළ හැකි එක ක‍්‍රමයක් නමුත් පාලනයක පැවැති  ඉකුත් වසර අවසානයේ වෙළද පරතරය සැලකිය යුතු අඩුවීමක් පෙන්වන්නේ නැත. වෙළද පොල තුළ පැන නැගී ඇති සංකීර්ණ ප‍්‍රවණතා දෙස අවධානය යොමු කරනවිට ආනයන සීමාව වෙනුවෙන් ගෙවන ලද වන්දිය සුළු පටු එකක් නොවේ. 

ආනයන සීමා කරන අතරතුර මතු වූ අනෙක් සංකීර්ණ පැති ගැන ද මතක් කළ යුතුය. ආනයනයේ දී අය කරන බදු අහිමිවීම රාජ්‍ය ආදායම දුර්වල කර ඇත. ආදායම අඩුවන විට අය වැය පාලනය කිරීම අපහසුය. 

පසුගිය කාලවකවානුව තුළ වෙළද පොල හසුරුවන ලද සංවෘත හා විවෘත ක‍්‍රම ගැන ජනතාවට අදහසක් ඇත. සටන්පාඨ දේශපාලනයෙන් හෙම්බත්ව සිටින ශ‍්‍රී ලාංකිකයෝ සීනි නැතිව තේ බොන යුගයකට – මිරිස් නැතිව හොදි කන්නම් කියන තැනකට සූදානම් නැත. මහජනතාවගේ හැගීම් එක්තරා තැනක් දක්වා පාලනය කළ හැකි අතර එහි සීමාව හදුනාගැනීම පාලකයන්ගේ වගකීමකි. ලෝකයේ පවතින අවස්ථා සහ ජාත්‍යන්තරයේ ස්වභාවය ගැන වඩා අවබෝධයක් අද සමාජයට ඇත. තොරතුරු තාක්ෂණ යුගයේ දී ලෝකයේ සිදුවන පරිවර්තනය ගැන නොදන්නෝ නොවෙති. එදිනෙදා අවශ්‍යතා පාලනය කරන තීරණ සමග මතුවිය හැකි අවදානමක් තිබේ.

ආදායම පහත වැටී, විදේශ සංචිත පිරිහී ඇති බව පිලිගත යුතුය. ණය බර ප‍්‍රශ්නයකි. ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය කරන කාලයකි. දුෂ්කරතා ඇති විය හැකිය. කරුණු පැහැදිලි කර මෙම දුබලතා මැඩ නැවත නැගී සිටින්නට සැලැස්මක් අවශ්‍යය. ජනතාව ඉදිරිට ගොස් ඔවුන්ගේ කැපවීම හා පරිත්‍යාගය ඉල්ලා සිටිය යුතු අතර සමස්ථ සමාජයම එකතු වී කරන ප‍්‍රයත්නයකින් හැර විසදුමක් නැත. කොටසකට පමණක් පීඩනය එල්ලවන අනෙක් කොටසට බරක් නොදැනෙන ක‍්‍රමවලින් වෙළද පොල පාලනය යුක්ති සහගත නැත.