2021.12.15 – ලංකාදීප

ආර්ථික ක‍්‍රමය තුළ වෙනස්කම් තිබිය හැකිය. ක‍්‍රමය භාවිතා කරන ආකාරය ගැන අත්හදාබැලීම් වලට ඉඩ තිබේ. මෙතෙක් සොයා ගෙන ඇති ආර්ථිකයේ මුලධර්ම වෙනස් වෙන්නේ නැත. ඉල්ලූම හා සැපයුම යන න්‍යාය වෙනුවට වෙනත් එකක් හදුන්වාදෙන්නට මෙතෙක් සමත්ව නැත. ආර්ථික විද්‍යාවේ මුලික සංකල්ප ලෝකයේ  ඕනෑම වෙළද පොලකට පොදුය. එය අප සියළු දෙනාට පිලිගන්නට සිදුවී ඇති  කරුණකි. අලූත් පිලිවෙලක් සොයාගතහොත් අනුගමනය කරන්නට ලෝක ප‍්‍රජාව සූදානම්ය.

ජීවත්වීම සදහා උවමනා කරන මුලික අවශ්‍යතා ආර්ථිකයෙහි කොටසකි. ඒවා සපයාගත යුතුය. නිෂ්පාදනය කරගත යුතුය. නිපදවන ආකාර ඇත. නිපදවන දේ සදහා ඉල්ලූමක් තිබේ. අවශ්‍ය ප‍්‍රමාණයට නිපදවන්නේ නැති අවස්ථාවක හිගයක් ඇති වෙයි. ඉල්ලූම ඉහළ යන අතර එය වෙළද පොල අසමතුලිතතාවයක් ඇතිකෙරේ. අධික සැපයුම ද වෙළද පොල අසමතුලිත කරයි. සැපයුම ඉහළ ගිය පමණින් අධි පරිභෝජනයක් සිදුනොවේ. දෙපැත්ත සමබර කිරීම පුලූල් වගකීමකි.

ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික ගැටළු ගැන මෙම මුලික ද්‍රෘෂ්ඨිවාදය තුළ තිබේ. ඉල්ලූම හෝ සැපයුම තද පාලනයකට යා හැකිය. එය සාමාන්‍යකරණය නොවේ. විකෘතියකි. වෙළද පොල විකෘති වන විට ගෙවන වන්දියක් ඇත. වන්දි ගෙවන්නේ පොදු ජනතාවය. ක‍්‍රමය වෙනස් කරන්නට වෑයම් කිරීම තුළ ඇති වන විකෘතියෙන් ජන සමාජය පීඩාවකට පත්වන බව ඇත්ත කාරණාවකි. දුගී දුප්පත් සමාජයට එයින් අත්වන හානිය ඉතාම බරපතලය. හිස ඔසවන්නට වෑයම් කරන ජනී ජනයා නැවත පහල තලයට තල්ලූකිරිම සුදුසු තත්ත්වයක් නොවේ. සිද්ධාන්තවලට එරෙහිව අනුගමනය කරන පියවර හේතුවෙන් අසරණ වන ජන සමාජය මුහුණ දෙන ගැටළු ගැන වගකිවයුතු අංශ ඉතා  ඕනෑකමකින් සොයා බැලීම යුතුය.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික ක‍්‍රමය ගැන, අද වන විට යම් අතෘප්තියක් පවතී. එයට බලපා ඇති කරුණු ගණනාවකි. අර්බුදකාරී අවස්ථා හටගන්නා අවස්ථා තිබේ. ඒවා පාලනයට ප‍්‍රතිපත්ති තීරණ ගැනීම වරදක් නැත. ඇතැම් තීරණ කැළඹිලි ඇතිකරනු ඇත. කැළඹීමකට පසු මතු කරගත යුතු යහපත් වාතාවරණයකි. කැළඹිලි අවසානයේ දී අලූත්, සාධාරණ ව්‍යුහයක් හැදෙන බව සමාජයට ඒත්තු ගන්වන්වන්නට අවශ්‍යය. ආර්ථික විද්‍යාවේ මුලික මුලධර්ම වෙනස් කරන සාමාන්‍යයෙන් සිදු නොවෙන වෙනස්කම්වලින් රටකට ලැබෙනන වාසියක් නැත.

කොවිඞ් වසංගත තත්ත්වය සමග රටට මුහුණ පාන්නට සිදුවූ ප‍්‍රශ්න ගැන අප සියළුම දෙනාට අවබෝධයක් තිබේ. අගහිගකම් මතුවෙන විට ගත හැකි තීරණ ගැන අප නොදන්නවා නොවේ. අතමාරුවක්, ණයක් එහෙමත් නැතිනම් දේපොලක් විකුණා තාවකාලික පිලියමක් සපයා ගැනේ. නැවත සුපුරුදු වාතාවරණය ඇති වූ පසු ණය ගෙවන, විකිණු දේපොල වෙනුවට අලූත් සම්පත් උපයා ගැනීම අපේක්ෂා කෙරේ. අවස්ථාවෝචිතව ගත හැකි නිසි ක‍්‍රියාමාර්ග නොගෙන නිරුත්සාහිකව සිටීම සාධාරණ තත්ත්වයක්ද?

ණය බරින් මිරිකී ඉතාම නරක තැනකට වැටුණ දරු පවුලකට පවා විසදුමක් තිබේ. ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප‍්‍රවාහන සහ ඇදුම් පැළදුම් යනාදී අවශ්‍යතා වෙනුවෙන් පවුලේ අය නොනවත්වා මැසිවිලි නගන විට දෙමවුපියෝ නොකරන දෙයක් නැත. අප මුහුණ පා සිටින ඉරණම හැම අතින්ම, එයට සමානය. විසදුමක් අවශ්‍යය. ඉතාම දුෂ්කර පසුබිමක් තුළ ක‍්‍රමය වෙනස් කරන අත්හදාබැලීම් වරදක් නොවේ. ශ‍්‍රී ලංකාව පාලනය කරන ලද ආණ්ඩු ආර්ථිකය ගැන විවිධාකාරයේ අත්හදා  බැලීම් කර ඇත. ඒවායෙන් පාඩම් ඉගෙනගත යුතුය. නැවත නැවතත් කරන එකම අත්හදා බැලීම් අපට ලබා දෙන වාසිය කුමක්ද?

මුලික අවශ්‍යතා සම්පාදනය වෙනුවට තර්ක ගොඩනැගීමෙන් පලක් නැත. යතාර්ථය මුහුණ දිය යුතුය. ක‍්‍රමය වෙනස් කරන නමුත් වෙළද පොල මුලික මුලධර්ම වෙනස් කරන්නට පුලූවන්කමක් නැත. ඉල්ලූම පාලනය කළ හැකි සීමාවක් තිබේ. ජනතාව ඉල්ලන්නේ සෞභාග්‍යයයි. කාලානුරූපව තිරණගත යුතුය. ලෝකයේ අනෙක් සියළුම රටවලට වඩා වෙනස් ක‍්‍රමයක් අපට පමණක් නැත. නිසි අවස්ථාවේ දී හොදම තීරණය නොගැනීමෙන් අහිමි වන දේ ආපසු දිනාගන්නට නැවත වාරයක් ලැබෙන්නේ නැති බව ද මෙහි දී සදහන් කළ යුතුව තිබේ.