2022/02/16 – ලංකාදීප

ඉන්ධන වියදම හා පරිසර හානි ගැන අවධානය යොමු කරන ජගත් ප‍්‍රජාව පුනර්ජනනීය විදුලි උත්පාදනය ගැන අවධානය යොමු කරති. සූර්ය තාපය විදුලිය බලයට හරවන ප‍්‍රයත්න බහුලව ක‍්‍රියාත්මක වන අතර ස්වභාවික සුළගින් විදුලිය උත්පාදනය ද අවධානයක් යොමු වී ඇත.

ඩෙන්මාර්ක් රජය සුළග උපයෝගී කරගෙන විදුලි උත්පාදනයෙහි අලූත් වර්තාවක් පිහිටුවා තිබේ. සුළං බලාගාර ආධාර කරගෙන වොට් ටිලියන 2.3 ක් නිපදවන්නට සමත්ව ඇති බව දැක්වේ. එම විදුලිය උත්පාදනය එරට අවශ්‍යතාවයෙන් සියයට 68 කි. වසර 2033 වන විට අවශ්‍යවන අමතර විදුලිය ඉල්ලූම නිපදවීම සදහා උතුරු මුහුදේ කෘතීම දූපතක් ඉදි කරන්නට සැලැසුම් කර ඇත. එහි දැවැන්ත සුළං පෙති සහිත කුළුණු ඉදිකෙරේ. මෙම ව්‍යාපෘතිය එරට ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වනු ඇතැයි සැලකේ. පාපන්දු පිටි දහ අටක් විශාල මෙම කෘතීම දූපත තුළ සවිකරන සුළං පෙති වලින් වසර පුරා විදුලිය උත්පාදනය කෙරේ.

ඩෙන්මාර්ක් හා නෝර්වේ අතර විදුලිය හුවමාරු ගිවිසුමක් ඇත. ස්වභාවික සුළග අඩු කාලයේ දී උත්පාදනය අඩුවනවිට නෝර්වේ රාජ්‍යයෙන් ජල විදුලිය මිල දී ගැනේ. අනෙක් කාලයට ඩෙන්මාර්ක් සුළං විදුලිය ආපසු විකුණන බව දැක්වේ. මෙම ගනුදෙනුව සදහා රටවල් දෙක අතර සමාගම් දෙකක් පිහිටුවා ඇත. ඒවා රජයට අනුබද්ධ ආයතන වශයෙන් පවතී. නීති සකස් කොට තිබේ. රවවල් දෙක අතර අධි බලැති විදුලිය සම්පේ‍්‍රශණ මාර්ගය කිලෝ මීටර් පන්සියයක් පමණ දුරට විහිදෙන බව දැක්වේ. ගණන් බැලීමේ දී දෙරට අතර විදුලිය හුවමාරුව වියදමක් නැතිතරම් බව ඔප්පූ වී ඇත.

චීනය සහ ඇමරිකාව ලෝකයේ විශාලතම සුළං විදුලිය උත්පාදකයන්ය. 2020 වසරේ මෙම රටවල් දෙක අලූතින් සවිකරන ලද සුළං පෙති බලාගාර වලින් නිපදවන විදුලිය ඒකක ප‍්‍රමාණය ලෝක නිෂ්පාදනයෙන් හරි අඩකි. ජාත්‍යන්තර වාර්තා අනුව දැනට ලෝකයේ ඇති සුළං බලාගාරවලින් ගිගාවොට් 750 ක විදුලිය උත්පාදන ධාරිතාවයක් තිබේ. වායුගෝලයට මුදාහරින කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් බිලියනයකට වැඩි ප‍්‍රමාණයක් පාලනය කරන්නට මෙමගින් සමත්ව තිබේ. විදුලිය උත්පාදනය සදහා දැවිතෙල්, ගල් අගුරු හෝ ස්වභාවික ගෑස් පරිහරණය කරන රටවලට මෙම කරුණුවලින් ඉගෙන ගත හැකි පාඩමක් ඇත.

