2021/12/29 – ලංකාදීප

ඉන්ධන මිල වැඩි කිරීම ගැන විශාල විවේචනයක් තිබේ. ලෝක වෙළද පොලේ බොරතෙල් මිල හා රට තුළ තෙල් අලෙවියේ දී ලබන අලාභ සලකා බලන විට ආණ්ඩුවට වෙනත් විකල්පයක් නැත. වාර්තා දක්වන පරිදි මෙරටට ගෙන්වන ඉන්ධන වලින් සියයට හැටක් විදුලිය බලය උත්පාදනයටය. දැවිතෙල් සහ ගල් අගුරු වලින් විදුලිය නිපදවීම අත්හරිමින් පවතින කාලයකි. පැරණි ගල් අගුරු යුගය ආරක්ෂා කරගැනීම සදහා අපි සියළුම දෙනා මහත් වෑයමකින් සටන් කරමින් සිටින බව පෙනේ.

මෑත කාලය තුළ තුන් වතාවක් මුළු රටේ ම විදුලිය විසන්ධි විය. කරුණු සොයාබලන්නට කමිටු පත් කළේය. ඒවායේ වාර්තා වගකිව යුතු අංශවලට බාර දී ඇත. විදුලිය නැති අවස්ථාවක පැය ගණන් අදුරේ සිටින්නට ඇතැම් පලාත්වල ජනී ජනයාට සිදුවී තිබේ. පැයක් දෙකක් අන්ධකාරයේ ගත කිරීම කොපමණ අපහසු ද යන්න පැහැදිලි කළ යුතු නැත. විදුලිය බලය නොලැබීම ඉගෙනුමට ද බාධාවකි. දැන් දරුවෝ ඉගෙන ගන්නේ තාක්ෂණයෙන්ය. විදුලිය නැති අවස්ථාවක අන්තර් ජාලය ද අවහිරවෙයි. මෙහි දී මතක් කර දිය යුතු එක කරුණක් තිබේ. දැනට පවතින විසන්ධිවීම සුළු ප‍්‍රශ්නයකි. රටට අවශ්‍ය විදුලිය ප‍්‍රමාණවත් පරිදි උත්පාදනයට නිසි කි‍්‍රයාමාර්ග අනුගමනය නොකළහොත් ඉදිරි වසර කිහිපය තුළ අන්ධකාරය සාමාන්‍ය දෙයක් විය හැකිය. ඇතිවන ගැටළු ඉතාම සංකීර්ණය.

ජල විදුලිය උත්පාදන හැකියාවේ උපරිම තලයට අප ළගා වී සිටී. රටට අවශ්‍ය විදුලියෙන් සියයට විස්සක් හෝ ජල විදුලි බලාගාරවලින් නිපදවන්නේ නැත. පරිසරය ආරක්ෂා කරන, අඩුම වියදමකින් නිපදවෙන ජල විදුලිය හැරුණු කොට අනෙක් ප‍්‍රභව ගැන සොයන්නට අපට වගකීමක් ඇත. සුළං විදුලිය උත්පාදනය කළ හැකිය. රජය හෝ පුද්ගලික අංශය කටයුතු කළහොත් මෙගාවොට් 5000 ක් පමණ උත්පාදන අවස්ථා ඇති තැන් සොයාගෙන තිබේ. ඒවා වාසිදායකය. දැවි තෙල් හෝ ගල් අගුරු වලින් නිපදවන විදුලිය ඒකකයක මිල ඉහළ යමින් තිබේ. තාක්ෂණය වේගයෙන් වෙනස් වන අතර එයට අනුගත නොවුනහොත් උත්පාදනයේ අකාර්යක්ෂමතාවක් ඇතිවෙයි. විදුලිය බල මණ්ඩලය කරුණු වාර්තා කර ඇති පරිදි වසර 2040 වන විට රටට අවශ්‍ය කර විදුලිය ප‍්‍රමාණයක් තිබේ. එම විදුලිය අවශ්‍යතාව අපට නොවේ. අපගේ දරුවන්ටය. මතු පරම්පරාවටය.

