2022/02/09 – ලංකාදීප

වසර 2030 ඉලක්ක කරගෙන ආර්ථික ප‍්‍රතිසංස්කරණ මාලාවක් ක‍්‍රියාවට නංවන්නට සවුදි අරාබිය තීරණය කර තිබේ. කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථිකයේ පසුබෑම ප‍්‍රශ්නයක් වනු ඇති බව සවුදි පාලකයෝ නිගමනය කර ඇත. ලෝක ප‍්‍රජාව ඛනිජ තෙල් භාවිතය සීමාකිරීම එරටට තීරණාත්මක ලෙස බලපාන බව ද නිරීක්ෂණය කරන කරුණකි. පැවැත්ම වෙනස් නොකළහොත් ගැටළු මතුවිය හැකි බව ප‍්‍රකාශ වී ඇත.  අංශ ගණනාවක් සදහා වෙනස්කම් බලගන්වා තිබේ.

මැද පෙරදිග කලාපයේ විශාලතම ආර්ථිකය සවුදි අරාබිය වන අතර ලෝකයේ ධනවත්ම රටවල් විස්ස අතරින් එකකි. ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් බහුලම රටක් බව දැක්වේ. වැඩිම බොරතෙල් නිධි සහිත රටවල් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයෙහි සිටී. එරට ජාතික ආදායමෙන් සියයට 63 ක් ඛනිජ තෙල් වලින් වන අතර අපනයන ආදායමෙන් සියයට හැට හතක් ඛනිජ තෙල් ආශ‍්‍රිත නිෂ්පාදන බව දැක්වේ. සවුදි අරාබියේ සේවය කරන පිරිස අතරින් සියයට අසූවක් වෙනත් රටවල ශ‍්‍රමිකයෝය.

තෙල් ආදායම සීමාවිය හැකි අනාගතයේ යැපෙන ක‍්‍රම ගැන සවුදි පාලකයෝ අධ්‍යයනය කර තිබේ. ආර්ථිකය විවිධාංගීකරණය කරන අතර රැකියා විරහිතභාවය අඩු කර කාන්තා ශ‍්‍රමය උපයෝගීකරගන්නා අලූත් පැති යෝජනා කරයි. රාජ්‍ය යාන්ත‍්‍රණය කාර්යක්ෂම කිරීම ද අරමුණු අතර ඇත. කරුණු දොලහකින් සමන්විත වැඩ පිලිවෙලක් සැලැස්මකට ඇතුලත් කර තිබේ. සැලැස්ම අධීක්ෂණයට වෙනම අංශයක් ස්ථාපනය කර ඇත. ආයෝජනය, නිවාස සංවර්ධනය, මුල්‍ය ස්ථාවරත්වය, ජීවන මටට්ම නැංවීම ඇතුළු කරුණු මෙහි දී සලකන ලද බව වාර්තා වෙයි. සවුදි රජය සතු දැවැන්ත ව්‍යාපාර පනහකට වැඩි ප‍්‍රමාණයක් පුද්ගලීකරණය කෙරේ. ව්‍යවසාය අරඹන පහසුව සදහා ස්වයංක‍්‍රීය දත්ත පද්ධති හා ආයෝජන පරිපාලන ක‍්‍රමවේද ඇති කරයි. එයින් ආයෝජනය හා ව්‍යවසායකත්වය පහසු වනු ඇත. පැය විසිහතරක් තුළ වරාය මෙහෙයුම් අවසන් කරන සහ නැව් එන්නටත් කලින් ඒවායේ භාණ්ඩ විද්‍යුත් නිශ්කාශනය කරන පහසුකම් සලසයි. ආනයන හා අපනයන සදහා එක තැනකින් වහාම අවසර දෙන ක‍්‍රමවේදයක් ද යෝජනා කර තිබේ.

ආර්ථිකය බලගැන්වීම සදහා ඩිජිටල් ක‍්‍රමවේද හදුන්වා දී ඇත. රජයේ සේවය අඩු කරන අතර බදු අය කරන්නට යොජනා කර තිබේ. කර්මාන්ත හා ව්‍යාපාර සම්බන්ධව වානිජ අධිකරණයේ නඩු කල්තැබීම වාර තුනකට සීමා කර ඉක්මන් තීන්දු දෙන ප‍්‍රතිපත්තියක් සකසන ලද බව දැක්වේ. අලූත් අණ පනත් 197 ක් සම්මත කර තිබේ. ඒවායෙන් ආර්ථිකය ගැන තීන්දු ගැනීම ඉක්මන් කරයි. විද්‍යුත් ආණ්ඩුකරණය සවුදි අරාබි පාලනයේ දැවැන්ත පෙරැළියකි. එරට බලපත‍්‍ර ප‍්‍රතිසංස්කරණ වැඩසටහන අනුව ආණ්ඩුවේ බලපත‍්‍ර අංශ 5,500 ක් අතරින් සියයට හැටක් නවීකරණය කර ඇත. වානිජ හා කර්මාන්ත අංශ සදහා වන බලපත‍්‍ර පැය විසි හතරක් ඇතුලත නිකුත් කෙරෙන බව නිවේදනය කිරීම විශේෂයෙන් සලකා බැලිය යුතු පැත්තකි.

