2021.10.13 – ලංකාදීප

අලූත් පරම්පරාවේ ජවය තොරතුරු තාක්ෂණය බව පැහැදිලිය. අලූත් පැති සමාජ ආර්ථික පරිවර්තනයකට හේතු වී ඇති බව ඉතිහාසය ගවේශනය කරන විට පෙනේ. මානව වංශ කතාවේ කැපී පෙනෙන කාල පරිච්ඡේද ගණනාවකි. ගින්දර සොයා ගැනීම, රෝද භාවිතා කිරීම, බලශක්ති ප‍්‍රභවයන්හි විවිධ අංශ යනා දී වශයෙන් දිග ලේඛණයක් ඉදිරිපත් කළ හැක. එහෙත් තොරතුරු තාක්ෂණය අසම සම අවස්ථාවකි. ගෝලීයකරණය ගැන තිබුණ නොපැහැදිලි භාවය තුරන්කරන අතර ලෝකය එක යායක් බවට හරවන්නට තොරතුරු තාක්ෂණයට හැකියාව ලැබී ඇත.

මෑත අතීතය දක්වා තොරතුරු වරප‍්‍රසාද සහිත පැලැන්තියකට සීමා වී තිබුණි. සිද්ධි දැනගැනීමට අවස්ථා නොතිබුණ තරම්ය. දුරකතනයකින් හෝ ලිපියකින් කරුණු දැනගැනීමට ද කාලයක් ගත විය. දැන් ලෝකයේ එහා කෙළවරක සිදුවන දේ මෑත රටක සිටින  ඕනෑම කෙනෙකුගේ ජංගම දුරකතනයට ක්ෂණයකින් ලැබේ. ජන ජීවිතය පහසු කරනු සදහා තොරතුරු තාක්ෂණය ඉවහල් කරගත හැකිය.

කොවිඞ් වසංගත තත්ත්වය සමග ජන ජීවිතය තවත් පැත්තකට හැරිණ. තෙරතුරු තාක්ෂණයට වේගයෙන් නැඹුරුවිය. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම, අධ්‍යාපනය, ඇතැම් රැකියා කටයුතු, මුදල් හුවමාරුව ඇතුළු නොයෙක් ක්ෂේත‍්‍රවල පැතිරීමක් සිදුවිය. ඇතැම් වෛද්‍යවරු පවා රෝග වාර්තා යොමු කළ පසු අන්තර් ජාලයෙන් ප‍්‍රතිකාර කිරීම අරඹන ලද බව සදහන් කළ යුතුය. වසංගත තත්ත්වය පාලනය කිරීමෙන් පසු නැවතත් පුරුදු සම්ප‍්‍රදායට ඇතුළු විය යුතු නැත.

අවධානයට ගත යුතු තවත් පැත්තක් තිබේ. තවත් පියවරක් ඉදිරියට ගමන් කිරිමට අවශ්‍ය පසුතලය සැකසීම සම්බන්ධ පුලූල් වගකීමක් රජයට ඇත. රජයේ කටයුතු සදහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ භාවිතය වේගවත් කළ යුතුය. පැරණි චක‍්‍රලේඛන හා විධිවිධාන ඉවත් කළ යුතුව තිබේ. සම්ප‍්‍රදාය අතහැර අලූත් රාමුවට ඇතුළුවීම අවශ්‍යය. ආණ්ඩුවේ හා විපක්ෂයේ මහජන නියෝජිතයන් එහි ලා ආධුනිකයෝ නොවෙති. මැතිවරණ කාලයේ දී සියළු සමාජ මාධ්‍ය භාවිතා කරන අතර ඡන්ද දායකයන් සමග සන්නිවේදනයෙහි යෙදෙති. මැතිවරණය අවසන් වන පසු ඇතැම් මහජන නියෝජිතයෝ එහි ලා තිබුණ උනන්දුව අත් හරින බව පෙනේ.

ජනතාව සමග පමණක් නොව ජාත්‍යන්තරය සමග කටයුතු කිරීම සදහා තාක්ෂණික දොරටුව විවෘත කරගත යුතුව තිබේ. රජයේ නිලධාරීන් එහි ලා යුහුසුළු විය යුතුය. ජාත්‍යන්තර සම්බන්ධතා සහ රටවල් අතර කරන ගනුදෙනු සදහා ද මෙම නැඹුරුව ඉතා වැදගත්ය. රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා අලූත් වී ඇති වකවානුවකි. රාජ්‍ය නායකයෝ කෙලින්ම සාකච්ඡා කරති. මැති ඇමැතිවරු ද්වී පාර්ශවික හා බහු පාර්ශවික සාකච්ඡා කරන බව අනාවරණය වෙයි.  ජාත්‍යන්තර සංවිධාන සැසිවාර තොරතුරු තාක්ෂණය උපයෝගී කරගෙන කරගෙන යයි. මේවායෙන් විශාල වරප‍්‍රසාද ලැබේ. කාලය ඉතිරිවෙයි. රටින් රටකට ගමන් කර පුද්ගලිකව කරන හමුවීම් වැදගත් නමුත් එයට ගෙවිය යුතු වන්දිය බරපතලය. ගුවන් ගමන් වෙනුවෙන් පිරිවැය අධිකය. විශාල වියදමක් දරන්නට සිදුවෙයි. ශ‍්‍රී ලංකාව විදේශ විනිමය හිගයක පසුවෙන අතර රට තුළ ආර්ථිකය ද යහපත් තැනක නැත. මෙවැනි කාල වකවානුවක රට තුළ කරන ගමන් බිමන් පමණක් නොව ජාත්‍යන්තර සංචාර ද සීමා කිරීමෙන් විශාල පිටිහවහලක් අත්පත් කරගත හැකිය.

තොරතුරු තාක්ෂණය සමග සම්මුඛ සාකච්ඡා සදහා නවතම අන්තර් ජාල ව්‍යුහ දියුණු කර තිබේ. ජාත්‍යන්තර විශ්ව විද්‍යාල වල ඉගෙනගන්නා දරුවෝ ඒවා බහුලව භාවිතා කරති. පුද්ගලික අංශයේ ජාලගත සම්මන්ත‍්‍රණ ඉතාම සාර්ථක ප‍්‍රතිඵල පෙන්වා තිබේ. රජයේ ආයතන අතර සාකච්ඡා සදහා තාක්ෂණය උපයෝගී කරගන්නට හැකිය. රටවල් අතර කරන රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු තවත් පියවරක් ඉදිරියට ගමන් කිරීම සදහා පිටුවහලක් ලැබේ. කාලය කළමනාකරණය හා පිරිවැය සීමා කරගෙන සෞඛ්‍ය ආරක්ෂක ක‍්‍රම අනුගමනය කරමින් ලෝකය දෙස බලන්නට ඇති අවස්ථා මග හැරිය යුතු නැත. ජාලගත මුණගැසීම, සාකච්ඡා හා ගිවිසුම්වලට එළැඹීම සදහා අවශ්‍ය කරන නීති රීති සම්මත කර ඒවාට අනුගතවීම රජයේ වගකීමකි. තාක්ෂණික හැකියාව හා එයින් අවස්ථා ලබාගැනීම පදනම් කරගෙන පන්ති බෙදීමක් සමජය තුළ ඇති නොවිය යුතුය.