2022/01/05 – ලංකාදීප

ආර්ථික ප‍්‍රශ්න වලින් මිරිකී සිටින රටට සහන පැකේජයක් ආණ්ඩුව ප‍්‍රකාශයට පත් කර තිබේ. රජයේ සේවකයන්, විශ‍්‍රාමිකයන්, සමෘද්ධිලාභීන් සහ යුද්ධයේ දී ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීම් කළ ආරක්ෂක අංශ එයින් ආවරණය කෙරේ. වතුකරයේ ජනතාවට ද තිරිගු පිටි සදහා වෙනම සහනයක් සපයා ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ සදහා අය කරන බදු සම්පූර්ණයෙන් ඉවත්කොට තිබේ. ජීවන වියදම ප‍්‍රශ්නයක් වී ඇති අවස්ථාවක සහ කොවිඞ් අවදානම මැද ආදායම පිරිහී ඇති ජනකොටසකට අවශ්‍යම කරන උපකාර සැලසීම අගය කළ යුතුය.

සහන ලැබුණ පිරිස මහත් උද්දාමයකට පත්ව ඇති බව සැකයක් නැත. බඩුමිල හා ඉන්ධන මිල ගණන් ඉහළ යෑම ගැන තිබුණ කනස්සල්ල තාවකාලිකව යටපත් විය හැකිය. සහනය සමග මතුවන අනෙක් පැත්තක් ද තිබේ. මෙම සහන දෙන්නේ කෙසේද? ජාතික ආදායම දුර්වල වී ඇති අවස්ථාවක ප‍්‍රකාශයට පත් කරන සහන සදහා වහාම මුදල් උපයා ගැනීමට භාණ්ඩාගාරයට සිදුවේ.

ආදායම ඉක්මනින් නංවා ගැනීමේ දී බදු වැඩි කිරීම හැර අනෙක් ප‍්‍රතිකර්මයක් නැත. සෘජු හා වක‍්‍ර බදු සශෝධනය කරන්නට සිදුවෙයි. මෙම බදු ගෙවන්නට සිදුවෙන්නේ ද දුක්විදින පොදු ජනතාවය. බදු ප‍්‍රතිශත නැවත වටයකින් නංවන අවදානමක් ඇති පසුබිම තුළ එදිනෙදා ජීවිතයේ බර ඉසිලිය නොහැකි ආකාරයකට තවත් වැඩි කරන අවකාශයක් නිර්මාණය වනු ඇති බව සදහන් කළ යුතුව තිබේ. සහන වලට වැය කරන ධනයෙන් උද්ධමනයක් ඇතිවෙයි. එයට මුහුණ දෙන පරිදි හැදෙන ආර්ථිකය මැද පන්තිය හා දුගී දුප්පත් ජනකොටස තවත් අර්බුදයකට තල්ලූකරන අවදානමක් ඇත. ඉදිරි මාස කිහිපය තුළ එහි ප‍්‍රතිවිපාක දැනෙන්නට බැරි නැත. ප‍්‍රපාතයකින් තවත් පහලට වැටෙන්නට පෙර එයින් ගැලවෙන මගක් සොයාගැනීම අවශ්‍යය. ජනප‍්‍රිය තීන්දුවලින් ක්ෂණික වාසි ලැබිය හැකිය. ආර්ථික වර්ධනය අරමුණු කරගෙන තද තීරණ නොගතහොත් ඇතිවිය හැකි දරුණු ප‍්‍රතිවිපාක ද අපේක්ෂා කළ යුතුය.

රජයේ ආර්ථික වැඩපිලිවෙල අසීරු තැනක බව මෙහි දී අමතක කළ යුතු නැත. අභ්‍යන්තර හා බාහිර වශයෙන් බරපතල පීඩන දෙකකට මැදි වී සිටී. රජයේ ආදායම පිරිහී ඇත. 2022 වසර සදහා ඉදිරිපත් කළ අය වැය එයට සාක්ෂියකි. සංවර්ධන වැඩකටයුතු සීමා කරන ලද අතර රජයේ ගොඩනැගිලි ඉදිකිරීම් පවා අත්හිටුවීය. රජයේ රැකියා සැපයීම සීමා කර තිබේ. විදේශ විනිමය හිගය බාහිර වශයෙන් එල්ල වූ පීඩනයකි. විදේශ සංචිත ගැන අවධානය යොමු කරන්නට සිදුවී තිබේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමේ දී පවා විනිමය හිග බව වාර්තා වෙයි. රාජ්‍ය ආදායම අඩු, විදේශ විනිමය සංචිත සීමා වී ඇති අවස්ථාවක ප‍්‍රකාශයට පත්කර ඇති සහන 2022 වසරේ සමස්ථ ආර්ථික ක‍්‍රියාකාරකම් කෙරෙහි තියුණු බලපෑමක් එල්ල කරනු ඇත.

පවතින විෂම රාමුවෙන් ගැලවෙන්නට අලූත් පියවර අවශ්‍යය. බදු වැඩි නොකර රාජ්‍ය ආදායම නංවාගත යුතුව තිබේ. රටට විශාල අවස්ථා නැත. විදේශ විනිමය සංචිත තරකර ගත යුතුය. මෙකී වෙනස්කම් සදහා අනුබලයක් ලෝකයේ වෙනත් රටකින් ලැබෙන්නේ නැත. සෑම රටක්ම කොවිඞ් වසංගතයේ ග‍්‍රහණයට හසු වී තිබේ. මහන්සියෙන් වැඩ කරන්නට සිදුවේ. නිෂ්පාදනය නැංවිය යුතුය. මානව සම්පත නිසි සේ උපයෝගී කරගැනීමට සිදුවේ. ඉඩම්, සාගර සම්පත්, බලශක්තිය වැනි පැති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්නට අවශ්‍යය. නිෂ්පාදනය වැඩි කරන අතර ඒවා ලෝක වෙළෙද පොලට අපනයනය කළ හැකි ක‍්‍රම ගැන යුහුසුළුවීම වැදගත්ය.

සහන ලබාදෙන අතර සහන සදහා අවශ්‍ය ධනය උත්පාදනය කරගැනීම ආණ්ඩුවේ වගකීමකි. ආදායම උත්පාදනය නොකළහොත් ණය බර තවත් උත්සන්න විය හැකිය. ඉදිරියේ දී තවත් ප‍්‍රශ්න ඇති කරනු ඇත. ණය ගෙවා ගැනීම පවා පහසු නැති අවධියක සිටින අප එවැනි පැති ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය. ආර්ථියක එක පැත්තකට දෙන විදුම අනෙක් පැත්තකින් අනපේක්ෂිත ප‍්‍රතිඵල අත්පත්කරන අතර එහි ප‍්‍රතිවිපාක ඉතාම අහිතකර විය  හැකිය. අසීරු අවස්ථාවක ආර්ථිකයක් පාලනය කිරීම පහසු නැත. වියදම අඩු කරගත යුතු අතර වහාම කළ හැකි ප‍්‍රතිසංස්කරණ වලට යා යුතුය. එවැනි ක‍්‍රියාමාර්ගයකින් බැහැරව ගන්නා තීරණ වල අවදානමක් තිබේ.