විශේෂඥ වාර්තා අනුව සුළං විදුලිය බලාගාර සදහා ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පරිසරය ගැලපේ. නුවරඑළිය සහ පුත්තලම දිස්ත‍්‍රික්කවල ස්ථාන ගණනාවක දැනට සුළං බලාගාර ඉදිකර සාර්ථකව ක‍්‍රියාත්මක වෙයි. ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ මන්නාරම ආශ‍්‍රිතව සුළං විදුලිය බලාගාර සදහා කදිම අවස්ථා ඇති බව පර්යේෂණ වාර්තා වැඩිදුරටත් තහවුරු කර ඇත. අඩුම තරමින් මෙගවොට් 5,000 ක් උත්පාදනය කරන පහසුව තිබේ. දැනට ශ‍්‍රී ලංකාවේ කෙරෙන සමස්ථ උත්පාදනය පවා ඉක්මවා යන විශාල ප‍්‍රභවයකි. ශ‍්‍රී ලංකාවේ සම්පූර්ණ විදුලිය නිෂ්පාදනය මෙගවොට් 4,300 කි. ජල, ගල් අගුරු හා දැවිතෙල් බලාගාරවලින් නිපදවන සම්පූර්ණ විදලිය ප‍්‍රමාණයට ද වඩා සුළගින් විදුලිය නිපදවිය හැකි බව දැක්වේ.

බොරතෙල් මිල දිනෙන් දින ඉහළ යයි. දැන් පවතින මිල ගණන් අනුව තෙල් හා ගල් අගුරු ආනයනයට වැය කරන විනිමය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හතරක් පමණ විය හැකිය. විනිමය හිග සහ ඛනිජ තෙල් මිල දී ගැනීමට පවා ණය ගන්නා පසුබිමක මුලික ආයෝජනය හැර අනෙක් පිරිවැයක් රහිත සුළං විදුලි උත්පාදනය ගන අවධානය යොමු නොකරන්නේ ඇයි? හරිත විදුලිය උත්පාදනය එනම් පරිසරයට හානි නොකරන ව්‍යාපෘති ඉදිරිපත් කළහොත් ජාත්‍යන්තර ආයතනවලින් පහසුවෙන් මූල්‍ය ආධාර ලබාගැනීමේ හැකියාවක් ඇත. ආයෝජකයන්ට ද අවස්ථාව පැවැරිය හැකිය. ආයෝජකයන්ගේ වියදමෙන් ඉදිකර පසුව යම් කාලයකට පසු රටට පැවරෙන ගිවිසුම් අත්සන් කරන හැකියාවක් තිබේ. දීර්ඝ කාලීන ආයෝජන වශයෙන් සුළං විදුලිය බලාගාර සදහා දිරිමත් කිරීම සුදුසු පියවරක් වනු ඇත.

විදුලිය ඒකකයකට ගෙවන මිල ගැන පාරිභෝගිකයන්ට කැක්කුමක් තිබේ. විදුලියබල මණ්ඩලය අධික පාඩු සහිතව පවත්වාගෙන යන අතර ඒවාට ගෙවන්නේ ද පොදු මහජනතාව බව සදහන් කළ යුතුය. විදුලි බල මණ්ඩලයේ පාඩු, ගල් අගුරු හා දැවිතෙල් ආනයන වියදම ගණන් බලන නිලධාරීහු විදුලිය බිල වැඩි කරන්නට යෝජනා කරනු ඇත. සුළං බලාගාර සදහා යෝජනා කැදවීමට යුහුසුළු නොවන්නේ ඇයි? ආණ්ඩුවට ආයෝජනය සදහා මුදල් නැත. පුද්ගලික අංශයට පවරන යොජනාවක් ඉදිරිපත් කළහොත් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිතිවල අරගල ඇරඹෙනු ඇත. ජාතික සම්පත් වෙන්දේසියක් ගැන මහා ඝෝෂා නැගෙන්නට ඉඩ තිබේ. සාමාන්‍ය ජනතාව මාසික විදුලිය බිල ගෙවන්නේ පහසුවෙන් නොවේ. ආකෘතිය වෙනස් කළහොත් වියදම අඩු කළ හැක. දේශපාලනඥයෝ වෙනසකට සූදානම් නැත. ජනතාවගේ දුක වේදනාව ගැන නොතකන දේශපාලන ක‍්‍රමයකින් රටට පලක් තිබේද?