2021/09/01 – ලංකාදීප

කොවිඞ් වසංගතයේ මතුපිට භයානකකම ජනතාවට වැටහී තිබේ. අභ්‍යන්තරය ගැන ගැඹුරු අවබෝධයක් තිබිය යුතුය. මුහුදේ පාවෙන අයිස් ශිඛරයක පතුල අපට පෙනෙන්නේ නැත. ටයිටැනික් ගැටෙන්නේ එවැනි අයිස් කන්දකය. කිසිදා විනාශ කළ නොහැකි බව සනාථ කර තිබුණ එම නැවේ ගමන් ගත් මගීහු බලවත් විශ්වාසයකින් සිටියේය. අවසානයේ දී කිසිදා අමතක කළ නොහැකි ඛේදවාචකයක වේදනාව ජගත් ප‍්‍රජාවට ඉතිරි කළේය.

කොවිඞ් වැළෙදන රෝගීන්, එයින් අසරණ වන අහිංසක පවුල් ගැන කම්පාවන ජනී ජනයා ආර්ථිකය පවතින බිහිසුණු තැන ගැන වටහා ගැනීම වැදගත්ය. බලවත් කම්පනයක් ඇතිකරමින් නොපෙනෙන, ආර්ථික අයිස් ශිඛරයක ශී‍්‍ර ලංකාව නමැති නැව ගැටී තිබේ. ලෝකයේ නොයෙක් රටවල් එකී ඉරණමට මුහුණ පා ඇත. ආර්ථිකයකට දැනට ඇති කර තිබෙන විනාශය ගැන කලබලයට පත් ව සිටී. ගැලවීමක් තකා නොයෙක් පියවර ගනිමින් පසුවන අවස්ථාවකි. බර අඩු කර, ආර්ථිකය සැහැල්ලූ කරන තීරණ මගින් සැනසිලිදායක තීර්ථයක් කරා ගමන් කළ හැක. තීරණාත්මක මොහොතක විවිධ මතවාද, පරස්පර විරෝධී අදහස් තවත් කුණාටු ඇති කරන බව සදහන් කළ යුතුය.

කිසිම දෙයක් කරගත නොහැකි තැනකට පත් වූ ටයිටැනික් නැව පරිදි සංගීත කණ්ඩායමේ මිහිරි වාදන මැද ගිලී වැනසෙන හෝ නිර්භීත පියවරකින් පසු දුෂ්කර ගමන් මාර්ගය වෙනස් කරන හැකියාවක් තිබේ. ඉන්දිය රජය යෝජනා කර ඇති සැලසුම හොද උදාහරණයකි.

ඇමරිකානු ඩොලර් බිලියන අසූ එකක් නොඑසේනම් එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට තුනක් පමණ උපයා ගන්නා වසර හතරක සැලැස්මක් ඉන්දීයාව ප‍්‍රකාශයට පත් කර ඇත. මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය දක්වන පරිදි මහා මාර්ග, දුම්රිය සේවාවේ වත්කම්, ගුවන් තොටුපොල, විදුලිය බෙදාහැරීමේ අංශ සහ ගැස් නල පද්ධති ඇතුළු රජය සතු දේපොල වලින් සෑහෙන කොටසක් පුද්ගලික අංශයේ ආයෝජනය සදහා වෙන් කරනු ඇත. කිසිසේත් ඉන්දියාවේ ජාතික සම්පත් හෝ වත්කම් විකිණීමක් වශයෙන් හදුන්වන්නට එතුමිය කැමැති නැත. ඉදිරියේ දී  ඉන්දියානු රජයට අයත් වත්කම් පුද්ගලික අංශයට පවරන සැලැස්ම සවිස්තරාත්මකව ප‍්‍රකාශයට පත් කරන්නට යෝජිතය.  භාරත් පෙට්‍රෝල්, එයාර් ඉන්දියා සහ ලයිෆ් ඉන්ෂුවරන්ස් වැනි ඉන්දීය රජයේ සමාගම් වල කොටස් ද පැවැරීමට යෝජනා වී තිබේ. අවදානම් සහගත ආර්ථික පරිසරය තුළ ගත යුතු ක‍්‍රියාමාර්ග ගැන දීර්ඝ සංවාදයක් මධ්‍යම රජයේ ඇමැතිවරු එකොලොස් දෙනෙකු සමග වෙනම ම පවත්වා ඇති මුදල් අමාත්‍යවරිය රට තුළ පැන නැගිය හැකි බාධක ගැන ද අවධානය යොමු කර ඇත. සවිස්තරාත්මක සැලසුම සමග කරුණු ඉදිරිපත් කරන අතර මෙම යෝජනාව මගින් පවතින අඩු වර්ධනය වේගවත් කිරීමට පුද්ගලික අංශයේ සහාය ලබා ගැනීම ඉතා වැදගත් බව පෙන්වා දී තිබේ.

වසර විසිපහක් සදහා කාලයකට ආයෝජන අවස්ථා පැවැරෙන බව සදහන්ය. අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ උපායශීලි ආයෝජන අවස්ථා පුලූල් කිරීමේ ප‍්‍රතිපත්තියෙහි එක කොටසක් වනු ඇති අතර ජාතික වැදගත්කමක් සහිත තෝරාගත් ව්‍යවසාය සීමිත කොටසක් පමණක් රජය භාරයේ ඉතිරි කරගනු ඇතැයි දැක්වෙයි. ඉන්දීය ආණ්ඩුවේ බදු ආදායම විශාල වශයෙන් පහත වැටී තිබේ. කොවිඞ් වසංගතය සියළු අංශ අඩපණ කර තිබේ. සහන සදහා සෑහෙන ධනයක් වැය කරන්නට සිදුවී ඇත. අය වැය පරතරය ඉහළ ගොස් ඇති අතර හිගය පියැවීමට අනුගමනය කරන  ක‍්‍රියාමාර්ග ජනතාව පීඩාවට පත්වීම වැලැක්වීම ඉන්දීය රජයේ අරමුණකි.

පොදු ජනතාව ගේ ජීවිත ආරක්ෂා කරගත යුතුය. වසංගතයට මුහුණ දෙන අතරවාරයේ ආර්ථිකය ද අලූතින් ගොඩනගන ක‍්‍රම ගැන සාකච්ඡා කිරීම අවශ්‍යය. තව තවත් ණය බර ඉසිලිය නොහැකිය. දුෂ්කරතා මැද පවත්වාගෙන යන කාලවකවානුවක ලිහිල් බව ඇති කරගන්නා ආකාරය පැවැත්ම තහවුරු කරනු ඇත. ජනතා අපේක්ෂා සාක්ෂාත් කරන අතර දැනට වේගයෙන් වැඩිවෙන ආර්ථික පීඩනය අවම කරන කාලෝචිත ක‍්‍රියාමාර්ග ශ‍්‍රී ලංකාවට ද අනුගමනය කරන්නට සිදුවනු ඇත.