2021/09/22 – ලංකාදීප

උතුරු යුරෝපා රටක් වන නෝර්වේ රාජ්‍යයෙහි මැතිවරණය පසුගිය දා පැවැතිණ. වාමාංශික,කම්කරු  පක්ෂය බහුතර ආසන ගණනක් දිනාගෙන අලූත් ආණ්ඩුව පිහිටුවා තිබේ.

ඡන්ද ප‍්‍රතිඵලය සාකච්ඡුා කිරීම වෙනුවට ඡන්ද වේදිකාවේ දිග හැරණු පැති ගැන අවධානය යොමු කිරීම සුදුසුය. කාලගුණ විපර්යාස ප‍්‍රධාන මාතෘකාව විය. යුරෝපා රටවල් අතර ප‍්‍රධානම තෙල් නිෂ්පාදකයා වන නෝර්වේ රජය තෙල් සහ ගෑස් නිෂ්පාදනය අවම කරන්නට සුදානමිය. පොසිල ඉන්ධන දහනයෙන් වායුගෝලයට සිදුවන හානිය ගැන මැතිවරණයේ දී විශාල අවධානයක් දක්වන ලද අතර බොරතෙල් හා ගෑස් කර්මාන්තය පාලනය කරන ආකාරය, මැතිවරණයට තරග කළ ප‍්‍රධාන පක්ෂ තුන ජනතාව හමුවේ තැබූ පොරොන්දු අතර ඉහළින්ම සටහන් වී  තිබුණි.

තෙල් හා ගෑස් අලෙවියෙන් අති විශාල ධනයක් උපයන නෝර්වේ රාජ්‍යය පොසිල ඉන්ධන නිෂ්පාදනයෙන් ඉවත්වීම ගැන ඡන්ද ප‍්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ වෙන්වී තිබුණි. කම්කරු පක්ෂය ක‍්‍රමානුකූලව ඉවත්වන බව දක්වන ලද අතර හරිත පක්ෂයේ අදහස වූයේ තෙල් ගවේශණ කටයුතු පවා වහාම නතර කිරීමය. කොන්සවටිව් පක්ෂය අතරමැදි තීරණයක පිහිටා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ කර ඇති බව සදහන් කළ යුතුය.

ඛනිජ තෙල් ක්ෂේත‍්‍රය නෝර්වේ රාජ්‍යයෙහි දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහ හතරක් වන අතර එරට අපනයන වලින් සියයට හතලිහක් බව දැක්වෙයි. දහසය ලක්ෂයකට වැඩි පිරිසක් කර්මාන්තයෙහි නිරතව සේවය කරති. ලෝකයේ විශාලතම ස්වෛරීත්ව අරමුදල නෝර්වේ රාජ්‍යය සතුවන අතර එහි වත්කම ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 1.4 කි. මෙවැනි පසුබිමක් සහිතව පවා පොසිල ඉන්ධනවලින් ඉවත්වීමට කරන යෝජනා එරට ජනතාව ගේ අමන්දානන්දයට හේතු වී තිබෙන බව මැතිවරණ ප‍්‍රතිඵලය පෙන්වයි. ජයග‍්‍රාහී කම්කරු පක්ෂය බදු සංශෝධන හා සංවර්ධනය ගැන  ද කරුණු දක්වන ලද නමුත් පරිසරය ගැන සලකා කළ යෝජනා වලට ජනතාවගේ වැඩිම අවධානය යොමු වී ඇති බව පෙනේ.

තවමත් අත නොතබන ලද තෙල් සහ ගෑස් නිධි නෝර්වේ රාජ්‍යයට තිබේ. කලින් බලයේ සිටි පක්ෂය පවා තෙල් නිෂ්පාදනය ක‍්‍රමයෙන් සීමා කරන තීරණයක සිටියේය. එරට ඇති තෙල් සම්පත ගැන සලකන විට තවත් පරම්පරා ගණනකට ආදායම් ඉපැයිය හැකි බව පැහැදිලිය. තෙල් සහ ගෑස් පරිභෝජනය පවා සීමා කරන නෝර්වේ රාජ්‍යයෙහි ජල විදුලිය උත්පාදනයක් ද තිබේ. මෑත කාලීන වාර්තා දක්වන පරිදි තෙල් පරිහරණය අවම කරන තීරණ ගෙන ඇති රටකි. විදුලියෙන් ධාවනය වන වාහන භාවිතයට වේගයෙන් නැඹුරු වී ඇති අතර විදුලිය වාහන මිල දී ගැනීමේ දී සහන සැපයේ. එය ඉන්ධන පරිහරණය අධෛර්යය කරන තීරණයකි. අතර දැනට විකිණෙන වාහන වලින් සියයට හැත්තෑවක් විදුලිය වාහන  බව දැක්වෙයි.

ඛනිජ සම්පත් වලින් පොහොසත්ය. ලබාගත හැකි වාසි පැත්තකින් තබා පරිසරය වෙනුවෙන් කැපවීම මිල කළ නොහැකි පරිත්‍යාගයකි. ලෝක ව්‍යාප්තව ටෙන්ඩර් කැදවා තෙල් හා ගෑස් නිධි ඉක්මනින් බදු දීමෙන් පමණක් නෝර්වේ රටට උපයාගත හැකි ධනය අති විශාලය. පරම්පරා ගණනක් පොහොසත් කළ හැකිය. එවැනි තීරණ කෙරෙහි නොඇලෙන එරට පාලකයෝ මැතිවරණ වේදිකාවේ දී පවා පරිසරය ආරක්ෂා කරන වගකීම ගැන අවධානය යොමු කර ඇත.

තෙල් හා ගෑස් ගවේශන කටයුතු කෙරෙහි නැවත වරක් අලූතින් කල්පනා කරන ශ‍්‍රී ලංකාව නෝර්වේ රාජ්‍යයෙහි තීරණ ගැන කල්පනා කිරීම සුදුසුය. ජාත්‍යන්තරයෙහි මතුවන ප‍්‍රවණතා ගැන සැලකිල්ල යොමු කළ යුතුය. නෝර්වේ රාජ්‍ය්‍ය පමණක් නොව යුරෝපා, ඇමරිකා හා මැදපෙරදිග රටවල් ගණනාවක් පොසිල ඉන්ධන අවම කරන ප‍්‍රතිපත්ති අනුව කටයුතු කරති. පරිසර ආරක්ෂාව ගැන සැලකිල්ල ඉදිරියෙන් තබා තිරණ ගනිමින් සිටිති. තවත් දශක දෙක තුනකින් ඛනිජ තෙල් හා ගෑස් වෙළද පොල වෙනස් විය හැකි අතර ඉල්ලූම පහත වැටෙන අවදානමක් ද ඇත. රටට වාසිදායක සේ මතු පිටින් පෙනෙන තීරණයක අභ්‍යන්තරය අවාසි සහගතය. සැලකිය යුතු අවදානමක් ද තිබේ.