රටක් දියුණුවන විට විදුලිය පරිභෝජනය වැඩිවෙයි. අපගේ අනාගතය සදහා අවශ්‍ය තරමට විදුලිය නිපදවන්න තීරණ ගැනීමට අද අපොහොසත් වුවහොත් එහි විපාක දරුණු විය දැකිය. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය නරක තැනකය. විනිමය සංචිත හිදී ඇත. ණය ලබා ගැනීමේ අවස්ථා ද, සීමාවෙමින් තිබේ. අලූත් විදුලිය බලාගාරයක් දෙකක් හදාගන්නට කිසිම හැකියාවක් නැත. මෙවැනි තීරණාත්මක අවස්ථාවක හොදම දේ වෙනුවට, ප‍්‍රායෝගිකව කළ හැකි දේ ක‍්‍රියාත්මක කිරීම අප සියළු දෙනාගේ වගකීමකි.

මෑත කාලය තුළ විදුලිය අංශයේ ආයෝජනය සදහා ඉදිරිපත් වූ ඇමරිකාව, චීනය හා ඉන්දියාව යන රටවල ව්‍යාපෘති ගැන මෙරට දේශාපලනඥයන්ට හා වෘත්තීය සමිතිවලට අප‍්‍රමාණ ප‍්‍රශ්න ඇත. ඒවා කලින් ද නොතිබුණා නොවේ. මහවැලිය කඩිනම් කරන විට නැගුණ විවේචන අමතක කළ යුතු නැත. නොරොච්චෝල බලාගාරය සම්බන්ධයෙන් විරෝධතා ඇතිවිය. එය රට පුරා තැනින් තැනට ගෙන ගියේය. ඉහළ කොත්මලේ බලාගාරය ගැන තිබුණ සටන මතකද? බොහෝ ප‍්‍රමාදව, විශාල අලාභ ද සහිතව මෙම යෝජනා අවසානයේ දී ක‍්‍රියාත්මක කර ඇත. ඒවායේ අවාසි අදටත් අපට දැකගත හැකිය.

ආණ්ඩුවෙන් හෝ පුද්ගලික අංශයෙන් හෝ වෙනත් රටකින් වේවා විදුලිය නිපදවන යෝජනා ක‍්‍රම වහාම ආරම්භ කළ යුතුය. රටට ගැලපෙන විද්‍යාත්මක නියාමන ක‍්‍රමයක් හැර අනෙක් කිසිම දේශපාලන ප‍්‍රලාපයක් වැදගත් නැත. විදුලිය හිග වුවහොත් අවුල් වන ජන ජීවිතය, කර්මාන්ත හා ව්‍යාපාර වලට සිදුවන අවහිරතා ගැන කල්පනා කරන්නට අද අත්විදින සුළු බිද වැටීමක් හොදටම ප‍්‍රමාණවත්ය. සුළු පිරිසක් මහත් ඝෝෂාවක් ඇති කරමින් සිටී. විදුලිය පරිභෝජනය කරන අප සියළු දෙනා මධ්‍යස්ථව ප‍්‍රශ්න දෙස බලන්නට අවශ්‍යය. ගින්දර නරක නමුත් එය අවශ්‍යය. පිහිය තියුණුය. ගින්දර ද මුවහත ද ප‍්‍රයෝජනවත්ව හසුරුවන තරම ගැන අපට අවබෝධයක් තිබේ. විදුලිය අංශයේ ආයෝජන ගැන ද නිසි පිලිවෙල, නියාමනය හැර එයට බියවීම සමාජයක් වශයෙන් සුදුසු නැති බව සදහන් කළ යුතුය.

රක්ෂණය හා දුරකතන සේවාව ගැන ද මෙවැනි විරෝධතා තිබුණි. දුරකථන සම්බන්ධතාවයක් ලබාගැනීමට දේශපාලන මැදිහත්වීමක් අවශ්‍යව තිබුණ කාලය ගැන අද අපට මතක නැත. දුරකථන සැපයුම, ප‍්‍රතිසංස්කරණයක් නොවී, රජයට පමණක් අයිති ව්‍යවසායක්ව තිබුණි නම් අද අප මුහුණ දෙන ඉරණම කුමක්ද? රක්ෂණයේ තරගකාරීත්වයක් නොතිබුණ කාලයේ වාහන අනතුරක දී පත් වූ අපහසුතා කිසිසේත් අමතක කළ යුතු නැත. විදුලිය බලය සම්බන්ධයෙන් ද රටට අවශ්‍ය එවැනි ලිහිල් ව්‍යුහයකි. එය කරගත හැකිවුවහොත්, එහි වාසිය පාරිභෝගික පොදු ජනතාවටය. දේශපාලනඥයන්ට නොවේ.