තෙල් සම්පත් වලින් ඉහළින් සිටි සවුදිය රොබෝ ත්කාෂණයට ඇතුළු වී ඇත. පස්වන පරම්පරාවේ වේගවත් සන්නිවේදනය හදුන්වා දී ඇති අතර කෘතීම බුද්ධිය භාවිතා කරන ලෝකයේ රටවල් පහලොව අතර එකක් වී සිටී. ආර්ථිකයේ ප‍්‍රතිසංස්කරණ හා තාක්ෂණයේ භාවිතාව සමග මහා පරිමාන විදේශ ආයෝජන ඉලක්ක කර ඇත. 2019 වසරේ සිට තෙල් නොවන අංශ වලින් රටට එන ආදායම සියයට පහක පමණ වේගයකින් වර්ධනය වී ඇති අතර සෘජු විදේශ ආයෝජන සියයට තුන්සිය තිස් එකක වර්ධනයක් පෙන්වයි. 2030 වසර වන විට සවුදි අරාබියේ ආර්ථිකයට පුද්ගලික අංශයේ දායකත්වය සියයට 65 ක ප‍්‍රතිශතයක් දක්වා වැඩිකරගැනීම අවසාන අරමුණ බව දැක්වේ.

සවුදි අරාබිය ධනයෙන් පොහොසත්ය. ඛනිජ තෙල් ඇතුළු පොසිල සම්පත් අසීමිත ප‍්‍රමාණයක් ඇත. තෙල් පරිභෝජනය වහාම අවසන් නොවනු ඇති අතර තවත් දශක ගණනක් යැපෙන්නට අවස්ථාව තිබේ. සවුදියේ පුරවැසියන්ට ආර්ථික හා සමාජ අගහිගතාවයක් නැත. එවැනි වාසිදායක පසුබිමක සිටින අතරවාරයේ පවා අනාගතය සැලසුම් කරමින් සිටී. ආර්ථික ප‍්‍රතිසංස්කරණ නොකර, අවහිරයක් රහිතව පැවැතිය හැකි සවුදිය වෙනස්වෙන සැලැස්මක් ප‍්‍රකාශයට පත් කරන නමුත් සමාජ හා ආර්ථික අර්බුදයක් අභිමුවෙහි සිටින ශ‍්‍රී ලංකාව අලූත් පැති ගැන අවධානය නොකරන්නේ ඇයි?

හොද අනාගතයක් ගැන බලාපොරොත්තු ඇතිව දේශපාලන නායකයන් බලයට පත් කරන බව මතක් කළ යුතුව ඇත. ඡන්ද වේදිකාවේ දී ජනතාව හමුවේ තබන පොරොන්දු පසුව මතක නැත. සෑම දේශපාලනඥයෙකුම ජනතාවට මිහිරි වචන කියන අතර ආර්ථිකය ගොඩනගන්නට නම් ගත යුතු තීරණ වල තිත්ත පැති අගවන්නේ නැත. ආණ්ඩු පත් කරන ජනතාව ද නායකයන්ගෙන් ඉල්ලන්නේ මැජික් විසදුම්ය. අවුරුද්දෙන් දෙකෙන් කේතුමතියක් නිර්මාණය කරන්නට බල කරයි. විපක්ෂ චෝදනා, යල්පැන ගිය නීති සහ නිලධාරීවාදය ප‍්‍රතිසංස්කරණ වලකන තැන්ය. ඊළග මැතිවරණය සදහා ජනප‍්‍රියත්වය ආරක්ෂා කරගන්නට වෑයම් කරන නායකයෝ රට ගොඩනගන හා එයින් මහජන ගෞරවය දිනා ගන්නා වෑයම අමතක කර දමති. ජනතා අපේක්ෂා සාක්ෂාත් කළ යුතුය. එවැනි පියවරක් සදහා අවශ්‍ය වෙනස්කම් කරන්නට විශාල ධෛර්යයක් අවශ්‍යය. වෙනස්කම් ඉවසන ශක්තියක් සමාජය තුළ තිබිය යුතුය.