රැකියාව හා පුද්ගලික ජීවිතය සමබර කරන පිලිවෙල ගැන විවාදයක් කාලයක සිට පවතී. කොවිඩ් වසංගත තත්ත්වය සමග එය තවත් අලුත් පැති වලට යොමු වී තිබේ. ලෝකයේ ඕනෑම තැනක සිට සේවය කළ හැක. තාක්ෂණය එයට පසුබිම සකසයි. එක තැනක ස්ථිරව රාජකාරි කරන පිලිවෙල ද අවලංගු වෙමින් තිබේ. නිදහස් වෘත්තිකයන් වශයෙන් නොයෙක් ආයතන වලට, සේවා සපයන අවස්ථා නිර්මාණය වී තිබේ.
ජගත් ආර්ථික සංසදය පසුගිය කාලයේ ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකට අනුව වැඩකරන ජනතාවගෙන් තුනෙන් දෙකක් නිවසේ සිට රාජකාරි කරන්නට කැමැත්ත පළ කර තිබේ. රටවල් විසි නමයක තෝරාගත් පිරිසකගෙන් අදහස් විමසන ලද බව දැක්වෙයි. ලෝක ජනගහනයෙන් හරි අඩක් පමණ කොවිඩ් ලොක් ඩවුන් කිරීමට යටත් වී ඇත. එය දීර්ඝ කාලයක් රාජකාරි වලින් බැහැරව සිටීමට හේතුවකි. නරක ප්‍රතිඵල ඇති කරන බව දැක්වේ. ආදායම පහත වැටෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සංකෝචනයක් සිදුවෙයි. එක දිගට සේවයට සුපුරුදු පරිදි වාර්තාකරන්නට නොහැකි වන ජන කොටස් මුහුණ දෙන මානසික ව්‍යාධි ගැන ද සමාජ විද්‍යාඥයන් සහ කළමණාකරණ විශේෂඥයන් අවධානය යොමු කර ඇත.


දැනට පවතින තාක්ෂණය අනුව නිවසේ කොටසක් කාර්යාලයක් බවට හරවා එහි සේවය කරන ආකාරය දුරස්ථව අධීක්ෂණය කිරීමට හැකියාවක් තිබේ. ඇතැම් ආයතන ප්‍රධානීහු දක්වන පරිදි නිවසේ පරිසරය සමග එකට රාජකාරි කටයුතු කිරීම කාර්ය මණ්ඩලයේ ආතතිය දුරු කරන පිලිවෙලකි. එහෙත් කාර්යාල විධි විධාන සහ සාමුහිකව වැඩකිරීම යනාදිය අභියෝගයට ලක්වෙයි. ආර්ථික සංසදය කරන ලද සමීක්ෂණයෙන් අනාවරණය වන වැදගත් කරුණක් තිබේ. පසු කාලයක කාර්යාලයට කැඳවුවහොත් එයට එකඟ නැති බව පිරිසක් ස්ථිර වශයෙන්ම දක්වා තිබේ. නිවසේ සිට සේවයට හුරුවූ තුනෙන් එකක පිරිසක් එයට අයත්ය. රැකියාවේ ස්වභාවය නම්‍යශීලීවීම ගැන ඔවුහු තෘප්තිමත්ව සිටිති.


නිවසේ සිට සේවය කිරීමෙන් ඉහළ ඵලදායීතාවයක් අත් පත් කරගත හැකි වූ බව සමීක්ෂණයට භාජනය වූවෝ කියති. හරි අඩක් දෙනා සිය කාර්යාල සගයන්ගෙන් දුරස්ථවීම ගැන කනස්සල්ලකින් පසුවන නමුත් එදිනෙදා රාජකාරි අන්තර් ජාලය භාවිතාකර නොපිරිහෙලා ඉටු කළ හැකි බව දක්වා ඇත.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ ප්‍රධානීහු පවතින ව්‍යුහයට එපිටින් ඇති අවස්ථා ගැන අවධානය යොමු කළ යුතුය. නිරෝධායන ඇඳිරි නීතිය පනවන වකවානු තුළ ද නිසි පරිදි කාර්යාල කටයුතු කළ හැකිය. කාර්යාලයේ ලිපිගොනු වලට ලෝකයේ ඕනෑම තැනක සිට ප්‍රවේශවන පද්ධති තිබේ. සාකච්ඡා කර තීරණ ගැනීමට අතිශය දියුණු සන්නිවේදන ක්‍රම භාවිතා කළ හැක. වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමෙන් පසු පවා හයිබි්‍රඩ් එනම් සතියේ එක කාලසීමාවක් නිවසේ සිටින අතර තවත් කාලසීමාවක් කාර්යාලයට එන පරිදි රාජකාරි කටයුතු කරගෙන යන සැලසුම් වැදගත් බව අනාවරණය වී තිබේ.


පැය අටක රාජකාරි සඳහා කාර්යාලයට එන්නට සහ ආපසු නිවෙස බලායන්නට සෑහෙන කාලයක් ගතවෙයි. එයට වැය කරන ධනය සුළු පටුනොවේ. කාර්යාල වලින් ප්‍රවාහන පහසුකම් සපයන ආයතනවලට එය මහත් පිරිවැයකි. පොදදු ප්‍රවාහන සේවා වල පවතින තදබදය දකිනවිට නිවසේ සිට රාජකාරි කරන ක්‍රමයකට පරිවර්තනය වුවහොත් විශාල වාසියකි.මහා මාර්ගවල තද බදය අවම කරන අතර කාර්යාල ඉඩකඩ සඳහා අලුතින් ඉදි කරන ගොඩනැගිලි වෙනුවෙන් සෑහෙන ආයෝජනයක් කරන්නට සිදුවෙයි.

මෙම මුදල් තාක්ෂණය දියුණු කරන අලුත් සැලසුම්වලට යෙදවුවහොත් ක්‍රමය වෙනස් කර ගත හැකිය. අධික තදබදයක, බලවත් මානසික පීඩනයක් සහිතව සේවය කිරීමට වඩා නිදහසේ වැඩ කරන සමාජයක් ගොඩනාගතහොත් සෞඛ්‍ය පැත්තෙන් ද වාසිදායකය. වාර්තා පෙන්වන පරිදි ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය වයස් ගතවෙමින් සිටී. දියුණුව සඳහා ශ්‍රම බලකාය වැදගත් සාධකයකි. තරුණ ශ්‍රමය වෙනුවට තාක්ෂණයෙන් පොහොසත් සමාජයක් වැඩදායක වනු ඇත. වසංගත තත්තවයෙහි අවසානය කොතැන කෙලෙසෙක සිදුවනු ඇත් ද යන විශ්වාසයක් නැත. ඇතැම් අංශවල දී ශ්‍රමය ඉතාම කාර්යක්ෂමව උපයෝගී කරගත හැකි පරිදි තාක්ෂණික වටපිටාවක් නිර්මාණය වෙමින් තිබේ. මෙහි අවස්ථා හා අභියෝග ගැන වෙනම සාකච්ඡා කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයෝ අවධානය යොමු කළ යුතුය.