2022/01/26 – ලංකාදීප

අලූත් ව්‍යවස්ථාවක් ගැන අදහස යළිත් පැන නැගී ඇත. දශක ගණනක් එකම මාතෘකාව වරින්වර මතුවෙමින් තිබේ. ව්‍යවස්ථාව අවශ්‍ය දේශපාලනඥයන්ටය. එකිනෙකට වෙනස් මතවල සිටින දේශපාලන පක්ෂ, තමන්ට පමණක් ගැලපෙන ව්‍යවස්ථා ගැන සිහින දකිමින් සිටිති. අදහස් එකතු කර එකගතාවයකට එන්නට සූදානම් නැත. සාකච්ඡාකර නිගමනයකට එළැඹිය හැක. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරුකරන අප සියළු දෙනා තුළ තිබිය යුතු උසස් ගුණාංගයකි. සංස්කෘතිය, ආගම, විනය ගැන ඉහළින් සිතන අප අතර සම්මුතිය නැත. මෑත ඉතිහාසය තුළ ව්‍යවස්ථා සාකච්ඡා කාලය සහ වචන නාස්ති කළ ව්‍යායාම ලෙස අවසන්ව තිබේ.

ජනතාවට ද ප‍්‍රශ්න තිබේ. ඒවා ව්‍යවස්ථාව ගැන නොවේ. පවතින ආර්ථික දුෂ්කරතා පිලිබදවය. ව්‍යවස්ථාවලින් ප‍්‍රශ්න විසදිය හැකිනම් 1994 සිට අද දක්වා ව්‍යවස්ථා හා ඒවායේ සංශෝධනවල ප‍්‍රතිඵල අනුව රට පාරාදීසයකි. එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීම ජනතාවට දැනෙන ප‍්‍රශ්නයකි. ජීවන වියදම ඉහළය. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිගය. කොවිඞ් වසංගතය ඇති කරන ලද ගැටළු බව රහසක් නොවේ. පවතින තත්ත්වය තුළ දරුවන්ගේ අනාගතය පවා අවිනිශ්චිතය. වර්තමානය පමණක් නොව අනාගත පරපුරට ද විසදුමක් අවශ්‍යය. පීඩාවට පත්ව ඇති තැන් නිවැරදිව හදුනාගෙන තීරණ ගැනීම මෙරට මහජන නියෝජිතයන් සතු වගකීමකි.

පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විද්වත් කමිටුවක් ව්‍යවස්ථා රාමුව සකස් කිරීමට කටයුතු කරන අතර එය කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුව හමුවේ තබන බව කියා සිටියේය. ජනාධිපතිවරයා ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හා ඔහුගේ සැලැස්ම තුළ ඇති ඉදිරි පියවර අලූත් ව්‍යවස්ථාවක් ගැන අදහසක්  ප‍්‍රකාශ කරන්නට බල කරන ලද බව වටහා ගත හැක. ඇත්ත තත්ත්වය එය නොවේ. ජනතාවට පැවැත්ම වෙනස් කරගන්නට උවමනා වී තිබේ. ව්‍යවස්ථාව වෙනුවට ඉතාම දක්ෂ පිරිසක් මෙහෙයවා නිසි ආර්ථික ප‍්‍රතිපත්ති හදාගැනීම වැදගත්ය. තද තීරණ ගෙන සංවර්ධන ක‍්‍රියාවලිය වේගවත් කළ යුතුය. රැකී රක්ෂා උත්පාදනය හා අතට ආදායමක් ලැබෙන මාර්ග ඇති කරන්නට අවශ්‍යය. කොළඹ වරාය නගරය මංතීරු ගැන සාමාන්‍ය ජනතාව දක්වන උනන්දුව මෙයට එක උදාහරණයකි. දස දහස් ගණනින් ජනතාව එහි පැමිණ තිබේ. නුවර අධිවේගී මාර්ගයේ කොටසක් විවෘත කිරීමෙන් පසු එම කොටස පරිහරණයට ඉදිරිපත්ව සිටින පිරිස තවත් පැත්තකි. දුම්රිය වැඩවර්ජනය සමග අදහස් දක්වන ලද මගී ජනතාව දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කර හොද සේවාවක් ලබාදෙන ලෙස බලකර සිටියේය.

උතුර නැගෙනහිර ජීවත්වන ජනතාව ගේ හඩ අපට වැදගත්ය. දශක ගණනක් ත‍්‍රස්තවාදයෙන් බැට කෑ ඔවුහු අලූත් ජීවිතයක් අපේක්ෂා කරති. මාර්ග සංවර්ධනය, අලූත් කර්මාන්ත හා ව්‍යාපාර ඔවුන් ගේ ඉල්ලීම වී තිබේ. පැවැත්ම සහ සංවර්ධනය ගැන වෙනම උතුරු නැගෙනහිර ජන කොටස්වලට ඇත. ජනතා මතය වෙනුවට අපට දැනෙන්නේ අතරමැදි දේශපාලනඥයන්ගේ හඩයි. දේශපාලනඥයෝ ඉල්ලන්නේ බලය හා බලතල බව පෙනේ. රට තුළ කරන යෝජනාවලින් පැවැත්ම සාක්ෂාත් කරගැනීම වෙනුවට ජාත්‍යන්තරය තුළ මතයක් ඇති කර ස්වභාවය සංකීර්ණ කරන්නට ඇතැම් දේශපාලන නායකයෝ සූදානම්ය. ලෝකයේ වෙනත් රටකින් අපට විසදුමක් ලැබෙන්නේ නැත. සෑම රටක්ම එක හා සමාන අලූත් සමාජ භාවයන්ට ගොදුරු වී සිටී.

පවතින ව්‍යුහය අධ්‍යයනය කළහොත් පෙනෙන ප‍්‍රධාන කාරණයක් තිබේ. ජනතාව ඉල්ලන දෙයක් ඇත. දේශපාලනඥයන් ගේ අරමුණ අනෙක් එකකි. ජනමාධ්‍යවලින් ද මෙම පැති දෙක අතර සංවාදයක්, සබදතාවයක් ඇති කරන්නේ නැත. අප ගමන් කරමින් සිටින්නේ අවුල් ජාලයකින් තවත් අවුල් සහගත තැනකටය. මෙහි ප‍්‍රතිඵල අපට දැනෙන්නට තිබේ. ජනතාවට දේශපාලනය එපා වී ඇත. දේශපාලනඥයන් කෙරෙහි තිබුණ විශ්වාසය පිරිහී ඇති බව පෙනේ. දේශපාලනඥයන්ට සමීප සමාජ නායකයන් හා ආගමික නායකයන්ට ද එම ඉරණම අත්ව ඇති බව ඉතාමත් පැහැදිලිය.

සියළු දෙනාටම එකගවිය හැකි ව්‍යවස්ථාවක් පමණක් නොව පවතින සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් පොදු එගතාව ඇති කරගැනීම අවශ්‍ය වී තිබේ. එය තුළ සාධාරණත්වය හා යුක්ති සහගත බව ප‍්‍රශ්න කළ හැක. පවතින ආර්ථික හා සමාජ ගැටළුවලට වර්ණවත් උත්තර නැත. නිල්, කොළ, රතු හෝ වෙනත් වර්ණයකට දැනට ලෝකයේ පවතින ආර්ථික මුලධර්ම වලට එපිටින් යා නොහැක.