2021/12/01 – ලංකාදීප

සැනසිලිදායක හෙටක් සදහා අද තීරණ ගැනීම

පිසූ ආහාර ඇත. දොවන ලද කිරි තිබේ. දල්වන ලද ගිණි ඇවිලෙයි. නිවසට වහලයක් තිබේ. මැසි මදුරු පීඩාවක් නැති අතර මෙම මොහොත සුරක්ෂිතය. දැන් ඉතින් මහා වැස්සක් ඇදහැලූනාට කිසිම ප‍්‍රශ්නයක් නැත. යනුවෙන් කල්පනා කළ ධනිය ගෝපාල ගැන සදහනක් බුද්ධ දේශනාවේ ඇත. ධනිය ගෝපාල සුත‍්‍රයෙහි දැක්වේ. වැසි ලකුණු දකින ධනිය ගෝපාල, සිය දෙනුන් පවා අවශ්‍ය තරම් ආහාර ගෙන ඇති අතර තමන්ට කිසිම කරදරයක් නැති බව සිතන බව එහි වැඩිදුරටත් කියැවේ.

ධනිය ගේ සිතිවිල්ල ගැන අවධානය යොමු කළ හැකි පැති දෙකක් තිබේ. එකක් ඔහු තමන්ගේ ජීවිතය හසුරුවාගෙන ඇත. අනෙක ඔහු ඉතා ආත්මාර්ථකාමීය. පැති දෙකම වැදගත්ය. මහ වැසි තර්ජනයක් ඇති නොකරන තරමට සුදුසු පරිසරය හදාගෙන තිබේ. එය ධනිය ගේ දක්ෂතාවයකි. අන්ධකාර ලකුණු ඔහුගේ පැවැත්මට ගැටළු ඇති කරන්නේ නැත. එහෙත් අධික වැසි ප‍්‍රශ්න ඇති නොකරන්නේ ද නොවේ. ධනිය සුරක්ෂිත නමුත් අනාරක්ෂිත විශාල පිරිසක් ජන සමාජයක ජීවත්වෙති. ඔවුහු මහ වැස්සකින් පසු දුෂ්කරතාවයකට පත්වනු ඇත. කුසගින්න සහ සීතල ජීවිතය අසරණ කරන සාධක බව පෙනේ. සෙසු පිරිස ගැන නොසිතන ධනිය, වැහි කෝඩයක් මෝදු වන ලකුණු තමන්ට ප‍්‍රශ්නයක් නොවන බව කල්පනා කරයි. ඔහුගේ ආකෘතිය වැදගත්ය. නමුත් සිතිවිලි පොදු සමාජ සාරධර්ම ඉදිරියේ නොගැලපෙන එකකි.

බෞද්ධ සාහිත්‍යයේ එන මෙවැනි ආදර්ශ අද පැවැත්මට ගලපා ගත යුතුය. බුදු බණ අහන සමාජයකි. බුදුන් අදහන බව අ`ගවයි. දර්ශනය වටහා ගෙන නැත.

රටත්, සමාජයත් ඔසවා තබන සැලැස්ම තුළ ධනිය ගෝපාල සංකල්පය තිබිය යුතුය. අද පවතින ප‍්‍රශ්න දෙස බලන විට පැහැදිලිය. සමාජ, ආර්ථික හා සෞඛ්‍ය අංශවලින් ඉතාම දුප්පත් තැනකය. සැකය හා අවිශ්වාසය ඉහවහා යමින් තිබේ. සුළු සිද්ධියකින් පවා කම්පිතව වැලපෙන ක‍්‍රමයක් බිහි වී තිබේ. වේදනා සහ දෝමනස්ස වැපිරවීමෙන් ලැබෙන ප‍්‍රතිඵලය කුමක්ද? උද්ගත වී ඇති ප‍්‍රශ්නවලට විසදුම් සොයාගත යුතුය. අප සියළු දෙනාගේ වගකීීමකි. ආණ්ඩුව නායකත්වය දිය යුතුය. නිසි ප‍්‍රතිපත්ති සකස් කරන අතර මුලික පහසුකම් සංවිධානය කළ යුතුය. ගොඩනැගීම සහ තමන්ගේ අනාගතය සාක්ෂාත් කරගැනීම අප සියළු දෙනාගේ වගකීමකි. බුද්ධිමත්, දැක්මක් සහිත සමාජ වටපිටාවක් පවතී. දැනුම ඉහළම තැනට පැමිණ ඇත. අවබෝධය රහිත පිරිසකට පවා දැනුම සහ අවබෝධය ලබාගැනීමට පහසුකම් තිබේ. තාක්ෂණික වටපිටාව විශාල ආවරණයක් සපයයි. ගමන් කළ යුතු ආකාරය ගැන ආදර්ශ ලබාගත හැකිය. පටු අදහස් තුරන් කර පුලූල් දැක්මක් සහිතව තීරණ ගත හැකි වාතාවරණයක් පවතී. එහෙත් එම මාර්ගය ඔස්සේ ගමන් කරන්නට අප සූදානම්ද?

