2021/12/22 – ලංකාදීප

උදුවප් මාසයේ සීතල දැනෙන-නොදැනෙන කාලවකවානුවකි. රට තුළ අසාමාන්‍ය උණුසුමක් පවතී. ස්වභාවික පරිසරයේ සීතල පරාජය කරන තරමට ජන සමාජය රත් වී ඇත. අවුරුද්දක් අවසානයේ සිතට ඇතිවන පහන් සිතිවිලි බොහෝ දෙනෙකුට නැත. ආපසු හැරී බලනවිට පසුකරන ලද දුෂ්කර, භයානක අවධිය මතකයට නැගේ.

අලූත් යුගයක් සමග අලූත් බලාපොරොත්තු ජන සමාජයට තිබුණි. සාක්ෂාත් කරගත හැකි වූ තරම ඉතාම සීමිතය. එක දෙයක් සදහන් කළ යුතුව තිබේ. ආර්ථික හා සමාජ වශයෙන් බලවත් අර්බුදකාරී වාතාවරණයක් මැද පවා කොවිඞ් එන්නත්කරණ වැඩ සටහන සාර්ථකව ක‍්‍රියාවට නංවා ඇත. සමහර රටවල් සමග සසදනවිට ශ‍්‍රී ලංකාව සාර්ථකය. ඉදිරියෙන් සිටී. තුන්වැනි මාත‍්‍රාවක් නිකුත් කරන තරමට සංවිධානාත්මකය. ජන ජීවිත ආරක්ෂා කරගන්නට උපරිම වශයෙන් කටයුතු කර ඇති බව පිලිගත යුතුය.

ජීවනෝපාය සම්බන්ධ ප‍්‍රශ්න පැන නැගී ඇත. ජීවන වියදම දරාගත නොහැකි මට්ටමකය. ආදායම සීමිතය. වැඩ කරන ජනතාවගේ අතට ලැබෙන ආදායම සීමා වී තිබේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මිශ‍්‍ර අදහසකි. අන්තර් ජාලයෙන් ඉගෙනුම ලබන තරමට දියුණු වූ නමුත් එය සම්පූර්ණ අවස්ථාවක් වූයේ නැත. පවතින ව්‍යුහය ගැන සාකච්ඡුා කර නැවතත් නැගී සිටින ප‍්‍රයත්නයක් අපට අවශ්‍යය.

නත්තල සමග ජෝෂප් හා මරියා යන දෙපොල සිහිපත් කෙරේ. ඔවුහු බෙත්ලෙහෙමට කැදවන්නේ සංගණනයක් සදහා බව ඉතිහාසය දක්වයි. නවාතැන් සම්පූර්ණයෙන් පිරී ඉතිරී යන අතර අවසානයේ දී මෙම දෙපොල නතරවෙන්නේ ගව මඩුවකය. ගැලවුම්කාරයාණෝ උපත ලබන්නේ නත්තල් දිනයේ දී දිළිදු ගවලෙනකය. ජේසුස් වහන්සේ ගේ උපත සදහා දෙවියන් වහන්සේ තොරාගත්තේ බෙත්ලෙහෙම බව කිතුනුවෝ විශ්වාස කරති. එහෙත් එකල පාලකයෝ සියළු වැසියන් කැදවන්නේ සංගණනයකටය. සංගණනයට හේතුව නිසි පරිදි බදු අය කරගැනීමය.

යේසුස් වහන්සේ දුප්පත් ජනී ජනයා වෙනුවෙන් පෙනී සිටියහ. සත්‍ය පෙන්වා දුන්හ.  එම දර්ශනය ප‍්‍රතික්ෂේප කරන ලද පිරිස් ඔහු කුරුසයේ තබා ඇන ගැසූහ. එහෙත් ශාස්තෘන්ගේ දර්ශනය විනාශ නොවේ. කිතුණු පමණක් නොව, සියළුම ආගම් වලින් මනුෂ්‍යයන්ට යතාර්ථය පෙන්වා දෙන්නට උත්සාහ කර ඇත. ආගම තුළින් සමාජ විනය, එකගතාවය හා යුක්තිය අපේක්ෂා කෙරේ.

අද වාතාවරණය අනුව ජනතාව ඉතා තීරණාත්මක කාල පරිච්ඡේදයක් පසු කරමින් සිටී. පැවැත්මට තර්ජන එල්ල වී ඇත. විද්‍යාව හා තාක්ෂණය දියුණුය. ජනතාව බුද්ධිමත්ය. මනස නිරවුල්ව තබාගත යුතුය. මෙබදු වකවානුවක අලූත් ගැලවුම්කාරයාණෝ පහලවෙන්නේ නැත. තාරකාවෙන් මග අසාගෙන තෑගි රැගෙන පැමිණි රජවරුන් තිදෙනෙකු ගැන කිතුණු කැරොල් කණ්ඩායම් කියයි. ගැලවුම්කාර භූමිකාව පමණක් නොව තෑගි රැගෙන මෙරටට එන කිසිවෙකු සිටින බවක් ද පෙනෙන්නට නැත.

අප සියළු දෙනා අප ගේ අනාගතයේ උත්සාහවන්තයෝය. අද කැපකිරීමක් කළහොත් අපගේ දරුවන් සැපයෙන් සිටිනු ඇත.

පරිවර්තනයක් සදහා සූදානම් විය යුතුය. කාර්මික, කෘෂිකාර්මික හා සේවා අංශවලින් නැවතත් නැගී සිටීම හැර අනෙක් විකල්පයක් නැත. ලෝකයේ නොයෙක් රටවල් දුෂ්කර කාල පරිච්ෙඡ්දවලට මුහුණ පා සිටි බව ඉතිහාසය කියයි. බලවත් රටවලින් ආධාර හා අනුබල ලැබුණි. ජාත්‍යන්තර සංවිධාන මගපෙන්වා ඇත. බොහෝ රටවල් අන්ධකාර යුගය පසුකර දීප්තිමත් අවස්ථාවකට පැමිණ ඇත. පවතින වසංගත තත්ත්වය අනෙක් රටක ප‍්‍රශ්නවලට උපකාර කළ නොහැකි තරමට අප සියළු දෙනා හුදෙකලා කර තිබේ. අප අපගේ ගමන තෝරා ගත යුතුය. වාද විවාද, තර්ක හෝ දෝෂාරෝපණ වලින් දුප්පත් ජනතාවගේ වේදනාවට උත්තරයක් නොවේ. සැපයක් ඇති කරන්නේ නැත. සියළු නායකයෝ එක්සත්ව එක පණිවුඩයක් නිකුත් කළ යුතු අවස්ථාවකි. ධෛර්යයයෙන් නැගී සිටියහොත් නිදහස් නිවහල් රටක් වශයෙන් ජාත්‍යන්තරය සමග එකතු විය හැකි බව සදහන් කළ යුතුව තිබේ.