කොවිඞ් වසංගතය සමග උද්ගත වූ තර්ජන සම්පූර්ණයෙන්ම කළමණාකරනය කරගන්නට අපොහොසත්ව සිටී. ඉතාම සුළු පිරිසක් ධනිය ගෝපාලවරු බවට පත්ව ඇත. බහුතරයක් දෙනා සැකයෙන් හා අවිශ්වාසයෙන් ජීවත්වෙති. හෙට දවසට මුහුණ දෙන්නේ කෙසේද යන ප‍්‍රශ්නය තිබේ. කොවිඞ් අන්ධකාරය තුළ තව දුරටත් ජීවත්විය යුතු නැත. ආලෝකය සොයා යා යුතුය.

බරපතල ආර්ථික ප‍්‍රශ්න රටට ඇත. කර්මාන්ත හා ව්‍යාපාර ගැටළු සහගත තැනකය. රැකී රක්ෂා අවස්ථා අඩුය. ආදායම සීමිතය. ජන ජීවිතය සහන ඉල්ලා සිටින වකවානුවකි. ජාතික ආර්ථිකය දරුණු පිරිහීමක පවතින අවස්ථාවක තව තවත් සහන බෙදන්නේ කෙසේද? අලූත් තීරණ වලින් නවෝත්පාදනයක් කරා ගමන් කළ යුතුව තිබේ. ව්‍යසන ඉදිරියේ ශෝක නොවන සමාජයක් ගොඩනැගිය යුතුය. ශ‍්‍රී ලංකාව පාඩම් ඉගෙනගත් රටකි. දකුණේ සහ උතුරේ ඇති වූ බිහිසුණු ත‍්‍රස්තවාදය, දස දහස් ගණනින් ජීවිත අහිමි වූ ‘සුනාමි’අමතක නොවන සිද්ධි අතර තිබේ. ඒවාගෙන් ගැලවී. යළිත් මතු වී ඉදිරියට පැමිණීමට සමත් වූ රටකි. කොවිඞ් වසංගත තත්ත්වයට ද අවසානයක් ඇත. සමාජය ශක්තිමත් කර  නැවත ඔසවා තබන පියවර අවශ්‍යය. සමාජය එකමුතු කරන දැවැන්ත සංවිධාන ශක්තියක් සූදානම් කරගත යුතුය.

කලබල වූ සමාජයක හැසිරීම ගැන අප නොදන්නවා නොවේ. විවිධ මත, නොයෙක් අදහස්, එකකට එකක් නොගැලපෙන තර්ක ඇවිලෙයි. ඒවායෙන් ඉතාම සංකීර්ණ ස්වභාවයක් හටගනී. මෙම කුණාටු සහගත අවස්ථාවේ දී තව තවත් අවුලවන උපායවලින් පලක් නැත. ජන ජීවිතය ගොඩනගන, පුනර්ජීවනය ඇති කරන පියවර සදහා යා යුතුය. අද පවතින සමාජ හා ආර්ථික පසුබිම තවත් අමතක නොවන පාඩමකි. මෙවැනි ඉරණමක් පරාජයකර සැනසිල්ලෙන් ජීවත්විය හැකි රටක් දරුවන් වෙනුවෙන් ගොඩනගන්නට නම් අද තීරණ ගත යුතුය.